ජාජබ අතන ජනතාව මෙතන

ගීතිකා ධර්මසිංහ

ජාතික ජනබලවේගය (ජාජබ) දිනවීම වෙනුවෙන් උතුරේ හා මුස්ලිම් වැසියන් තවමත් සූදානමක් නොමැති බව අපගේ දෙමළ හා මුස්ලිම් මිතුරන්ගේ ලිවීම් හා කතා බස්වලින් ඉදිරිපත්වේ. එක් මිතුරියක් පැවසුයේ ඇය රතු එකතුවට සහාය දක්වන්න යැයි කියන්නට සූදානම් නමුත් ඇයට ඒ සඳහා කිසිදු ආධාරකයක් අනුර කුමාරගේ කතාව විසින් නොසැපයූ බවයි. ඔවුනගේ අදහස වන්නේ ගෝඨාභය රාජපක්ෂ නියත වශයෙන්ම ජයග්‍රහණය කළහොත් රාජපක්ෂලා පාලන බලයෙහි නොමැති වත්මන් තතු යටතේ ඔවුන් විසින් භුක්ති විඳින ඔවුන්ගේ අර්ථයෙන් වන ප්‍රජාතන්ත්‍රවාදය මග හැරෙනු ඇති බවත් ඊට වඩා වැදගත් ලෙසම ජාජබ විසින් ජයග්‍රහණයේ විශ්වාසී පහන්සිළු ඔවුන් අතර දල්වන්නේ නැති බවත්ය. ඔවුන් විසින් මතු කරන අනෙක් කරුණක් වන්නේ ජාතික ජන බලවේගය විසින් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ පාර්ශ්වයේ බලවේගය අඩාල කරනු ඇති බවත් හා එමගින් ගෝඨාගේ ආගමනය වඩාත් තීව්‍ර කරන්නට ඉඩ ඇති බවයි.

කෙසේ වුවත් මේ සියල්ල ගැන සිතමින් ජාතික ජනබලවේගයට තමන්ගේ දේශපාලනයක් වෙනුවෙන් මහන්සිවීම කළ නොහැකි නමුත් ඇත්ත වශයෙන්ම ඉහත කී කතිකා නිර්මාණය වීමට හේතු කිහිපයක් පෙන්වා දිය හැකිය. එකක් නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගොඩ නැගී ඇති ප්‍රධාන මිථ්‍යාවක් වන රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වුවමනාවක් හා හැකියාවක් පවතින බව සිවිල් සමාජයේ යම් පිරිසක් පිළිගැනීම හා එම අදහස ඉතිහාසයේ සාක්ෂීන්ට එරෙහිව නඩත්තු කිරීමයි. වඩා වැදගත්ම අනෙක් කරුණ නම් ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමාංශික පක්ෂ පැරණි වාමාංශයෙන් කැඩීම විසින් ඔවුන් ජාතිවාදය දෙසට තල්ලුවීමක් පමණක් නොව මෑතකාලීනව දේශපාලන ප්‍රතිසංස්කරණ සිය දේශපාලන චින්තන සිතිජයේ අධිනිශ්චය කරගැනීමත් ආර්ථික ප්‍රතිසංස්කරණ එමගින් පසුවට කල් තැබීමත්ය.

