ක්ෂුද්‍ර මූල්‍ය පීඩාවට ගොදුරු වූ වැලිඔයේ ජීවිත කතාව

රසික ගුණවර්ධන

පිළිලයකින් ගසක් විනාශ කරන්නේ යම් සේද, එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිලයක් වී ගම්මාන විනාශ කරමින් තිබෙන්නේය. එහෙත් මේ වන තෙක් කිසිඳු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියකු මේ පිළිලය විනාශ කොට ගම්මාන වල ජීවිත රැක ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඒ හෙයින් මේ පිළිලය ගම් නියම්ගම් පුරා පැතිර යමින් සරුවට වැඩෙමින් පවතී.

ක්ෂුද්‍ර මූල්‍ය ණය නම් වූ මේ පිළිලය දැනට ජීවිත 179 බිලිගෙන අවසන්ය. පවුල් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කර අවසන්ය. පවුල් ලක්ෂ ගණනක කුටුම්භ විනාශ කර අවසන්ය. ගිණිය නොහැකි තරමක් බිරිදෑවරුන්ට ස්වාමිවරුන් ද ස්වාමියන්ට බිරින්දෑවරුන් ද දරුවන්ට දෙමාපිය සබඳතා බිඳ දමා අවසන්ය. එහෙත් ඉන් නොනැවතී මේ කරුම චක්‍රය තවත් ජීවිත සොයමින් සැරිසරමින් සිටී.

අප මීට පෙර ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු වූ මිනිසුන් සොයා වව්නියාව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ගල් ඔය ආදී ප්‍රදේශ වල සැරි සැරුවෙමු. මෙවර අප සොයා ගියේ වැලිඔය මිනිසුන්ගේ කතාවයි.

අපගේ ගමනාන්තය වූ වැලිඔය සපුමල්තැන්නට යන මාර්ගය වැටී ඇත්තේ වැලි ඔය යුධ හමුදා කඳවුර මැදිනි. එය පසුකර ගිය පසු වනාන්තරය මැදින් ඇදී ගොස් මානා කැලෑවක් මැදින් වැටී ඇති වංකගිරියක් වැනි මාර්ගයක් හරහා යා යුතුය. අප පැමිණි මාර්ගයේ පරාක්‍රමපුර පසු කළාට පසු යුධ හමුදා කඳවුර තුළ ඇති අවන්හලක් හැරුණු විට එකදු වෙළඳසැලැක් හෝ නොවීය. සපුමල්තැන්නේ එක් සිල්ලර බඩු කඩයක් ඇති බව එහි ගම් වැසියෝ අපට පැවසූහ. වනාන්තරයකින් වටවී කිසිඳු මූලික පහසුකමක් හෝ නොමැතිව ඒ ගෙවන ජීවිත සැබැවින්ම දුෂ්කරය.

හම්බන්තොටින් වැලිඔයට

සපුමල්තැන්නේ දැන් ජීවත් වන ගම්වාසීන් එම භූමියේ මුල් පාරම්පරික පදිංචිකරුවෝ නොවූහ. මේ මිනිසුන්ගේ මුල් ගම්මාන හම්බන්තොටය. හම්බන්තොට මිරිජ්ජවිලය. එනම් හම්බන්තොට වරාය පිහිටා ඇති ප්‍රදේශයේය. මොවුන් ඒ ප්‍රදේශ වල ජීවත් වූවද ඔවුන්ට එහි ඉඩම් තිබී නැත. ඒ නිසා එවකට පැවති රජය වූ මහින්ද රාජපක්ෂ රජය විසින් මොවුන් මේ ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇත. ඒ දෙදහස් දහතුනේ මැයි මස දහවැනිදාය. එසේ මොවුන් මිරිජ්ජවිල සිට මේ ප්‍රදේශ වලට ගෙනත් දමන්නේ අහස උසට පොරොන්දු ලබා දීය.
“අපිව මෙහෙට ගෙනාවෙ ඉඩම් දෙනවා, ලයිට් දෙනවා, ගෙවල් දෙනවා කියල. අපට කියල තිබ්බෙ ගෙවල් ඔක්කොම හදල තියෙන්නේ ගේ වටේ පොඞ්ඩක් සුද්ද කරගන්න කැත්තකුයි උදැල්ලකුයි ගන්න කියලා. හැබැයි අපි මෙහාට ඇවිල්ල අවුරුදු හතරකට පස්සේ තමයි ගෙයක් හම්බ වුණේ. ඒකත් ගෙයක් හදාගන්න කියලා ලක්ෂ පහක් දුන්නා. හැබැයි ලක්ෂ තුනක් විතර තමයි අතට හම්බ වුණේ. අපි මෙහාට එද්දි මේ ඉඩම් වල කණු හතරක් හිටවල තිබ්බා. ඊට පස්සේ අපට මහ වැලියෙන් තහඩු දොළහකුයි, කැත්තකුයි, උදැල්ලකුයි දුන්නා.” සම්පායෝ පවසයි.

