ගෝඨා ජය ගැනීමට නම්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

එජාපය සිය අපේක්ෂකයා ලෙස පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීම තරමට ම ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම හා එය ඉවත් කර ගැනීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කර තිබීමද වැදගත් දේශපාලන කාරණයක් ලෙස සැලකිය හැකිය. හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමද නොසලකා හැරිය යුතු දේශපාලන කාරණාවක් ලෙස සිතිය නොහැක.

මහේෂ් මැදට දැමීම

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට එජාප නායකයා එකඟ වීම, එම පක්ෂයේ පැවති ප්‍රශ්න නිරාකරණය කර ගැනීමෙන් පසු උදා වූ එම කඳවුරට සුබවාදී තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. තවත් පැත්තකින්, ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කෙරෙහි, සජිත් ප්‍රේමදාස හා මහේෂ් සේනානායකගේ බලපෑමද නොසලකා හැරිය නොහැකිය. ප්‍රේමදාස මහතාගේ කඩා වැදීම, ගෝඨාභය පාර්ශ්වය අපේක්ෂා කළ එකක් යැයි සිතිය නොහැක. ජාතික ජනතා ව්‍යාපාරයද ඔවුන් මීට පෙර වැඩි වැදගත්කමක් දී තිබූ ගාමිණී විජේසිංහ හිටපු විගණකාධිපතිවරයා සහ අජිත් කොළොන්නෙ හිටපු බුද්ධි අංශ නිලධාරියා, වෙනුවට නවතම තෝරා ගැනීම ලෙස මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීම අහම්බයක් හෝ හදිසියේ ගත් තීරණයක් ලෙසද සැලකිය නොහැක. අනෙක් කාරණය වන්නේ සේනානායක මහතා ඡන්දයට ඉදිරිපත් කෙරෙන්නේ, එජාප හිටපු පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා ලේකම් ධුරය දරන ජාතික ජනතා පක්ෂයෙනි. ජනාධිපතිවරණයේදී, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා සහ අනුර දිසානායක ජවිපෙ නායකයාට පසුව, සේනානායක මහතා හතර වන ස්ථානයට පත්වීමේ ඉඩකඩද බැහැර කළ නොහැකිය. මේ දේශපාලන සිද්ධීන් සියල්ල ම බලපෑම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂටය.

ජනාධිපතිවරණයේ ස්වභාවය

මෙම ජනාධිපතිවරණයද, ප්‍රතිපත්ති හෝ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමේ හෝ රට ගොඩ නැගීමේ වැඩපිළිවෙළක් මූලික කරගත් අපේක්ෂකයන් අතර තරගයක් ලෙස හැඳින්විය නොහැකිය. මක්නිසාද, අපේක්ෂකයන් පැත්තෙන් පමණක් නොව, පොදු ජනතාව පැත්තෙන්ද වැඩි වැදගත්කමක් පෙනෙමින් තිබෙන්නේ ආශ්වාදයට- ආකර්ෂණයට මිස අනාගතය දකින තීරණයකට නොවන්නේය. ඒ අනුව ගෝඨාභය ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කර සිටියදී එජාපෙන් සජිත් ඉදිරිපත් කිරීම එම තත්ත්වය උපරිම මට්ටමෙන් තීව්‍ර කරන්නක් ලෙස හඳුනාගත හැකිය.

