අවුල අපේ මිසක් කලාවේ නෙමෙයි ,ප්‍රවීණ රංගන ශිල්පී – දුලීකා මාරපන

රසික ගුණවර්ධන

”මාරපන එදිරිව අභයකෝන්” නඩුව නීති විද්‍යාලයේ ප්‍රසිද්ධ නඩුවක්. ඒක ඔබට අදාළ කාරණයක්. එතනින්ම කථාව ආරම්භ කරමුද?

ඒක මගේ උත්පත්තිය හා බැඳුණු කතාන්දරයක්. මම ඉපදෙන්න ඉඳිද්දි මගේ පියා නිමිත්තක් බලල තියනවා. ඒකෙදි කියල තියනවා ඉපදෙන්න ඉන්නෙ පිරිමි දරුවෙක් කියල. ඒත් නුවර මහ ඉස්පිරිතාලයේ පිරිමි නැකතකින් ගැහැනු දරුවෙක් තමයි උත්පත්තිය ලබන්නෙ. ඉතින් අප්පච්චිට එයා බලාපොරොත්තු වුණු පිරිමි දරුවෙක් නූපදීම බරපතළ ගැටලුවක් වෙනවා. එයාට නිමිත්ත බලපු මනුස්සය කියල තියනවා, ගැහැනු දරුවෙක් ඉපදුණොත් මහා විනාශයක් වෙන්න පුළුවන්, අප්පච්චි මැරෙන්ඩ පුළුවන්. නැතිනම් අම්මයි, අප්පච්චියි දික්කසාද වෙන්න පුළුවන් කියල. ඉතින් මම ගැහැනු දරුවෙක් නිසා අප්පච්චි මාව භාර අරගෙන නෑ. ඒකත් එක්ක මගේ අම්මට බලපෑම් ඇවිල්ල තියනවා මාව අතාරින්න, වෙනකාට හරි හදාගන්න දෙන්න, පවුලෙන් ඈත් කරන්න වගේ දේවල්. ඒත් මගෙ අම්ම සූදානම් වෙලා නෑ මාව අයින් කරන්න. ඉතින් මගෙ අම්මට මාව අවශ්‍යවීමත්, අප්පච්චිට මාව අනවශ්‍යවීමත් කියන කාරණාව උඩ දෙදෙනාට නීති මාර්ගයට යන්න වෙලා තියනවා. ඒ කාලෙ නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. ඒගොල්ලන්ට බලය තිබුණ, ඒ නිසා අප්පච්චි උත්සහ කරල තිබුණ මාව අයින් කරන්න, අයින් කරන්න බැරිනම් ජීවිතක්ෂයට පත් කරන්න. ඒත් මගෙ අම්මා අප්පච්චිට විරුද්ධව උසාවි යනවා, දරුවගෙ ජීවිතය අනතුරට පත්කරන්න යනව කියලා. එතකොට තිබුණු නීතිය තමයි පිරිමි දරුවා මවට, ගැහැනු දරුවා පියාට කියන නීතිය. නමුත් හැත්තෑ හතේ ආණ්ඩුක්‍රම සංශෝධනයේදී හබයාස්කෝපුස් පනතෙන් අවුරුදු පහට අඩු සියලුම දරුවන් මවට කියන නීතිය යටතේ, අපේ අම්මට මාව හිමි වෙනවා. ඒ හබයාස්කෝපුස් පනතෙන් අම්මෙකුට භාරදෙන පළවෙනිම දරුව තමයි මම. ඉතින් ඔය නඩුව තමයි අදටත් නීති විද්‍යාලවල දික්කසාද පිළිබඳව ඉගැන්වීම්වලදී කතා කරන්නේ.

කුඩා කාලයේ ඔබ මුහුණ දුන් එම සිදුවීම ඔබට කොයි ආකාරයකටද බලපෑවෙ.

මගෙ අප්පච්චිත් මගෙ අම්මා, මගෙ අම්මත් මගෙ අම්මා. ඒක ඇතුළෙ මගෙ අම්මා විශාල අභියෝගවලට මුහුණ දුන්නා. මගෙ අම්මා මාව ඇයගේ පියාගෙ සහ මවගේ ළඟ තියාගෙන තමයි රැක බලා ගත්තේ. ඒත් මගේ පියා මගේ මවට අභියෝග කරනවා මට අවුරුදු දහඅට වෙන්ඩ කලින් කොහොම හරි මරනවා කියලා. එතකොට මගේ අම්මට පැවරිච්ච ලොකුම කාර්යය තමයි මගේ ජීවිතය රැකගන්න එක.

