ළමා වයස පැවිදි ජීවිතයට යෝග්‍ය නැත

සමිත විජේවර්ධන

කුඩා ළමයින් පැවිදි කිරීම පිළිබඳ පසුගිය දිනවල බරපතළ විවේචන දක්නට ලැබුණි. දැනුම් තේරුම් නැති ළමයින් පැවිදි කිරීම විවිධ ගැටලුවලට තුඩුදෙන ආකාරය වියතුන් විසින් පෙන්වා දී ඇත.

පැවිදි ජීවිතයට යෝග්‍ය වයස පිළිබඳව බුදුන් දවස සිටම ගැටලු මතුවුණු බව පෙනී යයි. ඒ සිදුවීම් කීපයක් පළමු කොට විමසා බලමු.
බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කරන සමයෙහි එක් මවක් හා පියෙක් උපාලි නම් වූ තම දරුවාට සුවසේ ජීවත් විය හැකි මාර්ගයක් කල්පනා කරන්නෝ සියලු වෘත්තීන් දුක් කරදර සහිත බව දැන අවසානයේ ‘සුවසේ කා බී ජීවත් විය හැකි හොඳම මාර්ගය පැවිද්ද’ යැයි සිතා පැවිදි වන ලෙස උපාලි දරුවාගෙන් ඉල්ලා සිටියහ. උපාලි ද ඊට එකඟ වී තම යහළුවන් හයදෙනා ද සමග විහාරයට ගොස් භික්ෂූන්ගෙන් පැවිද්ද ඉල්ලා සිටියේය. භික්ෂූහුද ඒ හත්දෙනාම පැවිදි කොට උපසම්පදා ද කළහ.

මේ කුඩා හිමිවරු රාත්‍රියේ ආහාරයක් නොලැබුණු බැවින් කුසගින්නෙන් හෙම්බත් වී පාන්දරම අවදි වී ‘අපට කැඳ ඕනෑ, බත් ඕනෑ. කෑමට දෙයක් ඕනෑ’” යැයි කියමින් හඬන්ට දොඩන්ට පටන් ගත්හ. භික්ෂූද ඔවුන් අමතා ‘බත් තියෙනවා නම් කාපල්ලා, කැඳ තියෙනව නම් බීපල්ලා එහෙම නැත්නම් පිණ්ඩපාතයේ ගිහිල්ලා ඒවා ලබාගෙන කාපල්ලා’යැයි උපදෙස් දුන්හ. කුඩා හිමිවරුන්ට ඒ උපදෙස්වලින් වැඩක් නැත. උන් වහන්සේලා නොනවත්වාම කැඳ බත් ඉල්ලමින් ආරාමය තුළම මලමුත්‍ර පහ කරගෙන හඬන්ට වන්හ.
පාන්දරම අවදි වන බුදුන් වහන්සේ මේ කලබලය අසා කාරණය දැනගෙන කුඩා දරුවන් පැවිදි කළ භික්ෂූන්ට ගරහමින් ආනන්ද හිමියන් අමතා මෙසේ ප්‍රකාශ කළහ:
“ආනන්දය මේ තකතීරු මිනිස්සු විසි වයස් නොසපිරුණු මේ කුඩා දරුවන් කුමට උපසම්පදා කළෝද? විසි වයස් නො සපිරුණු පුද්ගලයන්ට සීත, උෂ්ණ, බඩගින්න, පිපාසා, මැසි මදුරු, සර්ප උවදුරු ඉවසිය නොහැකිය. නොහොබිනා සරු පරුෂ වචනද ශාරීරිකව උපදිනා ජීවිත හානි ගෙන දෙන වේදනාද කෙසේවත් ඉවසිය නොහැකිය.
මෙවැනි මුග්ධ ක්‍රියාවන් මින් මතුවට නොකළ යුතුය.” (මහාවග්ග පාළි)

බුදුන් වහන්සේ කිසියම් පුද්ගලයකු සංඝ සමාජයට ඇතුළුවීමට යෝග්‍ය වයස පිළිබඳ විනය නීති පැනවූ පළමු අවස්ථාව ඉහත සිද්ධියයි. එකී නීතියට අනුව නම් විසි වයස් සම්පූර්ණ නොවූ පුද්ගලයන් සුදුසු නොවන්නේ උපසම්පදා කිරීමට පමණි. එහෙත් ඉහත කතාවේ බුදුන් වහන්සේ ම දක්වා ආකාරයට සීත, උෂ්ණ, බඩගින්න ආදී දුෂ්කරතාවන් දරා ගැනීම වඩාත් අපහසු වන්නේ බාල වයසේ සිටින කුඩා සාමණේරවරුන්ටය. එසේම හැඳසිටි සිවුරුවලම මලමුත්‍ර පහකර ගත් බව කීමෙන් තහවුරු වන්නේද ඔවුන් අඩු තරමින් අවුරුදු හතර පහ වයසේ සිටියවුන් බවය. එසේ නම් බුදුන් වහන්සේ කුඩා දරුවන් උපසම්පදා කිරීම නොව නිසි වයසට එළැඹීමට පෙර පැවිදි කිරීම ම පළමු අවස්ථාවේම තහනම් නොකළේ මන්ද යන්න ගැටලුවකි.

2. පැවිදි කිරීමට යෝග්‍ය වයස පිළිබඳ විනය නීති පැනවීමේ දෙවන අවස්ථාව මෙසේය:
බෝවෙන රෝගයක් නිසා එක් පවුලක පියා හා කුඩා පුතු හැර අන් සියලුදෙනාම මියයති. ඉන්පසු පියා පුතා සමගම පැවිදි වෙයි. පියා පුතා සමග පිණ්ඩපාතයේ යන විට පුතා පියා පසුපසින් යමින් “තාත්තේ, මටත් කෑම ඕනෑ; මටත් කෑම ඕනෑ”යි කෑම ඉල්ලයි.
බුදුන් වහන්සේ ඉහත කාරණය දැනගෙන අවුරුදු 15ට අඩු දරුවන් මහණ කිරීම තහනම් කරති.

3. මහාවග්ග පාළියෙහිම එන ඊළඟ කතාවේ දැක්වෙන ආකාරයට දෙමාපියන් මියගිය අසරණ දරුවන් දෙන්නෙක් භික්ෂූන් පසුපස දුව එති. භික්ෂූහු ඔවුන් වළක්වති. එවිට දරුවෝ හඬා වැටෙති. ආනන්ද හිමියන්ගෙන් මෙය දැනගන්නා බුදුන් වහන්සේ “යම් දරුවෙකුට කවුඩෙකු එලවා ගත හැකි නම් ඔවුන් අවුරුදු පහළොවට අඩු වුණත් පැවිදි කළාට වරදක් නැතැ”යි පෙර කී නීතිය ලිහිල් කර ඇත.

ඉහත කතාන්තර තුනෙහිම ඇතුළත් වන්නේ සංවේගදායක, අනුවේදනීය සිදුවීම්ය. කුඩා දරුවන්ගේ අසරණභාවයට ප්‍රතිකර්මය දුෂ්කර ප්‍රතිපත්ති සහිත පැවිදි ජීවිතය නොවේ.
බුදුන් වහන්සේ පළමු අවස්ථාවේම කුඩා දරුවන් පැවිදි උපසම්පදා කිරීම තහනම් කළේ පැවිදි ජීවිතේ දුෂ්කර ප්‍රතිපත්ති ඔවුන්ට ඔරොත්තු නොදෙන බැවිනි. එහි දැක්වෙන ළමා පැවිද්ද පිළිබඳ ගර්හාව අනුව නම් මානුෂික ආදී කුමන හේතුවක් උඩ හෝ බුදුන් වහන්සේ ළමා පැවිද්ද අනුමත කළහයි කීම විශ්වාස යෝග්‍ය නොවේ. ළමයින්ගේ අසරණභාවය සලකා පැවිදි කිරීමේ වයස් සීමාව ලිහිල් කිරීමත් උන්වහන්සේම සත් හැවිරිදි රාහුල කුමාරයා පැවිදි කිරීමත් මතභේදයට තුඩු දෙන්නක් නොවන්නේද?

භික්ෂු ජීවිතයට ඇතුළවීමේ මූලික සුදුසුකම විය යුත්තේ අසරණභාවය වැනි බාහිර හේතු නොව ධර්ම විනය දෙක අවබෝධ කරගැනීමටත් පිළිපැදීමටත් ශක්‍යතාව තිබීමය.
කුඩා දරුවන්ට ඉහත කී කටුක ජීවිතය දරා ගැනීමේ දුෂ්කරතාවට අමතරව ඊළඟට මුහුණදීමට සිදුවන්නේ ලිංගික අපචාරයන්ට ගොදුරුවීමටය. බුදුන් දවස සිටම මෙය බරපතළ ගැටලුවක් විය. බුදුන් වහන්සේට එකින් එකට, එකින් එකට විනය නීති පැනවීමට සිදුවිය. පාරාජිකා පාළියෙහි දැක්වෙන භික්ෂූන්ගේ ලිංගික ක්‍රියාවන් පිළිබඳ කතාන්තර රේරුකානේ චන්දවිමල මහ නා හිමියන් පවසන පරිදි “ඇතැමුන්ට පිළිකුල් ඇති වන්නාවූද ඇතැමකුට කාමය ඇවිස්සෙන්නා වූ ද අසභ්‍ය කතාවන්”ය. (උපසම්පදා ශීලය, 1998 පි. 32) මෙනිසාම උන්වහන්සේ නිදර්ශන ලෙස ඉදිරිපත් කරන්නේ පාළි පාඨ පමණි.ඕනෑම පුද්ගලයකුට තමන් කැමති නම් බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් එබඳු ජීවිතයක් පිළිබඳ තීරණයක් ගත හැක්කේ කාම රාගය සරු දෙයක්ද නිසරු දෙයක්ද කියා තේරුම් ගත හැකි වැඩිහිටි වයසේදී මිස ඒ ගැන අන්දෝ සංසාරයක් නොදන්නා ළමා වයසේදී නොවේ.

භික්ෂු ජීවිතයේ අරමුණු ගැන ද එහි රූක්ෂ ප්‍රතිපදාවන් ගැනද බුදුන් වහන්සේ නොයෙක් තැන නොයෙක් ලෙසින් විස්තර කර ඇත. ඒ කිසිවක් තේරුම් ගත නොහැකි නොමේරූ නොදරුවන් පැවිදි කොට ධර්ම විරෝධී, විනය විරෝධී කටයුතුවල යෙදීමට ඉඩ හැරීම බලවත් අපරාධයකි. “කුල දරුවකු සසුන් ගත කිරීමෙන් හතර වරිගයක් නිවන් දකිනවා” යන ධර්ම විරෝධී දුර්මතයෙන් අන්ධ බැතිමතුන් ලෝකෝත්තර සිහිනයක අතරමං කර කුඩා දරුවන් සහ සසුනට ඩැහැ ගැනීමෙන් සසුන රැකෙන්නේ නැත. එය රැක ගැනීමට කැමැත්තෝ වෙත් නම් පහත උද්ධෘතය විමසා බලත්වා!

“බුද්ධ ශාසනය කියන්නේ කහපාටද? බුද්ධ ශාසනය කියන්නේ කහපාට වස්ත්‍රවලින් සැරසුණු පුද්ගලයන් ගමන් කරනවා දකින්නට ලැබීමටද?”
“පසු කලක භික්ෂූහු මිනිසුන් රවටා බලය ලබන්නට, ගරු සත්කාර ලබන්නට සිතූහ.” බුද්ධ ශාසනය රකින්නෝ අපි වෙමු. අපෙන් තොරව චීවරයෙන් තොරව බුදු සසුන් පවතීදයි ඔවුහු මිනිසුන් බියගන්වන්නට පටන් ගත්හ.”

“එසේම මේ ලෝකයෙහි එකම චීවරයක් නැතත් කහපාට පවා අන්තර්ධාන වුවත් මනුෂ්‍යයෝ ධර්මයෙන් යුක්ත නම් ශීල, සමාධි, ප්‍රඥාවන් වඩත් නම් සත්‍යාවබෝධය ලබත් නම් ඔවුහු බුද්ධ ශාසනය නොරකිත්ද?”
“බුද්ධ ශාසනය රැකීමය කියන්නේ පන්සල් රැකීමටද? සාංඝික යන ව්‍යාජ නාමයකින් ලියාපදිංචි කරන ලද බූදලයක් රැක බලා ගැනීමටද?”
“බුද්ධ ශාසනය රැකීම’ යන වචනය තරම් බෞද්ධයන් වරදවා තේරුම් ගත් වෙන වචනයක් භාෂාවේ ඇද්දැයි මම සැක කරමි. මේ රහස තේරුම් නොගැනීම නිසා අද ගිහි පැවිදි දෙපක්ෂයම ඉතා කනගාටුදායක තත්ත්වයක ජීවත් වෙති.” (වල්පොල රාහුල හිමි, සත්‍යෝදය, 2012, පි. 77-78)

රාහුල හිමියන් ඉහත ප්‍රකාශය කර ඇත්තේ 1933 වසරේය. අද ඊට වඩා සිය ගුණයකින් සංඝ සමාජයත් ගිහි සමාජයත් පිරිහී ඇත. මේ පරිහානිය කෙතෙක්ද යත් දායකයා සැදැහයෙන් පිරිනමන දාන වේලට අමතරව රුපියල් දහස් ගණනක පිරිකර මල්ලක්ද ‘පූජා’ කරන අතර එයින් ද සෑහීමකට පත් නොවන භික්ෂුව මුදල් ද ඉල්ලන තරමට කරදරකාරයකු බවට පත්වී ඇත.

ඉහත දැක්වූ ආකාරයට බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය හෝ බුදු දහමේ අරමුණ හෝ සංඝ සමාජයේ දූෂිතභාවය හෝ තේරුම් ගැනීම නොමේරූ කුඩා දරුවකුට කිසිසේත් කළ නොහැකිය.

මුස්ලිම් විවාහ නීිතිය අනුව අවුරුදු 12 සපිරි දැරියක් විවාහ කර දීම වගේම එම වයසේ හෝ ඊටත් ළාබාල වයසේ සිටින දරුවන් පැවිදි කිරීමත් යෝග්‍ය නැත.
මේ ගැන තීන්දු තීරණ ගත යුත්තේ ධර්ම විනයධර මහ නාහිමිවරුන්ය.