අපි මේක ඇතුළෙ නිවන හොයන්නේ නැහැ – කේ.ඩී. ලාල් කාන්ත

සාකච්ඡාව- ඉදුනිල් උස්ගොඩ ආරච්චි

පැවති ප්‍රධාන පක්ෂ ගැන කෙතරම් කලකිරුණත් ජනතාව විකල්පය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරවූ අවස්ථා නැහැ. ජාතික ජන බලවේගයට මේ විකල්පයක අඩුව පිරවිය හැකිද?

ප්‍රධාන කදවුරු දෙක එපා වුණත් කොතරම් විවේචන තිබුණත්, ජයග්‍රහණයක් ලැබිය හැකි පදනමක් සහිත ව්‍යාපාරයක් රටේ පෙනෙන්න නැති නම්, ජනතාව නැවත නැවතත් ඒවාට ගොදුරු වෙනවා. ඒක තමයි අපි ඉතිහාසයේ දිගට දැක්කේ. හැබැයි මෑත කාලයේ දී ඒ කඳවුරු දෙක එපා, රටේ දේශපාලන සංස්කෘතිය ආයතන පද්ධතිය විනාශ කළා, මේක කුණු වෙලා තියෙන්නේ කියලා සමාජයක් විධියට හිතන මතන මිනිස්සු පිළිගත්තා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස කටයුතු කරද්දී අපි දැක්ක දෙයක් තමයි ඒ පුරවැසියෝ ඔක්කොම අපිව පිළිගත්තේත් නෑ. මොන මොනවා හෝ හේතු නිසා ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙන්නත් ඒ අය මැළි වුණා. අපිත් ඒක තේරුම්ගත් නිසා පොදු ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙන්න අපිටත් ඕනෑ වුණා. ඒ වුවමනාවත් එක්ක තමයි මේක ගොඩනැගෙන්නේ. මේක පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලත් එක්ක සම්පූර්ණ එකගතාවයට ආ එකක් නෙමෙයි. ජාතික ජන බලවේගය එකග වුණු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් තියනවා. ඒ ප්‍රතිපත්ති වලට එකග වන සංවිධාන වලට ජාතික ජනබලවේගයට තවදුරටත් එකතු වෙන්න පුලුවන්. ඒ තුළ තමයි අපි කටයුතු කරන්නේ. විපක්ෂයක් ලෙස අපිට වෙනත් දේශපාලන කටයුතු තියනවා. අපි ස්වාධීනව ඒවා කරගෙන යනවා. නමුත් ජාතික ජනබලවේගය තුළ එහි විධායක සභාවේ නියෝජනය එක සංවිධානයකට 3යි, අපිටත් තුනයි. එහි ක්‍රියාකාරී කමිටුවක් තියනවා. ජාතික ජන බලවේගයට සම්බන්ධ සංවිධාන විසි අටෙන් එක සංවිධානයකින් එක්කෙනායි,අපිටත් එකයි. මේක බිහිවුණේත්, වැඩකරගෙන යන්නේත් එහෙම පොදු පදනමකින්. එහි පැවැත්ම හා ජාතික ජන බලවේගයට අනාගතයත් තියෙන්නේත් ඒ පොදු භාවය තුළ පමණයි. ඒ නිසා පැහැදිලිවම ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එකක් නෙමෙයි, දෙකක්.

එය වාමවාදී ද ලිබරල් ද නැතිනම් දෙකේම එකතුවක් ද?

