මරණ බය

ටිරන් කුමාර බංගගමආරච්චි

කල්මරමින් සිටින එජාප අපේක්ෂකයා කරු ජයසූරියම විය හැකිය. ඔහුගේ අගමැති රනිල්ම වනු ඇත. එජාපයට සිදුව ඇත්තේ තම අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිවීම නොව තෝරා ගත් අපේක්ෂකයා මොහු යැයි කියා කීමට නොහැකිවීමය. රනිල් ප්‍රමුඛ එජාප නඩයට නැත්තේ මේ හඬය. හැංගි හැංගි වෙස් මුහුණු බැන්දද නටන්න වන්නේ එළිපිට යැයි ප්‍රසිද්ධ කතාවය. එබැවින් කරු, රනිල් එළිපිටම නටනු නියතය. රනිල් ප්‍රමුඛ එජාපයට තෝරා ගත හැකි හොඳම සාධකය කරුය. මෙවර කරුව හෙමින් සීරුවේ කරට ගත්තේ 2015 යහපාලනය ගෙන එන්නට වැඩ කළ සිවිල් සහ පුරවැසි සංවිධානය. මේ පහළොවේ නඩය කරුව ගේන්න හැදුවේ රනිල්ට අන්නන්නටය. එහෙත් අද ඔවුන්ට කරුව ගෙනෙන්නට සිදුව ඇත්තේ රනිල්ගේද සහයෙනි. ඔවුන් එබැවින් පිටපත වෙනස් කරගෙනය. දැන් ඔවුන්ගේ එකම ඉල්ලීම නිර්පාක්ෂික අපේක්ෂකයෙකි. මේ අයගේ තේරීම කරුය. එහෙත් කරු කියා කෙළින් කියන්නට බයය. ඒ වෙනුවට බොරු නිර්පාක්ෂික කතා හලමින් සංදර්ශන පවත්වති. 2015 විප්ලවයෙන් අද වඩාත්ම අසරණ වූ පිරිසක් වේ නම් ඒ මොවුන්ය. කරු ගන්නැයි රනිල්ට බලකරන මොවුන් කරුව අපේක්ෂකයා කළ පසු අපේ අදහස්වලට එකඟ කරු බැවින් අප කරුට සහය දෙන බව ඒ මොහොතේ සෑහෙන වෙහෙස වී ගත් තීන්දුවක් ලෙස ප්‍රකාශ කරනු ඇත. මෙවැනි ළාමක රංගනවලට හිනා වෙනවාද? අඬනවාද යන්න පුරවැසියන්ගේ සියලු බලය යොදා සිතිය යුත්තකි. ඇත්ත නම් කරු මේ අයගේ ව්‍යාපෘතියක් නොව මේ අය කරුගේ ව්‍යාපෘතියක්ය යන්නය. අමරසේකරලා, ගෙවිඳුලා, නලින්ලාගේ අනෙක් අන්තය නම් සරත් විජේසූරියලාය. මුල් නඩය රනිල් ඇමරිකන්කාරයෙක්. මේ රට ගිලගන්නා රාක්ෂයෙක් බව මතවාදීව පෙන්වන්නට උත්සාහ කරද්දී මේ අය ගෝඨා, මහින්ද ආවොත් සුදු වෑන්, මිනීමැරුම් සතර අත වන බව තර්කානුකූලව පෙන්වීම සිදු කරයි. මේ දෙගොල්ලෝම කරන්නේ එකම වැඬේය. එහෙත් ව්‍යාපෘති දෙකකය. වෙනස එයය. මේ අය අතර ඇති අනෙක් වෙනස නම් මුල් පිරිස රාජපක්ෂවාදීන් බව ඍජුව කීවද අනෙක් පිරිස තමන් එජාපයේ බව කෙළින් නොකීමය. මොවුන් ආශා කරන්නේ රනිල්ගේ ජීවන රටාවටය. රනිල් රටාවට ආශා කරන එක්තරා පන්තියක් ඇත. මොවුන්ට සජිත් පෙන්නන්නට බැරිය. සජිත් අරබයා එහි වරදක්ද නැත. පතෝල චරිතයක් වන සජිත් මහ රාජගේ කුක්කෙකි. කිසිදු දැක්මක් නැති අයෙකි. එහෙත් එහෙව් අයෙකු බලය ගතහොත් වන තත්ත්වය අමුතුවෙන් සිතිය යුතු නැත. ගෝඨා ගත්තද සජිත් ගත්තද දෙකම එකය. එහෙත් අමතක නොකළ යුත්තේ රනිල් මෝස්තරයට කැමති පිරිස ටිකක් වනවිට අතිබහුතර පිරිස පතෝල කෑමට ප්‍රිය බවය. එහෙත් එජාප මතය තීන්දුවන්නේ සුළු පිරිසෙනි. හැම්-බේකන් කන පිරිසෙනි. මේ ගොඩට පහළොවේ පුරවැසි සංවිධානත් රිංගා ගෙන ඇත. ඔවුන්ට ඒ අනුව වැලඳ ගත හැකි මිනිසා කරු ජයසූරියය. කරුගෙන් ඔවුන් ඉල්ලන ප්‍රධානතම දේ නම් විධායක ජනපති ක්‍රමය නැති කිරීමය. කරු එයට එක පයින් කැමතිය. 19 ගෙනවිත් ජනාධිපතිගේ තටු කැපුවේ යැයිද නිකමෙකු කළේ යැයිද කියන අයට ආයේ කරු ගෙන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටය. මේ විහිළු කාටද?

