රාජ්‍ය හා බුල්ඩෝසරය

වික්ටර් අයිවන්

ලංකාවේ රාජ්‍ය හිත් පිත් නැති, මොළේද නැති බුල්ඩෝසරයකට සමාන කළ හැකිය. එය විනාශ කරන්න මිස නිර්මාණය කරන්න දන්නේ නැත. තලා පොඩි පට්ටම් කරන්නට මිස ප්‍රතිසංස්කරණයද දන්නේද නැත.
ලංකාවේ ජනතාව ලංකාවේ කුණු කඳු අසල ජීවත් වන ජනතාවට සමාන කළ හැකිය. කුණු කඳු අවට ජීවත් වන ජනයා තමන්ගේ ජීවිතවලට බලපාන පරිදි කුණු ගොඩ ගසනවාට කැමති නැත. ආරම්භක අවස්ථාවේදී තමන්ගේ තම දූදරුවන්ගේ ජීවිතවලට බලපාන ආකාරයට තමන් ජීවත් වන ප්‍රදේශයේ කුණු ගොඩ ගසනවාට කොළොන්නාවේ ජනතාව මෙන් විරුද්ධ වන්නට ඇත. එහෙත් එම තත්ත්වයට එරෙහිව පළකරන විරෝධතා නොසලකා බලහත්කාරයෙන් කුණු ගොඩ ගසන ප්‍රතිපත්තිය මත පිහිටා ක්‍රියාකරන විට එම තත්ත්වය ඉවසනවා හැර තෝරාගත හැකි අන් මාර්ගයක් නැති අසරණ තත්ත්වයකට ඔවුන්ද පත්වන්නට ඇත. ඒ සමග කුණුවලින් හමන දුගඳ, ආහාර අනුභව කරන විට කන පිඟානට වසන මැස්සන්ද සමග ජීවත් වන ඒ ජීවිතයට හුරු පුරුදු වූ මිනිසුන් බවට පත්වන්නට ඇත.

සංකේතාත්මක අර්ථයෙන් ගත්විට ලංකාවේ පුරවැසියන්ගේ ජීවිත ද කුණු ගොඩවල් අවට ජීවත් වන මිනිසුන්ගේ තත්ත්වයට සමානය. රටේ දේවල් සිදුවන්නේ මිනිසුන් පීඩාවට පත් කරන ඔවුන්ගේ මනුෂ්‍ය ගෞරවය කෙළසන ආකාරයටය. රටේ සියලු දේවල් සිදුවන්නේ රාජ්‍ය කුණු කසළ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තියට සමාන ආකාරයකටය. රටේ සිදුවන සියලු විනාශකාරී අවලස්සන දේවල් ඉවසා දරාගෙන සිටීමට රටේ පුරවැසියන්ට සිදුවී තිබේ.

ඒ ගැන කෙරෙන සොයා බැලීම අපට ලංකාවේ කුණු කසළ ප්‍රශ්නයෙන්ම ආරම්භ කළ හැකිය.

