ළමයින්ගේ සෞඛ්‍යයට හානි කරන ජාතිවාදී ආකල්ප

මහින්ද අබේසිංහ

මෙහි පහත දැක්වෙන්නේ අමෙරිකාවේ ටෙක්සාස් හි එල් පාසෝ නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් පසුව sciencenews.org  වෙබ් අඩවිය වෙනුවෙන් එහි ලේඛිකා ඒමී කනිංහැම් විසින් ළමා රෝග විද්‍යාව පිළිබඳ අමෙරිකානු විද්‍යායතනයේ වෛද්‍යවරියක සමග කරන ලද සාකච්ඡාවකි.

සංක්‍රමණ විරෝධී යැයි සැලකෙන තුවක්කුකරුවකු විසින් ටෙක්සාස් හි එල් පාසෝ වලදී පුද්ගලයින් විසිදෙදෙනෙකු මරාදමන්නට ටික දිනකට පෙර ළමා රෝග විද්‍යාව පිළිබඳ අමෙරිකානු විද්‍යායතනය විසින් ජාතිවාදය ළමයින්ගේ සමස්ත සෞඛ්‍යයටම අහිතකර බවට අනතුරු ඇඟවීමක් කර තිබුණි.

අගෝස්තු 3 දින වෝල්මාට් හී සිදුවූ වෙඩිතැබීමෙන් බේරීමට පලායන පුද්ගලයින් අතර නැවත පාසැල් යාම සඳහා අවශ්‍ය දෑ මිලදී ගැනීමට තම දරුවන් සමග පැමිණි තරුණ දෙමව්පියෝ ද වූහ. “මාස දෙකක් වයසැති අතදරුවා ආරක්ෂා කරගැනීම සඳහා තම ජීවිත කැප කළ තරුණ මව්පිය යුවළ මා ප්‍රතිකාර කරන අයගේ වයස් කාණ්ඩයේ පසුවන අය.” මෙසේ පවසන්නේ වයස 25 පහළ රෝගීන්ට ප්‍රතිකාර කරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලීය වෛද්‍ය විද්‍යාලයේ ළමා හා යොවුන් රෝග විශේෂඥ වෛද්‍ය මාරියා ට්‍රනේට්ය. ඇය කියන පරිදි මෙම වෙඩි තැබීම ළමයින්ගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට එක්සත් ජනපදයේ පවතින ප්‍රධාන තර්ජන දෙකක් ඉස්මතු කරයි. එනම් ආයුධ සන්නද්ධ හිංසනය සහ ජාතිවාදයයි.

විද්‍යායතනයේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමට ද සහය වූ ඇය පවසන්නේ රට පුරා සිටින ළමයින්ට හා යෞවනයන්ට ප්‍රවෘත්ති අසන්නටත්, වැඩිහිටියන්ගේ කථාවලට සවන් දෙන්නටත්, ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පුවත් නරඹන්නටත් අවස්ථාව ලැබෙන බවය. “ඔවුන් සුරක්ෂිතබව තහවුරු කරන්නටත් එය සැබැවින්ම සත්‍ය බව අවබෝධ කරදෙන්නටත් හැකි වැඩිහිටියන් ඔවුන්ට අවශ්‍යයි.” ඇය තවදුරටත් පවසයි.

මේ පිළිබඳව දිගු කාලයක් පැවති අවිනිශ්චිතතාව නිම කරමින් ජූලි 29 දින නිවේදනයක් නිකුත් කරන විද්‍යායතනය පවසන්නේ ජාතිවාදී වදන්වලට හා ක්‍රියාවලට ඉලක්කවීම පමණක් නොව එවන් දේ දැකීම පවා ළමුන්ට හා යෞවනයන්ට ජීවිත කාලය පුරාම පැවතිය හැකි අහිතකර ප්‍රතිඵල ළඟාකරදිය හැකි බවයි. ට්‍රනේට් හා ඇගේ සඟයින් පවසන්නේ සෞඛ්‍යයට හා යහපැවැත්මට ජාතිවාදය කරන අහිතකර බලපෑම තහවුරු කිරීමට ඇති සාධක ඉතා පැහැදිලි බවයි.