පොහොට්ටුව

ගෝඨාභයව පොහොට්ටු අපේක්ෂකයා ලෙස නම් කළද තරගය ලේසි නැති බව මහින්ද හොඳාකාරවම දනී. තරගය පහසු වන්නට නම් ඔහු උපරිම ලකුණු රැස් කළ යුතු බව ඔහු විශ්වාසයට ගෙන ඇති ගාණය. මේ දිනවල ගෝඨාගේ වේදිකාවල මහින්ද යෝධයකු සේ හිඳිම හරහා එය පැහැදිලිය. දිලිත් (දෙරණ) එකම තේරීම ලෙස ගෝඨා උඩට ගෙන ආ හැකිමුත් එයම ප්‍රමාණවත් නැති බව මහින්ද දනී. මහින්ද යනු පරිණත දේශපාලකයෙකි. රනිල්ට වඩා ජන මනස කියවන්නෙකි. මේ මොහොතේ ඇතුලේ ඉල්ලීම සහ වෙන විකල්පයක් නැති තැන ගෝඨා දැමූ මුත් ඔහු ප්‍රබලම නැති බව මහින්ද වටහාගෙන අවසන්ය. ඔහුගේ මේ කැපවීමෙන් ඒ බව පැහැදිලිය. කාඩිනල්ට අනුව කතෝලික යම් පිරිසක් ගෝඨාට කැමති වුවද හලාවත ධීවරයන්ට වෙඩි තබන්නැයි අණ කළ ගෝඨාට ඒ කිතුනුවෝ කැමති වේද? රණවිරුවෝ ගෝඨා සමග යැයි කියති. ඒ රණවිරුවෝ ආබාධිත අයය. එහෙත් සක්‍රිය සේවයේ අය හෙට ආයෙමත් කානු සුද්ධ කරන්න, කානු කපන්න, පාරේ වැඩි ටික කරන්නට කැමති වේද? මේවා ගෝඨා හැලෙන සරල තැන්ය. මේ බව මහින්ද, බැසිල් හොඳාකාරවම දන්නා දෑය. එබැවින් ගෝඨා ඉදිරියට දමමින් උපරිම සහය දෙනු ඇත. මහින්ද ගෝඨාගේ හෙවණැල්ල වනු ඇත. රාජපක්ෂලාට පවතින්න නම් ඔක්කොම එකට සිටිය යුතුය. සහෝදර සමාගම දෙදරුවහොත් ඔවුන් සියල්ල ඉවරය. අමතක නොකළ යුත්තේ මෙවර ප්‍රබලතම අවදානම ඇත්තේ රාජපක්ෂලාට කියාය. යම් හෙයකින් ගෝඨා පැරදුණහොත් පරාජය වන්නේ ගෝඨා පමණක් නොව රාජපක්ෂ පරම්පරාවම පරදිනවා ඇත. ඔවුන් නැත්තට නැතිවෙනවා නියතය. එල්ලෙන්න ජනේලද නැතිවනවා සහතිකය. එනිසා මේ සහෝදර සමාගම එකාවන්ව ගෝඨා දිනවන්නට වෙහෙසනවා ඇත. ගෝඨා දින්නද අගමැති මහින්දය. බැසිල් ඉතිරි වැඩය. නැවත පෙර ලෙසටය. මේ නිසා මෙවර රාජපක්ෂලා පරදින්නට සිතන්නේවත් නැත. පැරදුණහොත් ඒ දේශපාලනය ඉවරය. ජනතාවට මේ මොහොතේ රාජපක්ෂලා අතුගා දැමිය හැකි ඉඩද ලැබී ඇත. ගෝඨාට අකමැති පිරිස් මහින්දට කැමති කරවා ගන්නට ඔහු වැඬේ අතට ගෙන ඇති බව පෙනේ. රාජපක්ෂ විරෝධීන්ගේ ආසාව මේ අයිය මලෝලාගේ ගැටුම වුවත් බලය ලබාගන්න මෙන්ම බලය රැකගන්නටත් මොවුන් අත්වැලි බැඳ ගන්නවා නියතය. ගෝඨාට ඇන්නවීම යනු මහින්ද පමණක් නොව නාමල්ලාද ඇන්නවෙන වැඩක් බව මහින්ද මෙන්ම ශිරන්තිද වටහාගෙන ඇතිවාට සැක නැත. එබැවින් රාජපක්ෂලා යනු එක වල්ලේ පොල් බව කිව යුතුය.

