ඩාවුඩි බෝරා ඔයින් ගියා ඇති

සටහන ඡායා-ශ්‍රීලාල් සෙනෙවිරත්න

“ක්‍රිකට් ක්‍රීඩාව සමඟ නිතරම ලංකාවේ නම කියවෙනවා. ත්‍රිකුණාමලය ගැනත් අහලා තියනවා, මේ සමුළුව නිසා කොළඹ ගැන දැනගෙන හිටියා. ඒ හැර ලංකාවේ වෙනත් තොරතුරු ගැන දැනීමක් මට තිබුණේ නෑ. අප්‍රේල් මාසයේ බෝම්බ පිපිරීමක් වුණා කියන එක සමාජ මාධ්‍යවලින් දැනගෙන හිටියා. ඒ නිසා මේක නියමිත විදිහට කොළඹ තියන්න ලැබෙයිද කියන එක ගැන අපිට සැකයක් තිබුණා. නමුත් වැඩිහිටියන් පිරිසක් එක්ක එන නිසා මෙහෙ එන්න බයක් දැණුනේ නෑ.”

ඈ විසිඑක් හැවිරිදි ඉන්දීය ජාතික තරුණියකි. උපාධිධාරිනියකි. ඩාවුඩි බෝරා ප්‍රජාවේ සාමාජිකාවක වන ඈ සිය පවුලේ සාමාජිකයන්ද සමඟ ලංකාවට පැමිණ සිටියේ බෝරා සමුළුවට සහභාගිවීම සඳහාය. ඈ හා කතාබහකට ලියුම්කරු මඟ පාදා ගත්තේ බෝරා සමුළුවේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක වූ ශ්‍රී ලාංකේය බෝරා තරුණියක මගිනි. ඕ අපගේ භාෂා පරිවර්තිකාව ලෙසින්ද කටයුතු කළාය.

කතාබහ ආරම්භ කළ අවස්ථාවේ සිටම එය ඇසෙන මානයේම බෝරා සමුළුවේ සංවිධායකයන් වූ ශ්‍රී ලාංකේය බෝරා තරුණයන් කිහිප දෙනෙක් ද විමසිල්ලෙන් සිටියහ. ඔවුහු රැඳී සිටියේ අපගේ කතාබහ නිරීක්ෂණය කරමින් බව දැනගන්නට ලැබුණේ තරුණිය හා කතාබහ ආරම්භ කොට සුළු වෙලාවක් ගිය තැනදී ය. ප්‍රවේශයක් ලෙස ඇය සහ ඇගේ පවුල පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්නැයි ලියුම්කරු ඇගෙන් ඉල්ලා සිටි පසුව ය.

ඇය ඒ විස්තර කීම ආරම්භ කළාය. එහෙත් අවසන් කරන්නට ලැබුණේ නැත. ඇයගේ කතාව අතරට පිවිසි තරුණයෙක් ඇයගේ පවුලේ තොරතුරු අහන්නේ කුමකටදැයි ලියුම්කරුගෙන් විමසුවේය. මේ අවස්ථාවට අදාළ නොවන එවැනි තොරතුරු පිළිබඳ විමසීම් නොකරන මෙන් ඉල්ලා සිටි ඔහු කියා සිටියේ සමුළුවේ ආහාර පාන පිළිබඳව ඇගෙන් විමසන ලෙසිනි.

ලියුම්කරු කැටුව ගිය සංවිධායකයෝ ද, ලියුම්කරු සමඟ කියන තරමක් කීවේ සමුළුවේ ආහාර පාන සැපයුම සහ කළමනාකරණය ගැනමය. වෙනත් විස්තරයක් විමසන සෑම විටකම පාහේ එය මඟහැර ගොස් නැවතත් ආහාර පාන ගැන කතාවටම ඔවුහු පිවිසිය හ.

