බිරිඳ, දරුවන්, ඉඩම් දන් දී ලතවෙන සිරිසඟබෝ

නිමල් අබේසිංහ

පසුගිය කාලවකවානුවේ විලාසිතාවක් බවට පත්ව තිබූවක් වූයේ පවුල් පිටින් ගොස් මහණවීමය. මේ සංදර්ශන තවත් ආටෝප කරමින් මාධ්‍යයද උපරිම උත්කර්ෂවත් කළේය. සැබෑ ලෙසම ගිහිගෙය කලකිරී මහණ දම් පිරීම බුදුසමය අනුදත් වූවක් වුවත් සැබැවින්ම මේ අය එසේ වූයේද නැතිනම් රැල්ලට හසුවූයේද යන පැනය නැගේ.
අනෙක් අතින් ගිහිගෙය කලකිරී, තපසට වන් කල තමන් මතුපිටින් දුටු දෑ එහි නොවන බව ප්‍රත්‍යක්ෂ වනවිට ඒ පවුල්වලට සිදුවිය හැකි හානිය සිදුවී හමාරය.

මේ ගෙතෙන්නේ එවැනි අභාග්‍ය සම්පන්න සිදුවීමක තොරතුරුය.
බත්තරමුල්ල උතුරු තලංගම, චෙල්විස් ෆෝඞ් කොටේජ්හි අංක 560හි පදිංචිව සිටි තොටවත්තගේ අරුණ ද සිල්වා වයස අවුරුදු 45ක විවාහකයෙකි. ඔහුගේ පවුලේ බිරිඳ සමග දුවෙක් හා පුතෙක් සිටිති. බෞද්ධාගම කෙරෙහි අසීමිත භක්තියකින් පිරුණ සිත් ඇති අරුණ රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා උපාධිධාරියකු මෙන්ම නුවරඑළියේ කෘෂි සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කළා සේ ම කුළුබඩු අපනයනය කරන සමාගමක හිමිකරුවෙක්ද වූවාය. ඔහුගේ බිරිඳ ද පෞද්ගලික අංශයේ රැකියාවක නිරතව සිට ඇති අතර කුළුබඩු අපනයන සමාගමේ අධ්‍යක්ෂවරියක්ද වූයේය. දාහත් වියැති ඔවුන්ගේ වැඩිමහල් පිරිමි දරුවා කොළඹ තර්ස්ටන් විදුහලේත්, පහළොස් හැවිරිදි දියණිය කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේත් අධ්‍යාපනය ලබමින් හුන්හ. වර්ෂ 2011දී අරුණ ද සිල්වා සීමාසහිත අඹේවෙල ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ කර්මාන්තශාලා කළමනාකාර ලෙස පත්වී නුවරඑළියට එන්නේය.

එසේ නුවරඑළියේ සිට අඹේවෙල පිහිටි සිය කර්මාන්තශාලාව වෙත යන ගමනේදී කන්දේඇල ප්‍රදේශයේ පිහිටි දහම් අමා ආරණ්‍යය සේනාසනයේ දැන්වීම් පුවරුව දැක එය වෙත යෑමේ ආශාවක් උපදී. එදිනට පසුදිනම කොළඹ සිටින බිරිඳ සහ දෙදරුවන්ද කැඳවාගෙන ආරණ්‍ය සේනාසනයට යයි. ජීවිතයේ සතුට විමුක්තිය පතා අරුණ ද සිල්වා ආරණ්‍ය සේනාසනයට යෑමේ අවසන් ප්‍රතිඵලය තමන්ට බිරිඳ ද, දරුවන්ද, පමණක් නොව තමන් සතු දේපොළද අහිමි කරගැනීමක් ලෙස එදා නම් ඔහු කිසිසේත් සිතන්නට නැත.
එහෙත් සියල්ල කණපිට හරවමින් ඔහුට අද වනවිට ඒ සියල්ල සිදුව ඇත. සියලු කෙලෙස් තුරන් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් ආරණ්‍ය ගත වූ භික්ෂූන් හා භික්ෂුණියන් යැයි කියා ගන්නා උදවිය වෙතින් මෙවැනි කොල්ලකෑම් පවුල් අවුල් කිරීම් පමණක් නොව මිනිසුන් අමාරුවේ දැමීම් කිසිවිටකත් සිදුවිය නොහැකියැයි මෙරට අපමණක් බෞද්ධයන්ට සිතෙන්නට හැකිමුත් එය සිදුවී තිබේ.

