ආබාධිත මැතිවරණ ක්‍රමය හා ගෝඨාභයගේ අපේක්ෂකත්වය

වික්ටර් අයිවන්

රටක මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය හා ඒ සඳහා පැවැත්වෙන මැතිවරණ ඒ රටේ දේශපාලන ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය.

අපේ රටේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමයක් නැත. සියලු පක්ෂ අඩු වැඩි ප්‍රමාණයකට ඒකාධිපති පන්නයේ නායකයන් මෙහෙයවන පක්ෂ ලෙස සැලකිය හැකිය. එසේම අපේ රටේ සාමාජික මුදලින් යැපෙන පක්ෂ ක්‍රමයක්ද නැත. සියලුම පක්ෂ අඩු වැඩි ප්‍රමාණයකට කළු සල්ලිවලින් යැපෙන පක්ෂ ලෙස සැලකිය හැකිය. ලංකාවට මැතිවරණ කොමිසමක් ඇතත්, ඉන්දියාවේ වැනි දියුණු මැතිවරණ කොමිසමක් නැත. පක්ෂවල අරමුදල් හෝ ඒවාහි පවතින අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය විගණනය කෙරෙන ක්‍රමයක් නැත.

සුද්දන් අපට ලබාදී තිබුණු ක්‍රමය අපි පසුව හදා ගත් ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වී යැයි කිව හැකිය. මැතිවරණවලදී අපේක්ෂකයන්ට බලපාන වියදම් සීමා නීති තිබුණි. ඒ නීති දැඩි ලෙස ක්‍රියාත්මක විය. 1977 වන විටත් මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් සඳහා වියදම් සීමා නීතියක් ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා වැය කළ හැකි උපරිම වියදම රුපියල් 5000ක් විය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයෝ මැතිවරණ වියදම් පිළිබඳව වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියෝය. මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන්ට එරෙහිව නඩු පැවරිය හැකි ක්‍රම තිබුණි. ආණ්ඩුව සමග ව්‍යාපාර කරන පුද්ගලයන්ට මැතිවරණවලට තරග කිරීමේ අයිතිය මුළුමනින් වළකා තිබුණි. බරපතළ අපරාධ චෝදනා ඇති අය මැතිවරණවලට තරග නොකළේය. දේශපාලන පක්ෂ සිරිතක් වශයෙන් එවැනි පුද්ගලයන්ට තරග කරන්නට අවස්ථාවක් දුන්නේ නැත. මහජන නියෝජිතයන්ගේ ජන ජීවිතය පිරිසිදු තත්ත්වයක තබා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ නීති හා සම්ප්‍රදායන් තොග වශයෙන් අහෝසි කිරීමක් හෝ නොසලකා හරින ක්‍රමයක් 1977 සිට අද දක්වාම ක්‍රියාත්මකවන්නේ යැයි කිව හැකිය.

මැතිවරණ කොමිසම

ඡන්ද අපේක්ෂකයන් සඳහා පැවති වියදම් සීමා 1977දී අහෝසි කැරිණි. දැන් තිබෙන්නේ ධනය ඇති අයට ජනතා පරමාධිපත්‍යය බලය මිලදී ගත හැකි ක්‍රමයකි. පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ටද ලොකු ඉල්ලුමක් ඇති අවස්ථාවලදී ලොකු මිලකට විකිණිය හැකි ක්‍රමවේදයකි. අපේක්ෂකයන් සඳහා නීතියෙන් නියම කළ වියදම් සීමා නීති නැත. අපේක්ෂකයන්ට මුදල් තිබේ නම් ඕනෑතරම් මුදලක් වැය කළ හැකිය. පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කරන සමහර අපේක්ෂකයන් රුපියල් මිලියන 250ක් තරම් විශාල මුදලක් වැය කළ අවස්ථා ගැන අසන්නට ලැබී තිබේ. ප්‍රධාන පක්ෂ දෙකෙන් ජනාධිපතිවරණයකට තරග කරන අපේක්ෂකයකුගේ සාමාන්‍ය වියදම ලෙස සැලකුණේ රුපියල් බිලියන තුනකි. ඒ මුදල් ලැබුණු ආකාරය ගැන පැහැදිලි කිරීමක් කිරීම අවශ්‍යවන්නේ නැත.

රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයන්ට මැතිවරණවලට තරග කිරීම වළකන දැඩි නීති ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන හැම රටකම පාහේ ක්‍රියාත්මක වේ. ලංකාවේ නීතිය අනුවත් රජය සමග ව්‍යාපාර කරන අයට මැතිවරණවලට තරග කළ නොහැකිය. එහෙත් එම නීතිය පවා මීට පෙර හොඳින් සැලකිල්ලට ගනු ලැබූ නීතියක් නොවීය. රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුද මැතිවරණවලට තරග කළෝය. මැතිවරණ දෙපාර්තමේන්තුව හෝ මැතිවරණ කොමිසම පවා එය බරපතළ වරදක් ලෙස සලකා එවැනි පුද්ගලයන්ට නාමයෝජනා දීම වළකන ක්‍රමයක් ක්‍රියාත්මක කළේ නැත. එම දෝෂය පොදු යහපත සඳහා නඩු කියන නීතිවේදීන්ට පවා පෙනුණේ නැත. පුනරුද ව්‍යාපාරය මෙම දෝෂය මැතිවරණ කොමිසම වෙත දැනුම්දීමෙන් පසුව මැතිවරණ කොමිසම ඒ ගැන හොඳින් කරුණු සොයා බලා එවැනි අය තරග කිරීම වැළකීම සඳහා නාමයෝජනා දෙන හැම කෙනකුම ඔවුන් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රජය සමග ව්‍යාපාර නොකරන බවට දිවුරුම් පෙත්සමකින් සහතික වීම අනිවාර්ය කර තිබේ.

එය මැතිවරණ කොමිසම විසින් ගෙන තිබෙන ඉතා වැදගත් ඉදිරිගාමී තීන්දුවක් ලෙස සැලකිය හැකිය. නාමයෝජනා ඉදිරිපත් කරන පුද්ගලයා ඒ මගින් ලබාදෙන සහතිකය සත්‍යයක් නොවන අවස්ථාවකදී කවදා හෝ අසත්‍ය දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමේ වරදට දඬුවම් ලැබිය හැකිය. අපේක්ෂකයන්ගෙන් ඒ ගැන දිවුරුම් ප්‍රකාශ ලබාගැනීම හා වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. හැම රටකම පාහේ නාමයෝජනාවලදී ලබාදෙන ප්‍රකාශ එම ප්‍රකාශවල අන්තර්ගත තොරතුරු ලබා ගැනීමට උනන්දුවක් දක්වන මහජනයාට ලබාගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. දිවුරුම් ප්‍රකාශවල එන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරන්නන් බවට පත්විය යුත්තේ මහජනයාය. ඉන්දියාවේ මැතිවරණවලට නාමයෝජනා දෙන සියලු අපේක්ෂකයන් තමන්ට එරෙහිව අපරාධ නඩු තිබී ඇත්නම් හෝ තිබෙන්නේ නම් ඒ පිළිබඳ සියලු විස්තරද දිවුරුම් ප්‍රකාශයකින් ඉදිරිපත් කළ යුතුය. එම දිවුරුම් ප්‍රකාශවල සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය මැතිවරණ කොමිසම විසින් මහජනයාට ලබාදී තිබෙන්නේය.