අපි විප්ලවය පිළිගන්නවා. ඒ වගේම සාධනීය ප්‍රතිසංස්කරණ අපි පිළිගන්නවා. විශේෂයෙන් මෑත කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වන සංශෝධනය ගේන්න අපි මූලික වුණා. එතැනින් තමයි කොමිෂන් සභා ස්ථාපිත වුණේ. ඒක ප්‍රබල ප්‍රතිසංස්කරණයක්, ජනාධිපතිවරයාගේ තනි අධිපති බලය අඩු කිරීමක්. හැබැයි ඒ තත්ත්වයට අපි එන්න එවකට සිවිල් සමාජය සහ විකල්ප පුවත්පත් විසින් කළ දැවැන්ත කාර්යභාරයක් තිබුණා. චන්ද්‍රිකාගේ පාලන සමයේ වයඹ ඡන්දයේදී වුණු දැවැන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් 17 වන සංශෝධනය සමාජය විසින් ඉල්ලා සිටින තැනට ගෙනාවා. අපි කළේ ජනතාව විසින් ගෙනා ඒ ඉල්ලීම ඉෂ්ඨ කිරීමට පාර්ලිමේන්තුව තුළ කාර්යභාරය කිරීමයි. ඊළගට 19 වන සංශෝධනය වෙනුවෙන් අපි පෙනී සිටියා, මැදිහත් වුණා, ඒක තවත් ඉදිරියට ගෙන යා යුතුයි කියන තැන අපි ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයකට තමයි අපි පක්ෂ. විප්ලවය එනතුරුම අපි බල බලා ඉන්නේ නැහැ, ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ තිබෙන ආර්ථිකය ඇතුළේ ලිබරල් පදනම පිළිගත් බලවේගයක් ඉන්නේ. ලිබරල් වාදයේ ප්‍රධාන කුළුණු දෙක වන වෙළදපොළ ආර්ථිකය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යි. අපි වෙළදපොළ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. මෙවැනි රටක රජයට දැවැන්ත කාර්යභාරයක් තිබෙනවාය කියන පදනමේ අපි ඉන්නවා. සියල්ල වෙළදපොළට භාර දෙන්න අපි සූදානම් නැහැ. වෙන්වුණු නෙමෙයි, ජාත්‍යන්තරයත් එක්ක ගැටගැසූ ශ්‍රී ලාංකීය ආර්ථික මොඩලයකට අපි එකඟයි. හැබැයි දැන් මේ සමාජය යන නව ලිබරල්වාදී වැඩපිළිවෙලට අපි එකඟ නෑ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තව දියුණු කරන්න ඕනෑ කියන තැනක අපි ඉන්නවා. ලිබරල්වාදයෙන් කතා කරන්නේ පුද්ගල නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයෙන් කතා කරන්නේ සාමූහිකත්වය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුද්ගල නිදහස සහ සාමූහිකත්වය කියන දෙක එකට විනිවිද ගිහින් තියනවා. තවත් එය විනිවිද යා යුතුයි. ඒ දෙක මැද තිබෙන බෙදුම් රේඛාව හැකි තරම් බොද කර මකා දැමිය යුතුයි. අපිත් එක්ක දැන් සමාජවාදීන් ඉන්නවා, ප්‍රතිසංස්කරණවාදීන් ඉන්නවා, නව ලිබරල් ආර්ථිකය පිළිගත් අය නම් නැහැ. නව ලිබරල් ආර්ථිකයට විරුද්ධයි, ගොඩක් අය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂයි. ආර්ථිකයේදී තවදුරටත් විමුක්තිවාදී පැත්තට ගමන්කිරීමක් කළ යුතුයි කියන තත්ත්වයේ ඉන්නවා. ඒකට සමාජවාදයෙන් ගතයුතු දේ තියනවා. මේක දැන් ඇත්තටම කලවම්. දැන් තියෙන්නේ සමාජවාදය සහ ධනවාදය කියලා මැදින් ඉරි ගහලා නෙමෙයි. ඒ නිසා සමාජවාදයෙන් ආ විමුක්තිවාදී ධර්මතාවයත් අනෙක් පැත්තෙන් ලිබරල්වාදයෙන් ආ ලක්ෂණත් සම්මිශ්‍රණය වුණු කණ්ඩායමක් තමයි ජාතික ජන බලවේගය ඇතුළේ ඉන්නේ. අපි ඒක තුළ නිවන හොයන්නේ නැහැ. බෞද්ධ ආගමට අනුව ගත්තොත් කෙළවරේම තියෙන්නේ නිවන නම් අපි ඒක හොයන්නේ නැහැ, පංචසීලය ක්‍රියාත්මක කරන්න පුලුවන් ද කියලා බලනවා. මේ මොහොතේ නිවන පැත්තට පියවරක් තියාගන්න පුලුවන් ද කියලා බලනවා. අපිට ඉදිරි වසර දහයක් ඇතුලත රට ගෙනියන්න පුලුවන් සාධනීය තැනක් අපි හොයනවා. ඒ පදනමින් තමයි වැඩ කරන්නේ. කිසිසේත්ම ජාතික ජන බලවේගය මැතිවරණය සදහා ගොඩනගන ලද ව්‍යාපාරයක් නොවෙයි. නමුත් මැතිවරණ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, ඉදිරිපත් වෙනවා. නමුත් එකම දේ මැතිවරණ නොවෙයි. අර කී වුවමනාවන් සම්පූර්ණ කරගන්න අඛණ්ඩව සටන් කරනවා.

ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බලපෑමක් ඇතිකිරීම ද, ජයග්‍රහණය ද?

ජාතික ජන බලවේගය තුළින් අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන්නේ ජයග්‍රහණය කරන්නයි. අපේ අපේක්ෂාව ජයග්‍රහණය කිරීමයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි අවුරුදු දෙකක විතර ඉදලා කියන්න පටන් ගත්තා එළඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඒ අපි කතා කළේ ජේවීපී එක විධියටයි. එතකොට අපිට ඒවාට විවිධ තර්ක තිබුණා. 50% නැති කරන්න ඕනෑ, බලයට එන කාටවත් පෞරුෂයක් සහිතව ජනාධිපති වෙන්න ඕනෑ නෑ, දෙවන මනාපයකට එන විට එක්තරා ආකාරයකට ඔහු ඇල් මැරුණු ජනාධිපතිවරයෙක්, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි, 19වන සංශෝධනයට අනුව ඔහුගේ බලතලත් අඩුයි, එහෙම ජනාධිපතිකෙනෙක් මොකටද මැතිවරණයකින් පත්කර ගන්නේ වෙන ක්‍රමයකට ජනාධිපති පත්කර ගන්න පුලුවන් නේද ආදී ලෙස. ඒ පාර හරහාම අවාම එන්නේත් 20වන සංශෝධනය පැත්තටයි. අපි ජනතා විමුක්ති පෙරමුණ විධියට ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණයක ඉන්න අවධියේ අපිට යම් යම් ඡන්ද ප්‍රතිඵල අනුව මිනුම් තිබුණා, ජයග්‍රහණය සම්බන්ධ සමහර වෙලාවට දෙගිඩියාවක් තිබුණා. හැබැයි අපි ජාතික ජන බලවේගය විධියට අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ දිනන්නයි. ඒක අපේ අපේක්ෂාව. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දිනවන්න කියලා.

පත්වීමට නියමිත ජනාධිපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව බලතල සීමිතයි. ජනාධිපතිවරයෙකු පත්වීම හරහා ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ජනාධිපතිට ව්‍යවස්ථානුකූලව අත තියන්න බැරි විෂයන් තියනවා. එයාට බැහැ රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්න. ඒක ජනවරමෙන් පත්වන ආණ්ඩුවේ වගකීමයි. කවුරුහරි අපේක්ෂකයෙක් කියනවා නම් මම ආවාට පස්සේ රටේ ආර්ථිකය හදනවා කියලා ඒක එයාට අදාල නෑ, ඒක තියෙන්නේ පාර්ලිමේන්තුවට. දැන් අපි අනුර සහෝදරයා ඉදිරිපත් කරන්නේ ඊළඟ පාර්ලිමේන්තුවත් එක්ක සම්බන්ධයක් තර්කයක් ප්‍රතිපත්තියක් එක්කයි. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා දිනන්නත් ඕනෑ, ජාතික ජන බලවේගය ඊළග පාර්ලිමේන්තුවෙන් ඡන්දෙන් බලයට එන්නත් ඕනෑ. රට හදන වැඩපිළිවෙලකට යන්න පුලුවන් වෙන්නේ ඒ බලයයි මේ බලයයි ඒකාබද්ධ කිරීමෙන් විතරයි. අපි මේ වැඬේට සම්බන්ධවෙලා තියෙන්නේ එහෙම දැක්මක් ඇතිවයි. බලවේග එකතු කරන්න අපි තව උත්සාහ කරනවා. අගෝස්තු 18 සාර්ථක රැළියක් පැවැත්වීමට විවිධ පාර්ශවයන්ගෙන් විශාල සහයෝගයක් අපිට ලැබුණා. අපි ඉන්නේ සුභවාදීවයි.

පවතින අර්බුදවලින් රට ගොඩගැනීමට ආර්ථික, අධ්‍යාපන ආදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට තිබෙන දැක්ම මොකක්ද?

