කම්මැල්ලවීර සහනුකම්පක කතා කලාවක නිමග්න වීම

විමලනාත් වීරරත්න

ප්‍රවීණ සාහිත්‍යධර ජයතිලක කම්මැල්ලවීර නිර්මාණ සම්භාවනා උළෙල ඔක්. 07 ප.ව. 3.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. මෙහි ප්‍රධාන දෙසුම මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වන අතර ආචාර්ය ආරියවංශ රණවීර මුලසුන හොබවයි.

 

ලොව ඇත්තේ විශේෂ සාහිත්‍ය ප්‍රවර්ග නොව සාහිත්‍ය දෙස බලන විශේෂ ක්‍රමවේදයන්ය. සාහිත්‍ය දෙස බලන ක්‍රමවේදය විධි විද්‍යාවක් නොවේ. එය හැමවිටම හැඩයක් අහිමි මැටි පිඩකින් හැඩයක් නිම කිරීමට යත්න දැරීමකි. එහෙත් මෙම ක්‍රියාවලිය තුළ සංකල්පමය ප්‍රභවයක් තිබේ. මෙම සංකල්පමය ප්‍රභවය උපදින්නේ අත්දැකීම් තුළිනි. සමාජභාවී මැදිහත්වීමක් තුළිනි. බොහෝ විට මැටි පිඩකින් කරන නිර්මිතයෙහි හැඩය තීරණය කරන්නේ පුද්ගලයා නොව විෂය විසිනි. එබැවින් වැදගත් වන්නේ විෂය වන අතර විෂය දෙස බලන ක්‍රමවේදයන් ඔස්සේ නිර්මිතය සමාජ ජීවිතයට අදාළ කැරෙයි.

සාහිත්‍යයට සංවිධාන මූලධර්මයක් තිබේ. විෂය හා ආඛ්‍යානය එහි ප්‍රබලතම සංරචක වන අතර සාර්ථක නිර්මාණයකදී ඒවා එකිනෙකින් තදනුබද්ධය. සාහිත්‍යයෙන් ලබන වින්දනය කර්මාන්තයක් ලෙස නඩත්තු කර ගැනීමට නම් සාහිත්‍යයේ නිෂ්පත්තික වින්දනය සරල රේඛාවකින් පටන් ගෙන උච්චාවචනයකට ලක්වීම වැදගත්ය. සාහිත්‍යය යනු ස්ථාවර විමුක්ති මාර්ගයක් බවට නොපත්ව තිබුණත් එය එකිනෙකින් එකිනෙකට වර නගන නව සංජානන ජීවාත්ම පද්ධතියක කොටසක් බවට පත්වීම වැදගත් යැයි කිව හැකිය. මැටි පිඩකින් උපදින්නට ගන්ධබ්බ අවදියක වසන සාහිත්‍යයේ සංවිධිත ගොඩනැංවීමකින් පසුව ඊට දෘෂ්ටියක් හිමිවන අතර මෙම අසිරිමත් ක්‍රියාවලියෙහි නිමග්නවීම මිනිස් ජීවිතය හා එය පවතින පරිසරය අනාවරණය කිරීමේ උත්කෘෂ්ට ප්‍රයත්නයක් වෙයි. දිගු කාලයක් එම පැණසර අභ්‍යාසයෙහි නිරත වූ ලේඛකයෙක් ජයතීර්ථයට පැමිණ සිටියි. හේ ප්‍රවීණ ලේඛන ජයතිලක කම්මැල්ලවීරය.

“ඊයම් උදුනේ පැත්තකින් සවිකර ඇති ගියර් පොල්ලක් වැනි හැඬලය පහත් කළ විට මකරකු කට ඇරියාක් මෙන් ලොකු කුහරයක් විවෘත වෙයි. කරුණාරත්න බාස් උන්නැහේ මැන්ගල් මැෂිමෙන් එවන ‘මැට්’ එක ඒ මකර කටට ප්‍රවේශමෙන් ඔබා එහි යට තල්ලේ එම කහපාට කාඞ්බෝඞ් පිටුව අලවයි. ඉන්පසු නැවත ගියර් පොල්ල උඩට එසවූ විට මකරා කට වසා ගනී. තමා විසින් කවනු ලැබූ මැට් එක ගිලගත් මකරා කට වසා ගත් පසු ඌ ඉදිරිපිට සිට ගන්නා කරුණාරත්න බාස් උන්නැහේ නළලින් හා පපුවෙන් බේරෙන දාඩිය දෑතේම ඇඟිලිවලින් සූරා බිම හලමින් තමාගේ ජීවිතය දවන ඒ අචේතනික යක්ෂයා දෙස බලා සිටී. සමහර විටෙක ඔහු දුම් දමන ඊයම් තහඩු අල්ලා එහා මෙහා කිරීම සඳහා පාවිච්චි කරන කිළිටි රෙදි කෑලිවලින් අත්දඬු සහ නළල පිස දමයි.” (තාත්තලාගේ කතාව 20 පිටුව)