දහසක් සම්පත් මවා එවකට පැවති රජය මොවුන් මේ ප්‍රදේශ වලට ගෙන ආවද අවසානයේ මොවුන්ට සිදු වූයේ සතා සර්පයා සිටින ඝන වනාන්තරයකට පැමිණීමටය. මෙහි මූලිය අවශ්‍යතා වන ජල පහසුව හෝ ලබා දී නැත. මොවුන් පානීය ජලය ලබා ගන්නේ කිලෝමීටර ගණනක් ඈතට ගොස් ලීටරයක මිල රුපියලක් බැගින් ගෙවමිනි.
“අපට මෙහාට ආවට පස්සේ මාස හයක් සහනාධාරයක් දුන්නා. වුණ එකම දේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ඇවිල්ලා ඒක තව මාස හයක් දික් කරලා දුන්න එක. අපට ගොවිතැනට ඉඩම් දීලා තිබුණට අපි මෙහාට ඇවිල්ල අවුරුදු හතරක් පෑව්වා. මහවැලියෙන් ඇවිල්ලා කියනවා අපිට වගා කරන්න කියලා. කොහොම හරි එයාල බීජ දෙන්නේ වැස්ස පටන් ගත්තට පස්සේ කන්නෙන් භාගයක් ගියහම. එතකොට ආයේ නියඟෙට අහුවෙනවා. ඊට පස්සේ අපිට වැවක් හදලා දෙනවා කියලා, මයින්න ඕනේ සුද්ද කරන්න කීවා. මේ ගෑනු අය ගිහිල්ලා ඔක්කොම සුද්ද කරා. ඒත් එක හීනයක් විතරයි. මේ වෙනකන් ඒ වැඬේ වෙලා නෑ. අපිට වැවක් තිබ්බා නම් ගොවිතැනක් කරගන්න පුලුවන්.” නන්දසේන කියයි.

ණය උගුල

“අපිට මෙහාට ඇවිල්ලා කරන්න දෙයක් තිබුණේ නෑ. ඉන්න තැනක් වත් හරියට නොතිබ්බ නිසා ඉන්න ගෙයක් හදා ගන්න එක තමයි මූලිකම දේ වුණේ. වතුර නැතුව ගොවිතැනක් කරගන්නත් නෑ, මේ පැත්ත ගැන අපි නොදන්න නිසා කොච්චර උත්සාහ කරත් රස්සාවක් හොයා ගන්නත් බැරි වුණා. අපි ජීවත් වුණේ හම්බ වුණ සහනාධාරයෙන්. මුලින් පොඩි කුලී වැඩ කරත් ඒවත් අන්තිමේ නැතුව ගියා. අන්තිමට ගෙවල් හදන්න නෙවේ එදිනෙදා කන්න බොන්නත් අමාරු වුණා.” සම්පාය කියයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල තැරැව්කරුවන් සපුමල්ගමට එන්නේ මේ අවස්ථාවේය. ඔවුහු ගමට පැමිණ මහා හීන මවා ගම්මානයේ කාන්තාවන් අවනත කර ගනිති. ඔවුන්ගේ සුරංගනා කතා හමුවේ ගමට ඔවුන් සුර දූතයන් සේ පෙනේ. ඉණික්බිති මේ සුර දූතයෝ ගමේ ගැහැනුන්ට ණය දෙති.
“ළමයි ඉස්කෝලේ යවාගන්න විදිහක් තිබ්බේ නෑ. ඉන්න ගෙයක් දොරක් තිබ්බෙත් නෑ. ඉතින් අපිට ණය දෙනවා කීවහම අපි ණය ගත්තා. ගෙවල් හදන්න කියලා නෙවේ ණය දුන්නේ ගෙවිතැන් කටයුතු වලට කියලා.” සුදර්මා කියයි.

