පිරිමිකම සහ ජනාධිපතිකම: දේශපාලන සංස්කෘතියේ ප්‍රචණ්ඩත්ව මානය

අතුලසිරි සමරකෝන්

සමකාලීන සමාජයේ පවතින උග්‍ර දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාව විශාල වශයෙන් වැදගත් වන රාජ්‍යයක් බව නොකිවමනාය. තිස් අවුරුදු යුද්ධය, රාජ්‍ය විරෝධී කැරලි, ආගමික මූලධර්මවාදී හා වාර්ගි ක ගැටුම්, රාජ්‍ය ත්‍රස්තවාදය සහ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් විසින් දියත් කරන ප්‍රචණ්ඩත්වය හා මැතිවරණ ප්‍රචණ්ඩත්වය ආදී ප්‍රභේද ගණනාවක් හරහා අපට රාජ්‍ය තුළ පවතින දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ‘ප්‍රාදුර්භූත’ නැතිනම් මතුපිටින් දිස්වන සංසිද්ධිය අවබෝධ කරගත හැකිවෙයි. මෙම සටහනේ මුඛ්‍ය අරමුණ වන්නේ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ පොදුවේ කතා කිරීමට වඩා පුරුෂ මූලික සමාජ චින්තනය සහ ප්‍රචණ්ඩත්වය අතර වන සම්බන්ධය දේශපාලන පද්ධතිය තුළ පිළිබිඹු වන්නේ කෙසේද යන්න විමසා බැලීමයි. එළඹෙන ජනාධිපතිවරණයේ දී තරග කිරීම සඳහා මේ වන විට යෝජනා වී ඇති නම් අතර කිසිම ස්ත්‍රියක නොසිටීමත් ජනාධිපතිවරණ තරගබිමේදී ‘පිරිමිකම’ නැතිනම් ‘පුරුෂත්වය’ සාධකයට විශාල ඉඩක් ලැබීමට ඇති හැකියාවත් නිසා පුරුෂ මූලික චින්තනය සහ භාවිතාව විසින් ඇති කරන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය පිළිබඳ හා එමඟින් ඇතිවන භෞතික ප්‍රචණ්ඩත්වය පිළිබඳව මෙහි දී දළ අධ්‍යයනයක යෙදෙමු. එසේම මෙම ලිපිය සඳහා වන මූලික පෙළඹවීම මා ලබන්නේ දකුණු ආසියාවේ සමකාලීන සමාජය හා දේශපාලනය පිළිබඳ විශිෂ්ට පර්යේෂකයකු වන ඉන්දියාවේ මහාචාර්ය රජීව් භාර්ගව විසින් නොබෝදා ‘ද හින්දු’ පුවත්පතට සපයන ලද ලිපියකිනි. එම ලිපිය ඔහු විසින් නම් කොට ඇත්තේ ‘ඉන්දියාවේ උග්‍ර විෂ පුරුෂත්ව සංස්කෘතිය (India’s Culture of Toxic Masculinity) නමිනි.

ඉන්දියානු සමාජය තුළ කාන්තාවට එරෙහි පුරුෂ ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළ මට්ටමකින් පවතී. අනෙක් අතට දලිත් නැතිනම් පහත් කුලයේ යැයි හැඳින්වෙන ජනයාට එරෙහිව පවතින ශාරීරික හිංසනය සහ විවිධාකාර ප්‍රචණ්ඩත්වයන් ඉතාමත් සුලබය. එසේම පිරිමි කණ්ඩායම් විසින් දියත්කරන ප්‍රචණ්ඩ පහරදීම් හා හිංසනයන් උග්‍ර වශයෙන් එරටින් වාර්තාවෙයි. භාර්ගව දක්වන ආකාරයට මේ කිසිම ප්‍රචණ්ඩ හැසිරීමකදී කාන්තාවන් විසින් එසේ කළා යැයි වාර්තා වී නොමැත. සියලු ම කුලයන්ගේ පිරිමින් විසින් ප්‍රචණ්ඩත්ව සංස්කෘතිය ප්‍රවර්ධනය කරනු ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. කාන්තාව හෝ පිරිමියා නෛසර්ගිකව නැතිනම් ජීව විද්‍යාත්මකව අවිහිංසාවාදී හෝ ප්‍රචණ්ඩ විය නොවිය හැක. නමුත් ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව තුළ දේශපාලන හා සමාජීය ප්‍රචණ්ඩත්ව වේදිකාවේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් වන්නේ පිරිමින් බව පැහැදිලිය. මෙහිදී භාර්ගව සේ ම අප ද යෝජනා කරන්නේ ප්‍රචණ්ඩත්වය හා පුරුෂත්ව කේන්ද්‍රීය චින්තනය අතර විශාල සබඳතාවක් පවතින බවය. ‘පුරුෂත්වය