රටේ නොබැඳි ජනතාව වැඩිවෙලා – අමාත්‍ය චම්පික රණවක

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න

‘ජනවාරි 8’ වෙනසින් බිහිකළ ජනාධිපතිවරයාගේ සහ යහපාලන ආණ්ඩුවේ ආයුෂ අවසාන වේගන යනවා. ජනාධිපතිවරණයටත් තව මාස කීපයයි. නමුත් අපේක්ෂකයෙක්වත් වැඩපිළිවෙළක්වත් තවම ජනතාවට ඉදිරිපත් කරලා නෑ. එසේ තිබියදී ජාතික ආරක්ෂාව තේමාව කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹී තිබෙනවා. ඔබ කොහොමද මේ දේවල් දකින්නේ?

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව කියන ගෝඨාභය රාජපක්ෂගේ සහ රාජපක්ෂලාගේ ක්‍රියාදාමය වෙලා තියෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට රිසි ආකාරයෙන් සමාජ මතය සකස් කරගන්න එකයි. ඒ නිසා ඒගොල්ල විටින් විට ජනතාව භීතියට පත්වෙනසුලු ප්‍රවෘත්ති ඒගොල්ලන්ගේ මාධ්‍ය ඒකාධිකාරයන් හරහා සමාජගත කරමින් තිබෙනවා. ඒගොල්ලන්ගේ රූපවාහිනි, ගුවන් විදුලිය, අනෙකුත් ජනමාධ්‍ය හරහා විටින් විට ඒගොල්ල රටේ භීතික මානසිකත්වයක් ඇති කරනවා. මහ විශාල එල්ටීටීඊ නැඟිටීමක් තියනවා, මහා විශාල ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තියනවා යනාදී වශයෙන්. ඒ අතරේ යුරෝපයේ ඉන්න දෙමළ අයත් එක්ක සාකච්ඡා කරනවා දෙමළ අපේක්ෂකයෙක් දාන්න පුළුවන්ද, ඡන්ද වර්ජනය කරන්න පුළුවන්ද කියලා. ඊළඟට මුස්ලිම් අයත් එක්ක සාකච්ඡා කරනවා උඹලගේ කඩවල්වලට සෙනඟ එවා ගන්න ඕනේ නම් අපිට ඡන්දය දීපල්ලා කියලා බය කරලා. මේ කරන්න යන්නේ ප්‍රශ්නයක් මවලා ඒ ප්‍රශ්නයට විසඳුම තමන්ය කියලා පෙන්වන විදිහේ මානසික මෙහෙයුමක් තමයි ගෝඨාභය මේ දියත් කරලා තියෙන්නේ.

ඔබේ පැත්තෙන් රටට අදාළව මොනවද වටහාගෙන තිබෙන ප්‍රශ්න?

මේ රටේ අද තියනවා බරපතළ රාජ්‍ය මූල්‍ය අර්බුදයක්. අනෙක් පැත්තෙන් මේ රාජ්‍ය මූල්‍ය අර්බුදය උග්‍ර කරන ජාත්‍යන්තර මූල්‍ය අවපාතයක් ලෝකයේ තියෙනවා. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය කඩා වැටිලා. පාරිභෝජන හැකියාව කඩා වැටිලා. ඊයේ පෙරේදා වාර්තා වුණා ඉන්දියාවේ මෝටර් රථ, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම මේ කාර්තුවේ 36%කින් අඩුවෙලා කියලා. ඉන්දියාව අවුරුදු ගාණකට පස්සේ අඩුම ආර්ථික වර්ධන වේගය. චීනය 1992ට පස්සේ අඩුම ආර්ථික වර්ධන වේගය. පොලී අනුපාත වැඩිකරගෙන ගිය ඇමරිකාව පොලී අනුපාත අඩු කළා. ජර්මනියේ පොලී අනුපාත බින්දුවට වැටිලා. මේ විදිහට ලෝකයේ ප්‍රබල ආර්ථිකයන් ගණනාවක්, මේ ඇතිවෙලා තියෙන වෙළෙඳ යුද්ධයත් එක්ක බරපතළ ආර්ථික අවපාතයකට යනවා. ඒ අතරේ අපි දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදයක ඉන්නවා. ඒක නිසා මේ ගැන විසඳුම් හොයාගන්නේ නැතිව රටට ඉදිරියට යන්න බෑ. රජය කොහොමද මේ අධික ණය බර ගෙවන්නේ. ඒ ණය බරේ තියන විදේශ සංරචකය ගෙවන්න තියන වැඩපිළිවෙළ මොකක්ද? 2013-14 ඉඳන් ලංකාවේ ආර්ථිකය එකතැන පල්වෙන්නේ ඇයි? ඇයි ඒක පුද්ගල ආදායම වැඩිවෙන්නේ නැත්තේ? මොකක්ද අපේ අලුත් උපාය මාර්ගය. මේවාට විසඳුම් නැතිව මේ වෙලාවේ ජනප්‍රියවාදී දේශපාලනයේ යෙදිලා වැඩක් නෑ.