එහෙත් රටේ බහුතරයක් වන දුප්පත් හා ග්‍රාමීය මෙන්ම පහළ මැද පන්තික ජනතාවගේ ආකර්ෂණය දිනාගත් අපේක්ෂකයා ලෙස ස්ථානගත වීමද ලෙහෙසි කටයුත්තක් ලෙස සැලකිය නොහැක. ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් බලන විට එවැනි තත්ත්වයකදී සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ අපේක්ෂකයා විය යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවූ බාධකය නිසා ඔහුට අපේක්ෂකයා විය නොහැකි වුවද, ගෝඨාභය ජයග්‍රහණය කරන්නේ නම් එහි ප්‍රධාන සාධකය වන්නේ මහින්ද රාජපක්ෂ බව අපැහැදිලි නැත. පුරවැසිභාවය පිළිබඳ නඩු පවරා, ගෝඨාභයට තාක්ෂණික බාධාවක් ඇති කිරීමට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පිරිසක් උත්සාහ ගනිමින් සිටින අතර ගෝඨාභය ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමේදී සහ එය ඉවත් කර ගැනීමේදී නීත්‍යානුකූලව ක්‍රියා කර නැත්නම් ඔහුගේ ජනාධිපති අපේක්ෂක ධුරය අනතුරක වැටීම වැළැක්විය නොහැක. එසේ වුවහොත් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට සිදුවන අතර, එවැනි තත්ත්වයකදී කවුරුන් ඉදිරිපත් කළත් ජයග්‍රහණය, එම කඳවුර පෙර සිතා සිටි ආකාරයේ ලෙහෙසි කටයුත්තක් නොවනු ඇත. රාජපක්ෂ මහතා නීත්‍යානුකූලව පුරවැසිභාවය පිළිබඳ සියලු කටයුතු කරගෙන තිබේ නම් අපේක්ෂකත්වය පිළිබඳ ගැටලුවක් පැන නගින්නේ නැත. එය තීරණය වන්නේ අධිකරණය ලබාදෙන තීන්දුව මතය.

ප්‍රේමදාසගේ වාසිය

එජාපෙ අපේක්ෂකයා වන ප්‍රේමදාස මහතාට ඇති ලොකු ම වාසිය ලෙස සැලකිය හැක්කේද දුප්පත් හා ග්‍රාමීය මෙන්ම පහළ මැද පන්තික ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීමය. ඊට උතුර, නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව මෙන්ම වතුකරයේ දෙමළ ජනතාවද එකතු කිරීමේ හැකියාව ඔහුට සෘජුව නොමැති වුවද වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ මෙන්ම එජාපයට සහය දක්වන වතුකරය නියෝජනය කරන පක්ෂවල අවංක උපකාරය ඔහුට ලැබෙන්නේ නම් එවැනි තත්ත්වයක් ඔහුට හිමිව ඇති අමතර වාසියක් ලෙසද සැලකිය හැකිය. වතුකරයේ අරුමුගම් තොණ්ඩමන් මහතාගේ සහය වුවද අවසානයේ සජිත්ට ලැබීමේ සම්භාවිතාව වැඩිය. අනෙක් පැත්තෙන් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම සහ කරු ජයසූරිය එම කඳවුරේ අපේක්ෂකයා කිරීමට ප්‍රබල උත්සාහයක යෙදී සිටි පිරිසට වුවද ඔවුන්ගේ අරමුණ වන ගෝඨාභය පැරදවීම, උදෙසා සජිත් දිනවීමට පෙළ ගැසීම හැර විකල්පයක් ඇත්තේ නැත.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට, සමස්තයක් ලෙස සිංහල ජනතාවගේ බහුතර සහය හිමිවනු ඇතැයි අනුමාන කළ හැකිය. එය ජයග්‍රහණය කරා යාමේ හොඳ මාවතක් වුවද එහි ප්‍රමාණය තීරණය වනු ඇත්තේ, එජාපයේ නොව ප්‍රේමදාස මහතා පොදු ජනතාව තුළ ගොඩනගන ආකර්ෂණය මතය. අනෙක් පැත්තෙන් ගෝඨාභයට එරෙහිව දේශපාලන විරුද්ධවාදීන් ගොඩනගන විරෝධතා සියල්ල පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හැකියාවක් නොමැති අතර, එහි අවසාන තීරකයා වීමට සිදුවන්නේද ගෝඨාභයටමය.

තවත් පැත්තකින් සජිත් විරුද්ධවාදී අපේක්ෂකයා වීම තුළ ශ්‍රීලනිපය නොසලකා හැරීම පොජපෙට බරපතළ අවාසියක් වනු ඇත. එක්කෝ පොහොට්ටුවට ශ්‍රීලනිපය දිනාගත යුතුය, නැත්නම් ශ්‍රීලනිපයෙන් බහුතරයක් පොහොට්ටුව කඩාගත යුතුය. කෙසේ වෙතත් සිරිසේන ජනාධිපතිවරයා, ප්‍රේමදාසගේ දේශපාලන විරුද්ධවාදියෙකු කළ නොහැකි වුවද ජනාධිපතිවරණයේදී එජාප විරුද්ධවාදියෙකු කිරීමට හැකියාව ඇත්නම් එම තත්ත්වය ගෝඨාභයට වාසියක් වීමේ සම්භාවිතාව වැඩිය. එහෙත් ප්‍රේමදාස මහතා උත්සාහ කරනු ඇත්තේ තම හිත මිතුරු සිරිසේන ජනාධිපතිවරයා මේ සටනේදී තම කඳවුරට එරෙහි නොවීමේ ප්‍රතිපත්තියක රඳවා ගැනීමටය.

