මාව හංවඩු ගහපු අය දැන් වේදිකාවේ – නාට්‍යවේදී ටනුජ් අනවරත්න

එන්. ලංකා මාගම්මන

ටනුජ් අනවරත්නගේ ‘සදොල’ නවකතාව සහ ‘හඳ එළියට වෙඩි තියන්න’ නාට්‍ය පිටපත දොරට වැඩීම සැප්තැම්බර් 13 සවස 3.00ට බස්නාහිර පළාත් සභා නව ශ්‍රවණාගාරයේදී සිදුවේ.

ඔබ එක් කලෙක ප්‍රායෝගික දේශපාලනය හා නිර්මාණ දේශපාලනය අතර සමාන්තර තත්ත්වයක් සොයා ගිය කලාකරුවෙක්. වසර 25කට පමණ පසු දේශපාලන ලෝකය හා නිර්මාණ ලෝකය තුළ කවර ස්වභාවයක්ද දකින්නට ලැබෙන්නේ?

දේශපාලනයයි, කලාවයි අතර අප බෙදුම් රේඛාවක් නිර්මාණය කළාට කලාව හා දේශපාලනය අතර සමාන්තර බවක් ඇති කරන්න අප උත්සාහ කරපු අවස්ථාවක් තිබුණා. ඒ කාලය තුළ අද අප දකින ලෝකය වසර 25කින් පැරණි වෙලා තිබුණේ. මිනිසුන්ගේ ජීවිත, සිතුම් පැතුම් සරල බවක් දුටුවා. අද වගේ මිනිස් ජීවිතවල සංකීර්ණතාව අප එදා මිනිස් ජීවිතවල දුටුවේ නැහැ. ඒ සංකීර්ණතාව නොතිබුණු නිසාම, අනවශ්‍ය තරගයක් මිනිස් ජීවිතවල තිබුණේ නැහැ. එදා යම් පමණකට හෝ එකිනෙකට ගරුකරන බව, එකිනෙකා හා අවබෝධය අදට සාපේක්ෂව දැනෙන ආකාරයකින් තිබුණා. එම කාලය තුළ නිර්මාණ කාර්යයේ යෙදෙන එක හා මිනිසුන්ට යමක් ඒත්තු ගැන්වීමේ පහසුවක් තිබුණා අදට වඩා. අද වෙන කොට ලෝකය සංකීර්ණවීම තුළ ගෝලීයකරණයේ බලපෑම මිනිසා තුළ තිබූ සංවේදීතාව නැති කරලා තිබෙන බවක් පෙනී යනවා. අප පාසල් යන කාලේ ආදරය කරන්න ලියුම් ලිව්වා. අප කැමති ආදරවන්තිය අපට දිනාගන්න පුළුවන් වුණේ අපේ ලියුමේ තිබූ සිත්ඇදගන්නා ශක්තිය, නිර්මාණශීලීබව හා ආකර්ෂණීය බව නිසා. ඒ ආකාරයට ලියන්න ලියන්න අප තුළ නිර්මාණශීලී ආකාරයට ලිවීමේ හැකියාව වර්ධනය වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට කෙනෙක්ට දැනෙන විදිහට ලියන්න අප පුරුදු වුණා. අද වනවිට තාක්ෂණයේ පැමිණීමත් සමග වර්තමාන පරම්පරාව වෙතින් මේ හැකියාව ගිලිහී ගිහින් තියෙනවා. අද ඒ අය ආදර සන්නිවේදනය කරන්නේ කෙටි පණිවුඩයකින්. වර්තමාන පරම්පරාව මෙම තාක්ෂණ මෙවලම නිසා තම පණිවුඩය ඉතා ලඝු කිරීම හේතුවෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වයත් අහෝසි වෙන්න පටන් ගත්තා. අප දැන් පරම්පරා කීපයක් සමග අත්දැකීම් බෙදා හදා ගන්නා පිරිසක්. එදා අප මිනිසුන් සමග කරන ගනුදෙනුව පහසුවක් වුණාට සංකීර්ණ සමාජය තුළ මිනිසුන් සමග කරන ගනුදෙනුව පහසු එකක් නොවන බව අද වෙනකොට අපට වැටහෙනවා. මේ ඩිජිටල් පරම්පරාව සමග අප කොහොමද ගනුදෙනු කරන්නේ. ඔවුන්ට යමක් ඒත්තු ගන්වන විට අප ඔවුන්ගේ තැනට යනවාද? නැත්නම් අපේ තැනට ඔවුන් ගෙන්වනවාද? මේ දෙක අතර ඇතිවන දෝලනය, ව්‍යාකූල බව කිසිම දෙයකට පැහැදිලි නිර්වචනයක් දෙන්න බැරි තත්ත්වයකට පත් කරලයි තියෙන්නේ. එය තමයි මා වසර 25න් පසු අද දකින දෙය.

