ඇයි මීට කලින් දැකලා නැද්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ මොහොතේ දේශපාලන සත්තාව තේරුම් ගැනීම ලේසි පහසු නැත. එය තම තමන්ගේ පාට අනුව වර්ණ ගැන්වේ. පසුගිය කාලයේ කනින් කොනින් අසන්නට ලැබුණේ ගෝඨාභය දිනන කතාය. දැන් බොහෝ තැන්වල කතා – බහ සජිත් නියතවම දිනන බවය. ලංකාවේ මිල සූත්‍රය මෙන් දේශපාලනයද නිතර ඉහළ පහළ යනුයේ බලා ඉද්දීය. එහෙත් කිවයුත්තේ තවමත් තරගය විවෘත බවය. කුමන්ත්‍රණ කෙළවරක් නැති නිසා අවසානය තවමත් විවෘතය. තරග යනු දිනන තෙක් සැමට දිනුම හිමි දෑය. එබැවින් ගෝඨාවාදීන්ට ගෝඨාත් සජිත්වාදීන්ට සජිත් දිනනවායැයි සිහින දැකිය හැකිය. එපමණක් නොව, ජවිපෙ පාක්ෂිකයා තනි හිතට හිතන්නේ මෙවර ජනපති අනුර කුමාර බවය. ඊට යටි හිතෙන් හිනාවෙන සමහරු හිතන්නේ කවුරු මොනවා කිව්වත් මෙවර ජනපති හිටපු හමුදාපති මහේෂ් සේනානායක කියාය. ජනතාව ලෙස අප වැනි ගැටෙන පිරිස නන්නත්තාර වී ඇති තරම කොතෙක්ද යත් හැම ප්‍රතික්ෂේප කිරීම හැර විකල්ප නැති තැනටය. එබැවින් තවමත් සැමට වේදිකාව විවෘතය. අපි එහි නරඹන්නෝ වෙමු.

ගෝඨා ඉවරද?

මේ දිනවල දේශපාලනයේ, ජනප්‍රියතම කතාබහ ගෝඨාභයට එරෙහි ද්විත්ව පුරවැසිභාවය අවලංගු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමය. පෙත්සම ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩය.
ඉතා සරලව ගතහොත් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකේය පුරවැසිභාවය අයදුම් කර ඇත්තේ 2005 වසරේ නොවැම්බර් 18-24 කාලයේදී බවත්, ඒ කාලයේ එම අමාත්‍යාංශයේ ලේකම්වරයකු නොසිටි අතර, ගෝඨාභයගේ ද්විත්ව පුරවැසි සහතිකයෙහි ලේකම් වෙනුවට ඒ වනවිට අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ අත්සන් කොට ඇති බවත්, මහින්ද රාජපක්ෂ අත්සන් කළ සහතිකය නීත්‍යනුකූල නොවන බව පෙත්සම්කරුවන්ගේ ප්‍රධාන චෝදනාවය.

මෙය විශේෂ කටයුත්තක් ලෙස සලකා අදාළ පෙත්සම දින තුනක් තුළදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගවෙමින් පවතී. තීන්දුවට පෙර විද්වත්හු දක්වන අර්ථ අනුව නම් ගෝඨාගේ ජනපති ගමන මෙතැනින් කෙළවරය. ඒ වෙනුවට චමල්, ශිරන්ති හෝ කබ්රාල් වුව දැමිය හැකි බවට පොහොට්ටුව ඇතුලේ චරු චුරුද පවතී.

