බොහෝ කලාකරුවන් පාලකයන් සමග එකඟයි -ජයන්ත කහටපිටිය

සංවාදය – චමින්ද ක්‍රිශාන්ත

ජයන්ත කහටපිටිය ගේ විවාහකයාගේ ප්‍රේමප්‍රාප්තිය නම් කාව්‍ය සංග්‍රහය අහස ප්‍රකාශනයක් ලෙස එලිදැක්වීම නිමිත්තෙනි.

ඔබේ කවි පොතේ නම විවාහයේ ප්‍රේමප්‍රාප්තිය. කවුද මේ විවාහකයා?

පාරෙදි, බස් රියේදි, නැත්නම් දුම්රියේදි අතින් කටින් බරදරාගෙන යන මේ විවාහකයා ඔබට හමුවෙනවා. ඔහු පෙනුමින් වයසට වඩා මහලුයි. හැම විටම හදිසියක ඉන්නෙ. කුමක් හෝ දෙයක් පිළිබඳව වරදකාරී හැඟීමෙන් ඉන්නෙ. බොන්න සෙට්වෙන්න නිතරම කතා කරනවා ඒත් සෙට්වෙන දවසක් නැති තරම්. බිවුවම හරිම වදයක්.කාර්යාලයෙදි වැඩ බිමේදි තරමක් මුලු ගැන්විලා වගේ හිටියට දේශපාලනය, ආගම, දූෂණය, භීෂණය වාගේ මාතෘකා පිළිබඳව කතාබහකදී හොඳටම කෝප ගන්නවා. තමන්ගේ පක්ෂය වෙනුවෙන් අපේක්ෂකයා වෙනුවෙන් ආගම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටිනවා.

මේ විවාහකයා සංකේතාර්ථයක්ද?

ඔව්, ලංකාවෙ පොදු විවාහකයා තුළ ඇති ලක්ෂණ කුලුගැන්වීමෙන් තමයි එයා නිර්මාණය වෙන්නෙ.ඔහු අතාර්කිකයි. එහෙත් තර්ක කරන්න ආසයි. ආගම පිළිපදින්නෙ නැති වුණාට හරියට ඒ ගැන වාද විවාද වලට එළඹෙනවා. දන්නෙ ටිකයි. ගොඩක් දන්නවා වාගෙ හැසිරෙන්න ආසයි. ලිංගිකව බෙලහීනයි. හැබැයි වඩාත්ම රොමෑන්ටික් පෙම්වතා වාගෙ හැසිරෙන්නෙ. බොහෝ ලිංගික ඇසුරවල් තිබෙන බව පෙන්වන්න ආසයි. සදාචාරය වෙනුවෙන් පෙනී හිටිනවා. දරුවන්ගෙ මුරකාරයා වෙන්න කැමතියි. හොරෙන් නිල් චිත්‍ර පටි බැලුවට අනිත් අය බලනවට එලිපිට ලොකුවට විරුද්ධයි.

අල්ලස් ගන්න, අල්ලස් දෙන්න හරිම ආසයි. බොරුවට හරි දරුවා පාසලට දාන්න ලොකු අල්ලසක් දුන්නා කියන්න කැමතියි. දේශපාලකයො හඳුනන බව පෙන්නන්න කැමතියි. ඔවුන්ගෙන් හොරපාරෙන් ගිහින් උදවුගන්න කැමතියි. ඒත් අනිත් අය ඒ විදියේ දේ කරද්දි මාරාන්තිකව පහර දෙනවා. විවේචනය කරනවා. මේ විදියෙ ප්‍රතිවරෝධතා බහුල කෙනෙක් තමයි මේ විවාහකයාගෙන් සංකේතවත් වෙන්නෙ.

මොකක්ද මේ ප්‍රේමප්‍රාප්තිය කියන්නෙ.