අප දිගින් දිගටම පවසා සිටි පරිදි එක්සත් ජාතික පක්ෂය ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නියෝජනයේ ඒජන්තයා ලෙස අර්ථ ගැන්වී තිබීමේ මිථ්‍යාව වාමාංශයේ අසමත්භාවයේ ප්‍රතිඵලයකි. මෙම අදහස පිටුපස ලංකාවේ පංතිමය සමාජ සැකැස්ම පිළිබඳව ඓතිහාසිකව ගොඩ නැංවූ මිථ්‍යාවක්ද පවතී. එනම් මෙම මිථ්‍යාව 1956 ඓතිහාසික හවුල පිළිබඳව නිව්ටන් ගුණසිංහ විසින් සූත්‍රගත කරන ලද අදහස තුළ මගහැරණු එළඹුමක ප්‍රතිඵලයකි. එනම් නිදහසින් පසු ලංකාවේ හෙජමොනික දේශපාලන සැකැස්මට මුල්වූයේ එවකට සිටි එනම් යටත්විජිතවාදයේ පහස ලද නැගී ආ ධනපති පන්තියක් නොව එම ධනපති පන්තියට විරුද්ධව ස්ථානාගත වූ ග්‍රාමීය සිංහල බෞද්ධ අනන්‍යතාව මුල් කරගත් පන්තියක්ය යන්නයි. එහිදී ඔහු මතු කළේ මෙම පන්තියේ දේශපාලන හා සමාජීය අපේක්ෂාවන් ගොඩනැගුණේ සිංහල බෞද්ධ අනන්‍යතාවන් මුල්වුණු බුද්ධාගමට ප්‍රමුඛත්වය දුන් චින්තන සිතිජයක් තුළ බවයි. පසුකාලීනව රාජ්‍යය ඒකීයවීම, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම වැනි ව්‍යවස්ථාපිත මතවාදයන් දක්වා ඔවුන්ගේ මෙම හෙජමොනික සැකැස්ම බරපතළ විය. ගුණසිංහ මෙම අදහස මගින් යටත් විජිතයට පෙර සිටි ධනවාදී පිරිස් ජාතිකවාදය පෝෂණය නොකළේ යයිද ඔවුන් ඉන් එපිට ස්ථානගත කළේ යයිද යන අදහසට ඉඩ විවර කරන ලද බව පෙනෙයි. ගුණසිංහගේ අදහස මගින් ඍජුව ප්‍රකාශ නොවුණද ඉන් ගම්‍ය වන අනෙක් අදහස වන්නේ එවකට එක්සත් ජාතික පක්ෂයේ සමාජ බලවේගය බවට පත්ව සිටි සාම්ප්‍රදායික ධනපති පංතිය ජාතිවාදී නොවන ලද බවත් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතිසංස්කරණය කිරීමට එම බලවේගයට විකල්ප ශක්‍යතාවක් පැවතිය හා පවතින බවත්ය. එබැවින් පශ්චාත් ලිබරල්කරණ සිවිල් සමාජය, රාජ්‍යය ප්‍රතිසංස්කරණ සඳහා වූ දේශපාලන අපේක්ෂාව සෑමවිටම ස්ථානගත කරන ලද්දේ මෙලෙස ශේෂ වූ ප්‍රජාතන්ත්‍රවාදී ධනපති පංතිය පිළිබඳව වූ මිථ්‍යාමතික අදහස මතයි.

ජාතිවාදී නොවන ධනේශ්වර පන්තියක් පිළිබද මෙම සිතීමෙහි සීමාවන් දෙකක් පවතින බව අපගේ අදහසයි. පළමුවැන්න නම් එම පන්තිය ජාතිවාදී නොවීය යන මිථ්‍යාව නඩත්තු කිරීමයි. අනෙක නම් මෙම පන්තියේ නෛසර්ගික පන්ති ස්වභාවය විසින් එනම් ජනතාවගෙන් දුරස්ථ වූ ප්‍රභූ පැලැන්තියක් ලෙස ක්‍රියාත්මකවීම හේතුවෙන් ඔවුන් අප සමාජය තුළ සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහිව හෙජමොනික ව්‍යපෘතියක් යෝජනා කිරීමටද අසමත්වීමයි. ඒ නිසාම නිදහස් රාජ්‍යය නිර්මාණයේදී ජාතික චින්තන සිතිජයම අධිනිශ්චය විය. කුමාරි ජයවර්ධන සොක්කන් ලොක්කන් වූ වගයි (2000) කෘතියෙහි සඳහන් කරන ලෙසටම මෙම ධනපති පන්තියේ අසමත්භාවයට නිදසුන් බොහොමයක් දැක්විය හැකිය. ඇයගේ ප්‍රධාන තර්කයක් වන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදයේ නැගීම හා යටත්විජිත ධනේශ්වර පන්තිය අතර අනුග්‍රාහක සම්බන්ධතාවක් පැවති බවයි. 1919 මුස්ලිම්, සිංහල කෝලාහලයට මෙම පන්තියේ කොටස් විසින් දක්වන ලද සක්‍රීය දායකත්වයද ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාව රාජ්‍යය බලයෙන් පිටමං කිරීමද 56 ඓතිහාසික හවුලෙන් පිටත සිටි ධනේශ්වර පන්තිය ජාතිවාදී නොවේ යන මිථ්‍යාවෙහි සාවද්‍ය බව පෙන්නුම් කරයි. 1937 -38 වර්ෂයේදී බණ්ඩාරනායක හා සේනානායක හවුලේ ගෙන ආ ගම්සභා පනත මගින් වතුකර දෙමළ ජනතාව නම් කර ඉවත් කිරීම හා පසුකාලීනව පුරවැසි පනත මගින් වතුකර දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් උදුරා ගැනීම විසින් පෙන්වා දෙන්නේ ඓතිහාසිකව මෙම පන්තිය විසින් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේ කාර්යභාරයක් ඉෂ්ට නොකරන ලද බවත් ඒ සඳහා අවශ්‍ය වූ දේශපාලනික අධිෂ්ඨානය ඔවුන්ට නොතිබුණ බවත්ය. එපමණක්ද නොව සුළුතර ප්‍රජාවන් රාජ්‍යයෙන් පිටමං කිරීමේ පූරෝගාමීන්ද ඔවුහුය.

