යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

ඒ. වික්‍රමසූරිය

ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය නොතකා කෙනකු ක්‍රියාත්මක වීම නරක ආදර්ශයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ක්‍රීඩාව නිසි පරිදි පවත්වාගෙන යෑමට ක්‍රීඩා පනතක් තිබුණද ආ ගිය ක්‍රීඩා ඇමැත්තෝ කළේ එය පසෙකට කොට තම අභිමතය පරිදි ක්‍රියාත්මකවීමය. එය එසේ වීමත් සමග ඇතැම් ක්‍රීඩා සංගම් නිලධාරීහුද ක්‍රීඩා පනත පයිසයකට මායිම් නොකරන තැනට තල්ලු වූහ. අද එහි නරක ප්‍රතිඵල අපි ඇති තරම් භුක්ති විඳිමින් සිටිමු. එහි මෑතකාලීන ආසන්නම සිද්ධිය තිලංග සුමතිපාලගේ හිතුවක්කාරීකමය. තිලංග ක්‍රිකට් අරබයා හැමදාම වැඩ කළේ ක්‍රීඩා ඇමැත්තෝ නැති ගාණටය. ඔහුට වඩා කෙරුමෙක් නැති ස්ථාවරයේ සිටය. එයටම උඩගෙඩි දෙන්නාක් මෙන් ඇතැම් ක්‍රීඩා ඇමැත්තෝ ඔහුගේ සාක්කුවටම වැටුණි. සාක්කුවට වැටුණු සියල්ලෝ අවසානයේ බිමට වැටී තිලංගගේ සපත්තුවටම පෑගුණෝය. එවන් වටපිටාවක එන එන ඇමති ක්‍රීඩා ඇමති වනවා වෙනුවට ක්‍රිකට් ඇමති විය. මේ විකාර තත්ත්වය කොතෙක් පෙන්වා දුන්නද ක්‍රීඩා ඇමැත්තෝ අන්ධව තිලංග දපනේම වැටුණෝය. එහි අවසානය නම් අද තිලංග ක්‍රීඩා ඇමතිගේ නියෝග සතේකට මායිම් නොකරන තැනට තල්ලුවීමය.

ඔට්ටු තැබීමේ හා සූදු ක්‍රීඩාවට සම්බන්ධතා ඇති පුද්ගලයන්ට ජාතික ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නොබෝදා තිලංග අමු අමුවේම උල්ලංඝනය කළේය. ඒ සැප්. 01 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි පැවති විශේෂ මහා සභා රැස්වීමට පැමිණ ක්‍රියා කිරීමෙනි.

මෙහිදී තිලංග සුමතිපාල පෙර පරිදිම විගණන කමිටුවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කොට ඇත. ඇමති ගෙනා අතිවිශේෂ ගැසට් පත්‍රය ගැන මෙලෝ හසරක් නොදත් අයකු පරිද්දෙන් ඔහු ක්‍රිකට් විධායක කමිටුවේ අසුන් ගෙන ක්‍රියා කිරීමෙන් හරින් ප්‍රනාන්දු වැඩකට නැති චරිතයක් බවට පත්කර ඇත. තිලංගද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. එසේ නම් ඔහුට ගැසට් පත්‍ර, නියෝග ගැන අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ප්‍රශ්නය නම් ඒ ගැන මනාව දැන එම නීති නොසලකා ක්‍රියා කිරීමය. එය ඉතාම බරපතළය.

වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය යනු අද තිලංගගේ හුරතලුන්ගෙන් සැදුම්ලත් තැනකි. ඒ බව අපට රහසක් නොවේ. තිලංගට මෙවර තරග කළ නොහැකි තැන ඔහුගේ හෙංචයියන් තරගයට ඉදිරිපත් කළේය. ශම්මි සිල්වා ප්‍රමුඛ නඩය එවැන්නෝය. එබැවින් ඔවුහු තිලංග ක්‍රිකට් ආයතනයට පැමිණ උපදෙස් දුන්නද නොපැමිණ උපදෙස් දුන්නද රකින්නට බැඳී සිටිති. ඒ නිසාම තිලංගට ඇති බිය නිසාත්, තිලංග නිසා තනතුරු හොබවන නිසාත් ක්‍රිකට් බලධාරියෝ ක්‍රීඩා ඇමති දුන් නියෝග හකළා කුණු බක්කියට දමා ඇත.

