මරණයට ළංවන දකුණු පිටිපන

දිනී ජයසේකර

කොළඹ දිස්ත්‍රික්කයේ මුහුදු හෙක්ටයාර් දෙසිය හැටනවයක (269) ප්‍රමාණයක් ගොඩ කරමින් ජාත්‍යන්තර මූල්‍ය නගරය (කොළඹ වරාය නගරය) ඉදිවෙමින් පවතියි. ඒ සමගම ගම්පහ දිස්ත්‍රික්කයේත් පුත්තලම් දිස්ත්‍රික්කයේත් මුහුදට ආසන්න ප්‍රදේශ කිහිපයක ප්‍රදේශවාසීහු තමන්ගේ වත්කම් මුහුදට බිලි දී කඳුළු බොමින් සිටිති. මීගමුව සහ පිටිපන වෙන්වන මීගමු කළපුවට උඩින් පිහිටා ඇති පිටිපන පාලමෙන් පිවිසි අප දකුණු පිටිපන බලා පැමිණියෙමු. මේ මොහොත වන විට මීගමු කළපුව යම් තාක් දුරකට ගොඩබිමක් ලෙස සැකසෙමින් පවතී. මේ හේතුවෙන් ධීවරයන්ගේ එදිනදා කළපු ජීවිතයද ඇන හිටිමින් පවතින බවක් අපට දිස්විණ. හේතුව ඔවුන් වෙනදා තරම් කාර්යබහුල නැත. තවද කළපුව සේ ම වෙරළාසන්න ජීවිතද පවතින මොහොත තුළ ඇත්තේ කිසිත් කරකියා ගත නොහැකි තත්ත්වයකය. මේ ඔවුන්ගේ කතාවය.

සුන්බුන්

“ජූලි 18 පාන්දර 04ට විතර ලොකු රළක් ඇවිත් අපේ ගේ සුන්බුන් වෙලා ගියා. අපි හිතන විදියට මේකට ප්‍රධානම හේතුව කොළඹ පෝට් සිටි එකට මුහුදෙන් වැලි ගන්න එක සහ ගත්ත එක. දැන් මුහුද එන්න එන්නම ගැඹුරු වෙනවා. ඒ නිසා වෙරළත් වෙනද වගේ නෙවේ. හොඳටම ඛාදනය වෙලා තියෙන්නෙ. මේ කාලෙට මුහුදත් හරි සැරයි. ඉතින් අපි හරි බයෙන් ඉන්නෙ. රෑට මේ ගෙදර ඉන්නෙ නෑ. දවල්ට විතරයි ඉන්නෙ. රෑට අපි දුවලගෙ ගෙදරයනවා.”‍ එසේ පැවසූවේ බැසිල් ප්‍රනාන්දුය. ඔහුගේ නිවස තනා ඇත්තේ පොල්අතු වලිනි. එය පුංචි හතරැස් පොල්අතු පැළකි. කෙළවරකට වන්නට ඇඳක් සහ ළිපක් තිබිණි. ඔවුහු පොල්අතු පැළ තුළම එදිනෙදා ආහාර පිස ගත් අතර තුන්වේලම එක වේලකින් පිරිමසා ගත්හ. අවුරුදු විස්සකට එහා පාරම්පරික උරුමයකට වගකියන ඔවුහු අද තම තමන්ගේ නිවාස මුහුදට බිලි දී එදෙස බලා හූල්ලමින් කල් ගෙවති. එය ඔවුන්ගේම වරදක් නොවන බවත් කිව යුතුව ඇත. ඒ ගැන බිජට් පිමාලි මෙසේ කීවාය. “අපි කලින් ජීවත් වුණේ මුහුදු ගිහින්. නමුත් දැන් මුහුදු යන්න විදියක් නැහැ. කලින් අපි මුහුද නිසා ජීවත් වුණත් දැන් අපි මුහුද නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. අපි නිදියග න්නෙ වැලි ගොඬේ. වැසිකිළි කැසිකිලි පහසුකම් මුකුත් නැහැ. කරන්ට් එකත් කපල ගියා. ඒක ආයෙ ගන්න වෙනම මුදලක් බඳින්න ඕන වෙනවා. ඇත්තටම අපිට මුකුත් කරගන්න දෙයක් නැතිව ඉන්නේ.”‍ ඇය පවසන ආකාරයට ඔවුන්ට මුහුද එදවස්වල සමීප තරම් දැන් සමීප නොමැත. එය මුහුදේ වරදක්වත් ඔවුන්ගේ වරදක්වත් නොවන වග පැවසිය යුතුය. තවද එම ප්‍රදේශයේ ජීවත් වන බොහොමයකගේ අදහස් අනුව එහි පවුල් සඳහා මූලික සනීපාරක්ෂක පහසුකම් කිසිත් නොමැත. මෙම සියලු කාරණා පෙළග ැස්වීමේදී දකුණු පිටිපන වෙරළාසන්න ජීවත් වන පිරිස් මහා අර්බුදයක පැටලී සිටින බව අපහැදිලි නැත.