කුණු කසළ ගැටලුව

ලංකාව වාර්ෂිකව ඉවත දමන කුණු කසළවල ප්‍රමාණය ටොන් මිලියන 2.3ක් ලෙස සැලකේ. ඉන් සියයට 60ක්ම බස්නාහිර පළාතෙනි. රටක කුණු කසළ ප්‍රශ්නය මහජනයාගේ ආධාර ඇතිව විසඳාගත යුතු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකි වුවද ඒ සඳහා මහජනයාට අවබෝධය ලබාදෙන වැඩසටහන් ඇත්තේම නැති තරම්ය. කුණු කසළ වර්ග කොට භාරදෙන ක්‍රමයක්ද ක්‍රියාත්මක වන්නේ නැත. කුණුවලින් පොහොර, ජීව වායු හෝ බලශක්ති නිපදවන උපාය මාර්ගයක්ද ලංකාවට නැති අතර, කුණු කසළ සම්බන්ධයෙන් අනුගමනය කරන ජනප්‍රිය පිළිවෙත වී තිබෙන්නේ ගොඩ ගැසීම සඳහා තෝරාගත් ස්ථානයක කුණු ගොඩ ගැසීමය. මිලියන 24ක ජනගහනයක් සිටින ඕස්ටේ්‍රලියාව වසරකට ඉවතලන කුණු කසළ ප්‍රමාණය ටොන් මිලියන 45ක් වන අතර මිලියන 21ක ජනගහනයක් සහිත ලංකාව වසරකට බැහැර කරන කුණු කසළ ප්‍රමාණය ටොන් මිලියන 2.3කි. ලංකාවට සාපේක්ෂව බලන විට ඕස්ටේ්‍රලියාව වසරකට බැහැර දමන කුණු කසළ ප්‍රමාණය ලංකාවේ මෙන් 19 ගුණයක් තරම් විශාලය. ඕස්ටේ්‍රලියාව ඒ රට නිපදවන සියලු කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණයකට ලක් කිරීමට සමත් වී ඇතත් ලංකාව නිපදවන කුණු කසළ ප්‍රමාණය ඉතා පුංචි වුවත් ඒවා සාර්ථක ලෙස ප්‍රතිචක්‍රීයකරණයකට ලක් කිරීමට හෝ වෙනත් ආකාරයකට එය විසඳා ගැනීමට හෝ සමත් වී නැත. අපේ රටේ පාලකයන්ගේ අසමත්කමේ, අඥානභාවයේ හා නොසැලකිලිමත්කමේ තරම ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය.

කොළොන්නාවට මාරුවන්නට පෙර කොළඹ ලොකුම කුණු කන්ද තිබුණේ කොටහේනේය. 2009 මාර්තුවලදී එහි ඇතිවූ පිපිරීමත් නිසා අධිකරණය ලබාදෙන ලද නියෝගයක් අනුව එහි කුණු ගොඩ ගැසීම නතර කොට ඒ වෙනුවට කොළොන්නාවේ තෝරා ගත් තැනක කුණු ගොඩගසන පියවරකට යන්නට සිදුවිය. ඒ සඳහා අධිකරණ තීන්දුවක්ද දෙන ලද අතර තාවකාලික පදනමක් මත එහි කුණු ගොඩ ගැසීමට වෙන් කළ භූමිය අක්කර දෙකක් විය. 2017 අප්‍රේල් 14 වැනිදා කුණු කන්ද පිපිරී මහා ඛේදවාචකයක් සිදුවන අවස්ථාව වන විට කුණු කන්දේ වපසරිය අක්කර 21ක් දක්වා විශාල වී එහි උස අඩි 300ක් දක්වා ඉහළ නැග තිබුණි. අවසානයේ ලංකාව කුණු කඳු කඩා වැටී මිනිස්සු මිය යන රටක් ලෙස ඉතිහාසයට එකතු විය.

විසඳුම් සෙවීමෙන් වැළකීම

කොළොන්නාවේ සිදුවූ මහා ඛේදවාචකයෙන් පසුවවත් ලංකාව කුණු කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයන තැනකට ගියේ නැත. ඒ වෙනුවට කළේ තැන වෙනස් කොට පුත්තලමේ තෝරා ගත් තැනක කුණු ගොඩ ගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමය. මුලදී කීවේ කුණු ගොඩ ගසන තැන දක්වාම ඒවා දුම්රියෙන් ප්‍රවාහනය කරන බවය. එහෙත් දැන් ඒවා ප්‍රවාහනය කරමින් තිබෙන්නේ ටිපර් රථවලිනි. දිනකට කුණු ප්‍රවාහනය සඳහා ටොන් 10 ටිපර් 30ක් යොදා ගන්නා අතර කිලෝමීටර් 340ක් වන යන එන ගමන සඳහා ගෙවන ගාස්තුව එක් ටිපරයක් සඳහා රුපියල් ලක්ෂයකි. දිනක නගර සභාවේ කුණු ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 30කි. කුණු කිලෝවක ප්‍රවාහන වියදම පමණක් රුපියල් 10කි. එකතු කිරීමේ ගාස්තුවද ඊට එකතු කළ විට කුණු කිලෝවක වියදම රුපියල් 20ක් පමණ විය හැකිය.

