බ්‍රේකින් නිවුස්

ටිරන් කුමාර බංගගමආරච්චි

එජාපයට ජනපති අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව ලතවෙද්දී පොදු ජන පෙරමුණ ගෝඨාභය කරේ තබාගෙන රට වටාම යන්නට පටන් ගෙනය. රාජපක්ෂලාගේ එකම අරමුණ ගෝඨා දිනවීමය. යම් හෙයකින් ගෝඨා පැරදුණහොත් රාජපක්ෂලාම කම්මුතු බව ඔවුහු දනිති. රාජපක්ෂලා සමග ඔවුන් වටා සිටින කුක්කෝද විනාශ බව ස්ථිරය. එසේ නම් කුමන හෝ මගඩියක් කර ගෝඨා දිනවිය යුතුමය. ගෝඨා හැර සරණක් ඒ අයට දැන් නැත.

ගෝඨා ගෙන ඒම මූලිකව කරට ගත්තේ මාධ්‍යය. ඒ අතර දෙරණ ප්‍රබලය. දෙරණ නාලිකාව සිරස මෙන් දේශපාලන තරංග බවට පෙරළී හමාරය. මෙවර ගෝඨා ගෙන ඒමේ සටන මූලිකවම ඔසවා ගත්තේ ඔවුන්ය. මහින්ද රාජපක්ෂ ගෝඨාට දෙනවාද නැද්ද යන්න තැනට තල්ලු කළේ දෙරණ මාධ්‍ය විසිනි. අවසානයේ දිය යුතුම තැනට ගෙනාවේද මේ මාධ්‍ය විසින්මය. දැන් ඇත්තේ මාධ්‍ය කරන සෘජු දේශපාලන සෙල්ලමකි. සජිත් ඕනෑම යැයි කියන්නේ සිරසය. මේ අද ඊයේ සටනක් නොව කලක පටන් පැවතෙන්නකි. මහරාජාට ඕනෑ කෙසේ හෝ සජිත් කරළියට ගෙන ඒමය. ඔහු මීට පෙර ඒ සඳහා ගත් හැම උත්සාහයක්ම ව්‍යවර්ථ විය. එහෙත් මෙවර ඔහු පසුබසින්නට සූදානම් නැත. මේ මාධ්‍ය සෙල්ලමේ වුව දෙරණට වඩා සිරස භයානක බව කිව යුතුය. ඒ අන් හේතුවක් නොව, දෙරණට ගෝඨා නැටවීමේ සම්පූර්ණ ශක්තියක්, බලයක් නැතත් කිලී මහාරාජා (සිරස) සජිත්ව අල්ලේ නටවමින් සිටින බැවිනි. මේ තත්ත්වය බලය ලැබුණු පසු සජිත් වෙනස් කර ගනිතැයි අනුමාන කළ හැකිය. රණසිංහ ප්‍රේමදාස ද මහරාජාට හසුවූ අතර වරදාන දී ගැලවිය. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. දැන් මහරාජා මස් රාත්තලම ඉල්ලන ගාණය. සජිත්ට බලයට ඒමට ඉඩදෙන අය ඔහු ලවා සහතික කරගත යුත්තේ සජිත් මහරාජාගේ රූකඩයක් වනවාද නැද්ද යන්නය.

