ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයක් මොකකටද?

සරත් සී. මායාදුන්නේ
විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයක තිබිය යුත්තේ ජනාධිපතිවරයාට හිමි ව්‍යවස්ථානුකුල බලතල සීමාව තුළ කළයුතු හා කළහැකි කොටස කුමක්ද යන්න හා එය ඉටු කරන්නේ කොයි අයුරින්ද යන්නයි. සාම්ප්‍රදායික ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබෙන බොහොමයක් කරුණු සැබැවින්ම අදාල වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණවලටයි. විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කාර්යයන් වන රටේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්මත කිරීම හෙවත් ව්‍යවස්ථාදායක කටයුත්ත ජනාධිපති ධුරයට අයිති කාර්යයන් ලෙස සලකා ජනාධිපති ප්‍රතිපත්ති වල අඩංගු කිරීම නොකළයුතු වරදක් වෙනවා.

රාජ්‍ය නායකයා වශයෙන් කළයුතු කටයුතු, ජනාධිපති අභිමතානුසාරී බලය යටතේ කළයුතු කටයුතු, අගමැතිවරයා විමසා බලා කළයුතු කටයුතු, අගමැතිවරයාගේ උපදෙස් මත කළයුතු කටයුතු, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කළයුතු කටයුතු, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළයුතු කටයුතු ආදී ලෙස කරුණු වශයෙන් හා කරන ආකාරය වශයෙන් මේ වන විට එම බලාත්මක ව්‍යවස්ථා සීමාව තුළ කළයුතු හා කළහැකි කොටස කුමක්ද යන්න ගැන පැහැදිළි අවබෝධයක් අවශ්‍ය වෙනවා.

රාජ්‍ය නායකයා වශයෙන් ක්‍රියා කළයුතු ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියාද, සන්නද්ධ සේනාවල සේනාධිනායකයාද වෙනවා {ව්‍යවස්ථාවේ 30 (1)}. රාජ්‍ය නායකයා වන ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේද, මහජන ආරක්‍ෂාව ඇතුළු ලිඛිත නීති යටතේද, තම බලතල, කාර්ය හා කර්තව්‍යය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිවයුතු වෙනවා{33අ.}. මෑතකදීද ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරු ක්‍රියා කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටත් ආරක්‍ෂා කරන බවටත් වගබලා ගැනීමටද{33(1)(අ)}, ජාතික ප්‍රතිසංධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීමටද{33(1)(ආ)}, ඇති ව්‍යවස්ථාමය බැඳීම ඉටු කළයුතු වෙනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවද ඒ හා බැඳුණු ආයතනවලද නිසි ක්‍රියාකාරිත්වය පහසුකරලීමේ ව්‍යවස්ථාමය බැඳීමත් නිසි ලෙස ඉටු කිරීමද{33(1)(ඇ)} අත්‍යාවශ්‍යයි. ඉතාම වැදගත් තවත් ව්‍යවස්ථාමය බැඳීමක් වන මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණය නිර්මාණය කිරීමද {33(1)(ඈ)}, මෙතෙක් කිසිම දේශපාලනික රාජ්‍ය නායකයෙකු අතින් ඉටු නොවුණි. රාජ්‍ය නායකයා ලෙස රට තුළදීද, ජාත්‍යන්තර තලයේදීද ඔහු ක්‍රියා කළයුතු වෙනවා. ජනාධිපති ලෙස ඉටු කරන කටයුතුත්, කරන අන්දමත් ඔහු ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ඇතුළත් කළයුතු වෙනවා.

අභිමතානුසාරී බලය යටතේ ජනාධිපතිවරයා කළයුතු කටයුතු අතර පළාත්සහා සම්බන්ධිත කටයුතු, ඉහළම රාජ්‍ය නිලධරයන් පත්කිරීම්, ත්‍රිවිධ හමුදාපතිවරයන් පත්කිරීම්, විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම් හා බලතල පැවරීම්, ජනාධිපති නීතිඥයන් පත්කිරීම්, ව්‍යවස්ථාවේ 41 (ඇ) අනුව නිර්දේශකිරීම්, ජනරජයේ රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීම හා අදාල ලේඛනවල මුද්‍රාව තබා අත්සන් කිරීම{33 (2)(ඊ)}, යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම{33(2)(උ)}, වරදකරුවන් නිදහස් කිරීම් (මරණ දඬුවමට පමණක් කොන්දේසි සහිතව){34(1)-(3)} ආදී ඉතා වැදගත් කටයුතු තියෙනවා. මේ කටයුතු වලදී ජනාධිපතිවරයා කිසිවෙකුගේ නියෝගයක්, නිර්දේශයක්, උපදේශයක් තබා අදහස් විමසීමකටවත් කිසිදු බැඳීමක් නැහැ. ඒ අනුව මෙතෙක් බලයේ සිටි කිසිම ජනාධිපතිවරයෙකු මේ අභිමතානුසාරී බලතල ක්‍රියාත්මක කිරීමකදී එසේ කරනුයේ ඉතාම සාධාරණ හා යුක්තිසහගත ලෙසටය යන්න තහවුරු කරන පදනමක් ප්‍රකාශ කර තිබුණේ හෝ ක්‍රියා කළේ නැහැ. ඒ සෑම ක්‍ෂෙත්‍රයකම නියම සුදුස්සන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර අකාර්යක්‍ෂම හා දූෂිත ඉතා කණිෂ්ඨයින්ට හෝ පිටස්තරයින්ට අවස්ථාව සැලසීමේ මෙතෙක් පැවති පිළිවෙතින් තමා ඉවත් වන්නේනම් ඒ බව කිවයුතු වෙනවා.