රනිල් – සජිත්

මේ යන ආකාරයට සජිත් ජනාධිපති අපේක්ෂකයා වන්නේ වෙනම අටවා ගත් පක්ෂයකින් විය හැකිය. රනිල් සජිත්ට කැමති නැත. එය හැමදාම පස්සෙන් එන ප්‍රශ්නයකි. ඉවසන්න කීවද 2025 නොව 2030දී වත් රනිල් සජිත්ට කැමැත්ත දෙන්නේ නැත. එහෙත් මෙවර සජිත්ට ඇති විකල්පය වෙන්වීම විය හැකිය. එජාපය යනු සජිත් නොවන බව බොහෝ අයගේ හැඟීමය. සැබෑය. එහෙත් සජිත් ගියහොත් ඒ සමග එජාපය දියවෙන බව ඒකාන්තය. මෙවර එය සහසුද්දයටම විනාශ වනවා සැබෑය. රනිල්ට ඒ ගැන වගේ වගක් නැත. මන්ද රනිල් පරදින්න බය මිනිසකු නොවන නිසාය. ඔහු අත හරින්නට බය එකම දෙයකි. ඒ පක්ෂ නායකකමය. කරු වැනි රූකඩයකට රනිල් කැමති වන්නේ ඔහුට කරුව නැටවිය හැකිය යන විශ්වාසයේ සිටය. රනිල්ට දිනන්නට වුවමනා නැත. එහෙත් පක්ෂ නායකකම රැක ගැනීමේ වුවමනාව ඇත. කවුරු කඩාගෙන ගියද එජාප නායකයා ඔහුය. එහෙත් එයටත් වැඩිකල් නොගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉරණම අත්වනු ඇත. හැමවිටම පැරණි උපකල්පන වලම හිඳිමින් හැමදා රනිල් ගේම ගැහැව්වා යැයි කියමින් ආතල් ගතහැකි වුවත් එය හැමදා වලංගු නොවන බව කිව යුතුය. සජිත් ගැලවී ගියහොත් විශාල පිරිසක් ඔහු සමග යා හැකිය. ඒ බෙදිල්ල සමස්ත එජාප පාක්ෂිකයන් හරහාද සිදුවිය හැකිය. එබැවින් මෙවර රනිල් හිතන තරම් ප්‍රශ්නය ලේසි නැත. රනිල් ඉහළ පන්තියක ජීවත් වන අයට හොඳ විය හැකිය. එහෙත් සජිත්ව ගම් මට්ටමේ පහළ පන්තියට හොඳය. මේ ඇත්ත තේරුම් නොගෙන ඉස්සර ඔයිට වඩා අය ගියා කීවට පළක් නැත. කරු එජාපය කඩාගෙන දාහතක් රැගෙන ගියේ රට බේරා ගන්නටය. එහෙව් කරු දැන් නැවත රට බේරා ගන්නට එමින් සිටී. එදා තරුණ ජවයෙන් රට බේරා ගන්නට බැරිවූ ඔහු දැන් නැවත එම බේගලයම ඇද බාමින් නැවත සටනට ඒ. සජිත් නරක වී කරු හොඳ වන්නේ කෙසේදැයි විටක හිතාගත නොහැකිය. මේ දෙකද එකමය. කරු ජනාධිපති වුවහොත් නවීන් මහා කෙරුමකු වනු ඇත. නැවත පවුල් පාලනයක්මය. මෙයද අච්චාරුවක් බව පැහැදිලිය. රනිල් කරන්නේ වඩා අඩු අමාරුකාරයා සමග නිතරම පහසු මල්ලවපොර තරගයක් පැවැත්වීමය. අවසානයේ පක්ෂ නායකත්වය තියා ගැනීමය. එහි තත්ත්වයත් තව ටික දිනකින් දැක බලා ගත හැකිය.

