ශ්‍රී ලාංකීය සිනමාවට ඥාණාලෝකය පැතිරේවා!

එම්.ඩී. මහින්දපාල

1995 දෙසැම්බර් 28දාට යෙදී තිබූ ලෝක සිනමා ශත සංවත්සරය වෙනුවෙන් 1995 ජූනි 25 වන දින ප්‍රංශයේ පැරිස් නුවර සිට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිකුත් කළ ලිපිය ඇසුරෙන් සකස් කළේ

‘සිනමාව’ සිය ප්‍රථම සියවස් සැමරුම උත්කර්ෂවත් ලෙස සැමරීමට සූදානම් වන මේ මොහොතේ ජීවත්ව සිටීමට ලැබීම කවර නම් ආශ්චර්යයක්ද?

කිසියම් ගුප්ත හැඟීමක් මා සිත තුළට ඇතුළු වී ඇත. එය වචනයෙන් පැහැදිලි කළ හැකි නොවේ. එහෙත් එය තරමක අතිශයෝක්තියකින් කෙරෙන ප්‍රකාශයක් සේ හැඟී යා හැකියි. විශේෂයෙන්ම ප්‍රථම වරට චලන චිත්‍රපටයක් විස්මයට පත් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රදර්ශනය කළ මේ පැරිස් නුවර සිටම මෙම ලිපිය ලිවීමට ලැබීම කවර නම් ආශ්චර්යයක්ද?
එකී ආශ්චර්යය සිදුවූයේ 1895 දෙසැම්බර් 28වැනි දින ප්‍රංශයේ පැරිස් නුවර, ග්‍රෑන්ඞ් කැෆේ නම් හෝටලයේ ‘ඉන්ඩියන් ’ නම් ශාලාවේදීයි. ඒ ‘සියෝතා’ දුම්රියපළට දුම්රියක් පැමිණෙනු දැක්වූ විනාඩි 3ක් පමණ දීර්ඝ චිත්‍රපටය, ලුවී ලුමියර් හා ඔගස්ටේ ලුමියර් යන සොහොයුරන් දෙදෙනා ප්‍රදර්ශනය කළ මොහොතයි. එය නම්; නිසල රුවක් චලනය කිරීමට දශක ගණනාවක් පුරා මිනිසා කළ උත්සාහයේ අවසාන ප්‍රතිඵලයයි. අද දින මෙකී ඓතිහාසික සිදුවීම සැමරීම වස් ලොව වෙනත් ඕනෑම රටකට වඩා ප්‍රංශය දැඩි උද්යෝගයකින් කටයුතු කරන්නේ එබැවිනි.

