පාස්කු ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවෝ සොයමු

ටිරන් කුමාර බංගගමආරච්චි

පාස්කු ප්‍රහාරයත් සමග ඇතිවූ කම්පනය ජන සමාජයෙන් ටිකෙන් ටික ඈත්වෙමින් පවතී. නැවත සමාජය යථා ස්වභාවයට පත්වෙමින් තිබේ. සැබැවින්ම විය යුත්තේද එයමය. එනම් ඛේදවාචකයන් මතම හිරිවැටුණු සමාජයකට ඉදිරියට යාමට අපහසු බැවිනි. මේ සියල්ල ඛේදවාචකයන්ට වඩා අප සැලකිය යුත්තේ පාඩම් ලෙසය. නියතවම ඉතිහාසය පිරික්සුවද මේවා පාඩම් විනා වෙන කිසිවක් නොවේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදාත්මක තත්ත්වයක් මතුවූ අතර ඉතා සංවේදී කාරණය බවට පත්වූයේ එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීම් සිදුව ඇති බවට අනාවරණ වීමය. ඉස්ලාම් අන්තවාදය ත්‍රස්තවාදයක් දක්වා වර්ධනයවීමත් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු කල්ලිය සම්බන්ධයෙන් විමර්ශනාත්මක වටපිටාවක් පැවති බවත් පසුව හෙළිදරව් වූ කරුණුය.

මෙය විශේෂිත පාඩමක් ලෙස ගෙන සමාජය උගත යුතු කරුණු එමටය. එයට රජය උනන්දු විය යුත්තේ අවංකවමය. අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප්‍රහාරය සහරාන්ලා හැර කිසිවකු අනුමත කරන්නේ නැත. එම ප්‍රහාරය සම්බන්ධව ලංකාවේ ජනයා පමණක් නොව ලෝකයම කම්පා වූ බව කිව යුතුය. එම ප්‍රහාරය එල්ල කෙරුණු දිනට පසු දිනයේදී ජනාධිපතිවරයා විසින් ප්‍රහාරයට අදාළ කරුණු සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළේය. කොමිසමේ කාර්යභාරය වූයේ ඊට අදාළ කරුණු සොයා බැලීමය. ඉන් එහා ඊට බලයක් නොපැවතියේ එය නීතිමය ප්‍රතිපාදන යටතේ පත් කළ එකක් නොවන බැවිනි.

ආරක්ෂාව මුළුමනින්ම ආරක්ෂක ඇමති ලෙස ජනපති කරමත පැටවී ඇති නිසාද මේ පාපයෙන් ගැලවිය නොහැකි ලෙස කුරුසය ගසාගෙන යෑමට සිදුවන නිසාම ජනපති කළේ ඒ කුරුසයේ බර කර ගසන්නට එවකට තම ආරක්ෂක ලේකම්වරයාටත් පොලිස්පතිටත් අණ කිරීමය. දැන් සියලු පව් කරගසන්නේ ඔවුන්ය. ඒ දේ කළේ ඉතා සූක්ෂ්මවය. තමා පත් කළ කොමිසම් වාර්තාවට පෙර සිටම ජනපති කීවේ මෙයට වගකිවයුත්තේ තමාගේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කියාය. ඒ තමාව දැනුවත් නොකළ නිසා යැයි කියමිනි. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යැයි ප්‍රසිද්ධ කතාවය. රටක නායකයා, ආරක්ෂක ඇමතිවරයා ආරක්ෂාව බිඳුණු තැනක නම් මුකුත් නොදැන සිටියා යැයි කීම පිළිතුරද? මුලින්ම වරද පිළිගත යුත්තේ තමන් නොවේද? සහරාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දයද ඉල්ලූ පුද්ගලයෙකි. එසේ නම් වරද සමස්ත යාන්ත්‍රණයේ ම බව අප පිළිගත යුතු නොවේද? කළයුත්තේ නැවත මෙවැනි දෑ නොවන්නට නිවැරදි වීම විනා තම තමන්ගේ ගැලවීමට කාව හෝ බිල්ලට දීම නොවන බව අමුතුවෙන් කිවයුතුද? සියල්ලට වගකිවයුත්තේ අහවලා කියා ඔහු දඬු කඳේ ගැසූ පමණින් සියලු පව් කමා කළ හැකිද? එය සමාජයටම එල්ල වන පාපයක් නොවේද? ආණ්ඩුවේ ගැලවුම වෙනුවෙන් ඒ පාපයට අප සියලුදෙනා කර ගැසිය යුතුද?

