මෙරට භික්ෂූන්ට දකුණු ඉන්දියාවෙන් ආරක්ෂාව ලැබුණා – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක

 සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ඔබගේ මෑතකාලීන පර්යේෂණ බොහෝ විට යොමුවෙලා තියෙන්නේ ලංකික දෙමළ ජනතාවගේ ඉතිහාසය හා ඉන්දියානු-ලාංකීය සම්බන්ධතා ගැන. මේ ගැන විශේෂයෙන් යොමුවෙන්න හේතු මොනවාද? 

මේ ඉතිහාසය දිහා සැලකිල්ලෙන් බලද්දි පැහැදිලිව පෙනුන දෙයක් තිබ්බා. ඒ තමයි අපි විසි එක්වන සියවසේ ජීවත් වුණත්, පැරණි පොත් පත්වල සඳහන් දේවල් ඒ විදිහට ම විශ්වාස කරන පිරිසක් බව. ඒවා විශ්වාස කරලා අපි ඉතා උසස් පිරිසක් කියලා අපිම උපකල්පනය කරගන්න නැඹුරුතාවක් තමයි තියෙන්නේ. ඒ තත්ත්වය මත ගොඩනැඟුණු ජාතිකානුරාගය, දේශානුරාගය හා වාර්ගිකත්වය වගේ හැඟීම් දුරදිග ගිය නිසා තමයි අද වන විට වාර්ගික හා ආගමික ගැටුම් ඇතිවන තරමට අපි පත්වෙලා තියෙන්නේ. නමුත් අපි අතීතය පරිස්සමින් වටහාගන්න උත්සාහ කළහොත් අතීත යථාර්ථය අපි හිතන තත්ත්වයට වඩා සෑහෙන වෙනස් බව පේනවා. අපි අද හිතන විදිහටම ද අතීත සමාජයේදී කරුණු කාරණා සිදුවෙලා තියෙන්නේ කියන එක ගැන ටිකක් වැඩිපුර නැඹුරු වෙලා හොයන්න හිතුවෙ ඒකයි.

ඇත්තටම ගත්තොත් අපේ පැරණිම වංශකතා දෙක වන මහාවංශයයි දීපවංශයයි තුළ පැහැදිලිව සඳහන් වෙනවා මුල් අවධියේදී ලංකාව අමනුෂ්‍ය වාසස්ථානයක් බව. එතනදි වංශකතා ඒක කියන්නේ වෙනස් විදිහට. ඒ තමයි ලංකාව මුලින්ම මනුෂ්‍ය වාසස්ථානයක් බවට පත් කරන්නේ ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසේදී හෙවත්, හරියට ම බුදුන් වහන්සේ පිරිණිවන් පෑ දවසේ මෙරටට ගොඩබැස්ස විජය ඇතුලු හත්සීයක් පිරිස විසින් කියලා. ඒ වගේම විජයගේ සහෝදරයාගේ පුත්‍රයාගේ කාලයේ ඉඳලම උතුරු ඉන්දියාව එක්ක සිදු කළ සම්බන්ධතා ගැන අපේ වංශකතා නිතර කතා කරනවා. ඒ විතරක් නෙමෙයි දේවානම් පියතිස්ස රජතුමාගේ කාලය පමණ වන විට උතුරු ඉන්දියානු සම්බන්ධතා අතිශ්‍ය සමීප එකක් විදිහට පැවති බව පුරා විද්‍යාත්මක සාක්ෂිවලින් පවා ඔප්පු වෙලා තියෙනවා.
එහෙම පටන්ගත්ත සම්බන්ධතා පසුකාලීනව පවා සිංහල සමාජයට නිරතුරුව ලැබිලා තියනවා කියලා පැහැදිලිව පේන්න තියෙනවා. මේ උතුරු ඉන්දියානු සම්බන්ධතාත් එක්කම තමයි දකුණු ඉන්දියානු සම්බන්ධතාත් පවත්වගෙන යන්නේ. උදාහරණයක් විදිහට, විජය කතාවෙම පවා එනවා විජය කුමාරයා මධුරා පුරයෙන් කුමාරිකාවක් ගෙන්නුවා කියලා.

