කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්න

විමලනාත් වීරරත්න

ගෝඨාභයට කාන්තා ආකර්ෂණය අඩු බව උපදේශකයෝ නිරීක්ෂණය කළහ. පසුගියදා පැවති කාන්තා සමුළුවකදී හිටපු ජනාධිපතිතුමා කීවේ කාන්තාවන්ගේ හැඟීම් තේරුම් ගන්න බැරි කොයි මිනිහාටත් වැඩ වරදින බවය. එමෙන්ම විහිළු තහලු කරනවාට ස්ත්‍රීන් කැමති බවද හෙතෙම කීවේය. හිටපු ජනාධිපති, රනිල්ලා පිට දමා කාන්තාවන්ගේ හැඟීම් තේරුම් ගන්න ඕනෑ කියන කතාව කීවේ මේසා ලොකු ළමයෙක් වෙලාත්, ලොකු ළමයකුගේ අතින්වත් අල්ලන්නට බයෙන් වගේ සිටින ගෝඨාටය. මේ කතාව අසා සිටි කාන්තා සමුළුවට පැමිණි ලලනාවෝ තම තමන් මීට අවුරුදු දහයකට පහළවකට පෙර මාරාවේසයෙන් මෙන් ඇඟ බැඳගත් එවුන් රස්සාවලට යනවා කිය කියා බිබී දවස ගතකරනවා විනා තම හැඟීම් තේරුම් නොගැනීම ගැන මුල්වරට කල්පනා කරන්නට පටන් ගත්තෝය. ඒ සමගම තම තමන්ටත් මේ ජාතියේ හැඟීම් තේරෙන ටොමියෙක් හිටියා නම් ඒක මොනතරම් වාසනාවක්දැයි කල්පනා කළ කාන්තාවෝ ළඟපාත ගල්ටික් වෙලා සේ වාඩිවී සිටි ශිරන්ති නෝනා දෙස පොඩි ඉරිසියාවකින් වගේ බැලුවෝය. ශිරන්ති නෝනා උන්ගේ හිත කියෙව්වා වගේ කල්පනා කළේ ඔය කොයි ටොමියත් එකයි කියාය.

උන් අපිට නෙළනවා කියා ගැහැනු ටෙලිපති මගින් කී අතර ඊට ක්ෂණික පිළිතුරු ලැබුණේ, ඉතිං මූත් ගහනවා තමා කියාය. ගැහැනු ඊළඟට කීවේ අපේ උන් කනමදයෝ වගේ බීලා කලිසනුත් බාගෙට ගලෝගෙන ගෙදර එන්නේ කියාය. ඊට පිළිතුරු ලැබුණේ මේ යකාටත් බිව්වට පස්සේ සරම ගැන වගේ වගක් නැහැ කියාය. ඒ කාලෙ ඉලව් ලව් එකක් හින්දා දෙමව්පියො කියන එකත් නාහා ආවට, මුං එක්ක ඉඳලා අනාගතයක් නෑ කියලා දැනුයි තේරෙන්නේ මැඩම් කියා අනතුරුව මූණු එල්ලගෙන කාන්තාවෝ කීහ. මේ රටේ වෙදා එක්ක ඔට්ටුවෙලා මගෙත් දැන් හොඳ පණ ගිහින් නගේ කියා ඊටත් පිළිතුරක් ලැබුණි.

දෙදාස් පහළොවේදී මට ජනේල එල්ලෙන්න වෙච්ච වෙලාවෙදි ඔයාලා මාර විදියට දුක්වුණා, ඒ මොකද කියා හිටපු ජනාධිපතිතුමා සභාවෙන් ඇසූවිට නොපමාව කාන්තාවන්ගෙන් උත්තර ලැබුණේ අපේ හැඟීම් තේරුම් ගත්තු ටොමියෙක් නිසා කියාය. දෙදාස් පහළොවේ ආපු කට්ටිය ඒක තේරුම් ගත්තද ආ… කියා එතුමා ඇසූවිට කාන්තාවෝ වචනයෙන් උත්තර නොදී හිකි හිකි ගාන්නට වූහ. මඳ වේලාවක් තිස්සේ ඇදී ගිය හිකි හිකියට ඉඩ දුන් එතුමාට දෙදාස් පහළොවේ අමුනන්නා වූ අවස්ථාවේදී තමා බලන්නට පැමිණි කාන්තා පෝලිම මොහොතකට සිහිවිය.

