රමාණය ගුණය සදාචාරය හා අද දවසේ සිංහල සාහිත්‍යය

චින්තක රණසිංහ

සාහිත්‍යය පිළිබඳ විශාල උනන්දුවක් ඇතැයි පවසන විශාල සාහිත්‍ය සැණකෙළි පැවැත්වෙන මෙම මාසයේ එහි එක් අඳුරු පැතිකඩක් පිළිබඳ විවරණය කිරීම මෙම ලිපියේ පරමාර්ථයයි. යම් දෙයක් මතුපිට දියුණු යැයි සංවර්ධනාත්මකැයි යන්න මෙරට බහුතර මිනිසුන්ගේ මතය ඛේදවාචකයක් මෙන්ම මිථ්‍යාවක් බව දේශපාලනය විසින් දිනෙන් දින තහවුරු කරන රටක සාහිත්‍යයයේද යථාර්ථය එබඳුම ඛේදවාචකයක් වීම පුරවැසියා මුහුණ දෙන මහා ඛේදවාචකයේ එක් පැතිකඩකි. එය සංස්කෘතික ජීවිතයේ අඳුරු පැතිකඩ ලෙස හඳුනාගත හැකිය. සංස්කෘතික මිනිසා ආගමට හෝ ආගමෙන් උත්තේජනය ලබන සදාචාරාත්මක පද්ධතියට පමණක් නිර්මාණය කළ හැකි නම් සාහිත්‍යය කලාවේ අවශ්‍යතාවක් ඓතිහාසිකවම නිර්මාණය වන්නේ නැත. එසේ නම් ඉතාමත්ම සරලව සාහිත්‍යය මිනිසාට කුමකටද? ශිෂ්ටාචාරයට මෙයින් සැලසෙන සේවය කුමක්ද? යන්න විමසා බැලිය යුතුය.

සාහිත්‍යය හා මිනිස් ජීවිතය

මිනිසාට නීතියෙන් මෙන්ම ආගමික රළු බවින් ද උරුම වන සදාචාර දහමින් තෘප්තිමත් විය නොහැකි වූ නිසාත් භාවාත්මක විකසිත බවකින් යුක්ත වූ පුළුල් රසවින්දනාත්මක සදාචාරයක අවශ්‍යතාව නිර්මාණය වූ නිසාද සාහිත්‍ය කලා නිර්මාණය වූ බව පෙනේ. මේ දෙය කරව, මේ දෙය නොකරව යැයි නීතිය පවසන විට මේ දේ කළොත් මේ විපාකය අත් වේ. මේ මේ දේවල් කළ විට මේ මේ ආකාරයේ පටිසන් දීම් සිදු වේ යැයි ආගමික සදාචාරය පවසයි. එවිට සාහිත්‍ය කලාව පවසන්නේ කුමක්ද? මේ මේ දේවල්වල රසය මෙයයි හරය මෙයයි මේ මේ දේ මේ මේ ආකාරයෙන් වින්දනය කළ හැකිය. එහි ප්‍රතිඵල මෙබඳුද විය හැකිය යනාදී පුළුල් තත්ත්ව සමූහයයි. එම පුළුල් තත්ත්ව සමූහය තුළ වඩාත් ගැඹුරු වන්නේ රසඥතාවයි; වින්දනාත්මක පාර්ශ්ව

යයි. එය අත්පත් කරගැනීමට නම් අදාළ කෘතිය නිරවුල් සන්නිවේදනාත්මක තත්ත්වයකින් තිබිය යුතුය. එනම් විශිෂ්ට ව්‍යක්ත භාෂාමය ගොඩ නැංවීම් තුළ තිබිය යුතුය.
මේ රසඥතාවය වනාහී අතිශයින්ම සරල තලයේ සිට සංකීර්ණ තලය දක්වා දිවෙන්නකි. එම පරාසය තුළ එහි පවතින විවිධතා ඉමහත්ය; විචිත්‍රය. ඒ නිසාම විශිෂ්ටය. ලෝකයේ සාහිත්‍ය යුග මෙන්ම ශෛලීන්ද නිර්මාණයවන්නේ මෙම විචිත්‍රතාවයේ සමාජ, සංස්කෘතික නිරූපණ වශයෙනි. එය පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය කලාවට ද එක සේ පොදු ධර්මතාවකි.

