ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන ආර්ථිකය ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය

සුමිත් චාමින්ද

ශ්‍රී ලංකාවේ අපට ආඩම්බර විය හැකි දේ ක්‍රිකට් නොවේ. (මා ක්‍රිකට් ලෝලියෙකු නොවන අතර වත්මනෙහි අතිශයින්ම වාණිජකරණයට ලක්ව ඇති ක්‍රිකට් පිළිබඳව මට ඇත්තේ විවේචනාත්මක ආකල්පයකි). සැබැවින්ම ශ්‍රී ලාංකිකයන්ට සමාජයක් ලෙස ආඩම්බර වීමට යමක් අවශ්‍ය නම්, ඒ දෙය පවතින්නේ සාමාන්‍යයෙන් ලාංකිකයින් අතර වඩාත්ම විවේචනයට ලක්වන ක්ෂේත්‍රය, එනම් දේශපාලනය, තුළමය. මා පවසන්නේ ලංකාවේ තවමත් අඩු තරමින් ක්‍රියා පටිපාටිමය ලෙස හෝ ඉතිරිව තිබෙන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සම්ප්‍රදායන් පිළිබඳවය. මෙරට කොතරම් සන්නද්ධ දේශපාලන ගැටුම් සහ සිවිල් යුද්ධ පවා පැවතියද, අඩු තරමින් නිදහසේ සිට මේ දක්වා ආණ්ඩු බලය මාරු වී ඇත්තේ ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයේ (procedural democracy) රාමුව තුළ, එනම් මැතිවරණ මගින් පමණි.

ඉන්දුනීසියාවේ සුහර්තෝ මෙන් හෝ සිංගප්පූරුවේ ලී කුවාන් යූ මෙන් තිස් වසරක් පාලන බලය හෙබවූ නායකයින් ගැන මෙරට අසන්නට නොලැබේ. සදාම් හුසේන් යටතේ ඉරාකයේ බාත් පක්ෂය මෙන් සියයට අනූව ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් දිනා ගන්නට සමත් කිසිදු තනි දේශපාලන පක්ෂයක් මෙරට කිසිදාක පැවතියේ නැත. පසුගිය වසරේදී බංග්ලාදේශයේ අවාමි ලීගය ලබා ගත්තාක් මෙන් සියයට අසූව ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් ගැන ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයකට සිතන්නට පවා නොහැකිය. පසුගිය දශකය තුළ මෙරට බහුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාව තුළ වඩාත්ම ජනප්‍රියත්වයට පත් නායකයාට පවා ජනාධිපතිවරණයකින් පරාජයට පත්වී ගෙදර යන්නට සිදු විය. ලාංකිකයන්ට ඇත්තේ පාකිස්තානයේ මෙන් මිලිටරි ආණ්ඩු සහ සිවිල් ආණ්ඩු මාරුවෙන් මාරුවට බලයට පත් වන දේශපාලන ඉතිහාසයක් නොවේ. 1962 දී මෙරට හමුදාවේ ප්‍රභූ කණ්ඩායමක් කෙරෙන් ආ කුමන්ත්‍රණ ප්‍රයත්නය හැරුණු කොට සන්නද්ධ හමුදා දේශපාලන ජීවිතය තුළ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන්නට කිසිදාක සමත් නොවීය. තිස් වසරක යුද්ධයක් පැවති සංදර්භයක් තුළ පවා හමුදාව පැවතියේ දේශපාලන නායකත්වයට යටත්වය. අප ඇතැම් මර්දනීය සහ බියජනක යුග පසු කොට තිබුණද, දිගුකාලීන ආඥාදායක පාලනයක් අත් විඳ ඇතැයි කිව නොහැක.

හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව

කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා පවසන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම දියුණු ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයක් ක්‍රියාත්මක වන බව නොවේ. (එසේ පැවසීම කෙනෙකු සිනහ ගැන්වීමට සමත් වනු ඇත). මෙරට ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයේ බරපතල ව්‍යුහාත්මක ගැටලු පවතී. විශේෂයෙන්ම පශ්චාත් නිදහස් යුගයේදී සුළු ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළත් කරගත් බහු-වාර්ගික එනම් බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (pluralist democracy) බවට පරිවර්තනය වන්නට ශ්‍රී ලංකාව අසමත් විය. දහනම වන සියවසේ අග භාගයේදී ජාතිය ගොඩ නැගීමේ ක්‍රියාවලියෙන් සුළුතර ජනවර්ග සහ ආගමික ප්‍රජාවන් බැහැර කෙරිණ; 1950 දශකයේ මැද භාගයෙන් පසුව, විශේෂයෙන්ම ‘සිංහල පමණක්’ පනත සම්මත කිරීමෙන් පසුව ඔවුන්ව රාජ්‍යයෙන් ද ආන්තික කෙරිණ; 1983 දී හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගින් නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුවෙන් ද ඔවුන්ට පිටමං වීමට සලස්වා රාජ්‍යයෙන් වෙන්වීම පමණක් එකම විකල්පය වේය යන අදහස උතුරේ දෙමළ ප්‍රජාව තුළ තහවුරු වන්නට සැලැස්වීය. තම අභිලාෂයන් සහ විරෝධයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික මාධ්‍යයන් නොමැති වූ කල්හි එම ජන කණ්ඩායම් ප්‍රචණ්ඩ විසඳුම් කරා යොමු වීම අපේක්ෂා කළයුත්තකි. නමුත්, එසේ තිබියදීත් ලිබරල් ආයතනික රාමුව මුළුමනින්ම බිඳ වැටුණේ නැත. මගේ අදහස නම් ලාංකීයව සුවිශේෂී වූ මෙම ප්‍රජාතාන්ත්‍රික මොඩලය ජනවාර්ගිකව (සහ ආගමිකව) නිර්වචනය වූ ප්‍රජාතන්ත්‍රවාදයක් බවය.
මෙයට එකතු කළ යුතු තවත් වැදගත් කරුණක් නම්, නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාමුව තුළ තමන්ගේ අභිලාෂයන් නියෝජනය නොවන්නේ යැයි කල්පනා කළේ සුළුතර ප්‍රජාවන් පමණක් නොවන බවයි. බහුතර ජනවාර්ගික ප්‍රජාව තුළමත් ග්‍රාමීය සහ අර්ධ නාගරික අතරමැද සමාජ ශ්‍රේණීන් අතර මේ ආකල්පය බරපතළ ලෙස පැතිර ගොස් තිබිණ. හැකි තරම් කෙටියෙන් සහ රූපිකමය ලෙස කිවහොත්, 1956 ට පසුව 1971 ක් පැමිණියේ එහෙයිනි; 1983 ට පසුව 1987-89 ක් පැමිණියේ ද එහෙයිනි. මීට අමතරව, තවමත් නියෝජන ආයතන තුළ ස්ත්‍රීන්, තරුණ ප්‍රජාව සහ වෙනස් සංස්කෘතික කණ්ඩායම්වලට ප්‍රමාණවත් අවකාශයක් ලැබී නොතිබීමේ ගැටලුවද බරපතළය. ජනගහනයේ හරි අඩක් වන ස්ත්‍රීන්ගේ පාර්ලිමේන්තු නියෝජනය 10% වඩා අඩු ප්‍රතිශතයක පවතී. විශේෂයෙන්ම පසුගිය දශක දෙක තුළදී ග්‍රාමීය සුළු ගොවි ප්‍රජාව, කම්කරුවන්, ග්‍රාමීය සහ නාගරික දිළින්දන් සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් යනාදී අව-වරප්‍රසාදලාභී සමාජ ශ්‍රේණීන් සැබෑ දේශපාලන නියෝජනයක් අහිමිවීමේ තත්ත්වයට පත්ව තිබේ. විශේෂයෙන්ම මහජන මතය නොතකා හරිමින් ක්‍රියාත්මක වන නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හමුවේ මේ තත්ත්වය බිහිසුණු ලෙස වර්ධනය වෙමින් ඇත. එසේම පොදු සමාජ අවකාශය තුළ අධිකාරීවාදී, පීතෘ මූලික සහ පසුගාමී ව්‍යුහයන් සහ භාවිතයන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉහත කී කරුණු මගින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක්  (substantial democracy) ක්‍රියාත්මක වෙතැයි කිව නොහැකි බවය.

නමුත්, මට පෙන්වාදීමට අවශ්‍ය කාරණය වන්නේ මෙතරම් බරපතළ ව්‍යුහාත්මක ගැටලු සහ ප්‍රචණ්ඩ ගැටුම් පැවති (සහ පවතින) සංදර්භයක් තුළ පවා සෙසු බොහොමයක් ඌන සංවර්ධිත රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අඩු තරමින් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය මේ තරමින් හෝ ක්‍රියාත්මක වීම සුවිශේෂී තත්ත්වයක් බවයි. අප ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂකත්වය සලකුණු කරන විට මේ කරුණ තරයේ සිත්හි ධාරණය කරගත යුතුය.

සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමය

හොඳයි. ශ්‍රී ලාංකිකයන්ට මේ සියලු අවුල් වියවුල් මැද සාර්ථක බහු-පක්ෂ නියෝජන ක්‍රමයක් මෙන්ම යම් ආකාරයක ප්‍රජාතාන්ත්‍රික ආයතනික සහ නෛතික රාමුවක් පවත්වා ගන්නට හැකිවූයේ කෙසේද? එහි රහස ඇත්තේ කොතැනද? ඇතැමුන් පවසන පරිදි තම රටේ ජනතා නියෝජන පනත සම්මත වූ වහාම ලංකා විජිතයට ද සර්වජන ජන්ද බලය හඳුන්වා දුන් බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවට එහි ගරුත්වය පැවරිය යුතුද? නොඑසේනම්, සිවිල් සමාජය යන්න අතිසරල ලෙස අර්ථ කථනය කරමින් තමන් එහි නියෝජිතයන් ලෙස හඳුන්වා ගන්නට ප්‍රිය කරන විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවලට අප පින් සමාදම් කළ යුතුද? කාරණය නම් පරිබාහිර කණ්ඩායම් කුමක් කළද සැලකිය යුතු අභ්‍යන්තර මහජන සහයෝගයක් හෝ උත්සුකභාවයක් නොමැතිව කිසිදු ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් පවත්වා ගත නොහැකි බවය. වෙනත් වචනවලින් කිවහොත්, ලාංකීය ප්‍රජාතන්ත්‍රයේ සියලු ගැටලුවල සේම එහි ජයග්‍රහණවලද සැබෑ නිර්මාතෘවරයා වන්නේ ලාංකීය ජනසමාජයයි. එහෙයින්, අප මාක්ස්වාදී දේශපාලන විද්‍යාවේ මග අනුව යමින් මේ සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙහි සමාජ පන්ති පදනම පරීක්ෂාවට ලක් කළ යුතු යැයි මම යෝජනා කරමි.

මගේ උපන්‍යාසය වන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ නියෝජන ප්‍රජාතාන්ත්‍රික ආයතන සහ සම්ප්‍රදායන් තහවුරු වීම සඳහා විශේෂයෙන්ම මෙරට වාමාංශික ව්‍යාපාරයේ බලපෑම මත ගොඩ නැගුණු සමාජ ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ආර්ථිකය මහත් සේ ඉවහල් වී තිබේය යන්නයි. (මෙහිදී මේ එකකින් අනෙක නිශ්චය වේය යන සරල හේතු ඵල සබඳතාවක් මම අදහස් නොකරමි). කෙටියෙන් කිවහොත්, නිදහස ලැබූ යුගයේම මෙරට ගොඩ නගන ලද නිදහස් අධ්‍යාපනය මගින් ඌන සංවර්ධිත ග්‍රාමීය කෘෂි ආර්ථිකයෙන් ඔබ්බට ගමන් කිරීමේ උත්සුකයන් සහිත උගත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කෙරිණ. නිදහස් සෞඛ්‍ය සේවය සහ පොදු ප්‍රවාහනය ඇතුළු අංශවල වර්ධනය හේතු කොටගෙන පරිවාරයේ ජනයා පුරවැසියන් බවට පරිවර්තනය වීමේ ක්‍රියාවලියට පහසුකම් සැපයිණ. රාජ්‍ය අංශයේ ගුරුවරුන්, ලිපිකරු ශ්‍රේණීන් සහ වෛද්‍යවරුන් යනාදීන් ග්‍රාම්ස්චියානු අරුතින් ජාතිකවාදී මෙන්ම යම් දුරකට වාමාංශික බුද්ධිමය ශ්‍රේණියක් බවට පරිවර්තනය විය. අදටත් පොදු සේවාවන් පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලවල සමාජ පදනම සකසන්නේ ඔවුන්ය. මේ නිසා සුභසාධනවාදී මහජන මතය අදටත් ශ්‍රී ලංකාව තුළ ප්‍රබලය. කොටින්ම, දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලට පවා ගම් උදාව, ජනසවිය, මහපොළ ශිෂ්‍යාධාර සහ ඉඩම් ජනසතු කිරීම යනාදී වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සිදු විය.

මීට අමතරව පසුගිය දශක හතරක කාලපරිච්ජේදය තුළ වාණිජ සහ මූල්‍ය ප්‍රාග්ධනයේ ව්‍යාප්තිය මත පදනම්ව ක්‍රමයෙන් වර්ධනය වූ නාගරික සහ අර්ධ නාගරික පුළුල් මධ්‍යම පන්තික ස්ථරයද දැන් මෙරට ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල සැලකිය යුතු බලපෑමක් සිදු කරමින් තිබේ. ස්වකීය පැරණි පන්තිමය සහ සමාජයීය තත්ත්වයන් කෙරෙන් යම් ආකාරයක වියෝවීමක් නියෝජනය කරන මෙම සමාජ ස්ථරය දෘෂ්ටිවාදී දේශපාලනයට වැඩි විවෘතභාවයක් දැක්වීම අපේක්ෂා කළ යුත්තකි. වැඩෙමින් පවතින පාවෙන ජන්ද අනුපාතයේ සැලකිය යුතු පරිමාවක් ඔවුන් නියෝජනය කරයි. මෙම සමාජ ක්ෂේත්‍රය තුළ වැඩි දෘෂ්ටිවාදී ආධිපත්‍යයක් ගොඩ නගා ගැනීමට සමත්ව ඇති බව පෙනෙන්නේ ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමතුන්ය. (කාලාන්තරයක් තිස්සේ පැවති යුද්ධය හේතු කොටගෙන උතුරේ සහ නැගෙනහිර පළාත් වෙත ආර්ථික විවෘතකරණය ගලා යාමේ ඓතිහාසික ප්‍රමාදයක් සිදු වූ බැවින් මෙම නව මධ්‍යම පංතික ශ්‍රේණීන්ගේ ව්‍යාප්තියේ භූගෝලීය විෂමතාවක් පවතී).

