ගෝඨාභය සහ සජිත් පැරදවීම

ප්‍රියන්ත ප්‍රදිප් රණසිංහ

ගෝඨාභය ජනාධිපති වීම වැළැක්විය යුතු බවට, එජාපය, එජාපෙ අනෙකුත් පක්ෂ මෙන්ම රාජපක්ෂ පාලනය අවසන් කිරීමට 2015 පෙළගැසුන එජාප හිතවාදී සිවිල් සංවිධාන මෙවරද පෙළගැසීම සුවිශේෂී කාරණයක් ලෙස සැලකිය නොහැක. ඒ වගේම ජවිපෙද ඒ වෙනුවෙන් කැපවීම අදහාගත නොහැකි දෙයක් නොවන්නේය. එහෙත් වැදගත් වන්නේ සජිත් ජනාධිපති වීම වැළැක්වීමට එයින් සැලකිය යුතු පිරිසක් කඳවුරු බැඳ සිටීමය.

රනිල්ගේ විරෝධය

එජාප නායක වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ප්‍රේමදාස මහතාට එරෙහි වන්නේ වෙනම අර්ථයකින් බව සිතිය හැක. එහි ප්‍රධාන කාරණය ලෙස අනුමාන කළ හැක්කේ යම් ආකාරයකින් ඔහු ජයග්‍රහණය කළහොත් එජාප නායකත්වයෙන් පමණක් නොව දේශපාලනයෙන් පවා සමුගැනීමට තමන්ට සිදුවනු ඇතැයි වික්‍රමසිංහ මහතා තුළ පවතින බිය, බව විශ්වාස කළ හැකිය. එම බය ම රනිල් වටා තවමත් සිටින පිරිසටද තිබීම අසාධාරණ නැත. ඊට අමතරව දැන් වික්‍රමසිංහ එජාප නායකයාට සහ ඔහුගේ දේශපාලන මිතුරන්ට, ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයා සහ ඔහුගේ දේශපාලන මිතුරන් කෙරෙහි වෙනත් තරහක්ද මතුව ඇතැයි සිතිය හැක. ඒ, සාම්ප්‍රදායික ආකාරයෙන් නොව විප්ලවීය ආකාරයෙන් ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනීමට ප්‍රේමදාස අමාත්‍යවරයා සහ ඔහුගේ පිරිස ආරම්භ කර ඇති කැරැල්ලය.

රනිල් සිවිල් සංවිධාන ඉක්ම වීම

එහෙත් එජාපය වටා සිටින සිවිල් සංවිධානවල අවශ්‍යතාව යැයි සිතිය හැක්කේ රනිල් සහ සජිත්වද ඉක්මවා ගොස් තමන් කැමති අපේක්ෂකයා වෙනුවෙන් එජාපය මෙහෙයවීමය. 2015 දී ඔවුන් කළ “අසාමාන්‍ය” මැදිහත්වීම, එවැනි ක්‍රියාකාරිත්වයක් උදෙසා මෙවරද ඔවුන් “එඩිතර” වීම ට හේතු වී ඇතැයි විශ්වාස කළ හැකිය. එහෙත් එය වික්‍රමසිංහ මහතා මෙන්ම ප්‍රේමදාස මහතාද තේරුම් ගෙන ඇතිවාක් මෙන්ම දැන් දේශපාලන පරිසරයද වෙනස් වී ඇතැයි සිතිය හැක්කේ සිවිල් මැදිහත්වීම තීරණාත්මක නොවන තැනකටය. 2015දී සිවිල් සංවිධාන එජාපය ඉක්මවා ගිය බවත්, මෙවර සිවිල් සංවිධාන පරිප්පුව කෑමට එජාපය හෝ ජනතාව සූදානම් නැති බවත් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු ලෙස සැලකිය හැකි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කර තිබූ ප්‍රකාශයද නොදැනුවත්ව කළ එකක් ලෙස සැලකිය නොහැක. මේ නිසා එජාප නායකයා සජිත්ව පරාජය කර කරු ජයසූරිය කතානායකවරයාව අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මාවත විවර කර ගතහොත්, එය සැලකිය හැක්කේ සිවිල් සංවිධානවල ජයග්‍රහණයක් ලෙස නොව වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයක් ලෙසය. සිවිල් සංවිධානවල මෙවර තෝරාගැනීම කරු ජයසූරිය වන නිසා එවැනි අවස්ථාවක ඔවුන්ටද තමන් ජයගත් බව කිව හැකි වුවත් එම ප්‍රතිඵලයේ අර්ථය ඔවුන් කියන අර්ථය යැයි සැලකිය නොහැකිය.

