කොළඹ සුද්ධයි අරුවක්කාලු ඉවරයි

රසික ගුණවර්ධන

අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය පිළිබඳ දිනෙන් දින විවිධ කතා ඇසෙමින් පවතී. ඒ ප්‍රදේශවල ජනතාව මේ කසල අංගනයට විරුද්ධව බොහෝ කාලයක සිට විරෝධතා දියත් කළ ද එම ඉදිකිරීම් කටයුතු නොකඩවා සිදු වූ අතර මේ වන විට කොළඹ මහ නගර සභාව එහි කුණු දැමීමද ආරම්භ කර ඇත. ඒ අතරතුර කුණු ගෙනයනු ලබන වාහන සහ ඊට ආරක්ෂාව ලබා දුන් පොලිස් රථවාහන වලටද ප්‍රදේශයේ ජනතාව විසින් පහරදුන් අවස්ථා කිහිපයක් ද වාර්තා විය. අප මේ කසල ව්‍යාපෘතියේ මහජන විරෝධය පිළිබඳව මීට පෙර පසුගිය වසරේ කිහිපවතාවක්ම තොරතුරු සඳහන් කළද වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය තුළ නැවත වතාවක් අප පුත්තලමට ගියේ එහි තොරතුරු නැවත වතාවක් සොයා බැලීමේ අරමුණෙනි.

පුත්තලමේ සිට කිලෝමීටර් තිස් එකක් දුරින් අපගේ ගමනාන්තය වන සේරක්කුලිය ගම්මානය පිහිටා ඇත. වනාතවිල්ලුවෙන් හැරී කරතිව් පසුකළ තැන් පටන් මාර්ගය අප පසුගිය වසරේ එහි සංචාරය කරන විට තිබූ තත්ත්වයටත් වඩා දුක්ඛදායකය. සේරක්කුලිය පුත්තලම් මාර්ගයේ අවසාන ගම්මානයයි. අප ගමන්කරනා මාර්ගය අවසන් වන්නේ සේරක්කුලිය ගම්මානයෙනි. මේ පිහිටීම සහ දුෂ්කර පිවිසුම නිසා සේරක්කුලිය තරමක දුෂ්කර ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය.

අප පැමිණි බව කණ වැකී එකා දෙන්නා අප සිටි තැනට රොක් වන්නට විය. “අපි මොනව කීවත් වැඩක් නෑ, එයාල එයාලට ඕනෙ දේවල් කරනවා. අන්තිමට මේවට කතා කරලා අපට මොනව වෙයිද දන්නේ නෑ” පිරිස අතරින් අයෙකු පවසයි. වසර ගණනක සිට ඔවුන් දක්වන විරෝධයට තවමත් කිසිඳු වටිනාකමක් ලැබී නොමැති නිසා ඔවුන් සිටින්නේ පෑරුණු සිතකින් හා කඩ වූ බලාපොරොත්තුවකිනි. අද පමණක් නොව හෙට ගැනද අවිනිශ්චිත බවකින් ඔවුන් ගිලගෙනය. “අපි කියන ඒවා කවුරුත් ගණන් ගන්නේ නෑ.” ඒ අවිනිශ්චිත බව සහ පරාජය ඔවුන් වචන වලට පෙරළෙන්නේ එසේය.