මොනවද ඔබ යෝජනා කරන පිළිතුරු?

මම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා “විමසුම සහ පිවිසුම” කියලා. මේ අර්බුදය විමර්ශනය කරලා ඒ අර්බුදයට විසඳුම්වලියක් එයින් ඉදිරිපත් කළේ. ආර්ථිකයට නව උත්පාදන උපාය මාර්ගයක්, සමාජය ඉදිරියට ගෙනයාම සඳහා කුසලතාවාදය, ප්‍රායෝගිකවාදය සහ විනයගරුක සමාජයක්. පරිසරය සම්බන්ධයෙන් තිරසර සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ක්‍රියාවලියක්. විද්‍යාත්මක ආණ්ඩුකරන මූලධර්මයක් හඳුන්වලා දුන්නේ. මේ මත මිසක් රටට ඉදිරි ගමනක් නෑ. අපේ උපාය මාර්ග කියන්නේ මෙන්න මේ වැදගත් ප්‍රතිපත්ති සහ ඒවා ඉදිරියට ගෙනියන ක්‍රියාමාර්ග ගැන අපි කතා කරනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අහස් මාලිගා නෙවෙයි. අපේ මේ අමාත්‍යාංශය හරහා අපි ක්‍රියාත්මක කරලා පෙන්නලා තියනවා කරන්න පුළුවන් කියලා. ඒකයි මේකේ වෙනස. මේ අමාත්‍යාංශය තමයි රටේ අංක එකේ අමාත්‍යාංශය.

එහෙත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් කරන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ මතුවෙලා තිබෙන අලුත් ප්‍රශ්නය. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන අවධානය යොමු කරන්නේ විශේෂයෙන්ම එය මුල් කරගෙන. එය මඟහැර යා හැකි කාරණයක්ද?

මේක අර පරණ එල්ටීටීඊ කැරැල්ල වගේ එකක් නෙවෙයිනේ. ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල වගේ එකකුත් නෙවෙයි. මේ අන්තර්ජාතික අයිසීස් ප්‍රශ්නය එක පැත්තකින් සමාජමය වශයෙන් විසඳාගන්න ඕනේ එකක්. අනෙක් පැත්තෙන් අපේ හමුදාව සුහුරු හමුදාවක් බවට පරිවර්තනය කිරීමෙන් තමයි හමුදාමය පැත්තෙන් මේක කරන්න පුළුවන් වෙන්නේ. මේක බුද්ධි අංශවල යුද්ධයක් මිසක් ජෙනරාල්ලාගේ කාලතුවක්කු පාවිච්චි කරලා කරන යුද්ධයක් නෙවෙයි. මෙතන තමයි ඔය හුඟාක් දෙනෙකුට වැරදිලා තියන තැන. එල්ටීටීඊයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ, ජෙනරල් සරත් ෆොන්සේකා එහෙම මෙහෙය වූයේ කාලතුවක්කු මල්ටි බැරල් යුද්ධයක්. මේක ඒ විදිහෙන් විසඳන්න පුළුවන් යුද්ධයක් නෙවෙයි. බුද්ධි අංශ යුද්ධයක්. ඒ නිසා මේ සහරාන් ඇතුළු ඉස්ලාමීය මූලධර්මවාදීන් එල්ල කරලා තියන අභියෝගය ජයගන්න ඕනේ ඊට ගැළපෙන සුහුරු හමුදා ප්‍රයත්නයකින් මිසක් කාලතුවක්කු මල්ටි බැරල් යුද්ධයකින් නෙවෙයි. ඒක අපි පළමුවෙන්ම අවබෝධ කරගන්න ඕනේ.