පිළිබඳ අදහස් පිරිමි සිරුරට වඩා වැඩියෙන් ගැටගැසී ඇත්තේ ‘සමාජ සංස්කෘතික දෘෂ්ටිවාදයන් සහ භාවිතාවන් සමඟය. සමාජය තුළ පවතින බලය, ආධිපත්‍ය, බලපෑම් සහගතභාවය සහ මර්දනය සමග ස්ත්‍රීත්වයට වඩා වැඩියෙන් පුරුෂත්වය පෑහෙයි. පුරුෂ මූලික සමාජය විසින් ගොඩනඟන පීතෘත්ව වාදය යනු පිරිමියා උත්කර්ෂයට නංවන ඔහුගේ අණසක යටතට පිරිමි චින්තනය විසින්ම දුර්වල යැයි හඳුවන ගැහැනිය පැමිණ වීමය. දේශපාලන විද්‍යාවේ බලය පිළිබඳ කතිකාව තුළ ප්‍රචණ්ඩ බලයට විශාල ඉඩක් එහි ප්‍රමුඛ න්‍යායක් වන දේශපාලන යථාර්ථවාදය විසින් ලබාදී තිබේ. සමාජීය ප්‍රචණ්ඩත්වයට සහ අරාජිකත්වයට පිළිතුරක් වශයෙන් රාජ්‍ය නමැති සංවිධානය බිහිකරගනු ලැබූ බවට වන විශාල මතවාදයක් පවතී.

සමාජයේ සියලුදෙනා සතුව තම අභිමතය පරිදි ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමට පැවති ස්වභාවික අයිතිවාසිකම රාජ්‍ය සහ ජනතාව අතර ඇතිවී තිබෙන සම්මුතිය නිසා අහෝසි වී තිබේ. මැක්ස් වේබර් පෙන්වා දෙන ආකාරයට ‘ඕනෑම නිශ්චිත භුමි භාගයක වෙසෙන ප්‍රජාවකට ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම සඳහා වන සුජාත බලයක් තිබේ.’ මෙහි දී මූලිකවම නූතන රාජ්‍ය විසින් ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම සිය ඒකාධිකාරී අයිතිය බවට පත්කොට ගෙන ඇත්තේ ප්‍රජාව විසින් එයට ලැබ දෙන ස්වාධිපත්‍ය බලය මහිමයෙනි. නමුත් හමුදාව සහ පොලීසිය ඇතුළු නූතන ජාතික රාජ්‍යයේ ආරක්ෂක උපකරණ භාවිත කිරීමේදී රාජ්‍ය විසින් ඓතිහාසිකව විශාල ජන සංහාරයන්, ලේ වැගිරීම්, ඝාතනයන්, අතුරුදහන් කිරීම්, වධ හිංසනයන්, රඳවා තබා ගැනීම් ආදිය විශාල වශයෙන් සිදු කරමින් තිබෙන බව සත්‍යයකි. එසේම පශ්චාත් යටත්විජිත රාජ්‍යය දෙස බලන විට පෙනී යන සත්‍යයක් විය හැක්කේ රාජ්‍ය සතු ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමේ පරම අයිතිය විවිධ දේශපාලන සහ ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් අභියෝගයට ලක් කොට ඇති බවය. එයට එක හේතුවක් විය හැක්කේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සුභ සාධන පද්ධතිය විශාල වශයෙන් දුර්වල අඩියක පැවතීම හා පාලක පන්තිය පක්ෂග්‍රාහීව හා අසාධාරණ ලෙස අනෙකුත් දුර්වල පන්තීන් සුරාකෑම සහ මර්දනය කිරීම විය හැකිය. ලංකාවේ ඇතිවූ ජනවාර්ගික අර්බුදය සහ යුද්ධය විසින් සිංහල ප්‍රභූ පාලක පන්තිය විසින් ඇති කළ ව්‍යුහාත්මක වාර්ගික ප්‍රචණ්ඩත්වයට අතිශය උග්‍ර ප්‍රචණ්ඩත්වයකින් පිළිතුරු ලබාදෙමින් තිබිණ. එය මර්දනයට අතිශය ප්‍රබල ප්‍රචණ්ඩත්වයක් රාජ්‍ය විසින් යොදා ගනු ලැබිණි. එසේම පන්තිමය සාධකය මුල්කොටගත් ප්‍රචණ්ඩ දේශපාලන භාවිතාවට ද 1971 දී සහ 1989 දී රාජ්‍ය විසින් අතිශය සාපරාධි විසඳුමක් ගොනු කෙරිණ. අනෙක් අතට 1983 සහ ඉන් පසුව ලාංකේය රාජ්‍ය තුළ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියේ විශාල වර්ධනයක් ඇතිවී විශාල වශයෙන් ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් දේශපාලනයේ හා කලාපීය හෙජමොනික දේශපාලනයේ බලපෑමට ලක්වීමට සිදුවිය.

