ඔවුන් මට කීවේ සුළි සුළඟ කියලයි – හිටපු අතිරේක විගණකාධිපති ලලිත් අඹන්වෙල

නිමල් අබේසිංහ

අඹන්වෙල හේරත් මුදියන්සේලාගේ ලලිත් අඹන්වෙල විගණන අධිකාරිවරයකු ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැඳී විශ්‍රාම ගත්තේ අතිරේක විගණකාධිපතිවරයකු ලෙසිනි. මෑතකදී සිදු කළ වන අලි ජාවාරමක්ද අනාවරණය කරගැනීමට ඔහු සමත් විය. අඹන්වෙල යනු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අතිවිශිෂ්ට අවංක නිලධාරියෙකි. එනිසාම ඔහුට ඇසිඞ් ප්‍රහාරයකට පවා මුහුණ දෙන්නට සිදුවිය. ඇසිඞ් ප්‍රහාරයෙන් ප්‍රහාර ලැබ ප්‍රංශයේ ප්‍රතිකාර ලබද්දී මෙන්ම ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයේ ඉගෙනුම ලබද්දීත් ඒ රටවල සේවය කිරීමට ලැබුණු අවස්ථා ද ප්‍රතික්ෂේප කරමින් පෙරළා සිය රටට පැමිණෙන්නේ මව්රටම කෙරෙහි සේවය කිරීමට ඔහු තුළ තිබෙන දැඩි වුවමනාව නිසාය. ඉසිඹු ලැබ සිටින ලලිත් අඹන්වෙල සමග රාවය කළ සංවාදයයි මේ.

ඔබේ පාසල් දිවියෙන් අපි මේ කතාබහ ආරම්භ කරමුද?

අප්පච්චි, මාතලේ රෝහලේ ලේකම්වරයා විදියට වැඩ කළේ. මම මාතලේ සෙන්ට්තෝමස් එකේ සාමාන්‍ය පෙළ කරද්දී අප්පච්චි නැති වුණා. මම ආපහු ගෙදර නතර වුණා. අවුරුදු දෙකක් විතර ඉස්කෝලේ ගියෙ නෑ. මගෙ නංගිලත් පොඩි අය. ඉතින් කුඹුරු වතුපිටි බලාගෙන මම ගෙදර හිටියා. නමුත් අම්ම කිව්වා උඹ ඉස්කෝලේ පලයන් කියලා. ඊට පස්සේ මම පුද්ගලිකව ඕ ලෙවල් ලියල උසස් පෙළ කරන්න වලල මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

මට පොඩි කාලෙ ඉඳල සිරිතක් තිබ්බා කවුරුවත් කීවට දෙයක් විශ්වාස කරන්නේ නෑ. ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම මට දැනගන්න ඕනේ. උසස් පෙළට ඉගෙන ගත්තේ භූගෝල විද්‍යාව. ඉගැන්නුවේ අබේරත්න කියලා ගුරුතුමෙක්. එයා පොත ළඟ තියාගෙන කියවන එක තමයි ඉගැන්වීම විදියට කළේ. මම එයාගෙන් ප්‍රශ්න අහන නිසා හැමවෙලාවෙම කරන්නෙ මාව පන්තියෙන් එළියට දාන එක. එහෙම කරල තමයි අනෙක් අයට උගන්වන්නේ.

ඊට පස්සේ දවසක මමයි තව පන්තියෙ හතරදෙනකුයි ස්පෝට් මීට් දවසක අපේ ගුරුතුමාගෙ ගෙදර ගිහිල්ලා මම කීව අනෙක් කට්ටියට ගුරුතුමාගෙ ගෙදර ගිහින් ගුරුතුමාගෙ නෝට්ස් ටික ඉල්ලගෙන එන්න කියලා. හැබැයි මම ගෙදරට ගියේ නෑ. අනෙක් අය ගිහින් ඉල්ලගෙන ආවා. ඒ නෝට්ස් අතරෙ තිබ්බ පන්තියෙ ළමයින්ගෙ භූගෝල විද්‍යාව උත්තර පත්තර. මට අද වගේ මතකයි මගේ දැනුමේ හැටියට ඒ උත්තර ගොඩක් වැරදියි. ඒ වුණාට ලකුණු දීල තිබුණ. මේ අය මේ ගුරුවරයෙන් එක දාගෙන හිටපු ළමයි. මේ නෝට්ස් ටික ඔක්කොම ඇළට දැම්මා. මම ගෙදර ආවා. අනෙක් අයත් ගෙදර ගියා.

