My Life to Live (Vivre sa vie)

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

දෙවන ලෝක යුද්ධය, ලොව දේශපාලනික, ආර්ථික, සංස්කෘතික ආදී සකලවිධ පදනම් උඩු යටි කරන්නට බලපෑ තීරණත්මක සාධකයක්. විශේෂයෙන් ඒ සඳහා ඍජුව මැදිහත් වූ රටවල් කෙරේ එය තදින් ම බලපානු ලැබුවා. එක්දහස් නවසිය පනහේ අග භාගයේ සිට හැටේ මුල් භාගය දක්වා ඉතා කෙටි කාලයක් තුළ සිනමා කලාව පදනම් කරගනිමින් ගොඩනැගෙන ප්‍රංශ නවරැල්ල හෙවත් French New Wave (La Nouvelle Vague) සඳහා මූලික සමාජ දේශපාලනික පදනම ලැබෙන්නේද දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බිහිවූ සමාජ පසුබිම, ප්‍රංශ නව රැල්ල, සිනමාවේ නූතන හැඩය සඳහා බලපානු ලැබූ සිනමා ව්‍යාපාරයන් අතර ඉතාමත් ම වැදගත් සිනමා ව්‍යාපාරය හැටියට බොහෝ විචාරකයින් අවිවාදයෙන් හඳුන්වනවා.

François Truffaut නම් සුවිශේෂී ප්‍රංශ සිනමාකරුවා විසින් ලියන ලද  A Certain Tendency in French Cinema  නම් ලිපිය මගින් ප්‍රංශ නව රැල්ල සිනමා සම්ප්‍රදායේ මූලික හැඩතල සලකුණු කෙරුණා. ප්‍රංශ සිනමාව සුවිශේෂී ශෛලියක් නොමැතිව එකතැන පල්වන බවත්, එය සුවිශේෂී මානයක් සොයා යා යුතු බවත් ඔහු කිව්වා. විශේෂයෙන් තිර රචකයින් වැන්නන් විසින් සිනමාපටය කෙරේ දක්වන අධිකාරීත්වය සිනමාවේ මේ කඩාවැටීමට බලපා ඇති බවත් Truffaut පැහැදිලි කළා. ඒ අනුව සිනමාව ‘අධ්‍යක්ෂවරයාගේ කාර්යයක්’ හැටියට නැවත ඔසවා තැබීම ප්‍රංශ නව රැල්ලේ මූලික කාරණයක් වුණා. එතැනින් නොනැවතුණු François Truffaut  ප්‍රංශ නව රැල්ලේ මුල්ම සිනමා පටය හැටියට සලකන මෙන්ම ලෝක සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකෙන The 400 Blows (Les Quatre Cents Coups)නම් අපූරු සිනමාපටය (1959) ඇතුළු නිර්මාණ රාශියක් බිහි කරමින් පදනම දමනවා. පැරීසියේ ජීවත් වන ඩැනියල් නම් කුඩා පිරිමි දරුවකු වටා ගෙතුණු මේ The 400 Blows නම් අපූරු සිනමා පටය 1959 කෑන්ස් සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මෙන්ම තවත් සම්මාන රාශියක් දිනාගත්තා. ඊට අමතරව ප්‍රකට සිනමා න්‍යායාචාර්යවරයකු හා විචාරකයකු වූ André Bazin  සංස්කරණය කළ  Cahiers du cinema නම් සඟරාව ප්‍රංශ නවරැල්ලට අදාළ සංස්කරණවාදී කථීකාව තවදුරටත් ඉදිරියට ගෙන ගියා.