මුලින්ම අප සමඟ කතාවට එකතු වූයේ ලින්කන්ය.
“නොරොච්චෝලෙ පටන් ගනිද්දිත් කට්ටිය මේ වගේම කිසි දෙයක් වෙන්නේ නෑ කියල තමා කීවේ. හැබැයි දැන් ඒකෙන් හානියක් වෙනවා කියලා පෙන්නන්න අපේ ගමේ ඕනෑතරම් සාක්ෂි තියනවා. ගමේ ඕනෙම තැනක ඇවිදල බැලුවොත් හැම ගහකම කලු පාට කුඩක් දකින්න පුලුවන්. වෙරල දිගේ බෙල්ලො මැරිල ඉන්නවා. ඒ බෙල්ලො ඉන්නේ ගැඹුරු වතුරේ. මේකට හේතුව තමා නොරොච්චෝලෙන් එවන උණු වතුර. ඕක දාන්න කලින් මෙහෙට හොඳට ඉස්සො මාලු ආවා, දැන් අවුරුදු ගාණක ඉඳලා ඉස්සො මාලු එන්නේ නෑ. තව අවුරුදු දහයක් විතර යද්දි මේ දේම මිනිස්සුන්ටත් වෙයි. ඒ වෙලාවෙ මිනිස්සු ගැන නොහිතලා දැන් මිනිස්සු ගැන හිතයි කියලා කොහොමද අපි විශ්වාස කරන්නේ.”

ලින්කන්ලා ගමේ මිනිස්සු ය. කොටින්ම මේ පොළොවේ සිට ඒ විපර්යාස සියල්ලටම මුහුණ දුන් මිනිසුන් ය. එහෙයින් ඔහුගේ මේ තර්කයේ පදනමක් නැත්තේ යැයි පවසන්නේ කෙසේද?

මේ ව්‍යාපෘතිය පටන් ගනිද්දි මේ ගැන ගමේ මිනිස්සු දැනගෙන හිටියේ නෑ. මේ අය සුලු පිරිසකට විවිධ දේවල් දීලා තමයි කැමැත්ත අරගෙන තියෙන්නේ. ඒ වගේම අපේ බලවත් විරෝධය මැද තමයි මේ අය මේක පටන් ගත්තේ. පටන් ගත්තට පස්සෙ කීප වතාවක්ම අපට මේ ගැන දැනුවත් කිරීම් කළා. ඒ එයාලා කරන ප්‍රමිතිය ගැන. හැබැයි මේ වෙනකොට අපිට ඇස් දෙකෙන් දකින්න පුලුවන් එයාලගෙ ප්‍රමිතියට වෙලා තියන දේ. එයාල කියපු හැමදේම එකක් නෑර බොරු කියලා දැන් ඔප්පුවෙලා තියනවා.

අපට පේන විදිහට මෙතන වෙන්නේ මීතොටමුල්ලෙ සිද්ධිය අලුත් මුහුණුවරකින් පොඞ්ඩක් වෙනස් කරලා කරන එක. මෙයාල පිටරටවල් වලිනුත් කුණු ගෙනල්ලා තියනවා, මේ හැම එකක්ම එයාලගේ ගෙවල් ළඟ හරි පාර්ලිමේන්තුව ළඟ හරි දාන්නේ නෑනෙ, එයාල අපි වගේ අ

හිංසක මිනිස්සු ඉන්න ගමකට තමයි ඒව ගෙනල්ලා දාන්නේ.” උදිත පවසයි.
සේරක්කුලියේ මිනිසුන් ප්‍රධානකොටම පවසන්නේ මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ ඔවුන්ව රවටමින් බවයි. වනාතවිල්ලුව පල්ලියේ පියතුමා ලෙස කටයුතු කරන ක්‍රිස්ටි පෙරේරා පියතුමා මේ ව්‍යාපෘතිය සඳහා ජනතා අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව මෙසේ පැවසීය.

“මෙයාල කියනවා මේකට ජනතා කැමැත්ත ගත්තා කියලා හැබැයි ඇත්තටම සිද්ද වෙලා තියෙන්නේ ග්‍රාම නිළධාරීන්, ගුරුවරු, සමෘද්ධිලාභීන්, වගේ බලපෑම් කරන්න පුලුවන් අයගෙන් බලපෑම් කරල අත්සන් ගන්න එක. ධීවර සමිති, කාන්තා සමිති වලට අඬගහල අරවා දෙනවා මේවා දෙනවා කියලා රැස්වීමේ පැමිණීමට අත්සන් අරගෙන ඒක මෙයාල ජනතාව කැමැත්ත දුන්න කියලා පාවිච්චි කරනවා.”