තමා ජනාධිපතිධුරයට පත් වූ පසු එම එක් එක් අභිමතානුසාරී බලය සාධාරණවත් යුක්තිසහගතවත් භාවිතා කරන බවත් ඊට යොදා ගන්නා සංවරණ හා සංතුලන ක්‍රම ගැනත් ජනතාවට ඒත්තු යන ලෙස පැහැදිලිව ඔහු ප්‍රතිඥා දියයුතු වෙනවා. විශේෂයෙන්ම එම තීරණ අත්තනෝමතික උමතු අදූරදර්ශී ඒවා නොවන බවත්, ඒවා තනි තීරණ නොව උචිත උපදේශ හා නිර්දේශ සහිතව ගන්නා බවත් සනාථ කළයුතු වෙනවා. මේ කරුණ අතිශයින්ම වැදගත්වන්නේ මෑත ඉතිහාසය පුරාම ජනාධිපතිවරයා තනි පුද්ගලයෙකු ලෙස ගත් තීරණ අදූරදර්ශිත වී ඇති නිසයි.

පළාත්සහා සම්බන්ධිත කටයුතුවලදී ආණ්ඩුකාරවරයා පත්කිරීමටද, ආණ්ඩුකාරවරයාගේ ධුර කාලය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රසාදය තිබෙන තුරු පමණක් තනතුරේ රැඳීමට ඉඩදීමටද අසීමිත බලයක්{154ආ(2)} ජනාධිපතිවරයාට ලැබෙනවා. මෙය වඩාත් වැදගත් වන්නේ රටේ ආරක්‍ෂාව ඇතුළු වැදගත් කරුණු ගණනාවකදීම සියලුම ආණ්ඩුකාරවරු තම විධානය මත මෙහෙයවමින් දේශයේ සියලුම පළාත්සහා පාලනය කිරීමට ව්‍යවස්ථාවේ විධිවිධානවලින් ජනාධිපතිවරයාට විශාල බලයක්{154අ-154ඩ} ලැබී තිබීම නිසයි. මේ බලය හිතුවක්කාරව යෙදීම වලක්වන විධිවිධාන කිසිවක් ව්‍යවස්ථාවේ නැහැ. එනමුත් තමා එම බලය යොදනුයේ සංවරණ හා සංතුලන පාලනක්‍රම මත ස්වයංපාලනයක් සහිතව බව ඔහු ජනතාවට සපථ කළයුතු වෙනවා. එක් එක් විධිවිධානය පිළිබඳව එම පාලනක්‍රම යෙදීමට තමා නිර්දේශ, උපදේශ හා අදහස් ලබා ගන්නේ කෙලෙසද යන්නත් ඒ වටිනා තනතුරු නුසුදුස්සන්ට ලබාදීමේ මෙතෙක් පැවති සම්ප්‍රදායෙන් නව ජනාධිපතිවරයා ඉවත්වන බවත් ඔහු සනාථ කළයුතු වෙනවා.

ඉහළම රාජ්‍ය නිලධරයන්ගේ පත්කිරීම් යන්න තුළට ජනරජයේ ඉහළම පරිපාලන තනතුරු වන ජනාධිපති ලේකම්වරයන්{41(1)}, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා{50(1)}, අග්‍රාමාත්‍ය ලේකම්වරයා {51(1)}, සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්{52(1)} හා ත්‍රිවිධ හමුදාපතිවරුන් පත් කිරීමද{61ඉ.(අ)} විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම් හා බලතල පැවරීමද {33(2)(ඈ)} අයිති වෙනවා. ජනාධිපතිවරයාට හිමි ඒ පරම බලය ජනාධිපතිධුරයට පත් වන්නා යෙදිය යුත්තේ ඉතාම යහපත් අයුරිනුයි. මේ ඉහළම තනතුරු ලාභීන් ජනතාවට රාජ්‍ය සේවය සලසන සමස්ත නිලධාරීන්ටම ආදර්ශමත් මෙහෙයවීමක් හා නායකත්වයක් දීමට බැඳෙනවා. එනමුත් ඒ ශ්‍රේෂ්ඨ අරමුණු වෙනුවට පටු දේශපාලන අරමුණු මෙතෙක් ක්‍රියාත්මක වුණා. එනිසා මේ වන විටත් ඔවුන් නායකත්වය දී තිබෙන්නේ ජනතාව තදින් කම්පා කරවන අන්ත දූෂිත රාජ්‍ය පාලනයක් සඳහායි. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රමය ඇති බොහෝ රටවල මේ අභිමතානුසාරී බලය තම නාමික රාජ්‍ය නායකයාට කොන්දේසි විරහිතව ඍජුවම ලබා දී ඇත්තේ එම අසීමිත බලය කිසිදු දේශපාලන හෝ වෙනත් දූෂිත බලවේගවලට යටත් නොවී සත්භාවයෙන් යොදවන නිසයි. ඒ රටවල නාමික රාජ්‍ය නායකයා කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත සෑම විධායක ක්‍රියාවක්ම ඉටු කළත් ඒ රටවලද රාජ්‍ය නායකයාට පමණක් මෙබදු අභිමතානුසාරී බලතල පවරා ඇත්තේ ඒ රටවල වුවද කැබිනට් මණ්ඩලය දේශපාලනික වන අතර රාජ්‍ය නායකයා නිර්පාක්‍ෂික ස්වාධීන අයෙකු වන නිසයි. 1978 වන තුරුම අපේ රාජ්‍ය නායකයා නිර්දේශපාලනික වූවත් ඉන්පසු මේ සියලුම තනතුරු දේශපාලනීකරණයේ රුදුරු ග්‍රහණයට ගොදුරු වුණා. ඉතා දූෂිතව වුවද කිසියම් සුදුසුකමක් තිබූ අය පමණක් පත්කිරීමේ සම්මතය මෙතෙක් පැවතුණත් රටේ ආරක්‍ෂාවේ හා සංවර්ධනයේ මුවාවෙන් යම් ආඥාපතියෙකු ආවොත් මෙබඳු පත්වීම්වලදී පමණක් නොව සෑම දේකමදීද සම්මතයන් නොතකා හරීවි.

අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු, සභාපතිතුමා ඇතුළු සියළුම අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, ඔම්බුඞ්ස්මන්වරයා සහ පොලිස්පතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වෙනවා {41 (ඇ) (1-4)}. ඒ තනතුරකට ජනාධිපතිවරයා නිර්දේශ නොකරන කිසිම නමක් අනුමත කරන්නට ව්‍යවස්ථා සභාවට බලයක් නැහැ. පසුගිය කාලයේදී සුදුස්සන් නොසලකා හැර නුසුදුස්සන් නිර්දේශ වූ අවස්ථා අනන්තවත් තිබුණා. එහිදී විගණකාධිපතිවරයා හැර අනිත් තනතුරුවලට අවශ්‍ය සුදුසුකම් ව්‍යවස්ථාවෙන් නියම කර නොතිබීමත් නුසුදුස්සන් නිර්දේශ කිරීමට මග පාදා තියෙනවා. එම කිසිම පත්කිරීමකදී ජනාධිපතිවරයා කිසිම උපදේශයක් ලබා ගැනීමකටවත් බැඳිමක් නැහැ.

හමුදානායකයන් පත්කිරීම්, විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම් හා බලතල පැවරීම්, ජනාධිපති නීතිඥයන් පත්කිරීම් සඳහාද මෙතෙක් භාවිතා කළේ නියම සුදුස්සන්ට අවස්ථාව ලබාදීම වෙනුවට තමාට ගැතිකම් දක්වන නුසුදුස්සන්ට අවස්ථාව ලබාදීමේ සම්ප්‍රදායක්. විශේෂයෙන්ම දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීමේදී හා බලතල පැවරීමේදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳව හෝ ඔවුන්ට අදාළ කාර්යභාරය හා ඔවුන්ගෙන් අපේක්‍ෂිත කාර්යසාධනය පිළිබඳව හෝ කිසිදු අවබෝධයක් හා අවධානයක් නොමැතිව තම ගැත්තන් පත්කළා. එබඳු අකටයුතු වැළැක්වීමට නම් ජනාධිපතිධුරයට යළිත් කවර හෝ දේශපාලකයෙකු පත් නොකළයුතු වෙනවා. විදේශ සේවය සඳහා වෙනම නිලධාරීන් බඳවාගෙන ඔවුනට ඉතා හොඳ විෂයබද්ධ දැනුමක් හා පුහුණුවක් ලබා දී ඇතත් ඔවුන් නොතකා හැර ඇත්තටම අතිශයෙන්ම නුසුදුස්සන් විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත් කිරීමෙන් ජාත්‍යන්තර සබඳතාවලට මෑත දශක කීපය තුළ සිදුවූ මූල්‍යයම හා මූල්‍යයම නොවන හානිය ඉතාම බරපතළයි. ඒ පිළිබඳව අප දැන්වත් දැනුවත්වන්නේ නම් යළිත් කවර හෝ දේශපාලකයෙකු ජනාධිපතිධුරයට ජනතාව පත් කරන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාපතිවරුන් පත්කිරීමට ඔහුට ඇති පරම බලයද අත්තනෝමතික ලෙස භාවිතා කිරීමේ මෙතෙක් පැවති දූෂිතභාවය ඉදිරියේදී නිවැරදි කළ හැක්කේ නිසි සුදුස්සාට සාධාරණව අවස්ථාව පිරි නැමීමෙනුයි. නිසි සුදුසුකම් සපිරූ තමාව නොසලකා හැර තමාට හිමි තැන අසාධාරණ පරිදි නුසුදුස්සෙකුට ලබා දීමෙන් ඇතිවන වේදනාව හා ආවේගය හමුදා සේවයට පමණක් නොව සමස්ථ රජ්‍ය සේවයටම විශාල හානියක් කරනවා. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ඨත්වයට පත්ව ඇත්තා වූද, පැවැත්මෙහි හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ඨ තත්වයක් පවත්වාගෙන ඇත්තාවූද නීතිඥවරයන් ජනාධිපති නීතිඥවරයන් ලෙස පත්කිරීම සඳහාද ඇති බලය{33(2)(ඉ)} මත මෑතකදීද නුසුදුස්සන් පත්කිරීමෙන් බෙහෙවින් සම්මානනීයව පැවති එම තනතුර දැරූ නීතිඥවරයන්ද අද ලජ්ජිතව සිටිනවා. නව ජනාධිපතිවරයා තම අභිමතය භාවිත කිරීමේදී මෙම සියලු දුර්වලතා අවබෝධ කරගෙන සාධාරණව ක්‍රියා කරන ක්‍රම වේදය තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නිශ්චිතව දැක්විය යුතුව තියෙනවා.

අගමැතිවරයා පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට ඇති බලය {42(4)} අර්බුදකාරී ලෙස මෑතකදී යෙදූවත් නව ජනාධිපතිවරයා එම බලය යෙදිය යුත්තේ ඉතාම සාධාරණ අයුරින්ය. යම් තනි පක්‍ෂයකට හෝ සංධානයකට පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරයක් වේ නම් ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක මන්ත්‍රීවරයාට අගමැතිධුරය පිරිනැමීම ඉතා ප්‍රශංසනීයයි. එනමුත් කිසිම තනි පක්‍ෂයකට හෝ සංධානයකට පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරයක් නොවේ නම් සුදුසුම පියවර විය හැක්කේ ඉහළම ආසන ගණන ලබාගන්නා තනි පක්‍ෂයේ හෝ සංධානයේ නායක මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය ලබාගත හැකිද යන්න සාධාරණව නිශ්චය කර ගැනීමයි. එහිදී සනාථවන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය සාදාගත හැක්කේ වෙනත් පක්‍ෂයට හෝ සංධානයකට නම් අගමැතිධුරය පිරිනැමීමට එය සුදුසු පදනම වේවි. මෙහිදී නව ජනාධිපතිවරයා තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් සැබෑවටම ඇති මන්ත්‍රීවරයාව අගමැතිධුරයට තෝරන පදනම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි දැක්වීම අවශ්‍යයි.