සිනමාව තනි පරම්පරාවක මතකය තුළ පරිපූර්ණත්වයට පැමිණි එකම කලා මාධ්‍යයයි. සංගීතය, නාට්‍යය, චිත්‍ර ශිල්පය,මූර්ති ශිල්පය හා ගෘහ නිර්මාණ ශිල්පය වැනි අන් කවර හෝ කලා මාධ්‍යයක් ශත වර්ෂ ගණනාවක් පුරා පරිපූර්ණත්වයට පැමිණි කලා මාධ්‍යයෝ වෙති. නිදසුනක් ලෙස නාට්‍යකරුවන් වූ සොපොක්ලීස් හා බෙකට් අතර වසර 5000ක පමණ කාල පරාසයක් තිබීම සැලකිල්ලට ගැනීමෙන් මේ බැව් අවබෝධ කොට ගත හැක. ඉපැරණි ගුහා චිත්‍රවල සිට පිකාසෝ දක්වා වසර 30,000 ක් පමණ ගතවී තිබීම කවර නම් විස්මයක් අප සිත් තුළ ඇතිකරන්නේද? කෙසේ වෙතත් අතිශයින් වැදගත් සංසිද්ධිය වන්නේ වසර 100 ක් ඇතුළත, එසේම තනි කලාකරුවෙකුගේ ජීවිත කාලය තුළ සිනමා මාධ්‍යය පරිපූර්ණත්වයට පත්වීමයි. එනම්; ග්‍රිෆිත්, චැප්ලින් හෝ වෙනත් කවර සිනමාකරුවෙකුගේ යුගය තුළ එය එසේ සිදුවී තිබීමයි. ලුමියර්ගේ සරල චලන චිත්‍ර සටහන් කිරීමේ ක්‍රමවේදයේ සිට තනි රීලයේ චිත්‍රපට, කථානාද චිත්‍රපටය, වර්ණ චිත්‍රපටය, ත්‍රිමාන චිත්‍රපටය හා පුළුල් තිර චිත්‍රපට දක්වා එහි වර්ධනය සිදුවූ ආකාරය විස්මයජනක වේ.
චලන චිත්‍රය සරළ සිදුවීමක් වාර්තා කළ ක්‍රමවේදයක සිට වඩාත් ප්‍රශස්ත මාධ්‍යයක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේ ඬේවිඞ් වෝක් ග්‍රිෆිත් නම්වූ ඇමෙරිකානුවා ඇතුළු නිර්මාණකරුවන්ටයි. සිනමා භාෂාව හා ව්‍යාකරණය බොහෝදුරට සොයා පාදා ගැනීමේ ගෞරවයද ග්‍රිෆිත්ට හිමිවේ. ඔහුගේ “Birth Of A Nation” චිත්‍රපටය ඇමෙරිකානු සිවිල් යුද්ධය පිළිබඳ හුදු වීර කාව්‍යයක් (epic) පමණක් ම නොවේ. එසේම එය හුදු රූපමය පෙළහරපෑමක් ද නොවේ. එය නව කලා ආකෘතියක විභවයන් පිළිඹිබු කළ නිර්මාණයකි. එය නැරඹූ ඇමෙරිකානු ජනාධිපති වූඩ්‍රෝ විල්සන් (Woodrow Wilson) ප්‍රකාශ කළේ ‘ එය විදුලි සැර පහරකින් ඉතිහාසය රූගත කිරීමක් (History shot by lightening) බවයි. සියළු රුසියානු ලේඛකයින් ගොගොල්ගේ හිම කබායෙන් මතුවුණා වැනි යැයි ඇන්ටන් චෙකොෆ් කළ ප්‍රකාශයට සමානවූවක් සිනමාව අරබයා පවසන්නේ නම්; සියළු සිනමාකරුවන් ග්‍රිෆිත්ගේ  “Birth Of A Nation”  හරහා උපන්නාක් වැනි යැයි කිව හැකියි. සමීප රූපය (Close Up), රූපයක් තවත් රූපයක් හා බද්ධ කිරීමේ දී සිදුවන්නාවූ විස්මයජනක ක්‍රියාවලිය (Montage), දර්ශනයක් විවිධාකාරවූ රූප ඛණ්ඩවලට බෙදා (Shot Breakdown) ඉදිරිපත්කිරීමේ දී මතුවන නාටකීය ප්‍රබලත්වය, මැකී යාම්, පිසදා හැරීම්(Wipes) , අඳුරුවීම් (Fades) , අතුරු ඡේදන (Inter cuts)  හා ධාවනය වන රූප (Travelling Shots) වැනි දේ භාවිතාකොට හුදු වේදිකාව රූගත කිරීම වෙනුවට ප්‍රබල ලෙස නාටකීය බව ඉස්මතුවන ආකාරයෙන් කුතුහලය ජනිත කිරීමට හැකි ප්‍රකාශන විධි හෙතෙම සොයා පාදා ගත්තේය. ඔහුගේ “Intolerence”  චිත්‍රපටය, මිනිසා විසින් මිනිසා වෙත මුදාහරිනු ලබන ක්‍රෑරත්වය පිළිඹිබු කළ, මිනිස් ඉතිහාසයේ වසර 5000ක් පුරා විහිදුනු අවස්ථා 5ක් නියෝජනය වන සිදුවීම් මාලාවක් ඇසුරෙන් කළ අයස්කාන්ත රූපමය සංධ්වනියක් සේ සැලකිය හැකියි.