රටේ ආරක්ෂාව

ගෝඨාභය ගෙන ඒම සඳහා මාධ්‍ය මුලින්ම හැදූ අත්‍යවශ්‍ය අංගය වූයේ රටේ ආරක්ෂාවය. රට අනාරක්ෂිත බවත් එය ආරක්ෂිත කරන්නට නම් ශක්තිමත් නායකයකු අවශ්‍ය බවත් බොහෝ මාධ්‍ය ප්‍රචාරණය පටන් ගත්හ. දෙරණ, හිරු, දිවයින, මව්බිම එකාවන්ව ඒ හඬ නැගූහ. මේ ගෝඨා ප්‍රචාරණයේ මුල් අදියරය. මේ මාධ්‍ය එක දිගටම මතුරන්නට වූයේ රට අනාරක්ෂිත බවය. යහපාලන ආණ්ඩුව පත්වූ දවසේ සිට රාජපක්ෂලා මැතුරුවේ එල්ටීටීඊ ත්‍රස්තවාදය නැවත නැඟිටිය හැකි බවය. කොටි ත්‍රස්තවාදය මුලින්ම උගුලා දැමුවයි කී රාජපක්ෂලා නැවත එල්ටීටීඊ සංවිධානය ගැන බිය වැපිරුවේ ඇයි? ඒ එවැන්නක් ඇති වුවහොත් ඇති එකම විසඳුම ඔවුන් බව මීට පෙර ඔප්පු කොට ඇති බැවිනි. එනම් යුද්ධය අහවර කළ රාජපක්ෂලා යන්නය. ඒ අනුව බලන කල යුද්ධය නැතිවූ පසු වැඩිම දුකට පත්වූයේ රාජපක්ෂලාය. එතරම් හපන්කමක් කළ තමන්ව ජනතාව පරාජය කළා යන ලතැවිල්ල, වැලපිල්ල මහින්ද තුළ තදින්ම දැකගත හැකිවිය. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද අසන්නාක් මෙන් යුද්ධයක් නැති කොට රාජපක්ෂලාට පැවැත්මක් නැද්ද යන්න පෙනුණ ප්‍රශ්නයකි. ඒ අල්ල පනල්ලේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිද්ධ විය. කවුරු කුමක් හිතුවද එය මොනතරම් ඛේදවාචකයක් වුවද එය රාජපක්ෂලාට වෙස් වලා ගත් ආශිර්වාදයක් විය. එයම යහපාලනයට ආ සුනාමියක් විය. මෙරට සමස්ත දේශපාලනයට උඩි යටිකුරු වූයේ මෙම ප්‍රහාරයත් සමගය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරි එළියටත් බයය. එබැවින් එහෙව් ජනතාවට නැවත බය පොම්ප කිරීමේ මාධ්‍ය මෙහෙයුම අපූරුවට ව්‍යාප්ත කැරිණි. රාජපක්ෂලා හැමවිටම කරට ගත් දේශපාලන සටන් පාඨය වූයේ රටය. කොතෙක් ඇන ගත්තද ඔවුහු රට බිම නොතැබූහ. අවසානයේ රටම ඔවුන්ට පිහිට වූයේය. මෙතැනදී මහින්දගේ පවා ඇස් වසාලන මෙහෙයුමක් දියත් විය. ඒ දෙරණ සමගය. ඒ පිටුපස සිටියේ ගෝඨා වුවමනා පිරිසය. මුලදී මහින්ද සිටියේද කවුරු ඉදිරිපත් කළ යුතුද දෙගිඩියාවේය. ඒ අස්සේ සජිත් මෙන්ම ගෝඨා ද වැට කඩාගෙන එළියට පැන්නේ තමා ජනපති අපේක්ෂකයා වන බව ප්‍රසිද්ධියේම කීමෙනි. මේ වනවිට මහින්ද අබිබවා ගෝඨා ගියේ ගෝඨාවාදීන්ගේ වුවමනාවටය. එතැන් සිට ගෝඨා ඕනෑමයි යන්න මේ පොළොව මත එලන මෙහෙයුම දියත් විය.

ජනපති ඝාතනය

මුලින්ම ආවේ ජනපති ඝාතන කුමන්ත්‍රණයය. මෙහි ඇති විශේෂය ජනපති සමග හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයද ඝාතනය කිරීම සැලසුමේ අරමුණ වීමය. ඒ අනුව ගෝඨා මතුවිය. ගෝඨා යන දේශපාලන වෙළෙඳ භාණ්ඩය මාර්කට් කිරීමේ පළමු තැත එයය. කොහේදෝ තූත්තුකුඩියකින් සොයා ගත් නාමල් කුමාර නමැත්තකු ලවා ඇඟ කිළිපොළා යන නාටකයක් නිර්මාණය කිරීමට මේ මාධ්‍ය මාෆියාවට හැකි වූහ. ජනපති සිරිසේනගේ කකුල් පණ නැති වන මට්ටමට පිටපත ප්‍රබල විය. කුමන්ත්‍රණය ජනපති සහ ගෝඨාට එරෙහිවය. කුමන්ත්‍රණකරුවෝ ඉන්න ජනපති මෙන්ම වෙන්න ඉන්න ජනපති ගැනද කල්තබා දැනගෙන අහවර කරන්නට සැලසුම් සකස් කළ අයුරුය. මේ දේවදත්ත පන්නයේ ගේම්ය. දැන් ඒවත් පරණය. නාමල් කුමාර අති තාත්වික ලෙස රඟපෑම කළේය. හිටපු පොලිස්පතිවරයාගේ සහ අපරාධ අංශයේ ප්‍රධානියාගේ නම් ඝාතන කුමන්ත්‍රණයේ මොළකරුවන් ලෙස හෙළි කළ අතර රජයේ ඇමතිවරයෙක්ගේ නමක්ද ඊට ඈඳුණි.

