මම එදා කළ දේ යුක්තිසහගතයි

– එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, තිස්ස අත්තනායක

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

2015 වසරේදී ඔබ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වන්නේ ඇයි?

ඊට මූලික වූ ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. එක කාරණයක් තමයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති වෙච්ච මත ගැටුම. එම ගැටුම නිර්මාණය වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතරයි. එහෙත් මම ඊට මැදිහත් වෙලා මේ දෙදෙනාම එකම වේදිකාවකට ගෙනාවා. ඒක එජාප මහා සමුළුවේදී අපි කළේ. ඒ ගෙන ඒමත් සමග සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා වශයෙන් පත් කිරීමට සිදු වුණා. ඒ නියෝජ්‍ය නායකයා වශයෙන් පත් කිරීමට විරුද්ධ වෙච්ච ඒ කණ්ඩායම සහ මා අතර ඇති වෙච්ච විරසකය තමයි පළමුවෙනි කාරණය. ඒ අතර ඇති වෙච්ච මත ගැටුම. දෙවන කාරණය තමයි ජනාධිපතිවරණය 2015. මගේ මතය වුණේ ඒ ජනාධිපතිවරණය සඳහා එජාප පක්ෂය නියෝජනය කරන නායකයකු අපේක්ෂකයා විය යුතුයි කියන ස්ථාවරය. මේ ගැටුම් දෙක හරහා ඇති වෙච්ච දැඩි පීඩනය තමයි දෙවැනි කාරණය වුණේ.

ඒ එක්කම ඔබට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල වෙනවා. පසු කලෙක කූට ලේඛන සකස් කිරීමෙන් අගතියට පත් පාර්ශ්වයෙන් ඔබ සමාව ඉල්ලීමක් සිදු කළා. ඔබ එසේ කළේ ඇයි?