ලංකාව කවර මට්ටමකින්වත් කුණු කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළක් ගැන බැරෑරුම් ලෙස සලකා බලා නැත. කුණු කසළ ප්‍රශ්නය විසඳා ගැනීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම සලකා ජාතික මට්ටමෙන් ජනතාව දැනුවත් කරන වැඩසටහනකට පවා අත ගසා නැත. මෙය කුණු ප්‍රශ්නයට පමණක් ආවේණික විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකි අතර එය ලංකාව සියලුම වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය ලෙස සැලකිය හැකිය.

රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමය තිබෙන්නේ අතිවිශාල අවුලකය. පාසල් ක්‍රමය ක්‍රියාත්මකවන්නේ ඇති හැකි අයට හොඳ පාසල්ද, නැතිබැරි අයට කසිකබල් පාසල්ද ලබාදෙන ක්‍රමයකටය. 1 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ළමුන් අධ්‍යාපනය ලබන්නේ කටපාඩම් කරන ක්‍රමයකටය. කටපාඩමින් උගන්වන ක්‍රමයක් ක්‍රියාත්මක වූයේ ලිඛිත භාෂාවක් නොතිබූ වන පොත් කිරීමෙන් හැර තිබෙන දැනුම අනාගත පරම්පරාවට උරුම කිරීමට වෙනත් මගක් නැති කාලයකදීය. අප ජීවත්වන්නේ 21 වැනි සියවසේ වුවත් ලංකාවේ ළමුන් ඉගෙන ගන්නේ කට පාඩමිනි. කටපාඩම මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක් පාසල් ළමුන්ට ඇති කරන හානිය කවර මට්ටමකින්වත් සැලකිල්ලට ගෙන නැත. ළමුන්ට උගන්වන ක්‍රම හා ළමුන්ට උගන්වන දේවල් ද ළමුන් ඉගෙන ගන්නා ක්‍රම සේ ම ඉගෙන ගන්නා දේවල්ද හොඳටම පසුගාමීය. අධ්‍යාපනය රටේ අනාගතය කෙරෙහි බලපාන වැදගත්ම සාධකය ලෙස සැලකිය හැකි වුවත් ලංකාවේ අධ්‍යාපනය තිබෙන්නේ ඉතාමත් පසුගාමී යල්පැනගිය තත්ත්වයකය. තිබෙන ක්‍රමය බාහිර වශයෙන් අලංකාර කරමින් පවත්වාගෙන යනවා හැර නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර ගැනීමේ උනන්දුවක් පාලකයන්ට හෝ අධ්‍යාපන බලධාරීන්ට නැත.

ලංකාවේ කෘෂිකර්මය තිබෙන්නේද උපරිම මට්ටමේ පරිහානියකය. කෘෂිකර්මය සඳහා වෙන් කළ ඉඩම්වලින් වැඩිම පංගුවක් වෙන්කර තිබෙන්නේ ආර්ථික වශයෙන් අඩුම ඵලදායී බෝග වගාවක් ලෙස සැලකිය හැකි වී ගොවිතැන සඳහාය. තේ, පොල්, රබර් වගාවන් සඳහා හෙක්ටයාර් 732442ක්ද, වෙනත් ක්ෂේත්‍ර භෝග වගාවන් සඳහා හෙක්ටයාර් 146181ක්ද, හේන් ගොවිතැන සඳහා හෙක්ටයාර් 284025ක්ද යොදා ගන්නා විට වී ගොවිතැන සඳහා යොදාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 922025කි. වී ගොවිතැනින් කන්නයකට උපයාගත හැකි ආදායම තිබෙන්නේ ගොවියා වාසනාවන්ත වෙතොත් කන්නයකට රුපියල් 40,000ක් පමණය. තෙත් කලාපයේ කුඹුරු ඉඩම්වලින් සැලකිය යුතු තරම් ලොකු පංගුවක් තිබෙන්නේ වී වගා නොකරන හා වෙනත් වගාවන්ද නොකරන තත්ත්වයකය. වී ගොවීන්ට වී ගොවිතැනින් ලැබෙන්නේ ඉතාමත් පහත් ආදායමකි. වියළි කලාපීය ගොවි ජනපදවල ගොවීන්ට ගොඩ ඉඩම්වලින් ආදායම් උපයා ගැනීමට තිබෙන හැකියාවද වන සතුන්ගෙන් එල්ල වන තර්ජන නිසා බොහෝ දුරට අහිමි වී තිබෙන්නේ යැයි කිව හැකිය. වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන හානිය සියයට 40ක් තරම් විශාල බවට ගණන් බලා ඇතත්, කෘෂිකර්මයට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් දැන් දීර්ඝ කාලයක් තිස්සේ රජය පවත්වාගෙන යන මෝඩ උපාසක ආකල්පය නිසා වන සතුන්ගෙන් කෘෂිකර්මයට එල්ල වී තිබෙන අභියෝගය කළමනාකරණය කරගැනීමට ලංකාව අසමත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. කෘෂිකර්මයේදී ලංකාවේ පාලකයන් කල්පනා කරන්නේ මහා පරාක්‍රමබාහු රජු ඒ කාලයේදී කල්පනා කළ ආකාරයටමය. ලංකාව හාල් කිලෝවක් නිපදවීම සඳහා යොදා ගන්නා වතුර ප්‍රමාණය ලීටර් 600කි. ලංකාව නවීන කෘෂිකර්මයකට මාරුවීමේ අවශ්‍යතාව මුළුමනින් නොසලකා තිබෙන රටක් ලෙස සැලකිය හැකිය.
ලංකාවේ ගොවි ජනතාවගේ තත්ත්වය ඉතාමත් ඛේදජනක වන අතර ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට අසුවී සිටින ගම්බද කාන්තාවන්ගේ තත්ත්වය ඊටත් වඩා ඛේදජනකය.

