ඊළඟ ජනාධිපති ගොපල්ලව කෙනෙක්ද නැතිනම් චන්ද්‍රිකා කෙනෙක්ද?

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

දහනවවන ව්‍යවස්ථා සංශෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස මීළඟට පත්වන ජනාධිපතිවරයා හුදෙක් නාමික සහ බලරහිත ධූරයක් වන්නේය යන තර්කය විශේෂයෙන්ම වික්ටර් අයිවන් සහ ආචාර්ය නිහාල් ජයවික්‍රම යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබිණ. ඔවුන් පවසන්නේ මේ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා, 1972 ව්‍යවස්ථාව කාලයේ සිටි විලියම් ගොපල්ලව මහතාගේ තත්ත්වයට සමාන කෙනෙකු වීමට නියමිත බවයි. නිහාල් ජයවික්‍රමගේ අදහස සාරාංශගත කරමින් වික්ටර් අයිවන් මහතා පවසා තිබුනේ ”ඊළඟ ජනාධිපතිවරයා පත්වූ දින සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බවට පෙරලෙන බවත් එතැන් පටන් රටපුරා ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති නොව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලවල් බවත්ය”.

එහෙත් මේ තර්කය එතරම් ශක්තිමත් එකක් ලෙස මටනම් පෙනෙන්නේ නැත. එනම් මෙතෙක් කලක් බලවත්ව තිබූ ජනාධිපති ධූරය හුදෙක් 19 සංශෝධනය නිසා බලරහිත එකක් බවට පත්වේය යන්න නිවැරදි නැත. ඒ බව අවබෝධ කර ගැනීම සඳහා අපේ ආණ්ඩුක්‍රමයේ ස්වභාවයත් එමෙන්ම ජනාධිපතිධූරයේ ස්වභාවයත් තේරුම් ගැනීම අත්‍යවශ්‍යය.
පළමුවෙන්ම කිව යුත්තේ ලංකාවේ දැනටත් ක්‍රියාත්මක වන්නේ ”විධායක ජනාධිපති ක්‍රමයක්” ලෙස හැඳින්වුවත් එය ඇත්තෙන්ම නම් ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොවන බවයි. මෙය මිශ්‍ර හෙවත් අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමයකි. අපේ ආණ්ඩුක්‍රමය ගැන බොහෝ වැරදි අර්ථකථනවලට පදනම් වී ඇත්තේම, එහි මූලික ස්වභාවය පිළිබඳ මේ අනවබෝධය සහ නොසැලකිල්ල යැයි කිව හැකිය.

මිශ්‍ර ක්‍රමයක් අනෙකුත් ක්‍රම වන ජනාධිපති සහ පාර්ලිමේන්තු ක්‍රමවලින් පැහැදිලිවම වෙනස්ය. ජනාධිපති ආණ්ඩුක්‍රමයකදී විධායකය වන ජනාධිපතිවරයා වෙනම තෝරා පත්කර ගන්නා අතර විධායකය පැහැදිලිවම ව්‍යවස්ථාදායකයෙන් වෙන්ව ස්වාධීනව පිහිටයි. ඒ නිසා විධායකයේ පැවැත්ම ව්‍යවස්ථාදායකයේ බහුතරය මත රඳා පවතින්නේ නැත. ඇමරිකානු ආණ්ඩුක්‍රමය මීට උදාහරණයකි. මීට වෙනස්ව පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක විධායකය පත්වන්නේ ව්‍යවස්ථාදායකය තුළින්මය. එසේම මෙහිදී විධායකය, ව්‍යවස්ථාදායකය තුළම පිහිටන අතරම ඒ නිසාම, විධායකයේ පැවැත්ම ව්‍යවස්ථාදායකයේ බහුතරය මත රඳා පවතී. අන්ලෙසකින් කිවහොත්, විශ්වාසභංගයක් මගින්, ආණ්ඩුව බලයෙන් පහ කිරීමට පාර්ලිමේන්තු ක්‍රමයේදී පුළුවන. ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ දැනට ක්‍රියාත්මක වන්නේත්, ලංකාවේ 1978 දක්වා පැවතියේත් මේ පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයයි.

