ක්ෂුද්‍ර මූල්‍ය පරිණාමය හා ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය

රසික ගුණවර්ධන

ක්ෂුද්‍ර මූල්‍ය ඉතිහාසය

අනන්‍යා රෝයි (Ananya Roy) විසින් රචනා කරන ලද  Power to capital නම් ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය, සංවර්ධන තලයේ සෑම තැනකම පාහේ පැතිරී පවතී. එය තෝරා ගත් සර්ව රෝග නාශකය ලෙස ද හැඳින්විය හැකිය. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය හඳුන්වා හඳුන්වාදෙනු ලබන්නේ කෝකටත් තෛලය වශයෙනි. එය දුප්පත්කම නැති කිරීමට යොදා ගන්නා ඖෂධයක් බඳුය. එහෙත් එය අද වන විට මිනිසුන් සියදිවි නසාග ැනීම් වලට පොළඹවන මිනිසුන් මරණයට පත් කරන සයනයිඞ් කරලක් බවට පත්වී ඇත. ඒ විපරිණාමය ඇතිවීම සහ එහි ව්‍යුහයන් සහ ක්‍රියාවලීන් හඳුනා ගැනීම මෙහිලා මූලික අරමුණු කොට ගනී. ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මොහොමඞ් යූනුස් (Muhammad Yunus) ඉතා වැදගත් පුද්ගලයෙකි.

ක්ෂුද්‍ර මූල්‍ය ලබාදෙනු ලබන ක්‍රමවේද ගණනාවක් අතුරින් ග්‍රාමීන් (Grameen) යන ක්‍රමවේදය හඳුන්වා දෙනු ලබන්නේ මොහු විසිනි. ඒ සඳහා ඔහුට 2006 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය ද හිමිවනු ලබයි. 1947 දී වොෂින්ටන් හිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව සමුළුවක් පවත්වනු ලැබූ අතර එහිදී මොහොමඞ් යූනුස් විසින් ඔහුගේ ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ (ග්‍රාමීන්) අරමුණ පැහැදිලි කරනු ලැබීය. එහිදී ඔහු මෙම සංකල්පයේ අරමුණ ලෙස පැහැදිලි කරනු ලබන්නේ “දුප්පත්කම කෞතුකාගාරයට යැවීම” යි. ඒත් අද වන විට ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය ගතහොත් ඒ අරමුණ ඉෂ්ට වී ඇති බවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත. එසේම එම සමුළුවේදී ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධව ප්‍රධාන මාතෘකා හතරක් යටතේ කතාබහට ලක්විය. එම මාතෘකා හතර මෙසේය.

1. දුප්පතුන්ගෙන් දුප්පතුන්ට ළඟාවීම.

2. කාන්තාවන් බලගැන්වීම.

3. ස්වයංපෝෂිත මූල්‍ය සමාගම් පිහිටුවීම.

4. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගන්නා පවුල්වල සාමාජිකයින්ට ධනාත්මක බලපෑමක් එල්ල කිරීම.

නමුත් මේ අරමුණු හතර අතුරින් ලංකාවේ ඉතා හොඳින් ඉටු වී ඇත්තේ තුන්වැනි කාරණය වන ස්වයංපෝෂිත මූල්‍ය සමාගම් පිහිටුවීමයි.

ඉන්දියාවේ ආන්ද්‍රා අත්දැකීම.

කෙසේ වෙතත් සමාජ සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය උදෙසා හඳුන්වා දුන් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය මේ වන විට ලංකාවේ විනාශකාරී ලෙස ක්‍රියාත්මක වුවද ක්ෂුද්‍ර මූල්‍ය මෙලෙසම විනාශකාරී ලෙස ක්‍රියාත්මක වූ තවත් අවස්ථාවක් ඉන්දියාවෙන් හමු වේ. ඒ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙනි. වික්‍රම අකුලා නමැති පුද්ගලයා විසින් ආරම්භ කරන ලද SKS නමැති සමාගම හරහා ඉතා විශාල වශයෙන් ලබා දුන් ක්ෂුද්‍ර මූල්‍ය ණය හරහා දැනට ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය වැනිම අර්බුදයක් මතු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් සියදිවි නසා ගත්හ. මෙම සිදුවීම පැහැදිලි කිරීම සඳහා හල්ඩර් සහ ස්ටිග්ට්ලස් Haldar and Stiglitz) නමැති පරීක්ෂකයන් දෙදෙනා විසින් 2010 දී පරීක්ෂණයක් සිදු කරනු ලබයි. එම පරීක්ෂණයේ දී ඉතා පැහැදිලිවම ඔවුන් හඳුනා ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ විනාශකාරී අදියර තුනක් පවතී.