මට මතකයි මගෙ අම්මා මාව වඩාගෙන උසාවියෙ පඩිපෙළ නඟිනවා, මට මතකයි මගෙ අම්මා මාව බදාගෙන අඬනවා, මාව එක එක්කෙනාගෙ අතින් අතට යනවා, කාමරයක් ඇතුළට වෙලා බලාගෙන ඉන්නවා, ඔය වගේ චිත්‍ර ටිකක් තාමත් මගේ මතකයේ තියනවා.

සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීමක් සිදුවුණහම වෙන්නෙ ළමයින්ගෙ පෞරුෂ ඌනතා සිදුවෙන එක. ඒත් වාසනාවකට මට එහෙම වුණේ නෑ. මම හිතන්නේ ඒකට හේතුවෙන්න ඇත්තෙ මට කිසිම පීඩනයක් දැනෙන්න මගෙ අම්ම ඉඩ දුන්නෙ නෑ. හැබැයි මට හුදකලාව දැනෙන්න පටන් ගත්තා. මගේ අම්මා මගේ ජීවිත ආරක්ෂාව පතා මාව පාසල් කාලයේ හොස්ටල්වලට දැම්මා. මාව නුවර හිල්වුඞ් එකේ හොස්ටල් එකට දැම්මා, කෑගල්ලෙ කොන්වට් එකේ හොස්ටල් එකට දැම්මා. මාව නිවාඩු කාලෙටවත් ගෙදර ගෙනිච්චෙ නෑ. සමහර වෙලාවට අම්ම විතරයි මාව බලන්න එන්නේ. නෑයොවත් එන්නෙ නෑ. ඉතින් මට නෑයො සම්බන්ධව ඇසුරක් හෝ අවබෝධයක් නෑ. ඉතින් මම හුදකලා වෙනවා.
මේ හුදකලාව නැතිකර ගන්න මම ස්වාභාවික පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා.

මට කතා කරන්න කෙනෙක් නැතිවෙනකොට මම කතා කරන්න තෝර ගන්නෙ ගස්. හිල්වුඞ් එකේ උඩ තිබ්බෙ කැලේ. ඒ කැලේ ඉඳන් බැහැල එන වඳුරන්ට, රිලවුන්ට මම කතා කරන්න පටන් ගන්නවා. උණ පඳුරුවලට කතා කරන්න පටන් ගන්නවා, අඹ ගස්වලට කතා කරනවා. උදේට පිපෙන මල් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම ස්වභාව ධර්මයාට විවෘත වෙනවා. ඒක නිසාම මම විශ්වාස කරනවා පුංචිකාලෙ ඉඳන්ම මගෙ නිර්මාණ හැකියාව වැඩි දියුණු වෙන්න පටන් ගත්ත කියලා.

මම අදටත් තාත්ත කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. තාත්ත කෙනෙක්ගෙ ආදරය මොනවගේද කියල මම දන්නෙ නෑ. ඉතින් මම තෝර ගත්ත පියා තමයි ස්වභාව ධර්මය. මම හිතනවා වැරැද්දක් පළවෙනි පාර වුණොත් කමක් නෑ, හැබැයි දෙවනි පාර වුණොත් ඒක වැරැද්දක් නෙවේ පුරුද්ද. ඒක මට ඉගැන්නුවෙ ස්වභාව ධර්මය. අදටත්, හෙටටත් මගෙ පියා විදිහට මම සලකන්නෙ ස්වභාව ධර්මය. එතනින් එහාට කකුල් දෙකෙන් ඇවිදින සත්වයෙක් හැටියට ඉන්න කෙනෙක් මම දන්නෙ නෑ කොහොමද තාත්ත කියල ගනුදෙනු කරන්නෙ කියල

ඔබ නුවරින් කෑගල්ලට සංක්‍රමණය වෙනවා. ඉන්පසු වෘත්තීය ජීවිතය මහාරාජා ආයතනය සමඟ ආරම්භ කරනවා.