ඉහත කී ලෙසම, 1978 ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනු ලැබුවේ ඊනියා ”විධායක ජනාධිපති ක්‍රමයක්” නොව මිශ්‍ර හෙවත් අර්ධ ජනාධිපති ක්‍රමයකි. මේ ක්‍රමයේ විශේෂ ලක්ෂණය වන්නේම මෙහි විධායකය, ජනාධිපති සහ පාර්ලිමේන්තු යන ක්‍රම දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙස ගොඩ නගා තිබීමයි. එනම් මෙහිදී දේශපාලන විධායකය, වෙනම මැතිවරණයකින් තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයෙකුගෙන්ද, එසේම පාර්ලිමේන්තුවේ බහුතරය මත පදනම් වන කැබිනට් මණ්ඩලයකින්ද වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ. 1978 ව්‍යවස්ථාවේ VII වන සහ  VIII පරිච්ඡේද මගින් දේශපාලන විධායකයේ එම කොටස් දෙක පැහැදිලිවම වෙන වෙනම ස්ථාපිත කර ඇති බව පෙනී යයි. ඒ අනුව ජනාධිපතිවරයා (ජනාධිපති ක්‍රමයක මෙන්) පාර්ලිමේන්තුවෙන් පිටස්තරව ස්වාධීනව පවතින නමුත් විධායකයේ අනෙක් අර්ධය වන කැබිනට් මණ්ඩලය (පාර්ලිමේන්තු ක්‍රමයක මෙන්) පාර්ලිමේන්තුවේ බහුතරය මත රඳා පවතින බව පැහැදිලි වේ. බොහෝ අනවබෝධයන්ට සහ වැරදි අර්ථ කථනයන්ට මග පාදා ඇත්තේ, අපේ විධායකයේ පවත්නා මේ ද්විත්ව ස්වභාවයයි.

ඉහත දක්වා ඇති වික්ටර් අයිවන්ගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ 19 වන සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස මී ළඟ ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවේ ආණ්ඩුක්‍රමය පාර්ලිමේන්තු ක්‍රමයක් බවට පෙරලෙන බවකි. නමුත් සත්‍ය තත්ත්වය වන්නේ 1978 පටන් අද දක්වාම කොහොමටත් ආණ්ඩුව කවුද යන්න තීරණය වී ඇත්තේ ජනාධිපති කවුද යන්න මත නොව පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කාටද යන්න මත බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනන පක්ෂයට ආණ්ඩු බලය හිමිවීම කිසිසේත්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතිවන අමුතු වෙනසක් නොවේ. එය කවදත් පැවති තත්ත්වයයි. 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නට පටන් ගත් මුල් කාලයේදී මෙය එතරම් විද්‍යමාන නොවූයේ, මුල් වසර 17 දීම ජනාධිපති අයත් පක්ෂයටම පාර්ලිමේන්තුවේ බලයද හිමිව තිබූ බැවිනි. ආණ්ඩු බලය හිමිවීමෙහිලා තීරණාත්මක වන්නේ ජනාධිපතිද නැතිනම් පාර්ලිමේන්තුවේ බහුතරද යන්න මුල්වරට යාන්තමින් හෝ පිරික්සා බැලුනේ 1994 දීය. ඒ වසරේ අගෝස්තු 16 පැවති මහමැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කර ගැනීමත් සමගම, එහි නායිකා චන්ද්‍රිකා කුමාරතුංගට අගමැතිකම හිමිවිය. එතැන් පටන් ඇය ජනාධිපති වනතෙක් ගත වූ මාස කිහිපයේදී ජනාධිපති ධූරය හෙබවූයේ ඩී. බී. විජේතුංග වන නමුත්, ආණ්ඩුව ලෙස සලකනු ලැබුවේ කුමාරතුංගගේ නායකත්වයෙන් යුතු පොදු පෙරමුණයි. ඒ අනුව අසීමිත බලයක් ඇතැයි කියන ජනාධිපති ධූරය හුදෙක් නාමික තනතුරක් පමණක් බවට පත්විය.

ඇත්තෙන්ම මේ තත්ත්වය වඩාත්ම හොඳින් පැහැදිලි වූයේ ඒ කෙටි අවස්ථාවේ නොව 2001 දෙසැම්බර් 05 මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කිරීමෙන් පසුවය. එවකට ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එහෙත් එතැන් පටන් ගත වූ වසර දෙක හමාරේ පැවතියේ ඇගේ ආණ්ඩුවක් නොව පාර්ලිමේන්තුවේ බහුතරය මත පදනම් වූ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකි. එවකට 19 වන සංශෝධනයක් තිබුනේ නැත. එහෙත් එදාද ආණ්ඩුබලය තීරණය වූයේ පාර්ලිමේන්තුවේ බලය මතයි. මේ ආණ්ඩුක්‍රමයේ නියම සහ මුල් ස්වභාවය එයයි.