වර්ග, කුල, ආගම් ප්‍රශ්නය

ලංකාවේ වර්ග, කුල, ආගම් ප්‍රශ්නය ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණවලින් තොරව දිගින් දිගට කුණුවෙන්නට ඉඩහැර තිබෙන තවත් ප්‍රධාන පුපුරනසුලු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මේ ප්‍රශ්නය නිදහසේ සිටම ජාතිය ගොඩ නගා ගැනීමට අසමත්වීම තුළ ඇතිවී වර්ධනය වී ප්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට බලපෑ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. යටත්විජිත තත්ත්වයෙන් අත්මිදීමත් සමග ජාතික රාජ්‍යයේ යහපැවැත්ම සඳහා ලංකාවේ විවිධ ජනවර්ගවලට අයත් ජනයාට, විවිධ කුලවලට අයත් ජනයාට හා විවිධ ආගම්වලට අයත් ජනයාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ප්‍රවේශයක් තුළ සමාජය ඒකාග්‍ර කොට නූතන ජාතිය ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත් එම අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට ලංකාව සමත් නොවීය.

70 දශකයේ මුලදී හා 80 දශකයේ අගදී ඇතිවූ සිංහල තරුණ කැරලි දෙකක් දශක තුනක් තරම් කාලයක් එක දිගට පැවති දෙමළ තරුණ කැරැල්ලත් 2019 වසරේ පාස්කු ඉරිදා ඇතිවූ මහා ඛේදවාචකයන් ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ ඇතිවූ මහා ලේ වැගිරීම් ලෙස සැලකිය හැකිය. ලංකාවේ රාජ්‍ය දැන සිටියේ එම කැරලි අනුකම්පා විරහිතව බුල්ඩෝසර් කිරීමට පමණය. එම කැරලි පරාජය කළ යුතුව තිබුණු කැරලි බවට සැකයක් නැත. එහෙත් ඒ සමග රාජ්‍ය ඒ කැරලි කෙරෙහි බලපෑ හේතු සොයා බලන තැනකට යමින් ඒ කැරලිවලට බලපෑ හේතුවලට පිළියම් යොදන තැනකට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කරන තැනකට යා යුතුව තිබුණි.
එම කැරලිවලින් සිංහල දෙමළ සමාජවල අතිවිශාල තරුණ පිරිසක් මිය ගියේය. ඒ සමග ඒ කැරලිකරුවන් හා ආරක්ෂක හමුදා අතර පැවති ප්‍රචණ්ඩ ගැටුම් නිසා එක දිගට දශක තුනක් තරම් කාලයක් ලංකාව පැවතියේ උපරිම මට්ටමේ අශීලාචාර තත්ත්වයකය. සටන් වැදුණු දෙපිරිස උපරිම මට්ටමේ කෲරත්වයක් සමාජය මත මුදා හැරියේය. එම දීර්ඝ කාලය තුළ මුළු මහත් සමාජයම ජීවත් වූයේ මරණ බියෙනි. එම වටපිටාව සමස්ත ලංකා සමාජය රෝගී කිරීමටත් විකෘති කිරීමටත් හේතුවිය. එම අශීලාචාර වටපිටාව සමාජය පමණක් නොව රාජ්‍යයද එහි දේශපාලනඥයන් හා නිලධාරීන්ද විකෘති කිරීමට හේතුවිය.