මම නුවර හිල්වුඞ් එකේ ඉඳලා කෑගල්ල කොන්වන්ට් එකට එන්නෙ මගේ මව එහි ගුරුවරියක් වීම නිසා. ඇයට ඇගේ ඇස් මායිමේ මාව තියාගැනීමේ උවමනාව නිසා. මම සාමාන්‍ය පෙළ අධ්‍යාපනය නිමා කරල කෑගල්ල කොන්වන්ට් එකේම සිස්ටර්ස්ලගෙ පෙර පාසලේ පෙර පාසල් ගුරුවරියක් විදිහට උගන්වනවා. මම උසස් පෙළ කරල අවසන් වෙනකොටම මට ගුරු පත්වීමක් හම්බවෙනව. එතකොට කෑගල්ල ශාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පතිනිය මාව එයාගෙ ඉස්කෝලෙට චිත්‍ර ගුරුවරියක් විදිහට බඳවා ගන්නවා. ඔහොම ඉන්නකොට මම අනූහයේ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා. ඊට පස්සෙ තිබ්බ වාතාවරණයත් එක්ක අපේ විශ්ව විද්‍යාලය අවුරුද්දකට වහනවා. විශ්වවිද්‍යාලය වැහුවට පස්සෙ මම සිරස මාධ්‍ය ආයතනය සමග සම්බන්ධ වෙනවා.

ඔබ සිරස ආයතනයේ වැඩ කරන කාලයේම තමයි ඔබට ගාමිණී ෆොන්සේකා සමග ඔහුගේ චිත්‍රපටියක පෙම්වතියගේ චරිතය සඳහා අවස්ථාව හිමිවෙන්නෙ.

ඔව් ඒ ඔහුගේ “ජජ්මන්ට්” කියන ෆිල්ම් එකට. ගාමිණී ෆොන්සේකා කියන්නේ මහා ප්‍රෞඪ, මහා විශාල පර්සනලටි එකක් තිබුණ මිනිහෙක්. ගාමිණී ෆොන්සේක මහත්මයාගෙ අවසාන මිතුරිය මමද කියලත් මම හිතනවා. දමිත් පවා හම්බුණහම කියන්නෙ මගෙ තාත්තගෙ අන්තිම යාළුව ඔයා කියලා. අපි ගොඩක් සමීප වෙන්න පටන් ගන්නවා. මම ඒ ගෙදරට යනවා. චිත්‍රපටය සම්බන්ධව නිරන්තරයෙන්ම සාකච්ඡා තියනවා.

එතුමා ඉතාම හොඳ චිත්‍ර ශිල්පියෙක්. මමත් චිත්‍ර ශිල්පිණියක් කියන එක දැන හඳුනා ගැනීම තුළ එතුමා මට එතුමාගේ චිත්‍ර පිළිබඳව කතා කරන්නට, පෙන්වන්නට පටන් ගන්නවා.

කොහොම හරි ඒ කාලෙ තිබ්බ දේශපාලනයත් සමග චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒ චිත්‍රපටය තහනම් කරනවා. ඒත් අදටත් මම ළඟ එතුමා අතින් ලියපු ජජ්මන්ට් චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත තියනවා.

මම හිතනවා මම හරිම වාසනාවන්තයි, ඒ සිනමාපටය නොකළත් එතුමාගේ ඇසුර මට ලැබුණා. එතුමා නිතර කියපු දෙයක් තමයි අද නිළියක් නොවුණත් හෙට උඹ අනිවාර්යෙන්ම මේ රටේ රංගන ශිල්පිනියක් වෙනවා කියන එක.

එතුමා තරම් අනික් මනුස්සයා වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම දැක්කෙ නෑ. තමන්ගෙන් වැරැද්දක් වුණා නම් එතුමා ඒ පිළිබඳව ඉතාම විශාල විදිහට පශ්චත්තාප වෙනවා. එතුමට සක්විති කීවට පව් නැහැ. මොකද ඒ වගේ සක්විති කෙනෙක් මේ රටේ බිහිවෙන්නේ නෑ.

ඔබ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ පෙම්වතිය ලෙස රංගනය ආරම්භ කළාට අපි ඔබව වැඩි වශයෙන් හඳුනා ගන්නේ චරිතාංග නිළියක් ලෙස.

මම අවුරුදු විසි දෙකෙන් විතර වේදිකාවෙන් රංගනය ආරම්භ කරනකොට මට පෙම්වතියගේ චරිතය තමයි ලැබෙන්නේ. එහෙත් හැමදාම මට තිබ්බ එකක් තමයි පෙම්වතියට සීමා නොවී චරිතාංග නිළියක් වීමේ පෙරේතකම.

