දේශපාලන බේගල්ස්ලා

ටිරන් කුමාර බංගගමආරච්චි

යම්කිසි කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට වහල් නොවී දේශපාලනය ගැන කතා කිරීම අර්බුදකාරී තත්ත්වයකි. ගෝඨා දිනවන්නට නම් ඒ වෙනුවෙන් කැපවෙන අයට එළිවෙනකම් තර්ක ඇත. ගෝඨා පරදවන්නට වළිකන අයටද එසේමය. මේ දෙකටම නැති ජවිපෙ කට්ටියටත් සුපුරුදු බයිලාවක් ඇත. මේ තුනට ගැති නොවී දේශපාලනය කතා කිරීම දැලිපිහියෙන් කිරි කනවා පන්නයේ වැඩකි. මේ තුනෙන් පිට ඉදිරිපත් වන සෙසු අපේක්ෂකයන් කරට ගැනීම බොරු බරක් එසවීමක් පමණි. සැබැවින්ම ඒවා තවමත් ළපටි පැළෑටිය. කොටින්ම වල් පැළෑටිය.

ජනමනස හැසිරෙන ස්වභාවය අනුව මේ මොහොතට අදාළව ජය ගෝඨා සතු වෙතැයි කියා ලියූ කල ගෝඨාවාදියෝට නොනවතින සතුටක් දැනී ඇත. එවිට එජාප අපේක්ෂකයන්ට මරාගෙන කන කේන්තියක් හටගෙනය. රනිල්ට සජිත් සමග පැමිණ දිනිය හැකිවෙතැයි උපකල්පනය කළ විට එජාපයේම සජිත් විරෝධී රනිල්වාදීන්ට මරු වැහෙති. බැණුම් කෝටියකි. මේ දෙපැත්තේම දේශපාලන භාවිතය තේරුම් ගතහොත් රාජපක්ෂ විරුද්ධවාදීන් පවා වඩා විරුද්ධ ගෝඨාටය. මහින්ද හොඳය. ඔහු දේශපාලනය දනී. බැසිල් මොළකරුය. චමලුත් පතෝල නිසා ගුණත් නැත. අගුණත් නැත. එහෙත් ගෝඨා භයංකරය. ආ සැණින් රටම කම්මුතුය. මෙහෙම වන්නේ ඇයි? රාජපක්ෂ පාලනය තුළ ගෝඨා කෙරුමෙක් වූයේ මහින්දගේ ආශිර්වාදයෙනි. මහින්දගේ රැකවරණයෙනි. එසේ නම් ගෝඨා පමණක් මහා භයානක වන්නේ කෙසේද? යක්ෂ පවුලක එක යකෙක් පමණක් මිනීමස් බුදිතැයි අනුමාන කරන්නේ කෙසේද? මේ ප්‍රශ්න කිරීමම ගෝඨාවාදීන්ගේ ගෝඨා පිම්බීමක් වන අතර අනෙක් පාර්ශ්වවලට ගෝඨාට කඬේ යෑමකි. කාගේ හෝ පැත්තක් නොගෙන දේශපාලනය කතා කිරීම ලේසි නැත. අතුරේ යන වැඩකි. එහෙත් මේ මොහොතේ මේ සියලු දේශපාලන කෙරුවාවල් එපාවූ බහුතර පිරිසක් සිටිති. සෑම පක්ෂයක්ම අරගල කරන්නේ ඔවුහු දිනා ගන්නටය. ඊට තෝල්කයෝ ඇති පදම් කතා කියති. ගෝඨා කරටම ගත් උදය ගම්මන්පිල කියනුයේ ‘ලී ක්වාන් යූ’ මැතිතුමාගේ දූරදර්ශී භාවයත්, කැස්ත්‍රෝගේ දේශප්‍රේමීත්වයත්, පුටින්ගේ නිර්භීතකමත්, නේරුතුමාගේ අධ්‍යාත්මික ප්‍රවේශයත් එකට කැටිවූ විට බිහිවන ජනපති ගෝඨාභය’ බවය. මේ කතාව ගෝඨාවාදීන්ට ඉස්තරම්ය. ගෝඨාට විරුද්ධ අයට විහිළුය. මේ කාණ්ඩවල නැති අයට කුමක් සිතේද? කිව යුතු ඇත්ත නම් මේ කතා සැබැවින්ම හිරිකිත බවය. හැමදේම හිනාවෙවී කියන ගම්මන්පිල වැනි තක්කඩියකුට හැර ගෝඨා මෙතරම් වර්ණනා කරන්නට තව කිසිවකුට බැරි බව සහතිකය. ගම්මන්පිලට මේ ටික කිව හැකිය. එහෙත් ගෝඨාට විලිලැජ්ජාවක් නැතිව ඒවා අසා සිටිය හැකිද? මේ ගම්මන්පිලලාගේ ‘උරුමයක උදාව’ වුවත් එය ජනතාව පැත්තෙන් කරුමයක උදාවමය. කාව වුව මෙතරම් බොරුවට ඇන්දිය යුතු නැත. කවුරු වුව මෙතරම් බොරුවට ඇඳිය යුතුද? නැත. මේ රවට්ටන්නට හදන්නේ කාවද? හැම කවලම් වූ විකෘතිය ගෝඨා වූ කල ඔහු කුමක් නොකරාවිද? එජාපයේ ඇහින් නොව වෙනම බැලවුද ගම්මන්පිලලා මේ තරම් වර්ණනා කරන්නේ කුණු බඩුවක්ම බව නොසිතෙන්නේද? පට්ට යකෙක්ම බව නොසිතා සිටිය හැකිද?