ගෝඨාභයගේ අභියෝගය

ගෝඨාභය, ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ ඔහු දේශපාලනික වශයෙන් එම පෙරමුණේ ඊට සුදුසු ම අපේක්ෂකයා වීම නිසා යැයි සිතිය නොහැක. එහෙත් තමන් ඊළඟ අපේක්ෂකයා විය යුතු බවට ඔහු කාලයක සිට උපායශීලීව රටට හා ඒකාබද්ධ විපක්ෂයට පෙන්නුම් කරමින් සිටියා පමණක් නොව රාජපක්ෂ පවුල තුළ පවා ඊට පසුබිම සකස් කරගෙන තිබිණි. එහෙත් ඔහු මහින්ද රාජපක්ෂ පන්නයේ අපේක්ෂකයෙකු නොවන්නා සේ ම අනෙක් පැත්තෙන් රට ගොඩනැගීමේ අනාගත වැඩපිළිවෙළක් පිළිබඳ දැනටමත් සිය අදහස් ප්‍රකාශ කර ඇත්තෙකි. සජිත්, සමාජීය, ආර්ථික, දේශපාලනමය වශයෙන් ඉදිරි වැඩපිළිවෙළක් පිළිබඳ අතීතයේදී එවැනි හරවත් අදහස් දැක්වීමක නිරත වී නැත. එජාප යහපාලන ආණ්ඩුවට- වික්‍රමසිංහ අග්‍රමත්‍යවරයාට, බරපතළ චෝදනා එල්ල වී ඇතත්, ප්‍රේමදාස අමාත්‍යවරයා ස්ථානගත වී ඇතැයි සිතිය හැක්කේ සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන් පරිබාහිරවය. ඔහු රනිල්ගේ අධිකාරිවාදී පක්ෂ නායකත්වයට අභියෝග කර පළමු වටයෙන් ජයගත් නායකයා වනවා පමණක් නොව,සිවිල් සංවිධාන ආදී රනිල්වාදී කොළඹ නව ලිබරල්වාදී ස්ථරයේ ඒකමතිකත්වය බිඳ හෙලූ නායකයාද වන්නේය. එම නිසා මානව හිමිකම්, මරණ දඬුවම ආදී සංකල්ප ක්‍රියාත්මක කිරීමට වඩා, එජාප පෙරමුණ පැත්තෙන් දුප්පත්- ග්‍රාමීය- පහළ මැද පන්තික ජනතාවගේ ආකර්ෂණීය නායකයා වීමේ අවස්ථාව ප්‍රේමදාස මහතාට ඇත්තේය. එය මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප ප්‍රමුඛ එජනිස කඳවුර තුළ (දැන් පොජපෙ ප්‍රමුඛ) මේ වනතුරුත් අඛණ්ඩව හිමිවී ඇති තත්ත්වයක් ලෙස සැලකිය හැකි අතර ඊට සමපාතවීමට හෝ ඉක්මවා යාමට ගෝඨාභයට අවස්ථාවක් ඇතැයි සිතිය නොහැක. එහෙත් ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිස ගොඩනගා තිබෙන ජාතිකවාදී දේශපාලනයේ සිටින ඉහළ මැද පන්තිය මෙන්ම පොහොසතුන් තමා වටා එකතු කර ගැනීමේ දේශපාලනයක් ඔහුගෙන් දැකිය හැකිය. මීට මහින්දගේ පොදු ජන ආකර්ෂණය එයාකාරයෙන් ම එකතු වුවහොත් එය ගෝඨාභයගේ ජයග්‍රහණයට හේතුවිය හැකිය.
එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට, ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායකයාට වඩා තවමත් ජය නොගත් අභියෝග රැසක් පවතින බවය. නීත්‍යානුකුලව සහ දේශපාලනික වශයෙන් ඒවා ජය ගැනීමට අවස්ථාවන් තවමත් අහිමි වී නැතුවාක් මෙන්ම ඊට පිළිතුරු ඇත්තේද ඔහු සතුව ම පමණි.