ඉස්ලාම් භීතිකා කර්මාන්තයේ ගොදුරු බවට පත්වීම

මාස් එල්. යූසුෆ්

ඉස්ලාම් භීතිකා කර්මාන්තය යනු ලොවපුරා ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන් පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය කර මිනිසුන් අතර මුස්ලිම්වරුන් පිළිබඳව බිය වපුරන සංවිධානගත ජාලයකි. මේ භීතිකා කර්මාන්තය ක්‍රියාත්මක කරන්නන් ඒ පවත්වාගෙන යාම සඳහා ඩොලර් මිලියන ගණන් වැය කරති. ඕනෑම රටක සිටින මුස්ලිම් විරෝධී ප්‍රචාරකයන් සිදුකරන්නේ මෙම ඉස්ලාම් භීතිකා ව්‍යාපාරයේ අය පතුරවන ලද බොරු ප්‍රචාර ගෙන නැවත නැවතත් භාවිත කිරීමයි. ඔවුන්, නොදන්නා කෙනෙකුගේ පණිවිඩ ප්‍රචාරය කරන අහිංසක ඉත්තන් බවට පත්වී ඇත. ඇමරිකානු-ඉස්ලාමීය සබඳතා කවුන්සිලය (CAIR) සහ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය, බර්ක්ලි විසින් 2011 ජුනි මාසයේදී නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තාවක සඳහන් වූයේ එක්සත් ජනපදයේ මුස්ලිම්වරුන්ට එරෙහිව ‘බිය හා වෛරය’ ප්‍රවර්ධනය කිරීම සඳහා 2008 සහ 2013 අතර විවිධ සංවිධාන විසින් කරන ඇමරිකානු ඩොලර් මිලියන 200 කට වැඩි මුදලක් වැය කර ඇති බවයි. ඉස්ලාම් භීතිකාවට අරමුදල් සැපයු හෝ පෝෂණය කළ ස්ත්‍රීවාදී, ඇතැම් ආගමික, සියොන්වාදී සහ ප්‍රමුඛ පෙලේ ප්‍රවෘත්ති සංවිධාන ඇතුළු කණ්ඩායම් 74 ක් මෙම වාර්තාව විසින් හඳුනාගෙන ඇත.

මෙම ඉස්ලාම් භීතිකා කර්මාන්තය පසුගිය කාලය තුළ ලංකාවේ ක්‍රියාත්මක වුයේ මතුපිටිනි. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙය දැඩි ව පැතිරී තිබේ. මීට පෙර රහසිගතව මුස්ලිම් විරෝධී සහ ඉස්ලාම් විරෝධී වු අය දැන් ප්‍රසිද්ධියේ විවෘතව සිය අදහස් ප්‍රකාශ කරති. මේ අනුව මුස්ලිම් විරෝධීන්ට තම කටයුතු වර්ධනය කරගැනීමෙහිලා පාස්කු ප්‍රහාරය මනා පිටිවහලක් වී ඇත.

කනගාටුදායක යථාර්ථය නම්, මුස්ලිම්වරුන් පමණක් නොව, සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්, එනම් සිංහලයන්, ද්‍රවිඩයන්, බර්ගර්වරු සහ වෙනත් ජාතිකයන් මෙම නපුරු කර්මාන්තයේ සෘජු හෝ වක්‍ර ගොදුරු බවට පත් වී තිබීමයි.

පවතින රටාව

මෙම භීතිකා කර්මාන්තයේ පහළම මට්ටමේ සිටින්නේ වැරදි තොරතුරු සැපයීමේ වාහකයා වන කිසිත් නොදන්නා සාමාන්‍ය පුරවැසියෙකි. මෙකී ‘වාහකයා’ මුස්ලිම් විරෝධී සඳහනක් කරන සෑම අවස්ථාවකම එම පුද්ගලයා පැවසූ දේවල බරපතලකම ඔහුට හෝ ඇයට නොදැනේ. කර්මාන්තයේ ‘මහ මොළකරුවන්’ ඔවුන්ගේ ව්‍යාපාරය සැලසුම් කර ඇති ආකාරයට අනුව එවැනි වැරදි ප්‍රකාශ ඉතා සාමාන්‍ය ‘ඉතින්, ඔබට කොහොමද? යන ප්‍රකාශ ලෙස සලකන තත්වයකට පත්වී තිබේ.