විශ්වවිද්‍යාල ජීවිතය ගෙවුණේ මොන වගේද?

1980 සිට 1984 වෙනකල් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ. එතනදි මගෙ කාමර සගයෝ වුණේ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, ශක්‍යා ආයතනයෙ අධිපති බණ්ඩාර දිසානායක; බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ ඒ වගේ විශාල පිරිසක් අපිත් එක්ක හිටියා. අපි විශ්වවිද්‍යාල ජීවිතය ඉතාමත්ම හොඳට විඳපු උදවිය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට අනෙකුත් දේවලුත් කළා. එදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් කරන්න සිද්ධ වුණේ නෑ. අවුරුද්දට එක විභාගයයි තිබුණේ. ඒ නිසා පොදු සහ බාහිර කටයුතුවල යෙදුණා.

විශ්වවිද්‍යාලෙ ජීවිතයේදී අමතක නොවන සිද්ධිය මොකක්ද?

මට මතකයි අපි එක සැරයක් පෙළපාළියකට ගියා. ඔය නන්දන මුණසිංහත් සහභාගි වුණා. මේකෙදි ගැටුමක් ඇතිවෙලා අපි පොලිසියට ගල්වලින් ගැහැව්වා. හැබැයි නන්දන මුණසිංහ ගල් ගැහැව්වෙ නෑ. මට ඕකට තරහයි. ඒ ගැන අහපුවහම එයා කිව්වේ කොහොමද මචං මම පොලිසියට ගල්ගහන්නෙ අපේ තාත්තත් පොලිසියෙනෙ කියලයි. මටත් එතකොට හිතේ වේදනාවක් ඇතිවුණා. සමහර කාරණාවල්වලදි අපි දකින දේවලට වැඩියි පිටිපස්සට ගිය දෙයක් තියනවා. මේක මගෙ ජීවිත කාලයටම ලැබුණ ලොකු අත්දැකීමක්. මම රාජකාරි කරන කොටත් දැක්කා සමහරු රාජකාරි කරන කොට දෝෂ තිබෙනවා. එනමුත් එයාගෙ අසමර්ථකමක් නෙවෙයි, ඊට එහා ගිය යම්කිසි දෙයක් තියනව. මට මතකයි මගෙ ළඟ වැඩ කරපු කෙනෙක් හිටපු ගමන් රාජකාරියෙදි දුර්වල වුණා. මම එයාට බැනලත් තියෙනවා. පස්සෙ එයා කිව්වා සර් අවුරුදු එකොළහක් තිබුණ මගේ ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටුණා. මට මෙහෙම වුණේ ඒකයි. සර්ට කියාගන්න බැරිවයි හිටියෙ කියල. මම ඒ පාඩම බරපතළව අත්විඳිනවා. හැම කෙනෙක් තුළම පේන දේට එහා ගිය දෙයක් තියෙනවා.

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙ රැකියාවකට යනවා කියන අපේක්ෂාව ඔබ තුළ තිබුණ දෙයක්ද?

නෑ, එහෙම අරමුණක් තිබුණෙ නෑ. විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා ඇවිත් මම අපේ වතුපිටිවල වැඩ කළා. කුඹුරු වැඩ කළා. මට හොඳට සී සාන්නත් පුළුවන්. විශ්වවිද්‍යාලයෙ ඉඳල ඇවිත් ගොවිතැන් කරන එක මට ප්‍රශ්නයක් නොවුණට නෑදෑයන්ට ප්‍රශ්නයක් වුණා. ඊට පස්සෙ තමයි විගණන අධිකාරිවරුන් තෝර ගන්න තරග විභාගයට ලීවෙ. මම හිතන්නෙ දහදාහක් විතර ලීව්වා. විසිදෙකයි ගන්න හිටියේ. ඒත් තේරුණේ 16 දෙනයි. ඒ දාසය දෙනා අතරෙ මමත් හිටිය.