1. කඩපිල් අවදිය (The Boutique Moment) – මෙම අවධියේදී දුප්පත්කම නැති කිරීම අරමුණු කරගනිමින් ඉතා සුළු පරිමාණ වශයෙන් ණය ලබාදීම සිදුවිය. මෙම ණය ලබාදීම් සිදුවූයේ ගෘහ කර්මාන්තයන් සඳහාය. මෙම අවධියේ පැවති ඉතා විශේෂ ලක්ෂණයක් වන්නේ ණය ආපසු ගෙවීම් ඉතා ඉහළ ප්‍රතිශතයකින් වාර්තා වීමයි. එම ප්‍රතිශතය 98% ක් තරම් ඉතා ඉහළ අගයක් විය. එසේම මෙම අවධියේදී ණය ලබාදීම් සිදුවූයේ කිසිදු නීත්‍යනුකූල ලියවිල්ලකින් තොරවයි. එනම් එය විශ්වාසය මත පදනම්වූ ණය ලබාදීමකි. මෙහිදී ණය නැවත ගෙවීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහළ වීම නිසා මෙම ක්‍රමය ඉතාම ලාභදායි ක්‍රමයක් ලෙස මූල්‍ය සමාගම් විසින් හඳුනා ගනු ලබයි.

2. ස්වර්ණමය අවධිය (The golden Age) – මෙම අවධියේ දී ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම ඉතා විශාල වශයෙන් ඉහළ යනු ලබයි. මෙම අවධියට 1980 පමණ සිට 2006 පමණ දක්වා කාලයට අයත් වේ. මෙම අවධියේ දී ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය රටවල් අසූ හතරක පමණ ප්‍රචලිත වන අතර මිලියන 100ක පමණ ජනතාවක් මෙම ණය ලබාගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මොහොමඞ් යුනුස් ට නොබෙල් සාම ත්‍යාගය හිමිවේ.

3. අර්බුදකාරී අවධිය (The age of crisis) – මෙම අවධිය තුළ හඳුනාගත හැකි ඉතා විශේෂිත කරුණක් වන්නේ අසීමිත ණය ලබාදීම හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය වාණිජකරණයට ලක්වීමයි. සද්භාවයෙන් ආරම්භ කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය අවසානය හුදු ව්‍යාපාරයක් පමණක් බවට පත්වනු ලබයි. මේ නිසා ඉතා විශාල වශයෙන් ණය ලබා ගැනීම් හරහා මිනිසුන් දෙසීයකට වඩා වැඩි ගණනක් ආන්ද්‍රා ප්‍රදේශය තුළ සියදිවි නසාග ැනීම් සිදු වේ.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මෙම සිදුවීම වාර්තා වූ විට ඉතා ඉක්මනින් ඉන්දියානු රජය විසින් මෙම SKS සමාගම රජය වෙත පවරා ගනු ලබයි. එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙනු ලබන අතර එක් පවුලකට ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණයක් ද නියම කරනු ලබයි.

ලංකාව සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය

ශ්‍රී ලංකාව තුළ 1980 – 2006 අතර කාලය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ණය ඉතාම විශාල වශයෙන් ප්‍රචලිත වීම සිදු වේ. එසේම එම කාලය තුළ මේ සම්බන්ධව ඉතා විශාල පරීක්ෂණ ප්‍රමාණයක් ද සිදුව ඇත. IPS සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථ නාමාවලියට අනුව 115 ක් පමණ පරීක්ෂණ ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇත. නමුත් මෙම පරීක්ෂණ අතරින් බහුතරය හඳුනාගනු ලබන්නේ මෙහි ධනාත්මක අර්ධය පමණි. නමුත් 2009න් පසු යුද්ධය අවසානයත් සමග මෙහි සෘණාත්මක අර්ධය මතුවීම ආරම්භ විය. එහෙත් එම ඍණාත්මක අර්ධය පිළිබඳව සිදුව ඇති පරීක්ෂණ ගණන ඉතාම අල්පය.