අපේ අපේක්ෂකයාගේ වැඩපිළිවෙල බවට පත් වෙන්නේ පාර්ලිමේන්තුවේ බලයත් ජනාධිපතිගේ බලයත් දෙක ඒකාබද්ධව සම්බන්ධ කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක. මම කරනවා කියලා අපේ අපේක්ෂකයා කොයි වෙලාවේවත් කියන්නේ නැහැ. සමාජයත් සම්බන්ධ කරගෙන ජාතික ජන බලවේගයත් එක්ක සාමූහික ප්‍රයත්නයක් තුළ අපේ මානව සම්පත් උපරිමයෙන් කළමනාකරණය කරගත් වැඩපිළිවෙලකට යන්න ඕනෑ. ඇත්තටම අපේ රට ගොඩනැගීමේදී අපි ගොඩාක් දුරට කල්පනා කරන්නේ මානව සම්පත් දියුණු කිරීමේ පැත්තයි. මොකද අපේ රටට ඒක කරන්න පුලුවන්. ලෝකයේ සමහර රටවලට වඩා අපේ රටේ දෙමව්පියන්ට වුණත් දරුවන්ට ඉගැන්වීමට තිබෙන ඕනෑකම අති විශාලයි. ඒ ඕනෑකම ජාතික ප්‍රතිපත්තියක් එක්ක සම්බන්ධ කරගත්තොත් ලොකු පියවරක් තියන්න අපිට පුලුවන්. අපි වැඩපිළිවෙල මේ වන විට සකස්කරමින් ඉන්නේ. ජනතා විමුක්ති පෙරමුණට අදහස් තියනවා, ජාතික ජන බලවේගයට සම්බන්ධ වුණු විවිධ සංවිධාන ඉන්න තැනක් තියනවා. අපි මැතිවරණය සදහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය සාකච්ඡා කරමින් ගොඩනගමින් සකස්කරමින් තිබෙනවා. නාමයෝජනා ලබාදීමෙන් පසු ඒ වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා. මූලික වශයෙන්ම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අපි පිළිගන්නේ නැහැ. රටක් විධියට ජාත්‍යන්තර වශයෙන් ආර්ථික සම්බන්ධතා නැතිව රට ගොඩනගන්න පුලුවන් කියන විශ්වාසයකත් අපි නැහැ. රටේ අවශ්‍යතාවයන් සහ ලෝක තත්ත්වයන් කියන සියල්ල සැලකිල්ලට ගෙන ප්‍රායෝගික සැලැස්මක් ගොඩනගමින් තිබෙනවා. එහි අවසාන පින්තූරය මේ වෙලාවේ මට පෙන්වන්න අමාරුයි.