අගමැතිවරයා විමසා බලා කළයුතු කටයුතුවලදී අගමැතිවරයාගේ සාධාරණ අදහස් දැක්වීම්වලට එකඟ වීම සුදුසු නමුත් ඔහුගේ කිසිම අදහසකට අවනත වීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බැඳෙන්නේ නැහැ. ව්‍යවස්ථාව පරිදි කරුණු තුනක් ගැන අගමැතිවරයාගේ අදහස් විමසීම අවශ්‍යයයි සලකන අවස්ථාවන්හි එසේ අදහස් විමසිය හැකි නමුත් තීරක වන්නේ ජනාධිපතිවරයායි{43(1)}. ඒ කරුණු තුන නම් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව හා ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය හා කාර්යද යන ඒවායි. ව්‍යවස්ථාවේ 46 පරිදි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ උපරිම සංඛ්‍යා සීමා දැක්වෙතත් අවම සීමාවක් පනවා නැති නිසා අගමැතිවරයාගේ අදහස කුමක් වුවත් අත්‍යාවශ්‍යම සංඛ්‍යාව ලෙස සලකන ප්‍රමාණය තීරණය කිරීමේ පරම බලය ජනාධිපතිවරයාට තියෙනවා. එසේ ජනාධිපතිවරයා විසින් නිශ්චය කරන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීමට අගමැතිවරයාගේ උපදෙස් මත අමාත්‍යවරයන් පත් කරනවා{43(2)}. එලෙස පත් කරන්නේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද යන්න මිස පත් කරන අමාත්‍යවරයන්ට පවරන්නේ කුමන අමාත්‍යාංශද යන්නට අගමැතිවරයාගේ උපදෙස් අදාළ නොවන බව එම විධිවිධානයෙන් සනාථ වෙනවා. එනිසා දූෂිත බවට නම් දරා ඇත්තන්ට අමාත්‍යධුර ලබා දීම වැළැක්වීමට ජනාධිපතිවරයාට බලයක් නැතත් එවැන්නන්ට පවරන්නේ කුමන අමාත්‍යාංශදැයි යන්නද එලෙස පවරන අමාත්‍යාංශයේ විෂය හා කාර්යය කෙලෙස අඩු වැඩි කළ යුතුදැයි යන්නද තීරණය කිරීමේ බැරෑරුම් වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා. මෙම කරුණ පිළිබඳව තමා ක්‍රියාකිරීමට අපේක්‍ෂිත ආකාරය තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි පැහැදිළිව දැක්වීම සුදුසු වෙනවා.

අගමැතිවරයාගේ උපදෙස් මත කළයුතු කටයුතු අතර අමාත්‍යවරයන් පත්කිරීමත්{43(2)} ඉවත්කිරීමත්{46(3)} ඉතාම වැදගත් වෙනවා. ජනාධිපතිවරයාට පෙනෙන ලෙසට අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය යෝජනා කරන ඇතැම් කරුණු ප්‍රශ්ණකාරී වුවත් රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට ජනතා වරම දී ඇත්තේ තමාට නොව ඔවුන්ට බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතු වෙනවා. එනිසා තම බලය අවම වශයෙන් පාවිච්චි කරමින් හැකිතාක් දුරට ඔවුන්ගේ තීරණවලට බාධා නොකර සහාය දැක්වීමද, උපදෙස්වලට හැකිතාක් එකඟ වීමද, වංචාව, දූෂණය හා නාස්තිය වැනි කරුණු අවම කිරීමට ක්‍රියා කිරීමද තම ප්‍රතිපත්තිය නම් ඒ බව තම ප්‍රකාශණයේ දැක්වීම සුදුසු වෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කළයුතු කටයුතු අතර සැසිවාර ආරම්භයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කිරීම{33(2)(අ)}, එහි මංගල රැස්වීමේ මුලසුන දැරීම{33(2)(ආ)}, පාර්ලිමේන්තුව කැඳවීම, වාර අවසාන කිරීම හා විසුරුවා හැරීම {33(2)(ඈ)} ආදී ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. සැබැවින්ම මේ කටයුතු විධායකයේ නොව ව්‍යවස්ථාදායකයේ කටයුතුයි. එනිසා ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හානි වන ලෙස බාධා කිරීමට විධායක ජනාධිපතිවරයාට හැකි නමුත් ශිෂ්ඨසම්පන්න නැහැ. එනමුත් මෑත කාලයේ තම දේශපාලන අවශ්‍යතා මත පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට හානිකර ලෙස පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම් හා විසුරුවා හැරීම් ආදිය අශීලාචාර ලෙස සිදුකළා. පාර්ලිමේන්තුවට තර්ජනයක් නොව ආශීර්වාදයක් බව සනාථ කළයුතු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ එබඳු කටයුතුවලට මැදිහත් වියයුත්තේ අවශ්‍යතාවය හා පාර්ලිමේන්තුවේ ආරාධනාව මත පමණක්ය යන්න තම ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කිරීම සුදුසු වෙනවා.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කළයුතු කටයුතු ඉතාමත්ම වැදගත් වන අතර ජනාධිපතිවරයාට ඉතිරි වී ඇති බල සීමාව තුළ එකී කාර්යය සාර්ථකව ඉටු කිරීම බෙහෙවින් සංකීර්ණ වෙනවා. එම කාර්යය ඉතාමත්ම වැදගත් වන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවට රාජ්‍ය සේවය යහපත්ව ලබා දීමේ කාර්ය ඉතා වැදගත් වන නිසයි.

අද අතිශයින්ම වැදගත් වන රටේ ආරක්‍ෂාවේ ක්‍රියාත්මක කිරීමේ කොටස පවරා ඇත්තේ ජනාධිපතිවරයාටයි{4(ආ)}. නමුත් එහි ව්‍යවස්ථාදායක කොටස පවරා ඇත්තේ {4(අ) හා 155(1-10)} පාර්ලිමේන්තුවටයි. රටේ ආරක්‍ෂාවට අද ඇති නීතිමය ව්‍යුහ දෝෂ නිවැරදි කිරීම් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේදී ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ සහාය අත්‍යාවශ්‍ය වෙනවා. ආරක්‍ෂක ව්‍යුහය සකසාගැනීමට ජනාධිපතිවරයාට ඇති පූර්ණ ශක්තිය {41(1)} යොදා රටේ ආරක්‍ෂාව ක්‍රියාත්මක කිරීමට නව ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම විශේෂ ප්‍රමුඛත්වය දියයුතු වෙනවා.

