ප්‍රධාන අපේක්ෂකයෝ දෙවන අපේක්ෂකයෝ කියලා පිරිසක් නැහැ

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයකු විසින් දෙවන හා තුන්වන මනාපය ලකුණු කිරීමේ අවශ්‍යතාවක් පැන නගින බව පැවසෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවූයේ ඇයි?

ඇත්තටම ඒක අවශ්‍යතාවක් පැන නැගීමට වඩා මේ රටේ ඡන්දදායකයන්ට ජනාධිපතිවරණ මැතිවරණ නීතියට අනුව 1982 සිටම පළමුවැනි, දෙවැනි හා තුන්වැනි කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුණා. මේක 1988 සහ 1999දි මැතිවරණ දෙකකදී දෙවන හා තුන්වන මනාපය ගැන දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේ කතා කළා. ඊට අමතරව මේ පිළිබඳව දේශපාලන අවධානයක් යොමුවුණේ නැහැ. මැතිවරණ කොමිෂන් සභා පැත්තෙන් හෝ නිරීක්ෂණ සංවිධාන පැත්තෙන් හෝ මේක විශේෂයෙන් මතු කරන්න කවුරුවත් ක්‍රියා කළේත් නැහැ. ඒ නිසා මේ තිබුණු අයිතිය මිනිස්සු හරියාකාරව පාවිච්චි කළේ නැහැ. ඊළඟට ඒක ප්‍රායෝගිකව මැතිවරණයකදී පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් මතුවුණේත් නැහැ. ඊට හේතුව සෑම වේලාවකදීම ජයග්‍රහණය කරන අපේක්ෂකයා 50%ට වැඩි ප්‍රමාණයක් ගත්තා. මැතිවරණ නීති අනුව ජනාධිපතිවරයා වන පුද්ගලයාට ඒ මැතිවරණයේ වලංගු ඡන්දවලින් 50%ක් සහ තව එක ඡන්දයක් තිබිය යුතුයි. එහෙම නැති වුණොත් යම් විදියකින් ගණනය කිරීමේදී කරන ක්‍රියාවලිය තමයි වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයෝ දෙන්නා තරගයේ ඉස්සරහට ගෙන යෑම සඳහා පැත්තකින් තියනවා. එසේ කොට ඉතිරි අපේක්ෂකයෝ උදාහරණ වශයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 19ක් තරග කළා. එවිට ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනකු පමණයි සිටියේ. සාමාන්‍ය භාවිතාවේදී නිරීක්ෂණ සංවිධාන හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවට ප්‍රධාන අපේක්ෂකයෝ දෙවන අපේක්ෂකයෝ කියලා පිරිසක් නැහැ.

අපිට ඉවත් කරන අපේක්ෂකයන්ගේ දෙවන හා තුන්වන මනාප ගණන් කරන්න පුළුවන් වෙන්නේ ඒ අය තරගයෙන් ඉවත් වූ නිසයි. හැමවෙලාවේම ඡන්දදායකයකුට එක වටිනාකමයි ලැබෙන්නේ. එහෙත් තමන් ඡන්ද දුන් අපේක්ෂකයා ජයග්‍රහණය කළේ නැතිනම් ඡන්දදායකයන්ට අවස්ථාවක් දී තිබෙනවා දෙවන හා තුන්වන මනාපය ලකුණු කිරීමට. ඒමගින් සිදුවන්නේ වඩාත් ජනතාවගේ කැමැත්ත ලබාගත් පුද්ගලයාට රටේ රාජ්‍ය නායකයා වීමේ අවස්ථාව ලැබීමයි. ඒ නිසා තමයි දෙවන හා තුන්වන මනාපයේ වැදගත්කම තියෙන්නේ. දෙවන මනාපය හෝ තුන්වන මනාපය ලකුණු කර නොතිබීමෙන් මැතිවරණ ප්‍රතිඵලය අවලංගුවීමක් වෙන්නේ නැහැ. එසේ ලකුණු නොකළහොත් විය හැකිවන්නේ ඡන්දදායකයාට තමන් කැමතිම රාජ්‍ය නායකයා තෝරා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. යම් කෙනෙක් තමන්ගේ දේශපාලන ධාරාව අනුව අපේක්ෂකයකුට පළමුවන මනාපය දෙනවා. හැබැයි ඔහු හිතනවා නම් මගේ දෙවැනි කැමත්ත එනම් මෙයා පත්වූයේ නැතිනම් ඊළඟට පත්විය යුත්තේ අහවල් දේශපාලන පක්ෂයේ අහවලා කියලා, ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා තමයි ඒ අවස්ථාව දීලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව මෙවැනි ක්‍රම සකස් කරද්දීම මේ ඉඩ විවර කර තිබෙන්නේ ඡන්දදායකයාට තමන් කැමතිම පාලකයා තමන්ගේ රටට පත්කර ගැනීමටයි.