“මේ බලන්න, දහස් ගාණක් මෙතන ඉන්නවා, පාරේ එක ටොෆි කොළයක්වත් තියනවාද කියලා බලන්න. නෑ නේද?”
ප්‍රධාන මාර්ගෝපදේශකයා වූ ෂබීර් බම්බලපිටිය පල්ලියෙන් පාරට බැස්සේම එසේ කියාගෙනය. එතැන් සිට, සුමුළුවට සහභාගි වීමට පැමිණ සිටින අයට ලැබෙන ආහාර පානවල ඇති සුවිශේෂී ලක්ෂණ, ආහාර අපතේ නොයැවීම, අපද්‍රව්‍ය කළමනාකරණයේ විධිමත් බව ආදී ආහාර පාන ගැනම වූ බොහෝ දේ කියමින් ඔහු ගාලුපාරේ සිට මුහුදු මාර්ගය වෙතටද, මුහුදු මාර්ගය ඔස්සේ වැල්ලවත්ත දෙසටද සෑහෙන දුරක් ලියුම්කරු කැටුව ගියේය. ගමනාන්තය වූයේ සමුළුවට සහභාගි වූ බෝරා ප්‍රජාව දහවල් ආහාරය ගැනීම් සිදුකරන විශාල ශාලාවකි. සමුළුවට සහභාගි වීමට විදේශයන්ගෙන් පැමිණ සිටි විශාල පිරිසක් එහි දහවල් ආහාර වේල සඳහා සූදානම් වෙමින් සිටියහ. තාවකාලික ඉදිකිරීමක් වූ එම ශාලාවේ බිත්ති පුරා දක්නට ලැබුණේද ආහාර පාන පිළිබඳ කරුණු සඳහන් විවිධාකාරයේ දැන්වීම්ය.

“තැඹිලි ගෙඩි ලක්ෂ දෙකක් මේකට ගෙනාවා. ගේන කෙනාට අපි කිව්වා ඔක්කොම කෝම්බ කපලා වළලන්න ඕනේ කියලා. නැත්නම් අපිට එපා කියලා. එයා ඒක කරන්න පොරොන්දු වුණා. කිසිම පරිසර දූෂණයක් වෙන්න අපි මෙතැන ඉඩ තියන්නේ නෑ. බලන්න අපේ අය කෑම කනකොට එක බත් ඇටයක්වත් ඉතිරි කරන්නේ නෑ. බෙදා ගන්න ඔක්කොම කන්න ඕනේ. ඒකයි ඉස්ලාමය”

ලියුම්කරු ඉන්දීය තරුණිය හා කතාබහට යොමුවුණේ ෂබීර්ගේ මේ තොරතෝංචියක් නැති විස්තර කිරීම්වලින් මොහොතක විරාමයක් ලද අවස්ථාවක ය.
සිංහල පාඨකයන් මේ අවස්ථාවේ වැඩි උනන්දුවක් දක්වන්නේ සමුළුවේ ආහාර පාන කළමනාකරණය ආදී දේ ගැන දැන ගැනීමට නොවන බවද, මෙහි පැමිණ සිටින පිරිස, ඔවුන්ගේ ආකල්ප සහ අරමුණු ආදිය දැනගැනීමට බවද සංවිධායකයන්ට පැහැදිලි කර දී, තරුණිය සමඟ කතාබහ ඉදිරියට ගෙන යාමට ලියුම්කරු නැවත ඈ වෙතට යොමු විය.

තරුණිය ඉහතින් දැක් වූ අදහස් පළකළේ පසුගිය පාස්කු ඉරුදින ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳව ඇය දැන සිටියේදැයි ඇගෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙනි. සාකච්ඡාව ඉදිරියට ගෙනයා යුතුව තිබුණේ එතැන් සිටය. එහෙත් ලියුම්කරුට ඊළඟ ප්‍රශ්නයට යොමුවීමට අවස්ථාවක් නොලැබුණි. නැවතත් සංවිධාකයක තරුණයාගේ මැදිහත්වීමකි.
“අපි අද කතා කරන්නේ ෆුඞ් ගැන විතරයි. අපි ආහාර අපතේ යවන්නේ නෑ. කෑමට පුළුවන් තරමක් පමණයි අපි බෙදාගන්නේ. බෙදාගන්න සියල්ල බත් ඇටයක්වත් ඉතුරු නැතිව කන්න ඕනේ. කෑමෙන් පසුව ඉතිරි වෙන දේවල් තැන් තැන්වල දාන්න බෑ. ඒවා දාන්න වෙනම කසළ භාජන තියා තිබෙනවා. මේ වගේ කතා කරන්න ගොඩාක් දේවල් මෙහි තියනවා. අද දවස වෙන් කරලා තියෙන්නේ ඒවා ගැන කතා කරන්න විතරයි. වෙනත් දේවල් කතා කරන්න නම් වෙනම අවස්ථාවක් පසුව යොදාගන්න වෙනවා. ඒ නිසා අපි මෙයාව නිදහස් කරමු.”

