පොහොට්ටුවට රෝස මල කියමු ද? ශ්‍රීලනිපය සහ මධ්‍ය වාමාංශික දේශපාලනයේ අනාගතය

අතුලසිරි සමරකෝන්

“ශ්‍රීලනිපය ඉවරයි. එයට නැවත ගොඩ ඒමක් නැත. පොහොට්ටුවට එකතු නොවුණොත් දේශපාලනේ ඉවරයි. එජාපයේ අතකොළුවක් වෙයිද?” අද දවසේ ශ්‍රීලනිපය අත්පත් කරගෙන ඇති දේශපාලන ඉරණම පිළිබඳ බොහෝ සරලමතික අදහස් ගණනාවක් අපට ඒ ආකාරයෙන් අසන්නට හැකිවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් නූතන දේශපාලන ගමන් මඟ හා එහි ස්වරූපය හැඩගැස්වීමෙහිලා එම පක්ෂය ඉටු කළ ඓතිහාසික කාර්යභාරයක් පවතී. එසේම රාජ්‍ය බලය හෙබවීම පිළිබඳ සාධකය අනුව මෙරට මූලිකවම පවතින ද්විපක්ෂ ක්‍රමය තුළ අදටත් එම පක්ෂය සතුව පවතින විශාල විභවතාව නිසා එම පක්ෂයේ ස්වාධීනත්වය සහ ඉදිරියේ දී සන්ධානගතවීම පිළිබඳ ගනු ලබන තීරණය විශාල දේශපාලන වැදගත්කමක් සහිත එකක් වීමට නියමිතය.

ඓතිහාසික හැඟවුම්කරණයේ ස්වරූප

එම සන්දර්භය තුළ ශ්‍රීලනිපය නමැති දේශපාලන පක්ෂය සහ එහි ඓතිහාසික හැඟවුම්කරණයේ ස්වරූප පිළිබඳ කතාබහක් ඇතිකර ගැනීම ‘ප්‍රජාතන්ත්‍රවාදය ද? නැතිනම් ආඥාදායකත්වය ද?’ යන ගැටලුව අභිමුව සිටින ජනතාවක් වශයෙන් අපට වැදගත් වෙයි. මන්ද ශ්‍රීලනිපයේ ඓතිහාසික ගමන් මඟ පිළිබඳ ජනප්‍රිය තර්කණයට අනුව එජාපයේ ‘අන්ත දක්ෂිණාංශික, අධිරාජ්‍යවාදී සහ බටහිරගැති වැඩපිළිවෙළ’ වෙනුවට ‘මධ්‍ය වාමාංශික, අධිරාජ්‍යවාදයට එරෙහි, නොබැඳි භාවය වෙනුවෙන් පෙනීසිටි සහ දේශීය ආර්ථිකය සහ වෙළෙඳපොළ අතර කිසියම් තුළිතතාවක් සෙවීමට උත්සාහ ගත්’ පක්ෂය එය බැවිනි. අඩුම තරමින් 1977 ට පෙර ශ්‍රීලනිපයත්, 1994 දී සිවිල් සමාජය විසින් එවකට පැවති භීෂණය අවසන් කිරීමට බිහිකළ සන්ධානයට නායකත්වය සැපයූ ශ්‍රීලනිපය සම්බන්ධයෙනුත් අපගේ මෙම කියවීමේ සත්‍යතාවක් පවතින බව පෙනී යා යුතුය.
එසේම සිරිමාවෝ බණ්ඩාරනායක විසින් අනුගමනය කළ කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය තුළින් දිස්වූ ශ්‍රීලනිපය සතුව තිබු රාජ්‍යතාන්ත්‍රික පරිචය සේම, 1980 දශකයේ දී ඉන්දියානු මැදිහත් වීම් සංදර්භය තුළ එම පක්ෂය දැක්වූ අදීන ප්‍රතිචාර අනුව ද එම පක්ෂය තුළ පැවති ප්‍රතිපත්තිමය දර්ශනයේ ශක්තිය පැහැදිලිවෙයි. වර්තමාන ගෝලීය ප්‍රතිමාන පරිසරයට නොගැළපේ යැයි ගෝලීයවාදියෙකුට පෙනී ගියත් ස්වෛරීත්වය සහ දේශීය ස්වායත්තතාව සඳහා 1989 ට පෙර ලෝකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රබලම හඬ බවට පත්ව තිබුණේ ශ්‍රීලනිපය හා එය වටා එකතුවූ වාමාංශික බලවේගයයි.