ප්‍රංශ නවරැල්ලේ සිනමාකරුවන් හා න්‍යායධරයන් අතර, Jean-Luc Godard , Jacques Demy, François Truffaut, Éric Rohmer, Claude Chabrol, Jacques Rivette, André Bazin  වැන්නන් සිටිනවා. මේ අය හා ඍජුව සම්බන්ධ නොවුණත්, විවිධාකාරයෙන් ගනුදෙනු කළ වම් ඉවුරේ (Left Bank) සිනමාව නමින් ප්‍රංශ නවරැල්ලේම තවත් ඉතා වැදගත් ප්‍රවණතාවක් බිහිවූ අතර ඒ වම් ඉවුරේ සිනමාකරුවන් අතර,  Chris Marker, Alain Resnais, Agnès Varda  වැනි ඉතා වැදගත් සිනමාකරුවන් හා සිනමාකාරියන් හිටියා.

එසේම ප්‍රංශ නවරැල්ලේ ප්‍රධාන නිර්මාණ අතර,  The 400 Blows  ට අමතරව, Hiroshima mon amour (1959)  Les Bonnes femmes (1960)  Shoot the Pianist (1960) ” Breathless (1960) ” Vivre sa vie (1962) ” Lola (1961)  Adieu Philippine (1962) ” Cléo from 5 to 7 (1962) ” La Pointe Courte  (1955) ” La jetée (1962) ” Last Year at Marienbad (1961) ” Trans-Europ-Express (1966) වැනි නිර්මාණ රාශියක නම් සටහන් වෙනවා.

මේ නවරැල්ලේ සිනමාකරුවන් අතින් සිනමාවේ නීති ආයෙම වටයකින් ලියවුණා. සංස්කරණය, දෘෂ්‍ය ශෛලීන් මෙන්ම ආඛ්‍යානය ආදී කාරණා මත සිදු කරනු ලැබූ අත්හදාබැලීම් එතනදි කැපී පෙනුණා. එහිදී ඔවුන් සඳහා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉතාලිය මුල් කරගෙන ගොඩනැගුණු ඉතාලි නව යථාර්ථවාදී සිනමාව  (Italian neorealism – 1943-1952) හා හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ සිනමාව හෙවත් Classical Hollywood cinema  හි දැඩි ආභාසය ලැබුණා.  Orson Welles” John Ford” Alfred Hitchcock” Nicholas Ray  සහ Morris Engel  වැනි හොලිවුඞ් සිනමාකරුවන් ගැන ප්‍රංශ නවරැල්ලේ සිනමාකරුවන් ප්‍රසංශාත්මකව කතා කළා. විශේෂයෙන්   Morris Engel ගේ කැමරාව අතින් හැසිරවීමේ (hand-held shooting) ක්‍රමවේදය මෙන්ම වෘත්තීය නොවන නළු නිළියන් භාවිතය මගින් ගොඩනගන ලද ස්වාභාවික හැඩතලයේ සිනමාව තම නිර්මාණකරණය කෙරේ බලපෑ අකාරය ගැන ඔවුන් විශේෂයෙන් සඳහන් කළා. මීට අමතරව, Film noir  වැනි සිනමා ධාරාවන්ගෙන් ද ප්‍රංශ නවරැල්ලට විශාල වශයෙන් අනුප්‍රාස සැපයුණා.

විශේෂයෙන් ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් කේන්ද්‍ර කොටගෙන මේ යුගයේ මතුවෙමින් පැවති සාංදෘෂ්ටිකවාදී දර්ශන සම්ප්‍රදායේ බලපෑම හා ඇල්බෙයා කැමූ, ජීන්පෝල් සාත්‍රේ වැනි ප්‍රංශ සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයින් සමග නවරැල්ලේ සිනමාකරුවන් රැගෙන ගිය සමීප සම්බන්ධතාව නිසා මිනිසාගේ පැවැත්ම හා ජීවිතයේ සාරය පිළිබඳ තේමාවන් ප්‍රංශ නවරැල්ලේ සිනමාව තුළ විශේෂයෙන් මතුව පෙනුණා. ඒ අනුව මුල මැද අග ගැළපුණු කථා තේමාවන් ගළපන්න නවරැල්ලේ සිනමාකරුවෝ විශේෂ වෑයමක් ගත්තෙ නෑ. බොහෝ සිනමාපට අතීරණාත්මකව අවසන් වුණා. ලිංගිකත්වය, ස්ත්‍රියගේ පැවැත්ම, විවාහ සංස්ථාව වැනි කාරණා ගැන විචාරාත්මක දෘෂ්ටියක් හෙළුවා. මිනිස් පැවැත්මේ හාස්‍ය සහ උපහාසාත්මකභාවය ඇතැම්විට ඉස්මතු කෙරුණා.