හකීම්, මනෝ, රිසාද් තීරණය

අනෙක් පැත්තෙන් එජාපය හැර එජාපෙ අනෙකුත් පක්ෂවල ස්ථාවරය වික්‍රමසිංහ මහතා සමග හෝ ඔය කියන සිවිල් සංවිධාන සමග සමපාත වන්නේ යැයි සිතිය නොහැක. රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැනි අමාත්‍යවරුන් දැනටමත්, ජයග්‍රහණය කළ හැකි එජාප අපේක්ෂකයා ප්‍රේමදාස මහතා බව තීරණය කර ඇති බව අපැහැදිලි නැත. රිසාද් බදියුදීන් අමාත්‍යවරයාද එම ස්ථාවරයේ ම සිටියත් පසුගිය සතිය වනවිටත් එජාපෙ සිටින මෙම දෙමළ, මුස්ලිම් පක්ෂ වෙනම පවත්වන සාකච්ඡාවලට පූර්ණ වශයෙන් සහභාගි වී තිබුණේ නැත.

චම්පික සාධකය

චම්පික රණවක අමාත්‍යවරයා විවෘත මනසකින් සිටින්නේ යැයි අනුමාන කළ හැකිය. සජිත් සමග සැසදීමේදී ඔහු රනිල් හිතවාදියකු ලෙස සැලකිය හැකි වුවත් එජාපය තෝරාදෙන අපේක්ෂකයා දිනවීම උදෙසා කැපවේ යැයි සිතිය හැක. ඒ සමගම ඔහු තමන් ඉස්මතු වීමේ මෙහයුමද ආපස්සට ගෙන නැත. පසුගිය සතියේ ඔහු ‘ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම‘ යන නමින් ශ්‍රී ලංකාව දැනට සිටින අවදානම් තත්ත්වය පිළිබඳ විග්‍රහයක් මෙන්ම ඉන් ගොඩයාමට ප්‍රවේශයයක්ද ඉදිරිපත් කර තිබිණි. එය හොඳ දැක්මක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම එය වෙනම ම සාකච්ඡාවට ලක්විය යුත්තක් ලෙසද මම සිතමි.

ඒ අනුව සිතිය හැක්කේ එජාපෙ අනෙකුත් පක්ෂ, ගෝඨාභය පරාජය කර එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය යුතුයැයි පැහැදිලි දේශපාලන තීරණයක සිටින බවය. නැතහොත්, ගෝඨාභයට ඉඩ නොදිය යුතුය, යන්න මිස සජිත්ට ඉඩ නොදිය යුතුය යන මතයේ ඔවුන් නොසිටින බවය.

වෙනම න්‍යාය පත්‍රයක්

මෙයින් පැහැදිලි වන්නේ එජාපය තෝරාදෙන අපේක්ෂකයා දිනවීමට කැපවීමේ ප්‍රතිපත්තිය තෝරා නොගෙන, එජාපයට අපේක්ෂකයෙකු තෝරාදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නන්ට වෙනම න්‍යාය පත්‍රයක් තිබිය හැකි බවය. එවැන්නක් ශ්‍රී ලංකාවේ පොළොවේ තත්ත්වය මත සැකසූවක් ලෙස සැලකිය නොහැකි අතර පිරිසකගේ පෞද්ගලික ඕනෑ එපාකම් මත ගොඩනැගුණක් ලෙස සැලකිය හැකිය. එම පිරිස තමන් කැමති නායකයන්ගේ සහ පක්ෂවල, කණ්ඩායම්වල ඇතැම් ක්‍රියාවන්ගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වී ඇති හානිය කතා කිරීම තබා, තමන්ගේ පක්ෂය ලෙස සලකන එජාපය තුළ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ගතිලක්ෂණ ගැන කතා කරන්නේ නැත. මෙරට සියලු ප්‍රධාන පක්ෂවල ව්‍යවස්ථා දෙස බැලුවහොත් ප්‍රජාතන්ත්‍රවාදී ගතිලක්ෂණ අවම මට්ටමේ පවතිනවා පමණක් නොව ප්‍රායෝගිකව පවා පෙන්නුම් කරන්නේ එවැනි ක්‍රියාකාරිත්වයකි. එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම එකට රැස්කර තීරණයක් ගතයුතු බවට එජාප මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් ලිඛිතව ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි මෙම පිරිස නොකියනවා මෙන්ම අඩු ගණනේ අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගත යුතු යැයි කියන්නේද නැත.