නාමයෝජනාවලදී ලබාදෙන වත්කම් බැරකම් ප්‍රකාශවල හා දිවුරුම් ප්‍රකාශවල පිටපත් ලිඛිතව ලබාදෙනවාට අතිරේකව විද්‍යුත් පිටපතක්ද ලබාදීම අනිවාර්ය කළ හැකිය. එම විද්‍යුත් ප්‍රකාශවල පිටපත් මැතිවරණ කොමිසම පවත්වාගෙන යන වෙබ් අඩවියට යොමු කිරීමෙන් ඒ තොරතුරු ගැන උනන්දුවක් දක්වන මහජනතාවට ඒවා කඩිනමින් ලබාදීම ඒ මගින් සහතික කළ හැකිය.

කතානායකගේ භූමිකාව

අපේක්ෂකයන්ගේ පාරදෘශ්‍යභාවය සහතික කිරීම හා රජය සමග ව්‍යාපාර කරන පුද්ගලයන් තරග කිරීම වැළකීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසම වෙත පුනරුද ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් යහපත් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම ගැන මැතිවරණ කොමිසමට මහජනයාගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

එම ක්‍රියාදාමයට මැතිවරණ කොමිසමට අතිරේකව පාර්ලිමේන්තුව හා අධිකරණය මැදිහත්කර ගැනීමට අප උත්සාහ කළද එම ආයතන දෙකෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ ආණ්ඩුව සමග ව්‍යාපාර කරන තත්ත්වයකය. සමහර මන්ත්‍රීවරුන්ට රජයෙන් ලබා ගත් ඉඩම් තිබෙන්නේය. බාර් ලයිසන් තිබෙන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවද විශාලය. වැලි, පස්, ගල් හා දැව සඳහා බලපත්‍ර ඇති මන්ත්‍රීවරු සිටිති. ස්කාගාර පවත්වාගෙන යන මන්ත්‍රීවරුද සිටිති. එම තත්ත්වය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම දූෂිත හා විකෘති කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තුවට තිබෙන සුජාතභාවයද අහිමි කරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
මේ ගැන සොයා බලා නීතියට පටහැනිව රජය සමග ව්‍යාපාර කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිය අනුව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරනු ලැබුවද දක්වන ලද ප්‍රතිචාරය යහපත් හෝ ඉදිරිගාමී ප්‍රතිචාරයක් ලෙස සැලකිය නොහැකිය. ඒ ගැන දක්වන ලද ප්‍රතිචාරය වූයේ ඒ සඳහා ක්‍රියාකිරීමට අවශ්‍ය ව්‍යවස්ථාපිත බලයක් කතානායක වශයෙන් තමන්ට නැති බව අපට දැනුම්දීමය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියට පටහැනිව ව්‍යාපාර කරන බව කතානායකවරයා ඇත්තටම දන්නේ නැද්ද? දන්නේ නැතිනම් ඒ ගැන පෙන්වාදීමෙන් පසුව හෝ ඒ ගැන සොයා බැලීමේ වගකීමක් කතානායකවරයාට නැද්ද? ඒ ගැන අඩුම තරමින් පක්ෂ නායකයන් සමග හෝ කතා කිරීමේ වගකීමක් කතානායකවරයාට නැද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විශාල පිරිසක් නීතියට පටහැනිව ව්‍යාපාර කරන අශෝභන තත්ත්වය නැති කිරීම සඳහා ක්‍රියාකාරීමේ වගකීමක් කතානායකට නැද්ද?