කතාබහට එක්ව සිටි තරුණිය දෙසට හැරී ඔහු පැවසීය. මෙහිදී මේ තරුණයාත් ඔහු සමඟ සිටි අනෙක් පිරිසත් හමුවේ තරමක් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට ලියුම්කරුට සිදුවිය. ලංකාවේ පවතින වත්මන් තත්ත්වයත්, අපගේ පාඨක පිරිසත්, බෝරා සමුළුව මුල් කොට ගනිමින් පැතිරෙන විවිධ කටකතා ආදියත්, එහිලා සමාජයේ මතුවන සැක සංකා දුරු කරලීමේ අවශ්‍යතාවත් ආදී දේ පිළිබඳව පැහැදිලි කිරීමෙන් පසු ලියුම්කරු කියා සිටියේ ඒ සඳහා විදේශයන්ගෙන් පැමිණ සිටින බෝරා ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ නිදහසේ කතා බහ කිරීමට අවස්ථාවක් අවශ්‍ය වන බවය. බෝරා තරුණ ප්‍රජාවේ අදහස් දැනගැනීම වඩා වැදගත් වනු ඇති බවය. අපගේ මැදිහත්වීම ඔවුනට පැහැදිලි වුවත් මේ අවස්ථාවේදි එවැනි සාකච්ඡා පැවත්වීමට අවසරයක් නොමැති බව ඔවුන්ගේ ස්ථාවරය විය. තරුණිය සමඟ කළ සංවාදය ඉන් අවසන් විය.
ලියුම්කරු බෝරා සමුළුවේ මාධ්‍ය ආවරණ කටයුත්තට යොමුවූයේ එහි මාධ්‍ය ඒකකයෙන් ලැබුණු ඉල්ලීමකට අනුවය. පුරා දින 9ක් ලංකාවේ පැවැත්වුණු මේ සමුළුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වෙනම මාධ්‍ය ඒකකයක් ද ස්ථාපිත කරනු ලැබ තිබිණ.

සමුළුවට නිමිත්ත වී තිබුණේ බෝරා ප්‍රජාව අදහන ඉස්ලාමයට අනුව නව වර්ෂයක ආරම්භය සහ ආධ්‍යාත්මික නායකයෙකුගේ පවුලක් ඝාතනය වීමේ ශෝක කාලය සැමරීමය. බෝරා ප්‍රජාවේ දින දර්ශනයට අනුව නව අවුරුදු උදාව සිදුවන්නේ අගෝස්තු 31 වෙනිදාය. එදින සිට දින දහයක් “අෂාරා මුබාරකා” යනුවෙන් හැඳින්වෙන අතර එම කාලය නබි මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාගේ සහ ඔහුගේ මුණුබුරා වන ඉමාම් හුසෙයින් සිහි කිරීම සඳහා කැප කරන කාලපරිච්ඡේදයකි. ඔවුන්ගේ ඉතිහාසයට අනුව එම පවුල විරුද්ධවාදීන් අතින් ක්‍රෑර ආකාරයේ සමූල ඝාතනයකට ලක්ව තිබේ. ජේසුතුමන් කුරුසියේ ඇණගැසීම කිතුනුවෝ යම් සේ ශෝක දින ප්‍රකාශ කොට සමරන්නේද, බෝරා ප්‍රජාව මේ ඝාතනය සමරන්නේද ඊට සමාන ආකාරයෙනි.

සමුළුව මැනවින් සංවිධානය කරනු ලැබ තිබුණි. විසිඑක් දහසක පමණ විදෙස් ප්‍රජාවක් දින 9ක් පුරා එක් ස්ථානයකට රැස්වන මෙවැනි සමුළුවක් කුඩා භූමි භාගයක් තුළ සංවිධානය කිරීම සැබැවින්ම අභියෝගාත්මක ය. එය වඩාත් තීව්‍ර වන්නේ රට තුළ පවතින ආරක්ෂක තත්ත්වයත් සමඟිනි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව ආශ්‍රිත සිදුවීම්වලින් පසුව සිංහල-මුස්ලිම් ජනතාව අතර පැවැති සුහදතාව බරපතළ ආකාරයේ බිඳ වැටීමකට ලක්ව අවිශ්වාසයේ අවතාර සෑම තැනකම හොල්මන් කරමින් පවතින්නේය. සමුළුව සම්බන්ධයෙන් වන නිශේධනාත්මක ආරංචි විවිධාකාරයෙන් සමාජගත කිරීමටද ඇතැම් පාර්ශ්ව ක්‍රියා කළේය.