කරු ජයසූරිය

ඔය කියන සිවිල් සංවිධානවල අපේක්ෂකයා වන ජයසූරිය කතානායකවරයා කරන සියලු ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය හැකිද ? විශේෂයෙන් පළාත් සභා ඡන්ද නොපැවැත්වීමට ඔහු සහ වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්ව වගකිව යුතුව තිබියදී වුවත් එම බරපතළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව විවේචනය නොකරන ප්‍රතිපත්තියක් ඔය කියන සිවිල් සංවිධාන පවත්වාගෙන යන බව පෙනේ. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන කතානායකවරයා මෑතකදී කළ ප්‍රකාශයක් පුවත්පතක පළ වී තිබිණි. ඔහු කියා තිබුණේ පොලිස් කොමිසම උදේ ගත් තීරණයක් සවස වෙනස් කිරීම පිළිබඳ තමන් එම කොමිසමෙන් විමසන බවය. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී නිර්දේශ ඉදිරිපත් කිරීම ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුවුවත් එම කොමිසමක ක්‍රියාවන් පිළිබඳ විමසීමට ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස කතානායකවරයාට ඇති බලය කුමක්ද ? තවත් අවස්ථාවක ඔහු, විදේශ අමාත්‍යාංශයේ ආරාධනයකින් මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකුට මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම වළක්වන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඒ සඳහා කතානායකවරයාට තබා පාර්ලිමේන්තුවටවත් කිසිදු බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ආචාර්ය නිහාල් ජයවික්‍රම අභියෝග කර තිබියදී පවා ජයසූරිය මහතා ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියේය. එමෙන්ම ඔහු ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයකින් වැටුප් ලබන ප්‍රසාද් කාරියවසම් මහතාව සිය විදේශ කටයුතු උපදේශක ලෙස තබා ගත්තා පමණක් නොව, ඔහු හරහා තානාපතිවරුන්ගේ රැස්වීම් පවා කැඳවීය. එල්ල වූ විරෝධයකින් පසුව කාරියවසම් මහතා පාර්ලිමේන්තුවෙන් පඩි ලබන සේවකයකු බවට පත්කිරීමට ඔහුට සිදුවිය.

විශේෂයෙන් ජනාධිපතිවරයා පසුගිය ඔක්තෝබර් 26, ව්‍යවස්ථා විරෝධී ලෙස වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු කතානායකවරයාද රට පාලනය කරන තත්ත්වයට පත්විය. එය එක්තරා ආකාරයක 19 වන සංශෝධනයෙන් කතානායකවරයාට ලැබුණු අමතර බලයක් නිසා සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකි වුවත් ඔහු සීමාව ඉක්මවා ගිය අවස්ථා තිබිණි. ඔහු ස්වාභාවයෙන් එවැන්නෙකු ලෙස සැලකිය නොහැකි වුවත් වික්‍රමසිංහ අගමැතිවරයා නිහඬ වී ලබාදුන් තල්ලුව, වික්‍රමසිංහවාදීන්ගේ බලකිරීම් සහ ඔහු වටා සිටින සිවිල් සංවිධාන පෙන්වා දී ඇති ජනාධිපති සිහිනය ඔහුව එවැන්නෙකු බවට පත් කර ඇතැයි සිතිය හැක.
වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ම කටයුතු කරන බව කියන සිවිල් සංවිධාන මෙම සීමාව ඉක්මවන ක්‍රියාවන් පිළිබඳ කතා නොකර සිටීමය. එයින් අදහස් වන්නේ තමන් කැමති නායකයා හෝ පක්ෂය කරන ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියා, ප්‍රජාතන්ත්‍රවාදී වන බවද ?

රනිල්, කරු දෙසට හැරීම

අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ මහතා, ජයසූරිය මහතාට ඉඩ දී ඇති අවස්ථා සියල්ලේදී ම එවැනි නිහඬතාවක් දක්වා ඇත්තේ තම වාසියට බව අපැහැදිලි නැත. ඔක්තෝම්බර් 26, විධායක ජනාධිපතිවරයා එල්ල කළ අනපේක්ෂිත දේශපාලන ප්‍රහාරය මෙන්ම දැන් එල්ල වී ඇති සජිත් ප්‍රේමදාස ප්‍රහාරයද සැලකිය හැක්කේ එවැනි තත්ත්වයන් ලෙසය. මේ නිසා සජිත්ව වේදිකාවෙන් බැස්සවිය හැක්කේ, කරු වේදිකාවට නැග්ගවීමෙන් පමණක් නම් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙවර එම මාවත තෝරාගනු ඇතැයි සිතිය හැක.

