සජිත්-මෛත්‍රී වෙනම එති

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කැමැත්ත නොලැබුණත් සජිත් ප්‍රේමදාස මහතාව වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එම පාර්ශ්වය තීරණය කර ඇති නිසා එවැනි තත්ත්වයකදී ශ්‍රීලනිපය, සජිත් පාර්ශ්වය සමග එකතු වී සන්ධානයක් ගොඩනැගීමේ විකල්පය පිළිබඳව ද මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි දැනගන්නට ඇත.

පොහොට්ටුව සලකුණ හැර වෙනත් පොදු ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රීලනිපය කර ඇති ප්‍රබල ඉල්ලීමට එකඟ නොවීමට පොජපෙ තීරණය කර ඇතැයිද පසුගියදා පැවති ශ්‍රීලනිප සමුළුවට ඔවුන් සහභාගී නොවීමට එක් හේතුවක් වූයේ එම කරුණ බවද වාර්තා වේ. එහෙත් දෙපාර්ශ්වයේ සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙනු ඇති බව පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රාවයට පැවසූහ. ශ්‍රීලනිප සමුළුවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේද ජනාධිපති ධුරය පිළිබඳව නොව මීළඟ ආණ්ඩුවේ අගමැති ධුරය පිළිබඳවය. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පමණක් පොජපෙ හිතවාදීව කතා කර තිබූ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුව එය අගය කර තිබුණි.

පසුගිය සිකුරාදා (30) රනිල් වික්‍රමසිංහ මහතා සමග සජිත් පර්ශ්වය පැවත්වූ සාකච්ඡාවේ දී ඔහු ඉල්ලා ඇත්තේ පක්ෂයට පිටින් කරන කටයුතු නවතා දමන ලෙසය. එහෙත් සජිත් පාර්ශ්වය බ්‍රහස්පතින්දා (05) සිය කුරුණෑගල රැස්වීම පැවැත්වූ අතර සෙනසුරාදා (07) එජාප පළාත් පාලන නියෝජිතයන්ගේ හා අපේක්ෂකයන්ගේ සමුළුවක් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. එමෙන්ම සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පැවසුව්, සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමට නියමිත ලිපියට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 දෙනාගෙන් 50 දෙනකුම බ්‍රහස්පතින්දා (05) වන විට අත්සන් තබා තිබූ බවය. එහෙත්, කැමැත්තෙන් නොව බලපෑම් කර අත්සන් ලබාගත් බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එජාප නායකයාට දන්වා ඇතැයි රනිල් පාර්ශ්වයේ අමාත්‍යවරයෙක් රාවයට කීය. කෙසේ වෙතත් සිකුරාදා (06) සජිත් පාර්ශ්වය හා රනිල් පාර්ශ්වය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකුගෙන් විමසීමේදී කියා සිටියේ පොහොට්ටුව සමග සාකච්ඡා අසාර්ථක වන්නේ නම් වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අමතරව වෙනත් විකල්ප ද ශ්‍රීලනිපයට පවතින බවය. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ද යළිත් ශ්‍රීලනිපයේ කටයුතුවලට සක්‍රීයව මැදිහත් වී සිටී.