අභ්‍යන්තර යුද්ධය ජයගැනීමෙන් පසු විකෘති වී තිබූ සමාජය හා රාජ්‍යය ප්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යායුතුව තිබුණි. එය මෙවැනි අර්බුදයකට හසුවූ ඕනෑම රාජ්‍යයක් කරන දෙයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ දේ ලංකාව කළේ නැත. අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා එසේ නොකළා පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව පරාජය කොට බලයට පත් යහපාලන ආණ්ඩුවද එසේ නොකළේය. ඒ සියලුදෙනා එම මූලික ප්‍රශ්නය නොවිසඳා එය තවදුරටත් කුණුවෙන්නට ඉඩ හැරියේය.

අල්ලස හා දූෂණය

අල්ලස හා දූෂණය ලංකාවේ අසමත්භාවය කෙරෙහිද, රටේ පවතින දුප්පත්කම, නොදියුණුකම හා අධික ණයගැතිභාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම හේතුවක් ලෙස සැලකිය හැකිය. පොදු දේපළ කොල්ලකෑම ලංකාවේ රාජ්‍ය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන අතර සමස්ත රාජ්‍ය ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.

ජාතික ආරක්ෂාවේදී ඉතා වැදගත් ආයතන දෙකක් ලෙස සැලකිය හැකි ගමන් බලපත්‍ර කාර්යාංශය සහ ජාතික හැඳුනුම්පත් කාර්යාංශය යන ආයතන දෙක ආශ්‍රයෙන් ලංකාවේ රාජ්‍ය ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවී තිබෙන තරම හා ඒ ගැන පාලකයන් දක්වන නොසැලකිල්ලේ තරම පෙන්වා දිය හැකිය. මේ ආයතන දෙක ඒවාහි ඇති එක කවුළුවකින් නියම කළ ගාස්තුවකට අව්‍යාජ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් ද තවත් කවුළුවකින් ලොකු මුදලකට ව්‍යාජ ගමන් බලපත්‍ර හා ව්‍යාජ හැඳුනුම්පත්ද නිකුත් කරයි. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකි අතර රටේ පාලකයන්ටද ඒ ගැන හොඳ අවබෝධයක් තිබෙන්නේ යැයි කිව හැකිය.

මේ මෑතකදී ගමන් බලපත්‍ර කාර්යාංශය ලොකු වියදමක් දරා පරණ පරිගණක පද්ධතිය අතහැර අලුත් පරිගණක පද්ධතියකට ගියේය. එහෙත් පරණ සෙල්ලම නැවතී නැත. ඩුබායි රටින් පිටුවහල් කළ මදුෂ් පාවිච්චි කළ ව්‍යාජ ගමන් බලපත්‍රය නිකුත් කර තිබුණේ ගමන් බලපත්‍ර කාර්යාංශය මගිනි. අභ්‍යන්තර යුද්ධය පැවති කාලයේදී කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඔවුන් අතුරුදහන් කිරීමේ සිද්ධියට චෝදනා ලබා සිටියදී ලංකාවෙන් පලා ගොස් නැවත ලංකාවට පැමිණි පසු අත්අඩංගුවට ගනු ලැබූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි පරිහරණය කළ ගමන් බලපත්‍රයද පරිගණක පද්ධතිය වෙනස් කිරීමෙන් පසු ගමන් බලපත්‍ර කාර්යාංශය නිකුත් කරන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක් බව සනාථ විය. අධිකරණය විසින් ගමන් බලපත්‍ර සිය භාරයට ගෙන විදේශ ගතවීම තහනම් කළ පුද්ගලයන් ලංකාවෙන් පලායෑමේ රහස කුමක්දැයි ඒ ආශ්‍රයෙන් තේරුම්ගත හැකිය.

ජාතික හැඳුනුම්පත් කාර්යාංශයේ පවත්නා තත්ත්වයද ඊට වෙනස් නැත. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සමාගම් 20ක නම්වලට එකම පුද්ගල පිරිසක් විසින් කරගෙන ගොස් තිබුණු වැට් බදු වංචාවක් විගණන දෙපාර්තමේන්තුව විසින් 2004 වසර අවසානයේදී සොයා ගන්නා ලදි. සිදුකර තිබුණු වංචාවේ තරම රුපියල් බිලියන 3.57කි. එම වංචාව සඳහා යොදාගත් හැඳුනුම්පත් 13ම ව්‍යාජ හැඳුනුම්පත් වූ අතර ඒවා නිකුත් කර තිබුණේ හැඳුනුම්පත් කාර්යාංශය විසිනි.

ඊට අදාළව දැක්විය හැකි තවත් බිහිසුණු කතාවක් මෙසේය. අභ්‍යන්තර යුද්ධය පැවති කාලයේදී හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා (විජය කේ.වී. රණසිංහ) විසින්ම කොටි සංවිධානයට හැඳුනුම්පත් කිසියම් විශාල සංඛ්‍යාවක් නිකුත් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබුණි. මෙම බිහිසුණු සත්‍ය සොයා ගන්නා ලද්දේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ඇමතිවරයකු ලෙස ක්‍රියා කළ ඩග්ලස් දේවානන්ද ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන බෝම්බකාරිය ළඟ තිබී සොයා ගන්නා ලද හැඳුනුම්පත ආශ්‍රයෙනි.

හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා කොටි සංවිධානයට හැඳුනුම්පත් තොගයක් නිකුත් කර තිබෙන බව සොයාගැනීමෙන් පසුව හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියාගෙන් කටඋත්තරයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ අවස්ථාවේදී මෙම පුද්ගලයා එවකට අගවිනිසුරු ධුරයේ සිටි සරත් නන්ද සිල්වා සමග තිබූ සම්බන්ධය ප්‍රයෝජනයට ගෙන ඔහු අත්අඩංගුවට ගැනීම වළකන වාරණ නියෝගයක් ලබාගත්තේය. ඉන්පසු හමුදාපති සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේදී බෝම්බකාරිය පාවිච්චි කර තිබුණු හැඳුනුම්පත හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියා කොටි සංවිධානයට ලබාදී තිබුණු හැඳුනුම්පත් තොගයෙන් එකක් බව හඳුනා ගන්නා ලදි. මෙම පුද්ගලයාට ලැබී තිබුණු දේශපාලන රැකවරණය නිසා ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ බොහෝ ප්‍රමාදවීය. ඉන්පසු ඔහුට එරෙහිව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කරන ලදුව නඩුව අවසන් වන්නට පෙර ඔහු මිය ගියේය.

ඒ බිහිසුණු සිද්ධීන්ගෙන් පසුවවත් ආණ්ඩුව හැඳුනුම්පත් කාර්යාංශයට ව්‍යාජ හැඳුනුම්පත් නිකුත් කිරීමට තිබෙන හැකියාව නැති කළේ නැත. වරදක් සිදුවූ විට එය නිවැරදි නොකොට එම වරද ගල් ගැසෙන්නට ඉඩ හැරීම අසමත් තත්ත්වයකට පත්ව තිබෙන ලංකා රාජ්‍යයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය.
මේ මොහොතේ ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ මිස මැතිවරණ නොවේ. මැතිවරණ අවශ්‍ය වන්නේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට පසුවය. ඒ නිසා මෙම ජනාධිපතිවරණය නාමමාත්‍රික ජනාධිපතිවරයකු පත්කර ගන්නා අරමුණින් එහාට ගිය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගන්නා මැතිවරණයක් බවට පත්කර ගැනීමේ හැකියාව ගැන බැරෑරුම් ලෙස සලකා බලන තැනකට රටේ ජනතාව යොමුවිය යුතුය. ලංකාවේ රාජ්‍යය නමැති මොළේ නැති බුල්ඩෝසරය ප්‍රතිනිර්මාණය කරගත හැකිවනු ඇත්තේ එවිටය.