අල්ලස්, කොමිස්, වංචා, නාස්තිය, ඥාති සංග්‍රහ, තම දේශපාලන සහචරයන්ට ලබාදෙන බලපත්‍ර, දේශපාලන පත්කිරීම් උසස්කිරීම් ශිෂ්‍යත්ව ප්‍රදානයන් ආදී අනුග්‍රහයන් ඇතුළු සකලවිධ දූෂණයෙන්ද, රාජ්‍ය භීෂණයෙන්ද තොරව ජනතාවට සමාජ සාධාරණය ලබාදීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය බැඳෙනවා. එහිදී අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්ණකාරී නම් ඊට එරෙහිවීමට තම සීමිත බලතල යෙදිය යුත්තේ කෙසේද යන්න ගැන පැහැදිළි අවබෝධයක් ඔහුට තිබිය යුතු වෙනවා.

රටේ සැබෑ විධායක බලධරයා වන්නේ ජනාධිපතිවරයා නොව ඔහුගේ ප්‍රධානත්වය යටතේ ඇති අමාත්‍ය මණ්ඩලයයි. විධායක කාර්යභාරය ලබාදීමේ සැබෑ ක්‍රියාකරු බවට අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථානුකූලව බලය ලබන්නේ “ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය.” ලෙස දැක්වීම නිසයි{42(1)}. ඔහු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුවත් { 42(3)} එහි බහුතර තීරණයට ඔහු යටත් වියයුතු වෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණ පාලනය කරන්නට ඔහුට කිසිම විශේෂ බලයක් කිසිම විධිවිධානයක් යටතේවත් නැහැ. මෙහිදී ඔහු සතු සීමිත බලය අනිවාර්යයෙන්ම යෙදිය යුතු වන්නේ කෙසේදැයි බලමු.

ජනතාවට සාධාරණව හා යහපත්ව රාජ්‍ය සේවය ලබා දීම තහවුරු කිරිමට ජනාධිපතිධුරයට ඉතිරි වී ඇති බලතල මොනවාදැයි පළමුව බලමු. 2015 ට පෙර දූෂිත බව හෝ වෙන ඕනෑම හේතුවක් නිසා ඕනෑම ඇමති වරයෙකු ඕනෑම විටෙක පහ කිරීමට හා යමෙකු දූෂිත හෝ අයෝග්‍ය බව තම මතය වන විටෙක ඒ අයට අමාත්‍යධුරයක් ලබා නොදීමට හා දූෂිතයකුගේ ඇමතිබව අහිමි කිරීමට ඔහුට තිබූ බලය අද නැති නමුත් ව්‍යවස්ථාවේ 43(2) පරිදි අගමැතිවරයාගේ උපදෙස් මත පත් කරන අමාත්‍යවරයන්ට පවරන විෂය හා කාර්යය නිශ්චය කිරීමේ පරම බලය {43(1)} ඔහුට අදත් ඉතිරිව තිබීම නිසා දූෂිත බවට නම් දරා ඇත්තන්ට අමාත්‍යධුර ලබා දීමේදී පවරන්නේ කුමන අමාත්‍යාංශදැයි යන්නද ඒ තුළද පවරන විෂය හා කාර්යය කෙලෙස අඩු වැඩි කළ යුතුද යන්නද තීරණය කිරීමේ බලය ඔහුට ලැබෙනවා. එලෙසම අමාත්‍යවරයන් ලෙස පත් කළ හැකි සංඛ්‍යාව{43(1)} රටට අනවශ්‍ය බරක් නොවන ලෙසට අඩු කිරීමේ පරම බලය තියෙන්නේත් ජනාධිපතිවරයාටයි. ඔහුගේ එම පියවරවල් දෙක ගැන ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනය යහපත් කිරීමේදී ජනතාවගේ පපුවට දැනෙන පණිවිඩයක් දෙනවා.

යමෙකුට අමාත්‍යධුරයක් ලබා දුන් පසුව වුණත් කවර අවස්ථාවක වුවත් ඒ අයගේ අමාත්‍යධුර මාරු කිරීමටත්, නව අමාත්‍යාංශයේ විෂය හා කාර්යය සුදුසු ලෙස කප්පාදු කිරීමටත් ඔහුට අදත් බලය {43(3)} තියෙනවා. එනිසා යම් ඇමතිවරයෙකු තම අමාත්‍යධුරයේ බලතල දූෂිත හෝ අයෝග්‍ය පරිදි යොදන බවට ජනාධිපතිවරයාට ඒත්තු යන සාක්‍ෂි ඇති විටෙක ඒ බලය යොදා යහපත් පාලනයක් ලබා දියහැකි වෙනවා. තම ඥාති හිතමිත්‍රාදීන්ට හා දේශපාලන සහචරයන්ට පොදු දේපල මංකොල්ල කෑමට ඉඩදීම්, දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුවලදී අතයට කොමිස් කප්පම් හා නොයෙකුත් ද්‍රව්‍යමය හා මූල්‍යමය වාසි ගැනීම් හා ලබාදීම් ආදිය මේ දූෂිත ක්‍රියා වලින් ඉතා කුඩා කොටසක්. තම අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති ආයතනවල සේවය කරන නිලධාරීන්ගේ මාරු කිරීම්, උසස් කිරීම්, දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව ආදී ප්‍රතිලාභ ලබාදීම්, විනය පියවර ගැනීම් ආදී දේශපාලනයෙන් තොරව සාධාරණව ඉටුවියයුතු හැම දෙයකටම ඝෘජුව හෝ තම ගෝලබාලයන් හරහා කරන දහසකුත් එකක් අකටයුතුවලින් අසරණ රාජ්‍ය සේවකයා මුදවා ගතයුතු වෙනවා. එසේම රාජ්‍ය සේවය ලබන පොදු ජනතාවටත්, රජයට විවිධ සේවා ලබා දෙන්නන්ටත්, තම දේශපාලන විරුද්ධවාදීන්ටත් විවිධ හිරිහැර කරන ඇමතිවරුන් මෙල්ල කිරීමට මේ බලය යොදන්නට පුළුවන් වන්නේ පක්‍ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදුණු සැබැවින්ම ස්වාධීන බව හදවතට දැනෙන ජනාධිපතිවරයාට පමණයි. එනමුත් ඒ සෑම පියවරක්ම ගතයුත්තේ පදනම් විරහිත ඕපාදූප මත නොව විධිමත් වාර්තා පදනම්කර ගෙනයි.