සිරිසේන විකල් වීම

මේ මරබියෙන් සිරිසේන විකල් වී ගිය අතර ඔහු රටටම කීවේ ආණ්ඩුව ඇතුළෙන්ම තමාව මරන්න ඉන්න බවය. එහෙව් ආණ්ඩුවක් සමග සිටිනවාට වඩා මහින්ද හොඳයි සිතූ සිරිසේන ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ අගමැති කළේ රහසේමය. මේ මර බයට කළ දෑය. එඩිතර ගෝඨාට එතරම් බයක් දැනුණු බවක් නොපෙනුණි. කෙසේ හෝ අද වනවිට ඒ කුමන්ත්‍රණ හෙළි කළ වුන්ද අනාථ වී ඇත. ජනපති සිරිසේනට එලෙස තමන්ව මරන්නට සිටියාද යන්න හාංකවිසියක මතකයක්ද නැත. මන්ද ඊට පසුදා කිහිප වතාවක්ම කුඩුකාරයන් තමාව මරන්න ඇතැයි කියමින් ජනපති කෑමොර දුන් නිසාය. කෙසේ හෝ ජනපති-ගෝඨාව මරන්නට ගත් කුමන්ත්‍රණ නිසා ආණ්ඩු පවා පෙරළුණේය. නීතියට පටහැනි බැවින් නැවත යථා තත්ත්වයට පත්වූමුත් එවිට වන්නට ඇති සියල්ල සිදුවී හමාරය.

අමතක කළ ඝාතන

රටේ අවධානය අගමැති මාරුවටම දී ඇති කල අප අමතක කළ ප්‍රධාන ඝාතන දෙකක් විය. ඒ මඩකළපුව වවුනතිව් පොලිස් මුරපොළේදී නිලධාරීන් දෙදෙනකු ඝාතනය වීමය. ඒ පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු නොවූ අතර එය එල්ටීටීඊ නැවත හිස එසවීමක් ලෙස සමාජය තුළ වර්ධනය විය. එයද මාධ්‍ය ගෙන ගිය දේශපාලන ප්‍රචාරණයක් විය. එය සමාජය තුළ අටුවම් බැස්සේය. එයත් ගෝඨා ප්‍රචාරණයට වාසි විය. එනම් රටේ අනාරක්ෂිතකම වර්ධනය වන අයුරුය. එකම විසඳුම ගෝඨාය. මේ අතර අප්‍රේල් 21 වැනිදා පාස්කු දා රට පුරා බෝම්බ වැලක් පිපිරෙන්නේ නැවත කොටි හිස එසවීය යන බිය උපදවමිනි. ඒ එතෙක් අප දැන සිටි එකම හතුරා එල්ටීටීඊ සංවිධානය බැවිනි. එහෙත් නවීන තාක්ෂණයට පින්සිදු වන්නට ඒ එල්ටීටීඊ ප්‍රහාරයක් නොව සහරාන්ලාගේ ප්‍රහාරයක් බව ඔප්පු විය. ගෝඨා ගෙන එන ප්‍රචාරණයට මේ තරම් දෙයක් තවත් නොවීය. එනම් සහරාන්ලා විනාශ කළ හැකි එකම බර අවිය ගෝඨා විය. රට අනාරක්ෂිතයි. ගෝඨා ඕනෑ. එකම සටන් පාඨය විය. මහින්දට වුවත් හෙළවෙන්නට නොහැකි තැනට ගෝඨාගේ මාධ්‍ය වැඬේ තදටම අටුවම් බැස්සුවේය. ඉල්ලන ගැම්මටම ගෝඨා දීම වාසි බව සිතා මහින්ද ඒ ගැම්මටම ගෝඨා ජනපති අපේක්ෂකයා බවට නම් කළේය.