හිටපු ජනාධිපතිතුමා වාමන ඉරියව්වකින් පුටුවක වාඩිවී සිටියේය. මූණ බෙරි කරගෙන ඔහු ඉදිරියට පැමිණි ගමේ ගැහැනියක් ආචාර කර ඉක්මනින් පිටව ගියාය. එතුමා ළඟ සිටි කැචරෙකුට කීවේ මං පරාද වෙච්ච එක ගැන ගෑනිට ෆුල් අප්සට්, රෑ තිස්සෙ අඬලද කොහෙද මූණත් ඉදිමිලා තිබුණේ කියාය. කැචරා කීවේ නැහැ බොස් ඔය අර මදාවි සෝමයගෙ ගෑනිනෙ, ඌ ඊයෙ රෑත් බීලා ඇවිත් මූණ දෙක වෙන්න මේකිට තඩිබාලා ඒකයි ඔය කියාය. තව ගෑනියෙක් ඒ විදියටම මූණ කජුලෙල්ල සේ හදාගෙන ආ අතර උන්දැ ගැන දඩි බිඩි ගා සොයා බැලූ කැචරාට දැනගන්නට ලැබුණේ වෙන සීන්කෝන් එකක් ගෙදර ටොමියාට ආරංචි වී ඌ බිම දාගෙන හපා කෑ ඇති බවකි. එදා ගැහැනු කිහිප දෙනකුගේම තත්ත්වය නිරීක්ෂණය කළ හිටපු ජනාධිපතිතුමා තම පරාජයත් අමතක කර කැචරාට කීවේ මිනිස්සු ගෑනුන්ට මෙහෙම කරන එක වැරදියි, උන්ගෙ හැඟීම් තේරුම් ගන්න පුළුවන් ආණ්ඩුවක් අපි විස්සයි විස්සෙදි හදන්න ඕනෑ කියාය.

ඒ වැඬේට ගෝඨාභය තෝරා ගත්තත් කිසිම ගෑනියෙක් මෙතෙක් ගෝඨාට ළාමක ටිං ටිං වර්ගයේ ප්‍රතිචාරයක් දක්වනු තමා නොදුටු හෙයින් හිටපු ජනාධිපතිතුමා පක්ෂ නායකයා ලෙස මාර විදියට පසුතැවිලිවෙමින් සිටියේය. මෑන්ට ආකර්ෂණය වෙන්නේ ස්ත්‍රීන් නොව කමල් ගුණරත්න, සරත් වීරසේකර වැනි එක වල්ලේ පොල් බැවින් උන්ටවත් ලොකු මල් තියන තුනේ හතරේ ගවුම් අන්දවා කාන්තා ආකර්ෂණය පිළිබිඹු කළ හැකිදැයි හිටපු ජනාධිපතිතුමා කල්පනා කර බැලුවේය. ආරක්ෂක ලේකම් කාලයේ හැමවෙලේම මල පන්නවාගෙන නොඉඳ විහිළුවක් දෙකක් කර සැහැල්ලුවෙන් තනතුර හොබවන ලෙස අයියා උපදෙස් දුන් අවස්ථාවක මිනිහා විහිළු දෙකක් කළේය. එක විහිළුවක් කළේ ලසන්ත වික්‍රමතුංගටය. අනෙක එක්නැළිගොඩටය. මිනිහා, ගෙදර ලොකු ටැංකිවල මෝර මාළු ඇති කරන විහිළුව කළේත් ආරක්ෂක ලේකම් කාලයේය. තනතුරින් ගිය පසු විහිළුවද අවසන් වූයේ අතින් කාලා මාළු බලා ගැනීම, අතින් කාලා හරක් බලාගැනීමටත් වඩා දරාගත නොහැකි අප්සට් විහිළුවක් නිසාය. මිනිහා රතුපස්වල වතුර ඉල්ලපු සෙට් එකටත් මරු විහිළුවක් කළේය. ඔය අතරවාරයේ පත්තරකාරයන්ගේ විළුඹේ ඇටේ පන්නන විහිළු, උකුල් ඇටේ සම්බෝල කරන විහිළු ආදියත් විටින් විට කළේය.