ණය ගොවිතැන් කටයුතු සඳහා යැයි පවසා ලබා දුන්නද එය ගිවිසුමට පමණක් සීමා වන බව දෙපාර්ශ්වයම දන්නා කරුණකි. ණය ලබා දෙන ආයතන වලට වැදගත් වන්නේ ණයෙන් සිදුකරන දේ නොව ණය ලබා දීම පමණි.

ණයක් ලබාගෙන එය ගෙවීමට නම් ඒ සඳහා එම ණය ආයෝජනය කර එයින් මුදල් ඉපයිය යුතුය. එසේ නැතිනම් ණය ගෙවා දැමීමට තරම් ආදායම් මාර්ගයක් එනම්, රැකියාවක් තිබිය යුතුය. එහෙත් මේ ජනතාවට එවැනි කිසිවක් නැත. ඒ හෙයින් ඔවුහු ණය උගුලෙහි සිරවෙති.

“අපට කන්න බොන්නවත් තිබ්බේ නැති නිසා ණයට ගත්ත සල්ලිවලින් කෑවා. ළමයින්ව ඉස්කෝලේ යැව්වා. බෙත්හේත් ගත්තා. මුලින් කුලී වැඩ කරලා හරි හම්බෙන සල්ලි වලින් ණය ගෙව්වා. ඒත් පහුවෙනකොට කුලී වැඩත් නැතුව ගියාට පස්සේ ණය ගෙවා ගන්න බැරි වුණා.” තුෂාරි කීවාය.

තුෂාරි සේම බහුතරක් දෙනා මේ ණය යොදාගෙන ඇත්තේ සිය දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමටය. මෙය පැහැදිලිවම ක්ෂුද්‍ර මූල්‍ය භාවිතාවන් උල්ලංගණයකි. එහෙත් එහි වැරැද්ද මේ ණය ලබාගත් මිනිසුන්ගේ නොවේ. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේදී ඉතාම වැදගත් ලෙස අවධාරණය කරන්නේ “ණය නියාමනයයි”. එනම්, ණය ලබාදීමෙන් පසු සහ ඊට පෙර එම ණය ආයෝජනය කරන ආකාරය නිරීක්ෂණය කිරීම සහ කළමණාකරනය කිරීම වේ. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේදී එය ණය ලබා දෙන ආයතනය විසින් සිදු කළ යුතුය. එහෙත් අප සපුමල්ගම මිනිසුන්ගේන් ඒ පිළිබඳව විමසීමේදී එවැන්නක් ණය ලබා දීමට පෙර හෝ පසු කිසිඳු විටක ණය ලබාදෙන ආයතන හෝ වෙනත් කිසිවෙකු විසින් සිදු කර නොමැති බව තහවුරු විය.

තර්ජන

ක්ෂුද්‍ර මූල්‍ය තැරැව්කරුවන්ගෙන් සුපුරුදු පරිදි ලංකාවේ අනෙකුත් පළාත්වල සේම විවිධ තර්ජන සපුමල්ගම ගම් වැසියන්ටද එල්ල වී ඇත. ණය වාරික ගෙවීමට නොහැකි වන විට තැරැව්කරුවන් ගම්මාන වලට පැමිණ ණය ගෙවන ලෙසට බලකර සිටී. එහෙත් ණය ගෙවීමට මුදල් ගම්වැසියන් සතුව නොමැති බැවින් ඔවුන් ඉල්ලන විට ණය වාරික පියවීමට නොහැකිය. එවිට ණය තැරැව්කරුවන් හෙවත් ණය ලබාදෙන ආයතන වල නියෝජිතයෝ නිවෙස් වලට වී තර්ජනය කරමින් රැඳී සිටිති. එසේ මොවුන් සිටින්නේ පැයක් දෙකක් නොව වරු ගණන්ය.