දෙවන මනාපය ලකුණු කිරීමේ සංවාදය මේ මැතිවරණයට එන්නේ ඇයි කියන එක අපිට සලකන්න සිද්ධ වෙනවා. අපි ජනාධිපතිවරණ මැතිවරණ ඉතිහාසය බැලුවොත් 1982 සිට මේ වනතුරු පවත්වන ලද මැතිවරණවල ජයග්‍රහණය කරලා තිබෙන පක්ෂ වැඩිම පරතරයක් අරගෙන තිබෙන්නේ 1994 සහ 2010දී පමණයි. ඒ කියන්නේ අපේක්ෂකයෝ දෙදෙනා අතර විශාල පරාසයකට ගිහින් තිබෙනවා. 1994දී 62%ක් ගන්නවා ජයග්‍රහණය කරන අපේක්ෂකයා. 2010දී 57%ක් ජයග්‍රාහී අපේක්ෂකයා ලබාගෙන තිබෙනවා. අනෙක් සෑම වේලාවකදීම ජයග්‍රාහී අපේක්ෂකයා සහ පරාජිත අපේක්ෂකයා අතර පරතරය 2-3% අතර ප්‍රමාණයක පැවතියා. මෙහිදී 1988 සහ 2005 පැවති මැතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පරතරය දශම ගණනක් බවට පත්වුණා. 2005 ඡන්දයේදී ජයග්‍රාහී සහ පරාජිත අපේක්ෂකයා අතර තිබූ ඡන්ද පරතරය ඡන්ද 187,000ක් පමණයි. 2015දී ඡන්ද ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් තමයි පරතරය තියෙන්නේ. මෙම පරතරය අනුව ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒත් මේ අවස්ථා දෙකේදීම ප්‍රබල තුන්වැනි, හතරවැනි අපේක්ෂකයෝ හිටියේ නැහැ. ඒ නිසා ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයා 50% ඉක්මවා ගියා. 50% ගන්න පුළුවන්ද බැරිද කියන දේ තීන්දු වන්නේ උපකල්පන දෙකක් මතයි. එකක් වන්නේ, අපේක්ෂකයෝ දෙදෙනාගේ තරගය ඉතාමත් තීව්‍ර වුවහොත් එනම් ළඟ – ළඟ තරගයක නිරත අපේක්ෂකයෝ දෙදෙනෙක් වුවහොත් සහ දෙවැනි කාරණය වන තුන්වැනි හා සතරවැනි අපේක්ෂකයෝ ඡන්ද ලක්ෂ 5කට වඩා ප්‍රමාණයක් ගත්තොත් අනිවාර්යයෙන්ම එක අපේක්ෂකයෙකුවත් 50%ක් ඡන්ද ලබාගන්නේ නැහැ. 2005, 2015 යනාදී වර්ෂවල උදාහරණ දෙස බැලුවත් මේ දෙකේදීම මෙය පැහැදිලිව පෙනෙනවා. අපි 2005 උදාහරණය බැලුවොත් එම අවස්ථාවේදී ජයග්‍රාහී අපේක්ෂකයා ලබා ගන්නේ 50.29%ක්.