මේ සම්බන්ධතා ඔප්පු කළ හැකි වංශකතාවෙන් ඔබ්බට ගිය පුරාවිද්‍යාත්මක සාධක මොනවාද?

මේ සම්බන්ධතා ගැන තියෙන හොඳම සාධකයක් තමයි සෙල්ලිපි. සෙල්ලිපි වලදී කෙරෙන්නේ ඒ ඒ කාලවල නිසැක වශයෙන්ම සිදුවුණ සිදුවීම ඒ කාලයේම වාර්තා කිරීම. ඒ අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස වගේ කාලවල ලියවුණු පැරණිම සෙල්ලිපි වල ඉතා පැහැදිලිව සඳහන් වන වචන තුනක් තියෙනවා. ඒ ‘දමෙඩ සමණ’ , ‘දමෙඩ ගහපති’ , ‘දමෙඩ වණිජ’ කියන පද. පරණවිතාන මහතා ඇතුලු උගතුන් සියලු දෙනාම පාහේ මේ ‘දමෙඩ’ කියන පදය නිර්වචනය කරලා තියෙන්නේ දෙමළ කියලා. ඒ වගේම ඒ මතයට එරෙහිව කිසිම විද්වතෙක් පිළිගන්න පුලුවන් විදිහේ අදහසක් ඉදිරිපත් කරලාත් නෑ.

මෙතන තියෙන ඊළඟ කැපී පේන කාරණය තමයි, බොහෝවිට දෙමළ අය ම තමන්ව ‘දමෙඩ’ යනුවෙන් හඳුන්වාගෙන තියෙන එක. උදාහරණයක් හැටියට තමා ‘දමෙඩ සමණ’ හෙවත් දෙමළ භික්ෂුවක් ආදී වශයෙන් ඒ අයම කියනවා. ඒකෙන් පැහැදිලියි ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ වගේ කාලවල ඉඳන් ජීවත් වෙද්දී, තමං දෙමළ වීම ගැන ඒ අයට ආඩම්බරයක් තිබුණු බව. ඒ වන විට වාර්ගිකත්වය පිළිබඳ ගර්හිත ස්වභාවයක් තිබුණෙ නෑ. ඒ වගේම කිසිම සෙල්ලිපියක මම සිංහල කියලා සඳහන් කරලා නෑ. මොකද එදත් අද වගේම රටේ බහුතරයක් සිටියේ සිංහලයින් වීම නිසා. ඉතිං ඒ අයට තමන් සිංහල කියලා කියන්න උවමනවක් නෑ. මේ අදහස මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස යන බොහෝ විද්වත්තු පැහැදිලි කරලා තියෙනවා.

මේ යුගය වන විට ඔවුන් භාවිත කළ භාෂාවන් පැහැදිලි ලෙස ධාරාවන් දෙකකට බෙදිලා තිබුණද?

එතනදි මතුවන වැදගත් ම කාරණයක් තමයි ඕක. මේ යුගය වෙනකොට සිංහල දෙමළ කියන දෙපිරිසම භාවිත කරලා තියෙන්නේ ප්‍රාකෘත භාෂාව. අකුරු විදිහට භාවිත වුණේ බ්‍රාහ්මී අකුරු. එහෙම බලද්දි මේ අය අතර සංස්කෘතිකමය වශයෙන් තමයි වෙනස් කම් තිබුණේ කියලා කියන්න පුලුවන්. ඒ නිසා ඒ සමාජයේ දෙමළ මිනිස්සුන්ට ගෞරවයෙන් හිමි වුණා. දෙමළ මිනිස්සු ගැන අද තියෙන ගර්හිත දැක්ම එන්න ඇත්තේ පසුකාලීනව. කොහොම වෙතත් මහාවංශය ලියවෙන කාලය වගේ වෙන විට මේ ගර්හිත ස්වභාවය පැමිණිලා තියෙන්නෙ ටිකෙන් ටික. කොහොම වුණත් මහාවංශය ලියන යුගය වන විට ඒ තත්ත්වයට සමාජය ටිකෙන් ටික ඇවිත්.