පළමු කාරණය තමයි කිසි විටෙක කූට ලේඛනයක් පිළිබඳව චෝදනාවක් හෝ නීතිමය කටයුත්තක් මට එරෙහිව තිබුණේ නැහැ. හේතුව, මේ සිද්ධිය ඇති වුණේ මාධ්‍ය සාකච්ඡාවකදී මා ඉදිරිපත් කළ කාරණාවක් පිළිබඳ මතු වෙච්ච තර්කයක්. විශේෂයෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර උතුරේ දෙමළ කණ්ඩායම් අතර ඇති වෙච්ච එකඟතාවයක් පිළිබඳ ලියවිල්ලක් යම් ආකාරයක හුවමාරු වෙලා තිබුණා. මේ හුවමාරු වෙච්ච ලියවිල්ල මම මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්නුවා. එහි ඇත්ත නැත්ත පිළිබඳ මටත් එතරම් හැඟීමක් තිබුණේ නැහැ. ඒත් ප්‍රශ්නය වෙලා තිබෙන්නේ ඒ ලියවිල්ල මට සහ තවත් බොහෝ දෙනකුට ලැබිලා තිබුණා. මම මේක මාධ්‍යට ප්‍රකාශ කිරීමක් කළේ. ඒ අනුව මේගොල්ලෝ ආණ්ඩුව පත් වුණාට පස්සේ නීතිමය කටයුත්තක් පටන් ගත්තා. ඒ නීතිමය කටයුත්තේදී මට චෝදනා කළේ කූට ලේඛනයක් පිළිබඳ හෝ ව්‍යාජ අත්සන් යෙදවීම පිළිබඳව හෝ නොවේ. මට චෝදනා කළේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් කියන පනත (ICCPR) යටතේ. ඒ පනත යටතේ මට නඩුවක් පැවරුවා. ඒ නඩුව යටතේ මට කිව්වේ ජාතීන් අතර වාර්ගික අර්බුදයක් ඇති කරන්න, ගැටුමක් ඇති කරන්න ක්‍රියා කළා කියලා.ඒ යටතේ තමයි මාව අත්අඩංගුවට ගන්නේ. ඒ යටතේ තමයි මාව රිමාන්ඞ් භාරයට පත් කළේ. ඒ අනුව තමයි නඩුව ගෙන යාමට උත්සාහ කළේ. දෙවැනි චෝදනාවකුත් මට තිබුණා. ඒ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීමට උත්සාහ කිරීම කියලා. ඒක දැම්මේ ජනාධිපතිවරණ පනත යටතේ. තුන්වැනි කාරණයක් තිබුණා, ඒ තමයි මම සාවi ප්‍රකාශයක් කළා කියලා. රට ඉදිරියේ සාවi ප්‍රකාශයක් කළා කියලා ඒක නීති ප්‍රකාරව දණ්ඩ නීති සංග්‍රහය යටතේ මට පවරුපු නඩුවක්. මේ නඩු තුන පවරලා මම මාස දෙකක් අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවලා තිබ්බා. අවසානයේදී මට දුන්නු චෝදනා පත්‍රයේ ඔය චෝදනා තුන සඳහන් වුණාට මෙය විභාග කිරීමට කිසිදු උනන්දුවක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය ගත්තේ නැහැ. නඩුව 2015 සිට 2019 දක්වා දිගු කාලයක් විභාග නොකර දිනපතා කල් යවමින් තිබුණා. ඒත් එක්කම අවස්ථා කීපයක මේ නඩුව සම්බන්ධයෙන් විභාග කළ මහාධිකරණ විනිශ්චයකාරතුමා නීතිපති දෙපාර්තමේන්තුවට දැඩි ලෙස කියා සිටියා එක්කෝ මේ නඩුව විභාගයට ගත යුතුයි එහෙම නැත්නම් මේ විත්තිකරු නිදහස් කරන්න මම ක්‍රියා කරනවා කියලා. මේ නඩුව සමථයකට පත්වන තැනට ආවේ එතැනින්. මම ඉල්ලීමක් කරලා නෙවෙයි. එවිට මහාධිකරණ විනිශ්චකාරතුමාට පෙනුණා ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට දිගින් දිගටම එන්නේ නැහැ. එතකොට මේ නඩුවල සාමාන්‍ය තත්ත්වය පැමිණිලි පාර්ශ්වයේ ප්‍රධාන සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවී මේ නඩුව විභාග කිරීමට නීතිමය ප්‍රතිපාදනවල බාධාවක් තියනවා කියන එක. දෙක තමයි මට පවරපු ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන පනත යටතේ නඩුව වහා විභාග කළ යුතු නඩුවක්. එය සෙසු නඩු පසෙක තබා වහා විභාගයට ගත යුතු නඩුවක් වූවත් අවුරුදු 4ක කාලයක් නඩුව විභාග නොකර ඇදගෙන යාම නිසා දැඩිලෙස මගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුවෙමින් තිබුණා. ඒ පිළිබඳ මහාධිකරණ විනිශ්චකාරතුමා පවා ප්‍රකාශ කළා. ඒ අනුව තමයි මේ නඩුව යම් සමතයකට යා යුතුයි කියලා තීන්දුවකට ආවේ. එක්කෝ නඩුව අධිකරණයෙන් විසි වෙනවා. එහෙම නැත්නම් එකඟතාවයකින් අවසන් කරන්න කියලා. එකඟතාවයකින් අවසන් කරන්න කියලා ආවාම දෙපාර්ශවයේම ගෞරවය බේරෙන්න යම් ආකාරයක එකඟතාවයක් ඇති කරගමු කියලා යෝජනා වුණා. මම කිසිවිටෙක සමාවක් අරගෙන නැහැ. ඒත් මේ නඩුව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීමක්, ඒ කිව්වේ 1 වන හා 2වන පැමිණිලිකරුවන්ට මගේ මේ ප්‍රකාශය හරහා යම් අපහසුතාවයක් ඇති වුයේ නම් ඒ සඳහා මගේ කනගාටුව ප්‍රකාශ කරනවා කියල කිව්වේ.

දීර්ඝ කාලයක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන සෙනෙවියා බවට පත්ව කටයුතු කළ ඔබ යම් ආකාරයකට කුමන්ත්‍රණකාරී ලෙස ද්‍රෝහි වීමක් මේ සිද්ධියේදී දක්නට ලැබුණා. රනිල් වික්‍රමසිංහ මහතා සමග දැඩි මිතුරුකමක් පවත්වාගෙන ගිය ඔබ ඔහුගේ විශ්වාසය බිඳ වැටීමට කටයුතු කළේ නම් එවැන්නක් සජිත් ප්‍රේමදාස මහතාටත් ඔබ සම්බන්ධයෙන් ඇතිවිය හැකි බවට සැක කළ හැකියි නේද?