මොහොමඞ් යූනුස් විසින් 1983දී ග්‍රාමීන් සංකල්පය හඳුන්වා දීමට පෙර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ක්‍රියාත්මක විය. වර්ෂ 1911 දී සමුපාකාර ණය සමිති හරහා ක්ෂුද්‍ර මූල්‍ය සේවාව ලංකාවට හඳුන්වා දීම සිදුවිය. ඉන්පසු 1942 වනවිට විට සමුපාකාර ණය සමිති යොදාගනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් ඇති වූ ආහාර අර්බුදය සමග ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහාය. එහිදී කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා 1942 දී මෙම ණය සමිති යොදාගනු ලැබීය. 1964 දී සමුපකාර ග්‍රාමීය බැංකු පිහිටුවන අතර 1986 දී ප්‍රාදේශීය සංවර්ධන බැංකු පිහිටුවනු ලබයි. මේවා සියල්ලකින්ම පාහේ ඉලක්ක කරනු ලැබුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයයි.

1986 වර්ෂයේ වර්ෂයේ දී පළමු වන රාජ්‍ය නොවන සංවිධානය ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් ලබාදීම ආරම්භ කරනු ලබයි. ඒ සර්වෝදය ආයතනය විසිනි. 1991 දී ජනසවිය ට්‍රස්ට් සුළු ගොවීන්ට ණය ලබා දීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ඉන්පසු, පැවැති ජනසවිය ට්‍රස්ට් නැවත National Development Trust යනුවෙන් නම් කරනු ලැබීය. කෙසේ වෙතත් ඉතා වැදගත් සිදුවීමක් වන්නේ 1992 දී මහබැංකුව තමන්ට පැවැති ප්‍රධාන කාර්යභාරයන් දෙකක් වූ සංවර්ධන කාර්භාරය සහ අධීක්ෂණ කාර්යභාරය අතුරින් සංවර්ධන  කාර්යභාරයෙන් ඉවත් වීමයි.

ඉන්පසු 1997 දී සමෘද්ධි අධිකාරිය පිහිටුවනු ලබයි. මෙම සිදුවීම් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ සන්ධිස්ථාන ලෙස හඳුන්වා දිය හැකිය. ආසියානු සංවර්ධන බැංකුව විසින් 2000 වසරේදී සිදු කරනු ලැබූ පරීක්ෂණයකට අනුව ඔවුන් හඳුනාගෙන ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය වාණිජකරණය වීම 2000 වර්ෂයේදී පමණ ආරම්භ වන බවයි. 2000 වසරේදී ලබාදී තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රමාණය මිලියන දහඅටදහස් දෙසිය දහතුනකි.

වසර 2018 වන විට එය බිලියන අනූ හතරදහස් හාරසිය පහළොව දක්වා ඉහළ ගොස් ඇත. එය 400% ක වර්ධනයකි. එනම් සාමාන්‍යයෙන් එක් වර්ෂයක් තුළ 23%කින් කර්මාන්තය වර්ධනය වී ඇත. එහෙත් මහ බැංකුව විසින් මෙම ණය ලබාදීම් සඳහා කිසිදු නියාමනයක් සිදුකර නැත. සාමාන්‍යයෙන් වාණිජ බැංකුවකින් ණය ලබාදීමක් සිදු වන විට ඒ සඳහා කිසියම් තක්සේරු කරන ක්‍රමවේදයක් පවතී. එය හරහා ණය ලබාගන්නා ලබා ගන්නා පුද්ගලයා පිළිබඳව කිසියම් ඇගයීමක් සිදු වේ. නමුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේදී එවැනි කිසිදු පාලනයක් දැකගත නොහැකිය. ඒ හේතුවෙන් මෙම ණය ලබාදීම අසීමිතව සිදු වේ. මෙය ඉතා භයානක තත්වයකි.

