සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදය හා සජිත් ප්‍රේමදාස

චින්තක රණසිංහ

ලංකාවේ සිවිල් සමාජ සාධකය දේශපාලනයට බලපෑම පිළිබඳවත්, සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂක ආගමනය පිළිබඳවත් සාකච්ඡා කිරීමට මෙම ලිපිය ලියැවේ. ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් නිර්මාණය කිරීමට නම් පුළුල්ම දේශපාලන බලවේගය බලයට පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත යන පූර්ව නිගමනය මත පිහිටමින් ලේඛකයා තම තර්ක ගොඩ නගයි. පුළුල්ම දේශපාලන පෙරමුණ ගොඩ නගා තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ එජා පෙරමුණ විසිනි.

සිවිල් සමාජ සාධකය

දියුණු රටවල් සමග සංසන්දනාත්මකව බලද්දී ලංකාවට ප්‍රබුද්ධ සිවිල් සමාජයක් නොමැත. ප්‍රබුද්ධ සිවිල් සමාජයක් යැයි මා හඳුන්වන්නේ ප්‍රාදේශීය, කුල භේදාදී පටු භේදවලින් තොර තම වෘත්තීය හා සදාචාරාත්මක භූමිකාවලට සැලකිය යුතු මට්ටමින් වග කියන පිරිසකි. එවැනි පිරිසක් යටත්විජිත යුගය හා එය නිමවූ යුගයේ යම් තරමකින් බිහි වුවද එම දේශපාලන හා සංස්කෘතික පදනමින් දුරස්ථ වූ සමාජයක එබඳු ප්‍රබුද්ධ සිවිල් සමාජයක් බිහිවූයේ නැත. එවැන්නක් බිහිකිරීමට නිදහසින් පසු අප නිර්මාණය කරගත් අධ්‍යාපනය හා දේශපාලන සංස්කෘතිය අසමත් විය.

ඒ වෙනුවට ලංකාව තුළ බිහිවූයේ පැරණි වාමාංශයෙන් බිඳුණු පිරිස් එන්ජීඕ සමග අර්ධ සබඳතා පවත්වන පිරිස් අර්ධ වශයෙන් පවුල් සැලසුම් හා මනෝවිද්‍යාව පිළිබඳ උපදෙස් දෙන එහෙත් ඒ පිළිබඳ අවබෝධයක් නැති මුඛරි විශ්වවිද්‍යාල ඇදුරන් යනාදීන්ගෙන් සමන්විත සිවිල් සමාජයකි. 2015දී මෙම සිවිල් සමාජයට රටේ දේශපාලන නායකත්වය වෙනස් කිරීමෙහිලා සැලකිය යුතු තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමේ හැකියාව පැවතුණි. එයට එක් ප්‍රධාන සාධකයක් වූයේ මහින්ද රෙජීමය තුළ ලංකාවේ සිවිල් වගකීම් විශාල වශයෙන් නිග්‍රහයට බඳුන් වූ නිසාත් ඉතා පාදඩ ස්ථරයක් පුළුල් බලතල අත්පත් කර ගනිමින් ඉදිරියට පැමිණි නිසාත්ය. අනෙක් අතට එවකට විපක්ෂය වූ යූඇන්පිය බෙහෙවින් දුර්වලව සිටි නිසා මහින්ද විරෝධය සඳහා විශාල බලවේගයක අවශ්‍යතාව පැවතුණි. මෙම සිවිල් සමාජය 2015දී ඉටු කරන ලද්දේ එම කටයුතු සපුරාලීමකි.

මේ මොහොතේ සිවිල් සමාජය

මේ මොහොතේද සිවිල් සමාජ බලවේගය ක්‍රියාත්මකවෙමින් පැවතියද 2015දී එයට ලැබුණු සුජාත තත්ත්වය මේ වනවිට ඒ ආකාරයෙන්ම ජනතාවගේ පැත්තෙන් ලැබෙතැයි සිතිය නොහැක. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආණ්ඩුවකින් සිදුවිය යුතු කාර්යයන්ගෙන් එක් පාර්ශ්වයක් ඇරෙන්නට අනිකුත් වැදගත් පාර්ශ්වයන් පිළිබඳ සිවිල් සමාජයට හොඳ විවේචනයක් හෝ සාකච්ඡාවක් නැතිවීමය. සිවිල් සමාජය බෙහෙවින්ම ක්‍රියාත්මක වූයේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීම හා ආයතන වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් කරමින් පුළුල් පුරවැසි පෙළ ගැස්මක් ඇතිකරලීම සඳහාය. එය ඉතාමත්ම ඉහළ අගය කළ යුතු පියවරකි. එය මේ ආණ්ඩුව තුළ යම් අගය කළ යුතු ආකාරයෙන් ක්‍රියාත්මක වීම ලාංකීය සමාජය ලැබූ ජයග්‍රහණයක් බව පෙන්වා දිය හැකිය.