කම්මැල්ලවීර තාත්තලාගේ කතාව නවකතා කෘතිය ලියන්නේ 1991දීය. උක්ත උද්ධෘතයෙහි එන මකරා සහ යක්ෂයා යන රූපක මගින් කම්මැල්ලවීර සිය ලිවීමට සියත් වර්ණයක් ගෙන දෙයි. මකරා යනු මනඃකල්පිත සත්ත්වයෙකි. එහෙත් හේ රුදුරුය. මෙම රළු හා දැවැන්ත මුද්‍රණ යන්ත්‍රය යක්ෂයකු වුවත් ඒ ඉදිරිපිට කරුණාරත්න බාස් උන්නැහේ සීරුවෙන් සිටගෙන සිටින්නේ යක්ෂයා යැයි තෙමේම හැඳින්වූ අචේතනික වස්තුව කෙරෙහි වූ එක්තරා භක්ති ප්‍රේමයක්ද පෙරදැරිවය. ජීවිතය දවන යක්ෂයා කෙරෙහි භක්ති ප්‍රේමය කම්මැල්ලවීර උපද්දවන්නේ ඔහු ලියන වචන අතර සිරකර ඇති හැඟීම් ධාරාව මගිනි. මෙහිදී මැටි පිඩට ඔහු වෙනස් හැඩයක් දීමෙන් නොනැවතී මානයක්ද දෙයි. දෘෂ්ටිවාදී ලකුණින් විතැන් වී එම කතා සංදර්භය දෙස බැලුවත් තාත්තලාගේ කතාවේ සිරිමාන්න, සේනාධීර, ප්‍රනාන්දු අයියා, කරුණාරත්න බාස් උන්නැහේ වැනි චරිත ඔස්සේ කම්මැල්ලවීර අපට සන් කරන හේතු කාරකයක් තිබේ. ඒ මෙම පරිපීඩිත ජීවිත පැවැත්මේ සැබෑ තානය ස්පර්ශ කර බලා ප්‍රත්‍යක්ෂ කරගන්නා ලෙසය.

මෙය සාහිත්යික හැඩයක් තුළට ජීවිතය කිඳා බැස්සවීමක්ද නැතහොත් ජීවිතයේ ඇතිසැටිය තුළට සාහිත්‍ය අදාළ කර බැලීමක්ද? මගේ අදහසේ හැටියට ඒ දෙකම සාහිත්‍යකරුවා අතින් සිදුවිය යුතුය. කම්මැල්ලවීර සුවිශේෂී ලේඛකයකු වන්නේ දෘෂ්ටිවාදය වෙනුවට දෘෂ්ටිය ඉස්මතු කිරීමත් ආකෘතිය වෙනුවට සංදර්භීය ගුණය ප්‍රවර්ධනය කිරීමත් නිසාය. විශේෂයෙන්ම කෙටිකතාව ප්‍රශස්ත කලා මාධ්‍යයක් ලෙස ගෙන චරිත හා අවස්ථා නිරූපණය තෝරාගෙන ලියන ලේඛකයෙක් ලෙස කම්මැල්ලවීර හැඳින්විය හැකිය. එමෙන්ම කෙටිකතාවේ ශිල්පීයත්ව අභ්‍යාසයේදී ඔහු පරිසමාප්ත ලේඛකයෙකි. සුමට හා පිරිමැදුනු වදන් පෙතක් දිගේ යන හෙතෙම බොහෝවිට සිදුවීම්වල විශාල උච්චාවචනයක් නොකරයි. ඔහු නිමවන සිදුවීම්වල ඇත්තේ ඉසියුම් ගලා බැස්මකි. කම්මැල්ලවීර ලියූ මාංචු සහ අන්තිම කැමැත්ත බද්ධ කෙටිකතා සංග්‍රහයේ එන ‘එක්තරා නගරයකදී’ හා ‘මාංචු’ යන කෙටිකතාද්වය උදාහරණයකට ගතහොත් එම සියුම්ව හා ඉවසීමෙන් ගලා බස්නා ලක්ෂණය දිසේ.

