සුද්දන්ගේ කුණු වලට මොකද වුණේ ?

නිමල් අබේසිංහ

පසුගිය දිනවල රටේ ඉමහත් ආන්දෝලනයකට පත් සිද්ධියක් වූයේ භයානක විෂබීජ සහිතව එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද සායනික අපද්‍රව්‍ය සහිත කුණු කන්ටේනර් පිළිබඳවය. මාධ්‍ය ඔස්සේත් දැඩි කතාබහට ලක් වූ මෙම අපද්‍රව්‍ය සහිත කුණු ආනයනය සහ ඒවාට සිදු වූයේ කුමක්ද යන්න ගැන මේ වන විට කිසිවෙකුගේත් අවධානයක් නැති තරම්ය.
මේ රටේ කුණු කසළ ටිකවත් හරිහැටි කළමනාකරණය කරගත නොහී තැන් තැන්වල කුණු කඳු ගොඩගසමින් සිටින පසුබිමක මේ ආනයනික කසළ ද නුදුරේදී රටේ කොයියම් හෝ මුල්ලක ගොඩගසනු ඇති ද යන්න කෙනෙකුට සිතුනහොත් එය අරුමයක් ද නොවනු ඇත.
ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමේ සිහිනයෙන් වෙලී සිටින ධම්මික පෙරේරාට අයත් හේලිස් ප්‍රී සෝන් සමාගම විසින් ආනයනය කරන ලද එකී කුණු කන්ටේනර් පිළිබඳ වත්මන් තත්ත්වය මේ ලිපියෙන් විස්තර කෙරෙයි.

එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සායනික අපද්‍රව්‍ය රෝහල්වල පාවිච්චි කරන ලද මෙට්ට සහ ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සහිත කන්ටේනර් පිළිබඳව එංගලන්ත රජය පාර්ශ්වයෙනුත් විමර්ශනයක් සිදු කරන බව ජුලි 23 දින ලන්ඩන් ඬේලිටෙලිග්‍රාප් පුවත්පතේ වාර්තාවක සඳහන්ය. පරීක්ෂණ සිදුවන්නේ එංගලන්ත රජයේ ආහාර සහ ග්‍රාමිය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා බව පුවත්පත හෙළිකරයි.

එම පුවත්පත් වාර්තාවට අනුව රෝහල් සායනික අපද්‍රව්‍ය කළමනාකරණය එරටට ද බලගතු ගැටළුවක් වී තිබෙන අතර ඒ හේතුවෙන් සමහර රෝහල් අසාධු ලේඛනයට ඇතුළත් කර ඇති බවද සඳහන්ය. කෙසේ වුවත් එම වාර්තාව පළකරන මොහොත දක්වාම ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ සායනික අපද්‍රව්‍ය ඇතුළු භයානක අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් එංගලන්ත රජයට දැනුම් දීමක් සිදුකර නැති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

දැනට වරායේ ගබඩා කර ඇති කන්ටේනර් සහ කටුනායක හේලිස් ප්‍රී සෝන් ආයතන භූමියේ එළිමහනේ නිදැල්ලේ ගොඩබා ඇති අපද්‍රව්‍ය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත රංජිත් සිසිර කුමාර විතානගේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන කීපයක් වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙහි වගඋත්තරකාර පාර්ශ්වයන් වන්නේ මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, හේලිස් ප්‍රී සෝන් සමාගම, ඊ. ටී. එල්. කලම්බු සමාගම, ශ්‍රී ලංකා මෙටල් කෝපරේෂන් සමාගම සහ නීතිපතිවරයා ය. මෙම පෙත්සම 2019 ජුලි 31 දින විභාග කළ අභියාචනාධිකරණය විසින් අදාල අපද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර තිබේ.

 

උක්ත පෙත්සමෙහි වගඋත්තරකාර පාර්ශ්වයන් දෙකක වන මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගුව මේ වන විට සිය වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එමගින් ඔවුන් ප්‍රශ්නගත කන්ටේනර් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නීති විරෝධි බවට කරුණු දක්වා ඇත.
ශ්‍රී ලංකා රේගුවට අනුව වරායෙන් නිදහස් කරගෙන ගොස් කටුනායක හේලිස් ප්‍රී සෝන් ආයතනයට රැගෙන ගිය කන්ටේනර්හි අඩංගු රෝහල්වල භාවිතා කරන ලද මෙට්ට සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එම ආයතන භූමියේ විවෘත බිමක ගොඩගඩා ඇති බව සඳහන්ය.

‘ආවරණයක් රහිතව පවතින අපද්‍රව්‍ය මගින් වියලි සහ සුළං සහිත අවස්ථා වලදී අවට පරිසරයට දූවිලි අංශු නිකුත් වීමටද හැකියාවක් පවතී. එසේම එම වාර්තාවේ 1-8හි මෙසේද සඳහන්ය. ආයෝජන මණ්ඩල පනතේ 17 වගන්තිය යටතේ ලියාපදිංචි කර්මාන්ත ක්‍රියාවලි සඳහා අයෝජන මණ්ඩල පනතේ 1992 අංක 49 දරණ සංශෝධන පනත අනුව මෙම ක්‍රියාවලිය සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය මගින් මධ්‍යම පරිසර අධිකාරියේ එකඟතාවය සහිතව ලබාදිය යුතු අතර ඒ සඳහා ශ්‍රි ලංකා අයෝජන මණ්ඩලය කටයුතු කර නොමැත.’