එසේම ණය ගෙවීමට නොහැකි තැන මෙම නියෝජිතයන් ගම්වැසියන්ගේ ඉඩම් බලපත්‍ර රැගෙන ගිය අවස්ථා තිබේ. මේ ඉඩම් වල මොවුන් පදිංචි කළද මුලින්ම මේ ඉඩම් සඳහා ඔප්පු ලබා දී නොමැති අතර ඔවුන්ට ලබා දී ඇත්තේ ඉඩම් සඳහා බළපත්‍රය. කෙසේ වෙතත් කිසිවෙකුට ඉඩම් බලපත්‍රයක් පැවරිය නොහැකිය. එසේම කිසිවෙකුට වෙනත් අයෙකුගේ ඉඩම් බලපත්‍රයක් ලබාගත හැක්කේද නොහේ. එහෙත් මෙහිදී බලහත්කාරයෙන් තර්ජනාත්මක ලෙස ඉඩම් බලපත්‍ර ලබාගෙන ඇත. එසේ ඉඩම් බලපත්‍ර ලබාගෙන ඇත්තේ, එල්.ඕ.එල්.සී සමාගම, එලායන්ස් සමාගම, සනස බැංකුව ආදී ආයතන විසින්ය. මෙසේ ඉඩම් බලපත්‍ර ලබා ගැනීම පැහැදිලිවම නීතිය කඩ කිරීමකි.
“මගේ ඉඩමට දීලා තිබ්බ බලපත්‍රය එල්.ඕ.එල්.සී එකේ ධනුෂ්ක අරගෙන ගියා. දැන් සමහර අයට ඉඩමට ඔප්පු දීල තියනවා. මට මගේ ඉඩමේ ඔප්පුව ගන්න විදිහක් නැතුව ඉන්නේ එයාල මගේ ඉඩම් බලපත්‍රය අරගෙන ගිය නිසා” කුමාරි පවසයි.

තර්ජන එතැනින් නවතින්නේ නැත. රේණුකාට මුහුණ දීමට සිදුවූ සිදුවීම ඇය පැවසූවේ මෙසේය. ”මම සණසෙන් ණයක් ගත්ත. මම මුලින් ගෙවාගෙන ගියාට පස්සෙ මට ගෙවන්ඩ විදිහක් නැති වුණා. ඊට පස්සේ දවසක් සණසෙ අය නීතීඥයෙකුත් එක්ක ඇවිල්ල මගෙන් සල්ලි ඉල්ලල බල කරා. මගෙ අතේ එවලෙ දෙන්න සල්ලි තිබුණෙ නෑ. ඊට පස්සෙ එයාල ගෙදර බඩුමුට්ටු අරගෙන යන්න හැදුවා. මම එපා කීවා, ඊට පස්සේ මම ගෙදර ඔප්පුව දීල ඒක අරගෙන යන්න කීවා. එයාල ගෙදර ඔප්පුව බලලා ඒක මහත්තයගේ නමට තියන නිසා ඒක වැඩක් නෑ කීවා. පස්සේ නීතිඥ මහත්තය ලියුමක් ලිව්වා ගෙදර බඩු විකුණන්න කැමතියි කියලා. මට ඒකට අත්සන් කරන්න කීව. මම බෑ කීවට එයාල මට බලකරා. ළමයත් බයවෙලා අඬනව, අන්තිමට මට කරන්ඩම දෙයක් නැති තැන ඒකට අත්සන් කරා.”

“අපේ ළමයට ඉස්කෝලෙ යන්ඩ පොතක් අරන්දෙන්නවත් මගෙ ළඟ සල්ලි තිබ්බේ නෑ. තිබ්බ සල්ලි වලින් ණය ගෙව්වා. අන්තිමට පන්සලට ගිහිල්ල හාමුදුරුවන්ගෙන් පොත්ටිකක් ඉල්ලගෙන ඇවිල්ල තමයි ළමයව ඉස්කෝලෙ යැව්වේ.” සුදර්මා හැඬූ කඳුලින් පැවසුවාය.