නමුත් 1990 න් පසු ලෝකයට මුහුණ දීමේ දී ශ්‍රීලනිපයේ සාම්ප්‍රදායික රාමුව සහ සාරධර්ම තුළ විශාල විතැන් වීමක් දක්නට ලැබෙයි. එක පසෙකින් චන්ද්‍රිකා බණ්ඩාරනායක යුද්ධය සහ ආර්ථික විවෘතභාවය අතර පැටලුණ අතර, ඇයට ගෝලීය හා කලාපීය බලවතුන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ බලපෑම මත සාම ක්‍රියදාමයක්ද පැවරුණි. කෙසේවුවත් ඇයගේ රජය විසින් යුද්ධයට දුන් තල්ලුවේ ස්වභාවය කෙසේවුවත් සාමාජීයව ජාතිවාදය පෝෂණයට එතුළින් එතරම් පිටුබලයක් නොලැබුණි. ඒ අතර, රාජපක්ෂගේ පක්ෂ අභ්‍යන්තරික අරගලය හමුවේ, ශ්‍රීලනිපයේ සංස්කෘතික හා සමාජීය බලය චන්ද්‍රිකාගෙන් දුරස්ථවූ අතර කිසියම් පමණකට ගෝලීය සිවිල් සමාජයේ දේශීය නියෝජිතයන්ගේ න්‍යාය පත්‍රයේ බලපෑමට ද ඇයගේ බලය ලක්විය. කෙසේමුත් ඇයගේ නායකත්වයෙන් ඉදිරිපත්වූ පැකේජය මේ දක්වාම ජාතික ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් කළ හැකි ප්‍රබලම දායකත්වය කැටි කොටගත්, රාජ්‍ය බලය ප්‍රතිව්‍යුහගත කිරීමට පැවති මහඟු අවස්ථාවක නියෝජනයකි. යම් හෙයකින්, එම ලියවිල්ල මෙරට ව්‍යවස්ථාව බවට පත්විණි නම් ශ්‍රීලනිපයට සාම්ප්‍රදායිකව ලැබී තිබුණ ජාතිකවාදී ලේබලය වෙනුවට ලිබරල් ප්‍රතිසංස්කරණවාදීමය අනන්‍යතාවක් ලැබීමට නියමිතව තිබිණ.

පාදඩකරණය

රාජපක්ෂ පාලනය තුළ චන්ද්‍රිකා සමයේ අවසන් භාගයේ දිස්වූ ශ්‍රීලනිපය පාදඩකරණයට ලක්වීම තීව්‍ර විය. එසේම, ජාතිවාදී කඳවුර විසින් රාජපක්ෂගේ දුර්වල ලිබරල් දර්ශනය මුළුමනින්ම අහෝසිකර දැමුණු අතර යුධවාදය රාජ්‍යයේ දේශීය හා ජාත්‍යන්තර ප්‍රතිපත්තිය බවට පත්විය. නොබැඳි බව වෙනුවට චීනයට යටවීමත්, බටහිර තර්ජනයට ලක්වීමත්, සිවිල් සමාජීය අවාකාශය මර්දනයත්, යුද්ධය රාජ්‍යයේ එකම ව්‍යාපෘතිය සහ දේශපාලනය බවට පත්වීමත් ඒ තුළ සිදුවිය. අනෙක් අතට පශ්චාත් යුධ ශ්‍රී ලංකාව අතිශයින් භයානක දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආර්ථික සංවර්ධන මාවතකට ඇද දමණු ලැබිණ. දහ අටවන සංශෝධනය හරහා ජයවර්ධනගේ ව්‍යවස්ථාව තවදුරටත් ඒකාධිපති මාවතේ අන්තය දෙසට ගමන් කළේය.

අනෙක් අතට යුධෝන්මාදය, පවුල්වාදය, අවනීතිය සහ දූෂණ සැණකෙළි වලින් ගහණ රාජ්‍යයක් තුළ සමාජ සාධාරණත්වය සඳහා භික්ෂු සංස්ථාවෙන්ම නායකයකු බිහිවිය. සෝභිත හිමි ඇසුරේ වර්ධනය වූ විධායකයට එරෙහි ජනබලය, දේශීය විදේශීය සහයෝගයෙන් උද්වලිතව, අවසානයේ දී ශ්‍රීලනිපයේ ලේකම් විසින්ම එහි සභාපති පාරාජය වූ සටනකින් කෙළවර විය. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රගතිශීලී ශ්‍රීලනිප කඳවුරේ හා ජවිපෙ, එජාපෙ සහ අනෙකුත් සියලුම සාධනීය බලයන්ගේ ප්‍රබල මැදිහත්වීම හරහා දේශපාලන ව්‍යුහයේ සිදුවූ පරිණත වර්ධනයක අනපේක්ෂිත ප්‍රතිඵලයකි.