වන්දි

“ලක්ෂෙක වන්දියක් දෙනවා කියලා ලියන්න ආවා ප්‍රාදේශීය සභාවෙන්. නමුත් අපේ වහලෙට අපි ෂීට් දාගත්තෙ ණයක් අරගෙන. මොකද හුළං කාලෙට පොල්ලතු රැඳෙන්නෙ නෑ. හුළඟට යනවනේ. ඉතින් අර ආපු අය කීවා වහලෙට ෂීට් දාල තියෙන නිසා සල්ලි පාස් කරන්න බැහැ කියලා. ලක්ෂෙ ඕනමනම් ෂීට් ගලවන්න කියලා අපිට කීවා. උතුරු පිටිපන ගොඩක් අයට වන්දි ලැබිලා. නමුත් දකුණු පිටිපන අයට වන්දි මුකුත් ලැබිල නැහැ.”‍ එය නිසංකගේ අදහසයි. “සමහරක් ගෙවල් වලට ඇවිත් රුපියල් දහ දාහක් දීල ගියා. අපිත් ඒ දහ දාහනම් ගත්තා. එච්චරම තමා. හානිවුණු ගෙවල් වලට තවම වන්දි දෙනවා කියලා කතාවක්වත් නැහැ.”‍ බැසිල් පැවසීය. විශාල වශයෙන් මුදල් වැය කර කොළඹ වරාය නගර ඉදිවෙන රටක් තුළ මෙයාකාරව හිසට සෙවනක් නොමැතිව, කුසට අහරක් නොමැතිව පීඩා විඳින මිනිස්සු සිටිති. කියන්නට කනගාටුදායකම සිදුවීම නම්, රජයේ බොහෝ ව්‍යාපෘති පිටුපස මහා මිනිස් ශ්‍රමයක් සේම කඳුළු කතාද රාශියක් සැගවී තිබීමය. “රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙනකොට පෝට් සිටි නිසා පීඩාවට පත් වූ සියලු දෙනාවම මුහුදු ආශ්‍රයෙන් අයින් කරනවා කීවා. නමුත් දැන් එයාල මේ ගැන කතාවක්වත් නැහැ. එයාල පෝට් සිටි එක හොඳට ප්‍රමෝට් කරනවා. නමුත් ඒ නිසා පීඩා විදින එක්කෙනෙක් ගැනවත් කතා කරන්නෙ නැහැ. අපි අපේ ඡන්දෙත් මෙහෙම මිනිස්සුන්ට දුන්නනෙ. අපිට මේ ගැටලුවට තාවකාලික උත්තර නෙමෙයි අවශ්‍ය. දීර්ඝකාලීන පිළිතුරක් අපි බලාපොරොත්තුවෙනවා.”‍ යැයි ඇන්ටන් පැවසීය.

එක එක වැඩ

මුළු වත්කමම අහිමි වූ ඔවුන්ට දැන් ඉතිරිව ඇත්තේ කුසගින්න පමණි. එය නිවා ගැනීම සඳහා ඔවුන් නොකරනා දෙයක් නැති බව ඇන්ටන්ගේ අදහසින් පසක් වෙයි. “අපි පාරම්පරික ධීවරයො. නමුත් මේ වාරකන් කාලෙ නිසා මුහුදු යන්න අමාරුයි. මාළු අහුවෙනවත් අඩුයි. හැබැයි දැං වාරකන් කාලෙට විතරක් නෙවේ අනික් කාලවලටත් මාළු අඩුයි. මොකද වටේම තියෙන කම්පැනිවලයි වෙළෙඳ කලාපවල අපද්‍රව්‍ය මාර්ග සේරම කළපුවටයි මුහුදටයි හරවල තියෙන්නේ. මේ නිසා වාරකන් වලට විතරක් නෙවේ අනික් දවස් වලටත් මුහුදෙ මාළු නෑ. කළපුවෙත් මාළු නෑ. ඉතින් දැන් අපිට කුලී වැඩ කරන්න වෙලා. ඒ කාලෙ ඉඳන් ධීවර රස්සා කරපු අපිට කුලී වැඩත් නැහැ. සමහරක් දවස්වලට රුපියල් 500ක්වත් හම්බ වෙන්නෙ නැහැ.”‍ වෙරළ ඛාදනය වීම නිසා ඔවුන්ගේ ජීවිත චක්‍රයේත් අඩක් නතර වී හමාරය යන්න පැහැදිලි වෙයි. “මට අවුරුදු හැටක් (60) විතර වෙනවා. මම ඉපදුණු දවසෙ ඉඳන් ඉන්නෙ මෙහෙ. අපේ ගේත් මුහුදු හුළඟයි, මුහුදු රැල්ලයි නිසා අබලන් වුණා. මට පුතෙක් ඉන්නවා. එයා ධීවරයෙක්. නමුත් මේ කාලෙ මුහුදු යන්න බැරි නිසා මේසන් වැඩ වලට අත් උදව් දෙනවා. එයාටත් හැමදාම වැඩ නැහැ. ඒ නිසා මම බීඩි ඔතනවා. බීඩි දාහකට (1000) රුපියල් හත්සිය පනහක් (750) හම්බෙනවා. හැබැයි දවසකට බීඩි දාහක් ඔතාගන්න බැහැ. දවස් තුනක් විතර යනවා. ඉතින් මට දවස් තුනටම රුපියල් හත්සිය පනහක් ලැබෙනවා. සමහරක් දවස් වලට අපි තුන්වේලක් නොකා එක වේලකින් පිරිමහ ගන්නවා. වෙන ගම් වලට සමෘද්ධිය තියෙනවා. අපිට එහෙම එකක්වත් නෑ. ඉතින් එහෙම එකක් නැති තැන වන්දි ලැබෙයි කියල හිතන්නත් අමාරුයි.”‍ යනුවෙන් රොස්මන් අනුලා පැවසීය.■