අරුණ ද සිල්වා පවසන විදියට ඔවුන්ට මෙහි භික්ෂූන් පවසා ඇත්තේ ආරණ්‍ය සේනාසනයෙහි ප්‍රධාන භික්ෂුව (අතාලේ දේවමිත්ත හිමි) පරචිත්ත විජානනයෙහි සාමාර්ථයෙකු බවය. එනිසා මොවුන් එහි කතා කරන දේ පවා උන්වහන්සේට දැනෙන බවද එවකට කන්දේඇළ සේනාසනයෙහි විසූ ප්‍රධාන භික්ෂුව වන චන්දවිමල හිමි පවසා ඇත. එහිමියන් ඇතුළු අනෙකුත් භික්ෂූන්ද අරුණ ද සිල්වා ඇතුළු පවුලේ අයට අඟවා ඇත්තේද එලෙසමය. ‘වට්ස් ඇප්’ ඔස්සේ මෙකී තොරතුරු නායක හිමියන් දැනගන්නා බවට අරුණ ද සිල්වා පරමාවබෝධය ලබා ගන්නා විටත් ඔහු ඇතුළු පවුලට නස්පැත්තිය වී හමාරය.

ඊට පස්සේ අපි නුවරඑළිය ආරණ්‍යය සේනාසනයට බැඳිලා අවුරුද්දක විතර කාලයක් එහි පිංකම්වලට සහභාගි වුණා. තවත් දවසක ආරණ්‍ය සේනාසනයේ නායක හාමුදුරුවො වැඩම කර සිටින බව මගේ බිරිඳට දුරකතනයෙන් දැනුම්දීල තිබුණා. මේ නිසා අපි එදිනම නුවරඑළියට ඇවිත් නවාතැනක ඉඳලා පසුදා උදේ 5.00ට විතර නායක හාමුදුරුවො බැහැ දැක්කා. ඊටත් පස්සෙ දවසක මටත්, පුතාටත් ඇවිත් ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන දොර වැලි කඩදාසිවලින් මදින්න කීවා. අපි ඒකත් කළා. මෙවැනි ගමන් කීපයක්ම සිදුවුණු අතර ඒ ගමන්වලදී දින 3ත් 5ත් අතර කාලයන්හි නතරවෙලා භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා. මේ කාලය තුළ අරුණගේ පවුලේ වත්කම් ව්‍යාපාර ගැන ඔවුන් වෙතින්ම උපක්‍රමශීලීව තොරතුරු ලබාගන්නටද ආරණ්‍යය සෙනසුනේ උදවිය කටයුතු කර ඇත. ඒ අතරේ පවුලේ සියලුදෙනාට මහණවීමේ ආශාවක්ද ඇති කරමින් ඔවුන් සියලුදෙනාගෙන් මහණවීමේ කැමැත්තද ලබා ගන්නට මේ අය සමත්ව තිබේ.