ඔබේ පියා සමග මාතලේ පාසල් ගිය ගමන ගැන මොනවගේ මතකයක්ද තිබෙන්නේ?

අප්පච්චි කවදාවත් රාජකාරියෙදි කිසිම වංචාවක් කළේ නෑ. මට මතකයි දවසක් අප්පච්චිගෙ කාර්යාලයෙ මේසෙ උඩ තිබුණ අල්පෙනති වගයක් ගන්න හැදුවා. එයා කීවේ ඕව ගන්න එපා. ඕව අයිති ආණ්ඩුවට කියලයි. ඊට පස්සෙ එන ගමන් හුලංගමුව කියන පොත් කඩෙන් මට අල්පෙනත්ති පැකැට්ටුවක්ම අරන් දුන්නා. එදා තමා මට හිතුණෙ රජයේ සේවය කියන්නෙ අම්ම තාත්ත බලාගන්නව වගේ කළයුතු වැඩක් කියලා. තවත් සිද්ධියක් තිබෙනවා අපි ගෙදර ඉඳල මාතලේට යන බස් එක වත්තේගම පැය භාගයක් විතර නවත්තනවා. අප්පච්චි අඳුනන කඬේකට ගිහින් ඔෆීස් එකට කෝල් එකක් දීල අහනව තොරතුරු මොනවද කියල. එදත් ඔය වගේ කෝල් එකක් අරගත්තට පස්සේ එයා කියනව මම අද ඔෆීස් යන්නෙ නෑ ආපහු ගෙදර යනව. ඔයා ඉස්කෝලේ යන්න කියල. ඊට පස්සෙ මම ඇහැව්ව ඇයි කියල. එයා කීවෙ ඔෆීස් එකට ඔඩිට් එකෙන් පැනල කියලයි. මම හිතුවෙ ඔඩිට් කියන්නේ මොක්කුහරි සත්තු ජාතියක් කියලයි. ඉතින් මම ගෙදර ආපු ගමන් ඇහැව්වේ අප්පච්චි ඔඩිට් කියන්නෙ සත්තු ජාතියක්ද කියලයි. පස්සෙ එයා හිනාවෙලා ඔඩිට් අය ගැන කියල දුන්නා. මම විශ්‍රාම ගන්න කොට තිබුණ උත්සවයෙදිත් ඔය කතාව කිව්වා.

ඔබත් සමග කතාබහ කරන කොට පෙනෙන්නේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අතහැර කතා කරන්නෙම නැති බවයි. ඒ රාජකාරි කාලය තුළ ලබපු අත්දැකීම් කොහොමද?

1986 පෙබරවාරි 05 රාජකාරියට බැඳුණෙ. ප්‍රධාන කාර්යාලයෙ වැඩ කරල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මාරුවක් ලැබුණා. ලංකාවේ පුරාම තිබුණ ෆාම්වල විගණන කටයුතුවලට ගියා. එක දවසක් නිකවැරටියෙ ෆාම් එකකට ගියා. ගෙදරින් යනකොට වාහනේට හාල් පොල් තුනපහ වාගෙ බඩුත් දාගෙනයි යන්නෙ. ෆාම් එකට ගියාට පස්සෙ ෆාම් එකේ ෆ්‍රීජ් එකේ අරක්කු, බියර්, මස් මාංශ උයපුව බැදපුව තියෙනව. මගේ සහායකයා කිව්වා සර් මේව ඔක්කොම ෆ්‍රිජ් එකේ තියෙනවා කියල. මම කිව්වා ඕව කිසිදේකට අත තියන්න එපා. ඕව අපිට අයිති නෑ කියලා. ෆාම් මැනේජර් වීරසිංහ. මම කිව්වා මේව තියනව වැරදිලා වෙන්න ඇති දාල තියෙන්නේ කිව්වහම එයා කිව්වේ නෑ නෑ, ඔක්කොම ඔයගොල්ලන්ට කියලයි. මම කිව්වා ඒව ඔයගොල්ලෙ ගන්න කියලා. එහෙම බයක් අපට තිබුණා. මේකත් අගතියක් වෙයි කියලා.