විපක්ෂය 48.43%ක් ගන්නවා. ඉතිරි අපේක්ෂකයෝ දොළොස් දෙනාම ඡන්ද ලබාගෙන තියෙන්නේ 117,000ක් විතරයි. 2005 අවුරුද්දේදී තුන්වැනි හෝ හතරවැනි අපේක්ෂකයා ඡන්ද ලක්ෂ පහක් ලබාගත්තේ නම් ජනාධිපති අපේක්ෂකයාට මේ ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒත් අපිට කියන්න බැහැ ඒ කැඩෙන ඡන්ද ප්‍රමාණය ජයග්‍රාහී අපේක්ෂකයාගේ ඡන්දද? විපක්ෂ අපේක්ෂකයගේ ඡන්දද? කියලා. ඒත් අනිවාර්යයෙන්ම වලංගු ඡන්ද ප්‍රමාණයක් තමයි එවිට ඉවත් වෙන්නේ. එවිට 50% පිළිබඳ ප්‍රශ්නයක් එවිට දෙවන මනාපයේ අවශ්‍යතාව මතුවෙනවා.

දෙවන මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ?

අපි ඡන්දදායකයාට කියා සිටින්නේ අපි ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කරනවා නම් දෙවන මනාපය ගණන් කළත්, නොකළත් එය අපිට අදාළ නැහැ. පුරවැසියෝ සහ ඡන්දදායකයෝ හැටියට තමන්ගේ පළමුවන, දෙවන සහ තුන්වන කැමැත්ත සටහන් කිරීමෙන් කිසිවකුට හානියක් වෙන්නේ නැහැ. අවශ්‍යතාවක් තිබුණොත් මැතිවරණ කොමිෂන් සභාවට ඒක ගණනය කරගැනීමට පුළුවන්. එවිට වඩාම මහජන විශ්වාසය දිනාගත් පුද්ගලයා රටේ ජනාධිපතිවරයා වෙනවා.

දෙවන සහ තුන්වන මනාපය ගණන් කරන ආකාරය ඡන්දදායකයකුට මනාව වැටහෙන අයුරින් උදාහරණ සහිතව ඉදිරිපත් කළහොත් ඔබට පැවසිය හැක්කේ කුමක්ද?

මෙය ඉතාමත් සරලයි. ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකාව එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සලකනු ලබනවා. ඒත් ඡන්ද ගණන් කරනු ලබන්නේ දිස්ත්‍රික්ක පුරා විසිරුණු ඡන්ද මධ්‍යස්ථානවලදීයි. මුලින්ම සමස්ත ඡන්ද ප්‍රමාණය බලා ඒකෙන් අවලංගු කර තිබෙන ඡන්ද ප්‍රමාණය ඉවත් කළ පසු වලංගු ඡන්ද ප්‍රමාණය ලබාගත හැකියි. එවිට පාවිච්චි කරන ලද ඡන්ද ප්‍රමාණයයි, වලංගු ඡන්ද ප්‍රමාණයයි අප ළඟ තියෙනවා. ඊට පසුව මෙම අපේක්ෂකයෝ අතර ඡන්ද බෙදී ගොස් තිබෙන්නේ කෙසේද කියා බලනවා. එසේ ගණනය කිරීමෙන් පසු කවුරුහරි අපේක්ෂකයකුට වලංගු ඡන්ද ප්‍රමාණයෙන් උදාහරණයක් ගත්විට වලංගු ඡන්ද ප්‍රමාණය 1000ක් කියා උපකල්පනය කළහොත් ඡන්ද 501ක් ලබා ගන්නා ලද අපේක්ෂකයකු සිටී නම් ඔහු ජයග්‍රාහකයා බවට පත් කරනු ලබනවා. වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් වන්නේ ඡන්ද 500යි. තවත් එකක් එකතු කළ විට 501ක් වෙනවා. ඒ අනුව කිසිදු විවාදයක් නැහැ. කවුරුන් හෝ ඡන්ද 501ක් අරගෙන නොමැති නම් එවිට බලන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයෝ දෙදෙනා අරගෙන පැත්තකින් තියනවා. මොකද ඒ දෙදෙනා තමයි සැබෑ තරගකරුවෝ බවට පත්ව තිබෙන්නේ. සරල උදාහරණයක් ගතහොත් ඡන්ද සංඛ්‍යාව 1000ක්. A ඡන්ද 350, B 400 ගත් විට ප්‍රධාන අපේක්ෂකයෝ ඡන්ද 750ක් අරගෙන තිබෙනවා. C 100 D 50 E 75 F 25 යනාදී වශයෙන් ඡන්ද ගනු ලබනවා. එවිට මුළු එකතුව ඡන්ද 1000යි. මින් 50%යි ඡන්ද 1ක් ලබා ගත යුතු නම් ඡන්ද 501ක් ලබාගත යුතුයි.