“දැන් ගමේ ගොඩක් අය මේකට වැඩිය විරුද්ධත්වයක් පෙන්නන්නේ නෑ, මොකද රජයෙන් මේ ගමේ මිනිස්සුන්ට සමෘද්ධිය දෙන්ඩ යනවලු. මේකට විරුද්ධ උනොත් ඒක නැතිවෙයි කියලා මිනිස්සු බයේ ඉන්නේ.” උදිත පවසන්නේ තවත් කතාවකි. අල්ලස් දී සන්තෝසම් දී තමන්ගේ පැත්තට පිරිස් නවා ගැනීම ලංකාවේ දේශපාලනයේ අප බොහෝ කාලයක පටන් අත්විඳි දෙයකි. එහෙත් ඒ සෑම අවස්ථාවකම සන්තෝසම් ලබා දෙන්නන් නොව සන්තෝසම් ලබා ගන්නන් පරාජයට පත්විය.

ව්‍යාපෘතිය අරම්භ වීමට පෙරාතුව මිනිසුන්ට මහා පොරොන්දු ලබා දී ව්‍යාපෘතිය අරම්භ වූ පසුව ඒ පොරොන්දු ඉටුනොවන තැන මේ පිළිබඳව ඔවුන්ට විශ්වාසයක් නොමැතිවීම අරුමයක් නොවේ. අප එහි සංචාරය කිරීමට දින කිහිපයකට පෙරාතුව සේරක්කුලියට ඇදහැලුණු වර්ශාවකින් පසු ගම්මානය පුරා මහා දුර්ඝන්ධයක් හමා ගිය බව උදිත අප සමඟ පැවසීය. “මේ දවස් වල කුණු දාන පැත්තටයි ගමේ ඉඳලා හුළං හමන්නේ. ඒත් වැස්සට පස්සේ මේ පැත්තට හුළං ඇල්ලුවා. එතකොට ඉවසන්න බැරි කුණු ගඳක් ගම පුරාම පැතිරිලා ගියා. ගමේ ගොඩක් දෙනෙක් ඒක ඉවසගන්න බැරුව වමනේ කරා. එක පාරක් කුණු ගෙනත්දාලා මෙහෙම නම් තව අවුරුද්දක් විතර කුණු ගෙනිහිල්ලා දාපුවහම කොහොම වෙයිද?” ඔහු අපෙන් විමසයි.

“මෙයාල සීල් කරපු කන්ටේනර් වල කුණු ගේනවා කීවට දැන් නිකම්ම ලොරිවල දාගෙන එන්නේ. පාරපුරා කුණු වතුර වැක්කෙරෙනවා. පළාතම ගඳගහනවා.” නුවන් පවසයි.