සිවිල් සමාජය මුළුමනින්ම නොතකා හැරි වඩාත්ම වැදගත් කාරණය වූයේ රටේ ආර්ථිකයයි. ජීවන වියදම, ප්‍රවාහනය, බඩු මිල, රැකියා උත්පාදනය යනාදිය පිළිබඳ කාරණා සිවිල් සමාජය විසින් කිසිදු වැදගත් සාකච්ඡාවක් සඳහා යොදා නොගත්තේය. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම රටේ ඉතාමත්ම තීරණාත්මක කාරණා ලෙස පෙන්වා දිය හැකිය. ඉතාමත්ම නරක ලෙස එම නොසැලකීම සමාජය තුළ ක්‍රියාත්මක වූ අතර එය 2015 සිවිල් සමාජයේ එක්තරා හාන්සි පුටු නිද්‍රාවක අනිටු ප්‍රතිඵලයක් ලෙස දැක්විය හැකිය. එම නිද්‍රාවට ප්‍රතිපක්ෂව යූඇන්පිය වෙනුවෙන් මහජන ප්‍රශ්න සමග ගැටුණු ඒ සඳහා යම් කැපවීමක් තිබූ ප්‍රධානතම චරිතය සජිත් ප්‍රේමදාස ලෙස හැඳින්වීමේ වරදක් නොමැත. ඔහුගේ කැපවීම පිළිබඳ විශේෂයෙන්ම කැපවීමේ ආර්ථික තර්කය පිළිබඳ විදග්ධ විවේචන ගණනාවක් නිර්මාණය කළ හැකිමුත් රාජපක්ෂ රෙජීමය විසින් ඉහළට ඔසවා තබන ලද, එහෙත් 2015 සිවිල් – බුද්ධිමය කතිකාව විසින් නොසලකා හරින ලද මේ පිරිසේ වඩාත් සමීපතම නායකයා වූයේ සජිත්ය. සජිත් එහිදී තම කාර්යයට විශාල වශයෙන් කැපවූ අතර තම රාමුව තුළ ‘ගිනිකසේට’ වැඩ කරන කාර්යශූර නායකයකු විය. මේ තත්ත්වය සිවිල් සමාජයේ හා එයට සම්බන්ධිත කතිකාවේ යහපත් සාධනීය ඇගයීමට ලක් නොවූ අතර එම අවතක්සේරුවේ න්‍යායික දුබලතාව වන්නේ ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර ඇති ඉතාමත්ම තීරණාත්මක ඓන්ද්‍රීය සාධකය නොසලකා හැරීමයි.

වික්ටර් අයිවන් සාධකය මතුවීම

ආර්ථිකය හා ප්‍රජාතන්ත්‍රවාදය අතර ලංකාවේ පවතින සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට යම් උත්සාහයක නිරත වූ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස වික්ටර් අයිවන් මහතා හඳුනාගත හැකිය. ඔහු තම ව්‍යාපාරය ගොඩ නගමින් ගමින් ගමට ගමන් කළ අතර කොළඹ සිවිල් සමාජ කතිකාවේ වඩා සාධනීය අංග මත පිහිටමින් ගමේ සමාජ-ආර්ථික දේහය විශ්ලේෂණය කිරීමේ අවංක උත්සාහයක නිරත විය. ජවිපෙන් මෙන්ම පැරණි වමෙන් ශික්ෂණාත්මකව පෝෂණය වූ අයිවන් මහතාට වර්තමාන සිවිල් සමාජ නියෝජිතයන්ට වඩා ආත්මීය හෘදය සාක්ෂියක් මෙන්ම දිනෙන් දින අලුත් කරන ලද දැනුමක්ද විය. ඒ මත පිහිටා රටේ කෘෂිකර්මය හා ගමේ ආර්ථික දේහය ගැන ඔහු ඇරඹූ සාකච්ඡාව සැලකිය යුත්තේ ස්ථාපිත සිවිල් සමාජයට වඩා වෙනස් වාම ලිරබල් ආභාසයක් සහිත කතිකාවක් ලෙසය. එහෙත් එහි අවාසනාවන්ත පාර්ශ්වය වූයේ ඔහුට නිශ්චිත දේශපාලන වැඩපිළිවෙළක් නොමැතිවීමත් වෙනත් කතිකා සමග සහයෝගීත්වයෙන් කටයුතු කරමින් සිවිල් සමාජ දේශපාලනයේ ඉදිරියට ඒමට දැක්වූ නොහැකියාවත්ය.