සිංහල සාහිත්‍යය

පැරණි සිංහල සාහිත්‍යයේ ලෞකික විචිත්‍රතාව තරමක් අඩුය. ආගමික කොටස වැඩිය. එහෙත් සියුම්ව නිරීක්ෂණය කර බලන්නේ නම් ආගමික තත්ත්වයන් තුළ සැඟවෙමින් ලෞකික විචිත්‍රතාව සෑහෙන පමණ නිරූපණය වී තිබීම දැකිය හැකිය. එහෙත් සංස්කෘත, ග්‍රීක, ඉංග්‍රීසි ආදී වඩාත් පළල් ලෞකික ගැටුම්වලින් සමන්විත සාහිත්‍යයන්ට සාපේක්ෂව පැරණි සිංහල සාහිත්‍යයේ අත්දැකීම් හා නිර්මාණාත්මක පක්ෂය බෙහෙවින් ඒකමානිකය.

නූතන සිංහල සාහිත්‍යය

19 වැනි හා 20 වැනි සියවස්වලදී සිදුවූයේ පැරණි ආගමික සාහිත්‍යමය සංකල්ප ලෝකයෙන් මිදෙමින් ලෞකික ජීවිතයේ අහුමුළු හාරා පාරා බලන නව සාහිත්‍යයක් නිර්මාණය කරගැනීමට සිංහල ලේඛකයන් උත්සාහ ගැනීමයි. එය හුදු සාහිත්‍යමය කාරණයක් පමණක් නොව සමාජ, දේශපාලන හා චින්තනාත්මක අරගලයක්ද විය. යටත්විජිත යුගයේ සිට පශ්චාත් යටත්විජිතය දක්වා සංක්‍රමණය වන සමාජයක සංකීර්ණතා එම අරගලය මගින් පිළිබිඹු විය. නූතන සිංහල සාහිත්‍යයේ විවිධ හැඩතල නිර්මාණය වෙන්නේ එම ක්‍රියාවලිය තුළිනි. 50-60 දශක වන විට මෙම නූතන සිංහල සාහිත්‍යය යම් ආකාරයක උච්චස්ථානයකට පත්වී තිබූ අතර 56 පෙරළියේදී සිදුවූ එක් සාධනීය සිදුවීමක් වන්නේ මෙම සාහිත්‍යය සඳහා ජාතික රාජ්‍යයේ නිල වටිනාකමක් ප්‍රදානයවීමයි.

50-60 දශකවල ජයග්‍රහණ?

පැරණි අධිරාජ්‍ය යුගයෙන් උපන් ඉංග්‍රීසියෙන්ම සිතන ඉංග්‍රීසියෙන්ම ලියන යම් ආකාරයකට අධිරාජ්‍ය ගැති පැළැන්තියක් වෙනුවට ඉංග්‍රීසි-සිංහල දෙකම හොඳින් ප්‍රගුණ කළ බුද්ධි ජීවියකු බිහිවීම මෙම යුගයේ විශේෂ තත්ත්වයකි. එම බුද්ධි ජීවියාගෙන් වැඩි දායකත්වයක් ලැබුණේ සිංහල සාහිත්‍යයට වූ අතර නව සිංහල පාඨක සමාජයක් නිර්මාණය වූ මෙකල සිංහල සාහිත්‍යය පරිවර්තනවලින් හා අනුවර්තනවලින් පිරී ගියේය. ලෝක සාහිත්‍යය වෙත එක් අතකින් අවධානය යොමු වූ අතර අනෙක් අතින් දේශීය සාහිත්‍යයේ නිම් වළලු පුළුල්වීමක් දැකිය හැකිවිය. මේ සියල්ල මැද්දේ සිදුවූ විශිෂ්ටතම කාරණය වන්නේ සිංහල භාෂාව වඩාත් ලෞකික අත්දැකීම් ප්‍රබල ලෙස ප්‍රකාශ කිරීම සඳහා සකස්වීමයි. ඒ වනාහී බෙහෙවින් සංස්කෘතකරණය වී ආගමික දේවල් උච්චාරණය කෙරුණු බසක් ලෞකිකකරණය වීමක් පමණක් නොව පැරණි පද, වචන, වාක්‍ය හා අර්ථ නිරූපණ නව ලෝකයට ගැළපෙන සේ අසීරු ආකාරයකින් කළ සංස්කරණයක් ද වන්නේ ය.