රනිල්ගේ පන්තිය විසින් නායකත්වය දෙන ලද පශ්චාත් ලිබරල්කරණ රාජ්‍යය විසින් මෙතෙක් 1956 ඓතිහාසික හවුල මගින් හෙජමොනික කරන ලද සිංහල බෞද්ධ රාජ්‍ය ව්‍යාපෘතිය අභිබවීම සඳහා විකල්ප දේශපාලනික හෙජමොනික ව්‍යාපෘතියක් ගොඩනැගීමට අසමත් වූවා පමණක් නොව 1983 ජූලි වැනි අන්ත ජාතිවාදී ක්‍රියාවලීන් එයට නිල රාජ්‍යය සහයෝගයද ලබා දෙන ලදි. ඒ අනුව 56න් මෙන්ම ඉන් එපිටින්ද සංවිධානය කළ ජාතිකවාදය මස්තක ප්‍රාප්ත කළේ පසුගිය රාජපක්ෂ පාලන සමයයි. 1977 සිට සංවර්ධනය අධිපති මතවාදයක් ලෙස වර නැගීමට රනිල්ගේ පන්තිය විසින් උත්සාහ කළද එය එතරම් සාර්ථක වී නොමැති බව අපගේ අදහසයි. රාජ්‍ය මෙන්ම පුද්ගලික ණයගැතිබව වර්ධනය වීම, සමාජ අසමානතා තීව්‍රවීම, පොදු සේවා පෞද්ගලිකකරණය කිරීමේ ව්‍යාපෘති නිසාවෙන් සංවර්ධනය පිළිබඳ නව ලිබරල් අදහස සූජාත කිරීමට මෙම පන්තිය දිගින් දිගටම අසමත්ය.
ඇත්ත වශයෙන්ම මේ සියලු හෙළුව වසා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහාය සපයන ලද්දේ වාමාංශය බවයි අපේ අදහස. එනම් උතුරේ ජනතාව විසින් මතු කරන ඉහත සඳහන් දකුණේ වාමාංශික දේශපාලනය අවිශ්වාස කිරීමේ තත්ත්වයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශය වගකිව යුතුය. එයට ප්‍රධාන හේතුව ලංකා රාජ්‍යයේ තිබෙන මූලික ප්‍රශ්නයක් වන ජාතික ප්‍රශ්නයට වාමාංශය ලෙස එය පිළිතුරක් නොසැපයීමය. යුද්ධයට සහාය දීම තුළ ඔවුන්ට තිබූ සුජාතභාවය පමණක් නොව ලංකාවේ සමස්ත වාමාංශයටම තිබූ සුජාතභාවය ඉඳුල් කරනු ලැබීය. කෙසේවුවත් ඔවුන්ට එම ජාතිවාදී පෙකෙනිවැල කපා ගැනීමට තවමත් ඉඩ හසර තිබේ. සංහිඳියාව පිළිබඳව වියුක්ත අදහස් දැක්වීමෙන් පමණක් එනම් ලිබරල්වාදීව අදහස් කීමෙන් පමණක් උතුර දිනාගැනීමට ඔවුන්ට නොහැකිය. ඒ වෙනුවට උතුරේ ජනයාගේ හා මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය සමග තමන් සිට ගන්නා බවත් එයට ඇති අවංකභාවයත් පෙන්නුම් කළ යුතු බව අපගේ අදහසය.