ස්වභාවික යුක්තිය උල්ලංඝනය වන අවස්ථාවලදී නීතිය කුමක් වුවත් ඒ වරද නිවැරදි කිරීමේ වගකීමක් පාර්ලිමේන්තුව වැනි ආයතනයක කතානායකවරයාට තිබෙන්නේය. එවැනි වරදක් සිදුවන බව දැන දැනම එය නොසලකා සිටීම පාර්ලිමේන්තුවට පමණක් නොව මුළු රටටම කරන ලොකු වරදකි. මහජන නියෝජිතයන් රජයට ආදායම් ලැබෙන හොඳම මාර්ග අත්පත් කරගෙන සිටීම රජයේ බංකොළොත්භාවය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් හේතුවකි. මහජන නියෝජිතයන් සතුටු කිරීම සඳහා සාධාරණ නොවන වැය බරක් දැරීම රජයේ වැය බර කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් හේතුවකි. ඇමතිවරුන්ට නිල කාර්ය මණ්ඩලයක් තිබියදී මහජන වියදමින් පුද්ගලික කාර්ය මණ්ඩලයක් ලබාදීම වෙනුවෙන් වසරකට කරන වියදම කොතරම් විශාලද? නිල නොවන කාර්ය මණ්ඩල ක්‍රමයක් ඇති කර තිබෙන්නේ ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට වැටුප් හා වරප්‍රසාද ලබාදීමේ අවලස්සන අරමුණ සඳහා නොවේද? එවැනි බරපතළ වැරදි ඉදිරියේ ඇස් වසාගෙන සිටින පිළිවෙතක් සාධාරණ විය හැක්කේ කෙසේද?

ගෝඨාභයගේ අපේක්ෂකත්වය

ඊළඟ ජනාධිපතිවරයාට විධායක බලයක් නැතත්, නාමමාත්‍රික හා සංකේතාත්මක අර්ථයෙන් හෝ ජනාධිපතිවරයා සැලකෙන්නේ රාජ්‍යයේද මහජනයාගේද නායකයා වශයෙනි. එවැනි තනතුරක් සඳහා පුද්ගලයන් ඉදිරිපත් කිරීමේදී තනතුරේ ගෞරවයට හේතුවන ප්‍රශ්න ගත පුද්ගලයන් ඉදිරිපත් නොකිරීමේ වගකීමක් දේශපාලන පක්ෂවලට තිබෙන අතර දේශපාලන පක්ෂ එහිදී සැලකිල්ලට ගත යුතු ප්‍රමිති නොසලකා ක්‍රියාකරන අවස්ථාවලදී එවැනි පුද්ගලයන්ට තරග බිමට ඒම වළකන ප්‍රතිපත්ති සීලාචාර රටකට තිබිය යුතුය.
පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ දක්ෂයකු ලෙස සැලකිය හැකි වුවත් ඔහු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියාකරන කාලයේදී සිදුවූ බිහිසුණු සිද්ධීන් ගණනාවකට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබෙන අධි චෝදනා පත්‍ර සංඛ්‍යාව විශාලය. එම අධිචෝදනා පත්‍රවලින් එල්ල වී තිබෙන චෝදනාවල ස්වභාවයද බරපතළය. ඊට අතිරේකව කැලිෆෝනියාවේ දිස්ත්‍රික්ක උසාවියේද ඔහුට එරෙහිව පවරන ලද නඩු දෙකක් තිබෙන්නේය. එක නඩුවක් පවරා තිබෙන්නේ ලසන්ත වික්‍රමතුංගේ දුව අහිම්සා වික්‍රමතුංග විසිනි. අනෙක් නඩුව පවරා තිබෙන්නේ දකුණු අප්‍රිකාවේ සංවිධානයක් වන අයිටීජේපී (ITJP) සංවිධානය විසිනි. රැඳවුම් කඳවුරුවල සිටියදී පුද්ගලයන් 10 දෙනකු බිහිසුණු වදහිංසාවන්ට ලක් කර තිබීම යන චෝදනා යටතේය. ඒ වරදට ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතුය යන චෝදනාව යටතේය. වදහිංසාවන්ට ලක්වූ බවට චෝදනා එල්ල කරන පුද්ගලයන් දස දෙනාගෙන් 8 දෙනකු දමිළයන් වන අතර දෙදෙනෙක් සිංහලයන්ය. මීට අතිරේකව 2011දී අතුරුදන් වී ඇති ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානාදන් යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනාට අදාළව යාපනේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇසෙමින් තිබෙන හොබයාස්කෝපුස් නඩුවේ සාක්ෂි ලබා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ කැඳවනු ලැබූ අවස්ථාවේදී එය වළකා ගැනීම සඳහා අභියාචනාධිකරණය ඉදිරියට යන්නට ඒ මහතාට සිදුවිය.
ඉන් පෙනෙන්නේ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නෛතික තලයේ මහත් විවාදයට හේතුවූ ප්‍රශ්න ගත පුද්ගලයකු වන බවය. ඒ මහතාට එරෙහිව අධි චෝදනා පත්‍ර සංඛ්‍යාව විශාලය. ඒවායින් එල්ල වන චෝදනාවල ස්වභාවයද ඉතා බරපතළය. එවැනි පුද්ගලයකු ඒ සියලු චෝදනාවලින් නිදහස් වන තෙක් ජනාධිපති ධුරය වැනි තනතුරකට ඉදිරිපත්වීම හෝ ඉදිරිපත් කිරීම එම තනතුරේ ගෞරවයට හේතුවන්නේ නැත.