එපමණක් නොව, ඉස්ලාම්/මුස්ලිම් තලාපෙළා දැමීම පොදු සහ ‘මෝස්තරයක්’ බවට පත් කර ඇත. එසේම ජනතාව අතර තවත් කොටසක් ඇත. ඔවුන් මෙම ව්‍යාපාරයේ සැබෑ ක්‍රියාකරුවන් ය. ඔවුන්ගේ වගකීම් හුදෙක් වෛරය පැතිරවීමට වඩා එහා ගිය එකකි. මෙම ක්‍රියාකරුවෝ, ප්‍රවණතාවයට පත්වන දෑ වල ගම්‍යතාව පවත්වා ගැනීමට ක්‍රියාකාරී ව කටයුතු කරති. මීට අමතරව, පෙර නාට්‍යකරණයන්හි උණුසුම පහව යන බැවින් නව සංවේදී තත්වයන් නිර්මාණය කිරීමේ කාර්යය ඔවුන් ඉෂ්ට කරයි. මෑත සිදුවීම්වල කාලානුක්‍රමය දෙස බැලීමෙන් මෙම රටාව පැහැදිලිව වටහාගත හැක. අපි එම රටාව විමසා බලමු.

21 අප්‍රේල් 2019 – පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවිය.

29 අප්‍රේල් 2019 – මුහුණු ආවරණ තහනම ගැසට් කරන ලදී.

30 අප්‍රේල් 2019 – මුස්ලිම් කාන්තාවන්ට සිදුවන හිරිහැර තීව්‍ර වී තවතවත් අඛණ්ඩව සිදු විය. මුස්ලිම් කාන්තාවන්ගේ නිදහසේ ගමන් බිමන් යෑම දැඩි ලෙස සීමා විය. රජයේ ආයතන වන රෝහල්, පාසල්, උසාවි සහ අනෙක් ආයතන වෙත ප්‍රවේශ වීමේදී බාධා ඇති විය. සුපරීක්ෂාකාරී කණ්ඩායම් විසින් මුස්ලිම් කාන්තාවන් බිය ගැන්වීම, අතවර කිරීම සහ ඔවුන්ට ශාරීරිකව පහරදීමද සිදුවිය.

12 මැයි 2019 – මුස්ලිම් විරෝධී ප්‍රහාර, නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ වාහන විනාශ කිරීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ බණ්ඩාර කොස්වත්ත, කැකුණගොල්ල, පණ්ඩුවස්නුවර, කොබෙයිගනේ, එදන්ඩවෙල, කරන්තිප්පල සහ බිංගිරිය යන ස්ථාන වල සිදුවිය.

13 මැයි 2019 – සංහාරය දිගටම කරගෙන යමින් අන්තවාදීන් විසින් කුලියපිටිය, හෙට්ටිපොල, අවුකන, කොටම්පිටිය, නිකවැරටිය සහ වෙනත් ප්‍රදේශ වටලනු ලැබීය. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, කොට්ටරාමුල්ල සහ තුම්මෝදර යන ස්ථාන වලද මෙය සිදුවිය.

23 මැයි 2019 – සිංහල බෞද්ධ කාන්තාවන් 4,000 ක් මුස්ලිම් වෛද්‍යවරයකු විසින් රහසිගතව වඳභාවයට පත්කළ බවට චෝදනා කරමින් සිංහල භාෂිත පුවත්පතක් මුල් පිටුවේ විශාල අකුරින් පුවතක් පළ කළේය.
23 මැයි 2019 – ජනාධිපති සමාව මගින් පුජ්‍ය ඥානසාර හිමියන් සිරෙන් නිදහස් විය. උන්වහන්සේ දැඩි මතධාරියෙකු ලෙස ප්‍රසිද්ධ අතර උසාවියට අපහාස කිරීම හේතුවෙන් වසර හයක සිර දඬුවමක් විඳිමින් සිටියේය.
31 මැයි 2019 – සමහර මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල උපවාසයක් ආරම්භ කළේය.