නව-ලිබරල්වාදයට එරෙහිව ජනතාවාදය

මා මින් පෙරද තර්ක කොට ඇති පරිදි වත්මනෙහි දේශපාලන ප්‍රභූතන්ත්‍රයට එරෙහිව ගොඩ නැගෙමින් පවතින පොදු විරෝධයට හේතුව වන්නේ හුදෙක් දේශපාලකයින්ගේ දූෂණ හා අක්‍රමිකතා පමණක් නොවේ. ඊට වඩා ගැඹුරු දේශපාලන ආර්ථිකමය සාධකයක් ඒ පසුපස තිබේ. එනම්, ගෝලීය මූල්‍ය බලවතුන්ගේ බලපෑම යටතේ ක්‍රියාත්මක කෙරෙන නව-ලිබරල් ප්‍රතිපත්තීන්ය. නව-ලිබරල් ප්‍රභූතන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් කිසිදු මහජන නියෝජනයකට ඉඩක් නොතබමිනි. නිදසුනක් ලෙස පසුගිය වසරවලදී ශ්‍රී ලංකා දේශපාලකයින් විසින් අත්සන් කරන ලද නිදහස් ආර්ථික ගිවිසුම් ගැන මහජන නියෝජිතයන් බහුතරයක් පවා නොදනී. තම ජීවිතවලට සෘජුව බලපාන ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි කිසිදු බලපෑමක් කිරීමට ජනතාව හෝ ජනතා නියෝජිතයින් අසමත්ය. ඒ අතරම රාජ්‍ය සුභසාධන සේවා වෙළෙඳපොළ භාණ්ඩ බවට පරිවර්තනය කෙරෙමින් පවතී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සැලකිල්ලට ලක් වූ ග්‍රාමීය සහ නාගරික දරිද්‍රතාව, තරුණ විරැකියාව, ඌන සේවා වියුක්තිය, ආදායම් විෂමතාව, සමාජ යුක්තිය යනාදී ගැටලු නව-ලිබරල් ප්‍රභූ තන්ත්‍රය විසින් දකිනු ලබන්නේ තවදුරටත් දේශපාලනිකව අදාළ නොවූ ඒවා ලෙසය.

මේ තත්ත්වය තුළ අර්බුදයට පත්ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් වන මහජන නියෝජනය සහ ජනතා පරමාධිපත්‍යයයි. මේ අනුව, නව-ලිබරල්වාදය එහි හරයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීය. පැරණි ප්‍රභූ දේශපාලන නායකත්වයන් ප්‍රතික්ෂේප කරමින් (දක්ෂිණාංශික හෝ වාමාංශික) ජනතාවාදී නායකත්වයන් දැන් ලොව පුරා මතුවෙමින් පවතින්නේ මේ අර්බුදයට දක්වන ප්‍රතිචාරයක් ලෙසය. මේ ජනතාවාදයේ මොහොතයි. මේ මොහොත තුළ දේශපාලන අවකාශය අත්පත් කරගත හැක්කේ නව-ලිබරල් ප්‍රභූ දේශපාලනය විසින් මෙතෙක් කල් නොතකා හරිමින් තිබූ කම්කරුවන්ගේ, දුගී ගොවීන්ගේ, ධීවරයන්ගේ, විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ, ක්ෂුද්‍ර ණය උගුලට සහ තවත් නොයෙකුත් පීඩාවන්ට ගොදුරු වූ ස්ත්‍රීන්ගේ, හමුදා භටයින්ගේ, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන්ගේ සහ සාමාන්‍ය මධ්‍යම පන්තිකයන්ගේ ආර්ථික සහ සමාජයීය ගැටලුවලට සෘජුව ආමන්ත්‍රණය කරන නායකත්වයන්ට පමණි. අද දිනයේ පොදුජන අපේක්ෂාව ජනතාවාදී පාලනයකි.