50-60 දශකවල සිදුවන සෙසු විශිෂ්ටතම කාරණය වන්නේ නන්විධ විශ්ව සාහිත්‍ය කෘති පරිවර්තන හා අනුවර්තන මගින් පළල් විශ්වීය පාඨක සමාජයක් සිංහල සමාජය තුළ බිහිවීමයි. ඇම්.ඩී. ගුණසේන හා සමන් ප්‍රකාශකයන් මෙම ක්‍රියාවලියේ ප්‍රාග්ධන පාර්ශ්වය හැසිර වූ අතර පසුව විවිධ ප්‍රකාශයන් ඒ සඳහා මැදිහත් වූ බව පෙනේ. මෙම විශ්වීය පාඨක පිරිස 70 දශකයේ මැද වන තෙක් රසවාහිනිය වැනි සඟරා තුළින් හා විවිධ සිංහල පුවත්පත් තුළින් විචාර සංවාදයක් නිර්මාණය කරගත් බව පෙනේ.

71 කැරැල්ල හා 70 දශකය

සාහිත්‍යමය දියුණුවකින් හා භාෂා ප්‍රබෝධයකින් පමණක් රටක තරුණ පිරිස ප්‍රමුඛ පුරවැසියන්ගේ ජීවිත තෘප්තිමත් කළ නොහැකිය යන්නට කදිම පිළිතුරකි 71 කැරැල්ල. 56 පෙරළිය සංස්කෘතික ජීවිතයට බර තිබීමත් එම බර තිබීම ජාතිවාදයෙන් හා ඒක-භාෂීය දූපත් උන්මාදයෙන් අවසන්වීමත් සමග ආර්ථික ක්‍රියාවලිය සහ දේශපාලනය අතර පැවතිය යුතු ඓන්ද්‍රීය සබඳතා බිඳ වැටුණි. රාජ්‍යයෙත් නිකම් කන සේවක පිරිස් බහුල වූ අතර ආණ්ඩුව ආණ්ඩුවේ සේවකයන්ගේ සිරකරුවකු බවට පත්විය. (ඩී.ඇස්. සේනානායක ආර්ථිකය වෙත දැක්වූ අවධානය 56න් පසු ගිලිහී ගිය අතර සුබසාධනයෙන් මිනිසුන් රැවටීමේ ව්‍යාපාරයක් ලෙස දේශපාලනය ක්‍රියාත්මක විය.) එහෙත් ආණ්ඩුවට කර්මාන්ත හා පුරවැසි ජීවිතය මනාව නිර්මාණය කරගැනීමට නොහැකි වූ නිසාත් අධ්‍යාපන ක්‍රමය අතිශය දිළිඳු වූ නිසාත් 71 කැරැල්ල පුපුරා ගියේය. එහි ප්‍රතිඵලය වූයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පැන නැගීමත් විශාල වශයෙන් සාහිත්‍ය කලාවන්හි ගැඹුර අවතක්සේරුවට ලක්වීමත්ය.

එම ප්‍රතිසංස්කරණ මුළුමනින්ම පාහේ ව්‍යාජ වාමාංශික ජනහිතකාමය මත පදනම් කොට සිදු කළ එකක් වූ අතර සමසමාජයේ පිරිහුණු යුගයේ දේශපාලන අදහස් ද එයට ජවබල සැපයූ බව පෙන්වා දිය හැකිය. වෘත්තීය අපේක්ෂා සහ දෛනික ජීවන තත්ත්ව වර්ධනය අත්‍යවශ්‍ය කාරණයක් වුවද ඒ උදෙසා අධ්‍යාපනයේ සම්භාව්‍ය කොටස විනාශ කිරීම වනාහී ගෙදරකට හැකි උපරිම මිනිසුන් රිංගවා ගැනීම සඳහා එම ගෙදර අගනා ගෘහ නිර්මාණ ශිල්ප ආදිය විනාශ කිරීමක් බඳු විය.

එම විනාශයට සමාන්තරව සමගි පෙරමුණු ආණ්ඩුවේ බලයෙන් ජනතා ලේඛක පෙරමුණද ක්‍රියාත්මක විය. එහි මූලිකත්වයෙන් එතෙක් පාසල් ළමුන්ට නිර්දේශීය පරිවර්තන විශ්ව සාහිත්‍ය කෘති නවතා දමා දේශීය සාහිත්‍යය පමණක් ළමා මනස තුළ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය ඇරඹීය.