ජනතාවට දූෂණයෙන් හා භීෂණයෙන් තොර යහපත් රාජ්‍ය සේවයක් ලබා දීම සහතික කිරීමේදී අමාත්‍යවරයන්ව හික්මවීමට අමතරව රාජ්‍ය සේවයේ ඉහළම ස්ථරය වන අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සේවයේ සුපිළිපන්නබව තහවුරු කිරීමටද ජනාධිපතිවරයාට බලයක් මෙන්ම විශාල යුතුකමක්ද තියෙනවා. අමාත්‍යාංශයක ලේකම්වරයා තම අමාත්‍යවරයා භාරයේ ඇති සියලු ආයතන අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව මෙහෙයවීමට {52(2)} බැඳෙන නිසා අමාත්‍යවරයා දූෂිත නම් හා ඒ සඳහා ඔහු තම අමාත්‍යාංශ ලේකම්වරයා මෙහෙයවයි නම් යහපත් රාජ්‍ය සේවයක් ලබා දීමට අමාත්‍යවරයා මෙල්ල කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ඉතාමත්ම වටිනවා. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර බැඳීමට බැඳී සිටියත්{42(2)} හා අමාත්‍ය මණ්ඩලය හා අමාත්‍යවරු කෙතරම් දූෂිත වුවත් පාර්ලිමේන්තුව කරනුයේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි ආණ්ඩු පක්‍ෂයේ බලය හරහා දූෂිත අමාත්‍යවරුන්ව ආරක්‍ෂා කිරීම හා රැකබලා ගැනීම නම් යළි මහ මැතිවරණයක් ලැබෙන තෙක් එම දූෂිතයන් පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා තමාට ඇති සීමිත ව්‍යවස්ථානුකූල බලයද ශක්තියද යෙදියයුතු වෙනවා.

අදාළ අමාත්‍යවරයාගේ මෙහෙයවීම ඇතිව හෝ නැතිව අමාත්‍යාංශ ලේකම්වරයා දූෂිතව හෝ අකාර්යක්‍ෂමව කටයුතු කරන්නේ නම් හෝ ඔහු තම යටත් කාර්ය මණ්ඩලය එසේ කටයුතු කිරීමට මෙහෙයවන්නේ නම් හෝ ඉඩ හරින්නේ නම් ජනතාවට යහපත් රාජ්‍ය සේවයක් ලබා දීමට නොහැකි වෙනවා. අමාත්‍යාංශ ලේකම්වරයා විධානයට හා පාලනයට බැඳී ඇත්තේ {52(2)}තම අමාත්‍යවරයාට මිස ජනාධිපතිවරයාට නොවන නිසා ඔහුට විධානයන් කිරීමට හා ඔහුව පාලනය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිත බලයක් නැතත් එම ලේකම්වරයාව පත් කිරීමේ හා පහ කිරීමේ පරම බලය{52(1)} ඇත්තේ ජනාධිපතිවරයාටයි. එනිසා ලේකම්වරයා හා ඔහුගේ අධීක්‍ෂණයට යටත් රාජ්‍ය නිලධාරීන් ජනතාවට රාජ්‍ය සේවය ලබා දෙන්නේ අර්බුදකාරී ලෙස නම් එම ලේකම්වරයා ඉවත්කර සුහදශීලී ආදර්ශමත් රාජ්‍ය සේවයක් ලබා දීම තහවුරු කිරීමට ජනාධිපතිවරයාට යම් බලයක් හා යුතුකමක් තියෙනවා. එනමුත් ඒ ගැනද ක්‍රියා කළ යුත්තේ පිළිගතහැකි වාර්තා පාදක කිරීමෙනුයි.

අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය පාලනය කරන්නේ දූෂණයෙන් හා භීෂණයෙන් යුතුව නම් හා අමාත්‍ය මණ්ඩලය තුළදීම එම දෝෂ නිවැරදි කළ නොහැකි නම් ජනාධිපතිවරයාට ස්වකීය බලය ප්‍රකාරව පාර්ලිමේන්තුව ඇමතීමටද, පාර්ලිමේන්තුවට සංදේශ යැවීමටද ඇති අයිතිය{32(4)} යොදාගෙන ඒ සියලු අඩුපාඩු නිරාවරණය කිරීම මඟින් නිරාකරණය කර ගත යුතු වෙනවා. ජනාධිපතිවරයා ඇතුළු සියළුම ඇමතිවරු අමාත්‍ය මණ්ඩල තීරණවල වගකීම සාමූහිකව දැරිය යුතු නමුත් දූෂණ වංචාදිය කිරීමට සාමූහිකව එකඟ වියයුතු බවක් අදහස් කරන්නේ නැහැ. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය තුළ සිටිමින් වැලැක්විය නොහැකි දූෂණ වංචාදියට අදාල අමාත්‍ය මණ්ඩල තීරණවල වගකීම භාරගතයුතු වුනත් පාර්ලිමේන්තුවට හා ජනතාවට වාර්තා නොකර නිහඬ වීමකට එය හේතු කරගත යුතු නැහැ. එනිසා එලෙස වාර්තා කිරීම හා ජනගත කිරීම රාජ්‍ය පාලනය යහපත් කිරීමට ජනාධිපතිවරයාට ප්‍රබලව භාවිතා කළ හැකි තවත් ප්‍රයෝජනවත් ක්‍රමවේදයක් වෙනවා.

