මාර්ග සංවර්ධන අධිකාරියේ හොර සපත්තු මාෆියාව

රසික ගුණවර්ධන

අප පුවත්පත විසින් දිගින් දිගටම කරුණු අනාවරණය කළ සැලසුම් සහගත වංචාවක් බවට ප්‍රබල ලෙස කරුණු මතු වූ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග ඒකකයේ බාල සපත්තු ගනුදෙනුව සඳහා අදියර වශයෙන් සැපයුම්කරුට මුදල් ගෙවීමට පටන්ගෙන ඇති බවත් මෙසේ සැපයුම්කරු හට ගෙවීමේ අරමුණ වන්නේ මෙම වංචාසහගත ගණුදෙනුවේ සැලසුම හෙළිවීම වලක්වා ගැනීම බවත් රාවයට වාර්තා වේ.

ඒ අනුව මෙහි පළමු අදියරේ ගෙවීමක් ලෙස රු. 825,100 ක මුදලක් ගෙවා ඇත. ඉදිරි කාලය තුළ සැපයුම්කරු ඉල්ලා සිටින මුළු මුදලට ඉතා ආසන්න මුදලක් ගෙවා දැමීමටද ඔහුට පොරොන්දු වී ඇති බවද අපට දැන ගැනීමට ඇත.

මෙම ගෙවීම සඳහා පදනම් කොට ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් ලබාදෙන නිර්දේශයකිනි. කරුණු නොදැන නිර්දේශ ඉදිරිපත් කිරීම හෝ එසේ නොමැති නම් උවමනාවෙන්ම මෙම කමිටුව නීතිවිරෝධී හා වංචනිකයන් ආරක්ෂා කරන නිර්දේශ ලබා දෙමින් අනීතික ගනුදෙනුවකට මුදල් ගෙවීමට මග සලසා ඇත. මෙම කමිටුව පත්කොට ඇත්තේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් RDA/EOM&M/GEN1487  දරණ ලිපියෙනි.
කමිටුව ප්‍රකාශ කර සිටින්නේ මෙම බාල සපත්තු පිළිබදව වාචික පැමිණිලි ලැබී තිබුණද කිසිදු ලිඛිත පැමණිල්ලක් ලැබී නොමැති බවකි. එය අසත්‍ය කාරණයක් වන අතර මුදල් ගෙවීමේ අවශ්‍යතාව නිසාම නිර්මාණය කරන ලද කතාන්දරයකි. එසේම මෙම බෙදා දුන් සපත්තු සේවකයන් විසින් භාවිත කරන බවත් මෙම කමිටු වාර්තාවේ දක්වා ඇත. එසේ හෙයින් ප්‍රථමයෙන් 50% මුදලක්ද ඉන් පසුව විශේෂ කමිටුවක නිර්දේශ මත ඉතිරි මුදල්ද ගෙවීමට නිර්දේශ කොට ඇත.