පරමාදර්ශී ජීවිත පැවැත්ම ලංකාවේ සමාජය තුළ අවසන් හුස්ම හෙළලද?

ලෝකයේ බොහෝ රටවලට ප්‍රතිමාන චරිත තියෙනවා. අපේ රටට එහෙම ඒවා තිබුණේ නැහැ. අප ජාතික වීරයෝ කියන්නේ ජාතික වීරයෝ නොවන අයට. අප අදහන්නේ ඇදහිය යුතු නැති අය. අපේ අය අපේ රටට දැනෙන කිසිවක් නොකරපු නිසාම ප්‍රතිමාන ගොඩනැගුණේ නැහැ. චීනයට මාවෝ සේතුං, සිංගප්පූරුවට ලී ක්වාන් යූ සිටියා. අපට එහෙම අය සිටියාද? අපට කවදාවත් ප්‍රතිමානයක්, පරමාදර්ශයක්, මොඩලයක් තිබුණේ නැහැ. මේ සමාජය අද වැටිලා තියෙන ඛේදවාචකයට මූලික හේතුව ලෙස මෙය ලෙස සැලකිය හැකියි. අපට ගෞරව කළයුතු චරිත නොතිබුණු නිසාම අප කාටවත් ගෞරව කරන්න පුළුවන් මානසිකත්වයකින් හැදිලා නැහැ. විවිධ ක්ෂේත්‍ර තුළ යම් යම් පුද්ගලයන් සිටියා. එහෙත් රටක් හැටියට පරමාදර්ශයක් දෙන්න පුළුවන් නායකයන් අපට හිටියේ නැහැ. එසේ ප්‍රතිමානයක් ගොඩනගන්න පුළුවන් නායකයන් සිටියා නම් අපේ රටේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා.

ඔබ ‘විජේවීරයි තාත්තයි මමයි’ කියන කෙටිකතා සංග්‍රහය ලියන කාලෙ සමාජයට යම් දේශපාලන බලාපොරොත්තුවක් තිබුණා. අද එතන හිස් බවක් දැනෙනවද?
පැහැදිලිවම. ඒ කාලේ තිබුණු දේශපාලන තත්ත්වය සමග අපද මෝහනය වෙලා තමයි ඒ කෙටිකතා සංග්‍රහය ලියන්නේ. පෙර භාවිතාවන් පිළිබඳ යම් ආකර්ෂණීය බවක් තිබුණා. අඩුපාඩු සහිතව වුණත් ආදර්ශමත්, පිළිගත හැකි කොන්දේසි අපට තිබුණා. ඒවා අපේ නිර්මාණවලට ආදේශ කරගත්තා. අද බලන විට ඒවගේ බලාපොරොත්තු තබා ගත හැකි කිසිවෙක් නැති බවයි මගේ අදහස.

සමාජ ව්‍යාපාර ශූන්‍යවීමක් එක්ක නිර්මාණකරුවා හුදෙකලා වෙනවද?

යම් ආකාරයකට බලපෑමක් නිර්මාණකරුවකුට වෙන්න පුළුවන්. එහෙත් සමාජ ව්‍යාපාර ශූන්‍යවීමක් එක්ක නිර්මාණකරුවා මුළුමනින් හුදෙකලා වෙන බව කියන්න බැහැ. පවතින තත්ත්වය තුළ හොඳ නිර්මාණවලට තියෙන සදාතනික බව නැතිවන්නේ නැහැ. නිර්මාණකරුවකුට කාලයෙන් කාලයට එන සමාජ ව්‍යාපාර හරහා බන්ධනයක් ගොඩනැගෙනවා. ඒක තාවකාලික උප සංස්කෘතියක්. ඒවා නරක දේවල් නොවේ. සමාජ පරිවර්තන, මිනිසුන්ට හිතෙන විදියට ඒ දැනෙන දේවල් නිර්මාණය කරනවා. ඒ අනුවත් කලාවේ උප සංස්කෘතීන් බිහිවුණා. එහෙත් අද සමාජ ව්‍යාපාර නොමැතිවීම යම් පමණකට එවැනි උප සංස්කෘතියක් ගොඩනැගෙන කලාවකට යම් පසුබෑමක් ඇති කරනු ලබනවා. එහෙත් මිනිසාට ආමන්ත්‍රණය කිරීම කලාකරුවකුට තියෙන ඉඩ සමාජ ව්‍යාපාර මත යැපෙන්නේ නැහැ.

ඔබ නිර්මාණය කළ නාට්‍ය දෙකක් තමයි ‘සදොළ මල’ සහ ‘හෙට කළුවර නෑ.’ මේවා එක්තරා සමාජ දේශපාලන කතිකාවක් සමග සමාන්තර වුණා. හැම නිර්මාණකරුටම ලයින් එක වැදගත් නේද?