වනාතවිල්ලුව පල්ලියේ ක්‍රිස්ටි පෙරේරා පියතුමා මෙම ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ සම්බන්ධව ක්‍රියාකාරීව සහභාගීවන පිරිසක් සමඟ ජනාධිපතිවරයා හමුවට ගොස් ඇත. එහෙත් එහිදී ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට එකඟතාවයකට පිවිසීමට දෙපිරිසටම හැකියාවක් ලැබී නැත. එහිදී සිදු වූ සිදුවීම පියතුමා අප සමඟ මෙසේ පැවසීය. “මුලින්ම අරුවක්කාරු ව්‍යාපෘතිය ගැන පැහැදිලි කළාට පස්සේ ජනාධිපති ඇහුවා මොකක්ද දැන් තියන ප්‍රශ්නෙ කියලා. එතකොට කීව දැන් ප්‍රාදේශීය සභාවෙන් දවසකට ලක්ෂෙ ගානේ ඉල්ලනවා ඒකට තාම කොළඹ මහනගර සභාවෙන් අනුමැතිය දීල නෑ, එච්චරයි ප්‍රශ්නේ කියලා. එතකොට ඇහුව ඒකට මොකටද ස්වාමීන් වහන්සේලව ෆාදස්ලව ගෙනාවේ කියලා. එතකොට මම කීවා, ප්‍රදේශයේ ජනතාව මේ ව්‍යාපෘතිය මෙතනට එනවට කැමති නෑ කියලා. ඒකට මම හේතු දැක්වුවා. එතකොට ජනාධිපති කීව ඔබ වහන්සේලා කියන කිසිම දෙයක් මම පිළිගන්නේ නෑ කියලා. මම කුලියාපිටියෙන් කුණු ගිහිල්ල දැම්මහම ගිහිල්ල බැලුවා. එතන කීව කිසිම ලේයර් එකක් දාලා නෑ. නිකන් කලුගල් ටිකක් දාල, ඊට උඩින් කාපට් එකක් දාල කුණු හලල ගිහින් තිබුනේ. අපි නොරොච්චෝලෙ අමිහිරි අත්දැකීම් ගැනත් කීවා. එතකොට චම්පික රණවක කීවා ඕකෙ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ප්‍රශ්නයක් තියනවා තමා කියලා. ඉතින් මේකටත් ඒකම සිද්ද නොවෙයිද. මොකද මෙයාලා මාරුවෙනවනේ. බදුර්දීන් කීවා මේක ජනතාවගේ කැමැත්තකින් තොරව, බලහත්කාරයෙන් සිද්ධ වෙන වැඩක් කියලා.”

ක්ලීන් පුත්තලම ව්‍යාපාරද මේ ව්‍යාපෘතියට තදින්ම විරුද්ධව සිටින පිරිසකි. ඒ ව්‍යාපාරය මේ වන විට මෙම ව්‍යාපෘතියට නීතිමය වශයෙන්ද අභියෝග කර ඇත. අප ඔවුන් හමු වීමටද ගියෙමු.

”ලෝක නියමයන්ට අනුව මේ වගේ කොරි වල කුණු දාල පුරවන්ඩ බෑ. ඒක රත්‍රන්, හුණුගල්, රිදී හාරපු කොරි වගේ ඕනෙම එකක් වෙන්ඩ පුලුවන්. ලෝකෙත් මේ වගේ විද්‍යාත්මක ක්‍රමයට කරපු ගොඩ කිරීම් වල අදටත් විවිධ දුර්වලතා දැකගන්ඩ පුලුවන්. ලීක් වෙනව, ළඟ කාටවත් ඉන්ඩ බෑ, ඒ ප්‍රදේශවල වගා කරන්ඩ බෑ, මේ වගේ දේවල් අපට ලෝකෙ ගොඩක් බලන්න පුලුවන්.

මෙයාල තෝරල තියන භූමිය ගොඩක් ප්‍රශ්නගත තැනක්. විල්පත්තුවට කිලෝමීටර හයයි. කළපුව මායිමට මීටර් දෙසිය පනහක් තුන්සීයක් විතර. අවට ගම්මාන තියනව. සේරක්කුලියට මීටර් තුන්සිය පනහක් විතර, කරතිව් වලට මීටර් හත්සීයක් දුර. ඒවගේම පුත්තලමෙ ඉඳල යාපනේ දක්වා තියන ජල නිධියට මේ ප්‍රදේශය අයත් වෙනව.” පරිසරවේදී ඉෆ්ලල් අමීන්, මේ විරෝධතාවයේ ප්‍රධාන සමාජිකයෙකි. මේ නිසාම ඔහුට කිහිප වරක් සිරගත වීමට ද සිදුව ඇත.

