ලංකා බැංකුවේ කීර්ති නාමයේ දැලි තවරණ නිලධාරින්

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකාවේ ඉපැරණිම බැංකුවක් වන ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ ලෙසින් ජනතා ප්‍රසාදයට ලක්ව ඇත්තේ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ඉහළින්ම සලකන බවට ඉඟියක් දනවමිනි. ගනුදෙනුකරුවන් විසින් දක්වන මේ ගෞරවය කෙලෙසන ආකාරයේ ක්‍රියාකාරකම් එහි නිලධාරීන් වෙතින් සිදුවේ නම් බැංකුවේ එකී කීර්තිනාමය කෙලෙසීම නොවැලැක්විය හැකිය. රට පුරා සණස බැංකුවල නිලධාරීන් විසින් සිය ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් කෝටිගණන් වංචා කිරීමේ සිද්ධි පිළිබඳ තොරතුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගින් සණස බැංකු විසින් එතෙක් අත්පත්කරගන තිබූ සිය කීර්ති නාමයේ දැලි තවරාගත්තේය. ඒ සණස නාමයේ ඇති වරදක් නිසා නොව ඒවායේ සේවය කළ නිලධාරීන්ගේ වරදිනි.

මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ලංකා බැංකුවේ කීර්ති නාමයේද දැලි ගැවීමේ ඉඩක් පවතින බව බැංකුවේ පාලනාධිකාරියට දනවන තොරතුරක් මෙම ලිපියෙන් හෙළිදරව් කරගත හැකිය.

වැලිවේරිය ලියනගේ හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමේ ආර්. එල්. එන්. පී. ලියනගේ විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ ණය අයකර ගැනීමේ කළමණාකරු සහ බියගම ශාඛාවේ කළමනාකරු වෙත ඉල්ලීමක් කර ඇත.

“මම ලියනගේ හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයකුගේ පරාසයේ සිට මෙම ඉල්ලීම ඉදිරිපත් කරමි. ඔබ බැංකුවේ ගනුදෙනුකරුවකු වන මා හට වර්ෂ 2012දී 71026442 ගිණුමට ණය පහසුකමක් සපයා දෙන ලදී. එකී ණය පහසුකමට අදාළව ඒ අවස්ථාවේදී මිලියන 26ක මුදලක් ණය ගිවිසුමක් මත ලබාදීමට එකඟව එයින් මිලියන 15ක් මා හටත් මිලියන 11ක් ඔබ බැංකුව විසින්ම මර්චන්ට් බැංකුව සමග ගනුදෙනුවක් හැටියටත් සිදුකරන ලදී. (හෝටල් ව්‍යාපාරයට අදාල ඉඩමට තිබූ උගස්කරය පියවීම සඳහා)

දැන් මා ඉල්ලා සිටින්නේ,
01. ඉහත කී 2012.02.16 අත්සන් කර 26 ප ණය පහසුකමට අදාළව එම පහසුකම අනුමත කළ ලිපියේ පිටපත් හා මුදල් ලබාදුන් දින වටිනාකම් හා ලබාදුන් ආකාරය.

02. එම ණය පහසුකමට අදාළව ණය මුදල හා ගෙවන ක්‍රමය දැක්වෙන බැංකුව සමග මා අත්සන් කළ ගිවිසුමේ පිටපතක්.

03. එම ණය යෝජනාව අනුමත කර යෝජනා සම්මතයේ (Offer Letter) පිටපතක්.

04. හිඟ වාරික බැංකුවට පියවා ගැනීම සඳහා බැංකුව විසින්ම සම්මත කරගෙන ගිණුම් අතර හුවමාරු කරන ලද 2013.09.05 දිනැති 20 ප ණය අයිරා පහසුකමට අදාළ සියලු විස්තර සටහන් ලේඛන හා මුදල් ගිණුම්ගතකළ ආකාරය හා දිනය.

05. ණය හා පොළී එකතු කර ඒකබද්ධ කර ගෙවිය යුතු මුදල 89 ප ණය පහසුකමක් ලෙස සැකසීමට අදාළ සියලුම ලේඛන හා ණය 89 ප එකතු වූ ආකාරය.