කෙසේ වෙතත් ලබා දුන් පාවහන් සම්බන්ධව පළමු ලිඛිත පැමිණිල්ල සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් 2018-07-17 වන දින අධිවේගී මාර්ග අධ්‍යක්ෂව සිටි හා මෙම ගනුදෙනුව පිළිබඳව චෝදනාව එල්ල වූ සමන් ඕපනායක වෙත යොමුකර ඇත. මෙම බාල සපත්තුවක සැබෑ වෙළදපොළ වටිනකම රුපියල් 1000 අඩු බවත් බාල බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී මුළු තොගයම ප්‍රතික්ෂේප නොකිරීම පිළිබදවත් ඔවුන් මෙම ලිපිය මගින් පැමණිලි කොට ඇත. එසේම සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් ද බාල සපත්තු බෙදාදීම පිළිබඳව අධ්‍යක්ෂ වෙත ලිඛිතව පැමිණිලි කොට ඇත, මෙම ලිපි දෙක මගින්ම මෙම බාල සපත්තු පැළදීම නිසා සමේ රෝග පවා ඇතිවීමේ අවධානමක් ඇතිව ඇති බව දක්වා ඇති අතරම සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය වැඩි දුරටත් දක්වා ඇත්තේ මෙම හේතු නිසාම සේවකයින් මෙම සපත්තු පැළදීම ප්‍රතික්ෂේප කරන බවයි. එසේම 2018 -08 -14 වන දින සමස්ථ ලංකා අධිවේගී මාර්ග රථවාහන පාලන සංගමය මෙම වංචනික ගනුදෙනුව පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි වෙත ලිඛිතව පැමිණිලි කොට ඇත. බාල සපත්තු වංචනික සැපයුම්කරු ලවා අලුත්වැඩියා කළා යැයි පවසා දෙවන වර බලහත්කාරය යොදවා සේවකයන් බිය වද්දා බෙදා දුන් බවත් බාල සපත්තු ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සේවකයන් වෙතින් ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වා ලිපි ඉල්ලා සිටි බවත් ඔවුන් ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. මෙය අනියමින් ඉතා පහත් ලෙස සේවකයන් බියවද්දා වංචාව බලාත්මක කර ගැනීමට උත්සාහ දැරූ බවට ප්‍රබල සාක්ෂියකි. එසේම බාල සපත්තු බාර නොගතහොත් නැවත සපත්තු ලබා දීමක් නොකරන බවත් සේවකයන් හට දන්වා තිබු බව වෘත්තිය සමිතියක් ලෙස ඔවුන් එම ලිපියේ පැහැදිලිව දක්වා ඇත. මිට අමතරව ජාතික විගණන කාර්යාලය විසින් භාවිත කරන්නන් වෙතින් මෙම බාල සපත්තු වල ප්‍රමිතිය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු හරහා ලිඛිතව අදහස් කැදවූ අවස්ථාවේද අදහස් විමසු සියලු දෙනා මෙම සපත්තු භාවිතයට නුසුදුසු බාල ඒවා බව ප්‍රකාශ කොට ඇත. ඒ නිසාම වෙළඳපොලෙන් මිලදී ගත් ඒවා පළදින බවත් බොහෝ අය ප්‍රකාශ කොට ඇත. මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී නැති බව අසත්‍යක් සේම මෙම බාල පාවහන් භාවිතා කරන බවට ගොඩනගන තර්කය වංචනික සැපයුම්කරු හට මුදල් ගෙවීමටම නිර්මාණය කරනු ලැබුවක්ම බවයි. සැපයුම්කරුහට මුදල් ගෙවීම මගින් මෙම වංචාවට හවුල් නිලධාරීන්ගේ සම්බන්ධය හෙළිදරව් වීම වලකා ගැනීම මෙහි මුලික අරමුණ බව මෙයින් පැහැදිළි වේ.
අධිවේගී මාර්ග ඒකකයේ නිලධාරින් වාචික පැමිණිලි ලැබූ තිබු නිසා මෙම බාල සපත්තු සැපයුම්කරු ගෙන්වා කරුණු සාකච්ඡා කළ නමුත් එසේ සාකච්ජා වූ කරුණු ලිඛිතව සටහන් කොට නොමැති බවත් කමිටුව දක්වා ඇත, මිලියන 3.77 පමණ වූ ගනුදෙණුවක් පිළිබද මතු වූ බරපතළ ගැටළුවක් පිළිබදව වූ සාකච්ජාවක් ලිඛිතව වාර්තා නොවීම ඉතාම අසාමාන්‍ය නොවන්නේද?

සැපයුම්කරු සමග අධිවේගී මාර්ග ඒකකය ලිඛිත ගිවිසුමක් ඇති කරගෙන නොමැති වුවද එම අංශය නිකුත් කොට ඇති මිලදී ගැනීමේ ඇනවුම මගින් මාර්ග සවර්ධන අධිකාරිය බැදීමකට යටත්ව ඇති බවද කමිටුව ප්‍රකාශ කොට ඇත. ගිවිසුමක් ඇති කර නොගැනීම කාගේ වරදක්ද?

මෙම බාල සපත්තු ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතු වූ පළමු වරම හරවා නොයැවීම අධිවේගී මාර්ග ඒකකය විසින් කරන ලද වරදක් බවත් පිරිවිතරයන්ට නොගැලපෙන භාණ්ඩ සැපයුම්කරු සපයා ඇති බවත් කමිටුව ප්‍රකාශ කර සිටින අතර මෙම වැරදි සිදු කල අය පිළිබදව කිසිවක් නොකියා සිටීමටද කමිටුව පරිස්සම් වී ඇත.
කමිටු වාර්තාව ඇස නොගැටුණු පහත කරුණු පිළිබදව ද අප ඔවුනගේ අවධානය යොමු කරමු.