1988 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාරුවුණා. ඒ කාලෙ දරුණුම කාලයක්. මම යනකොට ඔෆීස් එකේ ගහල තිබ්බ විගණකයන්ට මරණය කියල. ඉන්න කට්ටියත් ඔක්කොම අයින් කරල. උපකුලපතිවරයත් දැන්වීමක් අලවල තිබුණ. මම මේ දෙකම අතින් ගලවගෙන ඔෆීස් එකට ගිහින් වැඩ කළා. හොඳ ඔඩිට් එකකුත් කළා. පස්සෙ බලපුවහම වැඬේවෙලා තියෙන්නේ වෙන විදියකට. එතන හිටපු උසස් නිලධාරියෙක් තමා විගණනයට බයේ ඒ වැඬේ කරල තිබුණෙ. එයාට විරුද්ධව අධිභාර කීපයකුත් පැනෙව්වා. ඊට පස්සේ මාව අනුරාධපුරයට මාරු කළා.

ඒකට සුවිශේෂ හේතුවකුත් තිබුණද?

ඔව්. එතකොට මම විගණන නිලධාරීන්ගේ සංගමයේ සභාපති. මට ඒකෙන් අයින්වෙන්න කීව. මම අයින් වුණේ නෑ. එක දවසක් අපේ අංශ ප්‍රධානියකුගේ විශ්‍රාම ගැනීම නිමිත්තෙන් උත්සවයක් තිබුණා. සර්කිට් බංගලාවේ දිවා ආහාරය ලෑස්ති කරල තිබුණ මේ වෙනුවෙන්. මටත් ගියාට පස්සෙ පිඟානක් දුන්න. ඒ වුණාට ගොඩ දෙනෙක් ඉන්නව පිඟන් නැතිව. මම ඇහැව්ව ඇයි පිඟන් නැතිද කියලා. නෑ. පිඟන් නෑ කිව්වා. බලපුවහම ෂෝකේස් එකේ යට පිඟන් තට්ටුවක් තියෙනව. මේ පිඟන් තියෙන්නේ. ඒවා දෙන්න කියලා කිව්වා. නෑ පිඟන් දෙන්න බෑ විගණකාධිපතිතුමාට වෙන් කරල තියෙන්නෙ කියලත් කිව්වා. එයාගෙ පවුලේ අය ආවහම පිඟන් දෙන්න ඕනෙත් කිව්වා.මම ඇහැව්වා ඕව ඉන්වෙන්ටි්‍රයෙ ලියලද තියෙන්නේ. එහෙනම් මිනිස්සුන්ට දෙන්න ඕනේ. දෙන්න බෑ කීවා. මම ෂෝ කේස් එක ඇරලා පිඟන් ඔක්කොම කට්ටියට දුන්නා. එයාට ඕනෙ නම් හෙට ගෙදරින් පිඟන් ගෙනල්ලා තියාගන්න කියලා. කොහොමහරි පන්දම්කාරයො වගයක් මේ කතාව කීවා. එයාට හොඳටම තදවුණා. හැරෙන තැපෑලෙන් මම අනුරාධපුරේ. අපි හරි දේ දකින්නත් ඕනේ. හරි දේ කියන්නත් ඕනේ. පෙනී සිටින්නත් ඕනේ.

