සුවපත් වෛද්‍යවරුන් නොමැතිව ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් කුමට ද?

මහින්ද හත්තක

වැඩ නොකර සිටීමෙන් ජනතාවට, විශේෂයෙන්ම රෝගී ජනතාවට වඩාත්ම බලපෑමක් කළ හැකි වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පසුගිය දා පැය විසි හතරක අනතුරු හැඟවීමේ වැඩ වර්ජනය “සාර්ථක” ලෙස නිම කෙළේය. වෙනත් වැඩ වර්ජනවල දී මෙන් නොව මෙම වැඩ වර්ජනයේ දී අපවාදයට ලක් වුවත් ආණ්ඩුවට මූල්‍යමය වශයෙන් අවාසියක් සිදුවන්නේ නැත. ඒ වෙනුවට දවසකට හෝ රෝගීන් වෙනුවෙන් වියදම් කෙරෙන මුදල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ආණ්ඩුවට කිසියම් ආකාරයක ඉතුරුවක් විය හැකිය. එම නිසා රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයෙන් වැඩියෙන්ම අපහසුවට, සමහරවිට මරණයට පවා පත්වන්නේ සාමාන්‍ය ජනතාවය. රජයේ වෛද්‍යවරුන්ට ආණ්ඩුවට බලපෑම් කළ හැකි වන්නේ ජනතාව අපහසුවට ලක් කිරීමෙනි. පුද්ගලයන් මානසිකව සහ ශාරීරිකව පීඩාවට පත් කිරීමෙන් ප්‍රීතියට පත්වීම රෝග ලක්ෂණයක් ලෙස සමාජ විද්‍යාවේ ද ඉගැන්වන කරුණකි.

කෙසේ වුවත් මූලික සෞඛ්‍ය ආරක්ෂණය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කර ඇති ඇස්ටානා ප්‍රකාශනය අනුව රටක ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය මූලික වශයෙන්ම රජයේ වගකීමකි. එම ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට රටක සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අවසාන වගකීම රඳා පවතින්නේ එරට ආණ්ඩුව මත ය. ජනතාවගේ සුභ සිද්ධිය සඳහා සෞඛ්‍ය පද්ධතිය පරීක්ෂාකාරීව සහ වගකීමෙන් කළමනාකරණය යහපාලනයක මූලික හරයයි. එමෙන්ම වසර 2000 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ පෙරවදනේ සඳහන් වන ආකාරයට සෞඛ්‍ය පද්ධතියකට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වනු පමණක් නොව රෝගී තත්ත්වයක මූල්‍යමය පිරිවැයෙන් ජනතාව ආරක්ෂා කිරීම ද ඇතුළත් ය. ඒ අනුව නිදහස් සෞඛ්‍ය සේවයක් පවත්වා ගැනීම ආණ්ඩුවේ මූලික වගකීමකි. ඊට අමතරව පෞද්ගලික රෝහල් විශාල ලාභ උපයන ව්‍යවසායන් බවට පත්ව ඇති අද ඒවායේ සේවයේ ගුණාත්මකභාවය මෙන්ම මූල්‍යමය පිරිවැය ගැන සැලකිලිමත්වීම හා අධීක්ෂණය ද ආණ්ඩුවේ වගකීමකි.

පිවිසුමක් වශයෙන් අපට මෙම කරුණු සඳහන් කිරීම වැදගත් වන්නේ වෛද්‍ය විද්‍යාවේ මෙන්ම වෛද්‍ය වෘත්තිකයන් තුළ පැවතිය යුතු සාරධර්ම තදබල සෝදා පාළුවකට ලක්ව ඇති නිසාය. පසුගිය සතියේ රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට පදනම් වූ ඉල්ලීම් හතෙන් පහක්ම අදාළ වන්නේ ඔවුන්ගේ සේවා තත්ත්වයට අදාළ කරුණුය. ඉන් දෙකක් සෞඛ්‍ය සේවයට අදාළ නිසා ඒවා ජනතාව අතර සංවාදයට ලක් කිරීම ඉහත සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍ය යැයි හැඟේ.