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතින්හිදි පාරිසරික ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේද පරිසර අංශයක් ක්‍රියාත්මක වේ. හේලිස් ප්‍රී සෝන් සමාගමට කටුනායක වෙළඳ කලාපය තුළ අන්තරාල වෙළඳාම් බලපත්‍රයක් යටතේ ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබා දෙන විට ඒ පිළිබඳ වගකීම ඇති ආයෝජන මණ්ඩලයේ පරිසර අංශය ක්‍රියාත්මක වී නැති බව ඉහත උපුටනය අනුව පෙනේ.

ප්‍රශ්නගත කන්ටේනර් ආනයනයට සම්බන්ධ ආයතන දෙකක් වන ඊ.ටී.එල්. කලම්බු සහ සිලෝන් මෙටල් කෝපරේෂන් ආයතන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී නැති බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල ඒ.පී. යාපා පරිසර යුක්ති කේන්ද්‍රය වෙත යවන ලද ලිපියකින් තහවුරු වේ. මෙහිදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ආයතනය වනුයේ හේලිස් ප්‍රී සෝන් සමාගමය. කටුනායක වෙළඳ කලාපයේ ගබඩාවක් පවත්වාගෙන යාම වෙනුවෙන් හේලිස් ප්‍රී සෝන් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ ප්‍රසිද්ධ නොතාරිස් සදිනි ප්‍රතිභාෂි එදිරිසිංහ විසින් ලියා සහතික කරන ලද අංක 406 දරණ ඔප්පුවය. එම ඔප්පුවේ 14 වැනි කොන්දේසිය ප්‍රකාරව සඳහන් වන්නේ හේලිස් ප්‍රී සෝන් සමාගම 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ සියලුම රෙගුලාසිවලට බැඳී සිටින බවය. ඒ අතින් බැලුවද පැහැදිලි වන්නේ හේලිස් ප්‍රී සෝන් ආයතනයට මෙම සායනික අපද්‍රව්‍ය ඇතුළු භයානක අපද්‍රව්‍ය ආනයනය කිරීමට හා ගබඩා කිරීමට හැකියාවක් නැති බවය.

2008 පෙබරවාරි 01 දින පාරිසරික පනතට සංශෝධනයක් ගෙන එන 1534/18 දරණ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි පරිසර අධිකාරියේ බලපත්‍රයක් රහිතව කන්ටේනරයක් තුළ බහා වුව විදේශයන්හිදී භාවිත කරන ලද සායනික අපද්‍රව්‍ය හෝ වෙනත් භයානක වර්ගයේ අපද්‍රව්‍ය ද ආනයනය කළ නොහැකි බව සඳහන් වේ. මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි පිළිපැදීමට ද හේලිස් ප්‍රී සෝන් ආයතනය බැඳී සිටී.

මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙහි සඳහන් ආකාරයටත් වෙනත් රටක භාවිත කළ කිසිදු දෙයක් මධ්‍යම පරිසර අධිකාරියේ අවසර රහිතව ආනයනය කළ නොහැකි බව සඳහන් වේ.

2013 ජුනි 05 දාතමින් යුත් 1813/14 දරණ ආනයන අපනයන අති විශේෂ ගැසට් පත්‍රයේ පැහැදිලිව සඳහන් වන්නේ භාවිතා කළ මෙට්ට ද ආනයනය කළ නොහැකි බවය.
පවතින අණ පනත් අති විශේෂ ගැසට් පත්‍ර ප්‍රකාරව ප්‍රශ්නගත කන්ටේනර්හි අඩංගු අපද්‍රව්‍ය කිසිවක් මෙරටට ගෙන ආ හැකි නොවේ. එහෙත් මේ වන විට එවැනි අපද්‍රව්‍ය මෙරටට ගෙනවිත් හමාරය. ගැටලුව වන්නේ මෙතරම් නීති රීති තිබියදීත් මේවා මෙරටට ආනයනය කළේ කෙසේද යන්නය.

උක්ත පෙත්සම් විභාගයේදී තවත් බරපතල ගැටලුවක් පිළිබඳව නීතිපති දේපාර්තමේන්තුවෙන් පෙනී සිටි නීතිඥ චාරුක ඒකනායක අධිකරණයේදී හෙලි දරව් කර තිබීමය. එනම් මේ වන විටත් කොළඹ වරාය තුළ නිදහස් කර නොගත් කන්ටේනර් 1000 ක් ගොඩගසා තිබෙනා බවය. මෙම කන්ටේනර් තුළ සැබවින්ම ඇත්තේ මොනවා විය හැකිද?