මම රංගනයට එද්දි මට විශ්වාසයක් තිබුණෙ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. අදටත් මම හිතන්නේ නෑ. මම හිතන්නෙ මම සාමාන්‍ය සමාජයෙන් උකහා ගන්නා දේ ප්‍රතිනිර්මාණය කරමින් මේක තුළ සැරිසරනවා කියලා.
පුංචි කාලෙ මගෙ පොඩි දෙයක් ඔළුවෙ තිබ්බා. මගෙ අම්ම කොච්චර දේවල් කීවත් මට හිතුණු දේ තමයි මගෙ අප්පච්චිට විතරයි මාව එපා වුණේ, මම මේ සමස්ත සමාජයටම අත්‍යවශ්‍ය මනුස්සයෙක් විය යුතුයි කියන කාරණාව. එහෙම වෙන්න නම් මට ඒ සඳහා අනන්‍යතාවක් තිබිය යුතුයි. මට අවශ්‍ය වෙන්නෙ වෙනස් පෞරුෂයක්. ඒකත් එක්ක තමයි මම මේ ගමන එන්නේ. මට ඕනෙ වෙනවා මේ සමාජයටම නව කථිකාවක් ගේන වෙනස් විදිහේ ගැහැනියක් වෙන්න. ඒ නිසා තමයි මම මගේ නිර්මාණ ඇතුලේ වෙනස් වෙනස් මානයන් කරා ගමන් කරන්නට, උත්සාහ කරන්නෙ.

සෑම කෙනෙක්ම නඟන චෝදනාවක් තමයි මේ රටේ සිනමාව, ටෙලි නාට්‍ය ඇතුළු සමස්ත කලාව විශාල අවුලක තිබෙන බව.

නැහැ. කලාවේ අවුලක් නෑ, අපෙයි අවුල තියෙන්නේ. මම දන්න කාලෙ ඉඳලා මට හැමදාම ඇහෙන්නෙ මේ රටේ සිස්ටම් එක අවුල් කියලා. ඒ සිස්ටම් එක වෙන රටකින් ගෙනත් දාපු එකක්ද. එහෙම නැත්නම් කවුරුහරි මේකෙ පැළ කරල මුල්දාල වැඩුණු එකක්ද?. නෑ. මේ සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ අපි. අපි හදාගත්ත සිස්ටම් එකට අපි දැන් බනිනව සිස්ටම් එක වැරදියි කියලා. එහෙනම් අපි කරන්න ඕනෙ මේ සිස්ටම් එක හදා ගන්න එක.

අපේ රටේ හැමදාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. ඇයි ඒ, සිස්ටම් එක අවුල් නිසා නැවත නැවත ප්‍රතිසංස්කරණ කරමින් මේ සිස්ටම් එක අරගෙන යනවා. එහෙම නම් කරන්න ඕනෙ පළවෙනි දේ, සිනමාව වේවා, කලාව වේවා, අධ්‍යාපනය වේවා, වෛද්‍ය වෘත්තිය වේවා, ආර්ථිකය වේවා මේ සියලුම දේ පැළ කරපු වැරදි සිස්ටම් එක ගලවලා වීසි කරලා නිවැරදි සිස්ටම් එකක් පැළ කරන එක.
ඇමරිකාවෙන් ඇවිල්ලා ඒ අවුල ලෙහන්න බෑ. ජපානෙට ඇවිල්ලා මේ අවුල ලෙහන්න බෑ. මේ අවුල ලෙහන්න පුළුවන් අපිටමයි. ඒක අපි විසින්ම කරනවද කියන එකයි බලන්න ඕනෙ. ඒක ජනාධිපතිටවත්, එහෙම නැත්නම් ඇමති කෙනෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

අනිත් එක අපි මේ වැරදි කියන සිස්ටම් එක පාලනය කරන්න ගේන එවුන් ටිකක් ඉන්නවනේ. අපිට බත් පැකට් එකයි රුපියල් පන්සීයයි දෙනව නම් අපි ඒ කාලකණ්ණි ටික හැමදාම ගේනවා. දැන් ඒක නතර කරන්න ඕනෙ. අපි දන්නව ඉතාම අවම පහසුකම් යටතේ ඉතාම හොඳින් කටයුතු කරන පරිපාලන නිලධාරීන් සිටිනවා. අපි එවැනි දේශපාලකයන් බිහිකළ යුතුයි.

ඉදිරියේ විස්සයි විස්ස ජනාධිපතිවරණය එනවා. ඔබ ඔය කියන කතාවලට සමාන කතා රතු, කොළ, නිල් වේදිකා වලිනුත් ඇහෙනවා. ඔබත් යම් විදිහකට ඉදිරියේදි ඒ වේදිකාවක් නියෝජනය කරාවිද?