70 දශකයේ ඛේදවාචකය

මේ අනුව වර්තමානයේ අප මුහුණ දෙන සංස්කෘතික ඛේදවාචකයේ තීරණාත්මක දශකය 70 දශකය බව පෙන්වා දිය යුතුය. ජනතා ලේඛක පෙරමුණ පටු ජනතාවාදී න්‍යාය රාජානුග්‍රහයෙන් රට පුරා ව්‍යාප්ත කරද්දී විශ්වවිද්‍යාල තුළ සම්භාව්‍ය භාෂා පීඨ අවතක්සේරුවට ලක් කරමින් දිය කර හැරිණි. පේරාදෙණි සරසවියේ සම්භාව්‍ය භාෂා පීඨය දියකර හරින ලද අතර මානව ශාස්ත්‍රවල කේන්ද්‍රස්ථානය ලෙස කැලණිය පමණක් නම් කෙරුණි. මේ මහා ව්‍යසනය ලංකාවේ උගත් හා රැඩිකල් යැයි එකල පිළිගත් ශ්‍රීලනිපය හා වමේ පක්ෂවල සංස්කෘතික බංකොළොත්භාවය මැනවින් පෙන්නූ තැනක් විය. (කොමියුනිස්ට් පක්ෂයට ළැදි සංස්කෘතික ගැඹුරක් ඇති උගතුන් විශාල වශයෙන් හිඟ වූ අතර එවැනි වියතකු වශයෙන් වර්තමානයේ අප අතර සිටින ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වැන්නකු මේ ගැන වඩාත් විස්තරාත්මකව ලියන්නේ නම් මම සතුටු වෙමි.)
50-60 දශකවල පිබිදුණු විශ්ව සාහිත්‍ය රුචිය, ශික්ෂණය මෙන්ම පුරවැසියා එයින් ලද රසඥතාව හා සදාචාරාත්මක පාර්ශ්වය රටට අහිමි කරන ලද්දේ 70 දශකයේය. එම දශකයේ වෙනත් පරම්පරාවක් උපත ලද අතර වර්තමාන ඛේදවාචකයේ හැරවුම් ලක්ෂය එතනය.

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටි බොහෝ සම්භාව්‍ය චරිත 70 ආණ්ඩුව විසින් අවතක්සේරුවට ලක් කරන ලද අතර ඔවුන් තම විෂයන්ට කරන ලද කෙණෙහිලිකම් නිසාම වේදනාවට හා අපේක්ෂා භංගත්වයට පත් වුණේය. ඒ අතර දේශපාලනමය වශයෙන් ගැති පිරිසක් එම පුරප්පාඩු සඳහා රිංගා ගත් අතර වර්තමානයේ සංස්කෘතික පරිහානිය උච්චස්ථානයට පත්වී තිබෙන්නේ මොවුන්ගේ සහ මොවුන්ගේ ගෝල බාලයන්ගේ කටයුතු හේතු කොටගෙනය.

80 සිට ඉදිරියට

විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දුන්නේ හොඳින් සාහිත්‍ය කලාව දත් ජේ.ආර්. ජයවර්ධනය. සාහිත්‍යය කන්නටදැයි ඔහු ඇසුවේ ගැඹුරු අරුතින් බවත්, එය සරල නොවන ප්‍රකාශයක් බවත් ගුණදාස අමරසේකර පවා පවසා ඇත. එය සත්‍යයකි. ජේ.ආර්. නිරවුල්ව කිව්වේ සාහිත්‍යය කළයුත්තේත්, කළහැක්කේත් හොඳට කන්ට බොන්ට තියෙන මිනිසුන්ට මිස තොපි වාගේ හිඟන හැත්තකට නොවන බවත්ය. ඒ අනුව ඔහු 56 පරපුර අල්ලා එහි පරමාදර්ශයත් සමග පරසක්වල ගැසූ අතර පාදඩ ලුම්පන් රැළකගේ සුජාත පීතෘ ලෙස ලංකාව උඩුයටිකුරු කළේය. මේ උඩුයටිකුරු කිරිල්ලට සමාන්තරව අධ්‍යාපනය හා සංස්කෘතිය තුළ ප්‍රබල සාධනීය වෙනස්කම් ඇති කිරීමට ඔහුට නොහැකි විය. එකක් ඔහුට එවැන්නක් කිරීමේ අවශ්‍යතාවක් නොතිබුණි. අනික එවැනි ප්‍රතිසංස්කරණයක් සඳහා සූදානම්. මධ්‍යම පන්තියක් මෙරට බිහිවී නොතිබුණි. ලංකාවේ වම ජවිපෙ හා සංඝ සමාජය, විශ්වවිද්‍යාල 80න් පසු දිගින් දිගටම මහ පවුරක් වී එකම දෘෂ්ටිවාදයක සිටි බව පෙනේ. ඒ ජේ.ආර්.ට එරෙහිව 56 වෙතට යෑමත් සමාජවාදය නමැති මියගිය සිහිනය විවිධාකාරයෙන් එළියට වැඩැම්ම වීමත්ය. සංවිධානාත්මක දෘෂ්ටිවාදය එය වුවත් මේ සියලුදෙනාටම ජේ.ආර්. ක්‍රමය යටතේ තනි තනිව විශාල වශයෙන් මුදල් සෙවීමට වූ අතර ඒ අනුව සියලුදෙනාම මේ මහා කළු ජාවාරමේ කොටස්කරුවෝ වූහ.