ඊට පස්සේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඔඩිට් එකෙක් කරන්න ලැබුණා. රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂාවක්. ලයිසන්වලට මුදල් බඳින විදිය සෙව්වහම මුල් පිටපතයි ඔෆීස් කොපියයි වෙනස්. එක්දින සේවයේදී රුපියල් දාහක් වගේ අය කරනවා. මේක ගන්න කුවිතාන්සියේ මුල් පිටපතේ රුපියල් දාහ දාලා. ඔෆීස් කොපියේ තියෙන්නේ සාමාන්‍ය රියදුරු බලපත්‍රයක් ගන්න යන වියදම. ඒක රුපියල් 250යි. පොතට යන්නේ 250යි. ගන්න මනුස්සයට අවුලක් නෑ. එක දවසෙන් දෙනවා. හතර දෙනෙක් ඉන්ටඩික් කළා. ඊට පස්සේ එතන හිටපු මම අඳුනන මහත්තයෙක් කීවා අඹන්වෙල මහත්තයා මෝටර් රථ එකේ තියෙන්නේ භයානක මාෆියා එකක්. ආයෙ නම් එන්න එපා. ආවොත් කුණු ඇලේ තමයි යන්න වෙන්නේ කියලා. ඔය 1995 එහේ ගියේ. ඕනෑම ගනුදෙනුවක් ගැන හොඳට බැලුවොත් පේනව මේක මෙහෙම බැලුවොත් හොඳයි කියලා. ඊට පස්සෙ මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන භාරව ගියා. මට මතකයි සෑම පළාත් පාලන ආයතනයකටම අධිභාර දෙක තුන පැනෙව්වා. මාතලේ ප්‍රාදේශීය සභාවේ ඉදිකිරීමක් බලන කොට ඒකේ පදනමේ කොන්ක්‍රීට් දාලා තිබුණෙ නෑ. මේක බලනවට සභාපති විරුද්ධ වුණා. ඒත් අපි හාරල බැලුවා. එහෙමම ඩයිනමයිට් වගයක් ගෙනල්ලා තිබුණා. ගල් වළකට ඩයිනමයිට් ගොඩක්. පොතේ බලපුවහම කිලෝ 22ක්. ඒ කාලෙ ත්‍රස්තවාදී කලබල කාලේ. මම කතා කළා ගොපල්ලව කියලා එහෙ හිටපු එස්එස්පීට. එයා කීවා ඔච්චර නම් ඩයිනමයිට් තිබෙන්නෙ විදියක් නෑ කියලා. එයාටත් පුදුමයි කීවා. පොතේ කිලෝ 22ක් තිබුණට කිරල බලපුවහම 18යි තියෙන්නේ. කිලෝ හතරක් නෑ. අහපුවහම සභාපතිතුමා අරන් ගියා කීවා. විගණන විමසුම දැම්මා. එස්එස්පීටත් කොපියක් එක්ක. පොලිසියෙන් ඇවිල්ලා සභාපති අත්අඩංගුට ගත්තා. ඊට පස්සෙ සභාපති මාව මරණව කියලා තර්ජනය කළා.

ඊට පස්සෙ මධ්‍යම පළාතේ අධ්‍යාපනය භාර ප්‍රධාන විගණන නිලධාරියා හැටියට ආවා. මට වගකීමක් වගේ තිබුණු මේක රාජකාරිය කරන්න. ගුරුවරුන් වැටුප් වර්ධක, උසස්වීම් ණය ගන්න ඒව නොයෙකුත් කාරණා කරගන්න ඒවා වෙන්නෙ නෑ. නිලධාරීන් සාධනීය ලෙස මේවට මැදිහත් නොවන බව මම දැක්කා. පස්සෙ මේකට හොඳ වැඩපිළිවෙළක් කළා. අනෙක තමා දවල් 12 වෙනකොට හුඟ දෙනෙක් නගරෙට යනවා. පස්සෙ මම සියලුම පැමිණීමේ ලේඛන මගේ මේසෙ උඩ ගෙනත් තියනවා. මම කාර්යාලයේ නැතිවුණත් මගෙ කාර් එක තියෙනව නම් කට්ටිය වැඩ. මට එයාල කීවේ සුළි සුළඟ කියලයි. මුණසිංහ කියල මහත්තයෙක් හිටියෙ. එයා මගෙත් ගුරුවරයෙක්. මම උසස් පෙළ ලියලා චාටර්ඞ් කරන කොට ප්‍රාථමික විභාගයට ඉගැන්නුවෙ මෙයා.