“මේ කටුයතු භාරදීලා තියන ඉදිකිරීම්කරු, චයිනා හාබර් සමාගම ලෝක බැංකුවෙන් බැලැක් ලිස්ට් කරල තියන සමාගමක්. මේ ව්‍යාපෘතිය මුලින්ම ගෙනාවෙ ලෝක බැංකුවෙන්. හැබැයි මෙයාලගෙ ඉදිකිරීම් සමාගම නිසා ලෝක බැංකුව මේ ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කළා. මෙතන ලොකු මාෆියා එකක් තියනව. පළවෙනි එක ඉදිකිරීම් මාෆියා එක. දෙවනි මාෆියා එක ප්‍රවාහන මාෆියා එක. මෙයාලගෙ පරිසර වාර්තාවේ තිබුනෙ කෙරවලපිටියට කුණු ගෙනල්ල ඒවගෙ වතුර, ගඳ ඉවත් කරල කන්ටේනර් වල පැක් කරල දුම්රිය මඟින් මෙහාට ගේනව කියල. හැබැයි එහෙම නෙවෙයි දැන් වෙන්නෙ. එයාලට ආණ්ඩුවේ කාලය අවසන් වෙන්න ඉස්සල්ල මේක ඉවර කරන්ඩ ඕනෙ හින්ද එයාල ටිපර් වලින් කුණු ගේන්ඩ පටන් ගත්ත. එතන ලොකු මාෆියා එකක් තියනව. එයාල එක ටිපර් එකකට ලක්ෂයක් වියදම් කරා කියනවා.”ඉෆ්ලාල් පවසයි.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රියාත්මක වූ පසුගිය වසරේ එක් වරක් අරුවක්කාලු කසල අංගනයේ සිට විශාල අප ජලය ප්‍රමාණයක් කලපුවට ගලා ආ ආකාරය මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.

“වහිද්දි මෙතන උඩින් කලපුවට ගලාගෙන වතුර එන්නෙ නෑ. අපි දැක්ක කළපුවට පොළොව යටින් බුබුලු බුබුලු වතුර එනව. මොකද මෙතන මුහුදු මට්ටමට වැඩිය පහලින් තියෙන්නෙ. අපෙන් ජනාධිපති ඇහුව කුණු අරුවක්කාලුවෙ දාන්නෙ නැතුව මුහුදෙද දාන්නෙ කියල. දැන් මුහුදෙනෙ දාන්නෙ.” ඉෆ්ලාල් පවසයි.
මොවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර වාර්තාවක් ලබා ගෙන නැත. පරිසර වාර්තාවක් ලබා ගෙන ඇත්තේ මෙම ඉදිකිරීම් සිදුකරන ස්ථානයේ නොව මීට පෙර මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට සැලසුම් කළ මෙම ස්ථානයට කිලෝමීටර් කිහිපයක් ඈතින් පිහිටි සිමෙන්ති හෑරූ වලවල් තුළය.

“මෙයාල පරිසර වාර්තාවෙ කියන්නෙ ඈතින් ගම්මාන තියෙන්නෙ කියල. කොච්චර දුරකින්ද කියල නෑ. එතකොට සේරක්කුලිය මොකක්ද? අනිත් එක සමාජ ප්‍රශ්න. මෙතන විල්පත්තුවට ගොඩක් ආසන්නන්යි. ඒ නිසා අලි එනව. අපි ඒ පැත්තෙ ගියහම දැකල තියනව ගම්මානයට අලි ඇවිත් තියනව. ගම්මාන පහකට මේ බළපෑම එන්ඩ පුලුවන්. මෙයාල මිනිස්සුන්ගේ අදහස්, අවසරය අරගෙන නෑ, එහෙම ගන්ඩ ඕනෙ කියල නීතියේ තියනව. මෙයාල දැනුවත් කිරීම් කරා කියනවා. මෙයාල ඒ ඔක්කොම කරේ වනාත විල්ලුවෙ. සේරක්කුලියෙ මිනිස්සු තමන්ගෙ වැඩ ඔක්කොම දාල ත්‍රීවිල් එකට බස් එකට සල්ලි වියදම් කරල එයාල මෙතනට එන්නෙ නෑ නෙ. එතකොට මේ වැඩසටහන කළේ ගමේ මිනිස්සුන්ට නෙවේ, රජයේ සේවකයන්ට. එයාල ඇවිල්ල බත් කාල තේ බීල යනව. අනිත් එක මේක ඓතිහාසික භූමියක්. මයෝසීන පටියට මේ භූමිය අයත් වෙනව. ඒවගේම ඉලූකා කියලා ඕස්ටේ්‍රලියානු සමාගමක් ඒ පැත්තෙ ඉල්මනයිට් හාරන්ඩ හදනව, ඒකත් මෙයාලගෙ ටාගට් එකක්. කුණු දාල ඉල්මනයිට් අරන් යන්ඩ හදන්නෙ. මම දැක්ක එයාලගෙ මැප් එකක අරුවක්කාරු රතුපාටින් මාක් කරල ”ආකියෝලොගි ඉම්පෝටන්ට් සයිඞ්” කියල දාල තියනවා. අපි පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට ”ආර්.ටී.අයි” එකක් දැම්ම එයාල කියනව ඒ භූමිය වැදගත් නෑ, හෙව්වොත් කියන්නම් කියල. එයාල කුණු දාන්න කලින්නේ පරීක්ෂා කරල බලන්න ඕනෙ.” නදීහා හිස්මි පවසයි. ඇය සමාජ විද්‍යාඥ්ඥවරියක් සේම කථිකාචාර්යවරියකි. ඇය පවසන ආකාරයට මෙසේ කිසිදු වගවීමකින් තොරව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් එය අනාගතයේ විශාල උපද්‍රවයක් වනු ඇත.