විමල් වීරවංශ කියනුයේ මීට වෙනස් අමුතුම පන්නයේ කතාවකි. “සිංහලයන්, ඔබේ කඩෙන් බඩු ගන්න රටක් හදන්න මුස්ලිම්වරු ගෝඨා දිනවන්න” කියාය. දැන් වැඬේ ටක්කෙටම පැහැදිලිය. එනම් මුස්ලිම් කඩ වර්ජනය කර ඇත්තේම මේ තක්කඩිය. ඡන්දය දුන්නහොත් අපි බඩු ගන්න එනවා පන්නයේ කතාය මේ. අපි ගෝඨා එනවාට බය විය යුත්තේ ගෝඨා තනිව ගෙන නොව ගෝඨා වටා සිටින මේ ගොබෙල්ස්ලා වෙනම ගෙනය. මේ ලාංකේය බේගල්ස්ලාය. ගෝඨාගේ බේගල්ස්ලා කියන කතා ගෝඨාගේ ඡන්ද දේශපාලනය කලකිරී සිටින අපි වැනි අයගේ ගොඩ පුරවන බව කිව යුතුය. සැබැවින්ම ගෝඨා පරාජය කිරීමට අවශ්‍ය හේතු ඕනෑතරම්ය. ඒවා ගම්මන්පිල සහ විමල් අනියමාර්ථයෙන් කියමින් සිටිති. අපි ගෝඨා පරාජය කරන්නට පෙළ ගැසුණා යැයි කියමු. දිනවන්නේ කාවද? බරපතළම ප්‍රශ්නය එයය.

දැන් එජාපයට හැරෙමු. ගෝඨා ආවාට විරුද්ධ එජාපය වගේම එජාපයේ අපේක්ෂකයා එනවාට විරුද්ධත් එජාපයමය. මෙය අන්ධ භූත කතාවක් වුවත් ඇත්ත කතාවය. එජාපයේ අපේක්ෂකයා තේරීම ජනාධිපතිවරණය දිනනවාට වඩා අමාරුය. පිරිසක්ම සිටින්නේ සජිත් සමගය. තව පිරිසක් කරුය. තවත් අය රනිල්ය. ඒ අතර මට ලැබෙතැයි හීන දකින හීන හොරුද සිටිති. රාජපක්ෂලා අතරින් ගෝඨා නරකයි අනෙක් අය ටිකක් හොඳයි කියන්නා සේ එජාපයේ පිරිසකට සජිත් හැර අනෙක් සියල්ලම හොඳය. සජිත් දැක්මක් නැත්තෙකි. මෝඩ කණුවකි. තවත් සිරිසේන කෙනෙකි. කතා ගොඩකි. එහෙත් රනිල් සුපර්ය. මොන තක්කඩිකම කළත් රනිල් මරුය. දැන් අවංකව සිතිය යුතු ප්‍රශ්නය නම් සජිත් දැක්මක් නැති හරසුන් චරිතයක් නම් රනිල්ට දැක්මක් තිබේද? රනිල් දන්නේ කුමන හෝ යටි සූත්තර ගේම් ගසා පක්ෂ නායකත්වය තියා ගන්නය. මේ තුට්ටු දෙකේ තක්කඩිකම රටට උචිත දැක්මක්ද? එයින් රටට වූ යහපත කුමක්ද? රනිල් අගමැති වූයේ මෙවර විතරද? අගමැති වූ කිහිප වතාවේම පුංචි හෝ දැනෙන යමක් කළේද? මහා ලොකු දැක්මක් පෙන්නුවේද? ඒත් රනිල් හොඳය. සජිත් නරකය. සජිත් යනු අංක එකේ පතෝල චරිතයකි. ඒ ගැන විවාදයක් නැත. සජිත් වැනි අයෙක් දිනවිය යුතු නැත. පරාජය කළයුත්තේ සජිත් පමණක් නොවේ. රනිල් වැනි තක්කඩි චරිතද පරාජය කළ යුතුය. රනිල් සජිත්ව අයින් කොට කරු ගෙනාවද කරු පරාජය කළයුත්තේ රනිල් වැනි අය ඒ පිටුපස හොල්මන් කරන නිසාය. සජිත් සිරිසේන කෙනෙක් යැයි කියන අය කරු ආවද නැවත අගමැති රනිල්මනේ කියා බිය නොවන්නේ ඇයි? 2015දී හැදූ යහපාලනයේ සිරිසේනට වඩා භයානක චරිතය රනිල්ය. තමාට පහරදිය නොහැකි මැරයෙකුට තමා විඳින පීඩාවෙන් මිදෙන්න බොහෝ අය කරනුයේ ඔහු නිදා සිටින විට මරා දැමීමය. මන්ද අවදි වූ කල එය කළ නොහැකි බැවිනි. රනිල්ගේ තක්කඩි දැක්මෙන් හෙම්බත් වූ සිරිසේන කළේ මහින්ද අගමැති කිරීමය. එයත් ඉහත පන්නයේම වැඩකි. එයින්ද සිරිසේන ඇන ගත්තේය. රනිල් සුදනා විය. එහෙව් රනිල් සමග කරුට ඔට්ටු විය හැකිද? දැන් බොහෝ අයගේ උත්තරය එය දෙවන කාරණයකි. මුලින් කළයුත්තේ භයංකාර ගෝඨා පරාජය කිරීමය. එකාවන්ව එකතු වී පරාජය කිරීමය. ඉන්පසු රනිල්ට මුහුණ දෙමු යන්නය. දැන් අපි ඒ කතාව අදහමුද? ගෝඨා පරාජය කර රනිල් දාන කවුරු වුව දිනවා නැවත රනිල්ව දිනවමුද?