මැතිවරණයක දී අනෙකුත් ජන කොට්ඨාස, විශේෂයෙන් දමිළ ජනතාව නොසලකා හරින්න බැහැ.
මේ සියලුම ජන කොටස් සමානයි කියලා අපේ රටේ පළමුවෙන්ම පිළිගැනීමක් අවශ්‍යයි. සුළු ජනවර්ග කියන වචනයටත් අපි කැමති නෑ. බලය බෙදීම සම්බන්ධ ප්‍රශ්නය ගත්තොත් ඒ ප්‍රශ්නයත් එක්ක දේශපාලනය තදින් සම්බන්ධවෙලා තිබෙනවා. අපි ජනවර්ග වෙන් කර වෙන වෙනම ගොඩනැගෙන පැත්තට තල්ලුවන බලය බෙදීමකට විරුද්ධ වුණු ව්‍යාපාරයක්. කෙටියෙන් කීවොත් අපි ජනවර්ග වලට වෙන වෙනම සලකන ප්‍රතිපත්තියකට එකග වුණු ව්‍යාපාරයක් නෙමෙයි. ජනතාවට බලය බෙදෙන්න ඕනෑ කියන තැන අපි ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේත් ඒකේ මුදුනේම කරඬුව වගේ තියන කාරණයක්. තව පහළට බලය බෙදෙන්න ඕනෑ. කොච්චර කුඩාවට බලය බෙදෙන්න ඕනෑද කියනවා නම් පුරවැසියා දක්වාම බෙදෙන්න ඕනෑ. ඒ නිසා බලය බෙදීමට පක්ෂ වෙනවාද නැද්ද කියන කාරණය තීරණය වෙන්නේ පවතින දේශපාලන වටපිටාවක් ඇතුළේ මිස වෙන විධියකට නෙමෙයි. යුද්ධය කාලයේ බලය බෙදන කතාවට අපි තර්ක කළා ඒක වෙන් වීමට උදවුවෙනවා කියලා. වෙන් වීමට උදවු නොවන, මිනිස්සුන්ගේ අතට බලය ලැබෙන තම තමන්ගේ වැඩ ඒ ඒ ප්‍රදේශවල සිට පහසුවෙන් කරගත හැකි, තමන්ට තීරණ ගන්න හැකියාවක් ලැබෙන ක්‍රමයකට අපි එකඟයි. දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළ යුතුයි කියලා ජාතික ජන බලවේගය තීරණයක් ගෙන තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහත්මයාලාගේ ව්‍යාපාරයත් එක්ක කිසිසේත්ම සාකච්ඡා නොකළ යුතුයි කියලා. ඒක තමයි පොදු ප්‍රතිපත්තිය. පොදු ප්‍රතිපත්තිය තිබෙන අතරේම ජාතික ජන බලවේගය තුලින් තීරණය කළ යුතුයි කුමන කණ්ඩායම් එක්ක ද සාකච්ඡා කරන්නේ කියලා. ප්‍රතිපත්තිමය මාලාව එළියට දෙන්න කලියෙන් අනිවාර්යෙන්ම විවිධත්වයක් තිබෙන අය එක්ක සාකච්ඡා කරන්නම ඕනෑ. අපිට ඕනෑ විවිධත්වයක් සහිත ඒකීයත්වයක් කියලා අපි අද වන විට තදින්ම පිළිගන්නවා. කාගේ හෝ තනි ඒකාධිපති ස්වරූපයකට වඩා අපි කැමතියි රටේ විවිධත්වය නියෝජනය කරන පාර්ලිමේන්තුවකට. ප්‍රශ්නය තියෙන්නේ අපේ සමාජය ඒකට හුරු කරලා නැහැ. හැමෝම හිතන්නේ අපි තමයි ලොකු, අපි හරි, අනෙක් අය වැරදියි කියලා. සිංහල සමාජය හිතනවා අපි තමයි හරි, අපි තමයි ශ්‍රේෂ්ඨ අපි තමයි උතුම් අනෙක් අය අපිට වඩා අඩුවක් තියනවා කියලා. උතුම් රටත් අපි, වෙන කොහේවත් උතුම් රටක් නෑ කියලා. ඒවා අපේ සාහිත්‍යයෙන් කලාවෙන්ම ගොඩනගලා තියනවා.

දේශීයත්වයක් තමන්ගේ කමක් හදන්න ගොඩනැගූ ඒවා වුවත් ඒවා ඕනෑ නැති අන්ත වලට ගිහින් තියනවා. එහෙම තැනක ඉදලා මේක විසදන්න බෑ. අපි පුරවැසියෝ ලෙස සමානාත්මතාවය, සමානභාවය, පොදු අයිතිය, පොදු නීතිය පිළිගන්න අතරම ඒ ඒ කොටස් වලට තම තමන්ගේ දෙයක් තමන්ට ඕනෑ විධියට කරගැනීමේ ඉඩත් තිබිය යුතුයි. ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ එක ලක්ෂණයක්. ලිබරල්වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් සංකලනයෙන් විවිධත්වය තුළ ඒකත්වය ඇතිවෙන්නේ. ඒවා මත පදනම් වුණු විසිවන සියවසේ සමාජවාදය පැත්තකින් තියූ විසිඑක්වැනි සියවසට ගැලපෙන විමුක්තිවාදයක් එක්ක වැඩසටහනක් තමයි අපි කරන්නේ. අපි ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නවා, විසිවන සියවසේ සමාජවාදී මොඩලය අසාර්ථකයි. ඒ නිසා නව මොඩලයක් ඕනෑ.

රට හදන්න නම් දැඩි පාලකයෙක් ඕනෑ බව ඇතැම් භික්ෂූන් පවා ප්‍රකාශ කරනවා.