06. එකී ණය සඳහා පොලී එකතුව නැවත ගණනය කර (මිලියන 22 ප) ණයක් හැටියට නම් කර පවත්වාගෙන යාමට අදාළ සියලුම ලියවිලි හා එම මුදල එකතු වූ ආකාරය.
07. මිලියන 25ට අදාළ ණය යෝජනාව ලබාදුන් ආකාරය හා මුදල් නිකුත් කර ආකාරය හා දිනයන් දැක්වෙන සියලුම විස්තර. ”

සමාන්‍යයෙන් ගනුදෙනුකරුවකු මෙවැනි ලිපියකින් තොරතුරු ඉල්ලනුයේ බැංකුව තමන් සමග කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් පවතින සැක සහිත භාවය ගැන ගැටලු මතුවෙන අවස්ථාවකදීය.

ඉල්ලා ඇති තොරතුරු පිළිබඳ අවධානය ලක් කිරීමේදී කිසියම් බැංකුවක් සිය ගනුදෙනුකරුවෙකු මේ තරමට නොමග යවා තිබේද යන සැකය මතු වේ. පළමුවෙන්ම මෙම ගනදෙනුකරුවා විසින් ලබාගෙන ඇති විශාල ණය මුදලට බැංකුව සහ ගනුදෙනුකරුවා අතර ගිවිසුමක් අත්සන්කර තිබේද? යන මූලික ප්‍රශ්නය මතුවේ. ඉන් ඈතට තවදුරටත් විමසා බැලුවහොත් ඔහු ඉල්ලා සිටින තොරතුරු සම්බන්ධ ලිපිය ලැබුණු බවවත් දන්වා බැංකුවෙන් ලිපියක් ද 2019.10.01 දින වන විටත් ලැබී නැත. ඔහු එකී තොරතුරු ඉල්ලා ලිපිය යවන්නේ 2019.09.09 දිනදීය. පිළිතුරු එවීමේ නීතිමය කාලසීමාවද එනම් දින 14ද මේ වන විට ඉක්ම ගොසිනි.

තොරතුරු පනත ප්‍රකාරව නොවුණ ද කිසියම් බැංකුවක ගනුදෙනුකරුවකු සිය බැංකු ගිණුම්වල ගනුදෙනු තොරතුරු ඉල්ලා සිටියහොත් එය වහා ලබාදීමට බැදී සිටී. මෙසේ තොරතුරු දීම ප්‍රමාද කිරීමම සැකයක් ඇතිකරවයි. ඒ බැංකුව ගනුදෙනුකරුවාට සඟවන්නට උත්සාහ කරන යමක් ඇතිබවට සැකයක් ඇති වීමය.

ලංකා බැංකුවේ මෙකී ගනුදෙනුකරුවා හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණයක් ඉල්ලා ඇත්තේ මෙයින් වසර හතකට ඉහතදීය. ඔහු පවසන ආකාරයට එකී යෝජනාව පැමිණ ඇත්තේ ද බැංකුවේ පාර්ශ්වයෙන්මය. ඒ සඳහා අනුමත ණය මුදල කොපමණක්ද ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුත්තේ ණය මුදල ලබාගෙන කිනම් කාලයකට පසුවද? එනම් ණය ආපසු ගෙවීමේ සහන කාලය කොපමණද යන්න පැහැදිලි නැත. කෙසේ වුවත් මෙකී ණය ලබා දීම අධියර තුනකින් සිදුකරන බවට බැංකුව දැනුම් දුන් බව ලියනගේ හෝල්ඩින්ග්ස් ආයනයේ හිමිකරු වන ආර්. එල්. එන්. පී. ලියනගේ පවසයි. පළමු ණය වාරිකය ලබා දීමෙන් පසුව බැංකුව විසින් විවිධ කාරණා මතුකරමින් නියමිත පිළිවෙලට ණය මුදල් (වාරික) නිදහස් කිරීම ප්‍රමාද කර ඇති බව නම් ඇත්තකි.