රැකියාද, ආදායමක් ලබා ගැනීමට ගොවිතැනක් ද කර ගැනීමට නොහැකි තැන ණය උගුල ඔවුන්ගේ ජීවිත විනාශය කරා ඇද දමා තිබේ.
“සමහර දවසකට වතුර ටිකක් ගන්න රුපියලක් නැතුව ඉන්නවා. මෙහෙ තියන වතුර දරුවන්ට පොවන්න බෑ. වකුගඩු ලෙඬේ හැදෙනවා. අපි හම්බන්තොට ඉද්දි මේ මොන ලෙඩක්වත් තිබ්බේ නෑ. අපි මොනවහරි කරල ජීවත් වුණා. මෙහාට ආවට පස්සේ හැම ලෙඩක්ම පටන් ගත්තා. දැන් ගමේ ගොඩක් අයට වකුගඩු ලෙඬේ තියනවා.” තුෂාරි පවසයි.
බොහෝ දෙනෙකු සංවේදී වේ. සිය දරුවන් තුරුලු කරගෙන කඳුලු සලයි. ඔවුන්ට අනාගතය පිළිබඳව සැලසුම් සෑදිය නොහැකිය. ඔවුන් උදෑසන අවදි වූ විට දහවලද දහවල ගෙවී ගිය පසු රාත්‍රියද ගෙවා දැමීමේ බිඳුණු බලාපොරොත්තු වලිනි. එහෙත් ඔවුන් හම්බන්තොට සිට මෙහි පැමිණියේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය.

රැවටීම සහ අසරණකම

මොවුන්ගේ ජීවිත පිළිබඳව සොයා බැලීමට මෙහි එන පෞද්ගලික ආයතන හෝ රජයේ ආයතන නැත. ඒ නිසාම මොවුන්ට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හැඟීමක් නැත. ඒ හෙයින් ණය එකතු කිරීමට එන නියෝජිතයන් පවසන කාරණා සත්‍ය යැයි හිස් මුදුණින් පිළිගෙන ඔවුහු ඒ නියෝජිතයන් කියන දේවල් කරති. බණින බැණුම් කරබාගෙන අසා සිටිති. ඇතැමුන්ගෙන් මේ ආයතන හිස් කොළ වලට අත්සන් ගෙන ඇත. එසේම පළමු ණය ගිවිසුම වෙනුවට ගිවිසුම වෙනස් කර අත්සන් කර ඇත. ණය ලබා දෙන ආයතන මේවා සිදු කරන්නේ ඒවා සිදු නොකළහොත් නඩු දමන බවට බිය ගන්වමිනි. මේ අසරණ ගම්වැසියෝ ඒ බසට බියවී ඔවුන් කියන ඕනෑම දෙයක් සිදු කරති.
“අරෙහෙන් බයික් එකේ සද්දෙ ඇහෙනකොට අපි දුවනවා. ඊට පස්සේ එයාල ගෙදරට ඇවිල්ල ළමයින්ට බනිනවා. එයාල යනකන් සමහර වෙලාවට අපි කැලෑවෙ පැය ගානක් හැංගිලා ඉන්නවා.” රුවනි පවසයි.

“දවසක් ණය එකතු කරන්න එද්දි මට කීයක්වත් දෙන්න විදිහක් තිබ්බේ නෑ. අන්තිමට මම ගෙදරින් පැනලා ගිහිල්ල බෝංචි යායේ බිම නිදාගෙන හිටිය….” සුදර්මා පවසයි. ඇගේ ඇසඟින් කඳුලු වැටේ. “දැන් අපිට අපේ දරුවන්ටවත් මුහුණ දෙන්ඩ බෑ, අපි හොරු ගානට වැටිලා. ” සුදර්මා කියයි.

එසේම මෙම ණය දෙන ආයතන සෑම එකක්ම පාහේ ණය ලබාදෙන විට අත්සන් ලබාගෙන ඇත්තේ ඉංග්‍රීසියෙන් සැකසූ ගිවිසුම් වලටය. ඒවායේ කුමක් තිබුණා දැයි තමන් නොදන්නා බව ගම් වැසියෝ පවසති. එසේම මෙම ණය කණ්ඩායම් ණය එනම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස පවසා ලබා දී තිබුණද ඇතැම් ණය ලබා දී ඇත්තේ සාමාන්‍ය පෞද්ගලික ණයක් ලෙසය. එනම් ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියාපදිංචි වී නොමැති මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ණය යැයි පවසා පුද්ගලික ණය ලබා දීම සිදු කරයි. ඒ බව හෙලිවූයේ එච්. එන්. බී. ආයතනය විසින් එක් කාන්තාවකට විරුද්ධව නඩු පවරා ඇයට එවා ඇති සිතාසිය අනුවය.