විද්‍යායතනය ජාතිවාදය කෙරෙහි නිශ්චිතව අවධානය යොමුකළ පළමු අවස්ථාව මෙයයි. ට්‍රනේට් ීජසැබජැ භැඅි සමග ඉහත ප්‍රකාශය පිළිබඳව හා ළමා රෝග විශේෂඥයින් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න ගැන කථා කළාය. ඇගේ පිළිතුරු ඉඩකඩ හා පැහැදිලි බව සලකා සංස්කරණය කර ඇත.

ජාතිවාදය ළමයින්ට හා යෞවනයන්ට බලපාන්නේ කොහොමද?

ට්‍රනේට්: ළමයින් උපන් මොහොතේ පටන්ම ජාතිවාදය ඔවුන්ගේ සෞඛ්‍යයට හානිකරයි. එය ඔවුන්ගේ වර්ධනයට, මානසික සෞඛ්‍යයට හා ශාරීරික සෞඛ්‍යයට බරපතල ලෙස බලපෑම් කරනවා.

එක්සත් ජනපදයේ අප්‍රිකානු-අමෙරිකන් කාන්තාවන් ගැන අවධානය යොමු කිරීමේදී, කෙනෙකුගේ ජීවිත කාලය පුරාම දක්නට ලැබෙන ජාතිවාදී අත්දැකීම හා ඔවුන්ගේ දරුවන්ගේ උපත් බර අතර සබඳතාවක් දකින්නට පුළුවන්. එය ගර්භණිභාවයට බලපෑම් ඇති කරන දුර්වල මාතෘ සෞඛ්‍යයට, නොමේරූ දරු උපත්වලට මෙන්ම ළදරුවන්ගේ අඩු උපත්බරට ද හේතු වෙනවා.

යොවුන්වියේ දී තරුණ පුද්ගලයින්ට ශක්තිමත් වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව ගැන අවබෝධයක්, තමන් කවුද කියන එක ගැන සාධනීය හැඟීමක් තිබීම අවශ්‍යයි. තම ජීවිත කාලය තුළ දී ජාතිවාදී සිදුවීම්වලට මුහුණදුන් බවට වාර්තා කළ, වැඩිහිටි බවට පත්වූ තරුණ අය අතර අපි දකිනවා රුධිර වාහිනී පද්ධතියට, පරිවෘත්තිය ක්‍රියාවලියට  (metabolic) සහ මානසික සෞඛ්‍යයට අදාළ ප්‍රතිවිපාක.

මෙවැනි දරුණු ක්‍රියා දකින පුද්ගලයින්ට එම සිදුවීම් (සමහරවිට ඒවා ක්‍රීඩාංගනයක සිටින දරුවකු නිරතුරුවම අපහාසාත්මක නමකින් අමතනවා තවත් දරුවකු දකිනවා වැනි සිදුවීමක් විය හැකියි.) තරුණ වියේ වැඩිහිටියන් ලෙස නැවත මතක් කරන ලෙස ඉල්ලා සිටි විට ඔවුන් දක්වන ප්‍රතිචාර භූමිකම්පාවක් වැනි මානුෂීය අර්බුදයකට මුහුණ දුන් අය ප්‍රථම වරට දක්වන ශාරීරික ප්‍රතිචාරවලට සමානයි.

ජාතිවාදය තරුණවියේ පසුවන අයෙකුගේ ශරීරයට කරන්නේ මොනවගේ දෙයක් ද?

ට්‍රනේට්: ඔබට පීඩාකාරී අත්දැකීමක් තියනවනම් “සටන් කිරීම නැත්නම් පලායාම” (fight-or-flight response) විදියේ ප්‍රතිචාරයක් දකින්න පුළුවන්. ජාතිවාදයේ තිබෙන ගැටලුව තමයි බොහෝවිට මිනිසුන්ට එය නැවත නැවත අත්විඳීමට සිදුවන නිසා ඔවුන්ට ප්‍රකෘති තත්ත්වයට පත්වන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැති එක. ඔවුන්ට හැමවිටම තම පරිසරය පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින්න සිදුවෙනවා.