එනම් පළමු ණය වාරිකය නිදහස් කළ පසුව දෙවැනි වාරිකය හා තුන්වැනි වාරිකයත් නිදහස් කර ඇති ආකාරය පිළිබඳ තිබෙන තොරතුරු අනුව එහි වියවුල් බවක් ඇති බව පෙනෙන බැවිනි. 2012.02.15 දින දී මිලියන 26ක් ද, 2012.03.20 දින මිලියන 21.5 ක් හා මිලියන 6.5ක් ද 2013.09.05 දින මිලියන 4.2ක් සහ මිලියන 20ක් ද වශයෙන් වීමය. ඒ තුළ එකම දිනයකදී ණය වාරික කොටස් දෙක බැගින් නිදහස් කර තිබීමය.

මිලියන 6.5 සහ මිලියන 4.2 ණය වාරික ලෙස සඳහන් වුවද සැබෑ වශයෙන්ම ඒවා ණය වාරික වශයෙන් හෝ ණය පොළී වශයෙන් කපාගෙන ඇත්තේද යන්න පැහැදිලි නැත. ඔහු තොරතුරු පනත යටතේ බැංකුවෙන් තොරතුරු ඉල්ලන්නේද මේ නිසා විය යුතුය.

ලියනගේ පවසන විදියට මුල් ණය වාරිකය වූ රුපියල් මිලියන 26න් ඔහුගේ අතට ලැබෙනුයේ මිලියන 15ක් පමණි. ඉතිරිය බැංකුව විසින්ම හෝටලය ඉදිකිරීමට යෝජිත ඉඩම මර්චන්ට් බැංකුවෙන් නිදහස් කරගැනීම සඳහා ලංකා බැංකුවේ ම රඳවා ගනී. එවිට ඔහු ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරනුයේ ඉතිරි මිලියන 11ක මුදලිනි.

ව්‍යාපාරික ලියනගේ 2017 අප්‍රේල් 18 දින රාජ්‍ය ව්‍යාපාර හා සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් වෙත යවන ලද ලිපියේ සඳහන් වන්නේ ලංකා බැංකුව සමග සිය හෝටල් ව්‍යාපෘතිය ආරම්භ වනුයේ 2011 දෙසැම්බර් මාසයේදී සිට බවය. එහෙත් බැංකුවෙන් සිදුවූ ප්‍රමාද වීම් නිසා ණය දීම ප්‍රමාද වූ බවය.

ලංකා බැංකුවේ ණය අංශය විසින් 2013 පෙබරවාරි 26 දින ලියනගේ හෝල්ඩින්ග්ස් වෙත එවන ලද වාර ණය රුපියල් මිලියන 13.5 සහ රුපියල් මිලියන 8 නම් ශීර්ෂයෙන් යුත් ලිපියේ  (TERM LOAN OF RS.13.5M AND RS.8.0M) අපූරු කොන්දේසි කීපයක් පනවා තිබේ. එයින් කීපයක් ලංකා බැංකුවට අදාළ ද යන ප්‍රශ්නය මතු වේ.
එහි අංක 03 මෙලෙසය. ලියනගේ මහතා ණය ගැතියකු වන වැලිවේරිය HNB බැංකුවේ හිඟ ණය පියවා දැමීම.

4 දයානන්ද මහත්මිය හා ලියනගේ මහත්මිය ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින කොමර්ෂල් ක්‍රෙඩිට් හා ෆයිනැන්ස් සහ මර්චන්ට් බැංකුවලට ගෙවිය යුතු ශේෂයන් වලින් 50%ක් වත් ලංකා බැංකුව හරහා ගෙවා තිබීම.

5 සහන කාලය තුළ පොළිය ගෙවා තිබිය යුතුය.
මෙම කොන්දේසි ණය දීමට පැනවූ ඒවාද යන සැකය මතු වේ. ලියනගේ සහ ඔහුගේ බිරිඳ වන ඇපකරුවන් ලෙස අත්සන් කළ ණයත් ණයකරු සිටියදී ඔවුන් ලවා ගෙවීමට කොන්දේසී පැනවීම සිතාගත නොහැක්කකි. අනෙක් කාරණය වන්නේ සහන කාලය තුළ පොළිය ගෙවා තිබිය යුතුය යන්නය. මේ කුමන ණය දීමේ ක්‍රියාවලියක් ද? මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි සෙනරත් බණ්ඩාර සම්බන්ධකර ගත්තද තොරතුරු දීම ප්‍රතික්ෂේප කළේය.