උතුරා ගිය බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩුණු මොවුහු මේ සියල්ලටම වශීවෙමින් ආරණ්‍යය සේනාසනයේ ප්‍රධාන භික්ෂුව ඇතුළු අනෙකුත් භික්ෂූන් දෙන උපදෙස් කිසිදු වගවිභාගයකින් තොරව පිළිගන්නටත්, ඒවා පිළිපදින්නටත් එකහෙළාම එකඟවීමද පුදුමයක් නොවේ. එය කොතරම් තත්ත්වයක පැවතියේද යත් මෙම ආරණ්‍යයේ තවත් ආරාමයක් වන මොනරාගල කුඹුක්කන සුදුවතුර ආර ආරණ්‍ය සේනාසනයට එරෙහිව මල්කාන්ති නමැත්තියක සහ ඇගේ සැමියා විසින් මොනරාගල පොලිසියේ කරන ලද පැමිණිල්ලකදී ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් අරුණ ද සිල්වා දැඩි ලෙස පෙනී සිටීමය. කෙසේ වුවත් පැමිණිලිකාර පාර්ශ්වය විසින් බලහත්කාරයෙන් මහණ කර තිබූ ඔවුන්ගේ දියණිය, නැවත සිය නිවෙසට කැඳවාගෙන ගොස් තිබේ.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ අරුණ ද සිල්වා විසින් නිට්ටඹුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුළුබඩු උයන ආරණ්‍යයේ ප්‍රධාන භික්ෂුව වන අතලේ දේවමිත්ත හිමියන්ගේ උපදෙස් මත ඕස්ටේ්‍රලියාවේ වෙසෙන නියිත නමැත්තාට විකිණීමටත්, ඔහු පදිංචි මාලඹේ ඉඩම සහ නිවස ආරණ්‍යයේ තවත් දායකයකු වන අරුණ කෝදාගොඩ නමැත්තාට විකිණීමටත් අතලේ දේවමිත්ත හිමියන් අරුණ ද සිල්වා පොළඹවා ගැනීමය. කුළුබඩු උයන ඉඩම සඳහා අත්තිකාරම් ලෙස අරුණ කෝදාගොඩගෙන් ලබා ගත් ලක්ෂ 10ක මුදලක් වියදම් කර ඇත්තේ සිය පුත්‍රයාගේ මහණ පිංකමටය. ඔහුගේ බිරිඳ සහ දියණියද එම ආරණ්‍යයන්හිම මහණ කරවා ඇති අතර අරුණ ද සිල්වා එකී කාලය තුළ අතලේ දේවමිත්ත හිමියන්ට අයත් මොනරාගල කුඹුක්කන ආරණ්‍යයේ වැඩවලට අනතුරුව මැණික් පතලකත් සේවයට යොදවා තිබෙන්නේ උපක්‍රමශීලීවය. ඔක්කම්පිටියේ පිහිටි මෙම පන්සලේ හිමිකරුවන් ලෙස පෙනී සිටින්නේ අතලේ දේවමිත්ත හිමියන්ගේ ප්‍රධාන දායකයන් වන අරුණ කෝදාගොඩ, ඕස්ටේ්‍රලියාවේ සිටින නියිත සහ කැනඩාවේ වෙසෙන සුනීර නමැත්තන්ය. ඔක්කම්පිටියේ පතලේ බරපතළ වැඩවල නියැලුණු මේ කර්මාන්තශාලා කළමනාකරුවා හර්නියා රෝගයෙන් පෙළෙන්නට වීම හේතුවෙන් එයට නිසි ලෙස ප්‍රතිකාර ගන්නට පවා ඔහුට ඉඩ නොදේ. කෙසේ හෝ ආරණ්‍ය සේනාසනයෙන් පැන ආ ඔහු හර්නියා රෝගයට ප්‍රතිකාර ලබාගෙන සිය නිවෙසට යද්දී එම නිවෙස සහ ඉඩම අතලේ දේවමිත්ත හිමියන්ගේ ප්‍රධාන දායකයකු වන අරුණ කෝදාගොඩට හිමිවී හමාරය. එයට හේතුව වන්නේ එකී නිවස සහ ඉඩම ඔහුගේ බිරිඳට (ලොකු ගොනදූවගේ චාමරී මනේෂා ක්‍රිෂාන්ති පෙරේරා) අයිතිව තිබීමය. මේ ගැන තලංගම පොලිසියේ පැවති පැමිණිලි විභාගයේදී හෙළිදරව් වන්නේ ඔහුගේ බිරිඳ (මේ වනවිට මාලඹේ භද්‍රාණි මෙහෙණිය) තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාට එවන ලද ලිපියක් සහ අරුණ කෝදාගොඩ ඉදිරිපත් කරන ඔප්පුවය. ඔප්පුවේ සඳහන් ආකාරයට එහි ගැනුම් මිල රුපියල් ලක්ෂ විස්සකි. එහෙත් අරුණ කෝදාගොඩ තමන් එය මිලදී ගත්තේ එක් කෝටි විසි ලක්ෂයකට බව තලංගම පොලිසියට දෙන ලද ප්‍රකාශයේ සඳහන් වේ. ඒ අනුව මෙම ඉඩම් ගනුදෙනුවේදී අඩුම වශයෙන් රජයට ලැබිය යුතු බදු ආදායමක් අහිමි වී ඇති බව පැහැදිලිය. එලෙසම නියම විකුණුම් මිල සඟවා වංචාවක් කර ඇති බව පැහැදිලිය.