ප්‍රංශ නවරැල්ලේ සිනමාව තුළ ප්‍රධාන වශයෙන් පේන්න තියෙන තව ලක්ෂණයක් වන්නේ එක දිගට රූගත කරන ලද දිගු රූපරාම (long tracking shots). ඒ වගේම, අංශක එකසිය අසූවේ සීමාව කඩමින් කැමරාව සම්පූර්ණ වටයක් දක්වා කරකවමින් හසුකර ගන්නා ලද දර්ශන අපූර්ව ලෙස රූපගත වුණා. රූප රාමුවල ශ්‍රව්‍ය දෘශ්‍ය අඛණ්ඩතාව  (Continuity) පවත්වාගෙන යෑම ගැන නවරැල්ලේ සිනමාකරුවන් එතරම් අවධානය යොමු නොකළ අතර, එකිනෙකට වෙනස් රූප රාමු සියුම්ව ගළපමින් සිදුකරන නොපෑහෙන ඡේදන අවස්ථාවන්  (Jump Cut) භාවිත කිරීම ප්‍රංශ නවරැල්ලේ සිනමාව තුළ දකින්නට පුළුවන්. විශේෂයෙන් ශෝන් ලූක් ගොඩාඞ්ගේ  (Jean-Luc Godard) වැදගත් සිනමා නිර්මාණයක් මෙන්ම ප්‍රංශ නව රැල්ලේ පුමුඛ නිදර්ශනයක් සේ ගැනෙන,  Breathless (1960)  මීට හොඳම නිදර්ශන සපයනවා.

සිනමාකරණය බොහෝ විට අඩු අයවැයක් යටතේ සිදුවුණ අතර, මිල අධික නොවන කැමරා ඇතුළු තාක්ෂණික උපකරණ නිතර භාවිත වුණා. වියදම් සහගත පසුතල නිර්මාණයන් මගහැරි අතර, ඇතැම්විට අධ්‍යක්ෂවරයාගේ මිතුරකුට අයත් මහල් නිවාසයක හෝ අංගණයක රූගත කිරීම් සිදුවුණා. වෘත්තීය නළු නිළියන් වෙනුවට බොහෝවිට අධ්‍යක්ෂවරයාගේ මිතුරන් හා කාර්ය මණ්ඩලය සහාභාගි කරගත්තා.

ඇතැම් නිර්මාණ තුළ දෙබස් නොමැතිව දීර්ඝ කාලයක් ගලා යන රූප රාමු භාවිත වුණා. ඇතැම් සිනමාපට බොහෝ විට සමීප රූපරාමු (Close-Up) සහ මධ්‍යම සමීප රූපරාමු  (Medium Close-Up) වලින් ගොඩ නැගුණු අතර ඒ අනුව මිනිස් ගති ස්වභාවය හා හැඟීම් මනාව නිරූපණය වුණා. තවද ජීවිතයේ සාරය පිළිබඳ සාංදෘෂ්ටික තෙරපුම, ඒ සිරකෙරුණු රූප රාමු තුළින් ප්‍රේක්ෂකයාට දැනවුණා. ප්‍රංශ නවරැල්ලේ ඉදිරියෙන්ම සිටින අධ්‍යක්ෂවරයා හැටියට සැලකෙන ශෝන් ලූක් ගොඩාඞ් (Jean-Luc Godard) විසින් අධ්‍යක්ෂණය කෙරුණ  My Life to Live (Vivre sa vie) සිනමා පටය මීට හොඳම නිදර්ශනයක්.