මහාවංශයේ එළාර ගැන සඳහන් කරද්දී ඒ සඳහන් කරන්නේ, ‘එළාරෝ ධම්මිකෝ’ කියලා. ඉතිං එළාර ධාර්මික රජෙක් කියලා කියන මහාවංශයම ආයෙම කියනවා, ‘එළාර නාම දමිළෝ’ කියලා. එයින් කියන්නේ  එළාර නම් දෙමළා කියලා. මේක මුල් කාලීන යුගයේ නොතිබුණ ලක්ෂණයක් කියලා හොඳින්ම පැහැදිලි වෙනවා දීප වංශය වගේ වංශකතා දිහා බලද්දි. මහාවංශයට අවුරුදු සීයකට එකසිය පණහකට විතර කලින් ලියවුණු දීපවංශය තුළ ඒ විදිහේ දෙමළ විරෝධී ස්වභාවයක් නෑ. ඒ ග්‍රන්ථ බොහෝමයක් ලියවිලා තියෙන්නේ දෙමළ ජනයාට සාධාරණයක් වන විදිහට අපක්ෂපාතීව.

අවුරුදු සීයක් එකසිය පණහක් වගේ කෙටි කාලයක් තුළ දෙමළ ජනයා කෙරේ සිංහලයාගේ චින්තනය වෙනස් වෙන්න මොන වගේ කාරණා නිසාද? 

විශේෂයෙන් මහාවංශය ලියන යුගය වන විට අපිට දකුණු ඉන්දියානු ආක්‍රමණ ගණනාවක් ආවා. ඒ අනුව අපි හඳුනාගත්තේ දකුණු ඉන්දියානුවන් යනු දෙමළ ජනයා ය කියන පදනමින්. සිංහල බෞද්ධ ආධිපත්‍යයට, සහ බුදුදහමට අභියෝග කළ පිරිසක් විදිහට දකුණු ඉන්දියානුවන් දකිද්දී, ලාංකීය දෙමළ ජනයා කෙරේත් ඒ විරෝධ ආකල්ප සහිතව බලන්න සිංහල බෞද්ධයින් හුරු වුණා.

තවත් පැත්තකින්, පස්වන හයවන සියවස් වෙනකොට එල්ලවුණ මේ ආක්‍රමණවලට වැඩිපුර වගකියන්න ඕනෑ අපේ අයම තමයි. මොකද අපි සේනා සපයගන්න නිතර දකුණු ඉන්දියාවට ගියා. වෙළෙන්දො හැටියට ගනුදෙනු කළා. ආක්‍රමණ හෝ සංක්‍රමණ හැටියට දෙරට අතර විශාල වශයෙන් මිනිස්සු මාරු වුණා.

මේ විදිහේ පිරිස් ලංකාවට පැමිණ, සමාජයේ කිසියම් තත්ත්වයක් හිමිකරගැනීම අද වගේම ඒ කාලෙත් දෙමළ ජනයා දිහා කිසියම් ගර්හිත ස්වභාවයකින් බලන්න හේතු වුණ බව පැහැදිලියි. විශේෂයෙන් ඒ විදිහට ගර්හිත ස්වභාවයෙන් බලලා තියෙන්නේ බෞද්ධාගමික ස්වරූපයෙන් එන පොත්පත්වල.