ප්‍රාප්තිය කියන්නෙ අත්පත් කරගැනීමනෙ. මෙකෙන් සංකේතවත් වෙන්නෙ විවාහ ජීවිතේ ඇතුලෙ තියන අඹු සැමි ප්‍රේමය අත් පත් කරගැනීම නෙමෙයි. ඒකෙ හැඩ තල අපි හැමෝම දන්නවා. විවාහය කියන කෝව ඇතුලට ප්‍රේමය දැම්මම ඒක ගන්න හැඩය අපි දන්නවා. ලංකාවෙ විවාහකයන් තුල ඇති ප්‍රේමය කියන හැඟීම අතිශයින්ම වැඩවසම් බල ව්‍යාපෘතියක ප්‍රකාශනයක්. මේකට හේතුව ආර්ථික ගැටලුව පමණක් නොවෙයි. සාමාජික , සංස්කෘතික ගැටලුත් පෙරමුණටම එනවා. ලංකාවෙ විවාහකයන් ඒ අර්ථයෙන් නම් සතුටින් නෙමෙයි ඉන්නෙ. ඒ කියන්නෙ තෘප්තිමත් බිරිඳක්, තෘප්තිමත් සැමියෙක් ඔබට හමුවෙලා තියනවද? මවක්, පියෙක්, දරුවෙක්, සහෝදරයෙක්, නැන්දම්මෙක්, මාමණ්ඩියෙක් විදියට තෘප්තිමත් මිනිහෙක් ඔබට හමුවෙලා තියනවද? ඔවුන් මේ පවුලෙ තමන්ට හිමි චරිතය, කාර්ය භාරය පිළිබඳව අතෘප්තිමත් ඇයි? මේ හැම දෙයක්ම බලහත්කාරයක් නිසා.

කොහොමද විවාහකයා ප්‍රේමප්‍රාප්තියට පත්වෙන්නෙ.

ඔබ දන්නවා මේ දූපතේ විවාහකයගෙ චරිතය කොතරම් සීමා සහිත පරාසයකද විහිදෙන්නෙ කියලා. ඔවුන් බරපතල හුදකලාවකින් පෙළෙනවා. ඔවුන්ගෙ සමාජ , දේශපාලන , සංස්කෘතික ජීවිතය පවුල තුල ඇහිරෙනවා. ආර්ථික ප්‍රශ්න විතරක්ම නෙමේ මෙතන ප්‍රමුඛ වෙන්නෙ. මම එහෙම කියන්නෙ සල්ලි තියෙන විවාහකයා පවා සමාජ ජීවිතය අහිමි කරගෙන තියනවා. ප්‍රධානම දේ ඔවුන්ට ජීවන විලාසය පිළිබඳව අවබෝධයක් නැතිකම. ඔවුන් හොඳ සමාජයක් හදාගැනීම පිළිබඳව උතුම් අරමුණු වලට වඩා පුද්ගලිකව සාර්ථක වීමේ කෙටි අරමුණ පස්සෙ දුවනවා. ඒ හරහා තමයි අපට මේ මජර දේශපාලන ක්‍රමය ලැබිලා තියෙන්නෙ. ඉතින් කෙනෙක් ප්‍රේමය අත් පත්කර ගන්න නම් විවාහ ජීවිතේ තියන සිමා බාධක යම් ප්‍රමාණයකට බිඳ දැමිය යුතුයි . එවිට ඔබට සමාජය සමඟ ගනදෙනුවකට පැමිණිය හැකියි. ඒක කලාව, දේශපාලනය හෝ දර්ශනය පිළිබඳව කරන බෙදා ගැනීමක් විය හැකියි.

එතකොට විවාහය අර්බුදයට යනවා නේද?

නැහැ, මා හිතන්නෙ අර්බුදය මතුවෙන්නෙ විවාහ සංස්ථාවෙ ව්‍යුහයෙ තියන සීමා සහිතකම නිසයි. ඒ කියන්නේ විවාහ සංස්ථාව හා බැඳුණු සංස්කෘතියෙ හිංසනය නිසයි. නමුත් මේක හැමෝටම දැනෙන්නෙ නැහැ. ඔවුන් විවිධ දේ වලට ජීවිතය ඌනනය කරගෙන ඉන්නෙ. පරිභෝජන අවකාශය වැඩි කරගැනීමේ තරඟයේදි සමාජය සමඟ යහපත් ගනුදෙනුවකට අවකාශ නැහැ. ප්‍රේමය අහිමි වීම දැනෙන්නෙ නෑ.

සමස්තයක් විදියට ප්‍රේමය අහිමි වීම සමාජයට බලපාන්නෙ කොහොමද?