1962 දී අධ්‍යක්ෂණය වුණ  My Life to Live  නිළියක වීමේ කැමැත්තෙන් සිටින විසි වයස් ගෙවන භ්බ් නම් සුරූපී තරුණිය වටා දිග හැරෙනවා. (මේ චරිතය ගොඩාඞ්ගේ බිරිඳ වූ Anna Karina  විසින් අපූරුවට රඟපානු ලබනවා) ඇගේ ජීවිතය විදහාපාන, අතුරු මාතෘකා 12ක් යටතේ එන කතා 12ක් ලෙසයි My Life to Live  දිග හැරෙන්නෙ. නිළියක ලෙස ගොඩනැගීමේ තම මූලික අභිප්‍රාය වෙනුවෙන් Nana තදින් වෙහෙසෙනවා. නමුත් තම ආර්ථික තත්ත්වය ඈට බාධාවක්. එහෙයින් Nana තම ජීවන අරගලය හා අරමුණ වෙනුවෙන්, තම සැමියා හා දරුවාගෙන් වෙන්ව පැරීසියේ ප්‍රකට සංගීත සමාගමක සුළු රැකියාවක් කරනවා.

ඇගේ මූලික අරමුණු හා ආශාවන් තම සැමියාගේ අරමුණු හා ඇති ගැටුම සිනමාපටය තුළ අපූර්ව ලෙස පෙන්වනවා. ඈ මුදල් සොයන්නේ නිළියක වීමේ මූලික අභිප්‍රායෙන්. ඈ එම අරමුණ ඉටුකර ගැනිීමට අවශ්‍ය හැමදේම කරනවා. ඒ වෙනුවෙන් ඈට බොරු කියන්නට සිදුවෙනවා. සොරකම්වලට චෝදනා ලැබෙනවා. මුදල් සෙවීමට සහ ඊටත් වඩා නිළියක වීමේ තම සිහිනය වෙනුවෙන් ඡායාරූප ශිල්පීන් ඉදිරියේ නිරුවත් නිරූපිකාවක් වෙන්න බල කෙරෙනවා. එසේම ඈ සිනමා කෘති නැරඹීමට සිනමාහල් වලට යනවා. කතාවේ තුන්වන කොටස වන  Jhone of Arch  තුළ ඇති සිනමා හලේ දර්ශනය ඉතාමත් අපූරුයි. ඈ නරඹන්නට යන්නේ  Carl Theodor Dreyer  ගේ සුප්‍රකට නිහඬ සිනමා කෘතියක් වන  The Passion of Joan of Arc,  විනාඩි ගණනාවක් දිව යන ඒ කොටස තුළ සිනමාපටයත් ඇගේ ප්‍රතිචාරාත්මක මූණත් අපූර්ව ලෙස සමපාත වෙනවා. එසේම ඒ සම්පූර්ණ කොටසම, නිහඬ සිනමා කෘතියේ ඇති පසුබිම් සංගීතය හා සිනමාශාලාවේ එන පසුබිම් හඬවල් සම්පූර්ණයෙන් ඉවත් කරමින් දැඩි නිහඬබවකින් විදහා දක්වනවා. එසේම අදාළ සිනමා කෘතියේ ධාවනය වන කොටස, The Passion of Joan of Arc හි කතා නායිකාව වන Joan කණුවක බැඳ පුළුස්සා මරා දමන්නට තීරණය කෙරෙන සංවේදී අවස්ථාව. ඒ අවස්ථාවේ ගොඩනැගෙන නිහඬ සංවාද දාර්ශනිකත්වයක් උසුලන අතර අනෙක් අතට ඇය නරඹමින් සිටින සිනමා පටය පුරුෂ මූලික සමාජයේ Nana ජීවිතයට ඉදිරියට සිදුවන්නට යන ඛේදවාචකය පිළිබඳ සංකේතාත්මක පූර්ව ඉඟිකිරීමක්.