වෛද්‍ය සංගමයේ ඉල්ලීම්වලින් පළමුවැන්න ආණ්ඩුවේ රෝහල්වලට සැපයෙන ඖෂධ වර්ගවල ගුණාත්මක භාවය ගැනය. අනිත් කාරණය වෛද්‍ය අධ්‍යාපනය සඳහා පැවතිය යුතු අවම ප්‍රමිතීන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සම්බන්ධයෙනි. ගුණාත්මක භාවයෙන් අඩු ඖෂධ රෝහල්වලට සපන්නේය යන චෝදනාව නිතර නැගෙන්නකි. නිෂ්පාදනය සහ බෙදාහැරීම විශාල ලාභ ලබන බහුජාතික ව්‍යාපාරයක් බවට පත්ව ඇති තත්ත්වයක් යටතේ ඖෂධ ගුණාත්මක භාවයෙන් අඩුයැයි වර්ග කිරීමට බොහෝ විට පදනම් වන්නේ වෙළෙඳ නාමයන් ය. බටහිර ඖෂධ සමාගම් සපයන පේටන්ට් බලපත්‍රවලින් ආරක්ෂා වන ඖෂධ ගුණාත්මක භාවයෙන් උසස්යැයි හැඟීමක් රෝගීන් තුළ මෙන්ම සමහර වෛද්‍යවරුන් තුළ ද පවතී. රෝගීන් තුළ එම මතය තහවුරු වන්නේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ නිසාය. මෙවැනි ඖෂධ සඳහා අධික මුදලක් ගෙවීමට සිදුවන බව කවුරුත් දන්නා කාරණයකි. ජගත් සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට මූල්‍යමය පිරිවැයෙන් රෝගියා ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි. රෝගීන්ට ඖෂධ නියම කිරීම වෛද්‍යවරුන් සතු කාර්යක් නිසා ගුණාත්මක භාවයට අමතරව මූල්‍යමය පැත්ත ගැන අවධානය යොමු කිරීමේ වගකීමක් වෛද්‍යවරුන් සතුව පවතින අතර ඒ සඳහා ආණ්ඩුවේ මගපෙන්වීම් ද තිබිය යුතුය.

පුද්ගලික රෝහල්වලින් ලබාදෙන සෞඛ්‍ය සේවා පිළිබඳව ප්‍රමිතියක් සහ මිල නියම කිරීමක් සඳහා මීට මාස කීපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උත්සාහයක් ගෙන තිබිණ. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විශාලම රෝහල් සමාගම් කීපයක් ඊට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ. මෙම රෝහල් සමාගම් ද වැඩ වර්ජනයේ යෙදුන වෛද්‍යවරුන් මෙන් සෞඛ්‍ය සේවය මනා ලෙස පවත්වා ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීමක් නොවිය යුතුයැයි තර්ක කළ නිසා පෙත්සම ඉදිරිපත් කළ රෝහල් සමාගම්වලින් එකක් පිළිබඳව මගේ පුද්ගලික අත්දැකීමක් සඳහන් කිරීම වැදගත්යැයි සිතමි.

මගේ ආබාධයක් සම්බන්ධයෙන් අල්ට්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයක් කළ යුතුයැයි මා පරීක්ෂා කළ වෛද්‍යවරයා නිගමනය කළ නිසා මම එම ප්‍රකට පෞද්ගලික රෝහල වෙත ගියෙමි. එම පරීක්ෂණය සඳහා වෛද්‍යවරයාගේ ගාස්තු ද ඇතුළත්ව රුපියල් හාරදහසක් ගෙවීමට සිදුවිය. මගේ රෝගී තත්ත්වය උග්‍ර වූ බැවින් දින කීපයකට පසු මට හදිසියේම ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීමට සිදු විය. එහිදී ද මට අල්ට්‍රාසවුන්ඞ් ස්කෑන් පරීක්ෂණය කළ අතර ලැබුණු ප්‍රතිඵලය කලින් පෞද්ගලික රෝහලෙන් ලබා ගත් වාර්තාවෙන් වෙනස් වූයේ නැත. වෙනස් වූයේ ගෙවීමට සිදුවූ මිලෙන් පමණි. රුපියල් හාර දහසක් පෞද්ගලික රෝහලට ගෙවීමට සිදු වුවත් ජයවර්ධනපුර රෝහලට ගෙවීමට සිදුවූයේ රුපියල් තුන්සිය පනහක් පමණි.