සෙල්ලිපි ගත්තාම දකින්නට තියෙන විශ්මයජනක කාරණය තමයි කොයි තරම් දෙමළ ජන කොටසක් ලංකාවේ හිටියත් ඒ අය දෙමළ සෙල්ලිපි පිහිටුවලා නෑ. කලින් කිව්වා වගේ මුල්කාලීනව දෙපිරිස ම එකම භාෂාව භාවිත කළත් පසු කාලීනව පැහැදිලිව සිංහල දෙමළ භාෂා විදිහට වෙනස් වුණානෙ. අනුරාධපුරයේ අග භාගයේ අපිට දෙමළ සෙල්ලිපි හම්බ වුණත් ඒ එකක්වත් ලාංකීය දෙමළ ජනයා පිහිටවපු සෙල්ලිපි කියලා තහවුරු වෙන්නෙ නෑ. ඒවා චෝළ පාලන සමයේ හිටි අය තමයි පිහිටුවලා තියෙන්නේ. ඒකෙන් පැහැදිලිවෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි මුල් කාලයේ සිංහල දෙමළ දෙපිරිසම ප්‍රාකෘත භාෂාව භාවිත කළත් පසු කාලීනව දෙපිරිසම සිංහල භාවිත කළා කියන එක.

ඒ වගේම යාපන අර්ධද්වීපයට ටිකක් පහළින් තියෙන, කදුරුගොඩ කියලා සමහරු හඳුන්වන්න වෑයම් කරන, කන්තරෝඩෙයි කියන තැන තිබිලා හම්බවෙනවා අත්තානි සෙල්ලිපි කැබැල්ලක්. අත්තානි කණුවක් කියලා කියන්නේ විහාරයකට ඉඩකඩම් පූජා කරද්දී, ඒකේ සීමා මායිම් හා උරුමකම් පැහැදිලි කරන්න ලියවෙන එකක්. මේ අත්තානි කණුව තුන්වෙනි හෝ හතරවන උදය රජුගේ කාලයට අයිති එකක් කියලා තමයි අක්ෂර විකාශනය අධ්‍යනය කරලා බලන විද්වතුන් කියන්නෙ. මේ කන්තරෝඩෙයි සෙල්ලිපිය පිහිටුවලා තියෙන්නෙත් සිංහල භාෂාවෙන්.  ඒ නිසා කෙනෙක්ට කියන්න පුලුවන්, මේ සෙල්ලිපිය ලියලා තියෙන කාලය වන විටත් මේ ප්‍රදේශයේ ප්‍රධාන භාෂාව සිංහල කියලා. නමුත් අපි ඒ තරම් අන්තගාමී වෙන්න ඕන නෑ. මේක බෞද්ධ විහාරස්ථානයකට කරන ලද පූජාවක් වන නිසා හා අනුරාධපුරයේ රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් නිසා මේක සිංහලෙන් ලියුවා වෙන්න පුලුවන්. හැබැයි අනික් පැත්තට සෙල්ලිපියකින් කරන්නේ ඒ අවට මිනිස්සුන්ට කිසියම් පණිවිඩයක් දෙන එකනෙ. මේ පංසලේ සීමා මායිම් මේවායි, ඒ නිසා ඒවට අත තියන්න එපා කියලා රජ්ජුරුවෝ දෙන නියෝග ජනතාවට තේරුණේ නැත්තං ඒ උපදෙස්වලින් වැඩක් වෙන්නේ නෑනෙ. වසභ රජ්ජුරුවන්ගේ කාලයේ හම්බවෙන ප්‍රකට වල්ලිපුරම් රන් පත කියන ලිපිය ගත්තාම ඒක ලියවිලා තියෙන්නෙත් භ්‍රාහ්මී සහ ප්‍රාකෘත භාෂාවෙන්. මේ ලිපියේ තියෙන්නේ වසභ රජතුමාගේ කාලයේ නාගදීපය පාලනය කළ ඉසිගිරය කියන ඇමතිවරයා බඳකර අතන කියන ස්ථානයේ විහාරයක් පිහිටුවා පියගුක තිස්ස නම් හිමිනමට පූජා කළාය කියන කතාව.