මොනරාගල පොලිසිය, මොනරාගල වන සංරක්ෂණ කාර්යාලය වැනි රාජ්‍ය ආයතනවලින් තොරතුරු විමසද්දී සුදුවතුර ආර ආරණ්‍ය සේනාසනය හා කුඹුක්කන ආරණ්‍ය සේනාසනය සම්බන්ධව පැමිණිලි තිබෙන බවට තොරතුරු ඇත.

මෙහිදී මතුවෙන ප්‍රධාන ගැටලුව වන්නේ බුදුදහමේ මුවාවෙන් සිදුවෙන නීති විරෝධී ක්‍රියාවන්ය. අනෙක් කරුණු බුදුසමයේ කිසිදු තැනක දකින්නට නොලැබෙන ආකාරයේ ක්‍රියාකාරකම්ය. එනම් මිනිසුන් නොමග යවා ඔවුන්ගේ වත්කම් දානයේ මුවාවෙන් පැහැර ගැනීම, අනියම් ශ්‍රද්ධාවක් ඇති කරවා මැණික් ගැරීම්, නිවාස ඉදිකිරීම් වැනි කාර්යයන්වල ගිහි පැවිදි දෙපාර්ශ්වයම යොදවා ගැනීම වැනි දේවල් එයට නිදසුන් වේ.

අරුණ ද සිල්වා 2019.07.20 දින තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් වේ.
“හොරොම්බුව දහම් අමා භාවනා මධ්‍යස්ථානයේ තබාගෙන සිටි මා හට අයත් භාණ්ඩ හා ලිපිද්‍රව්‍ය අද දින එනම් 2019.07.20 දින භාරදීමට 2019.06.28 දින පැවති පැමිණිලි විභාගයේදී එකඟ වූ නමුත් අද දින මා වෙත ලබාදෙනු ලැබුවේ රන් ආභරණ පමණක් බවත් මට අයත් හඳහන් කොපි සහ විවාහ සහතික හා ලියවිලි අඩංගු ෆයිල් එක හා මට අයත් සම්පත් බෑන්ක් විසා කාඞ් එක ලබා නොදුන් බව මෙයින් දන්වා සිටින අතර…. ලෙසිනි. මෙහිදී සම්පත් බැංකු කාඞ්පත අවලංගු කළ හැකි වුවත් එය තබා ගැනීමේ අරමුණ කුමක්ද?
කෙසේ වුවත් මෙම කතාවතින් පැහැදිලි වනුයේ බෞද්ධ දර්ශනය මේ වනවිට ගමන් කරමින් සිටින්නේ කිනම් දිසාවකටද යන්නය. එලෙසින්ම බෞද්ධයන් යැයි කියා ගන්නා උපාසක උපාසිකාවන්ගේ විඥානයේ තරමය. ඉදින් අපි තවත් මේ බුදුන්ගේ දේශය’යි කියමින් කෙසේ උදම් අනමුද?

හොරොම්බුවේ සුනීත හිමි
දහම් අමා භාවනා මධ්‍යස්ථානය
කුඹුක්කන, මොනරාගල

ඔය කියන පුද්ගලයාගේ පවුලේ හතරදෙනාම අවුරුද්දකට සැරයක් අපේ සේනාසනවලට ඇවිල්ලා බණ භාවනා කරපු අය. අපි බලෙන් පැවිදි කරන්නේ නෑ. ඒ අය කැමැත්තෙන් මහණ වුණේ. ඉස්සෙල්ලම එයාගේ පුතා. ඊළඟට දුව. ඊළඟට එයාගේ බිරිඳ. එයාගෙ පවුල මහණවෙන්න කලින් එයාට තිබුණ ගේයි ඉඩමයි අපේ නායක හාමුදුරුවො දන්න කෙනෙකුට විකුණුවා. ඒකෙ ගනුදෙනු කතා කරගත්තේ ඒ උදවියමයි. ඒ මුදල්වලින් ටිකක් බූන්දල වෙහෙර හදන්නත් පූජා කළා. මෙයත් මහණ වෙන්නයි හිටියේ. පස්සෙ තමයි වෙනස්වෙලා තිබෙන්නේ.

අපේ ආරාමේ ලී ඉරන මැෂින් තුනක් විතර තිබෙනවා. ඒවා තිබෙන්නේ ධර්මශාලාව හදන්න ගෙනා ලී ඉරන්නයි. ලී ගන්නෙ දැව සංස්ථාවෙන්. ලී ඉරන මැෂින්වලට ලයිසන් තියනවා.