එකම පරීක්ෂණයක් සඳහා අය කළ මිල ගණනේ මෙතරම් විශාල පරතරයක් ඇතිවන්නේ කෙසේද? පෞද්ගලික ආයෝජනයක් නිසා එම රෝහල් ව්‍යවසායෙන් ලාභ උපයා ගෙන කොටස් හිමියන් සතුටට පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ පිළිගත හැකිය. එම ආයෝජකයන්ගේ අරමුණ වන්නේ ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලබා ගැනීමය. වත්මන් ව්‍යවහාරය අනුව එය කර්මාන්තයකි. ලාභ උපයන්නේ නැතිනම් එම කර්මාන්තය ව්‍යාපාරයක් වශයෙන් පවත්වා ගැනීමේ ආර්ථික අවශ්‍යතාවක් නැත. එහෙත් මෙවැනි සූරාකෑමකට ඉඩ සැලසීම ධනවාදී අර්ථ ක්‍රමය යටතේ පවා නොඉවසන තත්ත්වයකි. රුපියල් තුන්සියයත් හාර දහසත් අතර ඇති පරතරය තේරුම් ගැනීමට ආර්ථික විශේෂඥතාවක් අවශ්‍ය නැත.

මා මෙම කරුණ ඉදිරිපත් කෙළේ ජයවර්ධනපුර රෝහලේ සේවා තත්ත්වය අගය කළ යුතු මට්ටමක පවතිනබව අවධාරණය කිරීම සඳහාම නොවේ. ආණ්ඩුවේ ආයතනයක් ලෙස රෝගීන්ට ලබාදෙන සේවයේ ගුණාත්මක භාවය ගැන නොයෙකුත් චෝදනා පවතින බව සැබවි. එවැනි තත්ත්වයන් තුළ පවා මෙවැනි වෙනසක් පැවතීමෙන් පෙනී යන්නේ අපේ සෞඛ්‍ය පද්ධතිය ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොමුව ඇති ආකාරය කිසිසේත් සතුටුදායක තත්ත්වයක නොපවතින්නේය යන්නයි.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ අනෙක් ඉල්ලීම, වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතීන් නියම කිරීම ද සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් කරුණකි. වෛද්‍ය සංගමය ප්‍රමිතිය යනුවෙන් අදහස් කරන්නට ඇත්තේ උසස් පෙළ විභාගයේදී ලබා ගන්නා ලකුණු මට්ටම විය හැකිය. සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නගන ලද බරපතළ චෝදනාවක් වූයේ උසස් පෙළ විභාගයේ දී අඩු ලකුණු ලබා ගත් අයටත් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්නේය යන්නයි. එවැනි අය වෛද්‍ය වෘත්තියට පිවිසීමෙන් සේවයේ ගුණාත්මක භාවය පිරිහීමට ලක්ව සෞඛ්‍ය සේවය අනතුරට ලක්වනු ඇතැයි වෛද්‍ය සංගමයේ තර්කය විය. මෙම ප්‍රමිතිය ගැන කතා කිරීමේ දී අමතක කරන වැදගත්ම කාරණයක් වන්නේ ලකුණු මට්ටමට අමතරව ආකල්ප පිළිබඳ ඇගයීම ද සේවයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට අවශ්‍ය බව අමතක කිරීම ය. ඉහළ ලකුණු මට්ටම් ලබා ගෙන ඇති නමුත් ආකල්පමය වශයෙන් වෛද්‍ය වෘත්තියට කිසිසේත් නොගැළපෙන අය අද වෛද්‍ය සේවයේ යෙදී සිටින බවට අපමණ සාක්ෂි පවතී.

