සිනෙසිටි වෝටර් ෆ්‍රන්ට් නැවුම් අත්දැකීමක් වේවි – බුද්ධි කීර්තිසේන

එන්. ලංකා මාගම්මන

පිටකොටුවෙන් බිහි වුණු මෙරට චිත්‍රපට හා සිනෙමා රසික සංස්කෘතිය නැවත පිටකොටුව නගරයේම ස්ථාපිත කිරීමේ අරමුණින් ඉදිකිරීමට නියමිත සිනේසිටි වොටර් ෆ්‍රන්ට් සිනමා සංකීර්ණය සහ කලා මධ්‍යස්ථානයට මුල් ගල් තැබීම ඔක්තෝබර් 4 වනදා කොළඹ බැස්ටියන් මාවතේ ෆ්ලෝටින් මාකට් පරිශ්‍රයේදී සිදුවිය. සිනේ සිටි වෝටර් ෆ්‍රන්ට් පිළිබඳ චිත්‍රපට නිෂ්පාදක, හා ව්‍යාපාරික බුද්ධි කිරීතිසේන සමග කරන ලද කතා බහකි.

සිනමා මාධ්‍ය පිළිබඳ ඔබගේ ආකර්ශනය ඇති වුණේ කුමන පසුබිමකදීද?

මට වයස අවුරුදු 09ක් විතර කාලයේ සිට කලාව පිළිබඳ මට යම් ආකර්ශනයක් තිබුණා. මගේ සීයාට තිබුණා ‘වයලට් හෝල්’ කියලා නාඩගම් ශාලාවක්. ඒ නාඩගම් ශාලාව ක්‍රම ක්‍රමයෙන් නෘත්‍ය, නාට්‍ය හා සිනමා ශාලාවක් බවට බත් වුණා. මුලින්ම තිබුණේ පොල් අතු මඩුවක කටුමැටි වලින් නිර්මාණය කරන ලද ශාලාවක්. මේ ශාලාවේ ‘බයිස්කෝප්’ පෙන්වනවා. පොඩි කාලේ මං ඒ බයිස්කෝප් බලන්න යනවා. ඒ කාලේ තිබුණා සිරියල් පින්තූර. ඒ සිරියල් පින්තූර නරඹලා අපි ඒවා රඟපෑවා. ළමා කාලයේ සිටම සිනමාව පිළිබඳ මම අධ්‍යනය කරන්න පෙලඹුණා. අත්දැකීම් ලබා ගත්තා. එය මාගේ සිනමා මාධ්‍ය පිළිබඳ දැනුම, අවබෝධය ලබා ගැනීමට මූලික පසුබිමක් සකස් කරනු ලැබුවා.

ඔබ සිනමා පුවත්පත් කලාවටත් සම්බන්ධ වෙනවා නේද?