වඳ කතා

පාස්කු ප්‍රහාරයත් සමග ගෝඨා ප්‍රචාරණය වෙනම හැඩයකට භාර ගත් මාධ්‍ය නඩය කරළියට ගෙනාවේ මුස්ලිම් කඩ වර්ජනයය. කෑමවලට විස දැමීම, යට ඇඳුම්වලට වඳ බෙහෙත් දැමීම, ජලයට වස දැමීම වැනි කතා මැව්වේය. ඒ අතර දිවයින නියම පුවතක් පළ කළේය. එනම් සාෆි කතා පුවතය. සිංහල කාන්තාවන් වඳ කළ සාෆි නම් මුස්ලිම් වෛද්‍යවරයාගේ කතාව සමාජයේ උණුසුම්ම පුවත විය. කුරුණෑගල රෝහලේ සේවය කළ මේ වෛද්‍යවරයා සිංහල ගැනු වඳ කර තිබුණේ පුදුම විදියටය. අම්මලා පෝලිමේ කඳුළු පෙරන කතා මැවුණි. එහෙත් අද සාෆි එළියේය. කතා වඳ වී ගොස්ය.

මුස්ලිම් කඩවල වඳ කිරීමේ ක්‍රම එමට බව සමාජයේ කතා මැවුණි. යම් ප්‍රමාණයකට කඩ වර්ජනයද විය. ඩෑන් ප්‍රියසාද්, අමිත් වීරසිංහ වැනි සිංහල ජාතියේ වීරයෝ නැවත මතුවූහ. මේ පහනින්ම හිරේ ලැග සිටි ඥාණසාර හිමියෝද නිදහස ලැබූහ. රතන හාමුදුරුවෝ නුවර දළදා මාලිගය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් දියත් කළහ. ඉන්පසු කුරුණෑගලට වැඩි උන්වහන්සේ වඳ මව්පියන් පීරමින් කාලය ගත කළහ. ඒ පීරමින් කීවේ මේ සියල්ලට විසඳුම් දෙන නායකයකු ඊළඟට ගෙන එන බවය.

භික්ෂූන් ගෙන යන මේ අමුතු රැල්ලට කාදිනල් මැල්කම් රංජිත් ද එකතු විය. ඉන්පසු දවෙන ගින්නට පිදුරු වැටුණේය. මේ හැම ගින්නක්ම ඉල්ලා සිටියේ ගෝඨාවය. මහින්ද බැලුවේ ගෝඨා ඉල්ලන කල දීම කළයුතු බවත් නොදුන්නහොත් තමා වුව වඳ විය හැකි තත්ත්වයක් නිර්මාණයවෙමින් පවතින බවත්ය. ඒ තරමට ගෝඨා-මාධ්‍යකරණය ප්‍රබල විය.
ගෝඨා ඒකාධිපතියකු කී වාසුදේව ගෝඨා එකම ගැලවුම්කාරයා කියා කියන තැනට ප්‍රචාරණය සාර්ථක විය. රතන හිමිගේ නාඩගම් දැන් ටිකක් අතුරුදහන්ය. ඒ ඔහු ඉල්ලූ නායකයා ගෝඨාම වන බැවිනි. එසේ නම් අප තේරුම් ගත යුත්තේ මේ සමාජයම වඳ කරන්නේ මාධ්‍ය බවය.