යම් හෙයකින් දෙවන සහ තුන්වන මනාපය ඡන්දායකයන් විසින් සලකුණු කර නොතිබුණහොත් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් සහ තවත් එක් ඡන්දයකුත් ලබා ගැනීමට අපේක්ෂකයකුට හැකියාව නොලැබුණහොත් ඇතිවන තත්ත්වය කුමක්ද?

කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා අතර ඡන්ද ප්‍රමාණය ගණන කර ඒ දෙදෙනාගේ ඡන්ද ප්‍රමාණයෙන් ඡන්ද 50%ක් සහ තවත් වැඩිපුර එකක් ලබා ගන්නා ලද පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත්වෙනවා. එය වඩාත් සරලව කිවහොත් එම අපේක්ෂකයන් දෙදෙනාගෙන් වැඩිම ඡන්ද ගත් පුද්ගලයා ජයග්‍රාහකයා බවට පත්වෙනවා. ඒත් මැතිවරණයේ වලංගුභාවය සහ නීත්‍යනුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. සමාජ කතිකාවේ ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවනි. උදාහරණයක් වශයෙන් ජයග්‍රහණය කරන පුද්ගලයා ඡන්ද ලබාගන්නා ප්‍රතිශතය 40%ක් නම්, එවිට ඔහුට රටේ බහුතරයේ ඡන්ද තිබෙනවාද කියන සමාජ කතිකාවට එන්න පුළුවනි. එහෙත් ඔහු නිල වශයෙන් ජයග්‍රාහකයෙක්. ඊට බාධාවක් ඇතිවන්නේ නැහැ. ඒ අනුව මනාපය ලකුණු නොකළා කියා මැතිවරණ ප්‍රතිඵලයට තාක්ෂණිකව ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. මනාපය ලකුණු කිරීම තුළින් වැඩි පිරිසක් කැමති පුද්ගලයා පත්කර ගැනීමේ හැකියාව තිබෙනවා. සියලුම මාධ්‍ය ආයතනවලට වගකීමක් තිබෙනවා ජනතාවට මෙම තත්ත්වය පැටලීමට ලක් නොකොට නිවැරදිව ගෙන යෑමට. මෙය ඉතා ප්‍රවේසම්සහගතව කළයුතු කටයුත්තක්.

කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවති සමයේදී රටේ ඡන්දයෙන් 35%ක් නොගත් අය පාර්ලිමේන්තුවේ විපක්ෂය බවට පත්වුණා. මැතිවරණ ක්‍රමය අනුව එවැනි තත්ත්වයක්ද අප රටේ අතීතයේදී පැවතියා. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙය බරපතළ ප්‍රශ්නයක් කියා. ඒ වගේම මීළඟට පත්වන ජනාධිපතිවරයා පෙර පත්වූ ජනාධිපතිවරයාට මෙන් අසීමිත බලතල හිමිවන්නේ නැහැ. ඊළඟට පත්වන කෙනාට බලයක් එන්නේ ඔහු පක්ෂයේ නායකයාත් බවට පත්වී පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂයේ නායකයාත් වුවහොත් පමණයි. එනම් ජනාධිපතිවරයාත් විය යුතුයි. පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා පක්ෂයේ නායකයාත් වුවහොත් ඔහුට අසීමිත බලයක් ගොඩ නැගෙනවා. ඔහුට විධායක බලයක් ව්‍යවස්ථාවෙන් නොමැති වුණත් පක්ෂ යාන්ත්‍රණය හරහා ඔහු අසීමිත බලයක් භුක්ති විඳින කෙනකු බවට පත්විය හැකියි. ඒක පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයත් එක්කත් බද්ධ වෙනවා. එහෙම නැතුව ජනාධිපතිවරයා එක පක්ෂයකත් පාර්ලිමේන්තුව එක පක්ෂයත් වුවහොත් හෝ ජනාධිපතිවරයාට පක්ෂ නායකත්වය නැති තත්ත්වයක් උදාවුවහොත් ඔහු නාමමාත්‍රික තත්ත්වයට පත්වෙනවා. එයත් ඔහුගේ පෞරුෂය සහ දේශපාලන භාවිතාව අනුව වෙනස් විය හැකියි.