2 ජුනි 2019 – 2014 ජුනි මාසයේදී මුස්ලිම්වරුන්ට එරෙහි අලුත්ගම සමූල ඝාතනය පිටුපස සිටින බවට පුළුල් ලෙස චෝදනා කෙරෙන පුජ්‍ය ඥානසාර හිමියන් ඉල්ලා අස්වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයට අවසන් නිවේදනයක් නිකුත් කළේය. ”මම හෙට දහවල් වන තුරු රජයට කාලය ලබා දෙනවා. කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඔවුන්ට දිවයින පුරා සැණකෙළි (කෝලාහල) දැක ගත හැකිය.”

3 ජුනි 2019 – රටේ ලේ වැගිරීම් වලක්වාලීමේ අරමුණින් මුස්ලිම් ඇමතිවරු නව දෙනෙක් සහ පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වූහ.

4 ජූලි 2019 – වහාබ්වාදයට එරෙහිව නුගේගොඩදී මහජන රැළියක් සංවිධානය කිරීම. වහාබ්වාදය පිළිබඳ කිසිවක් මෙහිදී කතා නොකිරීම නිසා මෙය මුස්ලිමුන් තලාපෙලා දැමීම සඳහා භාවිතා කරනලද එක් ව්‍යාජ බොරු හේතුවක් ලෙස හඳුන්වාදිය හැක.

7 ජූලි 2019 – පුජ්‍ය ඥානසාර හිමියන් මහනුවරදී මහජන රැළියක් පැවැත්වීය. සංවිධානාත්මකව තවත් මුස්ලිම්/ඉස්ලාම් තලාපෙලා දැමීමක්. එසේම, සිංහල ජනතාවට තම අභිමතය පරිදි ප්‍රතිපත්ති හා නීති තීරණය කිරීමට හැකි වන පරිදි සිංහල පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ප්‍රතිඥා දුන්නේය.

මාධ්‍ය

21 අප්‍රේල් 2019 සිට මේ දක්වා, ඇතැම් මාධ්‍ය – රූපවාහිනිය, ගුවන්විදුලිය, සමාජ මාධ්‍ය සහ පුවත්පත් මුස්ලිම්වරුන්ට අනිෂ්ට ලෙස අපහාස කිරීමේ උපායමාර්ගය අඛණ්ඩව හා නොකඩවා හිතාමතා කරගෙන යයි.
නොනවත්වාම, ‘හිජාබ්, කඩු, හලාල්, මද්‍රසා, අරාබිකරණය’ සහ ඒ සමාන වෙනත් දේ දෛනික වශයෙන් ජනතාවට මුදාහරිමින් පවතියි. මහජනයාගේ මනස තුළ බිය, සංකාව සහ භීතිකාව ඇතිවන පරිසරය නිර්මාණය කිරීමේ නිර්මාණ ශිල්පීන් ඔවුන්ය. ඔවුන් විසින් සාර්ථකව අත්පත් කරගන්නා ලද ඉලක්කයක් වූ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව වෛරය පැතිරවීම සහ සිංහල හා මුස්ලිම් ජනතාව අතර පැවති එකමුතුකම බෙදා වෙන්කිරීමේ අවසාන ප්‍රතිපලයක් ලෙස මසක් වැනි දීර්ඝ කාලයක් පාසල් වසා දමන ලදී.