තම වෘත්තියේ පවත්වා ගත යුතු ආචාර ධර්ම හෝ රෝගියෙකු කෙරේ අවම වශයෙන් පැවැත්විය යුතු අනුකම්පාව සහ දයාව නැති වෛද්‍යවරුන් ද සිටින බව පැහැදිලි කිරීමට තවත් අත්දැකීමක් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි. මගේ මිතුරෙකු කිසියම් ආබාධයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනිමේ දී ප්‍රකට පෞද්ගලික රෝහලකට ඇතුළුවී ආර්ථික මෙන්ම ශාරීරිකව ද ලත් හානිය සැලකිල්ලට ගෙන පසුගිය දා රජයේ ශික්ෂණ රෝහලකට ඇතුළු වූයේය. ශික්ෂණ රෝහලක සේවය අනෙක් ඒවාට වඩා උසස්යැයි විශ්වාසයක් තිබීම ද ඔහුගේ තීරණයට හේතුවන්නට ඇත.

ඔහුගේ රෝගී තත්ත්වය පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා ඔහුට කිසියම් එන්නතක් නොකඩවා දින දහයක් ලබාදීිමට නියම කෙළේය. එහෙත් දින තුනක් එම එන්නත ලබා දීමෙන් පසුව තොග අවසන්වීම නිසා ඔහුට වෙනත් එන්නතක් නියම කෙරිණ. එම එන්නත ලබා දීමේ දී සමහර සංකූලතා මතුවිය හැකි බැවින් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයාට දැනුම් දිය යුතුයැයි අනතුරු හැඟවීමක් කර තිබිණ. දින තුනකට පසුව අනතුරු හැඟවූ ආකාරයටම සංකූලතා මතු වූ නිසා ඔහු වහාම වෛද්‍යවරයාට දැනුම් දුන්නේය. ඒ සමගම කලින් නියම කරන ලද එන්නත රෝහලේ නැතිනම් එය පිටතින් ලබා ගැනීමට ලියා දෙන ලෙස ද ඔහු ඉල්ලීමක් කෙළේය. එහෙත් සිදුවූයේ සංකූලතා ඇති වූ එන්නත නතර කිරීම පමණි. දින කීපයකට පසු ඔහුව රෝගී තත්ත්වය යටතේම රෝහලෙන් නිදහස් කෙරිණ. ඇඳ හිස පතේ සඳහන් වූයේ රෝගියාගේ ඉල්ලීම පරිදි නිදහස් කළ බවය.

මෙම විශේෂඥ වෛද්‍යවරයා සයිටම් වෛද්‍ය විද්‍යාලය ඇරඹීමට පෙර වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය නිම කොට වෘත්තියට පිවිසි අයෙකු නිසා ඔහු උසස් පෙළ විභාගයේ දී ලබා ගත් ලකුණු මට්ටම ගැන ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවක් නැත. නිසැකයෙන්ම ඔහුට ඉහළම ලකුණු තිබෙන්නට ඇත. මූලික වෛද්‍ය අධ්‍යාපනයෙන් පසුව පශ්චාත් වෛද්‍ය සුදුසුකම් ලබා ගැනීමෙන් ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ ප්‍රායෝගික නිපුණතා ගැන ගැටලුවක් තිබිය නොහැකිය. එහෙත් ඔහු නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන හිපොක්‍රටීස් අනුදක්නා ලද ආකාරයේ වෛද්‍යවරයෙක් ද යන ප්‍රශ්නය අපට පවතී. පීඩාකාරී රෝගී තත්ත්වයක් යටතේ වෛද්‍යවරයෙකුගේ පිළිසරණ පතා යන රෝගියෙකුට ඔහුගේ රෝගයේ ස්වභාවය, ප්‍රතිකාර කළ යුතු ආකාරය පැහැදිලිව සරල ආකාරයෙන් කියාදීමට කාර්ය බහුල නූතන වෛද්‍යවරයාට අවස්ථාවක් හෝ විවේකයක් නැති බව සාමාන්‍යයෙන් දන්නා කරුණකි. එහෙත් ඔහු නියම කරන ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව ඔහුට වගකීමක් සහ වගවීමක් පවතින බව බැහැර කළ නොහැකිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල්වලට සපයන ඖෂධවල ගුණාත්මකභාවය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන උද්ඝෝෂණය කළත් ඔවුන් ලබාදෙන සේවයේ ගුණාත්මකභාවය සහ එහිදී පැවතිය යුතු ආචාර ධර්මතා ගැන නිසි සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. ඇත්තෙන්ම සමහර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මෙම චෝදනාව කිසිසේත් අදාළ නොවන නමුත් සමස්තයක් වශයෙන් අද වාණිජකරණයට දැඩිව ලක්ව ඇති වෛද්‍ය සේවාව සම්බන්ධයෙන් පවතින්නේ එවැනි ආකල්පයකි.