තද පාලනයක් ඕනෑ. තද පුද්ගලයෙක් නෙමෙයි. නීතියේ ආධිපත්‍යය තදට තියෙන්න ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගේන්න ඕනෑ කියලා සමහරු කියන්නේ තද පාලකයෙක් ඕනෑ කියන පදනමෙන්. අපි තද පාලකයෙක් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ, හැබැයි තද පාලනයක් ඕනෑ. සාමූහිකව ගත්ත තීරණ තදින් ක්‍රියාත්මක වන ක්‍රමයක් ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක වෙලාවකදී මාධ්‍යවේදියෙක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කීවා ‘අරූව මම අල්ලලා හිරේ දානවා’ කියලා. ඔහු එතකොට ආරක්ෂක ලේකම්, අමාත්‍යාංශයක ලේකම් කෙනෙක්. ලේකම් කෙනෙක්ට කියන්න පුලුවන් ‘මම කෙනෙක්ට විරුද්ධව නඩු පවරනවා’ කියලා. මම අරූව අල්ලලා හිරේ දානවා කියලා ඔහු කීවේ කොහොමද. ඒ ඔහු ඔප්පු කළ දේවල්. බන්ධනාගාරයේ රැදවියන්ට වෙඩි තැබූ ඒවා ඔප්පු කළ ඒවා. නඩු දාලා තියන ඒවා අපි හිතමු නඩු කියලා, ඒත් ඔප්පු කළ ඒවා ඕනෑ තරම් තියනවා. ඒ නිසා ඕනෑ එවැනි පාලනයක් නෙමෙයි. සාමූහිකව ගන්නා තීරණ ශක්තිමත් ආයතන පද්ධතියක් හරහා ක්‍රියාත්මක කරන තද පාලනයක් අවශ්‍යයි. එනම් නීතියේ ආධිපත්‍ය සහිත සියලු දෙනා පුරවැසියන් ලෙස පිළිගන්නා ව්‍යවස්ථාවක් අනුව වැඩකිරීමේ පුරුදු පුහුණුවක් සහිත ක්‍රමයක් තමයි අපිට ඕනෑ.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ඔබ පවසා තිබුණා. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ සුදුසුම අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ලෙස ඔබ සිතනවා ද?

පළමු ජනාධිපතිවරණය තිබුණේ අසූ දෙකේ. ශ්‍රී ලංකා එක දුර්වල වෙලාවක්, කොබ්බෑකඩුව මහත්මයා තමයි ඉදිරිපත් වුණේ. එක්තරා දුර්වලත්වයක් ඒ අපේක්ෂකයාගේත් තිබුණා. මම කියන්නේ එතුමා නරකයි කියලා නෙමෙයි. අසූ අටේ සිරිමාවෝ මැතිනිය, ඊළගට චන්ද්‍රකා මැතිනිය, ඊළගට මහින්ද රාජපක්ෂ මහතා, දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. කිරලා මැනලා බලන්න දේශපාලනිකව කවුද දුර්වල කියලා. ගෝඨාභයයි. එම බලවේගයෙන් ඇහුවොත් ඒ අයට ගේන්න පුලුවන් සුදුසුම කෙනා කවුද කියලා මහින්ද රාජපක්ෂ කියලා කියයි. සුදුසුම එයා කියලා කියද්දී ඒකෙන් කියවෙනවා ගෝඨාභයගේ මොකක් හෝ අඩුවක් තියනවා කියලා. අපේ ජාතික ජනබලවේගයේ ඉදිරිපත් කළ අපේක්ෂකයා සංවිධාන විසි අට ඇතුලේ යෝජනා වෙලා සාකච්ඡා කරලා ඒකමතිකව සම්මත වුණු කෙනෙක්. වෙන නමක් යෝජනා වුණෙත් නෑ, යෝජනා වුණ එකම නම එච්චරයි. ඒ නිසා වෙනසක් සදහා සුදුසුම අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා ලෙස අපි ජාතික ජන බලවේගය භාර අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ පක්ෂ බලවේග තුනේ අපේක්ෂකයන් එකට තියලා එකම ප්‍රශ්නය අහලා උත්තර දෙන විධිය බැලුවත්, එක වේදිකාවක එක මාතෘකාව දීලා කතා කිරීමට අවස්ථාව දුන්නත් රට කරන හැටි හෝ රට හදන හැටි ගැන හෝ ඒ කාටවත් අනුර දිසානායක සහෝදරයා එක්ක කතා කරන්න බැහැ. අනුර සහෝදරයා ඇමතිවරු විස්සක් යටතේ බෙදී තිබුණු ආයතන විශාල ප්‍රමාණයක් එකට එකතු කර ඇමතිකමක් කර සාර්ථකත්වයක් පෙන්වූ පුද්ගලයෙක්. ඔහු ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ කණ්ඩායම් නායකයෙක්, පක්ෂයක නායකයෙක් ලෙස අත්හදා බලලා තියනවා. ඉතින් අපි හරිය දාලා තියෙන්නේ.