දෙමළ භාෂාවෙන් කළ පැරණි ම සෙල්ලිපිය හම්බවෙන්නේ පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රමබාහු රජුගේ කාලයට. ඒ කයිට්ස්වල තියෙන නයිනතිව් සෙල්ලිපිය. මේ ලිපියේ භාෂාව දෙමළ, සහ එය හම්බ වෙන්නේ යාපන අර්ධද්වීපයේ නිසා කෙනෙක්ට එකපාරම කියන්න පුලුවන් මහා පරාක්‍රමබාහු යුගය වෙනකොට යාපනයේ ජනයා කතා කළ ප්‍රධාන භාෂාව දෙමළ නිසා කියලා. නමුත් එහෙම කියන්නත් අපි හදිස්සි විය යුතු නෑ. මොකද මේ ලිපියෙන් කියවෙන්නේ, පෝක් සමුද්‍ර සන්ධිය හරහා ගිය නාවුක යාත්‍රා බැරිවෙලාවත්  මුහුදුබත් වුණොත් ඒවායේ ගෙන යන අලි ඇතුන් ඇතුලු වස්තුව ලංකාවේ රජු වන මහා පරාක්‍රමබාහු රජුට හිමිවන බව කියන පණිවිඩය. ඉතිං මේ පණිවිඩය දෙන්නේ ජාත්‍යන්තර නාවිකයින්ට නිසා ඒක සිංහල භාෂාවෙන් නොලිව්වා කියලා හිතන්න පුලුවන්. මොකද මේ නාවුක යාත්‍රා වල යන නැවියෝ සියලු දෙනාම වාගේ දකුණු ඉන්දියානුවන්. නමුත් සෙල්ලිපිවල භාෂාව එහෙම වුණා කියලා දෙමළ ජනයා ලංකාවේ සිංහල ජනයාට වඩා පහළ තැනක හිටියා කියලා අදහස් වෙන්නේ නෑ. දෙමළ ප්‍රභවයක් තිබුණු අය රජකම් කළා විතරක් නෙමෙයි, චන්ද්‍රමුඛ ශිව වැනි රජවරු දෙමළ කුමාරිකාවන් විවාහ කරගත්ත බවට පැහැදිලි සාක්ෂි තියෙවා. අනුරාධපුරයේ මැදභාගය වෙනවිටත් ‘දමිළ අධිකාරී’ කියලා අමාත්‍ය ධුරයක් පවා තිබ්බා.

පොදු මතය කෙසේ වුණත්, දකුණු ඉන්දියානු දෙමළ වැසියන් සහ ද්‍රවිඩ පාලකයින් බොහෝ වෙලාවට බුදු දහම දිහා ගෞරවයෙන් සැලකූ බව පේන්න තියෙනවා. ලංකික බුදු දහම හා දකුණු ඉන්දියානු සම්බන්ධය කොයි වගේද? 

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ලංකාවටත් බුදුදහමටත් ගැටලුවක් ඇතිවන බොහෝ වෙලාවට අපේ රටේ පාලකයින් මෙන් ම භික්ෂූන් වහන්සේලා කළේ වෙනත් රටකට පලායෑම වෙනුවට, දකුණු ඉන්දියානු දෙමළ රටට පලායෑම. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේදී ඇතිවුණ බැමිණිතියාසාය කාලය ඒකට හොඳම උදාහරණයක්. මේ යුගයේදී ලංකාවේ හිටි භික්ෂූන් වහන්සේලා සියලුදෙනාම පාහේ දකුණු ඉන්දියාවට පළා ගියා. ඒ සිද්ධියේදී විතරක් නෙමෙයි ඊට පසු අවස්ථා ගණනාවකදීත් භික්ෂූන්වහන්සේලා දකුණු ඉන්දියාවට පලායෑම ගැන තොරතුරු සඳහන් වෙනවා. චෝලයින්ගෙන් ආරක්ෂා වීමට භික්ෂූන්වහන්සේලා එසේ පලා ගිය බැව් චූලවංශය කියනවා. හැබැයි ඒකෙ තියෙන හාස්‍යසහගත කාරණය තමයි චෝලයින්ගෙන් ආරක්ෂාවීම සඳහා භික්ෂූන්වහන්සේලා පලා ගියේ චෝල රටට කියලා ම කීම. ඒකෙන් පැහැදිලි වෙනවා අපේ වංශකතා හැම වෙලාවෙම මතු කරන කාරණා සත්‍ය ම විය නොහැකි බව.