ජනපති කළේ එවැනි ගැලවිජ්ඡාවක්ය. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත් කළ කොමිසම ලබා දුන් වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට යවා පසුව නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දෙන ලද උපදෙස්වලට අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව බරපතළ නොසැලකිල්ල හා නොතකා හැරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනපතිවරයා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනපතිට ලබාදී ඇති පසුබිමක ඔහු කළයුත්තේ එය මහජනතාවගේ දැනගැනීමට ප්‍රසිද්ධ කිරීමය. එසේ නොකර සිටීම ගැටලුසහගතය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය වන පසුබිමක පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී හා අභියාචනාධිකරණයේදී මේ සම්බන්ධයෙන් විභාග වන පෙත්සම් සලකා බැලීම්වලදී හෙළිවූ කරුණක් වූයේ 2016 වසරේ සිට පාස්කු ප්‍රහාරය එල්ල වන තෙක් කාලය තුළ ඒ අන්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් 97 වරකදී අනතුරු ඇඟවීම් ලැබී තිබුණු බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් මගින් මෙම කරුණු අනාවරණය වී තිබුණි.
මේ කාරණය මාධ්‍ය ඉහළින්ම වාර්තා කළමුත් එම වාර්තාව පළවී තිබුණේ පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු මත වගකීම පැවරෙන අන්දමටය. ඔවුන්ගේ ඡායාරූපද සමගය. ඒ කිසිදු වග විභාගයකින් තොරවය. අප එසේ කියනුයේ 2016 සිට රාජ්‍ය බුද්ධි ප්‍රධානීන් විසින් පොලිස්පතිවරයා වෙත පමණක් 2016 සිට වාර්තා 97ක් යොමුකර තිබේ. ඒ අනුව 2016 වසරේ වාර්තා 11ක් 2017 වසරේ වාර්තා 38ක්, 2018දී වාර්තා 31, 2019 අප්‍රේල් 30 දක්වා කාලය තුළ වාර්තා 17ක් ලෙස යොමුකර ඇති බව සිය දිවුරුම් ප්‍රකාශය හරහා නිලන්ත ජයවර්ධන සනාථ කර ඇත.

එසේ නම් මෙහිදී බරපතළම කාරණය වන්නේ හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන්නේ ඉතා කෙටි කාලයක් වීමය. 2016 සිට මේ පිළිබඳ දැනුවත් කරන්නේ නම් හේමසිරි ප්‍රනාන්දුට පෙර සිටි ආරක්ෂක ලේකම්වරු දෙදෙනාද මීට වගකිවයුතු නොවේද? යහපාලන ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරු මාරුවුණේ ඉතා වේගයෙනි. කරුණාසේන, කපිල වෛද්‍යරත්න, හේමසිරි ප්‍රනාන්දු, වත්මන් ලේකම් ශාන්ත කෝට්ටෙගොඩය.

එසේ නම් මෙහිදී වැදගත්වන්නේ ප්‍රහාරය වනවිට ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතාට පමණක් චෝදනා එල්ලවීමය. ඔහුට පෙර තවත් ආරක්ෂක ලේකම්වරු දෙදෙනෙක් සේවය කළ අතර, අවම වශයෙන් 2016 වසරේ සිට ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව සෙසු ලේකම්වරු දැනුවත් කර ඇතිද යන්න පිළිබඳවද මෙහිදී විමසිය යුතු වෙයි. ඒවා කුමනාකාරයේ වාර්තාද? ඒවායේ නිශ්චිත ලෙස කරුණු පෙන්වා දී ඇත්ද යන්න විමසීම වටී.