එස්.බී. – මංගල

එස්.බී. – මංගල කලක් අඹ යාළුවෝය. චන්ද්‍රිකාගේ කාලයේ මොවුන් අගසව්ය. ගහන තරමක් ගේම් එදා ගැහැව්වේ මොවුන්ය. පසුව සැවොම ගේම්කාරයන් වන තැනක මේ අයත් නිකම්ම නිකන් පාතාලයෝ විය. එහෙත් තවමත් මේ අයත් දේශපාලනිකව නම් දරාපු අපරාධකාරයෝය. ආතක් පාතක් නැති මදාවියෝය. රනිල්ට බෑ කිව්වේ පුළුවන් නිසා යැයි පන්නයේ කතා කී මංගල දැන් සජිත් කරට ගත්තේ පුළුවන් රනිල් පැත්තකට කරය. මංගල ගේම් ගසන්නේ නිකං නෙමෙයි. මංගල මාර වැඩකරුවෙකු යන්න පිළිගන්න පිරිසක් ඇත. මේ අර රනිල් පිළිගත්ත පිරිසමය. ඒ අයට දැන් එලෝ පොල් පෙනුණේ මේ දෙක දෙකඩ වීම නිසාය. මංගල යනු ළාමක මෝස්තරකාරයෙකි. මෝස්තර පිටකොටුවේ තොග ගණන් ඇත. එහෙත් ඒවා හොඳ ඇසුරුම්වල දමා ඔඩෙල්හී තියන්නට මංගලගේ කිට්ටු පිරිසකට හැකිය. පසුගිය කාලයේම සිද්ධ වූයේ එයය. දැන් තත්ත්වය වෙනස්ය. මේ එකම පිරිසට මංගලද රනිල්ද යන්න තෝරා ගන්නට සිදුවී ඇත. එයින් මංගල කැපී ගොස්ය.
අනෙකා එස්.බී.ය. කිසිදු දේශපාලන සදාචාරයක් නැති කසඩම දේශපාලන චරිතයක් වන එස්.බී. ද ඕනෑම වෙලාවක ඕනෑම ඇඳුමක් ඇඟලා ගත හැකි අයෙකි. කොටින්ම මංගල පන්නයේමය. මංගලයි, එස්.බී. යනු දෙදෙනෙක් නොව එක් අයෙකි. එහෙත් කට්ටිය රනිල්, සජිත් මෙන් මංගල, එස්.බී. ලොකු ගැප් එකක තබා ඇත. මේ සටකපට දේශපාලකයන් මහා ඉහළින් සැමරීම දැන්වත් ජනතාව නැවතිය යුතුය.

සජිත් – සිරිසේන

සජිත්ට ගැළපෙනම චරිතය සිරිසේනය. එක්ව ගමනක් යන්නේ නම් නියම ගැළපුම එයය. ජාඩියට මූඩිය මෙන් අලුත් දේශපාලන සංස්කෘතියකට කියාපු දෙපළ ඔවුන්ය. සිරිසේන පැය විසිහතරේම කල්පනා කරනුයේ එල්ලන එකය. එමෙන් නිතර හිතන අනෙක් කරුණ නම් තමාව ඝාතනය කරන්නට ඇති බවය. එල්ලන එක කෙසේ වෙතත් මරන්නට ඇතැයි යන රෝගය සිරිසේනගෙන් සජිත්ටත් බෝවී ඇත. ඔහු මුලදී තනිවම මැරෙන්නට සිටි අතර නොබෝදා කීවේ ජනතාවගේ අත්වැල් අල්ලගෙන තමන් මිය යෑමට සූදානම් බවය. සජිත් අවංකයකු නම් කළයුත්තේ ජනතාවගේ අත්වැල් නොබැඳගෙන මංගල ඇතුළු තමන් ගෙන ඒමට වලිකනවුන්ගේ අත්වැල් බැඳගෙන මරණය කරා යාමය. මෙවැනි සිල්ලර කතා හැර සජිත්ගේ කතාවල ඇති වෙන අරුතක් වේද? සිරිසේන, සජිත් සිටිනුයේ මරණ බියෙනි. තව අය සිටිනුයේ ගෝඨා ආවොත් මරතැයි බියෙනි. ඒ තරම් මරණ බය ප්‍රබල වී ඇත.

පාරිශුද්ධකම

සැවොම සොයනුයේ ජනපති අපේක්ෂකයන්ගේ පාරිශුද්ධකම්ය. එහෙත් අවසානයේ වන්නේ ඊට පහළ හොර තක්කඩිම රජවීම යන්න කිසිවකු මායිම් නොකරති. ගෝඨා ආවද නැවත පිහිටුවන ආණ්ඩුවේ සිටිනුයේ කම්බ හොරුමය. කරු ආණ්ඩුවක් පිහිටවුවද සජිත් පිහිටුවද තත්ත්වය එසේමය. අවසානයේ ජනතාව සිදුකර ඇත්තේ සල්ලි දී පිස්සු බල්ලකු ගැනීම වැනි වැඩක්ය.