අන් පුද්ගලයින් සමග කරන දෛනික අන්තර් ක්‍රියාකාරකම්වලදි වගේම සෞඛ්‍යය සේවා ආයතන, පාසැල වැනි ආයතන සමග මොන විදියට ද ඔවුන් සබඳතා පවත්වන්නේ කියන කාරණය මත වුණත් ළමයින් ජාතිවාදයට නිරාවරණයවීම රඳා පවතින්න පුළුවන්.

බිය සහ පීඩනය දිගු කාලයක් පැවතුනොත් එය නිදන්ගත ආතති තත්ත්වයක්  (toxic stress) දක්වා වර්ධනය වෙනවා. මුල් අවදියේදී බරපතල ලෙස පීඩාවට පත්වූ පුද්ගලයින් හෘදරෝග, දියවැඩියාව හා විශාදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.

ළමාරෝග විශේෂඥයන්ට මේ සම්බන්ධයෙන් කළහැකි කුමක්ද?

ට්‍රනේට්: අප නිර්දේශ කරන්නේ ළමා රෝග විශේෂඥයන් වශයෙන් ස්වයං තක්සේරුවක් තුළින් අපගේ පක්ෂග්‍රාහී හැඟීම් මොනවද කියල අවබෝධ කරගෙන ඒවා පාලනය කරගැනීමයි. අප වෙත පැමිණෙන රෝගීන්ට සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් ගැලපෙන සේවාවක් සැලසීම තහවුරු කරගැනීම සඳහා අපගේ ප්‍රතිකාරවලදී කළයුත්තේ කුමක් දැයි අප දැනගත යුතුයි. අපට සිදුවෙනවා කාර්ය මණ්ඩලය පුහුණු කරන්නටත් දොරෙන් ඇතුළට එන සෑම රෝගියෙකුටම ප්‍රතිකාර කළ යුතු ආකාරය පිළිබඳ අපේක්ෂාවක් ඔවුන්ට ලබාදෙන්නටත්.

සමාජය අපෙන් බලාපොරොත්තු වෙනවා ළමා සෞඛ්‍යය පිළිබඳව අප පෙරමුණ ගනී කියල. හොප්කින්ස් වෛද්‍ය විද්‍යාලයේ වැඩකරන අපේම කෙනෙක් කතාවක් කළා පොලීසිය කොහොමද තරුණ අය සමග කටයුතු කරන්නේ සහ ඇයි යොවුන් වියේ පසුවන අය වෙනස් කියන එක ගැන. එහිදී කතා කළේ වර්ණයෙන් වෙනස් දරුවන් වෙනස් ඇයි කියල නොවෙයි, ඇයි යොවුන් වියේ අය වෙනස් කියල. පොලිස් නිලධාරීන් තේරුම් ගන්නට පටන් ගත්තා තරුණ තරුණියන් ඔවුන්ට ඒ විදියට ප්‍රතිචාර දක්වන්නේ ඔවුන් ඔවුන්ගේ වර්ධනයේ එක් අවධියක සිටින නිසා කියල.

ඔබ ප්‍රතිකාර කරන අවස්ථාවලදී ජාතිවාදයට සම්බන්ධ ගැටලු සඳහා මොනවගේ ක්‍රියාමාර්ග ද අනුගමනය කළේ?