රාජපක්ෂ කෞතුකාගාරය

1981 ජනාධිපතිවරණ පනත අනුව දූෂණ හෝ අපරාධ ගණයේ වරදකට වරදකරුවකු කරනු ලැබූ පුද්ගලයකුට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ නොහැකිය. අධි චෝදනා එකක් නොව විශාල සංඛ්‍යාවක් තිබෙන පුද්ගලයකු එම චෝදනාවලින් මුළුමනින් නිදහස් වන තෙක් ජනාධිපතිවරණයකට නාමයෝජනා ඉදිරිපත් කිරීම යුක්තිසහගත විය හැක්කේ කෙසේද? ජනාධිපතිවරණයකින් ජය ලබා ගන්නා පුද්ගලයකුට ලැබෙන මුක්තිය නිසා පරණ නඩු විභාගයට ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැත. ඒ නිසා අධි චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයකුට ජනාධිපතිවරණයක් සඳහා නාමයෝජනා ලබාදීම සුදුසු දෙයක් ලෙස සැලකිය නොහැකිය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂාවෙන් සිටි පුද්ගලයෙකි. එවැනි පුද්ගලයකු තමන්ට එරෙහිව පවරා තිබෙන නඩු ප්‍රමාද කරන පිළිවෙතක් වෙනුවට හැකි ඉක්මනින් ඒවා අවසන් කරන පිළිවෙතක් අනුගමනය කළ යුතුව තිබුණි. තමන්ගේ දෙමාපියන් දෙදෙනා හා ඔවුන්ගේ සොහොන් කොත් සහිත නිවාස පරිශ්‍රය කෞතුකාගාරයක් බවට පත්කිරීමේ වැඩසටහනට ගිය රුපියල් මිලියන 33.9ක් වූ වියදම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා වශයෙන් ඒ යටතේ තිබෙන රජයේ ආයතනයකින් ලබාගැනීමේ සිද්ධියට අදාළව ඔහුට එරෙහිව විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව නිෂ්ප්‍රභ කරවා ගැනීම සඳහා විවිධ තර්ක ඉදිරිපත් කරමින් වාර හතරක් අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඒ මගින් සිය අරමුණ සපුරා ගැනීමට සමත් වූයේ නැතත්, නඩුව විභාග කොට ඉක්මනින් තීන්දුවක් දීමට විශේෂ මහ අධිකරණයට තිබෙන හැකියාව ප්‍රමාද කළේය.

ඉහත කී කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ලබා ගත් මුදල් 2015 ජනාධිපතිවරණයෙන් පසු ආපසු ගෙවා තිබෙන බවද කියනු ලැබේ. එය සත්‍යයක් නම් තමන් අතින් සිදුවී තිබෙන බරපතළ වරදක් පිළිගෙන තිබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ මුදල ආපසු ගෙවන ලද්දේ නඩු පැවරීමක් ඇතිවීම වළකා ගැනීම සඳහා විය හැකිය. පොදු දේපළ විෂයෙහි එවැනි වරදක් කොට එය පිළිගෙන තිබෙන පුද්ගලයකුට ජනාධිපතිවරණයකට තරග කළ හැකිද?

හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර

ගෝඨාභයට අදාළව කෙරෙන සියලු පරීක්ෂණ අතරින් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට බලපාන බිහිසුණුම පරීක්ෂණය ලෙස සැලකිය හැක්කේ ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ පැමිණිල්ලක් මත ගෝඨාභය අලුතෙන් ලබාගෙන තිබෙන හැඳුනුම්පත හා ගමන් බලපත්‍රයට අදාළව කෙරෙන පරීක්ෂණයයි.
එම පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබෙන කරුණු අනුව ගෝඨාභය රාජපක්ෂට ඇමරිකනු පුරවැසිභාවය ලැබී ඇත්තේ 2003 වසරේ ජනවාරි 31 වැනිදාය. පුරවැසි නීති අනුව ලංකාවේ පුරවැසියෙක් වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් විට හෝ ලංකාවේ පුරවැසිභාවය ස්වයංක්‍රීයව අවසන් වේ. 2005 ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය ලංකාවට පැමිණ ඇත්තේ ඇමරිකාවේ පුරවැසියෙකු ලෙස තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් යටතේය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත්වූයේ නොවැම්බර් 18 වැනි සිකුරාදාය. සෙනසුරාදා හා ඉරිදා දිනය වැඩ දිනයක් නොවීත් ගෝඨාභයට ද්විත්ව පුරවැසිභාවය ලැබී තිබෙන්නේ 2005 නොවැම්බර් 21 වැනි සඳුදාය. ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ක්‍රියාදාමය අසාමාන්‍ය තරමේ වේගයකින් සිදුවී තිබෙන බවද පෙනේ. ද්විත්ව පුරවැසිභාවය ලැබී එය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනය වී තිබෙන්නේ නොවැම්බර් 30 වැනිදා සිටය. එහෙත් ඊට පෙර ඡන්දය පාවිච්චි කර තිබෙන අතර ආරක්ෂක ලේකම් ධුරයට පත්කර තිබෙන්නේද ද්විත්ව පුරවැසිභාවයක් නොතිබුණු නොවැම්බර් 24 වැනිදාය. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අයදුම්පතේ අයදුම්කරු තමන්ව හඳුන්වා දී ඇත්තේ පරිගණක ඉංජිනේරුවකු වශයෙනි. එය චේතනාන්විතව කර තිබෙන බරපතළ වරදක් වන අතර එම ලේඛනය සැලකිය යුත්තේ කූඨ ලේඛනයක් වශයෙනි.

එම පරීක්ෂණයෙන් සොයාගෙන තිබෙන වැදගත් කරුණක් වූයේ 2016 මැයි 10 වන දින ජාතික හැඳුනුම්පතක්ද, (194917200010) 2019 මැයි මස 07 වන දින විදේශ ගමන් බලපත්‍රයක්ද (N142600594) ලබාගෙන තිබේ. අලුත් හැඳුනුම්පත ලබා ගැනීමෙන් පසුව 2017, 2018, 2019 යන වර්ෂවල මැතිවරණ නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා පාවිච්චි කර තිබෙන්නේ පුරවැසිභාවය අහිමි කිරීමත් අවලංගු වූ පරණ හැඳුනුම්පත  (491724021V) ය. හැඳුනුම්පත් දෙකක් පාවිච්චි කිරීම චේතනාන්විතව සිදුකර තිබෙන නීති උල්ලංඝනයක් ලෙස සැලකිය හැකිය.

මේ ලිපිය අවසන් කරමින් තිබෙන අවස්ථාවේදී ගෝඨාගේ අපේක්ෂකත්වය තහනම් කරන නියෝගයක් ඉල්ලා ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය තේනුවර නඩුවක් පවරා තිබෙන බව අසන්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ජන පෙරමුණට ගෝඨා වෙනුවට වෙනත් අපේක්ෂයකු ද ඉදිරිපත් කිරීමට සිදුවිය හැකිය.