ජනපතිවරණයක් නෑ? රනිල් – මෛත්‍රී – මහින්ද සාකච්ඡා තවමත් විවෘතයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

ජනාධිපතිවරණයක් නොපවත්වා, ජනාධිපතිවරයා පත්කර ගන්නා ආකාරයේ වෙනසක් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒ පිළිබඳ, ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡා තවදුරටත් විවෘතව පවතින බව වාර්තා වේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සඳුදා (26), රනිල් වික්‍රමසිංහ මහතා සහ රවි කරුණානායක මහතා ජනාධිපතිවරයා හමුවී ඇති අතර අඟහරුවාදා (27) මහින්ද රාජපක්ෂ මහතා හමූ අවස්ථාවේ, ජනාධිපතිවරයා ඒ ගැන දැනුවත් කර තිබේ.

ඒ අනුව එක්කෝ ජවිපෙ ගෙන ආ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම නැතහොත් ජනාධිපතිවරයා පත් කරන ආකාරය වෙනස් කිරීමේ වෙනමම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය වන නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහ මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ සහය නොමැතිව එවැනි යෝජනාවක් ඉදිරියට ගෙන යා නොහැක.

මේ පිළිබඳව වන නීතිමය තත්ත්වය ගැන විමසීමේදී, ව්‍යවස්ථා විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම කියා සිටියේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ආකාරය වෙනස් කිරීමේ පනත් කෙටුම්පතක්, සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් බවය. ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ ජනපතිගේ ධුර කාලය දීර්ඝ කිරීමට උත්සාහ කරන පනතකදී පමණක් බවද ඔහු පැවසීය.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ, ජනාධිපති පත්කිරීමේ ක්‍රමය, වෙනස් කිරීම සඳහා, කූට උපක්‍රමවලින් තොරව යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් තම පක්ෂය ඊට සහයෝගය දක්වන බවය. ජනාධිපතිවරණය මගහැරීමේ උමං මාර්ගයක් ලෙස සැලකිය හැකි එජාපයේ මෙම යෝජනාවට එජනිස කිසිසේත්ම එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම පැවසීය. මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කළේ පුද්ගලික වුවමනා එපාකම් මත ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ යටිකූට්ටු ක්‍රියාවන් තම පක්ෂය අනුමත නොකරන බවය.

19 වැනි සංශෝධනය අනුව මීළඟ ජනාධිපතිවරයා බලතල රහිත අයකු බව දැන දැනම ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ රුපියල් බිලියන ගණන් නාස්ති කර, පුරවැසියන්ගේ ආරක්ෂාවද අවදානමකට ලක් කෙරෙන බව ආචාර්ය නිහාල් ජයවික්‍රම වැඩිදුරටත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට තවත් මාස එකහමාරක පමණ කාලයක් පවතින නිසා අපේක්ෂා නොකළ දේශපාලන තීන්දු පවා ගැනීමේ ඉඩකඩක් පවතින බව ශ්‍රීලනිප, පොජපෙ සාකච්ඡාවලට එක්වූ මන්ත්‍රීවරයෙක් පැවසීය. ■