ගෝඨාගේ පෙත්සමට එරෙහි දේශපාලන කෑගැසීමට මාධ්‍යයට ඉදිරිපත් කොට තිබුණේ මරු බඩුය. ඒ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන බේගල්ස්ලා සහ ටොන් පචයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ යන අයය. ඕනෑම බරපතළ කාරණයක් දේශපාලන හාස්‍යයට ලක් කිරීමට මොවුන් රුසියෝය. මෙහි ඇති විහිළුම කෑල්ල නම් හොර පාස්පෝට් – හැඳුනුම්පත් ගැන හරවත් දෙසුමක් දෙනුයේ විමල් වීරවංශ වීමය. ගැට කපන්නෝ තරම් ගැට කැපීමේ විජ්ජා ගැන කවුරු දනිත්ද? ඉල ඇදෙන ඉතිරි කෑල්ල නම් කවුදෝ විමල්ගෙන් අසනුයේ මේ හේතුව මත ගෝඨාට යම්කිසි ප්‍රශ්නයක් වේද? ජනාධිපතිවරණයට ඉදිරිපත්විය නොහැකිවේද? එසේ වුවහොත් ඒ වෙනුවට කවුරු දාන්නේද යන්නය. එයට විමල් දෙන පිළිතුර නම් මුකුත් නොවන බවය. විමල්ට ස්ථිවරම එලෙස කිව හැකිය. රනිල් වික්‍රමසිංහට එදා විමල් බේරාගත හැකි නම් මෙදා ගෝඨා බේරා ගන්නට නොහැකි මන්ද? අපගේ හැඟීමත් ගෝඨා මේ නඩුවෙනුත් ගොඩයන බවය. ලොකු තර්ක ලොකු ලොකු අයට තිබිය හැකිය. එහෙත් පුංචි පහේ අයට හිතෙන්නෙම ඔය කිව්වට ඔය මුකුත් නොවන බවය.

දෙකම එකයි

මෙහිදී තව දෙයක් කිව යුතුය. එනම් සුහද ගම්ලත් රාජපක්ෂලාට සුහදව වමාරන වැමෑරිල්ල මෙන්ම ගාමිණිලාගේ පෙත්සමද දේශපාලන ගේම්ම බවය. සුහද ගම්ලත් හිටගෙන ඇති තැන මෙන්ම ගාමිණී චන්ද්‍රගුප්ත හිටගෙන සිටින තැනද රහසක් නොවේ. රස රහස නම් ගම්ලත්ගේ කෙරුවාවට වඩා මේවා මාර වැඩවීමය. එක අතකට මාර වැඩ වන්නේ සුහද රාජපක්ෂලාගේ පිටපත දෙරණට කියන විට එය ඕපාදූපයක් ගාණට වැටීමත්, රාජිතගේ පිටපත ගාමිණීලා අධිකරණයට ගෙන යනවිට පෙත්සම වැදගත් සාක්ෂියක් වීමය. දේශපාලනයේ නාමයෙන් වුවත් බැලමෙහෙවරකම් කිරීම වැදගත් විදිහට කළ යුතුය. ඉතිරි වන්නේ එයය.