එහි තිබෙන සමාජ සංරචකය පිළිබඳ ඔබේ දැක්ම සහ ආකල්පය මොනවගේද?

මේ මුළු ලෝකය පුරාම ඉස්ලාමීය ව්‍යාප්තියත් එක්ක මිනිස්සු තුළ බියක් ඇතිවෙලා තියනවා. පසුගියදා ජර්මනියේ බර්ලිනයද ඇතුළත්ව නැගෙනහිර පළාතේ ප්‍රාන්ත කීපයක ඡන්ද තිබ්බා. ඉස්ලාමීය විරෝධී පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණ අත්වුණා. ජර්මනිය විතරක් නෙවෙයි. එංගලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩන්, නැගෙනහිර යුරෝපයේ, හැංගේරියාව, ඔස්ටි්‍රයාව, ප්‍රංශය හැමතැනකම ඉස්ලාමීය විරෝධී පක්ෂ බලගතු විදිහට ජයග්‍රහණය කළා. ඒකේ ලොකුම ජයග්‍රාහකයා තමයි ඩොනල්ඞ් ට්‍රම්ප්. දක්ෂිණාංශික ජනකාන්තවාදය ඉස්ලාම් විරෝධී ලෝකයේ බටහිර රටවල් ජයග්‍රහණය කරමින් ඉන්නවා. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ජයග්‍රහණය කළේ ඒ පදනමේ ඉඳගෙන. ඒ නිසා මේක අපි මුහුණ දිය යුතු බලගතු ප්‍රශ්නයක්. එයට බලගතු සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. සමාජයේ බිය සැක දුරු කිරීමක් අවශ්‍යයි. රට එක නීතියකට ගෙනැවිල්ලා මේ රාජ්‍ය ආරක්ෂාව තිරසර කරගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒක පිටින් කරන්න ඕනේ ක්‍රියාවලියක් නෙවෙයි. මුස්ලිම් සමාජය ඇතුළතිනුත් ක්‍රියාත්මක කෙරෙන්න ඕනේ දෙයක්. මුස්ලිම් සමාජය ඇතුළෙන් වෙනවා නම් ඒකට මුස්ලිම් සමාජය ඇතුළෙන් සංවාදයක්, ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි. ඒ වගේම අන්තවාදී මුල්ලාවරුන්ට යටවෙන ප්‍රතිපත්තියකින් මේක කරන්නත් බෑ.

ජාතික ආරක්ෂාව ඇරුණම ජනතාවගේ වැඩිම අවධානයක් යොමුවෙලා තියන කාරණය වෙන්නේ රටේ විනය හැදීම බවයි පේන්නේ. හොරකම, දූෂණය, වංචාව හැම අස්සක මුල්ලකම පැතිරිලා. මේවා නතර කරලා රට සංවර්ධනය කරන්න ගෝඨාභයට තමයි රට බාරදෙන්න ඕනේ කියන අදහසක් ජනතාව තුළ ඇතිවෙලා තියනවා?

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගත්තාම ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මොකක්ද දීලා තියන ආදර්ශය. එයා ශ්‍රී ලංකන් එක කළා, මිහින් ලංකා එක කළා. අන්තයටම පාඩුයි. ඒ වගේම රාජ්‍ය මූල්‍ය ඉතාමත් නරක විදිහට පාවිච්චි කළා ඔහුගේ ආරක්ෂක අංශවලට. යුද හමුදාවට අයිති ඉඩම වික්කා ඉතාම දූෂිත විදිහට. ඒ වගේම ඒ ගොඩනැඟිල්ල හැදුවා ඉතාම දූෂිත විදිහට. ගුවන් හමුදාවේ මිග් ගනුදෙනුවෙන් පෙනුණා ගුවන් හමුදාවට කරපු දේ. නාවික හමුදාවට හිමි ආදායම තමන්ට උපයාගන්න ඇවන්ගාඞ් පාවිච්චි කළා. ඉඩම් සංවර්ධන සංස්ථාවේ දේපළ අපහරණය කළා. ඒ ආයතනයට පාඩු කළා. නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් සහ අනෙකුත් සංවර්ධන කටයුතුවලට වියදම් කළා මිසක් ආදායමක් හෙව්වේ නෑ. එහෙම කෙනෙක් ජනාධිපති වෙලා රටේ විනය හදයිද කියන එක ජනතාව සිතා බැලිය යුතුයි. ඒ විතරක් නෙවෙයි මේ ගොල්ලන්ගේ සංවර්ධනය කොහාටද කළේ? ඒගොල්ලන්ගේ ගම හම්බන්තොටට, රාජපක්ෂ රජය 2005 ඉඳන් 2015ට හම්බන්තොට සෑම පුරවැසියෙකුටම රුපියල් ලක්ෂ 15ක රාජ්‍ය ආයෝජනයක් කළා. රටේ අනෙකුත් සෑම පුරවැසියෙකු වෙනුවෙන්ම කළේ රුපියල් 45 ක ආයෝජනයක් විතරයි. ඒ විතරක් නෙවෙයි කොළඹ ලස්සන කිරීම කියන්නේ සිරිසේන කුරේ කාලෙත් තිබුණ ව්‍යාපෘතියක්. කොළඹ ලස්සන කළා කිව්වාට කළේ යටිතලයේ කිසිම සංවර්ධනයක් නොකර නාකි ගෑනියෙක්ගේ මූණ මේකප් කරනවා වගේ වැඩක්.