මෙම සපත්තු ලෙදර් බව අගවා ලබා දී ඇත්තේ ස්වාභවික සමින් නිපදවා නොමැති බාල සපත්තු බව විගණකයන් විසින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සම්භාණ්ඩ අංශයෙන් කරනු ලැබූ පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. රජයේ විගණකයන් මෙවන් පරීක්ෂාවක් සිදු කිරීමට හේතු වී ඇත්තේද මෙම සපත්තු ස්වාභවික සමින් නිපදවා ඇති බවට සැපයුම්කරු විසින් ඉහත ආයතනය මගින්ම ව්‍යාජ ප්‍රමිති සහතිකයක් ඉදිරිපත් කර තිබීමයි. එම සහතිකය ගුණත්වයෙන් යුතු වෙනත් සපත්තු සාම්පලයක් ඉදිරිපත්කොට ලබාගත් ව්‍යාජ සහතිකයක් බව පසුව තහවුරු වී ඇත. අල්ලස් කොමිසම මේ පිළිබඳ කරන ලද විමර්ශනයකට පවා මෙම ව්‍යාජ සහතිකය ඉදිරිපත් කිරීමට මෙම ගනුදෙනුවට සම්බන්ධ නිලධාරින් කටයුතු කොට ඇත. එසේම පෙර අප හෙළිකළ පරිදි මෙම සැපයුම්කරු හට ලංසු තැබීමේ ලේඛන නිකුත් කිරීමද ප්‍රසම්පාදන නිතිය උල්ලංඝනය කිරීමකි. ලියාපදිංචි නොවූ මෙන්ම මෙම ගනුදෙණුව සදහා ආරාධනා නොකළ අයකු වූ මෙම බාල සපත්තු කරුහට ලංසු තැබීමේ ලේඛන අනීතික ලෙස නිකුත් කිරීමට ප්‍රසම්පාදන අංශය කටයුතු කර ඇති අතරම තාක්ෂණික කමිටුව එම ලංසු ලේඛන ඇගයීමේදී ඉවත් කළ යුතු වුවත් එසේ ඉවත් කිරීමටද කටයුතු කර නොතිබිණි. සපත්තු බාල බව භාවිත කරන්නන් විසින් දන්වා ඇති නමුත් මුළු තොගයම නැවත හරවා යැවීමටද කටයුතු නොකර ඇතිවා සේම තාක්ෂණික කමිටුව විසින් අනිවාර්යෙන්ම කළ යුතු රාජකාරියක් වූ සාම්පලය හා මුළු තොගය ගැලපේද යන්න පරික්ෂා කිරීම ඔවුන් විසින් පැහැර හැරීම ඉතාම සැකසහිතය.

මේ අනුව මෙම ගනුදෙනුව මුල සිටම සිදුව ඇත්තේ ඉතාම වංචනික ලෙස හා සැලසුම් සහගතවම ප්‍රසම්පාදන නිතීය උල්ලංඝනය කරමින් වන අතර මෙම ගනුදෙනුවට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හා තාක්ෂණික කමිටුව සමස්ත ක්‍රියාවලිය තුළදී ම මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් නොව බාල සපත්තු සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිට ඇත. විගණන විමසුමට පිළිතුරු ලිවීමට උනන්දු නොවූ ඔවුන් බාල සපත්තුකරු හට ගෙවීම් කිරීමට ඉමහත් උනන්දුවක් දක්වා ඇත. වර්තමාන වාර්තාව ඉදිරිපත් කරන කමිටුවද දැන හෝ නොදැන එම හැසිරීමම දක්වා ඇත. මෙහිදී මතුවන ගැටලු කිහිපයකි.

මෙම වංචාකාරී ගනුදෙනුව මගින් මිලදී ගත් භාණ්ඩ සඳහා මිල ගෙවීමට විවිධ උපක්‍රම තෝරමින් සිටින්නේ සැපයුම්කරු හා කළමනාකරණයට ඇති ශක්තිමත් බැඳීම නිසාද?

මෙම ගනුදෙනුව දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සිදුකළ වංචාසහගත ගනුදෙනුවකි. එසේම මිලදී ගෙන ඇත්තේ අවශ්‍යතාවයට නොගැලපෙන භාණ්ඩය. එසේම මෙම භාණ්ඩ නැවත හරවා යැවිය යුතුව තිබුණද එසේ නොකිරීමට දුෂිතයන් කටයුතු කොට ඇත. එසේම ප්‍රමිතියේ ගැටලු මතුවූ නිසා කාර්යසාධන බැදුම්කරයේ කාල සීමාවවත් දික් කර ගැනීමට ප්‍රසම්පාදන අංශය කටයුතු කොට නැත. මුළු තොගය හා සාම්පලය පරික්ෂා කොට භාණ්ඩ තොගය සාම්පලයට අනුකුල නොවන හදුනාගැනීමට තාක්ෂණික කමිටුව කටයුතු කොට නොමැත. මෙම සියලු සිදුවීම් අහම්බයක් වන්නේ කෙසේද? මෙම සියලු හැසිරීම් සැපයුම්කරු වෙනුවෙන් පෙනී සිටීමක් නොවන්නේද?

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදුන් කමිටුවේ සමාජිකයකු වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ මුදල් ඩී. එම්. ජී.  අබේරත්නගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ සිය කමිටුවට මේ සම්බන්ධයෙන් කිසිදු ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබුණු බව දැනගන්නට නොලැබුණු බවයි.