කසාද බැන්ද දවසේ නෝනා පෝරුව මතදී එතුමාට විහිළුවක් කළ අතර එතුමා කීවේ, මේක උඩ විහිළු කරන්න තියාගන්න එපා කියාය. දහවල් බතේදී නෝනා තවත් විහිළුවකට අර අඳින බව වැටහුණු එතුමා කීවේ කන වෙලාවේ විහිළු එපා කියාය. රෑ බතෙන් පසු විහිළුවක් කරන්න හදන කොට මේ වගේ වෙලාවට ඕනේ නැති විහිළුවලට ආවොත් වෙඩි තියනවා කියා නෝනාව ගෙවල්වලින් යන්න අදිමදි කළ වනාතමුල්ලේ එවුන්ව සේ බය කළේය.

‘කාගෙන් බේරුණත් බැරිය ගෝඨාගෙන් බේරෙන්නට’ සිංදුව කියමින් ගෙදර ආ හිටපු ජනාධිපතිතුමා කළේ මලයාට මොන්ටිසෝරි කාලයේ වගේ රූපසටහනක් මගින් පාඩමක් කියා දෙන්නට ට්‍රයි කිරීමය. එතුමා මුලින්ම හෙන ගොල ආච්චි කෙනකුගේ රූපයක් කඩදාසියක ඇඳ මේ කවුද කියා ගෝඨාගෙන් ඇසුවේය. ගෝඨා අමු හුරතල් විදියට කීවේ ආච්චා කෙනෙක් කියාය. ආයෙ හොඳට බලලා කියපං කියා ටිකක් තරවටු ස්වරයෙන් කී අයියාට ගෝඨා එවර කීවේ ආච්චි කියාය. ආච්චිගෙ රෙද්ද කියූ හිටපු ජනාධිපතිතුමා කීවේ යකෝ ජනාධිපති කෙනෙක් වෙන්න ඕනෙ නම් මේ ආච්චිට නංගි කියන්න පුරුදුවෙයන් කියාය. එතකොට නංගිලාට කියා ඇසූ ගෝඨාට අයියා කියා දුන්නේ උන්ට පැටියො කියපං කියාය.
ඊළඟට හිටපු ජනාධිපතිතුමා ගෝඨාට බබා තියරිය කියා දුන්නේය. එනම් අම්මලා සමග සිටින වයස අවුරුදු පහේ හයේ පොඩි එවුන්ට දිව දික් කිරීම වැනි විහිළු කරන ගමන් අම්මලා ටැකල් කරන විදියය.

ගෝඨා ඒ වැදගත් පාඩම් දෙකම හිතේ ධාරණය කරගත් අතර අයියා පම්ප් එකක් ගහන්නට ගෙට ගියේය. පාඩමට කන යොමාගෙන පුටුව යට සිටි ගෝඨාගේ පූසා කීවේ හරි ඕවා සේරම කරලා බොසා දිනුවයි කියමු. ඒත් නයින්ටීන් ඇමෙන්ඞ්මන්ට් එකට අනුව බොස් නෙමෙයි බොස්ගෙ අයියනෙ පොර කියාය. අනික් එක බොස් ලොක්කනෙ ඉතිං මේ සේරම ජයග්‍රහණවල ආදි කර්තෘ කියාද පූසා ගෝඨාට යථාර්ථය මතක් කර දුන්නේය. ගෝඨා මඳක් කල්පනාභරිතව සිට පූසාගෙන් ඇසුවේ උඹ දන්නවද රෝලන්ඞ් බාතර් ඉදිරිපත් කරපු ඩෙත් ඔෆ් ද ඕතර් කියල සංකල්පයක් ගැන කියාය. මං කොහොමද ඔය මඟුල් දන්නෙ කියා ඔරොප්පු මූඞ් එකෙන් ඇසූ පූසාට ගෝඨා නක්කියක් දැම්මේ ඒකනෙ උඹත් හරියට රෝහිත අබේගුණවර්ධන වගේ මොන රෙද්දක්වත් දන්නැතුව ඔහේ කියවනව කියාය. යකෝ ඔය සංකල්පය අනුව වැඬේ ගොඩදාලා දුන්නට පස්සේ කර්තෘගෙ කාර්යභාරය ඉවරයි. අනික් එවුන් තමා සෙල්ලං පෙන්නන්නෙ කී ගෝඨා තවත් පියවරක් ඉදිරියට තබමින් ‘මේ පිපාසිත ලෝ තලේ – ලලනාව වේ අමා ජලාශේ’ ගීතය උරුවම් බාමින් ආඩම්බරයෙන් පූසාට පහක් දැම්මේය.