රාජ්‍ය බුද්ධි සේවාව විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත අප්‍රේල් 21 ප්‍රහාරයට පෙර ඉදිරිපත් කර ඇත්තේ වාර්තා 08ක් පමණක් බව නිලන්ත ජයවර්ධන මහතා ඉදිරිපත් කර ඇති සාක්ෂිවලින්ම තහවුරු වී තිබේ. ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස වාර්තා 05ක් සහ දෙසැම්බර් මස වාර්තා 02ක්ද ඉන් අනතුරුව 2019 මාර්තු මස වාර්තා 01ක් යොමු කර ඇත. ඉන්පසු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21ට පෙර කිසිදු වාර්තාවක් යොමුකර නැත.

තමන්ට ලැබුණු වාර්තා සාමාන්‍ය කරුණු කාරණාවලට සීමාවී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසා තිබේ.
එසේ නම් 2016 සිට ප්‍රහාරයක් ගැන 97 වාරයක් දැනුවත් කර ඇත්නම් ඉන් හේමසිරි ප්‍රනාන්දුව දැනුවත් කර ඇත්තේ 8 වතාවක් පමණක් නම් ඉතිරි 89 වාරයක් දැනුවත් කළ අය ප්‍රශ්න කළ යුතු නැද්ද?

මෙහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු පවසනුයේ සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන් නිරන්තර විමසිල්ලෙන් සිටි බවත් ඔවුන් ගැන තොරතුරු රැස් කරමින් ඒවා විමර්ශනය කරමින් පොලිස්පතිවරයාත්, ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් දැනුවත් කළ බවයි. එමෙන්ම ඔහු කියනුයේ ඇතැම් අවස්ථාවල ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළද තමන් නිරන්තරයෙන් තොරතුරු හුවමාරු කරගත්තේ පොලිස්පතිවරයා සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ සමග බවය. එමෙන්ම අප්‍රේල් 21 ප්‍රහාරය ගැන තමා පොලිස්පතිවරයාට සහ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළ බව නිලන්ත ජයවර්ධන සහතික කොට ඇතත්, එහෙත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැනුවත් කළ බව සඳහන් කර නැත. එසේම තවත් තැනක ඔහු කියනුයේ ආරක්ෂක ලේකම්ද දැනුවත් කළ බවය. එහෙත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත් ඉහත යාන්ත්‍රණයම අවුල් ජාලාවක් වී තිබූ බව රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ දිවුරුම් ප්‍රකාශය මෙන්ම පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පොලිස්පතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පැවසූ කාරණා තුළින් පැහැදිලි වේ. හේමසිරි ප්‍රනාන්දු පාර්ලිමේන්තු කාරක සභාවේ ලබා දුන් ඇතැම් සාක්ෂි මගින් ඔහු සඳහන් කළේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපතිවරයා සමග ඍජුව සම්බන්ධතාව පවත්වාගෙන ගිය අතර ඔහු ජනාධිපතිවරයාට ඍජුවම තොරතුරු ලබාදෙන බවයි. එහෙත් නිලන්ත ජයවර්ධන කියා තිබුණේ නම් ඍජුවම ජනාධිපතිට හෝ අගමැතිට තොරතුරු ලබාදීම සිදු නොකළ බවයි.

එමෙන්ම හේමසිරි ප්‍රනාන්දු මහතා ඉතා පැහැදිලිව කියා තිබුණේ පැවති පසුබිම අනුව තමන් ආරක්ෂක ලේකම්වරයා වුවත් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට හෝ තමන්ට හරිහැටි අවස්ථාවක් නොලැබුණු බවයි.
මෙතරම් දැනුවත් කිරීම් කර තිබුණේ නම් අප්‍රේල් 09 වැනිදා පැවති ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වන සතිපතා රැස්වීමේදී මේ ගැන ගැඹුරු ලෙස සාකච්ඡා නොකළේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි.
අප්‍රේල් 20 වැනිදා පස්වරුව වන විට පසුවදා සූදානම් කර තිබූ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබූ බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලෙස සටහන් විය. එහෙත් ආරක්ෂක බලධාරීන්ට ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට නොහැකි විය. අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ප්‍රහාරයෙන් පසුවය. ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගැනීම් කඩිනම් වූයේ පෙර දැනුවත්කම නිසා බවද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතිෆ් මහතා ප්‍රකාශ කර තිබුණි.