ක්‍රමවේදය

ඉතා දියුණු සංවර්ධිත රටක් වන ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ඊට කිලෝමීටර් 15,000 දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ හෝ ඇත්තේ ‘භීතිය හා වෛරය’ ව්‍යාප්ත කිරීමේ එකම ක්‍රමවේදයකි. මෙමගින් මහජනයාගේ මනසෙහි මුස්ලිම්වරුන්ට එරෙහිව සැකය හා අවිශ්වාසයේ බීජ වැපිරීමේ පරිසරයක් නිර්මාණය කෙරේ. මුස්ලිම්වරුන් මේ රටට අයත් නොවන බවත්, ඔවුන්ට කිසි විටෙකත් ශ්‍රී ලංකාවේ පක්ෂපාත පුරවැසියන් විය නොහැකි බවත් යන අසත්‍ය ප්‍රකාශය ඉදිරිපත් කෙරේ. තවද, මුස්ලිම්වරු මේ රට ආක්‍රමණය කරන බවට පදනම් විරහිත බිය මහජනතාවගේ මනසෙහි තැන්පත් කිරීම සිදුකෙරේ. මෙකී අදහස් දේශපාලන වාග්ලංකාරයට සම්බන්ධ වූ විට ඉස්ලාමීය විරෝධී හැඟීම් තවත් ඉහළ යයි. මෙම සන්දර්භය තුළ, මැතිවරණයක් පැවැත්වුණහොත් එය ඉස්ලාම් භීතික ප්‍රහාර සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි.

CAIR හි ප්‍රකාශකයෙකු වන විල්ෆ්‍රේඩෝ අම්ර් රූයිස් පවසන්නේ, “එය විශාල කර්මාන්තයක්. ඉස්ලාම් භීතිකාව ප්‍රවර්ධනය කිරීමෙන් වසරකට ඩොලර් මිලියන ගණනක් උපයන අය සිටිති. සැබෑලෙස එසේ නොවුනත්, ඔවුන් බොහෝ විට තමන් ඉස්ලාමීය කටයුතු පිළිබඳ ‘විශේෂඥයන්’ ලෙස පෙනී සිටියි.”

ඔබ මෙහි ගොදුරක් වන්නේ කෙසේද?

මේ වනවිට සියලුම ශ්‍රී ලාංකිකයෝ ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික වශයෙන් ඉස්ලාම් භීතිකාවට ගොදුරු වී සිටිති. නිදසුනක් වශයෙන්, බුද්ධාගමේ අනුගාමිකයන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී කරුණාව (මෙත්තා) පිළිපැදිය යුතුය. වෙනත් ප්‍රජාවක් කෙරෙහි නිශේධාත්මක සිතුවිලි ඇති කරගැනීමෙන් මෙත්තා පිළිබඳ හැඟීම සිතෙන් අතුරුදහන් වේ. ඊර්ෂ්‍යාව, කෝපය, පළිගැනීම සහ නොඉවසීම යන නපුරු සිතුවිලි මගින් මෙත්තා ලෝකය පිරී යයි. මෙම සෘණාත්මක සිතුවිලි මගින් හැසිරීම තීරණය කරනු ලබයි. හැසිරීම මඟින් ක්‍රියාවන් පිළිබිඹු වන අතර එය පුද්ගලයන්ගේ කර්මයට බලපායි. අනුකම්පාව (කරුණා), සානුකම්පිත ප්‍රිතිය (මුදිතා) සහ සමානාත්මතාවය (උපේඛා) වෙතින් ඈත්වීමේ ප්‍රතිවිපාක ගැන කියන්නේ කුමක්ද? බුදුදහමට ජාත්‍යන්තරව ඇති කීර්තිය සම්බන්ධව කුමක් සිදුවේද? ශ්‍රී ලංකාව ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්ථානයක් බවට ඇති ආඩම්බරය ගැන කුමක් වේද? බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජන සංහාරයන් සිදුකීරීම සම්බන්ධයෙන් ජ්‍යාත්‍යන්තරව හෙළා දැක ඇති බෞද්ධ මියන්මාරයට හා සමාන ව සැලකීමට අපි ශ්‍රී ලංකාවට ද මාවත සකසමින් සිටිනවාද?