සමුළුවේ න්‍යාය පත්‍රය සකස් වී තිබුණේ පෙරවරුවේ ආගමික දේශනා සහ ඉන් අනතුරුව සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් වෙනුවෙනි. එම කටයුතුවලදී ජනතාවට විවිධ ආකාරයෙන් සහාය වීමට බෝරා ප්‍රජාවේ ස්වේච්ඡා සංවිධාන සිය සාමාජිකයන් යොදවා තිබුණේ විශේෂිත නිල ඇඳුම් ද සහිතවය. ඔවුන්ගේ ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය තුළ විසිරුවා හරිමින් ඇතැමෙක් කියා තිබුණේ බෝරා පොලිසිය රටට ගොඩබැස ඇති බවය. බම්බලපිටියේ ක්‍රියාත්මක කෙරෙන්නේ බෝරා පොලිසියේ නීතිය බවය. සහරාන්ලා මදිවට බෝරාලාත් මාතෘභූමිය අල්ලා ගන්නට යන බවට වන අනතුරු ඇඟවීම් ද ඒ අතර විය. මව්බිම පුවත්පත මුල් පිටුවේ පුවතක් පළකරමින් සත්ව අවිහිංසා සංවිධානයක් උපුටා දක්වමින් කියා තිබුණේ බෝරා සමුළුව නිසා කොළඹ ගව සංහාරයක් සිදුවන බවය. නීති විරෝධීව කරන මෙම ගව සංහාරය සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිදැල්ලේ සිටින වසු පැටවුන්, එළදෙනුන්, ගැබ්බර එළදෙනුන් පමණක් නොව රෝගාතුර ගවයන් ද අමානුෂික ලෙස ඝාතනය කරනු ලබන බවය. මේවාද සමුළුවේ සංවිධායකයන්ගේ අවධානයට ලක්වන්නට ඇතැයි සිතිය හැකිය. සමුළුව තුළ රටට අහිත කර කිසිවක් සිදු නොවන බව ජනතාවට කියන්නට ඔවුන්ට දැඩි උවමනාවක් ඇතිවන්නේ ඒ නිසා විය හැකිය.
“මේ ඇවිල්ලා ඉන්නේ හිඟන්නෝ නෙවෙයි. ඒ රටවල හොඳ ආර්ථික ශක්තියක් තියන අය. හැම කෙනෙක්ම වගේ සාර්ථක ව්‍යාපාර කරන අය. රට අල්ලගන්න නෙවෙයි මේ අය ඇවිල්ලා ඉන්නේ. මේ සමුළුව ලංකාවේ තියන්න සංවිධාන කටයුතු ආරම්භ වෙන්නේ පාස්කු බෝම්බ පිපිරීමටත් කලින්. 2008 වසරේදිත් මේ සමුළුව ලංකාවේ පැවැත්තුවා. මෙහෙ නැත්නම් ලෝකේ වෙන කොහෝ හරි රටක වාර්ෂිකව මේක පවත්වනවා.”ඒ, ෂබීර් ය.

ඩාවුඩි බෝරා ප්‍රජාව ෂියා මුස්ලිම් ප්‍රජාවේ එක් නිකායකි. ලොව පුරා විවිධ රටවල ඔවුහු දිවි ගෙවති. 53 වන අල් -දායි අල් – මුත්ලක්, වන ශුද්ධ වූ නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් විසින් මෙම ප්‍රජාව සඳහා නායකත්වය දෙනු ලබයි.

කොළඹ නගරයේ ඩාවුඩි බෝරා සාමාජිකයින් 2500 ක් පමණ පිරිසක් ජීවත් වෙති. බෝරා ප්‍රජාවේ බොහෝ සාමාජිකයින් වෙළෙඳ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූ පුද්ගලයෝ වෙති. ශ්‍රී ලංකාවේ බෝරා මස්ජිද් පල්ලි 4 ක් තිබෙන අතර කොළඹ තිබෙන හුසෙයිනි මස්ජිද් පල්ලිය ඉන් විශාලතම එක ලෙස සැලකේ. ඩාවුඩි බෝරා ප්‍රජාවේ ලාංකේය ඉතිහාසය වසර 150 ක් පමණ ඈතට දිව යන අතර වර්ෂ 1830 දී ගුජරාටයේ කුච් හි සිට පැමිණි ජැෆර්ජි එසාජි ශ්‍රී ලංකාවේ පළමු බෝරා සාමාජිකයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
බෝරා ප්‍රජාවේ මුල් බිම වශයෙන් පිළිගන්නේ ඉන්දියාවේ ගුජරාටය යි. ඉහළ තලයේ ව්‍යාපාරික ප්‍රජාවක් වන ඔවුහු ඉස්ලාමය නව ලෝකයට අනුව ගළපා ගනිමින් අදහන්නට උත්සාහ දරන ආකාරයක් දැකිය හැකිය. පිරිමින් සමඟ බෝරා කාන්තාවෝද සමව ආගමික වතාවත්වලට එක්වන අතර කාන්තාවන්ගේ ඇඳුමද වහාබ්වාදය විසින් හඳුන්වාදී ඇති කළු ලෝගුවලට වඩා සිත්ගන්නාසුලුය. වර්ණවත්ය.