මහේෂ් සේනානායක

හිටපු හමුදාපතිවරුන්ට ජනපති වීමේ මාරාන්තික රෝගය බෝ කළේ සරත් ෆොන්සේකාය. මඩ සෝදාගත් කල රජකමට ගොවියා සුදුසු යැයි කීම දැන් පරණය. ගොවියොත් සොයා ගැනීමට නැති තරම්ය. ගොවියන්ට වඩා හමුදාපතිවරු මෑත කාලයේ පැටව් ගැසුවෝය. එබැවින් යුද්ධයට ගෑවුණු හමුදාපතිවරයකු ජනපතිකමට වුව සුදුසුය කියා පිරුළක් ගොඩනැගුවද දොස් නැතිය. 2015න් පසු සිවිල් පුරවැසියන් කියා ගන්නා අයට ඉහළ වටිනාකමක් ආවේය. ඒ අයත් දේශපාලන කෙරුමෝය. 2015 පුරවැසි සංවිධාන හිතනුයේ සියල්ල සිදුවූයේ ඒ අයගේ අනුදැනුම මත බවය. යහපත් දේ මෙන්ම අයහපත් දේ වූයේද ඔවුහු නොදැනුවත්වය. එහෙත් ඒ අයගේ ස්වයං වින්දනයන් එලෙසම තැබීම හැර අවදි කළ යුතු නොවේ. රාජපක්ෂලා මෙන්ම වික්‍රමසිංහලාත් කරනුයේ මේ අය ලවා කිළිටි රෙදි සේදීමය. වැසිකිළි වළවල් සුද්ධ කිරීමය. වෙනස ඒ ඒ දේවල් ඒ අය කරන විදිහය. සමහරු හත්පොළේ ගාගෙන කරති. සමහරු වැදගත් විදිහට කරති. කොහොම කළත් කරන්නේ එකම දෑය. සුහද කළත් ගාමිණී කළත් වැඬේ එකමය. නලීන් සිල්වලා කළත්, සරත් විජේසූරියලා කළත් මහාචාර්ය වැඩත් එකමය. එනම් ආස දේ කිරීමය. එලෙසම මෙවර අලුතින් අපුල්ලන්නෝ වී ඇත්තේ ජාතික ජනතා ව්‍යාපාරයය. මහේෂ් සේනානායක කරළියට ගේන්නේ ඒ අයය. ජාතික ජනතා ව්‍යාපාරය සිතන්නේ ලංකාවේ උගත්, බුද්ධිමත් පිරිස ඔවුන් බවය. එසේ නම් නලීන්, සරත්ලා මෝඩයෝද? පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දර මෙන්ම මහේෂ් සේනානායකත් ෆොටෝ ජෙනික්ලාය. මහා උගත් බුද්ධිමත්හු පිරි ජාතික ජනතා ව්‍යාපාරය මහේෂ් සේනානායක තෝරා ගත්තේ ඇයි? යුද්ධයෙන් පසු ෆොන්සේකාට ආ හැකි නම් පාස්කු ප්‍රහාරයෙන් පසු බලවතා මහේෂ් වූ නිසාද? එක් ජාතික පුවත්පතක ප්‍රධාන ශීර්ෂය වූයේ ‘රට හදන්න හිටපු යුද හමුදාපති ජනපතිට සටනට’ යන්නය. ඒ හෙඩිම කියවීමෙන්ම ජාතික ජනතා ව්‍යාපාරයේ දිග පළල මැන ගත හැකිය.

ආබාධිතයෝ

රටම ආබාධිත වී ඇති මොහොතක ආබාධිත රණවිරුවන්ට ලැබුණේ පුදුම තැනක්ය. ලොව ආබාධිතයන්ට සලකන මේ තරම් රටක් නැති තරම්ය. ආබාධිතයන් ඔසවා තබනුයේ හාමුදුරුවරුය. ටෙලිවිෂන් නාලිකා (දෙරණ) උපවාස කළ ආබධිත රණවිරුවන්ගේ වොයිස් කට් ගනුයේ මේකප් කොටය. ආබාධිත රණවිරුවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළේ තනිකරම රඟපෑමකි. රාජපක්ෂලාගේ බාල පිටපත්වලට තප්පුලෑමය. දින විස්සක් පමණ පාරේ ලගිමින් විවිධ ඉල්ලීම් කළ ඔවුන් දෙන ඉල්ලීම්වලට තව එකතු කරමින් ඉල්ලීම් කළ ඔවුන් මහින්ද රාජපක්ෂ පැමිණ තැඹිලි වතුර පොවා එකෙන්ම කී කල අකුළාගෙන ගියේ පුදුම වේගයෙනි. මහින්ද එය කියන්නේද නාටකයේ උපරිමය සනිටුහන් කරමිනි. “දැන් ඇති උපවාස කළා. ගෙවල්වල වැඩත් ගොඩ ගැහිලා ඇතිනේ. හරි දැන් යන්න සේරම. මම නැතත් ගෝඨාභය ඔයාලගේ ප්‍රශ්නය විසඳනවා” යන්නය. හුරේ දමා අත්පුඩි තැලූ ආබාධිත සෙබළු ඉක්බිතිව සතුටින් විසිර ගියහ. මේවා දකින විට ජනතාව ලෙස අප සැම ආබාධිත වී ඇතැයි සිතනුයේ මේ හොර නඩ කුමකට හෝ එකතුව තම පැවැත්ම හදා නොගැනීම මෝඩ ආබාධිත කමක් බව ඒත්තු ගන්වමිනි. මහින්දට පෙර එදින සජිත් ප්‍රේමදාසද ආබාධිත සෙබළුන් ළඟට පැමිණ විසඳුමක් ගැන සිතන බව කී අතර ඉන්පසු සජිත්ගේ මාධ්‍ය නඩය පෙන්වනුයේ උපවාසය අකුළාගත්තේ සජිත් නිසා බවය. එහෙත් දෙරණ ඔප්පු කළේ විමල් වීරවංශ මෙන්ම ආබාධිත සෙබළුන්ටද මහින්දගේ තැඹිලි වතුර එකම බේත බවය.

