සජිත් සටන දිනුම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, බලය බෙදීම ඇතුළු යෝජනා 4ක් සම්මත වෙයි.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

දීර්ඝ කාලයක් තිස්සේ පැවති මත ගැටුම්වලින් පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය බ්‍රහස්පතින්දා (26) තීරණය කළේය.

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති රැස්වීමේදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නම අපේක්ෂකත්වයට යෝජනා කරනු ලැබුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි. එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබේ.

මීට අමතරව ඔක්තෝබර් 3 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එජාප සම්මේලනයේදී සම්මත කර ගැනීම සඳහා ප්‍රධාන යෝජනා 4කටද, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම, යහපාලන ආණ්ඩුව ඇරඹූ නව ව්‍යස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එම යෝජනා අතර වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස මහතා ඒකීය රටක් තුළ බලය බෙදීමට තමන් එකඟ යැයි ප්‍රකාශ කර ඇති අතර යහපාලන ආණ්ඩුවෙන් අඩුපාඩු සිදුවුවත් ගෝඨාභය රාජපක්ෂ පවා අද දේශපාලනය කරන්නේ තම ආණ්ඩුව ලබා දුන් නිදහස මත බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

පසුව රැස්වූ එජාප මන්ත්‍රී කණ්ඩායමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගත් තීරණය දැනුම් දී ඇති අතර ඉන්පසු එජාපයේ නායකයන්ද බ්‍රහස්පතින්දා (26) සවස හමුවූ බව වාර්තා වේ.
එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙක් රාවයට අනාවරණය කළේ දෙමළ ජාතික සන්ධානයේ සහයද සජිත් ප්‍රේමදාස මහතා වෙත හිමිව ඇති බවය. ■