මම කිව්වා සර්ව මම දන්නවා. සර් මට උගන්නල තියෙනවත් කිව්වා. හරි සතුටුයි එයාට. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව කියලත් එයා කීවා. මම පොඞ්ඩක් බලන්නම් සර් කියලා වවුචර් සාම්පල් එකක් අරගෙන බැලුවා. බලපුවහම ඔක්කොම හොර අත්සන්. මම එයාට කතා කරලා කීවා ඔයාට කිසිම සමාවක් දෙන්න පුළුවන්කමක් නෑ කිව්වා. ඊට පස්සෙ ගැඹුරින් විගණනක් කළා. ගුරුවරු සිය ගාණක් ගෙනල්ල කටඋත්තර ලිව්වා. වවුචර් දිහා බලලා හොඳ වවුචරයයි, හොර වවුචරයයි තේරුවා. වංචාව ලක්ෂ 87ක්. දැනටමත් ඒක පොදු දේපළ පනත යටතේ නඩුවක් යනවා. අධ්‍යාපනයේදී ඔඩිට් කවරි සිය ගාණක් දැම්මා.

ඇසිඞ් ප්‍රහාරය එල්ල වුණේ කොහොමද?

අධ්‍යාපනයේදී තවත් වංචාවක් ඇල්ලුවා. ඒක ටෙන්ඩර් එකක් ගැන. මේ සිද්ධියේදී තමයි මඩ ඇසිඞ් ගහන්නෙත්. ටෙන්ඩර් එකක් කැඳවලා තියෙනවා. ප්‍රොසීඩියර් එකට වැඩක් වෙලා තියෙනවා. හැබැයි පොඩි අඩුවක් තිබුණා මම දැක්කා. මේකට ටෙන්ඩර් හතරක් හම්වෙලා තිබුණා. ෆයිල් එක ගෙන්නල බැලුවා. ටෙන්ඩර් ලිපි දාපු ලියුම් කවර ෆයිල් එකක් තිබුණා. හැබැයි මේ ලියුම් කවර නවල නෑ. ඒ කියන්නේ ්4 ප්‍රමාණයේ ලියුම් කවරයක් නමන්නේ නැතිව ටෙන්ඩර් පෙට්ටියට දාන්නත් බැහැ. ෆයිල් එක භාර කෙනා ගෙන්නල ඇහැව්වා. මේ ලියුම් කවර එක පාරක්වත් නැමිල නෑනේ ඒ ඇයි කියලත් ඇහැව්වා. මේක නමන්නෙ නැතිව ටෙන්ඩර් පෙට්ටියට දැම්මෙ කොහොමද කියලත් ඇහැව්වා. ටෙන්ඩර් ලිපිකරු හිටියේ ස්වර්ණලතා කියල කෙනෙක්. එයා ගෙන්නල ඇත්ත කියන්න කිව්වා. සර් ඕක චීෆ් එකවුන්ටන් ළඟ තිබිල දුන්නේ. අනෙක් අය අත්සන් කළා. ඕපන් කළේ නම් නෑ තමයි කියල එයා කිව්වා.