1977 වන තෙක්ම මෙරට පැවතියේ පාර්ලිමේන්තුව ප්‍රධාන කොටගත් පාලන ක්‍රමයකි. ජයවර්ධන විසින් හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාව මඟින් පැවති ක්‍රමයේ තිබූ බලතල වෙන්කිරීම දුටුවේ දුර්වලතාවක් වශයෙනි. එබැවින් ඔහු විසින් එතෙක් පැවති දුර්වල (ස්ත්‍රීමය) රාජ්‍ය ශරීරයට අධිබලැති පිරිමි කායක් බද්ධ කරනු ලැබිණි. එය බලය සංකේන්ද්‍රවූ විධායක බලයකි. එමඟින් බල තුලනය, බලය බෙදීම, බලතල වෙන්කිරීම, පාරදෘශ්‍යභාවය, සාකච්ඡාව සහ විරෝධය සහ විසංවාදය මර්දනය කෙරිණ. එහි ව්‍යුහාත්මක බලපෑම හේතුවෙන් කළු ජූලිය, ජූලි වර්ජකයන්ගේ රැකියා අහිමි කිරීම, රාජ්‍ය ව්‍යුහය ම දැඩි දේශපාලනිකරණයකට හසුකිරීම, මැතිවරණ කල් තැබීම, මැතිවරණ කොල්ලකෑම, රාජ්‍ය විරෝධී කැරලි, රාජ්‍ය ත්‍රස්තවාදය ආදී ප්‍රචණ්ඩ සංසිද්ධින්ගෙන් ගහණ දේශපාලන සංස්කෘතියක් බිහිවිය. සමස්ත බලය ආඥාදායක පාලනයකට නතුකිරීම යනු රාජ්‍යයයේ ‘ප්‍රචණ්ඩ පුරුෂත්ව බලය’ මුදා හැරීමට සකසා ගත් ව්‍යුහයකි. රාජ්‍ය සතුවන අසීමිත ප්‍රචණ්ඩ බලය කිසිදු බලපෑමකට නතුනොවී නැතිනම් සමාජීය බලයට අවනත නොවී පීඩිත ජනයා මත මුදාහරිමින් ගෙන ගිය පාලනයේ උච්චතම අස්වස්ථාවක් වශයෙන් 1989 දියත් කෙරුණ තරුණ සංහාරය ප්‍රබල උදාහරණයකි. 1989 කාල පරිච්ඡේදයේදී මෙරට ඇතිවූ ඝාතන සංස්කෘතිය මඟින් පිළිඹිඹු වුණේ ක්‍රෑර පුරුෂෝත්තම බලකාමී දේශපාලකයන්ගේ දැඩි පරපීඩක මානසිකත්වය සහ මෘග හැසිරීමය. රාජ්‍ය සහ සමාජය අතර පැවති සන්ධානය අහෝසි වී රාජ්‍ය විසින්ම ජනතාවගේ ආරක්ෂාව සහ නීතියේ පාලනය අහෝසි කොට ප්‍රචණ්ඩ මර්දනීය බලයකින් මනුෂ්‍යත්වය වෙනුවට මළමිනී මතින් සිදුකරන වෛරීය බල තරගය අතිශය භයානක අඩියකට ගෙනෙනු ලැබිණ. 1994න් පසු කාන්තා නායිකාවක යටතේ සාමය පිළිබඳ අපේක්ෂාව නැවත දැල්විණ. සිවිල් සමාජය විසින් ප්‍රචණ්ඩ රාජ්‍ය යන්ත්‍රය මොහොතකට අඩපණ කෙරිණ. නමුත් වාර්ගික යුද්ධය, මැතිවරණ කොල්ලය හා එකළ සිදු කළ ඝාතනවල ස්වභාවය අනුව, ශ්‍රී ලංකාව තුළ පැවති බෞද්ධ සංස්කෘතියේ බලපෑම කුමක් ද? නැතිනම්, බුදුන් වහන්සේගේ අවිහිංසාවාදී දර්ශනය, භාර්ගව දක්වන ආකාරයටම, තවත් එක් ස්ත්‍රීමය චින්තනයක් වශයෙන් සලකමින් ක්‍රෑර පුරුෂෝත්තම රාජ්‍ය බලය විසින් නොසලකා හරිනු ලැබීද? යන පැනයන්ට පිළිතුරු සෙවිය යුතුබව පෙනේ. රාජ්‍ය බලය දරන පාලක කල්ලීන් දිගින් දිගටම එම බලය නඩත්තු කිරීම සඳහා ප්‍රචණ්ඩත්වය වපුරණ අතර එහි දී මකියවෙල්ලි අනුව යමින් ආගමික ප්‍රතිමාන වලට දක්වන ඊනියා ගෞරවය මිස ඒවා සැබෑ ලෙස භාවිත කිරීමක් සිදු නොවුණු බව පෙනීයයි.