එසේම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය තුළ සිදු වූ ඉතා විශාල හැරවුම් ලක්ෂයන් දෙකක් ලෙස සුනාමිය සහ යුද්ධය අවසන්වීම හඳුන්වා දිය හැකිය. සුනාමි ව්‍යසනයේදී ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස මුදල් මෙරටට ගලා ඒම සිදුවිය. එම මුදල් භාවිත කරමින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පිහිටවූ බවට හා එම මුදල් අවභාවිත කළ බවට කියවෙන ඇතැම් පරීක්ෂණ වාර්තා ඇත. එසේම 2009දී යුද්ධය නැවතීමෙන් පසු මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන උතුරු සහ නැගෙනහිර පළාත්වලට සංක්‍රමණය වීම සිදුවිය. ඒ හරහා එම ප්‍රදේශවල ජනතාවද පාරිභෝගිකයන් ලෙස මෙම ණය දැලට හසුකර ගැනීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට හැකියාව ලැබුණි. විපරිණාමය ප්‍රධාන ලක්ෂණ අතීතයේ සිදු වූ සියලු ම ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් රජයේ මැදිහත්වීම සහිතව සිදු වූ වැඩසටහන්ය. එය හරහා ඒවාට කිසියම් නියාමනයක් සහ පාලනයක් ලැබුණි. එහෙත් වර්තමානයේ එම රාජ්‍ය මැදිහත්වීම ගිලිහීමත් සමගම ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය වාණිජකරණයට සහ වංචාකාරීත්වයට ලඝු වී ඇත. අතීතයේ පැවති ක්ෂුද්‍ර මූල්‍ය සේවාවන් ණය ලබාදීමට වඩා ඉතුරුම් පිළිබඳව සැලකිල්ලක් දැක්වීය.

එකල පැවතියේ ඉතුරුම් මත ණය ලබාදීමේ ක්‍රියාවලියකි. නමුත් අද වන විට ඉතුරුම් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ණය ලබා දීමට පමණක් අවධානය යොමු කොට ඇත. එය කෙතරම් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වනවාදැයි යත් එක් ණයක් ගෙවා ගෙන යන අතරතුර තවත් ණයක් ලබාදීම සිදුවේ. එසේම අතීතයේ තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ඉතාම පහළ මට්ටමක පොලී අනුපාතයක් සහිතය. අද වන විට එම පොලී අනුපාත 220% දක්වා තරමේ ඉහළ වන බව දැක ගත හැකිය. එසේම අතීතයේ පැවති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන්නේ ස්වයං කර්මාන්ත ආරම්භ කිරීම උදෙසා වූ අතර එහිදී කිසියම් ආයෝජන අරමුණක් පැවතියේය. නමුත් වර්තමානයේ ණය ලබාදීම දෙස බලන විට ඒවා බොහෝවිට සිදුවන්නේ පරිභෝජන අරමුණු උදෙසාය. ආයෝජන අරමුණක් උදෙසා ණය ලබා ගතහොත් එයින් ආදායමක් නැවත ඉපදවිය හැකිය. නමුත් පරිභෝජන අරමුණකට ණය ලබා ගැනීමේදී පරිභෝජනය කිරීම අවසන් වූවාට පසුව නැවත ආදායමක් ඉපදවීමට හැකියාවක් නැත. ඒ හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකිව විශාල අර්බුදයක් පැනනගී.

පොලී අනුපාත මන්ත්‍ර

සාමාන්‍යයෙන් වෙළෙඳපොළ ණය පොලී අනුපාතය 14%ක් පමණ වන විට ණය පතකට ගෙවන පොලී අනුපාතය 28%ක් පමණ වේ. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අය කරනු ලබන පොලිය 40%-220% අතර අනුපාතයකි. අහිලන් කදිරගාමර් සහ නියන්තිනී කදිරගාමර් යන දෙදෙනා ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව විශාල වශයෙන් පරීක්ෂණ සිදුකර ඇත. ඔවුන්ට අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ණය ලබාදීමේදී පාරිභෝගිකයා පිළිබඳව ඇගයීමක් සිදු කර නොමැත. ඒ ප්‍රදේශවල ණය ලබාදීම සිදුව ඇත්තේ හැඳුනුම්පත ලබා දීමෙන් පමණක්ය. ඒ කෙතරම් අවදානම් සහගත ක්‍රියාවලියක්ද යන්න ඔවුන් පෙන්වා දෙනු ලබයි. නියන්තිනී කදිරගාමර් ප්‍රකාශ කරන ආකාරයට මෙය ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා පුද්ගලයන්ගේ හෝ ක්ෂුද්‍ර මූල ආයතනවල පවතින ගැටලු වක් නොවේ. මෙය රජයේ ප්‍රතිපත්තිමය වශයෙන් පවතින ගැටලුවකි.

පිළියම් නිවැරදි ද?

ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව රජය විසින් ගත් පළමු පියවර නම් 2016 දී ක්ෂුද්‍ර මූල්‍ය පනත හඳුන්වාදීමයි. මෙම පනත අධ්‍යයනය කිරීමේදී හැඟීයන ප්‍රධාන කාරණය නම් මෙම පනත ප්‍රධාන වශයෙන් අරමුණු කර ගනු ලබන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත්‍ර ලබාදීම සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රමිති පිහිටුවීම සඳහා වන බවයි. නමුත් පාරිභෝගික පාර්ශ්වයට කිසිදු ප්‍රතිලාභයක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය පනත හරහා ඇත්තේ නැත. මෙම ක්ෂුද්‍ර මූල්‍ය පනත, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය ලියාපදිංචි කිරීම සඳහා හඳුන්වා දෙනු ලැබූවත් මහ බැංකු වෙබ් අඩවියට අනුව 2019 මැයි මස 9 වන දින දක්වා ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දෙකක් පමණි. (සබැඳිය බලන්න – https://www.cbsl.gov.lk/en/authorized-financial-institutions/licensed-microfinance-companies ) නමුත් ක්ෂුද්‍ර මූල්‍ය ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ වෙබ් අඩවියට අනුව එහි ආයතන හැටකට අධික ප්‍රමාණයක් පවතී.(සබැඳිය බලන්න – http://www.microfinance.lk/microfinance_in_sri_lanka_members.php )

එසේම මෑතකදී රජය විසින් 35% ක උපරිම පොලී අනුපාතයක් හඳුන්වා දෙනු ලැබීය. එහෙත් එය බල පැවැත්වෙන්නේ විශේෂිත කල්බදු සමාගම් සඳහා පමණි. ඒ හරහා අවිධිමත් වෙළෙඳපොළ තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් පවතින අතර ඔවුන්ට මේ හරහා ඉහළ පොලී අනුපාත අයකිරීමේ හැකියාවක් ඇත. මූල්‍යකරණය මෙම ගැටලු වේ ප්‍රධානම හේතුව ලෙස මූල්‍යකරණය හඳුන්වා දිය හැකිය. ඇමරිකාවේ ඇති වූ මූල්‍ය අර්බුදයේ දී ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළේ එය මූල්‍යකරණය හරහා සිදුවූ බවයි.

 

මූල්‍යකරණය

යනු මූර්ත අංශය සහ මූල්‍ය අංශයේ පවතින අසමබර වීමයි. ආර්ථිකයේ මූර්ත අංශය සහ මූල්‍ය අංශය යනුවෙන් කොටස් දෙකක් පවතී. භාණ්ඩ නිෂ්පාදනය මූර්ත අංශයයි. මූර්ත අංශයට පහසුකම් සැපයීම කරන්නේ මූල්‍ය අංශයයි. මෙම කොටස් දෙක අතර සෑම විටම සමබර බවක් පැවතිය යුතුය. නමුත් මේ වන විට සිදුව ඇත්තේ මූල්‍යමය අංශය විසින් මූර්ත අංශය ඩැහැ ගැනීමයි. මූල්‍යකරණය පිළිබඳ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කොස්ටාස් ලැපවිස්ටස් (Costas Lapavistas) නමැති ආර්ථික විද්‍යාඥයා විසින් හඳුනාගනු ලබයි. පළමුවැනි කරුණ නම් විශාල සමාගම් බැංකු ක්‍රමය මත ඇති වැදගත්කම ක්‍රමයෙන් අඩුවීමයි. දෙවන කාරණය වන්නේ එය හරහා බැංකු ක්‍රමය කුටුම්භගත එනම් සාමාන්‍ය ජනතාව සමග සමග ගනුදෙනු කිරීමට විවෘත මූල්‍ය වෙළෙඳපොළෙන් ඈත්වීමයි. තුන්වන කාරණය නම් සාමාන්‍ය ජනතාව බැංකු ක්‍රමය මත වැඩි වශයෙන් යැපීමට පටන් ගැනීමයි. මෙම කරුණු තුන සමඟ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විමසා බැලු වහොත් ඉතා පහසුවෙන් මෙය හා ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය අතර සම්බන්ධයක් ඇති බව වටහා ගත හැකිය.

නීතිය හා සමාජභාරය විසින් පවත්වනු ලැබූ, ණය රාජධානිය : ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයේ උභතෝකෝටිකය (Realm of Debt : Dilemma of Sri lanka’s rural economy) සාකච්ඡාවේදී එම සංවිධානයේ පර්යේෂිකා ඉමේෂා පෙරේරා විසින් ඇගේ පරීක්ෂණයකින් ඉදිරිපත් කරන ලද තොරතුරු පාදක කොටගෙන ලිපිය සම්පාදනය කර ඇත.