ඒ වගේම බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ධම්මපාල හාමුදුරුවෝ, බුද්ධදත්ත හාමුදුරුවෝ වගේ හාමුදුරුවරු ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ විතර තමයි ත්‍රිපිටකයට අට්ටකථා ලියන්න ගත්තේ. ඒ විදිහට අට්ඨකථා ලියූ හාමුදුරුවරු සියල්ලම වගේ දකුණු ඉන්දියානු දෙමළ හාමුදුරුවරු. ඒනිසා වළගම්බා කාලය, චෝල කාලය වගේ කලින් කියූ උදාහරණ ටිකකට අමතක කළත් දකුණු ඉන්දියානුවන් බුදුදහමට දැක්වූ දායකත්වය ඉතාම පැහැදිලියි. ඔවුන්ගේ උදව් සහ උපකාර තිබුණෙ නැත්තං ලංකාවේ බුදුදහම පවතින්නෙත් නෑ, ත්‍රිපිටකය පවතින්නෙත් නෑ.

මේ ඉන්දියානු දායකත්වයත් එක්ක අපි ඉතාම පිරිසිදු ථේරවාදී බුද්ධාගම කියලා හිතන ලාංකීය දහමට හින්දු ආගම වගේ වෙනත් ආගම්වල හා මහායාන බුදුදහමේ ආභාෂය ලැබුණා නේද? 

ඔව් ඒක ඉතාම වැදගත් කාරණයක්‘. විශේෂයෙන් හින්දු ආගමේ බලපෑම කියන එක ඉතාමත් ඈත අතීතයේ ඉඳන් අපිට ලැබුණු එකක්. අපි පිළිගන්න පැකිලුණාට පණ්ඩුකාභය රජුගේ කාලයේ පවා මේ බලපෑම තිබ්බා. උදාහරණයක් විදිහට පණ්ඩුකාභය යුගයේ තිබුණු සිවිකා ශාලා කියන්නෙ ශිව ලිංගය තැම්පත් කරලා තිබුණු පූජ්‍යස්ථාන. ඒ වගේම අපිට පසුකාලීන අවස්ථා ගණනාවකම පැහැදිලිව පේනවා හින්දු ආගමේ බලපෑම ලැබුණු ආකාරය.

ඒ වගේම දකුණු ඉන්දියාවේ තිබුණා ප්‍රමුඛ බෞද්ධ අධ්‍යාපන ආයතන ගණනාවක්. ලංකාවේ භික්ෂූන්වහන්සේලා නිතර ගිහින් ඒවායේ ඉගනගත්තා කියලා සාධක රාශියක් තියෙනවා. කලින් කිව්වා වගේ භික්ෂූන් වහන්සේලාට රටේ ඉන්ඩ අමාරු කාල වල ඒ අය දකුණු ඉන්දියාවට ගියා. ඒ වගේම දකුණු ඉන්දියානු භික්ෂූන්වහන්සේලාත් නිතර දෙවේලේ ලංකාවට ආවා.

මේ සම්බන්ධය නිසා තමයි ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස විතර වෙනකොට ලංකාව කියන්නේ ථේරවාදී බුදුදහමේ කේන්ද්‍රස්ථානයක් ය කියන මට්ටමට පත් වුණේ. ඒ නිසාම තමයි චීනයේ පාහියන් හිමි වගේ භික්ෂූන්වහන්සේලා ලංකාවට එන්නේ. චීන භික්ෂූන් වහන්සේලා චීනේ ඉඳලා ලංකාවට ඇවිත් ධර්මග්‍රන්ථ හොයාගෙන ඒවා එකපාරටම චීනයට අරං යන්නේ නෑ. ඒ අය ඒවා පරිවර්තනය කරන්නේ තායිලන්තය, බුරුමය වගේ රටවල ඉඳලා. මොකද චීන භාෂාව දන්න, තායි භාෂාව දන්න, සිංහල භාෂාව දන්න අය මුණගැහෙන්න පුලුවන් සංධිස්ථානයක් නිසා.