මම ඒ දේශපාලනික තීන්දුව ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවයට පත් කිරීමටවත්, එතුමාට ද්‍රෝහිකමක් කරන්නවත් නොවේ. පක්ෂයෙන් මම බලාපොරොත්තු වූ යුක්තිය, සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ඒකත් පක්ෂ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය වුණේ ඇත්තටම රනිල්-සජිත් එකමුතු කිරීම හේතුවෙන්. ඒ එකමුතු කිරීම කළේ ඇයි? එසේ කළේ රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති කිරීමේ මගේ තිබුණු දැඩි උවමනාව නිසයි. පක්ෂය බෙදිලා වෙන් වෙලා ඒ දේ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාව එකම වේදිකාව යටතට ගෙන ඒමට මම උත්සාහ කළේ එම අරමුණ සාර්ථක කර ගන්න. එතකොට ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා පත් වෙනවා දකින්න මම හීන බලමින් තිබුණේ. දෙවැනි කාරණය, ඇත්තටම මම විරුද්ධ වුණේ කුමකටද? ජනාධිපති අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්. එතකොට මම කිව්වේ, එක්කෝ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතුයි. යම් ආකාරයකින් ඔහුට එරෙහිව යම් යම් කණ්ඩායම් මතවාද තිබෙනවා නම්, දෙවනුව කරූ ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතාට එම අවස්ථාව දෙන්න ඕනේ. සන්ධානයක් පාදක කොට එහි ප්‍රධානතම දේශපාලන පක්ෂය වලිගයක් විය යුතු නැහැ කියන එකයි මගේ තර්කය තිබුණේ.

එවකට පැවති රාජපක්ෂ රෙජිමය පරාජයට පත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපයත් සමග එකතු වුණා. එසේ එකතු වූ පුද්ගලයාට එරෙහිව යම් යම් ප්‍රකාශ කිරීමේදී එය ඍජු ලෙස කෙසේ වෙතත් වක්‍ර ආකාරයකින් හෝ එජාපයට හානියක් සිදු කළේ නැහැ කියා ඔබ විශ්වාස කරනවාද?

අර්ථ නිරූපනයේදී ඕනෑ දෙයක් හිතාගන්න පුළුවන්. හැබැයි, ප්‍රශ්නය වෙලා තියෙන්නේ එසේ එකතු වීම හෝ ඉදිරිපත් වීම වංචාසහගතයි කියලා අද ඔප්පු වෙලා හමාරයි නේද? ඔහු මුලින්ම කළේ නිර්පාක්ෂිකයෙක් කියලා ඇවිල්ලා, ඒ කියන්නේ ඔහු කිසිම දේශපාලන භේදයකින් තොරව ජනාධිපතිවරයා හැටියට පත් වුණාම කාටත් පක්ෂපාතී නොවී නිර්පාක්ෂිකව ඉන්නවා කියලා ප්‍රකාශ කළත් ඔහු ඇවිල්ලා මාසයක් යාමට පෙර ශ්‍රීලනිප නායකයා බවට පත් වුණා. නායකයා බවට පත් වීම හරහා ඔහු මොකක්ද කළේ? එජාපයට අභියෝගයක් එල්ල කරන ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔහු ඊට පස්සේ මොකක්ද කළේ? ඔහු දිගින් දිගටම එජාපයේ පාලනයට විරුද්ධව ශ්‍රීලනිපයේ ඇමති කණ්ඩායමක් යොදාගෙන ක්‍රියා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවුණු සිද්ධිය බලන්න. 2018 ඔක්තෝබර් 26 වැනිදා ඔහු තමන් බලයට පත් කරන්න මහන්සි වෙච්ච එජාප නායකයා සහ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරමින් ඔහුට කිසිසේත් සහය නොදුන්නු පොහොට්ටු කණ්ඩායමේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කරන්න ක්‍රියා කළා. ඒ අනුව මම කළ දේ යුක්ති සහගතයි කියලා අද එජාපයේ අය කියනවා.

සජිත් ප්‍රේමදාස මහතාට එකතු වීමට ඔබ තීරණය කළේ ඇයි?

කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සජිත් ප්‍රේමදාස මහතා මගේ පෞද්ගලික මිත්‍රයෙක්. ඔහු වෙනුවෙන් මම හැම විටම පක්ෂය ඇතුලේ පෙනී සිටියා. ඒ වගේම රනිල්- සජිත් විරසකය, ගැටුම තියෙන කාලයෙත් මම දෙදෙනා අතර එකඟතාවක් ඇති කරන්න ක්‍රියා කළා මිසක, බිඳ වට්ටන්න, භේද කරන්න ගියේ නැහැ. ඔහුට උපරිම සාධාරණය පක්ෂය තුළ කරන්න පසුගිය දශකය තුළ මම මැදිහත් වෙලා ක්‍රියා කළ නිසා අපි දෙදෙනා අතර හොඳ සම්බන්ධතාවක් තිබුණා. දෙවැනි කාරණය තමයි, සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එජාපය මෙහෙය විය යුතු නායකයා කියලා, මෙවර ජනපති අපේක්ෂකයා හැටියට ඔහු ආ යුතුයි කියලා මගේ හිත කියන්න පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණයේ ඉඳලා. 2015 ජනාධිපතිවරණයේදීත් මම ඔහුගේ නම යෝජනා කළා. කරු ජයසූරිය මහතා හෝ සජිත් ප්‍රේමදාස මහතා ආ යුතුයි කියලා මම කියා සිටියා. කරූ ජයසූරිය මහතා, රනිල් වික්‍රමසිංහ මහතාට එන්න බැරිනම් තුන්වැනි තේරීම විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා කියලයි මම කිව්වේ. ඒ තේරීම මට එදා ඉදලා තිබුණා. දැන් ඔහු එජාප ජනාධිපති අපේක්ෂකයා හැටියට පත්වෙලා තිබෙනවා. ඔහු තරුණ කෙනෙක්. රටට අලුතින් යමක් ඉටු කරන්න අවංකවම කැප වෙනවා කියලා මට පේනවා. එය මම විශේෂයෙන් අගය කරනවා.

