රනිල් තීන්දුවක් ගනී

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම වළකා ගෙන ආණ්ඩු කළ හැකි නායකයා ලෙස ගෞරවය හිමිකර ගනිමින්, ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසව පිළිගන්නැයි එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් කර ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
මේ අනුව එජාපෙ නායකයන්ගේ විශේෂ රැස්වීමක්ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (19) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ එජාපෙ මන්ත්‍රී කණ්ඩායම කැඳවා රහස් ඡන්දයකින් අපේක්ෂකයා තෝරාගත යුතු බවට වන සිය ස්ථාවරයේ වෙනසක් නොමැති බවය. මේ අතර සජිත් පාර්ශ්වය විසින් එජාපෙ මන්ත්‍රී කණ්ඩායම බ්‍රහස්පතින්දා (19) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයකට කැඳවා තිබිණි. 50කට වැඩි මන්ත්‍රී පිරිසක් සිටි එම රැස්වීමේදී පී. දිගම්බරන් වැනි එජාපෙ අනෙකුත් පක්ෂ නායකයන් සජිත්ට අපේක්ෂකත්වය ලබාදිය යුතු බව පවසා ඇත. එක්සත් වාමාංශික පෙරමුණේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න එහිදී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දින 52 සිදුවීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට වන හොඳම අත්දැකීම බවය. අපේක්ෂකයා පමණක් නොව ප්‍රතිපත්ති පිළිබඳවද තම පක්ෂය සලකා බලන බව ඔහු කියා තිබේ.

රාජිත සේනාරත්න, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම හා දිනේෂ් වීරක්කොඩි කමිටුවේ නිර්දේශද බලා වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කිරීමටද රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවද දැනගන්නට තිබේ. එය ලබන සතියට පෙර රැස් කිරීමටද බොහෝ දුරට ඉඩ ඇතැයි එජාප රනිල් හිතවාදී අමාත්‍යවරයෙක් බ්‍රහස්පතින්දා (19) පැවසීය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කළද ඡන්දයකට නොගොස් ප්‍රශ්නය බේරා ගැනීමට වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ඇතැයි ඔහු කීය. එජාපයේ හා එජාපෙ සියලුදෙනාගේ එකඟත්වය මත පමණක් තමන් අපේක්ෂකයාවීමට සූදානම් බවට කරු ජයසූරිය මහතා කර ඇති ප්‍රකාශයද මෙහිදී සැලකිල්ලට ගනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ■