රට වෙනුවෙන් ඕනෑ දෙයක් කරනවා දෙමළ ජාතික සන්ධානයේ නායක – ආර්. සම්බන්ධන්

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

යහපාලන ආණ්ඩුවේ සිව් වසරක කාලය තුළදී දෙමළ ජාතික සන්ධානය උතුරේ දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ආණ්ඩුවෙන් ලබා ගත් සහන මොනවාද?

අලුත් ව්‍යවස්ථාවක් හදන්න පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් ලෙස මාරුවෙලා ඒ සම්බන්ධව කමිටු පිහිටුවලා, උප කමිටු පිහිටුවලා කමිටු තුළ සාකච්ඡා කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන එක ඉදිරියට ගෙන ගියා. පාර්ලිමේන්තුවේ ඒ තීරණය ගත්තේ ඔක්කෝම මන්ත්‍රීවරු එකතු වෙලා. ආරම්භක කාලයේ සියලු දෙනා ඒ වෙනුවෙන් උදව් කළා. කවුරුවත් ඒකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි යහපාලන ආණ්ඩුවේ පක්ෂ දෙක අතරේ ප්‍රශ්න ඇති වුණාම, ඒ කියන්නේ ශ්‍රීලනිපය සහ එජාපය අතර ප්‍රශ්න ඇති වුණාම එක්සත් ජාතික පෙරමුණ අපි බලාපොරොත්තු වුණ විදිහට ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියේ නැහැ. ඒක තමයි ඇත්ත. හැබැයි අලුත් ව්‍යවස්ථාවක් සාදා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් ගැනීම සම්බන්ධව 1988 සිට වැඩ කරලා තියෙනවා.

මේ අලුත් ආණ්ඩුව 2015 බලයට පත් වූ පසු ඒක තවත් ඉස්සරහට ගෙනිච්චා. හැබැයි, ස්ථීර තීරණයක් ලබා ගන්න බැරි වුණා. ස්ථීර තීරණයක් ගැනීම ලොකු ප්‍රශ්නයක් නොවේ. දැන් කාටහරි කරන්න පුළුවන්. කැමැත්තක් තිබේ නම් රට බෙදන්නේ නැතුව. ඒක රට ඇතුලේ පළාත් වලට බලය බෙදලා දීලා මේ රටේ ස්ථාවර සාමයක් ඇති කළ හැකියි. මේ රට දියුණු කරන්න නම් ජාතීන් අතර සාමය ගොඩනැගීම අත්‍යවශ්‍යයි.

අපි කියන්නේ නැහැ මේ රජයෙන් කිසිම දෙයක් වුණේ නැහැ කියලා. එහෙත් අපි බලාපොරොත්තු වූ විදිහට මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැහැ. කවුරු බලයේ සිටියත් අලුත් ආණ්ඩුවක් හරි ව්‍යවස්ථාව සෑදීමේ කටයුතු සිදු කරන්න ඕනේ.

දකුණේ ආණ්ඩු උතුරේ දෙමළ ජනතාව ඉල්ලා සිටින දේශපාලන විසඳුම් ලබා දීමට සූදානම් බවක් පසුගිය ආණ්ඩු පෙන්වා නැහැ. දෙමළ ජනතාවට දේශපාලන විසඳුම් ලබා දෙනවා යැයි කියමින් කිසියම් රැවටීමකට ලක් කර තිබෙනවා නේද?

මේක කාටවත් කරන්න බැරි කමක් තිබෙනවා. එක පක්ෂයක් ආණ්ඩුවේ ඉන්නකොට ඒගොල්ලෝ විසඳුමක් ගේන්න කැමතියි කියලා ඒ කැමැත්ත උඩ කටයුතු කරනවා. අනෙක් පක්ෂය ඒකට උදව් වෙන්නේ නැහැ. අනෙක් පක්ෂය බලයට එනකොට ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් කියලා එහෙම වැඩ කරනකොට අනික් පක්ෂ උදව් වෙන්නේ නැහැ. මේගොල්ලෝ මේක හිඟන මනුස්සයාගේ තුවාලේ වගේ තියාගෙන ඉන්නවා. ඒක තියාගන්න ඕනේ ඒගොල්ලන්ට බලයේ ඉන්න. හිඟන මනුස්සයකුට තුවාලේ තිබුණොත් විතරයි එයාට මොනවා හරි ඉල්ලගන්න පුළුවන් වෙන්නේ. ඒක නැති වුණොත් එයාට කිසිවක් ලැබෙන්නේ නැහැ. දෙමළ ප්‍රශ්නය ප්‍රධාන පක්ෂ දෙකම පාවිච්චි කරන්නේ හිඟන මනුස්සයාගේ තුවාලේ විදිහටයි. ඒක මේ රටට හොඳ නැහැ. එය දෙමළ ජනතාවට විතරක් නොවේ, රටේ ඉන්න ජනතාව කාටවත් ඒක හොඳ නැහැ. රට කොච්චර ණය වෙලා තියනවාද? ණය ගෙවන්න බැරිව හිර වෙලා තියනවා. මෙහෙම ගියහොත් නම් අවුරුදු කීපයකින් මේ රට නැති වේවි.

දකුණේ ආණ්ඩු උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

අපිට බලය බෙදලා දීලා හොඳ තීන්දුවක් ගන්න බැරි වුණොත් අපිට කරන්න පුළුවන් දේවල් හුඟක් තියනවා.

ඒ මොනවාද?

ඒක මම කියන්නේ නැහැ. අපිත් සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න කැමතියි. අපි රටට නිදහස හම්බවෙන්න ඉස්සෙල්ලා රට බෙදන්න කියලා ඉල්ලුවේ නැහැ. අපිට ෆෙඩරල් ඕනේ කියලා කිව්වේ නැහැ. අපි ඉල්ලුවේ එක රටක් ඇතුලේ අපිට නිදහසේ ඉන්න ඕනේ කියලයි. අපි සිංහල ජනතාවට විරුද්ධ මිනිස්සු නෙවෙයි. සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා මේ රට දියුණු කරලා ඔක්කෝටම හොඳට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවට තමයි අපි කැමති. හැබැයි දැන් නිදහස ලැබිලා අවුරුද් 71 ක් වෙනවා. ඒක කෙරුවේ නැත්නම් අපි වෙන වෙන දේවල් සම්බන්ධයෙන් කල්පනා කරන්න ඕනෑ වෙයි. ඒක අපි කරන්නේ අපේ කැමැත්ත නිසා නොවෙයි. අපිට වෙන දෙයක් ලැබෙන්නේ නැති නිසයි. අපිට කරන්න තියන දේවල් අපි කරනවා. ඒකට අපි පස්සට යන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා බවට පත්ව තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ සහය ඒ දෙන්නාගෙන් කාටද ලබා දෙන්නේ?

ඒ සම්බන්ධයෙන් තවම තීරණයක් අරගෙන නැහැ. යූඇන්පී එකේ සජිත් ප්‍රේමදාස මහතාව නියම කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව පොදු ජන පෙරමුණ නියම කරලා තියනවා. හැබැයි දැන් ඔහුට බරපතළ නඩුවක් තියනවා. අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ ජනාධිපතිවරණ ප්‍රකාශ එළිදැක්වුවාම ඒ තුළින් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති බලලා ඒගොල්ලෝ මොකක්ද කරන්න යන්නේ කියලා ඒ අය කියන්න ඕනේ. ප්‍රතිපත්ති පැහැදිලි කරගත්තට පස්සේ අපි කල්පනා කර බලලා මේ සම්බන්ධයෙන් හරි තීන්දුවක් ගන්නවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියහොත් ටීඑන්ඒ එක ඉල්ලා සිටින ඉල්ලීම් ලබා දෙනවා කියලා එවිට ඔහුට උදව් කරන්න දෙමළ ජාතික සන්ධානය කැමති වෙනවාද?
මොකද කරන්න යන්නේ කියලා කියනකම් බලා ඉදිමු. ඉන්පසු අපි තීරණයක් ගනිමු.

උතුරේ සිවිල් සංවිධාන නියෝජිතයෝ අද (ඔක්තෝම්බර් 2) ඔබ මුණගැසුණා නේද? ඒ අය ඔබ සමග සාකච්ඡා කළ කරුණු මොනවාද?

ඒගොල්ලෝ මාව මුණගැහෙන්න ඕනේ කිව්වා. අනික් පක්ෂ සමගත් කතා කරලා ඉන් පස්සේ මාව හමුවෙයි කියලා හිතනවා. මගේ පක්ෂයෙන් මට තනියම තීන්දුවක් ගන්න බැහැ.
ඒගොල්ලෝ ඉල්ලන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක්. දෙමළ ප්‍රශ්නයට විසඳුමක් කියලා කිව්වහම දැන් කවුරුහරි රට බෙදන්න හදනවා කියලා හිතන්නේ නැහැ. ව්‍යවස්ථාවේ පළාත් සභාවල් පත් කරලා බලය බෙදලා මේ සම්බන්ධව තීන්දුවක් ගන්න ඕනේ කියලා ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ ලෝකයේ වෙන වෙන රටවල තියන විසඳුම්. ඒත් විසඳුම අවසාන වශයෙන් ව්‍යවස්ථානුකූල විය යුතුයි. දිගින් දිගටම දකුණේ ආණ්ඩු මේ අවශ්‍යතාව මගහැරියොත් තත්ත්වය බරපතළ වෙන්න පුළුවන්.

දෙමළ ජාතික සන්ධානය මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් කී දෙනෙක් එක්ක සාකච්ඡා කර තිබෙනවාද?

අපි සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා, මංගල සමරවීර මහතාගේ ගෙදරදී. මම, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා සහ සුමන්තිරන් මන්ත්‍රීතුමා අපි තුන්දෙනාම ඔහුව හමු වුණා. ඊට පස්සේ අරලියගහ මන්දිරේදී මම සහ සුමන්තිරන් මහත්තයා අගමැතිතුමාව හම්බ වුණා. අපි ඔහුට කියුවා නාමයෝජනා ඉදිරිපත් කළාට පස්සේ තමයි කොහොමද කටයුතු කරන්න යන්නේ කියලා කිව්වාට පස්සේ අපිට තවත් මුණගැහෙන්න පුළුවනි.මේ සම්බන්ධව කල්පනා කරලා පසුව තීන්දුවක් ගන්නවා කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මාව හම්බ වෙන්න ඉල්ලීමක් කරලා නැහැ. හැබැයි ගෝඨාභය මහතා සුමන්තිරන් මහතාව හමුවුණා. එහිදී ඔහු දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඉල්ලා තිබෙනවා. සුමන්තිරන් මහතා කියා තිබෙන්නේ ප්‍රතිපත්ති විමර්ශනය කරලා බලලා තීරණයක් ගන්නවා කියායි. අපි ඕනෑ කෙනෙක් සමග කතා කරන්න කැමතියි. කාවවත් අතහැරලා වැඩ කරන්න අපිට ඕනේ නැහැ. අපි රට වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමතියි. හැබැයි අපේ ප්‍රශ්නයට විසඳුමක් එන්න ඕනේ.