ජනතාවගේ විධායක බලය ඉතාම යහපත් අයුරින් ජනතාවට ලබාදීමට ජනාධිපතිවරයාට ඇති ව්‍යවස්ථාපිත බැඳීම ඉටු කිරීමට ඇති සැබෑ බලය මේ වනවිට රඳවා ඇත්තේ අමාත්‍ය මණ්ඩලය මත බවත්, අමාත්‍ය මණ්ඩලය හා අමාත්‍යවරුන් දූෂිතව හා අකාර්යක්‍ෂමව රාජ්‍ය පාලනය කරයි නම් ඊට එරෙහිව ජනාධිපතිවරයාට ගත හැකි පියවර ගැනත් ඉහත සඳහන් කර තියෙනවා. එනමුත් රටේ ආරක්‍ෂාව ඇතුළු සමස්ත විධායක කාර්ය හෙවත් රාජ්‍ය පාලනය ගැන ඍජුවම ජනතාවට උත්තර දියයුතු ජනාධිපතිවරයා මේ වන විටත් තම වගවීමට ඍජුවම අදාළ තොරතුරු දැනගන්නේ පුවත්පත්වලින්, විද්‍යුත් මාධ්‍යයෙන් හෝ ඕපාදූප ආරංචිවලින් බව ප්‍රකාශ වෙනවා. නව ජනාධිපතිවරයා එබඳු වගවීම් විරහිත හා තම වගවීම් තේරුම් නොගත් දුර්වලයෙකු නොවිය යුතු වෙනවා. ඔහු තම තීරණ සඳහා පාදක කළයුතු පිළිගතහැකි විශ්වසනීය විධිමත් වාර්තා මොනවාද යන්න බලමු.

එම වාර්තාවලින් ප්‍රධාන එකක් වන්නේ විගණකාධිපති වාර්තාය{154(6)}. එක් එක් අමාත්‍යාංශය හා ඒ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ගැන තම විගණන නිරීක්‍ෂණ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව සහ කාලීනව වාර්තා වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කර ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වාර්තාවල ඒ ඒ ආයතනයන්හි ගිණුම් හා ලේඛණ ගැන දක්වන විගණන නිරීක්‍ෂණවලට අමතරම දූෂණ, වංචා, අක්‍රමිකතා, සැක කටයුතු ගනුදෙනු, අනාර්ථික, අකාර්යක්‍ෂම හා නිෂ්ඵල කටයුතු, නීති රීති සම්මතයන් නොතකා ක්‍රියා කිරීම්, පද්ධති හා පාලන දුර්වලතා ආදිය ගැනද විගණන නිරීක්‍ෂණ දක්වනවා. එනිසා අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලින් ජනතාවට සාධාරණ යහපත් මට්ටමකට රාජ්‍ය සේවය නොලැබෙන බව විගණන නිරීක්‍ෂණවලට අනුව සනාථ වෙනවානම් හා විගණන නිරීක්‍ෂණ බරපතළ වෙනවා නම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රතිඋත්තරද ලබා අවශ්‍ය පියවර නොපමාව ගැනීමෙන් ජනාධිපතිවරයා ජනතාවට ලැබියයුතු රාජ්‍ය සේවය වඩා යහපත් කළයුතු වෙනවා.

රාජ්‍ය සේවය යහපත් අයුරින් ජනතාවට ලැබෙනවාද නැද්ද යන්න ගැන නොපමාව හා විස්තරාත්මකව ජනාධිපතිවරයාට දැනගැනීමට විගණකාධිපති වාර්තාවලටද වඩා ප්‍රයෝජනවත් කරගත යුත්තේ හා කරගත හැක්කේ රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණන වාර්තායි. සකසුරුවම්ව, කාර්යක්‍ෂමව, සපලදායීව හා විධිමත් ලෙස සියලු රාජ්‍ය ආයතන කටයුතු කරන බව තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාට එම විගණන නිගමන යොදා ගතහැකි වෙනවා. සියලුම රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර විගණනයන් පැවැත්වීමේ අවශ්‍යතාවය 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40 ඇතුළු වගන්තිවලින් නීතිගත කර තියෙනවා. මුදල් රෙගුලාසි 133, 134 මඟින්ද මේ කාර්යභාරය දිගු කලක සිට දක්වා තිබුණත් මේ විගණන සොයාගැනීම් ජනාධිපතිවරයාට යොමු කිරීමේ කිසිම ක්‍රමවේදයක් මෙතෙක් භාවිතා කළේ නැහැ. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර විගණනයන් සමඟ අවශ්‍ය සම්බන්ධීකරණය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව 2008 ජනවාරි 30 මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඉතා මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළ නමුත් එයින් ගත යුතු සේවය මේ දක්වාම බරපතළ ලෙස නොතකා හැර තියෙනවා. ඕනෑම දෙයක් සිදු වූ පසු හා සිදුවන විට පමණක් නොව යම් කරුණක් සැලසුම් කිරීම ඇරඹීමේදීම ඊට අදාළ සියලු තොරතුරු අභ්‍යන්තර විගණන ශාඛා මඟින් එක්රැස් කළහැකි වෙනවා. නව ජනාධිපතිවරයා සියලු සංස්ථා හා රජයේ සමාගම්වලද, පළාත් සභා හා පළාත් පාලන ආයතනවලද එම වාර්තා තම කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවට ගෙන්වීම ආරම්භ කිරීමට නොපමාව විධිවිධාන යොදා ක්‍ෂේත්‍රය පුළුල් කළයුතු වෙනවා. ඉන්පසු ජනාධිපතිවරයාගේ අවධානයට නොපමාව යොමුවිය යුතු බැරෑරුම් විගණන නිරීක්‍ෂණ ලබාගෙන සියලු රාජ්‍ය ආයතනවල දූෂණ, අකාර්ක්‍ෂමතා හා නාස්තිය මුලිනුපුටා දැමීමට ඒවාද යොදා ගතයුතු වෙනවා.