ජනාධිපතිවරණයේදී වැඩපිළිවෙළ වගේම ඉදිරිපත් වෙන පුද්ගලයාගේ ප්‍රතිරූපයත් වැදගත් වෙනවා නේද? දැන් සජිත්ද? කරුද? රනිල්ද? කියන අතරේ චම්පිකවත්ද කියලාත් කියවෙනවා අහන්න ලැබෙනවා නේද?

ඒ ගැන මම දන්නේ නෑ. මම නම් ඔබ කියන ඔය පුද්ගලයා පිළිබඳ කාරණය එච්චරම විශ්වාස කරන්නේ නෑ. නමුත් පුද්ගලයා කවුද කියන එක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය අවසන් වශයෙන් තීරණය කරන්න ඕනේ එකක්. මොකද 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපති සතු බලතල බරපතළ විදිහට සීමා කරලා තියනවා. හැබැයි ඒ විධායක ජනාධිපති ධුරය නාමමාත්‍රික ජනාධිපති ධුරයක් කරලා නෑ. හැබැයි එයා කණ්ඩායමකට වගකියන්න ඕනේ. ඒ කණ්ඩායම තමයි පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ඒ නිසා 19 සංශෝධනයෙන් පස්සේ රටට ඕනේ සාමුහික නායකත්වයක් මිස තනි පුද්ගල නායකත්වයක් නෙවෙයි. ඒක විශේෂ තත්ත්වයක්. ඒ නිසා පුද්ගලයාත් අවශ්‍යයි. වැදගත් කණ්ඩායම ඉතා අත්‍යවශ්‍යයි. ඉතා වැදගත්.

19 වෙනි සංශෝධනය ගැන දැන් ජනාධිපතිවරයා වෙනස් කතාවක් කියාගෙන යනවා. ඔහු නොමඟ යවලා කරපු එකක් නිසා 19 අහෝසි කළ යුතුයි කියා ඔහු කියනවා නේද? ඔබත් මේ වැඬේ හිටියානේ. ඇත්තද මේ කියන්නේ? එසේ විය යුතුද?

ජනාධිපති නොමඟ ගියා කියන්නේ කොහොමද? එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා එළියට ආවෙම සහ බලයට පත්වුණේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලනේ. මොකක්ද එතකොට නොමඟ ගියා කියන්නේ? දැන් එතුමා එහෙම කිව්වාට ඒක අපිට පිළිගන්න බෑ. මේක ගැන විශාල සාකච්ඡාවක් ඇතිවුණා. උසාවි ගියා. ඒ සියල්ල අවසානයේ සියලු පාර්ශ්වවල එකඟතාවෙන් තමයි 19 සම්මත කළේ. එදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක සම්මත කරගන්න ලොකු උනන්දුවකින් කටයුතු කළානේ. තමන් කළ හොඳ වැඩ ගැන සතුටු වෙන එකයි එතුමා කළයුත්තේ. මොනවා වුණත් ඒකෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වෙනසක් ඇතිවුණා. විධායක ජනාධිපතිවරයාට තිබුණු අත්තනෝමතික බලතල ඉවත්වෙලා පාර්ලිමේන්තුවට, අධිකරණයට බලයක් ලැබුණා. ඒක තමයි දින 52දි පෙන්නලා දුන්නේ ජනාධිපතිවරයා කිසිසේත්ම දැන් පරණ විධායක ජනාධිපති නෙවෙයි කියලා. අධිකරණයත් ඒක සහතික කළා. අධිකරණය විසින් ආණ්ඩුවක වැඩ තහනම් කළානේ. මම හිතනවා ඒ ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සුබවාදී දෙයක් කියලා.