ගෝඨා ගෙන ඒම සඳහා දියත් කළ මේ මාධ්‍ය මෙහෙයුම ගෝඨා අපේක්ෂකයා කළ සැණින් නැවතී ගියේය. එනම් වුවමනාව ඉටුවූ නිසාය. දැන් රටේ ආරක්ෂාව ගැන මුලදී තරම් බියක් නැත. ගෝඨා අපේක්ෂකයා වූ සැණින් ආරක්ෂාව අඩක් විසඳී හමාරය. බදියුදීන් මරාගෙන කන්නට හැදූ දේශපාලකයෝ දැන් නැත. සැමට සැම අමතකය. නාමල් කුමාර නොව සහරාන්ලාත් දැන් අමතකය. එදා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සහරාන්ලාගේ වැඩක් බව අද ප්‍රසිද්ධය. එහෙත් ඒ අතහැර දැමීම කෙළවර වූයේ අප්‍රේල් 21 ප්‍රහාරයෙනි. රට අනාරක්ෂිත යන්න තනිකරම මාධ්‍ය ඉතාම සූක්ෂ්මව ගෙන ගිය සැලසුමකි. ඉහත කතා ඊට මනාව ගෙතූ කතාය. අවසානයේ එම ප්‍රචාරණය සාර්ථක වී ගෝඨා ජනපති අපේක්ෂකයා විය. එහෙත් එතැන් සිට ගෝඨා බබලවන්නට ආරක්ෂාවටම බැරි බව දැන් දැන් පැහැදිලිය. ඒ මොහොත අනුව ඕනෑම කෙනෙක් සිතනුයේ ගෝඨා අත උඩින් දිනන බවය. ඒ තැනට මාධ්‍ය මෙහෙයුම ගෙනාවේය. එහෙත් කල්යන විට කල්ඉකුත් වන බව අමතක නොකළ යුත්තකි. දැන් දැන් ගෝඨා නම පරණවෙමින් යන තැනට තල්ලු වී ඇත. ඒවාට පණ ගන්නට දිල්රුක්ෂි වැනි අයගේ හඬපටවලට බැරි බව නියතය.

ඒ නිසා සමාජය අවදියෙන් සිටිය යුත්තේ මේ මාධ්‍ය නඩය ළඟදීම වෙනම ප්‍රචාරණ උපක්‍රම හොයන බැවිනි. වෙනම ක්‍රමයකට සමාජය තුළට එන බැවිනි. සිරස මහරාජාට වඩා දෙරණ දිලිත් නූතන ගේම්කාරයෙකි. මහරාජා සජිත් බලයට ගෙනවිත් තමා බලවතා වන්නට අර අඳිද්දී දිලිත් කල්පනා කරනුයේ ගෝඨා බලයට ගෙනවිත් තම ව්‍යාපාර තව තවත් බලවත් කරන්නටය. අද දිලිත් සිටිනුයේ එදා රණසිංහ ප්‍රේමදාස ළඟ මහරාජා සිටි තත්ත්වයේය. එදා මහරාජා කළේද රණසිංහ ප්‍රේමදාස බලයට ගෙනවිත් තම ව්‍යාපාර වැඩි වැඩියෙන් බලසම්පන්න කිරීමය. අද ඔහු ඉන්නේ දෙවැනි පියවරෙහිය. එනම් තමා බලසම්පන්න වන තැනය. දිලිත් ඉන්නේ පළමු පියවරෙහිය. කලක පටන් මෙරට දේශපාලනය කරනුයේ මාධ්‍ය විසිනි. මුලදී එය මුද්‍රිත මාධ්‍ය කළ අතර අද එය විද්‍යුත් මාධ්‍ය අතට ගෙන ඇත. මුද්‍රිත මාධ්‍යවලදී වක්‍ර ගනුදෙනු වූ එම ව්‍යාපෘති දැන් ඍජු ගනුදෙනු බවට පත්ව ඇත. අප තේරුම් ගත යුත්තේ වඩා හොඳ කිලීගේ සජිත්ද, දිලිත්ගේ ගෝඨාද යන්න නොව, මේ දෙදෙනාම මාධ්‍ය ගොදුරු බවය. එජාපයේ අපේක්ෂකයා කවුරු වුව ගෝඨාගේ ප්‍රචාරණය අහවර නැති බව අප මතක තබා ගත යුතුය. නාමල් කුමාර, සාෆි, වඳ කතා, රතන හිමි, දිල්රුක්ෂි නොව තව කුමන දැන්වීම් කරළියට ඒදැයි සිතාගත නොහැකිය. ඒ කුමක් වුව මේ දැන්වීම් කලාවේ පෙරළිය බව සිහි තබා ගැනීම වැදගත්ය. දිලිත්ලා යනු දැන්වීම් කලාව හරහා මාධ්‍ය පටන් ගත් අයය. ඒ අයට මාධ්‍යම දැන්වීමකි. මේ අයගේ ප්‍රවෘත්ති යනු සමාජය දැනුවත් කිරීම නොව තම අපේක්ෂකයා දිනවන දැන්වීම්ය. තිත්ත ඇත්ත එයය.