මිතුරකු බැලීම පිණිස ලංකාවේ සිට කාන්පූර් නගරයට යන කථකයකු මිතුරා තුළ තමා බලාපොරොත්තු නොවූ පරිවර්තනයක් සිදුව තිබෙනු දැක ඇතුළු හදින් කම්පා වෙයි. කම්පාව පාඨකයාට දැනෙන්නේ හුදෙක් කම්මැල්ලවීරගේ වදන්වලින් හෝ ඔහු ගොඩ නගන සිදුවීම්වලින් නොවේ. කථකයාගේ ආත්මීය වේදනාව තුළිනි. කලබලයක් නැති එහෙත් පිරවිය නොහෙන හිස්කමක් අපට කථකයා තුළින් පිළිබිඹු වෙයි. මිතුරාගේ ඛේදනීය පරිවර්තනය ගැන පාඨකයාට ලැබෙන සංඥාව එන්නේ කථකයාගේ ආත්මීය හිස් කුටීරයක් තුළිනි. මිතුරාගේ සොහොයුරියගේ ගීත ගායනය මෙන්ම ගෙදර සෙසු සාමාජිකයන්ගේ සැහැල්ලු හැසිරීම තුළ කම්මැල්ලවීර, සංදර්භයෙන් පැන නැගිය හැකි ආතතිය ඛණ්ඩනය කරයි. එහි අරමුණ පාඨකයාට හැල්මේ දුවන්නට නොදී පසුපසට දුනුදියක් මෙන් ඇද හාත්පස හොඳින් බලා යළි ඉදිරියට යාමට සැලැස්වීමය.

“තමා උපන් මඩගොහොරුවෙන් උඩට එසවී පිපෙන්නට පිපී සුවඳ විහිදුවන්නට ඈ තුළ පවතින ආශාව ගීතයක් වී අවට වා තලයේ පාවෙයි. එහෙත් එය ඇසෙන මානයේ සියල්ලෝම තද නින්දේය. වටහාගත හැකි හඬකින් සහ නොවැටහෙන වචනවලින් ඈ ගයන ඔවුන්ගේ කතාව අසන්නට අවදියෙන් ඉන්නේ පිටස්තරයකු වූ මා පමණි. (එක්තරා නගරයකදී)

සුමට බසකින් මතු කැරෙන විශිෂ්ට රචනා රීතියක් කම්මැල්ලවීර සතුය. ඔහුට හමුවන චරිත ආභාවයට යන්නෝ නොවෙති. අසීරු මාවතක උඩට යන්නෝ වෙති. මිතුරු බිරේන්ද්‍ර කුමාර්ගේ සොහොයුරිය වූ වීනාගේ පැවැත්ම සහ අපේක්ෂාව අතර පියවන්නට අසීරු එහෙත් එය කළ නොහැකි නැති හිස් තීරුවක් තිබේ. ඉන්දියාව යනු එක්තරා විස්මයජනක රටක් නිසා ඕනෑම ප්‍රවර්ගයක ආශ්චර්යමත් සිදුවීමක් මිනිස් ධෛර්යය පදනම්ව සිදුවිය හැකිය යන උපන්‍යාසය කෙරෙහිද මෙහිදී කම්මැල්ලවීර සවිඥානික වන බව පෙනේ.
මාංචු කෙටිකතාව තුළ ශරීර භාෂාමය අරගලයක් වෙතැයි පෙනී ගියත් එහි ගැබ්වන්නේ හැඟීම් අරගලයකි. දුම්රියේ යන සිරකරුවා හා රැකවලුන් දෙදෙනා කෙරෙහි කථකයා දක්වන සහනුකම්පක දෘෂ්ටිය කෙමෙන් වර්ධනය වන්නකි. මුලින් දිස්වන්නේ සුමට සංවාදයක් නොවේ. සුසාධිත කෙටිකතාවේ වැදගත් ලක්ෂණයක් වන සෙමින් අනාවරණය කිරීම කම්මැල්ලවීර ඔහුගේ සෑම කතාවකටම පාදක කරගන්නා එක්තරා යතුරකි. ඔහු තමා සතු යතුරෙන් කෙටිකතා තේමාත්මකයේ දොර සීරුවට විවර කිරීම තුළ යතුරු කවුළුවෙහි සුමට මෙන්ම රළු බඳ ඔහුට සංස්ලේෂණාත්මකව හසුවන ආකාරයක්ද දක්නා ලැබෙයි.