සේරක්කුලියේ පමණක් නොව පුත්තලමේ මිනිසුන්ටද දැන් ජීවත් වීමට සිදුව ඇත්තේ සැක, බිය සහ අවිනිශ්චිත බව කරපින්නාගෙනය. ඔවුන්ට තමන් සතුටින් ගතකළ නිස්කලන්ක අතීතය අමතක කර දමන්නට සිදු ඇත. ”අපේ තාත්තල සීයල මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව, නොරොච්චෝලෙ එහෙම එද්දි රටට සේවයක් වෙන නිසා කරබාගෙන, ඉවසගෙන ඉන්න ඇති. හැබැයි දැන් කුණු ගෙනත් දානකොට අපිට ඉවසගෙන ඉන්න බෑ. එහෙම උනොත් අපේ දරුවො අනාගතේ අපට සාප කරාවි.” අවසානයේ ඉෆ්ලාල් අප සමඟ පැවසීය.

අපි කොන්දේසි 147ක් සැපිරුවා

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක

අපට තියන චෝදනා තමයි, භූගත ජලය ඉවරයි. කලපුව, ධීවර කර්මාන්තය ඉවරයි, ලුනු ටික ඉවරයි. මේ හැම එකක්ම වළක්වන්න පුවන් ක්‍රමයක් තමයි සනීපාරක්ෂක කසල රඳවනයක් කියන්නෙ.