ට්‍රනේට්: යෞවනයන් අතර පච්ච කෙටීමේ කලාව දැන් සාමාන්‍ය දෙයක් වෙලා. මම දකින විදියට ඒවා අපිට නොයෙකුත් තොරතුරු කියනවා. මම කවුරුහරි පරීක්ෂා කිරීමේදී අහනවා, “මේවා ගැන මට කියන්න, මොනවද ඒවගෙන් අදහස් වෙන්නේ?” කියලා. ඔවුන් නිතරම වේදනාකාරී අත්දැකීම් නිසා කම්පනයට පත්වීම් හා අහිමිවීම් පිළිබඳව කතා කියනවා. මම ඉතාමත් කැමති දෙය තමයි තරුණ වයසේ අයට ඇහුම්කන්දීම සහ ඉදිරියට යාම සඳහා ඔවුන් අවට තිබෙන සම්පත් හසුරුවාගන්නට ඒ අයට උදව් කිරීම.
වැදගත්ම දේ තමයි ඔවුන්ට සවන්දෙන එක සහ තරුණවියේ පසුවන අය තමන් වෙනුවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය කුමක්ද කියල හිතන එක. අපි කතා කරනවා ඔවුන්ට පාලනය කරගතහැකි හා නොහැකි දේවල් ගැන වගේම එවැනි අවස්ථාවලදී ඔවුන් කෙසේ හැසිරිය යුතු ද කියල.

විද්‍යායතනයේ ප්‍රතිපත්තිය ප්‍රතිකාරවලට මොනවගේ බලපෑමක්ද ඇති කරන්නෙ?

මෙම ප්‍රතිපත්තිය කාලයක් අපේ රටේ ඇතිවී තිබෙන ක්‍රියාකාරකම්වලට දක්වන ප්‍රතිචාරයක් මිස මේ මොහොතේ සිදුවන සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමක් නෙමෙයි. ජාතිවාදය කියන්නෙ සාමාජීය වශයෙන් පැතිරෙන රෝගයක්. අපි ඒක අපේ ළමයින්ට බෝ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ළමා රෝග විශේෂඥයින් පමණක් නෙමෙයි වැඩිහිටියනුත් තමන්ගේ ආකල්ප, කථාව සහ හැසිරීම් රටාව කොහොමද ළමයින්ට බලපාන්නෙ කියන එක ගැන කල්පනා කරයි කියල.

අපට දක්නට ලැබෙන සංසිද්ධීන්වලට එක් හේතුවක් වන්නේ සම්පත් වලට ළඟාවීමට තිබෙන අසමාන ඉඩකඩයි. සෑම දරුවෙකුටම ආරක්ෂාකාරී වටපිටාවක් තිබිය යුතුයි ජීවත්වීම සඳහා. සෑම දරුවෙකුටම උණ්ඩ වලින් තොර, හිංසාවෙන් නිදහස් වුණ පරිසරයක නිවසක් හිමිවිය යුතුයි. සෑම දරුවෙකුටම පිරිසිදු ජලය ලැබිය යුතුයි. නිදාගැනීමට, නෑමට, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඉඩක් නොලැබෙන තැනක තරුණ වයසේ අයට ඉන්නට ඉඩ නොතැබිය යුතු වගේම, එක්සත් ජනපදයේ ආරක්ෂිත ස්ථානයක් සොයන නිසාම ඔවුන් සිරගත කිරීමත් නොකළ යුතුයි.

එල් පාසෝ වෙඩි තැබිමේ සිද්ධියත් සමගම ඉක්මනින්ම කළහැක්කේ කුමක්ද?

ළමා රෝග වෛද්‍යවරුන් ලෙස, එම පවුල්වල අයට මෙවැනි සාකච්ඡා තුළින් හා මෙම සිද්ධීන් විසින් සිදුකර ඇති ඍජු හා වක්‍ර කම්පන තත්ත්ව සඳහා උදව් කරන්නට අපි එහි යනවා. ආයුධ සන්නද්ධ හිංසාකාරී සිදුවීම් වැලැක්වීමටත්, ළමයින්, යෞවන යෞවනියන් හා පවුල්වලට බලපාන ජාතිවාදී පරිසරය වෙනස් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට රාජ්‍ය පාලකයින් පෙළඹවීම සඳහාත් කෙරෙන අපගේ උපදේශාත්මක උත්සාහය දිගටම කරගෙන යනවා.

ඒමී කනිංහැම් විසින් මාරියා ට්රෙන්ට් සමග කරන ලද සාකච්ඡාව www.sciencenews.org  වෙබ් අඩවියේ  Racist words and acts, like the El Paso shooting, harm children’s health  මාතෘකාව යටතේ පළවී ඇත.