ඇත්ත වශයෙන්ම ඔවුනට උතුර ජයගත හැකි තවත් මගක් ඇත. එනම් රාජපක්ෂ කඳවුර විසින් නියෝජනය කරන්නට වෙර දරන දකුණේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමයි. මෙවර අනුර කුමාර නොකී දේ අතර සමාජවාදය පමණක් නොව සමාජ සුභසාධනයද වුයේය. ඔහු ඒ දෙකම නොකියන්නට වග බලා ගන්නා විට ඔවුනට මග හැරෙන්නේ උතුර පමණක් නොව දකුණද වේ. රාජපක්ෂලා විසින් අවාසනාවන්ත ලෙස අත්පත් කරගෙන ඇත්තේ පශ්චාත් 56 හෙජමොනික දේශපාලනික සැකැස්මෙහි වන සිංහල බෞද්ධ අනන්‍යතාවට මෙන්ම සුභ සාධන රාජ්‍යයටද ප්‍රමුඛත්වය දුන් දේශපාලන සිතීමයි. අප දත යුතු කරුණ වන්නේ බණ්ඩාරනායක විසින් සිංහල බෞද්ධ රාජ්‍යය සමග ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය හා සාමානාත්මතාව සඳහා පැවති අභිලාෂය මුහු කිරීම මගින් 56 ඓතිහාසික හවුලට පණ දෙන ලද මුත් ඇත්ත වශයෙන්ම සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව සඳහා වූ අභිලාෂය 56 න් පැන නගින්නක් නොවේ. 19 වන ශතවර්ෂයේ අවසානයේදි බිහිවන කම්කරු ව්‍යාපාරය මගින්ද පසුව 1930 දශකයේදී ආරම්භ වන ලාංකීය වාමාංශික ව්‍යාපාරය මගින්ද 56 වන විට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව පිළිබඳව වූ දේශපාලනික අභිලාෂයන් ප්‍රකාශයට පත් කර තිබිණි. 1953 හර්තාලය මෙම දේශපාලන අභිලාෂයේ ප්‍රබලතම මොහොතක් විය. අවාසනාවකට ඒ වාමාංශය සහ මේ වාමාංශය අතර පරතරය ලංකාවේ ජාතිවාදයේ සීමාවම වේ.

දකුණේ ප්‍රශ්නය 1977 සිට සංවර්ධනය අධිපති මතවාදයක් ලෙස වර නැගීම නිසාම රනිල්ගේ පන්තියත් රාජපක්ෂ පන්නයේ රාජ්‍ය කොන්ත්‍රාත් මත වර්ධනය වූ, සිංගප්පුරු සිහින දකින පන්තියේත් පැහැදිලි නිර්මාණයන් වේ. එමගින් අප රාජ්‍යයට උරුම කර දී ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්න තීව්‍ර කිරීම හා සමාජ අසමානතා තීව්‍ර කිරීමත්ය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෑතකාලීනව මග හරින ලද දකුණේ ජනයාගේ අති මූලික ප්‍රශ්න ඔවුන් වෙතට උතුරේ ජනයාගේ විශ්වාසය පලුදුවීමේ අනුලෝම සම්බන්ධය අප පිළිගත යුතු බව මාගේ අදහසයි.