මා ‘ලංකාදීපය’ හරහායි පුවත්පත් කලාවට සම්බන්ධ වෙන්නේ. මගේ තරුණ කාලයේදීම චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ඇසුර මට ලැබීමත් වැදගත් සිදුවීමක් වුණා. ඒ ඒ අවස්ථා වලදී මා විසින් රචිත කෙටි කතා කියවීමට මානවසිංහයන්ට ලබා දුන්නා. ඒ කෙටිකතාවල ගුණ දොස් එතුමා මා හා කතාබහ කළා. ඉන් අනතුරුව ‘දවස’ පුවත්පත ඇසුරෙන් මගේ වෘත්තීය කටයුතු ඇරඹුණා. දවස පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් ලෙසයි මා වැඩ කළේ. ඉන් අනතුරුව ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් පළවු රිවිදින පුවත්පතට මා එකතු වුණා. මාව එයට සම්බන්ධ කරනු ලැබුව් ඩී. බී. ධනපාල මහතායි. මුල් කාලේ බෙදා හැරීම් වලට සම්බන්ධ වෙලා සිටි මා ධනපාල මහතාගේ කැමැත්තට අනුව කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වීමට අවකාශය ලබා ගත්තේ. ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර මහතාගේත් උදව් ඇතිව එහි සිනමා පිටුව සකස් කරන්න මේ අතරතුර මට අවස්ථාව ලැබුණා. එහිදී සිනමාව වෙනුවෙන් ‘රසදුන’ කියලා පිටුවක් නිර්මාණය කළා. ඉන් අනතුරුව දේශපාලන හේතුවක් නිසා මං එයින් ඉවත් වුණා. දවස පුවත් පතට ඕන වුණේ යු ඇන් පී ආණ්ඩුවක් නිර්මාණය කරන්න. අපට වුවමණාව තිබුණේ වාමාංශික ආණ්ඩුවක් නිර්මාණය කරන්නයි. ඒ හේතුවෙන් අපි ‘ඇත්ත’ පුවත් පතට ගියා. පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සිටි සාමාජිකයන් නම දෙනෙක් මේ අනුව ඇත්ත පුවත්පතට සම්බන්ධ වුණා. සිරිලාල් කොඩිකාර, අර්වින් විරක්කොඩි, ජැක්සන් සේනාරත්න, වගේ අය ඒ අතර සිටියා. ඒ අතර ගැසට් එකේ පළ කරලා තිබුණා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ Press Officers  බඳවා ගැනීමේ අයදුම් පත්‍රය. මම අයදුම් කළා. ඒ තනතුර මට ලැබුණා.

ඔබ බතික් කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ජෝර්ජ් රාජපක්ෂ ඇමතිතුමාගේ සහාය මට බතික් කලාව දියුණු කරන්න අවස්ථාව සලසා දුන්නා. බතික් ප්‍රදර්ශන වලට යන්න, ඒවායේ නැවුම් අත්දැකීම් එකතු කරගන්න එතුමා විශාල වශයෙන් සහයෝගය ලබා දුන්නා. බතික් කලාවේ නිර්මාණ කටයුතු වලට ඒ අනුව මා විශාල වශයෙන් දායක වුණා. විවිධ රටවල බතික් ප්‍රදර්ශන වලට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාව සැළසුණා. බතික් කලාව තුළින් නමක් දිනාගන්න මට ඒ අනුව හැකියාව ලැබුණා. අපේ රටේ අවශ්‍යතාවය තහවුරු කරන්න හැකි බතික් නිර්මාණ බිහි කරන්න ඒ අනුව අවස්ථාව ලැබුණා.

ඉතිහාසයේ කොළඹ අග නගරය තුළ තමයි, සිනමාව පටන් ගත්තේ. යළිත් ඔබ විසින් නිර්මාණය කරන්න හදන සිනමා ව්‍යාපෘතිය මගින් කොළඹට සිනමාව ගෙන එනු ලබනවා. මේ ව්‍යාපෘතිය මොකක්ද?

ඉතිහාසයේදී කොළඹ චාමර්ස් ධාන්‍යාගාරය කේන්ද්‍ර කොටගෙන ලංකාවේ සිනමාව ආරම්භ වෙනවා. ඒ වගේම බැස්ටියන් මාවතේ පිහිටි පුෂ්ප ශාලාවේ නාට්‍ය, නෘත්‍ය පෙන්වීමේ තැනක්ද තිබුණා. ඒ අනුව බලන විට බැස්ටියන් මාවතේත් ඊට ඉතිහාසයක් තියෙනවා. ඒ අනුව බලන විට කාලයෙන් කාලයට යළි යළිත් ප්‍රතිනිර්මාණ වන එකක් තමයි මේ සිදුවෙන්නේ. පිටකොටුවේ අදවෙනකොට සිනමා ශාලාවක් ඇත්තේ නැහැ. එහෙත් අතීතයේ පිටකොටුවේ සිනමා ශාලාවක් පැවතුණා. ඉන්දියානු ව්‍යාපාරිකයන් ඇවිත් සිනමා ව්‍යාපාරය පිටකොටුවේ ඇරඹුවා. නුර්බායිලා, මේ කාර්යේදී ප්‍රදාන තැනක් දිනා ගත්තා. නෘත්‍ය නාට්‍ය ශාලා සිනමා ශාලා ලෙස පසුව දියුණුවට පත් වුණා. මේ අනුව ෆ්ලෝටින් මාර්කට් එක ළඟ යළි ප්‍රතිනිර්මාණය කරන සිනමා උයන ලාංකීය සිනමා ප්‍රේක්ෂකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන තැනක් වේවි. ෆ්ලෝටින් මාර්කට් එක අපි අලුතින් නම් කරන්නේ සිනේසිටි වෝට ෆ්‍රන්ට්  (Cinecity Water Front) කියලා. මෙය සිනමා උයනක්. මේ තුළින් අපගේ සැලසුම සිනමා සංස්කෘතියක් බිහි කරන්නයි. ලාංකිකයන්ගේ සිනමා සංස්කෘතිය වර්ධනය කිරීමේ ශක්තියක් මේ හරහා ලබා දීම අපගේ අරමුණු අතර මූලික වෙනවා. මා මූලික වී ආරම්භ කරපු මෙවැනි කාර්යන්වල යම්කිසි වෙනසක් කරන්න හැකියාව ලැබුණා. මරදානේ ‘සිනේසිටි’ එයට මූලික උදාහරණයක්. නව ‘සිනමා උයන’ හරහා ද අප බලාපොරොත්තු වෙන්නේ එවැනි වෙනසක් ලාංකිකයන්ට ලබා දෙන්නයි. මෙහි සිනමා ශාලා තුනක්,කලා කේන්ද්‍රයක්, ඇතුළත්. මෙහි සිනමාව වෙනුවෙන් කරන ඕනෑම කටයුත්තක් කරන ස්ථානයක් වෙනවා. මුහුරත් උළෙල, සිනමා සංවාද, සිනමා සම්මන්ත්‍රණ, සිනමා ප්‍රදර්ශන, වැනි සිනමා කර්මාන්තය පිළිබඳ වර්ධනයක් වෙන සෑම කාර්යයක්ම මෙහිදි සිදු වෙනවා. ඒ වගේම මෙහි නිර්මාණය වන කලා මණ්ඩපයේ චිත්‍ර ප්‍රදර්ශන, නාට්‍ය සංදර්ශන, සංගීත, නර්තන ප්‍රසංග වලටත් ඉඩකඩ වෙන් වෙනවා. මෙමගින් සිනමාවට විතරක් නොව සියලුම කලාවන්ට නවීන අංගයන්ගෙන් යුත් කලා මණ්ඩපයක් නිර්මාණය වෙනවා. බුඩී හා ජොහන්ද සිල්වා මේ කාර්යය වෙනුවෙන් කැප වෙන තවත් දෙදෙනෙක්. ආයෝජනයේ මූලික බලාපොරොත්තුව මුදල් ඉපැයීම ම නොවේ. යම් ආයෝජනයක් කරන විට ලාභයක් ද ලැබෙන්න ඕනේ.එහෙම නැත්නම් මේවා නඩත්තු කරන්න නොහැකි වෙනවා.

දේශීය සිනමාව අද වන විට දැක්මක් නැති වැඩ පිළිවෙළක් නැති අයාලේ යන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

සෑම කර්මාන්තයකටම ඒ කර්මාන්තය දියුණු කරන්න ඒ කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුම තියන අයගෙන් උපකාර ලබා ගන්නවා. පළ පුරුද්ද තියන අයගෙන් උපදෙස් ලබා ගන්නවා. හැබැයි සිනමා කර්මාන්තයට පමණක් මේ පිළිබඳ උවමනාවක් නැහැ. චිත්‍රපට ප්‍රදර්ශකයෝ, චිත්‍රපට නිෂ්පාදකයෝ, චිත්‍රපට නිර්මාණකරුවන් පමණක් ඉතුරු වෙලා අනිත් සෑම දෙනාම මේ ප්‍රශ්නය එහාට මෙහාට පාස් කරමින් මගහරිනවා. සිනමා කර්මාන්තය වෙනුවෙන් නිසියාකාර වැඩපිළිවෙලක් දැක්මක් තියනවා නම් මේ කර්මාන්තය අයාලේ යන්නේ නැහැ.

අද වන විට චිත්‍රපට බෙදා හැරීමේ ප්‍රශ්නය දුරදිග ගොස් තියනවා. නිෂ්පාදකයන් අලුතින් සිනමා කර්මාන්තයට පැමිණීමට මැලිකමක් දක්වනවා. හැබැයි අපේ අසල්වැසියා වන ඉන්දියාව තුළ සේ සෑම දෙයම විධිමත් ලෙස සැලසුම් සහගතව, වැඩපිළිවෙලක් සහිතව ක්‍රියාත්මක වෙනවා. සිනමා කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් එරට රජය විසින් ලබා දෙනවා. අපේ රටේ සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අපට තියෙන සැලසුම් මොනවාද? අනාගත දැක්මක් සහිත වැඩපිළිවෙළක් මෙතෙක් අපට තියනවාද? මේ වගේ ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ තියාගෙන තමයි සිනේසිටි වෝටර් ෆ්‍රන්ට් නිර්මාණය වෙන්නේ. සිනමා කර්මාන්තයෙන් විශාල ලාභ ලබන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ ගැන අවබෝධයෙන් තමයි මෙවැනි ව්‍යාපෘතියක් කරන්න අත ගැසුවේ. මම දැනටත් චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති. සිනමා කර්මාන්තයට සක්‍රීය දායකත්වයක් රජයෙන් අවශ්‍ය බවයි මගේ අදහස. විශේෂයෙන්ම පහසුකම් සපයන්නෙක් ලෙස රජය කටයුතු කරනු ලැබීම වැදගත්. සිනමා කර්මාන්තය වෙනුවෙන් මෙතෙක් තිබුණු බදු සහනය, ඉවත් කිරීම මේ කර්මාන්තය බිද වැටීමට හේතුවක් වූ බවයි මගේ අදහස. මේවා ගැන රජයක් හැටියට යලිත් සිතා බැලිය යුතු වෙනවා. දේශිය සිනමා කර්මාන්තය ගැන මීට වඩා යමක් රරය වෙතින් විය යුතුයි. අනික මෙම ව්‍යාපෘතිය නිර්මාණය කරන ස්ථානය අවට සංස්කෘතික වැදගත්කමක් ඇති තැනක් බවට අප විසින් පත් කරනු ලබනවා. ඒ සඳහා දැනටමත් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබනවා.

2020 අප්‍රේල් මාසයට පෙර මෙම සිනේසිටි වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘතිය නිම කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඊළඟට 1983 සිංහල දේශප්‍රේමින් විසින් අළු දූවිලි කරන ලද මරදානේ ගාමිණි සිනමා ශාලාව යළි ගොඩ නැගීම ක්‍රියාත්මක කරනවා. සිංහල දේශප්‍රේමින් අපගේ සිනමා කර්මාන්තයට තමයි එදා ගිනි තිබ්බේ. ගුණරත්නම් මහතාගේ අයිතිය ඇති ගාමිණි සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කළේ සිංහල නළු නිළියන්ගේ, අධ්‍යක්ෂවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට.

සිනේ සිටි වෝටර් ෆ්‍රන්ට් සිනමා උයනත් මරදානේ ගාමිණි සිනමා ශාලාවත් යළි ප්‍රතිනිර්මාණය කිරීමත් කමයි මගේ ලොකුම බලාපොරොත්තුව.