අද රාජ්‍ය පරිපාලනයේ අනෙකුත් අංශවල මෙන්ම සෞඛ්‍ය පරිපාලනයේ විවිධ මට්ටමේ අක්‍රමිකතා සහ දූෂණ පවතින බව සැබවි. එහෙත් සෞඛ්‍ය සේවයේ පවතින පිරිහීමට එම ගරු කටයුතු වෘත්තියේ යෙදී සිටින වෘත්තිකයන් ද වගකිව යුතුය. බොහෝ වෛද්‍යවරුන්ට ඔහුගේ හෝ ඇයගේ සේවය අපේක්ෂාවෙන් පැමිණෙන රෝගියා වෙළෙඳපොළේ සිටින තවත් පාරිභෝගිකයෙකු පමණි. ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ වැදගත් වන්නේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සපුරාලීමට අමතරව එම ගනුදෙනුවේ දී ලාභයක් උපයා ගන්නේ කෙසේද යන්නයි. වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ සාමාන්‍ය ලාභයක් නොව විශාල ලාභයක් ඉපිදවීම තරගකාරිත්වයෙන් ජය ගැනීමට අත්‍යවශ්‍ය සාධකයකි. නූතන තාක්ෂණය සහ විද්‍යාත්මක දැනුම වෛද්‍ය සේවය සම්බන්ධයෙන් යොදා ගන්නේ ලාභය උපරිම කර ගැනීමට විනා සේවයේ ගුණාත්මක භාවය සහ ඵලදායිතාව ඉහළ නැංවීමට නොවේ.

එම නිසා වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමේ දී ප්‍රමිතියක් පවත්වා ගැනීමට අමතරව වෛද්‍ය වෘත්තියේ යෙදීමේදී ද ප්‍රමිතියක් පවත්වා ගත යුතුය. වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය යනු විභාග සමත්වීම පමණක් නොවේ. වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් වෘත්තියට අදාළව පවතින ආචාර ධර්ම රැක ගැනීමට කැපවීමක් තිබිය යුතුය. එහෙත් අවාසනාවකට මෙන් අද වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින බොහෝ වෛද්‍යවරුන්ට එවැනි කැපවීමක් තිබේද යන්න සැක සහිතය. ඉතාමත් රළු වශයෙන් ඔවුන්ගේ කැපවීම ඇත්තේ තම වෘත්තීය දැනුම යොදා ගෙන හැකිතාක් ඉක්මනින් මහා ධනවතුන් බවට පත්වීමය. වෘත්තිය ඔවුන්ට වැදගත් වන්නේ එම ආශාව මුදුන්පත් කර ගැනීමටය. ඔවුන් ප්‍රමිතීන් ගැන කතා කරන්නේ එම වෙළෙඳපොළට පිවිසෙන අය සීමා කිරීමට සහ පාලනය කිරීමට ය. ඒ අනුව මෙම වෛද්‍යවරුන් ද ධනය හා බලය රැස්කර ගැනීමේ ආශාවෙන් පෙළෙන රෝගීන් ය. රෝගි මනසකින් පෙළෙන ඔවුන්ගෙන් උසස් සේවාවක් බලාපොරොත්තු විය නොහැකිය. එම නිසා පළමුවෙන්ම කළයුත්තේ වෛද්‍යවරයා සුවපත්වීම ය. එසේ සුවපත් වෛද්‍ය වෘත්තික පරපුරක් බිහි නොකර විභාග සමත්වීමෙන් පමණක් ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සේවයක් සාක්ෂාත් කර ගත නොහැකි අතර හෝ සුවපත් වෛද්‍යවරුන් බිහිවනු ඇතැයි පැතිය නොහැකිය. එම නිසා අපගේ ඉල්ලීම විය යුත්තේ ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සේවයක් සහ සුවපත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වැඩපිළිවෙළකි.