සිවිල් සමාජය හා දේශපාලකයා

සාමාන්‍යයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරිකයා දේශපාලනඥයාට වඩා උඩින් සිට සමාජ, ආර්ථික දේහයේ ක්‍රියාකාරීත්වය විමසා එයට මැදිහත් විය හැකි ප්‍රබුද්ධයකු විය යුතුය. එමෙන්ම සාමාන්‍ය ජනතාව සමග උරෙනුර ගැටී යම් යම් ප්‍රශ්න සඳහා සටන් වදින්නකු ද විය යුතුය. ලෝක ඉතිහාසයෙන් උදාහරණ ගතහොත් ලියෝ ටෝල්ස්ටෝයි නමැති අති ශ්‍රේෂ්ඨ ලේඛකයා එවැන්නෙකි. ඔහු 19 වන සියවසේ ජීවත් වුවද සිටුවරයකු හා විශාල ඉඩම් හිමියකු මෙන්ම ලෝක ප්‍රකට ගත්කරුවකු වුවද පොදු ජනයා අතරට යමින් ආගමික ඒකාධිකාරියට මෙන්ම එවක පැවති දේශපාලන අධිකාරියට ද එරෙහිව නිර්භය සටනක නිරත විය. ෂන්පෝල් සාත්‍රේ නමැති මහා දාර්ශනික ලේඛකයා වීථියට බැස දේශපාලන අත් පත්‍රිකා බෙදුවේය. ඔවුන් වර්තමාන සිවිල් සමාජ විග්‍රහය තුළ කුමන කණ්ඩායමට එම භූමිකා ඇතුළත් වුවද එම භූමිකාවල ක්‍රියාකාරීත්වය තුළ දැකිය හැක්කේ සිවිල් සමාජයේ සැබෑ ප්‍රබුද්ධ ආරම්භයයි.

අපට එවැනි සිවිල් සමාජයක් නොමැති වීම ඓතිහාසික ඛේදවාචකයකි. එහෙත් තියෙන සිවිල් සමාජයෙන් අපි යම් තීරණාත්මක දෙයක් සිදු කිරීමට ගත් උත්සාහය නරක නැත. වරදක්ද නැත. එහෙත් මේ ගතවන්නේ 2015 නොවන නිසා අපේ සිවිල් සමාජය එක් කණ්ඩායමකට පමණක් සීමා විය යුතු නැත. එය වඩා පළල් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පදනමක් සහිත එකක් විය යුතුය.

සජිත්ගේ භූමිකාව

සජිත්ගේ භූමිකාව හුදු සුබසාධනවාදී, ප්‍රඥාවෙන් අඩු භූමිකාවක් ලෙස හුවා දක්වන්නට ඇතැම්හු උත්සාහ කරති. එහෙත් එම උත්සාහයේ පවතින ගැටලුව නම් සජිත් හා රනිල් භූමිකා වැරදි ආකාරයෙන් සංසන්දනය කරන්නට යෑමයි. රනිල් බහුශ්‍රැතයෙකි. සාම්ප්‍රදායික ලිබරල්වාදියෙකි. පතපොත් කියවීමේ ලෝලියෙකි. එහෙත් ඔහුට ප්‍රායෝගික දේශපාලනය යම් සීමාවකින් ඔබ්බට ජයගත නොහැකිය. එය ‘යූඇන්පීයේ මෙන්ම රටේද ඛේදවාචකය වූ අතර එයින් සිදුවුණේ බාහිරින් අපේක්ෂකයෙක් ආනයනය කරන තැනට යූඇන්පිය ඇද වැටී මහත් ඛේදවාචකයක් ඇතිකර ගැනීමයි.