ඓතිහාසික බලවේගයන්ගේ අපේක්ෂාව

ඓතිහාසිකව බලන විට, බලයට පත් බොහෝ අවස්ථාවල ශ්‍රීලනිපය ඓතිහාසික බලවේගයන්ගේ අපේක්ෂාව නියෝජනය කළ ප්‍රබලම පක්ෂය බවට පත්වී ඇත. මේ කාරණය හොඳින්ම පැහැදිලි වන්නේ පිළිවෙලින් 1956, 1970, හා 1994 කාලවකවානුවල සිදුවූ එජාපයේ සංස්කෘතික දක්ෂිණාංශයට, බටහිරාභිමුක ප්‍රතිපත්තියට, සහ භීෂණයට එරෙහි ව ගොඩනැඟුණු බලවේගයන් හා විප්ලවීය බල හුවාමාරුන් තුළින්ය. ඒ සෑම අවස්ථාවකම දීම ශ්‍රීලනිපය බලයට පැමිණියේ වාම ප්‍රගතිශීලී සන්ධානවල ප්‍රතිඵලයකිනි. 2015 දී රාජපක්ෂ පරාජය වන්නේ ශ්‍රීලනිපය සමඟම උපන් හා එය සමඟම වැඩුණු පරම්පරාවේ නියෝජිතයකු පවත්නා තත්ත්වය තුළ සිටගත් කඳවුරේ පැවති ශක්තිමත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිමාන පිළිබඳ විශ්වාසය ජනතාව පිළිගත් නිසාය.

කෙසේමුත් මෛත්‍රීපාල ජනපතිම පිළිගන්නා ආකාරයට එජාපය සහ ඔහුගේ ප්‍රතිපත්ති නොගැළපෙයි. එසේනම් ආණ්ඩුවේ අර්බුදය වශයෙන් අප දැක ඇත්තේ රනිල් හා මෛත්‍රී අතර ගැටුමකට වඩා ශ්‍රීලනිප සහ එජාප අතර ඓතිහාසිකව පවතින සාරධර්ම හා ප්‍රතිමාන අතර අර්බුදයද? ඒ තත්ත්වය තුළ මෛත්‍රීට එළඹෙන මැතිවරණ වලදී ශ්‍රීලනිප සහාය එජාපයට ලබාදීමට සදාචාරාත්මකව නොහැකිවනු ඇත. අනෙක් අතට මෛත්‍රී විසින්ම පරදනු ලැබූ රාජපක්ෂ කඳවුරේ දූෂිත පරිසරයට සහ පීඩාකාරීත්වය වෙතට අපසු යාමට ද එයට නොහැකිවිය යුතුය. මෙම තත්ත්වය තුළ, ශ්‍රීලනිපය බරපතළ ලෙස සලකා බැලිය යුත්තේ ස්වාධීන බලයක් වශයෙන් පවතිමින් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ සහ සමාජවාදී කඳවුරේ නායකයා බවට පත්වීමට තවදුරටත් එය සතු දේශපාලන දැක්මක් සහ අභිප්‍රායක් නොමැතිද? යන ගැටලුවයි.

අනන්‍යතාව යටකර දැමීම

ශ්‍රීලනිපය වැනි පක්ෂයක් මුළුමනින්ම නව ලිබරල් එජාපයට හෝ අතිශය ෆැසිස්ට්වාදී විභවයක් සහිත පොහොට්ටුවට එහි ඓතිහාසික දේශපාලන භූමිකාව සහ අනන්‍යතාව යටකර දැමීම විසින් මෙරට දේශපාලන පද්ධතියට විශාල විශාල පහරක් වනු ඇත. එය මධ්‍ය වාමාංශික කතිකාවෙන් හා නායකත්වයෙන් පලායාමකි. එබැවින් ස්වාධීන බලයක් වශයෙන් පවතිමින්, පවතින ගෝලීය දේශපාලන තත්ත්වයන් සහ දේශීය බලය පරිණාමය වෙමින් පවතින සංදර්භය තුළ, ශ්‍රීලනිපය වඩාත් ළංවිය යුත්තේ එජාපයට හෝ පොහොට්ටුවටද? නැතිනම් එය තවදුරටත් මධ්‍ය වාමාංශික මාවතක ගමන් කළයුතු නොවේද? යන පැනය එම පක්ෂයේ බුද්ධිමය පර්ෂද ඉදිරියට ගෙන ඒමට කැමැත්තෙමි.

එබැවින් ශ්‍රීලනිපය ඉදිරියේ පවතින්නේ ‘සජිත් ද? ගෝඨා ද?’ පන්නයේ සරල තේරීමක් නොව දෘෂ්ටිවාදීමය කඳවුරු අතර තෝරාගැනීමක්, නැතිනම් දක්ෂිණාංශය සහ ප්‍රායෝගික යථාර්ථයන්ට එරෙහිව යන වාමාංශයත්, එම කඳවුරු ද්වය විසින්ම නැවත බිහිකළ හැකි අරාජිකත්වයටත් එරෙහිවූ ප්‍රජාතන්ත්‍රීය සහ වාමාංශික මධ්‍යස්ථතාව අතර වන තෝරා ගැනීමකි. ශ්‍රීලනිපය විසින් සිය ඓතිහාසික අනන්‍යතාව, භූමිකාව සහ ප්‍රගතිශීලී කඳවුරට දුන් නායකත්වය අමතක කරමින් හුදු බලලෝබය හෝ පැවැත්ම පිළිබඳව පමණක් සිතා කටයුතු කරන්නේ නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂ භූමිකාව පරිවර්තනය වීම මතු නොව අහෝසිවීයාම පිළිබඳවත් ප්‍රභල ඉඟියක් ඉන් ලැබෙනු ඇත.