එහෙත් හඬපටයේ සම්ප්‍රාප්තියත් සමඟින් ඔහුගේ නිර්මාණාත්මක කෞශල්‍යය වැලලීගියාක් මෙන් විය. නිහඬ සිනමාවේ අනෙකුත් පතාක යෝධයින් මෙන්ම ඔහුද හොලිවුඩයේ අප්‍රකට හෝටල් කාමරයක් තුළ මියගියේ බොහෝ දෙනාට අමතක වූ චරිතයක් ආකාරයෙනි.

ඔහුගේ චිත්‍රපටවල අඩුපාඩුකම් තිබූ බව සත්‍යයකි. ඒවා භාවතිශය සිදුවීම් බහුල, රෝමැන්තික ශෛලියක් ගත් බැව් ප්‍රකාශ වේ. එසේම ඔහුට එරෙහිව ජාතිවාදී චෝදනාවන් ද එල්ලවිය. එකී චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. “Intolerence” චිත්‍රපටය නිර්මාණය කිරීම හරහා ඔහු රෝගාතුර වූවා පමණක් නොව සිය චිත්‍රපට සමාගමද බංකොලොත් භාවයට පත්විය. මේ අනුව සිය නිර්මාණාත්මක නිදහස පවා පාවාදීමට ඔහුට සිදුවිය.
චලන රූප, රූගත කිරීමට මෙන්ම ප්‍රක්ශේපණය කිරීමට ද හැකි යන්ත්‍රයක් නිපදවීම පිළිබඳව අප ලුමියර්වරුනට ණය ගැති වන්නා සේම, එවැනි උපකරණයක් ඉතා ප්‍රබල කලාත්මක ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් කිරීම පිළිබඳව, මෙම සිනමා ශත සංවත්සරය සමරන මොහොතේ ඬේවිඞ් වෝක් ග්‍රිෆිත් අපගේ ගරු බුහුමනට ලක්විය යුතුවේ.
ග්‍රිෆිත් විසින් සොයා පාදා ගත් සිනමා මාධ්‍යයේ සියළු සක්‍යතාවන් ගැඹුරින් අධ්‍යයනය කොට එය ප්‍රබල දේශපාලනමය ප්‍රචාරක අවියක් බවට පත්කළේ රුසියානුවන්ය. එහි පුරෝගාමියා සර්ජි එම්. අයිසන්ස්ටයින්ය. ඔහුගේ  “Griffith and Dickens” නම් රචනාව මේ පිළිබඳව සාක්ෂි දරයි. ‘ සියළු කලාවන් අතර අපට වඩාත් වැදගත් වන්නේ සිනමාව යැ’යි වී.අයි. ලෙනින් ප්‍රකාශ කළේ ඒ අනුවයි. අයිසන්ස්ටයින්ගේ “Battleship Potemkin” චිත්‍රපටයේ එන ‘ඔඩෙස්සා පඩිපෙලේ ජවනිකාව’ සිනමා ඉතිහාසය තුළ පිළිඹිබු වූ ඉතා ප්‍රබල ජවනිකාවක් බැව් බොහෝ විචාරකයින්ගේ අදහසයි. අයිසන්ස්ටයින්ගේ පසුකාලීන නිර්මාණ සෝවියට් බලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒවා ආකෘතිමය දැළක පැටලී ඇති බවත්, පොදු ප්‍රේක්ෂාගාරයට දුරාවබෝධ කෘතීන් ලෙසත් ඔවුන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි. සමාජවාදී යථාර්ථය පොදු ජනයාට වටහා ගැනීමට පහසු ආකාරයෙන් ප්‍රවර්ධනය කළ යුතුය යන්න එකල සෝවියට් බලධාරීන්ගේ අපේක්ෂාව වූ බැව් පැහැදිලි විය.