සජිත් ඒ අතින් රනිල් ඉක්මවන ප්‍රායෝගික දේශපාලනඥයෙකි. ලංකාවේ උගතුන් විසින් අමතක කර දැමූ මහජන පදනම ශූර ලෙස සකස් කරමින් පක්ෂය ගොඩ නැගූ අයෙකි. එනිසා සජිත්ව ස්ථානගත කළයුත්තේ රනිල් සමග සංසන්දනය කරමින් නොව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය එය ගලවාගත හැකි ප්‍රබලම දේශපාලන පක්ෂය මේ මොහොතේ මුහුණ දෙන තත්ත්වය සලකා බලමිනි. ඒ නිසා සජිත්ව අවංකව නැවතත් කියවීමකට ලක් කළ යුතුය. එවිට හුදෙක් සජිත් පමණක් නොව ලාංකීය බුද්ධිමතාට තමා රටේ ජන ජීවිතයෙන් වියුක්ත වී තිබේය යන ඛේදවාචකයද වටහාගත හැකිය.

සජිත්ව හුදු සුබ සාධනවාදය තුළ ගාල් කෙරෙන්නේ බුද්ධිමතුන් ඔහුව කොන් කර, තම කතිකාවෙන් ඉවත් කළහොත්ය. ඔවුන් කළ යුත්තේ සජිත්ගේ වැඩපිළිවෙළට සංවිධානාත්මකව හා සංවාදාත්මකව ඇතුළුවෙමින් එය වඩාත් විශිෂ්ට ආකාරයෙන් සංස්කරණයට ලක් කිරීමයි.
හැම ගමකම පන්සල් හදමු යැයි සජිත් කියන විට හැම ගමකම නාට්‍ය රංග ශාලා, චිත්‍රපට ශාලා හදමු යැයි අපි ඔහුට යෝජනා කළ යුතු නොවේද? බුදු සසුන බබළවමු යැයි ඔහු කියන විට වර්තමානයේ බුදු දහමේ ගැඹුරු හරයන්ගෙන් ඈත්වී සිටින බහුතර බුද්ධ පුත්‍රයන් උදෙසා සංඝ සංශෝධනයක් පැරණි කතිකාවතක් පිහිටුවිය යුතු යැයි අපි ඔහුට යෝජනා කළ යුතු නොවෙමුද?

සුළු ජාතීන්ව නොරවටන එමෙන්ම මහ ජාතියද නොරවටන සෑම දෙනාටම පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි ඔහුට යෝජනා නොකරන්නේ ඇයි?
විශ්වවිද්‍යාල තුළ දේශපාලන කටයුතු මර්දනය කිරීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කතිකාවක් වර්ධනය කළ හැකි පුළුල් සංශෝධන සඳහා අපි ඔහු සමග සාකච්ඡා නොකරන්නේ ඇයි?

මා සිතන්නේ අපි සජිත් ප්‍රේමදාස භූමිකාව දැකිය යුත්තේ එබඳු නම්‍යශීලීත්වයක් වෙත රැගෙන ආ හැකි ප්‍රායෝගික පුද්ගලයකු ලෙස බවයි. රට තුළ 2015දී උදා කරගත් සාපේක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ඉදිරියට ගෙන යමින් රට පත්විය හැකි භයානක තත්ත්වයෙන් රට මුදවාගත හැක්කේ එබඳු වැඩපිළිවෙළක් තුළින් පමණි.

සමාලෝචනය

සජිත් එජාපය තුළ ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීම විරල ජයකි. මා එසේ පවසන්නේ ලංකාව තුළ කිසිදු ව්‍යුහයක වැඩ කළ හැකි තරුණ හා මැදිවියෙහිදී මිනිසකුට අවස්ථාව නොලැබෙන නිසාය. ඕනෑම මිනිසකුට මෙරට එම අවස්ථාව ලැබෙන්නේ තම කල වයස ගෙවී ජීවය සිඳී විශ්‍රාමය වෙත තල්ලු වන දුබල වියේදීය. එම අවස්ථාවෙන් සජිත් මිදීම ගැන ඔහුගේ වයස් කාණ්ඩය තුළ සිටින විවිධ ආයතන තුළ අංවකව කැපවීමෙන් කටයුතු කරන්නට ගොස් දැඩි පීඩාවලට මුහුණ දෙන පරපුර පක්ෂ භේදයෙන් තොරව සතුටට පත්විය යුතුය. එය සජිත් භූමිකාවට අනන්‍ය වැදගත් තත්ත්වයකි.

සජිත් තම අභියෝග නම්‍යශීලීව ජයගත යුතුය. සිවිල් සමාජ කණ්ඩායම් ප්‍රමුඛ බුද්ධිමතු් ඔහු සමග සංවාදාත්මකව වැඩ කරමින් ඉදිරියට යා යුතුය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ එබඳු ක්‍රියාවලියකිනි.