මේ අනුව 1978 ව්‍යවස්ථාව යටතේ විධායක බලය හෙවත් ”ආණ්ඩුව”, අවස්ථානුකූලව ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර දෝලනය වී ඇති බව පැහැදිලිය. එහිදී කවදත් තීරණාත්මක සාධකය වී ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවන්නේ කුමන පක්ෂයටද යන කාරණයයි. ලංකාවේ ආණ්ඩුක්‍රමය ”විධායක ජනාධිපති” යන බියකරු හා පිළිකුල්සහගත නැතහොත් ගෞරවාන්විත හා මහේශාක්‍ය වචනයෙන් ප්‍රචලිතව හැඳින්වෙන නමුත්, එහිදී තීරණාත්මක වී ඇත්තේ ජනාධිපති කවුද යන්න නොව පාර්ලිමේන්තු බහුතරය කාටද යන්න බව පැහැදිලිය. ඒ අර්ථයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රමය ජනාධිපති ක්‍රමයකට වඩා ඇත්තෙන්ම නම් පාර්ලිමේන්තු ක්‍රමයකි. මෙම ක්‍රමය තුළ ජනාධිපතිවරයා බලවත් වූයේම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබෙන බලයට වඩා පක්ෂ නායකයෙකු වශයෙන් ඔහුට හිමි තත්ත්වය සහ ආධිපත්‍යය නිසාය. එමගින් පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ව්‍යවස්ථාව මගින් හිමිවන බලය තමන්ගේ පෞද්ගලික බලයක් ලෙස පරිවර්තනය කොට භාවිත කිරීමේ හැකියාවක් ජනාධිපතිට ලැබී තිබුණි.

ලංකාවේ කිසිදු ප්‍රධාන පක්ෂයක ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒ අනුව කිසිදු සාමාජිකයෙකුට නායකත්වයට අභියෝග කිරීම එතරම් පහසු නැත. ඊට අමතරව ඔහු පත්වන්නේ රටම තනි ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන සහ ඉතාමත්ම ඉහල අවධානයක් දිනා ගන්නා මැතිවරණයකිනි. ඒ සමගම මහජනයා තම නායකයා ලෙස තනි, නිශ්චිත පුද්ගලයෙකු දෙස බැලීමේ ස්වාභාවික නැඹුරුවක් තිබේ. මේ නිසාම ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා වැඩි බලයක් භුක්ති වින්දේය. එහෙත් මේ සම්බන්ධයෙන් අමතක නොකළ යුතු සත්‍යය වන්නේ එම බලය නියතවම කොන්දේසි සහිත එකක්ය යන්නයි. එම කොන්දේසිය නම් පාර්ලිමේන්තුවේ බහුතර බලයයි. එය නැති තැන කොහොමටත් පැවතියේ නාමික ජනාධිපති කෙනෙකු සහ පාර්ලිමේන්තුව තුළින් බිහිවන විධායකයක් හෙවත් ආණ්ඩුවකි. ඒ නිසා මෙය 19 න් සිදුවන අමුතු වෙනසක් නොව කොහොමටත් තිබුණු තත්ත්වයකි.

19 වන සංශෝධනයෙන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් වෙතැයි සිතිය නොහැක්කේ, මේ මිශ්‍ර ක්‍රමය තුළ මේ වෙන තුරුම ජනාධිපතිගේ බලය තීරණය වූයේ ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට වඩා එයින් පිටස්තරව ඔහුට පක්ෂ නායකයා ලෙස තිබුණු තත්ත්වය සහ බලය හේතුකොටගෙන බැවිනි. මෙවර පළමුව පවත්වන්නට යන්නේ ජනාධිපතිවරණයයි. සියලුම ප්‍රධාන අපේක්ෂකයන් ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන පක්ෂවලිනි. ඒ සමගම පවත්වන මහා මැතිවරණයෙන්, ඒ වනවිට ජනාධිපති ලෙස තේරී පත්වී ඇති පුද්ගලයාගේ පක්ෂයම ජය ලැබීමේ විශාල ඉඩක් පවතී. ඒ නිසා මෙවරද අපට බොහෝ විටම දැක ගත හැකි වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා හෝ ඊට සමාන තත්ත්වයක් දරන ජනාධිපතිවරයෙකි. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය යනු ඔහුට අභියෝග කරමින් පත්වන එකක් නොව ඔහු විසින් ඔහුගේ පක්ෂය තුළින්ම පත්කරන එකකි. ඒ අනුව ඔහු පක්ෂ නායකත්වය ප්‍රායෝගිකව දරන තාක් පවතිනු ඇත්තේ ජනාධිපතිගේ ආණ්ඩුවකි. ජනාධිපතිට ඇමති ධූර දරන්නට නොහැකිය වැනි දේවල් කිසිසේත්ම ඔහුගේ බලය අඩු කරන සාධක නොවේ. ඊ ළඟ ජනාධිපති නාමික වනු ඇතැයි කියන්නට දක්වන අනෙකුත් කරුණුවල තත්ත්වයද එසේමය.