“තරමක් පහත් වී හිඳිමින් මගේ මුහුණට යටින් පිටත බලා සිටින තරුණ ජේල් ගාඞ් ඔහු දුටු යමක් මටද පෙන්වීම සඳහා “ෂහ් දැක්කද?” යයි කීවේ මා සිරකරුගෙන් තවත් ප්‍රශ්නයක් අසන්නට සැරසෙනවාත් සමගය.

මා පිටත බැලූවිට ඈත උස් කඳු වැටියක මුදුනක වලාකුළකින් සම්පූර්ණයෙන්ම වැසී තිබෙන අයුරු දක්නට ලැබිණ.

“හරි ලස්සනයි නේද?”

“හ්ම්” යයි කී මම මගේ කටට උනා තිබුණු ප්‍රශ්නය ගිලෙන්නට නොදී පිටතට ගත්තෙමි.

“ඔයාගෙන් ගුටිකාපු එස් අයිට හුඟක් තුවාලද?” (මාංචු)

කම්මැල්ලවීර වහා දර්ශනය ඛණ්ඩනය කරන්නේ කෙටිකතාවේ තාක්ෂණික පාර්ශ්වයේ හැසිරවීම පිළිබඳ මනා අවබෝධයෙනි. ඛණ්ඩනය සිදුවීම පිට පොට නොයා එහි තානමය අතිපිහිතවීමක් සිදුවනු දැක්ක හැක්කේ එනිසාය. එසේම චරිතවල මමංකාරය තුනී කරන ලේඛකයකු ලෙසද කම්මැල්ලවීර කැපී පෙනේ. ඔහු නිමවන සෑම චරිතයක්ම පරිසර බද්ධ භූමියේ තර්කණයට නතුකර තිබීම දැකගත හැකිය. එය කිරීමට සමාජ, ආර්ථික කාරණාවලට අතිරේකව පුද්ගල මමංකාරය තුනී කිරීම දක්වාත් චරිතයෝ ඌනනය කරති.
“එම්බාම් කර හැඩවැඩ ගන්වා, සරසන ලද පෙට්ටියක තබන මිනියත්, ජීවත්ව සිටි සැබෑ පුද්ගලයාත් අතර වෙනස මැන බලන්නට බොහෝ දෙනෙක් විශේෂ ආශාවක් දක්වති.” (ඔහු මියගිය දා මම)

මළ සිරුරක් ප්‍රිය මනාප ලෙස සකස් කිරීම කලාවකි. ජපානයේ එය තුංග කලාවක් ලෙස අභ්‍යාස කැරුණත් ලංකාවේ ජීවත්ව සිටි පුද්ගලයා හා ඔහුගේ මළ සිරුර අතර සන්සන්දනය කිරීම කැරෙන්නේ පටු අරුතකින් යැයි කිව හැකිය. එමෙන්ම මෙම කතාවේ එන විමලජීව මියගියේ බීලාද නැතහොත් කලකිරිලාද යන්න පිළිබඳ කම්මැල්ලවීර සරල මතික ද්වන්දවයක් මවයි. එම ද්වන්ද්වය ඔහු මවන්නේම කතාවට ඒකතානමය අරුතක් නොදීම අරභයාය. ඔහුට කතාවේ සංදර්භය හා අවසානය ජීවිතය හා පැවැත්ම පිළිබඳ ගැඹුරු ප්‍රකරණයකට ගැට ගැසීමට වුවමනාය.