ඒ කියන නිර්මාණ දෙක මිනිසුන් තුළ තිබුණු සමාජ පරිවර්තනයකට, මිනිසුන් තුළ වූ කැමැත්ත, මිනිසුන්ට සමාජය වෙනස් කරන්න තිබූ ආශාව, පෙළඹවීම මත මාත් ඒ නිර්මාණකරණය හරහා යම් උත්තේජයක් ලබා දුන්නා. ඒ මීට වසර 20කට උඩදී. ඔය නිර්මාණ හරහා බොහෝ අය මාව හංවඩු ගැසුවා. සමහරු මගේ නිර්මාණ සමාජවාදී දර්ශනය යටතේ ගොඩනැගුණු කලා නිර්මාණ බව ප්‍රකාශ කරන්න වුණා. සමහරු කෙළින්ම ජවිපෙ නාට්‍යකරුවෙක් ලෙස මාව හැඳින්නුවා. සමහරු මගේ නාට්‍ය බලන්න ආවෙත් නැහැ. මගේ නිර්මාණවලට දායකවෙන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. පසුගිය කාලයේ මා දැක්කා මට ඒ ආකාරයට හංවඩු ගැසූ අය ඒ වේදිකාවල නැගලා ඉන්නවා. මා ඒ ගැන සතුටු වුණා. හැබැයි අප ඒ බලාපොරොත්තු වූ සමාජ පරිවර්තනය, මිනිසුන් බලාපොරොත්තු වූ පරිවර්තනය දෙන්න පුළුවන් පාර්ශ්වයක් අද ඉන්නවාද කියන එක ගැන මට ගැටලුවක් තියෙනවා.

මෑතදී ඔබ නිෂ්පාදනය කළ “හඳ එළියට වෙඩි තියන්න” නාට්‍යය සලකා බලද්දී ඔබ දැන් සංස්කෘතික දේශපාලනයක් මත සිටගෙන සිටින බවයි මට දැනෙන්නේ. ඒක හරිද?
එක්තරා දුරකට ඔබ හරි. හඳ එළිය තුළින් මිනිස් ජීවිතවලට එබී බලන්න මා උත්සාහ කළා. වසර 25කට පසුවයි මා එවැනි අත්දැකීමක් වෙත යොමු වුණේ. අප එකිනෙකා ප්‍රතිපක්ෂ වීම තුළින් අපේ පැවැත්ම වෙනුවෙන් අනෙකාව භාවිත කරන්න පෙළඹෙනවා. සමාජයේ වර්තමානයේ ඇතිවී තිබෙන සංකීර්ණතාවත් එක්ක කෙසේ හෝ තමා පවතින්න ඕනේ කියන අදහස නිසා, තමා ඒ සඳහා කාවද පාවිච්චි කරන්නේ කියන එක මෙතනදී අදාළ වෙන්නෙම නැති කරුණක්. එතනදි ඒ පාවිච්චි කරන කෙනාගේ අයිතිවාසිකම්, ඔහුගේ හැඟීම් ගැන, ඔවුන්ගේ මානසික තත්ත්වයන් කිසිවක් අදාළ වෙන්නේ නැහැ. ‘හඳ එළිය’ පුරාවටම තියෙන්නේ කෙනෙක් අනෙකාව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිත කරන ආකාරයයි. ඒ නාට්‍යයේ තිබුණේ චරිත හතරයි. නාට්‍ය අවසානයට යනවිට ඒ චරිත හතරම හුදකලා භාවයට පත්වෙනවා. මට පෙන්වන්න ඕනේ කළේ අප පෙන්වන දෙය නොවේ, අපගේ ඇතුළාන්තය කියන එකයි. එහි එන චරිතයක් වන සංස්කෘතික මුරදෙවියා බවට පත්වෙලා ඉන්නේ සංස්කෘතිය විනාශ කරන කෙනාමයි. සංස්කෘතිය ආරක්ෂා කරන්න කියලා පවරලා තියෙන්නේ එය විනාශම කරන කෙනාට. මිනිසාගේ ඇතුළාන්තයේ තියෙන දෙබිඩි බව පෙන්වන්න මේ තුළින් මට හැකිවුණා.

අද වනවිට කොහොමටත් සමාජ සත්වයාගේ ඇත්ත මුහුණුවර, නෙමෙයි බාහිරට පෙනෙන්නෙ. ඔබේ අලුත් නාට්‍යයේ එන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වගේ. මේක සෑම ක්ෂේත්‍රයකටම වලංගු සත්‍යයක් වුණේ කොහොමද?