අපි සනීපාරක්ෂක කසල රඳවනයක් හදන්න තෝරා ගන්න බිමේ පොළොව හාරල බලනව භූගත ජලය කොච්චර යටකින්ද තියෙන්නෙ කියලා. ඒ මට්ටමේ ඉඳල මීටර් තුනක් උඩින් තමයි අපි පතුල හදා ගන්නෙ. මෙහෙ අපි ස්ථාන අනූවකින් බැලුව. එහෙම බළල තමයි අපි පතුල ඉදි කළේ. මුලින්ම අපි කරන්නේ පතුල පස් වර්ගයක් ගෙනල්ල වතුර දදා තලනව. එහෙම තලන්නෙ නිවුටන් තුන්සීයක් ඔරොත්තු දෙන විදිහට. එහෙම පතුල හදා ගත්තට පස්සෙ පයිප්ප ලයින් එකක් එලනව. මොකද බැරිවෙලාවක්වත් වතුර උඩට ආවොත් ඒව ඉවත්කරන්ඩ තමයි මේක දාන්නෙ.ඒකට උඩින් ගල් ස්ථරයක් දානව. ඊට පස්සෙ ජියෝ ටෙක්ස්ටයිල් කියල ප්ලාස්ටික් ලේයර් එකක් දානවා. ඒකට උඩින් ක්ලේ (කිරි මැටි ස්ථරයක් දානව. මේකට උඩින් ආය ජියෝ ටෙක්ස්ටයිල් එකක් දාලා ඒකට උඩින් බෙන්තොනයිට් ශීට් එකක්. මේකෙ ජලය ගෑවුනහම ඒක සීල් වෙනව. ඒකෙ විශේෂත්වය තමයි ඒක හරහා ජලය ගමන් කරන්නේ නෑ. ඒකට පස්සේ මිලිමීටර් 1.5ක ඝනකමට එච්.ඩී.පී. ස්ථරයක්. ඊට පස්සෙ ප්ලාස්ටික් ශීට් එකක් දානවා. ඒක උඩට ආයෙ පයිප ලයින් එකක් එනවා. ඒක එන්නේ උඩ ඉඳල කුණු වතුර ආවොත් ඒවා පහලට යන එක නවත්වන්න. මේකෙන් එන වතුර එක එළියට දාන්නෙ නෑ. ඒක අපි පිරිසිදු කිරීම් වලට ලක් කරනව. මේකට උඩින් කලුගල් තට්ටුවක් දානව. ඒක උඩට ආය ජියෝ ටෙක්ස්ටයිල් ලේයර් එකක් දානව. ඊට පස්සෙ ඒක උඩට ෆැබි්‍රක් ලෙයර් එකක් දානව. ඊට පස්සෙ ඒක උඩට තමයි කුණු දාන්නෙ. මේ විදිහටම පැති බැම්මත් හදනවා. ඒ නිසා මම වගකියනව මේකෙන් භූගත ජලයට හානි වෙන්නෙ නෑ කියල. ඒ වගේම අපි මේකෙ හැදෙන මීතේන් ටික බට දාල එළියට ගන්නව. එහෙම එන මීතේන් එළියට එන තැනම ස්පාර්ක් වෙලා පිච්චිල එළියට එන්නේ මොකද අපට මීතේන් වායුගෝලයට මුදාහරින්ඩ බෑ. එහෙම උනොත් සනීපාරක්ෂක කසල රඳවනයක් වෙන්නේ නෑ.

මේ ව්‍යාපෘතිය සිදුවන භූමියට අදාළව පරිසර වාර්තාවක් අරගෙන තියනවද?

ඔව්. 2013 ආණ්ඩුව කාලේ මේ ව්‍යාපෘතිය කරන්න හැදුවේ මීට කිලෝමීටර හයක් එහා. එතනට පරිසර වාර්තාවක් ගත්ත, එතනදි ප්‍රශ්නයක් ආව. ඒක විල්පත්තු ස්වාරක්ෂක කලාපයේ තියෙන්නෙ කියල. ලංකාවෙ නීතියට අනුව ස්වාරක්ෂක කලාපයක් තුළ කිසිම ඉදිකිරීමක් කරන්ඩ බෑ. ඊට පස්සෙ අපි නැවත සමීක්ෂණයක් කරල තමයි වර්තමාන තැන හොයා ගත්තෙ. ඒ තැන 1970, 71, 72, 73 කාලෙ හිරිගල් කඩල දාපු අතඇරල දාල තිබ්බ වලවල්. අපි මේකට වෙනම පරිසර වාර්තාවක් ගත්ත. ඊට පස්සෙ පරිසර අධිකාරිය මාසයක් මේකට විරෝධතා කැඳෙව්ව. මේකට විරෝධතා එකසිය පනහක් විතර ආව. අපි ඒවට උත්තර දුන්නට පස්සෙ පරිසර අධිකාරිය අපිට නව කොන්දේසි එකසිය හතලිස් හතක් දුන්න. එතකොට අපේ පරිසර ව්‍යාපෘතියට අනුමැතිය දුන්නෙ කොන්දේසි එකසිය හතලිස් හතක් එක්ක.

මෙතන සෑම වර්ගයක කුණු දානවද?