මැල්කම් රංජිත් කාදිනල්තුමා දක්වන දේශපාලන අදහස් මේ වන විට විවාදාපන්න තත්ත්වයකට පත්වෙලා තියනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය මුල්කර ගනිමිනුයි මේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. මේ කාරණයත් ජනාධිපතිවරණයේදි රාජපක්ෂ කඳවුරට වාසි සහගතයි නේද?

කාදිනල්තුමා කරන දේශපාලන ප්‍රකාශ ගැන කතා කරන්න ඉස්සෙල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඇතිවෙන්න ගිය විශාල ආගමික ගැටුමක් වළක්වාගන්න එතුමා කළ මැදිහත්වීම ගැන විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එයට ස්තුති කළ යුතුයි. එතුමාගේ ඒ මැදිහත්වීම නොවෙන්න ලොකු විනාශයක් වෙන්න තිබුණා. අද ඔප්පු වෙලා තියන කාරණයක් තමයි තවුහිද් ජමාත් ව්‍යාපාරය රටේ මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව මෙහෙයවන්න අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කළේ ගෝඨාභය සහ යුද හමුදා බුද්ධි සේවය. ඒවා නැහැයි කියන්න පුළුවන්ද? මහින්ද රාජපක්ෂ මහත්තයාම මහනුවර ගිහිල්ලා ගැටඹේ පන්සලේදි හාමුදුරු කෙනෙක් හම්බවෙලා කිව්වා ‘ඔව් අපි සල්ලි දුන්නා තමයි කියලා. රාජපක්ෂලා ඒ විදිහට සහරාන්ලාව රාෂික්ලාව බිහි කළේම මධ්‍යස්ථ මුස්ලිම් මිනිහට ගහන්න. ඒවා ඔක්කොම අද ආපස්සට කැරකිලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් සංගමයට ගහන්න තලෙයිබාන් අල්කයිඩා හැදුවත් අවසානයේ ඒගොල්ලන්ටම පහර දුන්නා වගේ. අන්න ඒ වගේ රාජපක්ෂලා මධ්‍යස්ථ මුස්ලිම් මිනිහට ගහන්න හැදුව සහරාන්ලා රාෂික්ලා අපේ රටේ හදවතට ගැහුවා. දැන් ඒ ප්‍රශ්නය විසඳන්න රාජපක්ෂලා ඉදිරිපත් වෙලා තියනවා. ඒගොල්ල ඇවිත් මේක ආරක්ෂා කරනවා කියලා.

පූර්ව මැතිවරණ සමයේ එළිදැක්වෙන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ, අත්සන් කරන පොරොන්දු ගිවිසුම්වලට කිසිම නීතිමය වලංගුභාවයක් නෑ. දෙන පොරොන්දු ක්‍රියාත්මක කරවා ගැනීමේ බලයක් ජනතාවට නෑ. නමුත් අපේක්ෂකයෝ සහ පක්ෂ නැවතත් පුරුදු විදිහටම මේ කටයුත්ත පටන් අරගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේවාට රැවටී ඡන්දය දිය යුතුද?

ඒක ජනතාව තීරණය කරන්න ඕනේ දෙයක්. දෙන පොරොන්දු කොච්චර ඉටු කරනවාද නැත්ද කියන එක ගැන කථිකාවක් මේ සමාජයේ ඇති වෙන්න ඕනේ. තවම ඒක වෙලා නෑ. හැබැයි එක දෙයක් අද රටේ වෙලා තියනවා. ඒ තමයි දේශපාලන පක්ෂවලට අයත් නැති පිරිස සියලුම දේශපාලන පක්ෂවල සාමාජිකත්වයට වඩා ලොකුවීම. ඒ අය මේවා පිළිබඳ උනන්දුයි. ඒක හොඳයි. ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දවලින් නොවෙයි මේ නොබැඳි ජනතාව දක්වන ප්‍රතිචාරය මත.