80 සිට මේ දක්වා සිංහල සාහිත්‍යය වටහා ගැනීමේදී මේ ඓතිහාසික චිත්‍රය වැදගත්ය. 80 දශකය පැරණි වර්තමාන යුගය යා කරන එහෙත් බෙහෙවින්ම පැරණි පරපුර විසින් ආධිපත්‍ය දැරූ යුගයක් විය. එහෙත් 90 ඇරඹෙන යුගය පැරණි මුද්‍රිත තාක්ෂණය හා ආණ්ඩුවේ නාලිකාවල බල පද්ධතීන් පුපුරා යැවූ යුගයක් නිසා පැරණි පරපුරේ බලය හීන වී යෑම ඇරඹුණි.

මේ නව ලෝකය තුළ සාහිත්‍ය ක්ෂේත්‍රය ද විශාල වශයෙන් විවෘත වී ගිය අතර ප්‍රකාශක ලේඛක විචාරක බහුලත්වයක් මෙන්ම ඔවුන්ට ලැබෙන මාධ්‍ය අවකාශයද විශාල විය.
වර්තමාන අර්බුදය කුමක්ද?

මේ මොහොතේ පවතින අර්බුදය වන්නේ තාක්ෂණික හා සෙසු සංවර්ධනයන්ට සාපේක්ෂව විශිෂ්ටභාවයක් හා ප්‍රජාතන්ත්‍රවාදී විචාරාත්මක සංවාදයක් නිර්මාණය කරගැනීමට සිංහල සාහිත්‍ය අසමත්වීමයි. විද්වතුන් හා මාධ්‍ය බහුතරය හැසිරවෙන්නේ බෙහෙවින්ම ප්‍රකාශකයන් හා ඔවුන්ගේ කොන්තරාත්තු ඉටු කරන වන්දිභට්ටයන් අතිනි. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ සිට සාමාන්‍ය ලේඛකයන් දක්වා මෙම වන්දිභට රැළ නියෝජනය කරන අතර මේ සඳහා නව විචාර න්‍යාය භාවිත කිරීමේ විහිළුවද දැකිය හැකිය.
ශ්‍රේෂ්ඨ විශ්ව සාහිත්‍යය වෙනුවට විවිධ සංකේතීය ඉන්ද්‍රජාල අගය මවන එහෙත් හරයාත්මකව ඉතා අධම කාම සාහිත්‍යයක් නඩත්තු කෙරෙන බව පෙනේ. තරුණ පරපුර මෙම කාම සාහිත්‍යයේ ගොදුරක් වන අතර එය රැඩිකල් ප්‍රගතිශීලී රුචියක් ලෙස හුවා දැක්වීම දිගින් දිගටම සිදු වේ.

මේ තත්ත්වය තුළ විචාර කලාව යනු න්‍යාය කැබලි කීපයකින් සාහිත්‍ය විනිශ්චය කිරීම මිස කෘතියක වින්දනය හා රසඥතාව පිළිබඳ සාකච්ඡා කිරීම නොවේ. තෝරා ගත් ගූඪ හා අන්තර්ගතයෙන් වියුක්ත ආකෘතිවාද පිළිබඳ විශාල ඇල්මක් දැක්වීමත් එය සදාචාරාත්මක බවින් වියුක්තකරණය කොට ව්‍යාජ රැඩිකල්කරණයකට ලක් කිරීමත් දිගින් දිගටම සිදුවේ.

සමාලෝචනය

යම් දෙයක් ප්‍රමාණාත්මකව දියුණුවීමට පෙර ගුණාත්මකව දියුණු විය යුතු යැයි න්‍යායයක් පවතී. එහෙත් එය ඉබේම සිදුවන්නේ නැත. ඒ සඳහා ක්‍රියාවලියක් පැවතිය යුතුය. වර්තමානයේ අප සිටින්නේ එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතු තීරණාත්මක මොහොතකය.