2015 සහ 2019

තමන් ම එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව දැඩිව ඇඟවෙන පරිදි වික්‍රමසිංහ මහතා හැසිරෙමින් සිටින්නේ ඔහුම ඉදිරිපත් වීමට කැමති නිසා යැයි අනුමාන කළ නොහැක. 2015දී ද අවසාන මොහොත දක්වාම ඔහු පෙන්නුවේ තමන් ඉදිරිපත් වන බවය. මෙවරද එවැන්නක් විය හැකි වුවද ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමේ ප්‍රහාරයට මුහුණ දීමට 2015 තිබූ සියලු අවි ඔහු සතුව නැත. සිරිසේන ජනාධිපතිවරයා, සීමිත වුවද විධායක ජනාධිපති බලතල සහිතව ම ඔහුට එරෙහිව සජිත්ට පක්ෂපාතීව සිටිනවාට අමතරව, එජාපයේ ඔහුගේ ඉහළ ම හිතවාදීහු රැසක් සජිත් පාර්ශ්වයේ නායකයෝ වී සිටිති. රවි කරුණානායක අමාත්‍යවරයාගේ නිවසේ අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් පසුගිය සතියේ විශේෂයෙන් පැවැත්වුණ තානාපති සාදයට ඇමරිකාවේ මෙරට තානාපතිනිය සහභාගී වී සිටියේද නැත. එය එජාපෙ පාර්ශ්වයේ අපේක්ෂකයා ලෙස කරු හඳුන්වාදීමේ අවස්ථාවක් විය හැකි බව කලින් ඇඟවී තිබුණද ජයසූරිය මහතාද ඊට එක්ව සිටියේ නැත.

ආශ්චර්යයක්

සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රිලනිපයේ සහායද ලබා ගතහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයගත නොහැකි යැයි අනුමාන කළ නොහැක. එහෙත් එය තීරණය වන්නේ එජාප නායකයා ගන්නා තීරණය මත යැයි සිතිය හැක. මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අංග විකල දරුවකු වුවද, අපේක්ෂකයන් මෙවර තරග කරන්නේ, විධායක බලතල නොසෑහෙන සේ කපාහැරි ජනාධිපති තනතුරක් උදෙසාය. එහෙත් ඊට ඉහළ ම බර යොදා ජය නොගතහොත් ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයට එය සෘජු ලෙස බලපානු ඇත. මේ නිසා ප්‍රධාන කඳවුරු දෙකට ම මෙය ජයගත යුතුම ඡන්දයක් වන්නේය. ඒකාබද්ධ විපක්ෂය සියලු නොගැළපීම් පසෙක තබා ගෝඨාභය දිනවීමට කැපවන බව පෙනුනත්, එජාපෙ බාධකය බවට එජාපය පත් වී ඇතැයි සිතිය හැක. එක්කෝ ඔවුන් රටේ බලයට වඩා පක්ෂයේ බලය ඉදිරියට ගෙන ජනාධිපතිවරණයෙන් පරාජය විය යුතුය. නැත්නම් ආශ්චර්යමත් ලෙස සමගි විය යුතුය.

අනෙක් පැත්තෙන් රට නොව තමන් න්‍යාය පත්‍රය බවට පත් කරගත්, බහුතර ජනතාවගේ මතය හරිහැටි ග්‍රහණය කර නොගත් සීමිත පිරිසක් තීරණ ගැනීමේ මණ්ඩලක් වුවහොත් සහ ඔවුන්ට යට වුවහොත් එජාපයේ පමණක් නොව ඕනෑම දේශපාලන පක්ෂයක කඩාවැටීමට එවැන්නක් තීරණාත්මක ලෙස බලපානු ඇත. මේ නිසා එජාපෙ පැරදවීම පසෙක තබා ගෝඨාභය පැරදවීම ප්‍රමුඛත්වයට ගෙන ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් කටයුතු කිරීම මෙන්ම ගෝඨාභය පැරදවීම පසෙක තබා සජිත්ට ඉඩ නොදීම ප්‍රමුඛත්වයට ගෙන එජාපෙ පිරිසක් කටයුතු කළහොත් කඳවුරු දෙකට ම අත්වන්නේ එකහා සමාන දේශපාලන ඉරණමක් බව අනුමාන කළ හැකිය.