ඔවුනට මග හැරුණු මෑතකාලීනව සමාජය ඉස්මත්තට ආ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය ඉතා විශාලය. එමගින් පීඩා විඳින ස්ත්‍රීන් සංඛ්‍යාව මිලියන දෙකකට ආසන්නය. ණය ප්‍රශ්නය නිසා සිය දිවි හානි කරගත් ස්ත්‍රීන් සංඛ්‍යාව 170 කි. ජාතික ජන බලවේගයට පැමිණි විශාල ජනකායකගේ ප්‍රශ්නයක් වන මේ පිළිබඳව අනුරට සිහියේ තිබුණු බවක් නොතිබිණි. අප විසින් මහ පාරේ අරගල කළ වතු කම්කරු ප්‍රශ්නය ඔවුන් සිය දේශපාලනයේ මූලික කරගත් බවක් නොපෙනුණි. ඒ වෙනුවට පසුගිය පශ්චාත් 2015 ඔවුන්ගේ අරගල සංවිධානය වී තිබුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වටාය. දේශපාලන ප්‍රතිසංස්කරණ අතර ඔවුන් සිරවී සිටි මුත් ජාතික ප්‍රශ්නය එහි මුලික නොවීම අප තේරුම් ගන්නේ කෙසේද? උතුරේ ඉඩම් කොල්ලකෑම, කුණු කළමනාකරණය නොවීම, වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය, පිරිසිදු ජලය පමණක් නොව මූලික වශයෙන් ජල ප්‍රශ්නය, වකුගඩු රෝගීන්ගේ ප්‍රශ්නය, වල් අලින් හා මිනිස් ගැටුම, පරිසර විනාශය, වගා හානිය, මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ආදී විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් ජනතා විමුක්ති පෙරමුණෙන් මග හැරුණු බව දකුණේ ජනතාව සිය ජයග්‍රහණයේ දිශාවට දිනා නොගැනීමේ තත්ත්වය පෙන්නුම් කරයි. ඊට වෙනස්ව රාජපක්ෂලා විසින් ජාතිවාදය හා ආගම්වාදයද පෙරදැරිව සමාජ සුබසාධන වාදයක නාමයෙන් අනුග්‍රාහක සේවා සම්බන්ධයක් පවත්වාගෙන යාමේ පොරොන්දුව දෙයි. ජනතාව දිනා ගැනීමේ මැතිවරණ වැඩපිළිවෙළෙහි මේ ප්‍රශ්න ජනතා විමුක්ති පෙරමුණට මග හැරීම හා සමාජ සුභසාධනය මග හැරීම විසින් ඔවුන්ට ගොඩ ඒමක් තිබිය නොහැකිය.

කෙසේ වුවත් අප විසින් මෙම උතුර හා දකුණු සැකැස්මේ ප්‍රශ්නය ලිහා දැමීමට යෝජනා කරන්නේ කුමන ආකාරයක දේශපාලනික සිතීමක්ද? ආර්ථික ප්‍රතිසංස්කරණ හා දේශපාලනික ප්‍රතිසංස්කරණ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කරණ කතිකාවක් වෙනුවට අප විසින් යෝජනා කරන්නේ දේශපාලන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව වූ පුළුල් පෙරමුණකි. ඉහතදී පැවසුවාක් මෙන් අවම වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධන ආර්ථික වැඩපිළිවෙළක් උදෙසා අරගල කරන පුරවැසි ව්‍යාපාරයක් මෙහි පූර්ව කොන්දේසියයි. 56ට පෙර අවධියේදී මෙම කාර්යභාරය සිදු කරන ලද්දේ එවකට පැවති නාගරික කම්කරු පන්තිය මත පදනම් වූ කොමියුනිස්ට් හා සමසමාජ ව්‍යාපාරයි. එසේ වුවද පසුකාලීනව මෙම පන්තිය දේශපාලනිකව බෙලහීන වීමත් මහේක්ෂ දේශපාලන පක්ෂවලට මෙම නාගරික කම්කරු පදනම උකහා ගැනීමත් නිසා මෙවැනි පෙරමුණකට පැවති සමාජ පදනම බරපතළ ලෙස ඛාදනය වී ඇත. එවැනි අභියෝගයක් අභිමුව වුවද අප විශ්වාස කරන්නේ අර්ථාන්විත දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරයක් විසින් ඇති කරනා විකල්ප දේශපාලනික ව්‍යාපෘතියකින් විනා ඓතිහාසිකව අසමත් වූ ප්‍රභූ පන්තියක් මත ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි දේශපාලනය පිළිබඳ අපේක්ෂා රොද බැඳිය නොහැකි බවයි. මේ යුගයේ අපට අවශ්‍ය ජාතික ජන බලවේගය වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම ආර්ථික අභිලාෂයන් එකවර නියෝජනය කරන්නක් මිසෙක ආර්ථික හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පසුවට කල්තබන්නක් නොවේ. උතුර මෙන්ම දකුණද දිනාගත හැකිවනු ඇත්තේ එවන් බලවේගයකට මිස මැතිවරණවලදී ජනතාව අන්දන ව්‍යාපාරයකට නොවේ. ජාතික ජනබලවේගයේ අප විශ්වාස කරන කණ්ඩායම්වල කාර්යභාරය විය යුත්තේ එම දිශාවට ජාතික ජන බලවේගය තල්ලු කරගැනීමයි.