1980-90 දශකය විසින් මෙරට දේශපාලනයට එක් කළේ අතිශය පුරුෂෝත්තම, ක්‍රෑර, ප්‍රචණ්ඩ, උග්‍ර විෂ සහිත බලය භාවිතාව පිළිබඳ අභ්‍යාසයකි. 2009 දී වාර්ග ික යුද්ධයේ දී නැවතත් ප්‍රදර්ශනය වුණේ එම මාරාන්තික පුරුෂෝත්තමවාදී රාජ්‍ය බලය පිළිබඳ කතිකාවේ භෞතිකකරණයකි. අවසන් යුද්ධය යනු ප්‍රචණ්ඩ පිරිමි ඔළු විසින් දේශපාලන දෘෂ්ටිවාදයන් පසෙක තබා දියත් කළ බලය පිළිබඳ අභ්‍යාසයකි. ඉන්පසුව 18 වන සංශෝධනය හරහා එම රාජ්‍යයේ විධායක බලය අතිශය ඉහළ මට්ටමකින් ප්‍රචණ්ඩ බලයක් බවට තවදුරටත් වර්ධනය කෙරිණ. එසේම ‘විධායකය යනු රජෙක් ය, එය පිරිමි පෞර්ෂයකි, උඩු රැවුල හා කාය බලය අනිවාර්ය ශාරීරික ලක්ෂණය’ වැනි මිථ්‍යාමතික ගණනාවක් පාලකයාගේ ප්‍රතිරූපය වටා උත්තරාරෝපණය කෙරිණ. මේ මොහොත තුළ ජනාධිපති තරගයේ ස්වභාවය ශක්තිමත්ම හා ‘පුරුෂත්වයෙන් වඩාත් ඉහළම (ප්‍රචණ්ඩම) පිරිමියා වියහැක්කේ කාටද යන්න තීරණය කිරීමේ අවස්ථාවක් බවට හැරෙමින් තිබේ.’ එය එක් අතකින් ගෝත්‍රික රාජ්‍යයක නායකයා තෝරන තරගයක් බඳුය. ස්ත්‍රීත්වය යනු මේ මොහොතේ ප්‍රතික්ෂේපිත තත්ත්වයකි. ප්‍රචණ්ඩ, විෂම ලිංගික පිරිමි නායකයකු ප්‍රවර්ධනය කරන අය විසින් කරමින් සිටින්නේ රාජ්‍ය නැවත ගෝත්‍රිකකරණය කිරීමක් දක්වා පල්ලම් බැස්සවීමකි. ඒ තරග තුළ වඩාත් ප්‍රගතිශීලී යයි පෙනෙන නායකයන්ට පවා තම ශරීර ශක්තිය හා පිරිමිකම ප්‍රදර්ශනය කිරීමේ උපායන් අනුගමනය කිරීමට සිදුවී තිබේ. නමුත් වඩාත් රැඩිකල් දේශපාලනයක් විසින් මේ මොහොත තුළ කළයුත්තේ ප්‍රචණ්ඩ පුරුෂෝත්තම රාජ්‍ය බලයට එරෙහිව නැගී සිටීමය.