සංස්කෘතික අධ්‍යක්ෂ ජනරාල්තුමා මිනිස්සු ඉදිරියේ පවුල් සමගිය වෙනුවෙන්, සංස්කෘතියේ මුරදෙවියන් ලෙස පෙනී සිටිනවා. ඔහු අතින් තමයි ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ගැබ් ගන්නේ. ඔහුගේ බිරියට දරුවන් නැහැ. ඔහු බිරිය රැගෙන යනවා මිතුරු වෛද්‍යවරයකු වෙත. කෙසේ හෝ දරුවකු ලබා ගැනීම ඔහුට අවශ්‍ය වෙනවා. මොකද බිරියගේ පියා තමයි සංස්කෘතික ඇමති. ඔහුගේ පැවැත්ම තියෙන්නේ බිරියට දරුවකු ලැබීමෙන් පමණයි. ඔහු පසුව දැනගන්නවා බිරියට දරුවන් නොලැබීම ඔහුගේ වරදක් නොවන බව. එහෙත් ඔහු බිරියට එය හෙළි කරන්නේ නැහැ. ඔහුගේ පැවැත්ම තිනේනේ මේ කසාදය තුළ. ඔහුට දරුවකු අවශ්‍ය වන්නේ ඔහුගේ පැවැත්ම වෙනුවෙන්. ඔහුගේ අතින් ගැබ් ගන්න ඔහුගේ පෞද්ගලික ලේකම්වරියගේ දරු ගැබ විනාශ කරන්නත් ඔහු මිතුරු වෛද්‍යවරයාගේම උපදෙස් පතනවා. දරුවන්ට ඇත්තම ආදරයක් තියෙනවා නම් කොයි කුසේ පිළිසිඳ ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ තමන්ගේ පැවැත්ම. මෙයින් පැහැදිලිවම පෙන්වන්නේ අප පෙන්වමින් ඉන්න දේ නොවේ ඇතුළාන්තය කියන එකයි. අද වෙනකොට කොහොමහරි සමාජය දූෂිත වෙලා මේ කියන තත්ත්වය සෑම තැනකම ඇතිවෙලා තියෙනවා. මෙය මේ ආකාරයට ඇතිවුණේ ඇයි? මේ ගැන දැනුවත්වීම තමයි අවශ්‍ය වන්නේ. මේ සෑම ක්ෂේත්‍රයකම පුද්ගලයා තුළ තිබෙන දෙබිඩි ස්වභාවය මේ තුළින් විද්‍යමාන වෙනවා. විශේෂයෙන්ම කලාව, දේශපාලනය, මාධ්‍ය, පූජක පක්ෂය, නීතිය තුළත් මේ තත්ත්වය ඔඩුදුවලා තියෙන්නේ.

අපි ඛේදවාචකයකට මුහුණ දී සිටිනවා. කලාව මර්දනය කරපු ආණ්ඩුවක් වෙනුවට එහෙම නොකරනවා යැයි සිතන ආණ්ඩුවක් පත් කළා. ඒ ආණ්ඩුව කලාකරුවන්ට බදු පනවන කොට ආපසු මර්දනය කරපු පිලේ අය එකතුවෙලා සටන් කරන්න කලාකරුවන්ට අඬගහනවා. දැන් අපි මොකද්ද කරන්න ඕනෙ?

ඔය දේ කාලයෙන් කාලයට වෙලා තියෙනවා. 1994 ඉඳන් තමයි මෙය බරපතළ විදිහට පාවිච්චි වෙන්නේ. ඊට ප්‍රථමත් වෙලා තියෙනවා. 1994 නිදහස් කලා සන්ධානය තමයි අපට දැනෙන ආකාරයට පාවිච්චි වෙන්නේ. අන් අනතුරුව කාලෙන් කාලෙට මේ එකිනෙකා පිළිබඳ විශ්වාසයක් නැතිව කටයුතු කරන බව පෙනී යනවා. අපට පෙනී යන දෙයක් තමයි ලංකාවේ දේශපාලන ධාරාව තුළ ඒ ආකාරයට පිළිගත හැකි පාර්ශ්වයක් නැති බව. එකම මුහුණු ටිකක් එහාට මෙහාට යන එක තමයි සිදුවෙන්නේ. එකම මුහුණු ටිකක් තියෙන ජරාජීර්ණ වූ දේශපාලනඥයන් කීපදෙනකු මත විශ්වාසය තබමින් අප කාලයෙන් කාලයට හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. මෙයට එහා ගිය භාවිතයක් කලාකරුවන් ලෙස අපට තියෙන්නෙ ඕනේ. සමාජයේ පවතින දේට දෝෂාරෝපණය කරමින් කල් මරන්නේ නැතිව මිනිස්සු තුළ සංවේදීභාවය හා එකිනෙකාට ගෞරව කරන්න උගන්වන දේශපාලන වැඩපිළිවෙළක් රටට ඕනෙ. ඒකට දායක වන එක කලාකරුවන්ගේත් වගකීමක්.