කෙසේ වෙතත් කරුණු දෙකක් අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. පලමුවනුව 19 වන සංශෝධනයෙන් කිසිදු බලපෑමක් නොවෙතැයි මා කියන්නේ නැත. විශේෂයෙන්ම තමන්ගේ පක්ෂය නොවන එකකට පාර්ලිමේන්තුවේ බලය හිමි වූ විට, නිසි කාලය බලා මහමැතිවරණයක් කැඳවා එය විනාශ කරන්නට හෝ වරින් වර එහි කටයුතු අවුල් කරන්නට ජනාධිපති කෙනෙකුට මෙතෙක් තිබූ බලය මෙමගින් සෑහෙන දුරකට අඩුවී තිබේ. එය ඇත්තය. නමුත් පාර්ලිමේන්තු බහුතරයද ඔහුගේ පක්ෂයටම නම් මෙමගින් කිසිදු සැලකිය යුතු බලපෑමක් සිදු නොවේ.

දෙවනුව, ජනාධිපතිවරණයෙන් ජය ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් එවිට ඇතිවිය හැකි විශේෂ තත්ත්වයක් ගැනත් යමක් කිව යුතුය. ගෝඨාභය මහතාව අපේක්ෂකයා ලෙස නම් කළත්, ඔහුව ඉක්මවා මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුව පක්ෂයේ, පක්ෂ නායකයා ලෙසත්, ජනාධිපතිවරණයේ ප්‍රධාන චරිතය ලෙසත් පෙනී සිටින්නටත් උත්සාහ කරන බවක් දැන් පෙනී යයි. ඒ අනුව ඔහු අගමැති වුවහොත්, එවිට ප්‍රායෝගිකව පොහොට්ටුව පක්ෂයේ, පක්ෂ නායකයා කවුද යන ප්‍රශ්නය තීරණාත්මක ලෙස ඉස්මතු වනු ඇත. එම ප්‍රශ්නයට පිළිතුර වන්නේ ගෝඨාභය රාජපක්ෂ නම් ඊළඟට බිහිවනු ඇත්තේ, ජනාධිපතිගේ ආණ්ඩුවකි. නමුත් ඊට පිළිතුර මහින්ද රාජපක්ෂ නම් එම ආණ්ඩුව අගමැතිගේ ආණ්ඩුවකි. එහෙත් වැදගත් කරුණ වන්නේ එය කිසිසේත්ම 19 වන සංශෝධනයේ ප්‍රතිඵලයක් නොව, හුදෙක් පොහොට්ටුව පක්ෂයේ සැබෑ පක්ෂ නායකයා කවුද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවයි.

ඊළඟ ජනාධිපති කිසිසේත්ම විලියම් ගොපල්ලව කෙනෙකු නොවේ. ඊ ළඟ ජනාධිපතිගේ ස්වභාවය පුද්ගල උදාහරණයකින් පැහැදිළි කළ යුතුම නම් ඊට ගැලපෙන හොඳම උදාහරණය චන්ද්‍රිකා කුමාරතුංගය. 1994 දී ඇය මහමැතිවරණය ජයගත් විට එවිට ජනාධිපතිව සිටියේ ඩී. බී. විජේතුංග වුවත් ඇය ඇත්ත ආණ්ඩු බලය ලබා ගත්තාය. එයින් පසුව ඇය ජනාධිපති වූ විට ඇයගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන තාක් ඇය බලසම්පන්න ජනාධිපතිවරියක් වූවාය. නමුත් 2001 දී ඇගේ පක්ෂයට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට, ඇයගේ බලය ගිලිහී ඇයව ප්‍රායෝගිකව නාමික තත්ත්වයකට පත්ව, අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු කැබිනට් ක්‍රමයක් ඇති විය. 19 වන සංශෝධනයෙන් පසුවද තත්ත්වය එයින් වෙනස් වන්නේ නැත.