මේ නියෝගය හුදෙක් තිලංග ඉලක්ක කොට ගෙනාවක්ම බව කෙනෙකුට තර්ක කළහැකිය. එහි සත්‍යයක් නැත්තේද නැත. කවුරු ඉලක්ක කොට ගෙනාවද සූදුකාරයන් ක්‍රීඩාව කළ යුතු නැත. එයට කවුරු වුව එකඟය. එය මෙතෙක් කල් වීම ගැනද කනගාටු විය යුතුය. එහෙත් තවමත් එය නතර කළ නොහැකිවීම ගැන ඊටත් වඩා දුක්විය යුතුය.
මේ නියෝග එන්නට පෙර සිටම ක්‍රීඩාවේ සූදුකාරයා කවුද යන්න රටම දනිති. ඒ අනුව මේ නියෝග ආ සැණින් මේ අණ කිරීම තමාට බව තිලංග නොදනීද? ක්‍රීඩා ඇමති නොදනීද? ශම්මි සිල්වා නොදන්නේද? එසේ නම් මේ සියල්ල දැන සිටියදී තිලංග නොදන්නා ගානට එන්නේ කෙසේද? අසංක ගුරුසිංහ තබා ගන්නේ තිලංගගේ තනි කැමැත්තටය. හතුරුසිංහට එරෙහි විය නොහැකි තිලංග නිසාය. සැබැවින්ම ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබුණද එහි සියල්ල වන්නේ තිලංගට වුවමනා පරිදිය.

එසේ නම් දැන් ක්‍රීඩා ඇමති ක්‍රියාත්මක විය යුතුය. තිලංගට එතරම් හයිකාරකම් කළ හැකි නම් ක්‍රීඩාවේ බලධාරියා විදිහට හරින්ට කොතරම් දේ කළ හැකිද? යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නාක් මෙන් මේ මොහොතේ නිසි පරීක්ෂණයක් කර තිලංගට දඬුවම් දිය නොහැකි නම් ක්‍රීඩා ඇමතිකම කුමටද? එයද තිලංගට භාරදී සජිත් දිනවන සටන දිගටම කරගෙන යෑම වටී.

ක්‍රීඩා නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය යුතු නැත. එය සැමට පොදුවිය යුතුය. චූල ගණයේ සංගමයක නිලධාරීන් ඉදිරියේ පොලිස්කාරයන් වන ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා නිලධාරීහු තිලංග වැනි අය ඉදිරියේ පූස් පැටව් වෙති. මේ දෙබිඩි න්‍යාය හොඳටම ඇතිය.

ක්‍රීඩා ඇමති කෙළින් ක්‍රියාකරන්නෙක් නම් තිලංගට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. ඒවා කතාවට නොව ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය. කල් නොමැරිය යුතුය. වික්‍රමසිංහ වැනි නිලධාරීන්ට තිලංග ළඟ කෙළින් සිට ගැනීමට හෝ හැකිදැයි අපි නොදනිමු. එහෙත් පරීක්ෂණ අතට ගෙන ඇත්තේ ඔහු බව සඳහන්ය. තිලංගට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත නොහැකි නම් ක්‍රීඩා ඇමති සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතුය යන්න අපගේ හැඟීමය. සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය නොදුනහොත් දේශපාලනයෙන් සමුගන්නට ඉන්න හරින්ට ක්‍රීඩාව වෙනුවෙන් ඊට වඩා පරිත්‍යාග කළ හැකිවිය යුතුය. තිලංග යනු ක්‍රිකට්වලින්ම අතුගා දැමිය යුතු චරිතයකි. තිලංග මෙන්ම ධර්මදාසලාත්, රණතුංගලාත් ක්‍රිකට් පරිපාලනයෙන් පන්නා දැමිය යුතුය. මේ අය කලක් ඉතා හොඳම මිතුරන් වූ අතර තව කලෙකදී හතුරු වූහ. ඉන්පසු දෙපිළ බෙදී බලයට පොර කති. මේ නිසාම කලක පටන් ක්‍රිකට් විනාශයට යෑම ඇරඹුණි. දක්ෂ පරිපාලකයෝ මොවුන් සමග තරගයට නොඑති. ඒ තිලංග මෙන් මුදල් වියදම් කර ඡන්ද දින්නනට ඔවුන්ට නොවුවමනා බැවිනි. ජයන්ත මෙන් දේශපාලනය පස්සේ ගොස් තනතුරු දරන්නට ඔවුන් අකමැති බැවිනි. අර්ජුනලා මෙන් ඉල්ලාගෙන යන්නට ඔවුන් අසමත් බැවිනි. මේ තුන් කට්ටුව පන්නා දැමිය හැකි නම් ක්‍රිකට් නව මානයකට එනු ඇත. එයට ක්‍රීඩා ඇමති කෙළින් ක්‍රියා කළ යුතු අතර නීතිය ශක්තිමත් කළ යුතුය.