ලියුම්කරු මාර්ගෝපදේශකයෝ මඳක් මඟහැර විදේශීය තරුණයන් දෙදෙනෙකු සමඟ කතාබහකට මුල පිරුවේය. ඔවුන් දෙදෙනා ද ගුජරාටයෙන් පැමිණි අය වූහ. තරුණයන් දෙදෙනා අතරින් එක් අයෙක් කතාබහට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. අනෙක් තරුණයා හොඳින් කතාබහ කළේය. ඒ අතර කතාබහට වැඩි කැමැත්තක් නොදැක්වූ තරුණයා හදිසියේම එම ස්ථානයෙන් ඉවත්ව ගියේය. ඉක්ම ගියේ මිනිත්තු කිහිපයකි. සමුළුවේ මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් ලියුම්කරු වෙත පැමිණියේය. ලියුම්කරු අනවශ්‍ය ප්‍රශ්න ඇසීම් කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බව දැන්වූ හෙතෙම එසේ කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක් ද කළේය. කතාබහ කරමින් සිටි ගුජරාට තරුණයාද එම ස්ථානයෙන් කඩිනමින් ඉවත්ව ගියේය.

සිංහල ජනතාව මුස්ලිම් ජනතාව දෙස බලන සැක මුසු ආකාරයෙන්ම මේ බෝරා ප්‍රජාව ද ලාංකිකයන් දෙස බලන බව මෙයින් ද පැහැදිලි විය.
බෝරා සමුළුව, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු ඇද වැටී තිබූ සංචාරක ව්‍යාපාරයට ඔක්සිජන් දෙන්නට යොදාගත හැකිව තිබූ ඉතා හොඳ අවස්ථාවක් වුවද දෙපාර්ශ්වය අතරම සැරි සැරූ අවිශ්වාසයේ අවතාර විසින් ඒ අවස්ථාව අහිමි කරනු ලැබ තිබිණ. බම්බලපිටිය කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරයට විශාල අදායමක් උපයාගත හැකි වුවද එතැනින් එහාට එය ව්‍යාප්ත කිරීමට සංචාරක මණ්ඩලයට පවා හැකියාව ලැබී නොතිබුණු බව සමුළුව අවසානයේ අනාවරණය විය. සමුළුව අවසානයේ බොහෝ පිරිසක් කඩිනමින් ආපසු සිය ගම්බිම් බලා පිටත්ව ගොස් තිබූ අතර රට තුළ සංචාරය කිරීමට කැමැත්තක් දැක්වූ පිරිසටද අවශ්‍ය පහසුකම් සපයන්නට බලධාරීන් අසමත්ව ව තිබිණ. ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 1800ක් පමණ රට තුළ සිටියද බෝරා ප්‍රජාව රට අභ්‍යන්තරයේ කළ සංචාර සඳහා ඔවුන්ගේ සේවය නොලැබුණු බව ශ්‍රී ලංකා ජාතික මාර්ගෝපදේශක ආයතනය පවසා තිබිණ.

කෙසේ වුවද අන්තවාදය හිස ඔසවා තිබෙන අඳුරු කාලසීමාවක මේ ආකාරයෙන් හෝ බෝරා සමුළුව පවත්වන්නට හැකියාව ලැබීම වැදගත් කාරණයක් ලෙස සැලකිය හැකිය. කළුතර ප්‍රදේශයේ සංචාරය කළ බෝරා ප්‍රජාවේ පිරිසකට අන්තවාදීන් පිරිසකගෙන් එල්ල වූ විරෝධය හැර ඔවුනට එරෙහි බරපතළ සිදුවීම් කිසිවක් වාර්තාවී නොතිබුණි.