වංචාව හා දූෂණ වැළැක්වීමට බොහෝ රජයන් ක්‍රියාත්මක වූ බවක් පෙනුනේ නැහැ. එවැනි දේ වළක්වන බවට පැමිණි යහපාලන රජය තුළත් මහ බැංකු බැඳුකර වංචාව සිදු කිරීමට දායක වුණා. වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම ඔබ තේරුම් ගෙන තිබෙන්නේ කෙසේද?

පැහැදිලිවම මේ කාල සීමාව තුළ දූෂණ චෝදනාවක් එල්ල නොවූ එක ඇමතිවරයෙක් තමයි සජිත් ප්‍රේමදාස මහතා. ඔහු දැනටත් රජයේ නිල නිවාසයක් පාවිච්චි කරන්නේ නැහැ. රජයේ වාහන පාවිච්චි කරන්නේ නැහැ. ඔහුගේ පුද්ගලික රථය තමයි තවමත් ඇමතිවරයා හැටියට පාවිච්චි කරන්නේ. මම දන්න හැටියට ඔහු වැටුප් ගත්තේ නැහැ. ඒ ආදර්ශය ඔහු පසුගිය අවුරුදු හතරහමාරේම දීලා තියනවා. ඔහු ඔහුගේ නිලධාරීන්ට කියා තිබෙනවා කිසිම ආකාරයකට රජයේ මුදලක් මැතිවරණ ව්‍යාපාරයට වාසි වන විදියට පාවිච්චි කරන්න එපා කිසි කෙනෙක්. අපි ආදර්ශය දෙන්න ඕනේ කියලා. මහජන දේපළ අවභාවිතා කිරීම කියන චෝදනාව මට අලවා ගන්න දෙන්න එපා කියලා ඔහු ඒ නිලධාරීන්ට කියා තිබුණා. එතුමා නීතියේ සාධාරණත්වය උපරිම ලෙස ආරක්ෂා කරයි කියා මම විශ්වාස කරනවා. දෙවනුව ඔහු වංචාව හා දූෂණ වලට එරෙහිව පෙනී සිටීවි කියා හිතනවා. ඔහු මෑතකදී තමන්ගේ ක්‍රියාකාරීන් සමග කියා තිබුණා මම ජනාධිපතිවරයා හැටියට පත් වුණොත් මම ආසියාවේ තවත් ඉම්රාන් ඛාන් කෙනෙක් වෙනවා කියලා. පසුගිය ආණ්ඩුව කාලයේ හුගක් දූෂණ චෝදනා එන්න පටන් ගත්තා. මේ ආණ්ඩුවත් එතැනට තල්ලු වෙලා තියනවා.

අවුරුදු 30ක කාලයක් පුරා බලපැවැත්වෙන පරිදි ආර්ථිකය කඩා වැටීමට බලපාන පරිදි කටයුතු කර තිබෙන මහ බැංකු වංචාවේ වැරදිකරුවන්ට එරෙහිව දඬුවම් ලබා දෙමින් රටට සිදු වූ හානිය සම්බන්ධයෙන් නීතිමය මාර්ග ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරයි කියා ඔබ හිතනවාද?

තවමත් ඔහු මේ ගැන ආපස්සට ගිහින් ප්‍රකාශයක් කරලා නැහැ. ඔහු තවම මැතිවරණ ව්‍යාපාරය පටන්ගෙන නැහැනේ.මම හිතනවා ඒ සියල්ල ගැන නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු කටයුතු කරයි කියලා. ඔහු දේශපාලන වශයෙන් හිතලා නොව රටට යහපතක් වන සහ රටට සිදු වූ අසාධාරණකම්, මහජන දේපළ මංකොල්ල කෑම් වැනි දේවල් වලදී නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න ඔහු කටයුතු කරයි කියා මම හිතනවා. ඔහු ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඒ ගැන සඳහන් කරයි.