තම ව්‍යවස්ථාමය වගවීම ඉටු කිරීමට පාදක කළයුතු අභ්‍යන්තර විගණනයේ නිසි සේවය ගැනීමට ජනාධිපතිවරයා ගතයුතු පළමු පියවර නම් සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණන ඒකක ජනාධිපති කාර්ය මණ්ඩලයේම කොටසක් බවට පත්කර ගැනීමෙන් බලගැන්වීමයි. එසේ කිරීමට බලය දෙන විධිවිධානය නම් ව්‍යවස්ථාවේ 41(1) යටතේ දැක්වෙන “ ජනාධිපතිධුරයේ බලතල, කාර්ය හා කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව, අවශ්‍යවන ලේකම්වරයන් පත් කිරීමටද, අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් සහ කාර්ය මණ්ඩලය පත් කිරීමටද, ඔවුන්ගේ සේවා නියමයන් සහ කොන්දේසි නිශ්චය කිරීමටද, ජනාධිපතිවරයාට බලය ඇත්තේය” යන ප්‍රතිපාදනයයි. එනිසා කළයුතු වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණන ඒකක තම කාර්ය මණ්ඩලයේම කොටසක් බවට පත්කර ගැනීමයි.

අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය, දැනට එය යොදා ගෙන ඇති ආකාරය, එය ප්‍රතිව්‍යුහගත කළයුතු ආකාරය වටහාගෙන සමස්ථ රාජ්‍ය පාලනයම දූෂණයෙන්ද නාස්තියෙන්ද අවපාලනයෙන්ද අකාර්යක්‍ෂමතාවයෙන්ද ගලවාගෙන ජනතාවට රාජ්‍ය සේවය යහපත්ව ලබාදීමට එමගින් කෙලෙස හැකිවන්නේද යන්න නව ජනාධිපතිවරයාට ඉතා වැදගත් වෙනවා. මෙහිදී කරනුයේ නව නිලධරයන් සහ කාර්ය මණ්ඩලයක් පත්කිරීම නොවන කාර්යමණ්ඩල මාරු කිරීමක් නිසා සිදුවන්නේ බොහෝදුරට රජයේ වෙනත් ආයතනවල වැයශීර්ෂ යටතේ දැරූ වැයබර ජනාධිපති වැයශීර්ෂයට මාරුවීමකුයි. අභ්‍යන්තර විගණනය සඳහා වන ස්වාධීනත්වය හා ශක්තියත්, පිළිගැනීම හා ප්‍රමුඛතාවයත්, පහසුකම් හා පුහුණුවීම් ආදියත් මෙතෙක් තිබුණේ ඉතාම ප්‍රාථමික මට්ටමේ වුණත් මෙම ව්‍යුහාත්මක වෙනස තුළින් සමස්ත රාජ්‍ය සේවයම ඉතා කාර්යක්‍ෂම කරවීමට නව ජනාධිපතිවරයාට ඉතා හොඳ අවස්ථාවක් ලැබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම නව පියවර තුළින් ජනතාවට රාජ්‍ය සේවය ලබාදීම ආකාර කීපයකින්ම යහපත් වෙනවා. සංවර්ධනය හා රාජ්‍ය පාලනය සඳහා පාර්ලිමේන්තුව අනුමත කරන අරමුදල් ආයතන යොදවන්නේ අනුමත අරමුණුවලටද, මූල්‍යමය හා භෞතික ඉලක්කවලට ලඟාවෙනවාද, නීති රීති උපදෙස්වලට පටහැනිව කටයුතු කරනවාද, දූෂණ වංචා නාස්ති අකාර්ක්‍ෂමතා මොනවාද, නොපමාව අවධානය යොමු කළයුතු ආයතනත් ඒවායේ ක්‍ෂේත්‍ර හා කරුණුත් මොනවාද ආදිය ගැන සෑම බැරෑරුම් නිරීක්‍ෂණයක්ම ජනාධිපතිවරයාට ක්‍ෂණිකව වාර්තා කරවා ගැනීමට මෙමඟින් හැකි වෙනවා.

ජනාධිපතිවරයාට පාවිච්චි කළ හැකි තවත් වලංගු මග පෙන්වීම් ලෙස පාර්ලිමේන්තුවේ කාරකසභා වාර්තා සහ ජනාධිපති විමර්ෂණ වාර්තා යොදාගත හැකි වෙනවා. පාර්ලිමේන්තුවේ කාරකසභා සියල්ලේම පාහේ ආණ්ඩු පක්‍ෂය බහුතරය වන නිසාත්, විධායකයේ සියලු දූෂණ හා දෝෂවලට රැකවරණය දෙන්නේ ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම වීම නිසාත් එබඳු වාර්තාවල විශ්වසනීයභාවය දුර්වල නම් එම කාරකසභාවල සුළුතර වාර්තාද පාදක කරගන්න පුළුවන්. මෙරට කෙසේ වුවද පොදු රජ්‍ය මණ්ඩලයේ බොහෝ රටවල සුලභව දැකිය හැකි සුළුතර වාර්තා යනු කාරකසභාවක බහුතරය විසින් කාරකසභා වාර්තාවලට සුළුතරයේ අදහස් ගැබ්කිරීම වලකන විටෙක කාරකසභා වාර්තාවට අතිරේකව සුළුතරයේ වාර්තා ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කරන වාර්තාවනුයි.

මේ අනුව ජනාධිපතිධුර අපේක්‍ෂකයා තම ප්‍රතිපත්ති ප්‍රකාශ ලෙස ඉදිරිපත් කළයුතු වන්නේ තමාට ජනාධිපතිධුරය ලැබුණහොත් තම බල සීමාව තුළ සැබැවින්ම කළ හැකි දේ හා කරන ආකාරය මිස වෙනත් දේවල් නොවේ.