ක්‍රීඩා ඇමති නියෝග තිලංගට තුට්ටුවට අතහැරිය හැකි නම් ක්‍රීඩා ඇමති හරින්ටත් තිලංගව දෙකේ කොළයට දැමිය හැකිවිය යුතුය. නීතිය යනු සැමට පොදු දෙයකි. තිලංගලාට ඒවායෙන් රිංගා යා හැකිනම් එහි නීතියක් තිබිය නොහැකි නම් සූදු ව්‍යාපාරයේ යෙදී ඇති බව දැන දැනම ඔහුට වගේ වගක් නැතිව ක්‍රියා කළ හැකිනම් ක්‍රීඩා ඇමතිට ඒ ගැන නොසලකා වගේ වගක් නැතිව සිටිය හැකිද? එවිට ක්‍රීඩාවම වළ පල්ලට නොයන්නේද? නීතිය ශක්තිමත් වන්නේ එය ක්‍රියාත්මක වන්නේ නම් පමණි. නැතහෙත් එය නිකං හිස් ලියවිල්ලක් මිස වෙන අරුතක් නොගනී. හරින් එයට නිසි වටිනාකම දෙන්නේද හිස් ලියවිල්ලක් කරනවාද යන්න තිලංගගේ ප්‍රශ්නය අරබයා අපට තේරුම් ගත හැකිය. මේ ප්‍රශ්න සුළු කොට තැකිය යුතු නොවේ.

තිලංග ඉතා පැහැදිලිව ක්‍රීඩා පනතේ නියෝග ඉවතලා ක්‍රියා කර ඇත. ඒවාට බොරු කාලය කා දමමින් පරීක්ෂණ කර සිටිය යුතු නැත. කඩිනම් පරීක්ෂණ කළ හැකිය. තිලංගට ක්‍රිකට් ආයතනය පැත්ත පළාතේ නොයන තැනට වැඩ කළ හැකිය. කුමක් වුව තිලංග ක්‍රිකට් ආයතනයට නොආවද එළියේ සිට හෝ පාලනය ගෙන යන්නේ නම් ඔහුමය. ඒ වෙන කිසිවක් නිසා නොව මේ සිටිනුයේ තිලංගම පත් කළ ඔහුගේ හෙංචයියන් වන නිසාය. ඔවුන්ට තිලංගට එහා ක්‍රියා කළ නොහැකිය. එසේ නම් අවසානයේ මේ දඬුවම් පවා වැඩකට ඇති දඬුවම් නොවනු ඇත. ක්‍රීඩා ඇමති අලින්ට යා හැකි ගුල් තබා කූඹීන්ට යා හැකි හිල් නොවසනු ඇතැයි අපි සිතමු. සූදුකාරයා පමණක් නොව ඔහු වෙනුවෙන් ඔහුගේ මුදලින් ඔට්ටු අල්ලන්නෝද පන්නා දැමිය යුතුය. එසේ නොවී මේවා නිවැරදි කළ නොහැකිය.