ලී ඉරන්නේ ඇතැම් වෙලාවට හාමුදුරුවරුමයි. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තිබෙනවා පන්සල් ආරාම කැඩුණහම ඒවා භික්ෂූන් වහන්සේලාටම හදාගන්න පුළුවන් කියලා. බුදු පිළිම නෙලන්න ආව බාස් උන්නැහෙත් සමහර වෙලාවට මේ මැෂින්වලින් වැඩ කරනවා.

සුදුවතුර ආර මෙහෙණි ආරාමේ භික්ෂුණියක් ඒ අයගෙ දෙමාපියන් ඇවිල්ල පොලිසියේ පැමිණිලි කරලා රැගෙන ගියා නේද?

ඔව්. එහෙම දෙයක් වුණා. ඒත් ඔබතුමා දන්නෙ නෑනේ පොලිසියෙ පරීක්ෂණයේදී මොකද වුණේ කියලා.

අරුණ ද සිල්වාගේ බිරිඳ (ගිහි කාලයේදී) තමන්ගේ ඉඩම විකුණන කොට එහි නියම විකුණුම් මිල දාල නෙවෙයි නේද විකුණල තිබෙන්නේ. එය වංචාවක් නේද?

ඒගොල්ල කරපු දේවල් අපි දන්නෙ නෑ. ඔප්පුවල ලියල තියෙන්නේ නීතිය දන්න නීතිඥ මහත්තයෙක්නෙ.

මේ ආරාමයට ගොස් අකරතැබ්බයට පත්වූයේ අරුණ ද සිල්වා පමණක් නොව තවත් අයද සිටිති. මේ තවත් එවන් පවුලක කතාවකි.
නුවරඑළියේ ආර්.එම්.එස්.එල්. රාජපක්ෂ ද මෙම ආරාමයේ සැදැහවත් දායකයෙකුව සිටි අයෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳත්, දරුවාත් නුවරඑළිය කන්දේ ඇළ ආරණ්‍යය සේනාසනයට යන්නේ ඒ බෞද්ධකම නිසාවෙනි. රාජපක්ෂ කියන විදියට එසේ ගිය එක්තරා දිනයකදී ඔවුන්ගේ 13 හැවිදිරි දියණිය මෙහෙණි ආරාමයේ නවතා යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජපක්ෂලාද එයට කැමති වී දරුවා නවතා එති. දවස් තුනකින් පසුව දරුවා රැගෙන එන්නට ගියවිට දැරිවිය පවස්නේ තමන්ට මහණවීමට අවශ්‍ය බවය. ඔවුන් දරුවාට පවසන්නේ ඉගෙන ගෙන අහවර වී මහණ වන ලෙසටය. කෙසේ නමුත් මේ දින දරුවා රැගෙන ඒමට ඔවුන්ට නොහැකිව ඇත. ඊළඟ අවස්ථාව වනවිට දැරිවිය කන්දේඇළ ආරණ්‍ය සේනාසනයේ තවත් අනුබද්ධ මෙහෙණි සෙනසුනක් වන මොනරාගල සුදුවතුර ආර ආරණ්‍ය සෙනසුනට රැගෙන ගොසිනි. වහා ක්‍රියාත්මක වූ ඔවුන් මොනරාගල පොලිසියේ කාන්තා කාර්යාංශයේ පැමිණිලි කර දරුවා රැගෙන එන්නට කටයුතු කර ඇත.

මෙහිදී රාජපක්ෂ පවසන කතාව අපූරුය. ළමයා ආරාමයේ නැවතී දවස් දාහතක් විතර ඇති. ඇය එන්න බැහැත් කීවා. එහෙත් අපි දරුවා රැගෙන ආවා. ඒ අවස්ථාවේදී එහි සිටි මෙහෙණියෝ ඔක්කොම අඬා වැලපෙමින් දරුවා රැගෙන යන්න එපා කීවා. මට පුදුමේ අවුරුදු 13ක් ළමයා හැදුව අපිට නැති වේදනාවක් මේ අයට ඇතිවුණේ කොහොමද කියලයි.”
ඉදින් මේ ගිහිගෙයි සියල්ල අනිත්‍යයයි පවසා සියල්ල අත්හැර පැමිණ සෑහෙන කලක් ශ්‍රමණ වෘතයේ යෙදී සිටි මෙහෙණින් වහන්සේලාගේ තරම නොවේද?