චිත්‍ර ශිල්පය හා අදාලව පිකාසෝ වැන්නවුන්ද, සංගීතය පිළිබඳව ස්ට්‍රැවැන්ස්කි හා ෂූබර්ට් , මුද්‍රා නාටකයේ දී මාර්තා ග්‍රැහැම් ද, මුර්ති ශිල්පයේ දී හෙන්රි මුවර් හා කොන්ස්ටන්ටයින් බ්‍රැන්කුසී පරිද්දෙන්, ජෝන් ෆෝර්ඞ්,කාර්ල් ඩ්‍රේයර්, යාන් රෙනුවා හා සත්‍යජිත් රේ වැනි සිනමාකරුවන් සිනමා මාධ්‍යයේ නිම්වලලු පුළුල් කරමින් එය ප්‍රබල කලා මාධ්‍යයක් බවට පරිවර්තනය කළෝය. මෙකී ලැයිස්තුව බෙහෙවින්ම දීර්ඝ වූවකි. මෙකී සිනමාකරුවන් අතරින් කිහිප දෙනෙකු වෘතාන්ත සිනමා ආකෘතිය පිළිබඳ සංකීර්ණ පර්යේෂණයන්හි නියැලී සිටියවුන් වූහ. එකී ලැයිස්තුවෙන් මා තෝරාගත් කිහිපදෙනෙකු පහත සඳහන්වේ.

1. ඬේවිඞ් වෝක් ග්‍රිෆිත් – නාටකීය ආඛ්‍යානය හා තාක්ෂණික ශිල්ප භාවිතාවන් පිළිබඳ පර්යේෂණයන් කළ පුරෝගාමියා

2. චාල්ස් චැප්ලින්, බස්ටර් කීටන් හා හැරල්ඞ් ලොයිඞ් – අද දවසේ පවා අතික්‍රමණය කළ නොහැකි ලෙස ප්‍රහසනය නම් වූ සිනමා ශානරය පරිපූර්ණත්වයට පත් කළ පුරෝගාමීන්

3. ඕසන් වෙල්ස් –  “Citizen Kane” වැනි චිත්‍රපටයක් හරහා සිනමා මාධ්‍යය සතු සියලු සක්‍යතාවන් හා තාක්ෂණික මානයන් පුළුල් කළ  බුද්ධිමතා

4. යසිජීරු ඕසු – එතෙක් භාවිතා වූ සියලු සම්මතයන් බිඳ දමමින් අවමතාවාදී සිනමාවක් ගොඩනැඟූ, මිනිස් ස්වභාවයේ යථාර්ථය හා ශෝකාලාපය, සංස්කෘතික සීමා මායිම්වලින් ඔබ්බට ගෙනගිය සිනමාකරුවා

5, යාන් ලූ ගොඩා – නව යුගයේ සියලු සිනමා සම්ප්‍රදායයන් හිතුවක්කාර ලෙස උඩු යටිකුරුකළ සිනමා වියතා

6. ඇලන් රෙනේ –  අපූර්වතම සංස්කරණ ක්‍රමවේදයක් සොයා පාදාගත් ඔහු රූපය හා ශබ්දය අතර ගැටුම අපූර්වාකාරයෙන් ගොඩනැඟීය. ( මේ පිළිබඳව ගෞරවය දිනා ගැනීමට අපගේ ඇතැම් දේශීය සිනමාකරුවන් උත්සාහ දැරීම ඛේදයකි)

7. නෝමන් මැක්ලාරේන් – කැමරාවක් හෝ හඬ පටිගත කිරීමේ උපකරණයකින් තොරව චිත්‍රපටයක් තැනීමට උත්සාහ කළ මොහු අධ්‍යක්ෂවරයාගේ කටයුත්ත චිත්‍ර ශිල්පියෙකුගේ කටයුත්තක් බවට පත්කිරීමට උත්සාහ කළේය