මේ හැම ජනපතිවරණයට පොර කනුයේ රට හදන්නටය. රටේ ජනතාව සුඛිත මුදිත කරන්නටය. ලසිත් මාලිංග මාධ්‍යවලින් ඇසූ පැනය ජනතාවටද පොදුය. එනම් “ඇයි මීට කලින් දැකලා නැද්ද?” යන්නය. ලංකාවේ දෛනික ආදායම රුපියල් බිලියන පහකට අධිකය. එහෙත් හැත්තෑ එකේ සිට මේ දක්වා මේ රට පාලනය කළ පාලකයෝ කළ ක්‍රියාවන් නිසා දෛනික වියදම රුපියල් බිලියන හත දක්වා ඉහළ ගොස් ඇත. උපයන මුදලට වඩා වියදම වැඩි වූ කල ණයවීම හැර විකල්පයක් නැති බව සාමාන්‍ය ජනයා වුව දනිති. එසේම තම අධික සැප හේතුවෙන් දේශපාලකයන් කරනුයේ මේ රට උකස් කිරීමය. ණය කන්දක මේ රට ගිල්වා ඒ ණයත් හත්මුතු පරම්පරාවක් ලවා ගෙවා දැමීමය. නාමල් රාජපක්ෂ මඟුල් කෑවාට අපට කම් නැත. එහෙත් ඒ මඟුල් කෑම දෙස බලා හරි ලස්සනයි අයියේ කියා සමාජ ජාලවල අකුරක් කොටන මෝඩ රැළ නාස්ති කරන්නේ ඇතැම්විට දෙමාපියන් ලවා දමන ඬේටා කාඞ් එකය. කුලී මව පියා ඒ මුදල දෙනුයේ කාණු සුද්ද කර විය හැකිය. නාමල්ලාට හත් දවසක් මඟුල් කන විට තිස්සමහාරාමයේ දරුවකු මන්දපෝෂණයෙන් මියගියේ මෑතකදීමය. එකොළොස් හැවිරිදි දැරිය මියගිය පසු කිඹුල් කඳුළු හෙළුෑ දේශපාලකයෝ හැම එකාවන්ව රජ සැප, සුර සැප විඳිති. එහෙව් කලෙක මෝඩ ජනතාව ගෝඨාද සජිත්ද කියමින් කාලය කති. ඒ දෙකම එකයි කියමින් ජනතාව ඩැහැ ගන්නට පැමිණ සිටින අයද සුදනෝ නොවෙති. ගෝඨා ආ කල රට හමුදාවට අයත් වෙතැයි සිතන උගත් බුද්ධිමත් අය හමුදාපති කෙනකු තරගයට දමති. සජිත්ට ගෝඨාට බැරි දේ අනුරට කළ හැකි යැයි කලාකරුවෝ උමතු වෙති. සැමට අවැසි ලෙස ඇදගන්නා ජනතාව මෙවරත් මේ කාගේ හෝ ඇඳුමක් ඇඟලා ගැනීමට පොර කති. ඇතිවෙන්න හෝ නැතිවෙන්න කවුරු හෝ රජවෙනකම් අපි බලා සිටිමු. දූපත් වැසියෝ වන අපගේ දූපත් මානසිකත්වයට කමා කරත්වා.