තම රැකියාවෙන් උපයන මුදල තම අරමුණ වෙනුවෙන් ප්‍රමාණවත් නොවන කොට Nana අවසන ගණිකාවක වීමට තීරණය කරනවා. එහිදී ඇයට Raoul නම් ගණිකා ව්‍යාපාර මෙහෙයවන්නකු (Pimp) මුණ ගැසේ. ඔහුගෙන් ඇයට ගණිකාවක වීමට අවශ්‍ය සියලු දේවල් උගන්නනවා. ඇය ඔහු යටතේ ගණිකා වෘත්තිය සිදු කරමින් කල් අරින අතර ඇයට පෙම් කරන තරුණයෙක් මුණ ගැසෙනවා. තමන් Raoul හට පවසා ගණිකා වෘත්තියෙන් ඉවත් වී ඔහු හා ජීවත් වීමට එන බව ඇය ඔහුට පොරොන්දු වෙනවා.  Raoul ඊට ඉඩ දෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු කරන්නෙ ඇය බලහත්කාරයෙන් වෙනත් ගණිකා වෘත්තිය පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුට විකිණීමට උත්සාහ දැරීම. ඇය වෙනුවෙන් ලබා දුන් මුදල හිඟවීම නිසා Raoul හා අනෙක් කණ්ඩායම අතර සිදුවූ දබරයකදී අනෙක් කණ්ඩායමේ සාමාජිකයකු Nana වෙඩිතබනවා.  Raoul ද ඇයට වෙඩි තබා වහා පලා යනවා. මියගිය Nana සිරුර මහ පොළව සිපගන්නවා. සිනමාපටය නිමවෙන්නෙ එහෙම.

Nana වෙඩිතැබීමේදී ඔවුන් එය කරන්නේ කිසිදු වග විභාගයකින් තොරවයි. එය මනුෂ්‍යත්වය කෙරේ තත්කාලීන යුගයේ තබා ඇති අවම ලංසුව පැහැදිලි කරයි. එසේම ස්ත්‍රිය විනෝදාස්වාදන භාණ්ඩයක් ලෙස යොදාගෙන අපයෝජනය කරන පුරුෂ මූලික ආධිපත්‍යයට සිනමාකරුවා දක්වන්නේ ඍජු ප්‍රතිචාරයක්. My Life to Live සිනමා කෘතියේ මුඛ්‍ය තේමාර්ථය ද ඒක. එකී තේමාව නිර්මාණයේදී සංගීතය හා නිහඬ බව භාවාතිශ්‍යමය වශයෙන් යොදාගන්නවා. ඇතැම් දෙබස්වල ශබ්දපටය සම්පූර්ණයෙන් ඉවත් කර ඒ වෙනුවට නිහඬ සිනමා යුගයේ මෙන් උපසිරැසි යොදනවා.

ප්‍රංශ නවරැල්ලේ සිනමා ලක්ෂණ ශෝන් ලූක් ගොඩාඞ් විසින් තම නිර්මාණකරණයේදී අතිශය තීරණාත්මකව භාවිත කරන කෘතිය හැටියට විචාරකයින් සලකන්නේ 1960 වර්ශයේ නිපදවනු ලැබූ Breathless ( bout de souffle) කෘතිය. එසේ නමුත් My Life to Live ගොඩාඞ්ගේ සිනමාවේ මෙන්ම ලෝක සිනමාවේ අමරණීය කෘතියක්. එසේම ප්‍රංශ නවරැල්ලේ සිනමා නිදර්ශකයන් අතරින් ඉදිරියෙන්ම තියෙන කෘතියක්.

ප්‍රකට විචාරකයකු වනSteven Rea විසින් My Life to Live හා ශෝන් ලූක් ගොඩාඞ්ගේ සිනමා භාවිතයත්, එය පසුකාලීන ලෝක සිනමාවට කළ බලපෑමත් මෙසේ හකුළා දක්වනවා.

‘‘Godard frames and edits his shots. moves the camera. uses music. and deploys his actors in ways that still seem radical – even as several generations of directors since have cribbed and stolen from him.”