8. රොබර්ට් ෆ්ලැහර්ටි, බැසිල් රයිට් – ජීවිතය ඉතා සූක්ෂමව නිරීක්ෂණය කරමින් අවංකව හා නිර්මාණශීලීව එය සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත්කළ සිනමා කරුවන් දෙපළකි

9. ස්ටැන් බ්‍රෙකේජ්, මායා ඩැරන්, කෙනත් ඇන්ගර් වැනි ඇමෙරිකානු පාතාල සිනමාකරුවන් (American underground film makers) – ශබ්දය හා රූපය එකිනෙක ගැටීම හරහා විස්මිත පර්යේෂණයන් හි නියැලි, වාණීජ සිනමා ප්‍රවාහයට හසු නොවෙමින් සිනමා මාධ්‍යයේ සක්‍යතාවන් ගවේෂණය කළ සිනමාකරුවෝ

මේ මොහොතේ අපගේ දේශීය සිනමාව පිළිබඳව කුමක් කිවහැකිද?

ප්‍රථමයෙන් ම කිවයුත්තේ දැනටමත් අපගේ බොහෝ චිත්‍රපට විනාශ වී ඇති බවයි. ඒවා ඇත්තෙන්ම නගර සභාවේ පොදු වැසිකිලියක් තුළට පවා ගෙනයා නොහැකි තරමටම දිරාපත්වී ඇත. 1957 දී පමණ සිට කළ මැදිහත්වීම් කවරක් වුවද ඒ කිසිවකින් අපගේ සිනමා උරුමය රැකගැනීමට හැකි නොවීය. අපගේ වැදගත් චිත්‍රපට බොහොමයක් සදාකාලිකවම අතුරුදන් වී ඇත. ඒ අතර වෘතාන්ත චිත්‍රපට මෙන්ම නිදහසින් පසු අපගේ සමාජ දේශපාලන ඉතිහාසය සටහන් කළ මිළ කළ නොහැකි වාර්තා හා ප්‍රවෘත්ති චිත්‍රපට ද වේ.ඒ සියල්ල අළු හා දූලි බවට පත්ව ඇත. එහි වගකීම නිලධාරීන්, දේශපාලකයින් මෙන්ම චිත්‍රපට හොරුන් හා වංචාකරුවන් ද භාරගත යුතුව ඇත. ඒ අතර තවමත් මුද්‍රිත ලේඛනය හා ගල් පිළිම පමණක් උත්තම ගණයේ ලා සලකන පුහු බුද්ධිමතුන් ද වීම අභාග්‍යයකි. ඔවුනට සිනමාව පිළිබඳව ඇත්තේ කුහක ආකල්පයකි. මේ අතර නූගත් චිත්‍රපට නිෂ්පාදකවරුද ඔවුනගේ චිත්‍රපට සිය නිදන කාමරවල ඇඳන් යට සඟවති.

සිනමා සංරක්ෂණාගාරයක් පිළිබඳව මෙතෙක් කිසිවක් ඉටුකිරීමට නොහැකිවීම පිළිබඳව පරීක්ෂණ කොමිසමක් පත්කළ යුතු නොවේද?

සිනමා ශත සංවත්සරය සමරන අද දවසේ යුනෙස්කෝ ආයතනය විසින් 20 වන සියවසේ රූපමය මතකයන් සංරක්ෂණය කිරීම (safeguarding the international heritage of 20th century  visual memory) වෙනුවෙන් මෙම වසර වෙන්කිරීමට තීරණයකොට ඇත. මෙවැනි ක්‍රියාකාරකමක් හරහා හෝ අපගේ ඉතිරිව ඇති සිනමා උරුමය රැකගැනීමට හැකිවේද?

ශ්‍රී ලාකීය සිනමාවට ආලෝකය දැල්වෙනතුරු අපි බලා සිටිමු.