පුළුල් අරුතින් ප්‍රේමය හා ලිංගිකත්වය අහිමි වීම සමාජයක් ප්‍රචණ්ඩ වීමට සෘජුව බලපාන බව පේනවා. මේකට හොඳම උදාහරණය තමයි ලිංගිකත්වය හා ප්‍රේමය ආගමේ නාමයෙන් අහිමි කරගත් පූජකවරුන්ගෙ හැසිරීම. ඔවුන් නිකුත් කරන වෛරී ප්‍රකාශ. පවුල් සංස්ථාව ඇතුලෙත් අඹු සැමියන් අතර ප්‍රේමය හා ලිංගික සම්බන්ධතා සතුටු දායකව සිදුවෙන්නෙ නැහැ. මේ කරුණු වල ප්‍රතිඵලයක් විදියට අම්මලා දරුවන් කෙරෙහි මුදාහරින ප්‍රචණ්ඩත්වය, ශිෂ්‍යත්වය වාගේ විභාගවලට ඔවුන් මෙහෙය වීමේදී දක්වන අනුකම්පා විරහිත කුරිරු කම, සමාජය පුරාම පිළිලයක් සේ පැතිරෙන අවිනීත කම සැළකිය හැකියි.

ඔබ සමහර මාතෘකා ගැන ලියද්දි ස්වයං සීමා පනවා ගන්නෙ නැති බවද කියන්නෙ.

ඔව්, මේක හොඳ ප්‍රශ්නයක්. ඔබ ලේඛකයෙකු වෙනවා නම් පවුලට, නෑදෑයන්ට, මිතුරන්ට, ආගමට, දේශපාලකයන්ට බයේ ලියන්න බැහැ. එහෙම බියෙන් ලියන ලේඛකයන් ඉන්නවා තමයි. මගෙත් එහෙම සීමා ඇති. ඒ සීමා ගැන කතා කිරීම විචාරවේදීන්ගෙ කාර්යයක්. මේ ගැන මට යම් අත් දැකීමක් තියෙනවා. මම “නිරාගමික නවාතැන” තීරු ලිපිය සත්හඬ පුවත් පතට සපයන සමයේ. මෙතනදි වඩා වැදගත් වෙන්නෙ අපේ ප්‍රකාශනය තුළ අපි කොතරම් අනෙකාට ආදරය කරනවාද කියන කාරණය. සමාජය වෙනස් කළ හැක්කේ සමාජයට ආදරය කරන අයට පමණයි.

අත් දැකීමක් කොහොමද කවියක් වෙන්නේ ?

එතනදි පුද්ගලයා හරියට බඳුනක් වාගෙ. ඒ කියන්නෙ අත්දැකීම ද්‍රවයක් නම් ඒ අත් දැකීමට මුහුණ දෙන විවිධ පුද්ගලන් ඒ ද්‍රවය අඩංගුවන විවිධ හැඩයේ බඳුන් වාගෙ. අත්දැකීම් සමාන වුණාට පුද්ගලයන් වෙනස්. ඒ නිසා ඒ අත්දැකීම් විඳීම විවිධයි. විශමයි. එකම අත්දැකීම් තුලින් බිහිවන කවිත් විවිධාකාරයි. ඒවා පුද්ගලානුබද්ධයි. පුද්ගලිකවම විඳින අත්දැකීමක් වුණත් , අපි අහන දකින සිදුවීමක් වුණත් ඒ හරහා අපිව කම්පනය වන විදිය වෙනස්. ඒ කියන්නෙ බොහෝ කවි ඇතුලෙ කවිය නිර්මාණය කළ පුද්ගලයගෙ සංස්කෘතික , සාමාජික , ආගමික නාම කරනය තියනවා. ඒ කියන්නෙ ඔවුන්ගෙ දෘෂ්ටිවාද එහෙම නැත්නම් වඩාත්ම සරළව ගත්තොත් වැටහීම තියනවා.

උදාහරණයකින් පැහැදිලි කළ හැකිද?

පසුගිය පාස්කු ප්‍රහාරයත් සමඟ පාසල් වල ආරක්ෂාවට යුධ සෙබලුන් යෙදෙවුවා. . එක පාසලක තාත්තෙක් තමන්ගෙ දරුවා රැගෙන යද්දි ඇතිවූ බහින් බස් වීමකින් දරුවා ඉදිරි පිට දීම හමුදා සෙබලා අතින් පියා වෙඩි කා මිය යනවා. මේ සිදු වීම සමාජයක් විදියට පොදුවෙ ලංකාවෙ මිනිස්සු සාධාරණීකරණය කරනවා. ඒ හමුදා සෙබලා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කළ යුතුයි කියන සාධාරණ අදහස සමාජයෙන් මතුවුනේ නැහැ. ඒකට හේතු වුණේ සිංහල සමාජයෙ පහුගිය සමයේ මුල් බැස ගත් දෘෂ්ටි වාදයක්. ඉන් කියවෙන්නෙ රණවිරුවන්ට නීතිය වෙනස් විදියට ක්‍රියාත්මක කළ යුතුයි කියන මතවාදය. දෘෂ්ටිවාද ක්‍රියාත්මක වෙන ආකරය තමයි මා මේ උදාහරණය මගින් පැහැදිලි කළේ. තව උදාහරණයක් ගන්නම්. පහු ගිය සමයේ දුප්පත් දෙමළ කම්කරුවෙක් බන්ධනාගාරගතව සිටියදී මිය ගියා. ඔහු හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට ලක් වන දිනයේ ඔහුගෙ නිවස ඉදිරිපිට පාරේ කුළියට ගස් වල අතු පෑහැලා දැමීමේ කටයුත්තෙ යෙදෙනවා . සැක පිට අත්අඩංගුවට ගෙන දසක ගණනාවකට පසු ඔහු මිය යන විටත් ඔහුට නඩු පවරා තිබුණෙ නැහැ. සමාජයක් විදියට මේ වාගෙ ක්‍රියා සාධාරණීකරණය කරන්නෙ දෘෂ්ටි වාදයක් හරහා. ඉතිං නිර්ව්‍යාජ කවි හරහා ප්‍රකාශ වෙන්නෙත් කවියාගෙ දෘෂ්ටිවාදයි.

ව්‍යාජ කවිත් තියනවද? කොහොමද ඒවා අඳුනා ගන්නෙ.

ඒවා හඳුනාගන්න අපහසු නෑ. ලංකාවෙ බිහි වන වාර්ගික, ආගමික, සංහිඳියාව තේමාවට අරගෙන ලියන කවි බොහෝ කවි ව්‍යාජයි. බොළඳයි. ඒ කවි ඇතුලෙ ඉන්න පෙම්වතුන් අන්‍ය ජාතීන්ට අන්‍ය ආගමවලට අයිති තරුණ තරුණියන්. එහෙමත් නැත්නම් පන්ති විශමතාවයට එරෙහිව ප්‍රේම කරන අය. ඒත් අපි හොඳින් හොයා බැලුවොත් මේ ලේඛකයන් යුද්දය අලලා රණ ගී ලියන අයමයි. ජාති වාදය අවුලවන්න සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන අයමයි.

කවියාගෙ කාර්යභාරය කුමක්ද ?

ඒ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් අපේක්ෂා කළ නොහැකියි. රාජ්‍යත්ව සමයේ කලාව රජුන් පිනවීමටත්, ආගමික රාජ්‍යන් වල එය ආගම ප්‍රචාරණයටත් සෘජුව යොදාගැනුනා. වැඩවසම් සමය වන විට එය රදලයන් උදෙසා මෙහෙය වුණා. අද වන විට එය ජනතාව අතට පත්වෙලා තියන බව මතුපිටින් පෙනෙනවා. ඒත් ගැඹුරින් බැලුවම බොහෝ කලාකරුවන් පාලකයන් සමඟ කලාව පිළිබඳව නිහඬ එකඟතාවයක ඉන්න බව පෙනෙනවා. ප්‍රසන්න විතානගේ පුරහඳ කලුවර, හඳගමගෙ අක්ෂරය වාගෙ සිනමාපට මේ නිහඬ එකඟතාව බිඳිනවා. ඉතින් ඔවුන්ට එරෙහිව වාරණය දියත් වෙනවා. කලාකරුවන් ඊට එරෙහිව පෙරමුණ ගන්නෙ නැහැ.සමාජයක දියුණුවීම මනින්න හොඳම කෝදුව එම සමාජයේ කලා භාවිතාව බව මම විශ්වාස කරනවා. ඒ කියන්නෙ කොපමණ නාට්‍ය හැදෙනවද, ඒව බලන්න කොපමණ පිරිසක් එනවද වාගෙ කාරණා.