දේශපාලනයෙන් අතුගා දැමිය යුත්තේ මේ පිලිල දෙකය. එනම් මහින්ද සහ රනිල්ය. ගෝඨා පරාජය වුවහොත් රාජපක්ෂලා නන්නත්තාරය. එහෙත් එජාපයේ අපේක්ෂකයා පරාජය වුවද රනිල් අහෝසි නොවන්නේය. එතනදී රනිල් මහින්ද අබිබවා යන කපටියාය. මහින්ද පොහොට්ටු නායකයා වන්නේද ඒ රනිල් මග යමිනි. මේ දෙදෙනා පක්ෂ දෙකම කන පිලිල දෙකකි. මේ දෙපැත්තම ප්‍රතික්ෂේප කරන අප තෝරාගත යුත්තේ ජවිපෙද? ජවිපෙ යනු තෙවැනි විනිසුරුද? ශිෂ්ට රටක් ගොඩ නැගීම වැනි අනුරගේ කතා බඩ දඟලන බව ඔහුට නොතේරෙනවා වුවද අපට තේරේ. හොරු ඇල්ලීම යහපාලනය කරනු දැක අපට දැන් අල්ලන්නට හොරෙක් ඉතිරි වී ඇත්ද? ජවිපෙ විශ්වාස කරන්නට තරම් ඔවුන් රට තුළ විශ්වාසයක් ජනිත කර ඇත්ද? ගම්මන්පිල, විමල් කියන පන්නයේම කතා ජවිපෙට කියන්නේ කලාකරුවෝය. නදී කම්මැල්ලවීර කියනුයේ තමන්ට ගෝල්ෆේස් පිට්ටනියේ බිම ඉඳගෙන ඉන්න ලැබීමත් වාසනාවක් බවය. (ජවිපෙ අපේක්ෂක නම් කරන දා) ගම්මන්පිල සහ විමල් ගෝඨා ගැන වනන තරම්ම නදීගේ කතාවත් හිරිකිතය. මේ අන්ධවීම් කුමටද? කාව අන්දනු පිණිසද? මේ පිල් ගැහුණෝ එකිනෙකා වර්ණනා කරන්නෙත් අනෙක් අය විනාශ කරන්නෙත් අවංක දේශපාලන දැක්මකින් නොව තම කෝවේ සිටය. මේ සියල්ල පරම සත්‍ය ලෙස රැගෙන යන්නට මාධ්‍ය සමත්ය. එහෙත් අභාග්‍ය මාධ්‍යයටත් පරම සත්‍ය කියා තම දේශපාලන ප්‍රවාහයක් තිබීමය. කට්ටියක් ගෝඨා පැත්තේය. කට්ටියක් සජිත් පිලෙහිය. ගෝඨාගේ පිරිස වැඩිය. මාධ්‍ය බහුතරය රාජපක්ෂලාටය. එජාපයටත් නැතිවාම නොවේ. එබැවින් මේ චරිතවල හොඳ නරක දෙකම බෙදන්නේ මාධ්‍ය විසිනි. අවසානයේ පාවෙන ඡන්ද බොහොමයක් නවතින්නේ වඩා හොඳට මාධ්‍ය කෙරුවාව කෙරෙන තැනය. මේ බහුබූත දෙස බල කල ඇතැම් අයට හිතෙන්නේ මට හිතෙන දේම විය යුතුය. එනම් ඡන්දය කටු ගාන්නටය. එය මෙවර බොහෝ අය තෝරා ගතහොත් පුදුම විය යුතු නැත. ඒ තරමට මෙරට දේශපාලනය හිරිකිත වී ඇත. එය පක්ෂ සාමූහිකව අපට ඇති කළ දෙයකි. ඒවාට උඩගෙඩි දෙන හැම පක්ෂයේම බේගල්ස්ලා වැඬේ ඉක්මන් කළේය. තහවුරු කළේය. එබැවින් කටුගාන තරම් විකල්පයක් ඉතිරිද?