ප්‍රින්ස් වැනි නවකතාවකදී කම්මැල්ලවීර ඔහුගේ චරිත අතර සුපුරුදු වාමාංශිකයා ඉස්මතු කරයි. ඔහුගේ වාමාංශිකයා හැමවිටම පරාජිත වාමාංශිකයකු බව පෙනී යන අතර ඇතැම් විටෙක ඔහු සිය චරිතවල වාමාංශිකයාට තමාවම සමාන්තර කර බලන බවක්ද දැකිය හැකිය. මෙම වාමාංශිකයා ව්‍යාජ ජයග්‍රාහකයකු වන්නේ නැත. ජයගැනීම සඳහා දකුණට පනින්නේද නැත. වාමාංශය තුළම ඈත් මෑත් වෙයි. ලංකාවේ ස්ටැලින්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන් සේය. කම්මැල්ලවීරගේ වාමාංශිකයෝ නියතව ලබන පරාජයෙන් පසු ඔද්දල් වූ, සිතින් යුතුව දිදුලන දේශපාලනයෙන් පසු බසිති. එහෙත් වාමාංශයට ගෑවුණු කේඩරවල පසුවෙති. ඇතැම් විටෙක රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහයේ දේශපාලන ආර්ථිකයකට ඇතුළු වෙති. ඇත්තටම එය ලංකාව තුළ යථාර්ථයකි. කම්මැල්ලවීර එහිදී ලංකාවේ වාමාංශිකයා පිළිබඳ යථාර්ථය රචනා කරයි.

කම්මැල්ලවීර ලංකාවේ කෙටිකතා විෂය තුළ කළු සපත්තු, මිනිස්සු, යක්කු සහ දෙවියෝ තවත් කමලාවියක්, මාංචු, අන්තිම කැමැත්ත, ලේ. වැනි විශිෂ්ට කෙටි කතා සංග්‍රහයන් රැසක් ලියුවේය. 2003දී ඔහු ලියූ ‘5 වැනි ජවනිකාව’ කෙටිකතා කෘතියෙන් පසු සෝබා, සිහින ඉසව්ව, ඇස් හා එකොළහ වැනි කෙටිකතා කෘතිවලදී ඔහු ලේ දක්වා පැමිණි අර්ථ සංදර්භීය පරිශිෂ්ටබව හා පසන් අඛ්‍යාන මාර්ගය යම් පමණකට වෙනස් කර ගත් බවක් පෙනුණි. සරල කතා පුවතකින් තේමාත්මක ගැඹුරක් වෙතට යාමට ඔහු දැරූ ඇතැම් උත්සාහයන් අසාර්ථක වූ බවද පෙනුණි. අට අවුරුද්ද, නවකතාවෙන් පටන් ගෙන නවකතා කෘති කිහිපයක්ම රචනා කළ කම්මැල්ලවීරගේ ප්‍රශස්තම නවකතාව 2010දී පළවූ චුම්බන කන්ද බව කිව හැකිය. එහිදී ඔහු නවකතා රචකයකු ලෙස ගැඹුරු තේමාවක් සහ සංදර්භයක් වෙතට පිවිසෙන අතර එහි ජනශ්‍රැති අභ්‍යාසයද දාර්ශනික පැවැත්මක්ද දක්නා ලැබෙයි. ඔහු එය ලියන්නේ වීරත්වයෙන් පිරුණු බිමක සැරිසරන ව්‍රතයක් ප්‍රකට කරමිනි. කම්මැල්ලවීර විහිදවිය යුතුව තිබුණේ චුම්බන කන්දෙන් මතුකර ගත් අලෝක ධාරාවයි. යළි ආපස්සට ගොස් ඔහු කෙටිකතාව ‘ලේ’වලින් සහ නවකතාව චුම්බන කන්දෙන් නැවත පටන් ගත යුතුය යනුවෙන් කම්මැල්ලවීරට සන් කිරීම ඇතැම් විටෙක අනුචිත ක්‍රියාවක් විය හැකිය. කෙසේ වෙතත් ඒ ගැන ඔහුම සිතා බැලීම යෙහෙකිය.

නූතන කෙටිකතාවට හා නවකතාවට නිශ්චිත සම්බන්ධතා සහ විවරණය කිරීම් අවශ්‍යම නොවේ. සොයාගත යුත්තේ වස්තු සංදර්භය දෙස බලන විශේෂ ක්‍රමවේදයන්ය. තේමා ගලනයට උපස්ථම්භක නව ආඛ්‍යාන රටාවන්ය. ජයතිලක කම්මැල්ලවීර මේ සියල්ල අත්හදා බැලීම් ලෙසත්, අභ්‍යාස ලෙසත් කර එක්තරා තීර්ථයකට ගොඩවූ රචකයකු බව කිව යුතුය. ජයතීර්ථ යනු ඔහුගේ සියලු අභ්‍යාසයන්හි විහිදුම් සම්ප්‍රයුක්තය ලෙස හැඳින්විය හැකිය.