එසේම මේ කාන්තාවන්ගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුණු ගිවිසුමකට අත්සන් ලබාගත්තද ඔවුන්ට එවා ඇති සිතාසියට අමුණා ඇති ණය ගිවිසුමේ සිංහල භාෂාවෙන්ද වෙයි. එහෙත් කාන්තාවන් පවසන්නේ එවැන්නකට ඔවුන් අත්සන් නොකළ බවයි. එසේම ඇතැම් කාන්තාවන්ට නීතීඥයන් මාර්ගයෙන් එවූ එන්තරවාසිද ඇත. එහෙත් ඒවායේ නිල මුද්‍රාවන් දක්නට නොමැත. ඒ අනුව විවිධ ආකාරයෙන් ණය ලබාදුන් ආයතන ගම්වැසියන්ව බිය ගැන්වීමට උත්සහ කරන බව පැහැදිලිය.

එසේම සපුමල්තැන්න ගම්මානයට තැපැල් පහසුකම් නොමැත. ඒ නිසා ඔවුන්ට ලිපි ලැබෙන්නේ නැත. ඔවුන් පරාක්‍රමපුරයට ගොස් ඒවා රැගෙන ආ යුතුය. ඒ නිසා ඔවුහු පිඩාවට පත්වෙති. ණය සම්බන්ධ ගැටලු වලට සමථ මණ්ඩලයට පැමිණෙන ලෙස දන්වා ඔවුන්ට එවනු ලබන ලිපි ඔවුන්ට ලැබෙන්නේ කැඳවීමේ දිනය පසුවූවාට පසුවය. ඒ නිසා සමථ මණ්ඩලය ඒවාට එකපාර්ශ්විකව තීන්දු දෙනු ලබයි.

සමස්තයක් ලෙස ගත් කළ දිවයින පුරාම පැතිර ඇති මේ අර්බුදයේ පැහැදිලිවම දැකගත හැකි පොදු සාධක කිහිපයක් පවතී.

එනම්,
1.කාන්තාවන් ඉලක්ක කරගනිමින් ණය ලබා දීම (ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ ප්‍රධානතම ලක්ෂණයයි.)
2.දරිද්‍රතාවෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම.
3.ණය ලබා දීමේ ක්‍රියාවලිය, පොලී ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම.
4.ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් යුක්ත වීම සහ එය කියවා පැහැදිලි කර නොදීම.
5.අධික පොලිය සහ දඩ පොලිය.
6.ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබා දෙන බව පවසා ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබා දීම.
7.ණය වාරික එකතු කිරීමට නිවෙස් වලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දවීම සහ බැණ වැදීම.
8.ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළ වලට අත්සන් ලබා ගැනීම.
9.නිවෙස් වල ඇති භාණ්ඩ ලබා ගැනීමට තැත් කිරීම.
10.ලිංගිකමය හිංසනයන් සිදු කිරීම.

කෙසේ වෙතත් රටේ මූල්‍ය විනය පිළිබඳව වගකිව යුතු පාර්ලිමේන්තුව සහ මහ බැංකුව මේ සම්බන්ධව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති වීම කනගාටුදායකය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට අනුව 2019 අගෝස්තු මස 30 වන දින වන විට බලපත්‍ර ලබාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගණන තුනකි. ඒවා නම්, බෙරෙබ්ඩිනා, ලක් ජය සහ දුම්බර යන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයි. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන බොහෝ ආයතන ගණනාවක් රටපුරා දැකගත හැකිය. ඒවා පවතින්නේ සැඟවී හොර රහසේ නොවේ. ප්‍රසිද්ධියේ නාම පුවරු එල්ලාගෙනය. රටක් ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය වංචාවන්ට සම්බන්ධ සිදුවීම් ගණනාවකට මුහුණ දී ඇතත් ඒවායින් හෝ ආදර්ශයක් ගෙන වගකිව යුතු ආයතන මේවා පිළිබඳව සොයා නොබැලීම කනගාටුවට කරුණකි. එසේම කාන්තා සංවිධාන කෙතෙක් පැවතියද මව්වරුන්ගේ ජීවිත උගසට තබනා මේ ක්ෂුද්‍ර මූල්‍ය අවභාවිතාව පිළිබඳව එකඳු කන්තා සංවිධානයක් හෝ ඉදිරිපත් නොවීමද කනගාටුදායකය.