ආරක්ෂක කවුන්සිලය වගකීම්සහගත ලෙස රැස්වී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වෙනුවට ඒ සියලු තැන්වලම දේශපාලන එදිරිවාදිකම් ව්‍යාප්ත වී තිබුණු බව දැන් රටටම නොරහසකි.

අද හේමසිරි ප්‍රනාන්දුව ගස් යවන්නට වළිකන නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මේ සිද්ධියේදී ක්‍රියාකර ඇත්තේ කොතරම් අලසවද? බුද්ධි අංශයේ ප්‍රධානියා පවසන පරිදි 2016 වසරේ සිට පාස්කු ප්‍රහාරය දක්වාම අනතුරු ඇඟවීම් කර තිබේ. එමෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා වසරක පමණ කාලයක සිට නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් පතා තිබුණි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව හැසිරී තිබුණේ කෙසේද යන්න කාරක සභාවේදී රටම දැක්කේය. එසේ නම් සහරාන්ට ගැළවෙන්නට දුන් නීතිපති දෙපාර්තමේන්තුව අන් සැමට වඩා වගකිව යුතු නැද්ද?

සමස්ත යාන්ත්‍රණයේම ඇති හිස්තැන් නිසා සහරාන්ලා තම ඉලක්කයට ගිය බව නොරහසකි. එහෙව් පසුබිමක අලින්ට යා හැකි ගුල් තිබියදී කූඹීන් යන ගුල් වැසීමට යෑම විකාරයකි.
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත ජයසුන්දර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට ඇප නියම කළේ නීතිමය රාමුව යටතේය. ඒ සඳහා මහේස්ත්‍රාත්වරිය දැක්වූ අර්ථ ගැන්වීම සමාජයේම ඇස් ඇරෙන්නකි. එහෙත් ජනපතිගේ දොළ සංසිඳුවන නීතිපති එතැනින් නොනැවතී ප්‍රශ්නය කොළඹ මහාධිකරණය වෙත ගෙන ගියේ එලෙස ඇප ලබාදීමට එරෙහිවය.

දේශපාලන බලපුළුවන්කාරකම්වලට තවමත් ඍජුවම අතපෙවිය නොහැකි තැනක් වේ නම් ඒ අධිකරණය බව පැහැදිලිය. ජනපති තම කිට්ටුවන්තයකු වූ හේමසිරි මතින් සියලු පව් සෝදා හරින්නට ගත් උත්සාහය වැළකුණේ උගත්, බුද්ධිමත් මහේස්ත්‍රාත්වරියගේ මනා දැක්ම අනුවය. එබැවින් තවදුරටත් අප විශ්වාස කළයුත්තේ අධිකරණයම වේ. මන්ද මෙය සමාජයම කම්පා කළ හිරිවැට්ටූ සහ අවසන යථාවද වටහා දුන් සිද්ධියක් නිසාය. එවන් සිද්ධියකට කොතනක හෝ එක් පුද්ගලයකු කළා යැයි කියා ඔහු පව්කාරයකු කොට ගල් ගැසිය හැකිනම් මේ සමාජයම පව්කාරයන් විය යුතුය. සමස්ත චිත්‍රයම විකෘති වී ඇති තැනක එහි පින්සල් පාරක්, දෙකක් සොයාගෙන විකෘතිය එන්නේ මෙතැනිනුයි කීම උමතුවකි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හරහා මේ වනවිට බොහෝ කාරණා අනාවරණය වී තිබෙන අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත් ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂාවට සම්බන්ධ සියලු පාර්ශ්ව මෙහි සාමූහික වගකීමට බැඳී සිටින බව කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. එසේ නම් හේමසිරි සහ පූජිත් පව්කාරයන් කොට පළමු ගල ගසන්නේ කවුද?