හැමෝම හිතනවා මම ගොඩක් කතා කරන නිසා මම දේශපාලනයට එන්න හදනවා කියලා. නැහැ. මම ඇත්තටම කතා කරන්නේ මේ රටේ ජනතාවගේ තැන ඉඳලා.

මේ රටට නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවක් වෙනවා. එදා ඉඳලා පත්වුණු ජනාධිපතිවරු, ඇමතිවරු මේ රට සූරාගෙන කාපු විදිහට, පිටරටවල් වලට විකුණපු විදිහට, මේක හරියට සෝමාලියාව වගේ වෙන්න තිබ්බා.
අපි පාරක යනකොට කීදෙනෙකුගෙ බෝඞ් පේනවද? රටේ මහජනතාවගෙ සල්ලිවලින් පාරවල් හදලා උන්ගෙ බෝඞ් ගහගන්නවා. මේක කුණුහරුපයක්. අපේ රට පාලනය කරන එවුන්ට විෂන් එකක් නෑ. එවුන්ට සාපේක්ෂව රටේ ජනතාවට විෂන් එකක් නෑ.

ඔබ අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක් විදිහට කොහොමද දකින්නෙ දැන් ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පීන්ට තිබෙන ගරුත්වය, පිළිගැනීම සහ ශ්‍රමයට සරිලන වැටුප පිළිබඳව.

කලාකරුවාට වගකීමක් තියනවා තමන්ගේ වටිනාකම තමන් වෙත රඳවා ගන්න. අපේ කලාකරුවො රුපියල් පන්දාහට කාගෙ හරි වේදිකාවක නැගලා බෙරිහන් දෙනවා. මම දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී අපේ කලාකරුවන්ට රුපියල් පන්දාහෙ ඉඳන් ලක්ෂ දෙක දක්වා ගෙව්වා. එවැනි සිදුවීම් මම ඉතා හොඳින් දන්නවා සහ මටත් එවැනි ඒවට කතා කළා. එතකොට කලාකරුවාගේ ගෞරවය විකුණලා දාන්නෙ කලාකරුවම නොවේද? කලාකරුවෙක් කලාව තුළ විකිණීම ගැටලුවක් නෑ, නමුත් කලාකරුවා මෙවැනි පහත් තැන්වල විකිණීම ගැටලුවක්. එතකොට සමාජයේ කතාවක් එනවා “ආ.. එයා අර රුපියල් පන්සීයට, දාහට අරයගෙ ස්ටේජ් එකේ හිටිය කෙනානේ” කියලා. ඒකයි මම කියන්නේ මේකෙන් සීයට පනහක් අපි තුළත් තියනවා.

අපි කාලයක් තිස්සේ කතා කරන දෙයක් තමයි කලාකරුවාගේ වෘත්තීය මට්ටම අපි ආරක්ෂා කළ යුතුයි කියන එක. කලාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. රටට ජාතික ප්‍රතිපත්තියක් නැතිකොට කලාවට ප්‍රතිපත්තියක් හැදෙන්නෙ නෑ. කලාවේ ජාතික ප්‍රතිපත්තිය කියන්නේ රටේ ජාතික ප්‍රතිපත්තියේ කොටසක්. කලාවට විතරක් වෘත්තීය මට්ටමක් ඇති කරන්න පුළුවන්කමක් නෑ. අද උදේ පාන්දර එකට දෙකට ආටිස්ට් කෙනෙක් ගත්තහම ඒ මිනිහා ඊළඟ දවසෙ පාන්දර තුන හතර වෙනකම් වැඩ කරනවා. කම්කරුවෙක්වත් එහෙම වැඩ කරන්නේ නෑ. ඔහුට නිශ්චිත වැටුපක් තියනවා. මේක කම්කරු වෘත්තියකටත් වඩා ඉතා අන්ත තත්ත්වයකට පත්වෙලා. කලාකරුවෙකුට වෙලාවකට කෑම ටිකක් දෙන්නෙ නෑ. ලෙඩක් වුණත් බෙහෙත් ටිකක් අරන් දෙන්නේ නෑ. ඒ මනුස්සයා අමාරුවට ඇළවෙලා හිටියත්, ආ දැන් ඇති නේද කියල ගන්නවා. සුළුතරයක් හැරුණු විට කිසිම කෙනෙක් මේක ඇතුළෙ කලාවට පොදු ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි කියන මතයට එන්නේ නෑ.