ඊට පස්සේ මගේ සහායකයත් සමග ගිහින් ටෙන්ඩර් දාපු ආයතන මොනවද කියල බැලුවා. තේ කඩයක්, එකක් රෙදි කඩයක්, එකක් බෞද්ධ මන්දිරය. අනෙක ගලේවත්ත කටුගස්තොට කියල ගෙදරක්. ඒකට තමා ටෙන්ඩර් එක දීල තිබුණෙ. ඒ ගෙදර මහනුවර මහ නගර සභාවෙ නියෝජ්‍ය නගරාධිපතිගෙ ගෙදර. එයාගෙ පුතාට තමයි ටෙන්ඩර් එක දීල තියෙන්නේ. ඒක නගර සභාවේ ලියාපදිංචි ව්‍යාපාරික ස්ථානයකුත් නෙවෙයි. මේක පරිගණක මිලදී ගැනීමක් සම්බන්ධ ටෙන්ඩරයක්. ්ෘඊ ප්‍රොජෙක්ට් එහෙකට ලැබුණු පරිගණක පස්සෙ කාලයකදී අලුත් කොටස් සවිකරන්නයි ටෙන්ඩරය ප්‍රදානය කරල තිබුණෙ. දීල තිබුණෙ ඒ කාලෙ හොඳම තාක්ෂණය තිබුණ අයිබීඑම් කොම්පියුටර්. ටෙන්ඩරය දීල තිබුණෙ තිබෙන තත්ත්වයෙන් උසස් කරන්න කියලා. ඒක තිබුණ තාක්ෂණය අනුව එහෙම කරන්න බැරි එකක්. මෙයාල කරපු දේ මේකට වෙන මැෂින් එකක් දාල තිබුණෙ ලෝකල් එසැම්බල් කරපු. හොඳ මැෂින් එක ඒ අය අරගෙන ගිහින්. සිල්වෙස්ටර් ඉස්කෝලෙට ගිහින් බැලුවා එකක්වත් වැඩ කරන්නේ නෑ. ගිහින් එක මැෂින් එකක් ගලවල බැලුවා. ඇතුළෙ මොකුත් නෑ. මේකට ඔඩිට් ක්වයරි එකක් දැම්මා ගෙවීම් අත්හිටෙව්වා. ඕකට ලොකු ප්‍රශ්නයක් වුණා. මේ අය තීරණය කළා මට ඇසිඞ් ගහන්න කියලා. ආරංචියක් මට ආවා. හැබැයි මම ගණන් ගත්තෙ නෑ.
2002 මැයි 20දා (කාරකේ ඒසී නැති නිසා වීදුරුව ඇරගෙන ගියේ) ත්‍රීවිල් එහෙක ඉඳලා සරස් ගාලා ඇසිඞ් ගැහැව්වා. කට්ටිය මාව හොස්පිට්ල් එකට ඇඞ්මිට් කළා. ඩොක්ටර් සමන් සේනානායක කියන්නේ මගේ බොහොම හිතවත් වෛද්‍යවරයෙක්. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා ඒ වෙනකොට ෆ්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකේ ඉඳල තියෙන්නේ. එයා ඒක නතර කරලා මාව බලන්න ආවා. එයා කරන්න පුළුවන් උපරිම උත්සාහයකළා. කොහොමටත් මගෙ එක ඇහැක් අයින් කරන්න වුණා.

ප්‍රතිකාර සඳහා ඉන්දියාවෙන්, ඊට පස්සෙ ප්‍රංශයටත් ගියා. මේකට මගේ දෙපාර්තමේන්තුව විශාල විදියට මැදිහත් වුණා. මායාදුන්න මහත්තයා, මොහොට්ටාල මහත්මයා වගේ අය ගොඩාක් උදව් කළා. මගෙ නිලධාරීන් සියලුදෙනාම මේකට මැදිහත් වුණා. රාවයෙ කර්තෘ වික්ටර් අයිවන් මහත්තයා මේකට මැදිහත් වුණා. අනෙක් මාධ්‍යයත් එහෙමයි. ප්‍රංශයේ යන්න ගොඩක් මැදිහත් වුණ දෙන්නෙක් තමයි රංජිත් සියඹාලපිටිය හා සරත් අමුණුගම මහත්තුරු.

ඊට පස්සේ 2007 තමයි නැවත වැඩට ගියේ. මගේ නෝන මහත්තයා නම් යන්නම එපා කිව්වා. ඒත් මම ආයේ වැඩට ගියා.

කොහොමද ඔබේ විවාහය සිදුවෙන්නේ?

කෘෂිකර්මේ වැඩ කරන කාලේ. එතන වැඩ කරපු ගෑනු ළමයෙක් දවසක් කෑම කාලා කෑම ඔතාගෙන ආපු කොළ කුණු කූඩෙට දාන්න ආවා මම දැක්කා. එයා ඒවා දාපු පිළිවෙළටම මගෙ හිත ඇදිල ගියා. මම හොයල බලලා අදහස ඉදිරිපත් කළා. වැඩිකල් නොගොස් අපි විවාහත් වුණා.