ඔව්. සනීපාරක්ෂක කසල රඳවනයකට සෑම වර්ගයකම කුණු දාන්ඩ පුලුවන්, හැබැයි කොම්පෝස්ට් හදන්ඩ පුලුවන් ඒවයෙන් ඒව කරගන්ඩ කියල අපි කොළඹ මහ නගර සභාවට කීව. හැබැයි එයාල ඒ ගැන කිසිම සැලකිල්ලක් නෑ. දැන් මැෂින් තියනව පැය හතරෙන් කොම්පොස්ට් හදන, කොළඹ මහල් නිවාස වල දිරන කසල එකතු කරල ඒව කොම්පෝස්ට් කරන්න පුලුවන් හැබැයි කොළඹ මහ නගර සභාව මේව හැම එකක්ම එකතු කරනව. ඒව ඔක්කොම අරුවක්කාලු වලට ගෙනත් දානව. එයාල කුණු එකතු වෙන විදිහටම ගෙනි යනව. මේ දවස් වල වහිනවා. එතකොට තෙමෙනව. මෙයාල එහෙම්මම වතුර පෙරි පෙරී ගෙනියනව. ඒකෙ වගකීම කොළඹ මහ නගර සභාව ගන්න ඕනේ.

අරුවක්කාලුවේ දාන කුණුවල ගඳ සේරක්කුලියට පැතිරිල යෑම නිසා ඔවුන් අපහසුතාවයට පත් වූ බවට ඒ ගම් වැසියන් චෝදනා කරනවා.

මේක ගැන මම වගකියනව. මේ ස්ථානයට ඉතාම හොඳ දුගඳ පාලකයක් ගහනව. මේ ගැන අපිට දැනුම් දුන්න. අපි දැන් වෙන දුගඳ පාලකයන් එතනට යොදවනව. මොකද දැන් දුගඳ පාලනය බොහොම සරල දෙයක්. ලෝකෙ ඒක ඉතාම සාර්ථකව සිද්ධ කරනව.

මේ ව්‍යාපෘතියට ලෝක බැංකු ආධාර ලැබීමට තිබූ අවස්ථාව අහිමි වෙන්නෙ “චයිනා හාබර් කන්ට්‍රක්ෂන් සමාගම” වෙත මේ ව්‍යාපෘතිය ලබා දීම නිසා නේද?

නෑ. ලෝක බැංකුව අපට මේ ව්‍යාපෘතියට සහයෝගය දෙන්ඩ එයාල දාපු කොන්දේසි අපි ඉටු කරන්න ගියා නම් අපට 2020 වෙද්දිවත් මේ ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතුවත් පටන් ගන්ඩ වෙන්නෙ නෑ. ඒ කොන්දේසි වලට අපි එකඟ නොවීම නිසා තමයි ලෝක බැංකු ණය අපට අහිමි වෙන්නේ. අනික මේ ඉදිකිරීම් සමාගම ලෝක බැංකුව විසින් තහනම් කරල තියෙන්නෙ රටවල් කිහිපයක විතරයි. ලෝක බැංකු ආධාර යටතේ ඉදිවන පෝට් සිටි ව්‍යාපෘතිය පවා මේ ඉදිකිරීම් සමාගම විසිනු සිදු කරන්නෙ. ඒවගේම හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඇතුලු ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන බොහෝ ව්‍යාපෘති මේ ආයතනය විසින් සිදු කරන්නෙ.

මේ ඉදිකිරීම් නිසා මයොසීන පටියට හානි වීමක් සිදුවෙනව කිය චෝදනාවක් තියනවා.

එහෙම නම් මුලින්ම විරුද්ධ වෙන්න ඕනෙ හිරිගල් කඩනකොට නෙවේද? මයෝසීන තිබ්බත් හිරිගල් කැඩුවට පස්සෙ ඒව ඉතුරු වෙයිද? ඒකම තමයි අපි මේකට හානි වෙච්ච පරිසර පද්ධතියක් තෝර ගත්තේ.